Thursday, November 23, 2017

බහුබාර්යා

ඉස්සර ඉස්කෝලේ යන කාලෙ තමා මතක හැටියට මේ චිත්‍රපටය මුලින්ම ආවෙ. සම්භාව්‍ය පස්වෙනි මණ්ඩලයෙද කොහෙද තිරගත උනේ. වැඩියටන්ට පමණයි ලේබලෙන් ආපු නිසා ඉතිං බැලුවෙ නෑ.
මෙන්න මේ ලඟදි දවසක ඕෆ් පීක් ඩේට ගොඩක් ඉතුරුවෙලා තිබ්බ නිසා යූ ටියුබ් එකේ රස්තියාදු වෙවී ඉන්නකොට අහම්බෙන් වගේ මේක බලන්න සෙට්වුනා! (ඔව් යූ ටියුබ් තියෙනවා බලන්න )
දැන් ඉතිං මේ ෆිල්ම් එකේ නම බහුබාර්යා නිසා, සහ වැඩිහිටියන්ට පමණයි නිසා, කැත හිතකින් යුතුව බලන්න සෙට් උනත්, මේක එහෙම දෙකයි පණෙහෙ ආතල් දෙන ෆිල්ම් එකක් නොවෙන බව නම් මුල හරියෙදිම තේරුනා. ඉතිං එහෙම අදහසකින් මේක බලන්න එපා. මේ චිත්‍රපටය තුළ ඇත්තටම රස විඳින්න පුලුවන් හොඳ කතාවක් තියෙනවා සහ, කම්මැලිකමක් නැතුව කෙලවර දක්වා එක ලෙසටම බලන්න පුලුවන් විදියට කතාව ගලන් යනව.
කොහොම උනත් මේක වැඩිහිටියන්ට පමණයි එකක්නෙ, ඉතිං ඇත්තටම මේකෙ ලිංගික දර්ශන තියෙනවා තමා .හැබැයි ඒ හැම එකක්ම කතාවට අවශ්‍යය නිසා කතාව කියන්න නැතුව බැරි නිසා තියෙන ඒව මිසක් චිත්‍රපටය මාකට් කරන්න ඕනෙ නිසා බලෙන් ඔබපුව කියන්න බෑ.
මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රඟපාන්නෙ සංගීතා වීරරත්න , රන්ජන් රාමනායක සමග වසන්ති චතුරාණි. මේ තුන්දෙනාම තමන්ගෙ කාර්‍ය ඉතාමත් මැනැවින් ඉටු කරන බව පේනව. විශේෂයෙන් සංගීතා වීරරත්න, වෘත්තීය නිලියක් කියන දේ කොච්චර බරපතල දෙයක්ද කියන එක ඔප්පු කරලම පෙන්නනව කිව්වොත් හරි. දැන් ඉන්න සීනි බෝල නිළියන්ට මේ වගේ අයගෙන් ඉගෙනගන්න ගොඩක් දේ තියෙන බවනම් පැහැදිලියි. මේ චිත්‍රපටය තුළ ලිංගික දර්ශන සියල්ලටම පෙනී ඉඳල තියෙන්නෙ සංගීතාමයි. වෙනත් ආදේශක නිළියන් භාවිතා කරල නෑ. ක්‍රියාදාම දර්ශන සඳහාත් පෙනී ඉන්නෙ ඇයමයි. වසන්ති සහ රන්ජන් උනත් එහෙමයි. මේ ෆිල්ම් එකේ අවසන් ජවනිකාව රූගත කරල තියෙන්නෙ රන්ජන් රාමනායකගෙ ඇත්තම නිවසේදී වීමත් විශේෂයි.
ඉතිං ගොඩක් විස්තර ඕනෙ නෑ. දැන් යූ ටියුබ් තියෙන නිසා හැමෝටම බලන්න පුලුවන්. මේක උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගෙ චිත්‍රපටයක්. පස්සෙ පස්සෙ එයා ගොන් ෆිල්ම්ස් හැදුවට ඉස්සර හොඳ ඒව හදල තියෙන බව ඔබට තේරුම් යයි මේක බැලුවම. ඇත්තටම මේ ෆිල්ම් එක සිංහල සිනමාවෙ කලාතුරකින් දකින්න ලැබෙන ක්‍රයිම් ත්‍රිලර් වර්ගයෙ ෆිල්ම් එකක් .

