Saturday, February 23, 2019

VENOM ගැන ඔබ නොදත් කතාව....

Venom ෆිල්ම් එක රිලීස් වෙලා දැන් ටිකක් කල්. ඔන්න දැන් "හොඳ කොපිත්" ඇවිල්ලා තියෙන්නෙ.ඉතිං, Venom ඇත්තටම කව්ද/ ඔරිජින් ස්ටෝරිය මොකද්ද කියල ටිකක් හොයල බැලුව. හොයන්න හොයන්න රසවත්, දිග කතන්දරයක් ඒක.

(චිත්‍රපට කතාව ස්පොයිල් වීමක් නැත.)

Venom කියන්නෙ, පිටසක්වල ජීවියෙක්. මේ එකෙක් උනාට මුන් ඇත්තටම ජීවි කොට්ඨාසයක්. මේ ජීවින්ව හඳුන්වන්නෙ, Symbiotes ලා කියලයි. එහෙම කියන්නෙ මේ අය ජීවත් වෙන්නෙ ධාරක ජීවියෙක් ඇසුරේ නිසයි. ඇත්තටම symbiosis කියන්නෙ , ජීවවිද්‍යාත්මක වචනයක්. මේකෙ සිංහල තේරුම, "සහජීවී සම්බන්ධයක්" කියල ගන්න පුලුවන් . (හැබැයි, symbiosis කියන එකෙත් වර්ග තියෙනවා.)
ඒ අනුව බැලුවම Venom, සිම්බයොන්ට් කෙනෙක්. අපි මෙයාලව Symbionts ලා විදිහට හැඳින්වුවත්, ඔවුන් ඔවුන්ව හඳුන්වා ගන්නේ Klyntar නමින්. මෙයාලගෙ මව් ග්‍රහලෝකය තියෙන්නෙ ඇන්ඩොමීඩා චක්‍රාවාටයේ. ඒකෙ නමත් Klyntar.

Venom චිත්‍රපටයේ ට්‍රේල එකෙන් (හෝ ෆිල්ම් එක දැනටමත් බලල තියෙනවා නම් ඒකෙන්) සහ, ස්පයිඩර් මෑන් තුලින් අපි දැනටමත් Venom කියන්නෙ කොයි වගේ එකෙක්ද කියල ටිකක් දන්නව. බැලූ බැල්මට දරුණු, විනාශකාරී පෙනුමක් තමා තියෙන්නෙ. ඒත්, ඔවුන්ගේ මව් ග්‍රහලෝකයේ අතීතයේ Klyntar වරු එහෙම අය නෙවෙයි. ඔවුන් ඇත්තටම බොහොම ගුණගරුක, නිතරම අනුන්ට උදව් පදව් කරන්න බලාගෙන හිටපු යහපත් ජීවීන් පිරිසක්. තමන්ගෙ උදව් අවශ්‍යයැයි හිතෙන ජීව විශේෂ තෝරගෙන, ඒ ජීවීන් අතරින් සුදුසු ශරීර සහ යහපත් ගුණයන් සහිත ධාරකයන් තෝරගෙන, ඒ ධාරක ජීවීන්ට තමන්ගෙ හැකියාව මිශ්‍ර කරල ඔවුන් සුපිරි වීරයන් බවට පත් කරල ඒ ඔස්සෙ අදාළ ජීවි විශේෂයට උපකාර කරන එක තමා මෙයාලාගෙ මූලික අරමුණ වෙලා තියෙන්නෙ.
නමුත්, රසායනික වශයෙන් අසමතුලිත, සංස්කෘතිකමය වශයෙන් දූෂණය වුනු මනස් සහිත ධාරක ජීවීන් සමඟ සහජීවී සංගම් ගොඩනැගීමට යාමෙන්, මේ සිම්බයොන්ට්ලා එන්න එන්නම නරක අතට හැරුනා. (කොටින්ම කිව්වොත් නිකං, උදව් කරන්න ගිහින් ඉල්ලං පරිප්පු කෑමක් ) තව කාලයක් ගතවෙද්දී , ධාරක ජීවීන්ගෙන්ම උකහා ගත්තු නරක ගතිගුණ තියෙන දුෂ්ට සිම්බයොන්ට්ලා සංඛ්‍යාව ටිකෙන් ටික වැඩි වෙලා, අර ඔරිජිනල් හොඳ එවුන් නැති වෙලා ගියා. ඒ වෙනුවට මොවුන් ක්‍රමයෙන් විනාශකාරී පරපෝෂිතයන් පිරිසක් බවට මුලු විශ්වය පුරා ප්‍රසිද්ධ වුනා.

