Wednesday, December 27, 2017

The Mountain Between Us (2017)

මේක නොබලන්න කියල ඉඳලා, පස්සෙ හිත වෙනස් වෙලා බැලුව. හොඳයි . පට්ට නෑ . ඒත් අවුලකුත් නෑ . කතාව චුට්ටක් හරි කිව්වොත් ස්පොයිල් වෙන නිසා මම "බලු මැක්කා" තියරිය අනුව යමින් දෙයක් කියන්නං 😃
මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙකයි තියෙන්නෙ . එකක් කරන්නෙ කේට් වින්ස්ලට්, අනික ඉඩ්‍රිස් එල්බා. මුන් දෙන්නම බේරෙයිද, එකෙක් බේරෙයිද, දෙන්නම මැරෙයිද, මැරෙන්න කලින් අහවල් වැඩේ කරයිද වගේ 'ගැඹුරු' ප්‍රශ්න රාශියක් ඔබට මේ ෆිල්ම් එක බලද්දි ඇති වෙයි. මටත් ඇති වුනා. ඊට අමතරව මට තිබ්බ ගැටලුවක් තමා, මේකෙ නමේ තේරුම මොකද්ද කියන එක. ඒ කියන්නෙ, The Mountain Between Us, කියන එකේ අමු සිංහල තේරුම ගත්තොත්, "අපි අතර තිබෙන කන්ද" කියලනෙ එන්නෙ. දැන් එහෙම කන්දක් තිබ්බද? ඒකට මොකද උනේ? කන්ද තරණය කළාද? වගේ විදග්ධ ප්‍රශ්න වගේම , හදවත කියන්නෙ මාංශ පේශියක් විතරද ? වගේ නරුම ප්‍රශ්නත් ආවා.
හැබැයි ඔය හැම ප්‍රශ්නෙකටම වඩා හිතට වද දීපු ප්‍රශ්නයක් තිබ්බ මුල ඉඳංම... ඒක තමා, "බල්ලා මැරෙයිද?" කියන එක.
මොන බල්ලෙක්ද? ඔව් . මේකෙ ප්‍රධාන චරිත දෙකට අමතරව ලැබ්‍රඩෝ රිට්‍රීවර් වර්ගයෙ බල්ලෙකුත් ඉන්නව. ප්‍රධාන කතන්දරය ඇතුලෙ අර ජෝඩුව නානාප්‍රකාර දේවල් කරනව ඉතිං .... ඒත් ඒව ඔක්කොමත් එක්ක උන් දෙන්නවත් අමතක කරලම දැම්මත්, මේ ශෝයි බලු නාම්බා හිම ගොඩේ එහාට මෙහාට දුවන එකම බලං ඉන්න පුලුවන් පැය දෙකම උනත් 😍 ඉතිං ඌට මොකක් හරි අතුරු ආන්තරාවක් වෙන්න ඉඩ ඇරියොත්, අර ඩබලත් කදු පල්ලෙ වැටිල මැරිලම පලයං කියන එක තමා මගේ ඒකායන පැතුම උනේ...😂 ඊට අමතරව, ඌ කෑවද බිව්වද, ඌට සීතලේ හැදෙයිද වගේ දේවල් ගැන නිතරම සිහි උනා මටනම් ෆිල්ම් එක පුරාම.