Jungle (2017)

ඒකාකාරී ජීවිතෙන් මිදෙන්න කියල අපි ට්‍රිප් යනව, ඇඩ්වෙන්චර් එකක් තියෙන්න ඕනෙ අප්ප මේ ජීවිතේ... මොනාද නිකං හැමදාම උදේ යනව හවස එනව හැම දවසක්ම කලින් දවසෙ ෆොටෝකොපියක් වගේ... කියල හිතල, ඒකෙන් මිදෙන්න වෙනසක් ඕනෙ කියල ට්‍රිප් යන්න, හයික් යන්න ප්ලෑන් කරනව. ඒත් ඉතිං ඒකෙත් පොඩි අවුලක් තියෙනව නේද කියල හිතෙන්නෙ නැද්ද? මොකද ඉතිං ඔය ටක්කෙට ප්ලෑන් කරල යන ට්‍රිප් වල උදේ පිටත් වෙන වෙලාව, උදේට කන්න නතර කරන තැන , දවල්ට නාන තැන , රෑට ඉන්න තැන වගේ ඔක්කොම දේවල් කලින්ම තීරණය වෙලා ඉවරයිනේ . ඉතිං ආයිත් අපි වැඩ කරන්නෙ කාලසටහනකට අනුව වෙනව නිකම්ම. කොටින්ම මුලු ට්‍රිප් එකම ප්ලෑන් කරන්නෙ, ආපහු අහවල් දවසෙ අහවල් වෙලාවට ගෙදර ඇවිල්ල පහුවෙනිද රස්සාවට, ඉස්කෝලෙට යන්න පුලුවන් වෙන විදියට . කොටින්ම කිව්වොත් අර කලින් කිව්ව ඇඩ්වෙන්චර් එකත් ශෙඩියුල් එකකට අනුව තමා කරන්න වෙන්නෙ. ඒකට ඉතිං වෙන කරන්න දේකුත් නෑ. අපි මේ ජීවිත වලට බැඳිල තියෙන රැහැන් වලින් මොහොතකට නිදහස් වෙන්න හිතාගෙන ඔය වගේ ගමන් ගියත් ඇත්තටම වෙන්නෙ අපේ සුපුරුදු කාක්ෂිකයෙන් මිදීමක් නෙවෙයි , ඉලාස්ටික් එහෙකින් වගේ අපේ ජීවිත කාක්ෂිකයෙන් ටිකක් ඈතට ඇදිල ගිහින් ආයින් පුරුදු ජීවිතේටම ඇදිල එනව ගියාට වඩා වේගෙන්.
හරි, ඔය ඉතිං අපි ට්‍රිප් යන හැටිනෙ. ඒත් 1980 දී යොසී කියන ඊශ්‍රායල් ජාතික තරුණයා , දකුණු ඇමරිකාවෙ ඇමේසන් වනාන්තරයේ සංචාරය කරන්න හිතන්නෙ , අපි ට්‍රිප් යන තාලෙට නෙවෙයි . ඒ කියන්නෙ ඔහුයි තව මිතුරන් දෙන්නෙකුයි මග පෙන්වන්නෙකුයි ඇමේසන් වනාන්තරයේ ඇතුලට යන්නෙ කලින් හදාපු කාලසටහනකට අනුව වැඩ කරන්න නෙවෙයි. ඉතිං එහෙම බැලුවම ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට ඇඩ්වෙන්චර් එකක් නේද? ඇඩ්වෙන්චර් කෙසේ වෙතත් අන්තිමට ඒ කට්ටත් පන්නල, ඒක ජීවිතය සහ මරණය අතර සර්වයිවල් ගේම් එකක් බවට පත්වෙන්නේ ඔවුන්ටත් නොදැනීමයි.
ඉතිං, අපිට ඇත්ත ජීවිතේ මේ වගේ අමු ඇඩ්වෙන්චර් කරන්න චාන්ස් නැති වුනත්, එහෙම එකක් බලලවත් සැනසෙන්න පුලුවන් මේ චිත්‍රපටය තුලින්.
මම නම් සෑහෙන කාලයක් බලන්න බලාපොරොත්තුවෙන් හිටපු ජාතියෙ චිත්‍රපටයක් මේක, ඒ කියන්නෙ කැලෑවක් ඇතුලෙ තියෙන ගූඪ බව, භයානකකම සහ අවිනිශ්චිතතාව , රූපයෙන් වගේම ශබ්දයෙනුත් මදි නොකියන්න ලබා දෙන ෆිල්ම් එකක් කියල හඳුන්වන්න පුලුවන්. අනික මේක ඇත්ත කතාවක් නිසා, සැර තවත් වැඩියි.
මග අරින් නැතුව බලන්න එහෙනම්. මේකෙ රේටින්ග්ස් නම් මදි කියලයි මට හිතන්නෙ. ඩැනියෙල් රැඩ්ක්ලිෆ්ගෙ රඟපෑමත් අගය කළ යුතුමයි.
මූණු පොතේ කතා බහ