මෙවැනි දුෂ්ට සිම්බයොන්ට්ලා ආහාර වශයෙන් ගන්නෙ, සත්තුන්ට ආතතියක් හෝ බියක් දැනුනාම වැඩියෙන් ශ්‍රාවය වෙන ඇඩ්‍රිනලීන් වැනි රසායන ද්‍රව්‍යයයි. ඉතිං ඒ නිසා මේ වගේ එකෙක් තමන්ගෙ ධාරක ජීවියාව නිතරම එවැනි මරණීය බය ඇති කරන මාරක දේවල් කරන්න පොලඹවනව, මොකද එතකොට වැඩි වැඩියෙන් අර රසායන ද්‍රව්‍ය ස්‍රාවය වෙන නිසා.

මෙම සිම්බයොන්ට්ලා , ග්‍රහලෝක පිටින් තමන්ගෙ පරපෝෂි ගොදුරු විදිහට ගන්නවා. ඉතිං එක සැරයක් මෙයාලා වසා පැතිරී හිටපු ඒ වගේ ග්‍රහලෝකයක්, ගැලැක්ටස් ඇවිදින් ඌ ඒක කාලා තියෙනවා! සිම්බයොන්ට්ලගේ මතක ජාන ඔස්සෙ ඉදිරි පරම්පරාවලට යන නිසා (genetic memory ), මෙයාල එදැයින් පස්සෙ ගැලැක්ටස්ට බය පක්ෂපාතී බවක් දක්වනවලු අර සිද්ධිය මතක නිසා.

සිම්බයොන්ට්ලා මුලින්ම හොඳින් ඉඳලා පස්සෙ නරක් වුනාය කිව්වට, මුන් විශ්වයට මුලින්ම ආවේ කොහෙන්ද කොහොමද කියල හෙව්වොත් වෙනම කතන්දරයක් එතන තියෙනවා:

හුඟාක්ම ඉස්සර කාලෙ, ඒ කියන්නෙ අපි මේ දන්න කියන විශ්වයේ මුල් කාලෙ, ඉඳල තියෙනවා මේ විශ්වය ඇතිවෙන්නත් කලින් ඉඳලා හිටපු, Knull කියල විශ්වීය ජීවියෙක්. මූ බලගතු දුෂ්ට දෙවියෙක් වගේ එකෙක්.
මාවල් ෆෑන්ස්ලා විදිහට ඕගොල්ලො දැනටමත් දන්නව ඇතිනෙ සෙලෙස්ටියල්ස්ල ගැන? Celestials තමා මාවල් යුනිවර්ස් එකේ එන පැරණිම ජීවීන්. මොවුන් ඉතා බලගතුයි, ඉතා විශාලයි, වගේම ඔරිජින් එකක් හොයාගන්නත් අමාරුයි. ඔවුන්ට අවශ්‍ය නම් අලුතින් විශ්වයන් හදන්නත් , හැදුනු ඒවා පරිණාමනය කරන්නත් පුලුවන් . ඉතිං ඒ කාලෙ , ඒ කියන්නෙ අපේ විශ්වය පටන් ගත්තු මුල් කාලෙම මේ සෙලෙස්ටියල්ස්ල ඇවිත් ඒක පරිණාමනය කරන්න උත්සාහ කරනවා, ඔවුන්ගේ විශාල සැලසුමක් අනුව.

නමුත් අර Knull කියන විශ්වීය ජීවියා මේකට තදින් විරුද්ධ වෙනවා.

