Saturday, February 23, 2019

Stanford Prison Experiment

දෙවියන් වහන්සේගේ හොඳම ගෝලයෙක්ව සිටි ලුසිෆර් නම් දේව දූතයා, පසුව දෙවියන්ට පිටුපා යනව. ඉන්පසු සාතන් නොහොත් යක්ෂයා බවට පත්වෙන්නෙ මේ දේවදූතයාමයි. මෙන්න මේ වගේ ඉතාමත් හොඳ ගති ගුණ තිබුණු පුද්ගලයන්, අවට පරිසරයේ සිදුවන වෙනස්කම් වලට මුහුණ දීම නිසා ක්‍රමයෙන් නරක, දුර්ගුණ සහිත වෙලා, දුෂ්ටකම් කරන්න ගන්න එක, මනෝවිද්‍යාත්මකව හඳුන්වන්නේ ලුසිෆර් ආචරණය (Lucifer effect) නමින්.

මේ පදය කරලියට එන්නෙ, ඒ නමින්ම ලියවුණු පොතක් නිසා. ඒ පොත ලියන්නෙ Zimbardo කියල ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ මහාචාර්යවරයෙක්. පොත එලිදකින්නේ 2007 වසරෙදි වුනත්, පොතට පාදක වුනු සිදුවීම නොහොත් පර්යේෂණය සිදුවෙන්නෙ 1971 දී.

ඒකෙදි කරන්නෙ, සිසුන් පිරිසක් තෝරගෙන කාසියක් උඩ දැමීමෙන්, ඔවුන් කණ්ඩායම් දෙහෙකට බෙදනව. එක් පිරිසක් සිරකරුවන් ලෙස සලකන අතර අනික් පිරිස ජේලර්වරුන් ලෙස නම් කෙරෙනවා. ජේලර්වරුන්ට, සිරකරුවන් කෙරෙහි යම් අධිකාරී බලයක් ලබාදෙන අතරෙ, සිරකරුවන්ට සිද්ද වෙනවා ජේලර්වරුන්ට යටත්ව ඉන්න. මේ සියල්ලම අධීක්ෂණයක් යටතේ, කෘතිමව නිර්මිත සිරමැදිරියක තමා කරන්නෙ. මේකෙ අරමුණ තමා, ඔන්න ඔය විදිහට අධිකාරීත්වයක්, යටත් කරගැනීමේ බල‍යක් මිනිස්සුන්ට ලබාදුන්නම, ඔවුන්ගේ හැසිරීම් වෙනස් වෙනවද කියල බලන එක . මේ ප්‍රොජෙක්ට් එක එකල සිදුකර ඇත්තේ ඇමරිකන් හමුදාවේත් අනුදැනුම හා මූල්‍ය ආධාර ඇතුවයි. ඒකට හේතුව ඇමරිකන් යුධ සිරමැදිරි තුළ සිදුවන සිරකරුවන් සහ ජේලර්වරුන් අතර ගැටුම්වල මනෝවිද්‍යාත්මක පැත්ත අධ්‍යයනය කිරීමට අවශ්‍ය වීම, සහ ඒ ඔස්සේ ඒ ගැටුම් අවම කිරීමට පිළියම් සෙවීම.

ඉතිං මාස ගානක් පවතී කියල සැලසුම් කළ මේ Stanford Prison Experiment එක කරන්න පුලුවන් වුනේ දින හයක් වගේ සුලු කාලයක් විතරයි . ඒ ඇයි ?
ඒකට හේතුව බලලම තේරුම් ගන්න පුලුවන් විදිහට ෆිල්ම්ස් දෙකක්ම තියෙනවා මේ ගැන හැදුනු. එකක්, The Stanford Prison Experiment නමින්මයි තියෙන්නෙ. මේක කෙලින්ම අර පොතෙන් මූලාශ්‍ර අරං හදපු ෆිල්ම් එකක්. අනික The Experiment. මේකත් ඔය සිද්ධිය ගැනම හදපු එකක්.
ඇත්තටම වෙච්චි/ කරපු දෙයක් නිසා බලන්න වටිනවා.


No comments:

Post a Comment