හරි හරි, මං ඉස්පොයිල් කොරන් නෑ. උඩ තියෙන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර මේක බලලම හොයා ගන්නකො.
තව පොඩි දෙයක් කියන්නං. මේ ෆිල්ම් එකේ යූ ටියුබ් වල තියෙන ඔෆීශියල් ට්‍රේල එකේ, පලවෙනි කමෙන්ට් එක විදියට තියෙන්නෙ , “As long as the dog doesn’t die, I’m good,” කියන එක.... ඒ කියන්නෙ , මොනා නැතත් බල්ල මැරෙන් නැත්තං එච්චරයි .... වගේ අර්ථයක් . කොහොමත් අපිටත් වඩා බල්ලන්ට සලකනවනෙ බටහිර රටවල්, ඉතිං මේ ෆිල්ම් එකේ ට්‍රේල එක බැලුවම, මේකෙ ඉන්න බල්ලට අනතුරක් වෙයිද කියල දෙගිඩියාවක් ඕන කෙනෙක්ගෙ හිතේ ඇති වෙනව... එහෙම අනතුරු වෙලා බල්ල මැරෙන කතා බලන්න වැඩි දෙනෙක් කැමති නෑ. ඒ කියන්නෙ ෆිල්ම් එක රිජෙක්ට් වෙනව. ඒක නිසා, මේ ෆිල්ම් එක රිලීස් වෙන්න කලින්, නිෂ්පාදන සමාගම, කතාව යම් පමණින් ස්පොයිල් උනත්, බල්ලගෙ ඉරණම මොකද්ද කියල ෆිලුම් එකේ නිල ෆේස්බුක් පේජ් එකේ පළකලා. දැන් ඒක මොකද්ද අහන්න එපා ඉතිං . 😃
අවසන් වශයෙන්, ඔන්න ඔය වගේ ප්‍රශ්න, ඒ කියන්නෙ මොකක් හරි ෆිල්ම් එහෙක, බල්ලො මැරෙන සීන් තියෙනවද, ළමයි මැරෙන සීන්, සරපයි ඉන්න සින්, දූෂණය කරන සීන් ආදී මෙකී නොකී කෙනෙක්ට බලන්න අපහසු සීන්ස් මොනා හරි තියෙනවද කියල කලින් දැන ගන්න පුලුවන් වෙබ් සයිට් එකක් තියෙනවා . මේකට ගිහින් අදාල ෆිල්ම් එකේ නමින් search කරල තමන්ට අවශ්‍ය ප්‍රශ්නය අහල ඒවගේ සීන් තියෙනවද නැද්ද කියන එක කලින් දැනං යන්න පුලුවන් . ස්පොයිල් වීම් අවම වෙන විදියට මේක හදල තියෙන නිසා, සෑහෙන වටින සේවාවක් . විශේෂයෙන්ම අපිත් කලින් නොබලපු ෆිල්ම් එකක්, පවුලේ සැමත් එක්ක බලන්න වාඩි වෙන්න කලින්, පොඩ්ඩක් මේ සයිට් එක පැත්තට රවුමක් ගහල එන එක වටිනව.... සයිට් එකේ නමත් ශෝක්. www.doesthedogdie.com.  😁 ගිහින් බලන්න . ෆිල්ම් එකත් බලන්න .
මූණු පොතේ කතා බහ