V for Vandetta (2005)

බලල නැත්තං බලන්න හොඳ ෆිල්ම් එකක් තියෙනවා . V for Vandetta... මේ ෆිල්ම් එකට අද දවසත් , ඒ කියන්නෙ නොවැම්බර් පස්වෙනිද එක්කත් ලොකු සම්බන්ධයක් තියෙනවා .
🔱අතීත කතාව :
බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහල , එකාලෙ රජකරපු පළවෙනි ජේම්ස් රජ්ජුරුවන්ව මරල දාන්න කට්ටියක් සැලසුම් කලා. මේකට කියන්නෙ , gun powder plot එක කියල . මේක කරන්න සැලසුම් කලේ 1605 අවුරුද්දෙ නොවැම්බර් පස් වෙනිද. හැබැයි ඕක හරි ගියෙ නෑ. ඒක කරන්න සෙට් වුනු අයව පහු වෙලා එල්ලල මරල දැම්ම. ( මේ කතාව අනුසාරයෙන් Gunpowder කියල අලුතින් ටිවී සීරිස් එකකුත් ඇවිල්ල තියෙනව) 🔱
ඉතිං ඔය කුමන්ත්‍රණයෙ එක් හවුල් කාරයෙක් තමා ගයි ෆෝක්ස් (Guy Fawkes) කියන්නෙ . අන්න එයාගෙ මූණට සමාන වෙස් මූණක් තමා අර කිව්ව ෆිල්ම් එකේ, V for Vandetta එකේ, ප්‍රධාන චරිතය කරන " V" කියන චරිතය පැලඳගෙන ඉන්නෙ චිත්‍රපටය පුරාවටම. සාමාන්‍යයෙන් මේ වෙස් මුහුණ, ඒකාධිපති බලයකට එදිරිව නැගී ඉන්න පීඩිතයන්ගෙ සංකේතයක් විදියට එහෙමත් නැත්තං රජයේ දූෂණයට විරුද්ධව නැගෙන මහජන හඬේ පුද්ගල පෞරුෂයක් විදියට යොදා ගැනෙනව.
ඉතිං මේ ෆිල්ම් එකේ කතාවත් අර ඓතිහාසික සිද්ධිය පදනම් කරගෙන, අනාගතයේ සිදුවෙන එකක් විදියට තමා යන්නෙ. ප්‍රධාන සිද්ධිය වෙන්නෙත් නොවැම්බර් පස් වෙනිදටම තමා. අදම හොයාගෙන බලන්න . කොහොමත් මේක බලද්දි මාර විප්ලවවාදී ගැම්මක් එනව.
මූණු පොතේ කතා බහ

Monday, November 13, 2017

Artificial Intelligence (2001)