Knull තමන්ගෙ බලය පාවිච්චි කරල කඩුවක් හදනව සජීවී අඳුරෙන් (living darkness) හදල ඒකෙන් අර එක සෙලෙස්ටියල් කෙනෙක්ගෙ බෙල්ල ගාවින් වෙන් වෙන්නම කොටනවා. මෙන්න මේ අඳුරු, සජීවී කඩුව තමා පළමු සිම්බයොන්ට් විදිහට සැලකෙන්නේ. ඉතිං සෙලෙස්ටියල්ස්ලත් ප්‍රතිප්‍රහාර එල්ල කරලා, Knull ව විශ්වයේ හිස් ඉඩකට තල්ලු කරල දානව. අර වෙන්වුනු හිසත් එක්ක මේ තුළ ඉඳගෙන, Knull, එම වෙන්වුනු හිස භාවිතා කරමින්, විශ්ව ශක්තිය පාවිච්චි කරමින් අර කඩුව තව තවත් මුවහත් කරනවා. ( Guardians of the Galaxy එකේ, Knowhere ලෙස හඳුන්වන්නේ මෙම සිඳුනු සෙලෙස්ටියල් හිසයි.)
විශ්වයේ අඳුරු ශක්තීන් භාවිතා කරමින්, කඩුව ක්‍රමයෙන් සිම්බයොන්ට් හමුදාවක් බවට පත්කර, එමගින් විශ්‍වය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරන්න Knull උත්සාහ කරනවා. Knull ගේ එම ක්‍රියාවලියේ එක කොටසක් විදිහට, සිම්බයොන්ට්ලා රාශියක් එක්ව තැනුණු ග්‍රෙන්ඩෙල් (Grendel) නම්වූ මකරෙක් වැනි, composite symbiont කෙනෙක් (එකෙක් කිව්වට සිම්බයොන්ට්ලා රාශියක එකතුවකි) වයිකින්වරු ඉන්න කාලෙදි අපේ ග්‍රහලෝකයට එනවා. එතෙන්දි Thor මැදිහත් වෙලා මූව මෙල්ල කරල සීල් කරනව. අන්න එතකොට, මුල් වතාවට සිම්බයොන්ට්ලා Knull ගේ ග්‍රහණයෙන් මිදෙනවා. ඒ නිසා, මුල් වතාවට යහපත් ධාරක ජීවීන් ඇසුරෙන්, ගෞරවය , උපකාර කිරීම වගේ හොඳ ගතිගුණ ගැන ඉගෙනගන්නවා.

ඒ ලැබුනු හොඳ ගුණාංග එක්ක, පසුව ඔවුන් ඔවුන්ගේ "දෙවියා" නොහොත් නිර්මාණකරුවා වෙන Knull ට එදිරිව කැරලිගහනවා. කැරැල්ල අවසන් වෙන්නෙ, Knull ව සිම්බයොන්ට්ලා විසින් කෘතිම ග්‍රහලෝකයක් තුළ සිර කිරීමෙන්. අන්න ඒ ග්‍රහලෝකය තමා ඔවුන්ගේ මව් ග්‍රහලෝකය නොහොත් Klyntar. සිම්බයොන්ට් භාෂාවෙන් Klyntar කියන්නෙ "කූඩුව" ට. ඉන්පසු , තමන්ගෙ අඳුරු අතීතය ගැන ලැජ්ජාවට පත්වෙන කිල්න්ටාවරු, විශ්වය පුරා සාමය පතුරුවන්න උත්සාහ කරන්නෙ, සුදුසු ධාරක ජීවීන් තුළින් වීරයන් නිර්මාණය කිරීමෙන්. (ඉන්පස්සේ තමා ආපහු නරක් වෙන්නෙ)

හරි , ඇත්තටම මේ කතාව ඉවර නෑ . අතුරු කතා සියල්ල කපාහැරලා ප්‍රධාන කතාවෙත් සංක්ෂිප්තයක් තමා මේ කිව්වෙ.

ඒත් අන්තිම වෙනකං කියෙව්වනම් තේරුම් ගන්න පුලුවන් මාවල් යුනිවර්ස් එක කියන්නෙ විශාල කතා සාගරයක්. ෆිල්ම්ස් වලින් කරන්නෙ ඒකෙන් දිය දෝතක් අරං දෙන එක විතරයි . ඉතිරි ටික හොයාගෙන රසවිඳින්න පුලුවන් නම් , ඒක වෙනම "විශ්වයක්"ම බව වැටෙහෙයි....

No comments:

Post a Comment