Tulip Fever (2017)

මීට අවුරුදු හාරසීයකට විතර කලින් ඕලන්දක්කාරයොන්ට, එහෙමත් නැත්තං ලන්දේසීන්ට (දැන් නෙදර්ලන්තය) අමුතු "උණක්" හැදුන. උණක් කියන්නෙ මේනියාවක්: සල්ලි තිබ්බ හැමෝම වගේ ටියුලිප් මල් වල බල්බ (ගහේ පසට යටින් ඇති ළූණු ගෙඩිය වගේ කොටස) සල්ලි වලට ගත්ත . එහෙම අරං ඊටත් වඩා වැඩි මුදලකට වෙන්දේසියේ විකුණුවා. හොඳ හොඳ ලස්සන සහ දුර්ලභ ටියුලිප් මල් වල බල්බ, හිතාගන්න බැරි ලොකු ලන්සු වලට වෙන්දේසියේ විකිණුනා... එතකොට එහෙම ලැබෙන සල්ලි වලින් සමහරු අක්කර ගනන් අරං ඒවයෙ ටියුලිප් වගා කලා... ඒව ආපහු වෙන්දේසි කළා. එහෙම කරල සමහර අය ලොකු සල්ලි කාරයො උනා. හැබැයි , මේක මේනියාවක් . මොකද මේ ටියුලිප් මල් බල්බ වලට තිබ්බෙ, ඇත්ත වටිනාකමක් නෙවෙයි. හැමෝම වටිනාකමක් ලබාදීපු නිසා ලැබුනු කෘතිම වටිනාකමක් මිසක් , නිරපේක්ෂ වටිනාකමක් නෑ . ඉතිං මේක ඇත්තටම සූදුවක් වගේ.... සරලව කිව්වොත් , තමන් ලඟ තියෙන ටියුලිප් මල් බල්බ වටින්නෙ, ඒව තව කෙනෙක් ලොකු ගානක් දීල ගන්නව කියන "සම්මතය" තියෙනකං විතරයි . ඉතිං ඔහොම ගිහිල්ල එක මොහොතකදි, මේ වාණිජමය පෙණ බුබුල පුපුරල ගියා . ඒ කියන්නෙ , හිටි ගමන් ටියුලිප් බල්බ වලට මිනිස්සුම දීල තිබ්බ වටිනාකම, මිනිස්සුම ප්‍රතික්ෂේප කළා... එක්දාස් හයසිය තිස් හතේ, පෙබරවාරි මාසෙ දවසක තිබ්බ වෙන්දේසියකදි, ටියුලිප් කාටවත්ම ඕන උනේ නෑ ... ඉතිං අර අක්කර ගනන් ටියුලිප් වගා කරගෙන , ඒවට සෑහෙන සල්ලියක් යට කරපු උන්ට සරලවම "කෙළ උනා". හැබැයි මේකෙන් ගොඩ ගිය අයත් හිටියා.
හරි , කොහොම උනත් ඔය කෙටියෙන් කිව්වෙ, Tulip Fever චිත්‍රපටය පසුබිමේ යන කතන්දරයක් . චිත්‍රපට කතාව ඕක නෙවෙයි . මේ ෆිල්ම් එක කාගෙවත් වැඩි අවධානයට ලක් උනේ නැතත්, ලස්සන කතාවක් තියෙන ෆිල්ම් එකක් . කම්මැලි නැතුව බලන්න පුලුවන් . බාගයක් බලල ඉතුරු ටික පහුවෙනිද බලනව කියල පටන් ගත්තු එක අන්තිමේ එක සැරේට බලල ඉවර කලා. මේක ඉතිං මහා ගැඹුරු එකක් නං නෙවෙයි. ආදරය, දරුවො, සල්ලි වගේ අපි ජීවිතේ පුරා වැඩි වැඩියෙන් හොයන, බලාපොරොත්තු වෙන දේවල් හොයාගන්න මිනිස්සු වෙහෙසෙන හැටි, වෙහෙසිලා හෙම්බත් වෙන හැටි , එපා වෙලා අතඇරල යන හැටි.... මේව ලංකාවේද , ඕලන්දෙද , එක්දාස් හයසීයෙද, විසිඑක්වෙනි සියවසේද කියල වෙනස් වෙන්නෙ නෑ ... ඒක තමා මේ චිත්‍රපටය තුළත් පෙන්නන්නෙ. ඒක නිසා, ඕන කෙනෙක්ට රස විඳින්න පුලුවන් හොඳ ෆිල්ම් එකක් කියල හඳුන්වන්න පුලුවන්. මග ඇරුනනං බලන්න එහෙනං....
මූණු පොතේ කතා බහ

Newton (2017)