අන්තිමේ දුක වාවගන්න බැරුව ඇහෙන් කඳුලක් වැටුනු ඔබ බලපු චිත්‍රපටය මොකද්ද ? කිහිපයක්ම තියෙනවා මට නම් ඒත් මුලින්ම වගේ තියෙන්නෙ මෙන්න මේක , Artificial Intelligence , 2001 අවුරුද්දෙ ආපු science fiction ෆිල්ම් එකක්. මං හිතන්නෙ මේක ගොඩක් අය බලල ඇති මොකද මේක සිරසෙ කීප වතාවක් ගියා (මතක විදියට හඬ කවලත් ගියා) මේ ෆිල්ම් එකෙන් කියන්නෙ මනුස්සයෙක් වෙන්න උත්සාහ කරපු ඩේවිඩ් කියන රොබෝ ළමයා ගැන.... අම්මාගේ ආදරය හොයං ගිය රොබෝ ළමයෙක් ගැන... බලපු කට්ටිය නම් දන්නව ඇතිනෙ අන්තිමට මොකද වෙන්නෙ කියල ? ඔව් ඔව් . බලන එකාටනම් ඇඬෙනව තමා. ස්පොයිල් කරන්න ඕනෙ නෑ. මේක බලල නැත්තං අනිවා බලන්න.
විද්‍යා ප්‍රබන්ධයක් කිව්වට මොකෝ මට නම් හිතෙන්නෙ විද්‍යාව පසුබිම් කරගෙන විශ්වයටම පොදු වුනු සත්‍යයක් වෙන අනිත්‍ය බව සහ ඒක නිසා ඇතිවෙන "නොවැලැක්විය හැකි" , "පලා යා නොහැකි ", "කවදා හෝ විඳීමට සිදුවන" දුක හිතට තදින්ම දැනෙන විදියට හදපු නිර්මාණයක් කියලයි. අන්න ඒ හිත කීරි ගැහැන දුකට ඔබටත් මේ චිත්‍රපටය අන්තිමේදී මූණ දෙන්න සිද්ධවෙනව මේ රොබෝ ළමයත් එක්ක.
ප්‍රමාද වෙලා හෝ ඩේවිඩ්ගෙ හීනය සැබෑ උනත්, ඒක අසම්පූර්ණයි ඒ වගේම තාවකාලිකයි. හැබැයි ඩේවිඩ් ඒක දැනගෙන හීනය හීනයක් විදියටම බාර ගන්නව. ඔබ මේ ඩේවිඩ් කියන රොබෝට අනුකම්පා කරයි අන්තිමට මේ නිසා. ඒත් පොඩ්ඩක් ඔබ ඔබ ගැනමත් හිතල බලන්න ඊළගට.... ඔබේ හීනත් තාවකාලිකයි නේද ? අඩුගානේ ඩේවිඩ් තේරුම් ගන්නව ඒ සතුට තාවකාලික බව. ඔබ, මම, අපි එය තේරුම් අරන්ද ඉන්නෙ? ඩේවිඩ් හොයන දේ ඔබට හමුවුනාද? අනාගතයේ කෙනෙක් ඔබව මතක් කරයිද? ඔබ කියා කෙනෙක් මේ ලෝකෙ හිටියා කියල කියන්නවත් කෙනෙක්ට මතකයක් වත් තියෙයිද? තව අවුරුදු දාහකින් වගේ ? කාලය ඉදිරියේදි මේ ඔබ සහ මම කියන සංකල්ප සහ අපේ ජීවිත තුළ ගොඩ නගාගෙන ඉන්න හීන, බලාපොරොත්තු ඉතා කුඩා අංශු මාත්‍රයක් වෙලා අතුරුදහන් වෙලා යයි කියල හිතෙන කොට තවත් දුක හිතෙයි. ඒත් ඉතිං ඇත්ත ඒකයි.
තව පොඩි දෙයක් එකතු කරන්නනම්, මේ චිත්‍රපටය මුලින්ම අධ්‍යක්ෂණය කරන්න ඉඳලා තියෙන්නෙ ස්ටැන්ලි කුබ්‍රික්. නමුත් ඔහු මේ ප්‍රොජෙක්ට් එක කල් දාල තියෙනව, මේ චිත්‍රපටය තුළ එන රොබෝව නිර්මාණය කරන්න තරම් පරිඝණක දෘශ්‍ය ප්‍රයෝග තවමත් දියුණු නැහැයි කියල . ඒ කියන්නෙ ඔහු ස්ථීරවම විශ්වාස කරල තියෙනවා , මේ කතාවෙ එන රොබෝ ළමයාගෙ චරිතය, ඇත්තම ළමා නලුවෙක්ව යොදා ගෙන කොහොමත් කරන්න බැරි වෙයි කියල. කොහොමෙන් කොහොම හරි ස්ටැන්ලි කුබ්‍රික් නිර්මාණය නොහදාම මිය යනව. පස්සෙ වැඩේ බාරගන්නෙ ස්ටීවන් ස්පිල්බර්ග්. ඔහු මේ රොබෝ චරිතය පරිඝණකයට බාර දෙන්නෙ නෑ, ඒ වෙනුවට හැලී ජොයෙල් ඔස්මන්ට් කියන ළමා නලුවව තෝරා ගන්නව. ඉතිං ඔහු ඒ චරිතයට කොච්චර සාධාරණයක් ඉෂ්ට කරල තියෙනවද කියන එක බලපු අය දන්නවනෙ....
තවත් දෙයක් ... මේ ෆිල්ම් එකේ ටැග් ලයින් එකත් සුපිරියි, අදටත් මතකයි. : His love is real, but he is not...
මූණු පොතේ කතා බහ