< ඡන්දෙ කියන්නෙ මහත්තයට ලොකු දෙයක් කියල අපි දන්නව ....
ඒත් වෙනස් වෙන්නෙ එක දෙයයි; රාමු කරපු පින්තූරෙ ඉන්න නායකයගෙ මූණ විතරයි ....
මිනිස්සු බඩගින්නෙද නැද්ද කියන එක නෙවෙයි වැදගත් . ඒයාලගෙ ඡන්ද අයිතියයි වැදගත් ....>
මේ , Newton චිත්‍රපටයෙන් උපුටා ගත්ත කොටසක්. ලංකාවටත් ලස්සනට ගැලපෙනව .
මේ ෆිල්ම් එකේ පෙන්නන්නෙ ඉන්දියාවේ මාවෝවාදී ගරිල්ලන්ගෙ තර්ජන තියෙන පැත්තක, ඡන්දයක් තියන විදිය. ලංකාවේ තත්ත්වය මේ තරම් දරුණු නෑ. එක අතකට හිතෙනවා ඉන්දියාවට සාපේක්ෂව අපි සෑහෙන්න හොඳයිනෙ කියල . ඒකට බලපාල තියෙන්නෙ මට නම් හිතෙන විදියට , ලංකාවේ දෙමව්පියන් කන්න නැති උනත් ළමයින්ට උගන්නන්න වෙහෙසෙන නිසා , සාක්ෂරතාව පැත්තෙන් ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් ඉන්න එක. අනික ලංකාව ඉන්දියාවට සාපේක්ෂව පුංචි රටක් නිසා, ප්‍රධාන සමාජ ධාරාවෙන් හුදෙකලා වුනු ප්‍රදේශ ඇති වෙන්න පුලුවන් ඉඩ අඩු වීම.
කොහොම වෙතත් අපිට සතුටු වෙන්න පුලුවන් ෆිල්ම් එකේ අන්තර්ගත කතාව ගැන හිතල විතරයි . සම්පුර්ණ චිත්‍රපටය ගත්තම , චිත්‍රපට හැදිල්ල අතින් ඉන්දියාව අපිට වඩා කොච්චර ඉදිරියෙන්ද කියල දැනුනම දුකයි. මේ ෆිල්ම් එක 2018 අවුරුද්දෙදි ඔස්කා සම්මාන උළෙලේ , හොඳම අන්‍ය භාශා චිත්‍රපට අතර, ඉන්දියානු නියෝජනය විදියට තෝරගෙන තියෙනවා . ලංකාවේ ෆිල්ම් එහෙකට එහෙම වෙන්න කවදා පුලුවන් වෙයිද ?
මූණු පොතේ කතා බහ

Wednesday, December 13, 2017

Dunkirk බලපු අයට

දැන් මොකද්ද ඒකෙ අග මුල මාරු වෙලා, දෙකට බෙදිල, කතාව පටලවල කියල කියන්නෙ කට්ටිය ? අරේඛීයයි කියලත් කියනවනෙ? මට නම් එහෙම මුකුත් පටලැවිල්ලක් දැනුනෙ නෑ .
සරලව කතාව කිව්වොත් , දෙවෙනි ලෝක යුද්ධෙ කාලෙ, 1940 අවුරුද්දෙ , බ්‍රිතාන්‍යය අධිරාජ්‍ය ඇතුළු මිත්‍ර පාර්ශ්වික (allies ) රටවල් ජර්මන් නාසි හමුදාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනව. නාසි හමුදාව , ප්‍රංශය යටත් කරගන්න එනකොට , ඒක වලකන්න මිත්‍ර පාර්ශ්වික හමුදාව ගියාට අන්තිමේ කෙළ වෙලා, ප්‍රංශයේ ඩන්කර්ක් වෙරළෙ කට්ටියම කොටු වෙනව...බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ සොල්දාදුවො ටිකක් (කිව්වට ගොඩක් ) ඉන්නව Dunkirk වෙරළෙ. උන්ව බේර ගන්න එන Destroyer වලටත් ගහනව ජර්මන් හමුදාවෙන්. ඉතිං එහෙම ගහන්න එන නාසි ප්ලේන්ස් වලට බ්‍රිතාන්‍යයේ ගුවන් හමුදාවෙන් ප්‍රහාර එල්ල කරල අන්තිමේ කොහොම හරි හිතුවට වඩා වැඩි සෙබළු ප්‍රමාණයක් බේර ගන්න ලැබෙනව. ඇත්තටම වින්ස්ටන්ට් චර්චිල් බලාපොරොත්තු වෙන්නෙ තිස් දාහයි උපරිම බේරෙයි කියල ඒත් ලක්ෂ තුනක් විතර බේරගන්න පුලුවන් වෙනව කොහොම හරි. කොහොම හරි කිව්වට ඒක කරන්න පුලුවන් වෙන්නෙ සාමාන්‍ය ධීවර බෝට්ටු බ්‍රිතාන්‍ය රජයේ විශේෂ ඉල්ලීමකට අනුව සෙබළු බේර ගන්න බ්‍රිතාන්‍යයේ සිට ඉංග්‍රීසි ඕඩය හරහා ප්‍රංශයේ ඩන්කර්ක් වෙරළට යන නිසා... ඉතිං මේ සිද්ධිය වෙච්චි විදියට තමා පෙන්නන්නෙ . මට නම් මුකුත් පටලැවිල්ලක් උනේ නෑ . මෙහෙමයි ඉතිං ෆිල්ම් එකක් පෙන්නද්දි, එක සැරේ වෙන සිද්ධි කිහිපයක් , එක සැරේට තිරේ මත පෙන්නන්න බෑනෙ. එක ස්ක්‍රීන් එකයිනෙ තියෙන්නෙ ඉතිං ඒක දෙකට තුනට වෙන් කරල පෙන්නන්න පුලුවන් ඉතිං එතකොට බලන එකා මංඤං වෙන නිසා එකක් පෙන්නල තමා ඊලග එක පෙන්නන්න වෙන්නෙ. එහෙම පෙන්නුව කියල ඉතිං ඒක non linear වෙන්නෙ නෑ .
දෙවන ලෝක යුද්ධ ෆිල්ම්ස් ගත්තම දැනට වැඩිම ආදායමක් උපයලා තියෙන්නෙ Dunkirk තමා . හැබැයි මට නම් මීට වඩා Hacksawridge, Saving Private Ryan වගේ ඒව දැනුන. සමහර විට ඉතිං මේක නොලාන්ගෙ නිසා ඒ රස්නෙත් බලපාන්න ඇති. මේ ෆිල්ම් එකේ මියුසික් එකෙත් විශේෂ ගතියක් තියෙනවා . නිකං රිදම් එක නොනවත්වා වැඩි වෙනව වගේ දැනෙනව නේ? නිකං කොයි වෙලේ හරි "පුපුරයි" වගේ හැඟීමක් එනව. හැබැයි ඒක උපරිමයකට යනව මිසක් එතෙන්ට ලං වෙන් නෑ . අන්න ඒ නිසා හරිම අසහනකාරී අවිනිශ්චිත ගතියක් දැනෙනව . ඒකට විශේෂ ටෙක්නික් එකක් පාවිච්චි කරල තියෙනවා හෑන්ස් සිමර්. පොඩ්ඩක් යූ ටියුබ් බලන්න . ප්‍රංශය , ඉංග්‍රීසි ඕඩය, බ්‍රිතාන්‍යය සහ ජර්මනිය ලෝක සිතියමේ තියෙන්නෙ කොහොමද කියල බැලුවම ඉතාමත් පහසුවෙන් අවබෝධ කරගන්න පුලුවන් සම්පූර්ණ සිද්ධිය .
මූණු පොතේ කතා බහ

Interstellar අතුරු කතාවක් ...

අපි හැමෝම දන්න දෙයක් තමා මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ ක්‍රිස්ටෝෆ නොලාන් කියන එක. හැබැයි ඉතිං ඊටත් කලින් මෙහෙම ෆිල්ම් එකක් හදන්න ඕනෙ කියල මුලින්ම අදහස ඇවිල්ල තියෙන්නෙ ක්‍රිස්ටෝෆට නම් නෙවෙයි . Linda Obst කියන චිත්‍රපට නිෂ්පාදකවරියගෙ හිතේ තමා මේකෙ මුල් වස්තු බීජය හට ගන්නෙ. ඔන්න ඊට පස්සෙ ලින්ඩා එයාගෙ යාලුවෙක් එක්ක මේ ගැන කතා කරනව. යාලුව තමා Kip Thorne , කිප් තෝර්න් කියන්නෙ, ඇමරිකාවෙ, California Institute of Technology (Caltech) වල න්‍යායික භෞතික විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරයෙක්. ඉතිං එයත් මේ අදහසට කැමති වෙලා , දෙන්නම එකතු වෙලා මේ අදහස තවදුරටත් කතාවක් විදියට හදාගන්න උත්සාහ කරනව. කතාවක් තිබ්බට මදිනෙ ඉතිං, චිත්‍රපටයක් කරන්න අධ්‍යක්ෂවරයෙක් ඉන්න එපැයි, ඔහොම ඉද්දි ලින්ඩට හම්බෙනව ස්ටීවන් ස්පිල්බර්ග්ගෙ ඒජන්ට් කෙනෙක් .( මේ 2006 අවුරුද්දෙ ) එයත් එක්ක කතා බහ කරල මේ අදහස ඔහුට කිව්වම , එයා කියනව කතාව දළ සැකැස්මක් කරල එදාම එයාට එවන්න, ස්ටීවන්ට දෙන්නම් කියල. ඒ අනුව එදා හවසම කතාව ස්පිල්බර්ග්ට දෙන්න කටයුතු කරනව. කතාව කියවල ස්ටීවන් ස්පිල්බර්ග් කැමති වෙනව මේක අධ්‍යක්ෂණය කරන්න! ඒ අනුව, කිප්, ස්ටීවන් සහ ලින්ඩා මුණ ගැහිල මේ ගැන කතාබහ කරනව. කිප් යෝජනා කරනව, මෙම චිත්‍රපටය දැනට පවතින විද්‍යා දැනුමට අනුකූලවන , විද්‍යානුකූලව හැකි තරම් නිවැරැදි එකක් විදියට නිර්මාණය විය යුතුයි කියල . ඒ අනුව , මේ තුන් දෙනා තවත් විද්‍යාඥයන් දා හතර දෙනෙක් එකතු කරගෙන , සාකච්ඡා කරල කතාව නැවත සකස් කරනව, උපරිම විද්‍යාත්මක විදියට. ඉන් පස්සෙ, කතාව තිර පිටපතක් විදියට සකස් කිරීම සඳහා භාර කෙරෙන්නෙ, තිර රචක, ජොනතන් නොලාන්ට. විවිධ බාධක නිසා ප්‍රමාද වෙන තිර රචනාව ලියන වැඩේ ඉවර කරන්න පුලුවන් වෙන්නෙ 2010 වසරෙදි . ඒත් ඒ සමඟම, ස්ටීවන් ස්පීල්බර්ග් මේ ප්‍රොජෙක්ට් එකෙන් ඉවත් වෙනව, ඔහු සහ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්න භාර වුනු පැරමවුන්ට් සමාගම අතර ඇතිවෙන මත භේදයක් නිසා. ඊටත් ටික කාලෙකට පස්සෙ, ලින්ඩා සහ ක්‍රිස්ටෝෆ නොලාන්ගෙ බිරිඳ වන එමා අතර තියෙන මිතුරුකම හරහා, මේ ප්‍රොජෙක්ට් එක ක්‍රිස්ටෝෆ නොලාන්ට ලැබෙනව. ඒත්, ඔහු සාමාන්‍යයෙන් චිත්‍රපට කරන්නෙ, වෝනර් බ්‍රදර්ස්ලත් එක්ක නිසා, මේකට එයාලවත් සම්බන්ධ කර ගන්න ඕනෙ කියල ඔහු කියනව. ඉතිං සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රි එකේ එදිරිවාදීන් විදියට කටයුතු කරන පැරමවුන්ට් සහ වෝනර් බ්‍රදර්ස් චිත්‍රපට නිෂ්පාදන සමාගම් , සාකච්ඡා වට ගනනාවකට පස්සෙ, මේ ෆිල්ම් එක වෙනුවෙන් එකට වැඩ කරන්න එකඟ වෙනව. (ෆිල්ම් එක පටන් ගද්දි මේ දෙගොල්ලගෙම ලෝගෝ දානව ) ඔන්න ඔහොම ජල්බරි ගොඩාක් වෙලා යන්තං ෆිල්ම් එකේ වැඩ පටන් ගන්නෙ 2012 අවුරුද්දෙදි .
මේ චිත්‍රපටයේ විද්‍යා උපදේශක විදියට කටයුතු කළේ , Kip Thorne . චිත්‍රපටය කරල ඉවර වුනැයින් පස්සෙ ඔහුට අදහසක් ආව, මේ ෆිල්ම් එකේ කතා බහට ලක්වෙන සහ භාවිතා වෙන විද්‍යාත්මක සංකල්ප ටික වැඩිදුරටත් පැහැදිලි කරල පොතක් ලියන්න ඕනෙ කියල. ඒ අනුව , ෆිල්ම් එක රිලීස් වුණු 2014 අවුරුද්දෙම ඔහු The Science of Interstellar නමින් පොතක් ලියනව. ඇත්තටම මේ පොතේ Interstellar චිත්‍රපටය තුළ සිද්ධ වෙන සියලු දේවල් විද්‍යාත්මක විදියට හරිම සරලව කාටත් තේරුම් ගන්න පුලුවන් විදියට ඔහු පැහැදිලි කරල දෙනව. චිත්‍රපටය තුළ යම් අපැහැදිලි තැනක් තියෙනවා නම් මෙන්න මේ පොත කියෙව්ව නම් හරි. චිත්‍රපටය අමතක කළත් සෑහෙන දෙයක් ඉගෙනගන්න පුලුවන් පොතක් විදියට මේක හඳුන්වා දෙන්න පුලුවන්.
හරි ඔය ඇති එහෙනං .
පොතේ හැඳින්වීම කොටසෙ තිබ්බ කරුණු ටිකක් තමා ඔය උඩ කතන්දරේ වගේ ලිව්වෙ. හැබැයි පොතේ කරුණු මීට වඩා සෑහෙන රසවත් .
අවසාන වශයෙන් මේ අවුරුද්දෙ (2017) ,භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයත් ලැබුනෙ මේ කිප් තෝර්න් සහ තවත් විද්‍යඥයින් දෙදෙනෙක්ට තමා ඒ , ගුරුත්වාකර්ෂණ තරංග පිලිබඳ ඔවුන් කළ සොයා ගැනීම් නිසා.
(රූපෙ ඉන්නෙ, තිර රචක ජොනතන් නොලාන් , කිප් සමඟ ලින්ඩා)

මිහිරි මතක හද රැඳේ....2

දැන් ඔය හොඳයි කියල හිතෙන ඕනෙ ෆිල්ම් එකක් හෝල් එකට ගිහින් ටිකට් එකක් අරං බලල එන එක නතිං උනාට, පොඩි එකා කාලෙ එහෙම නෑනෙ ඉතිං. ෆිල්ම් එකක් බලන්න යන්න අම්ම හරි තාත්තා හරි එක්ක යන්න ඕනෙ. චූටිම කාලෙ. පස්සෙ ඉතිං ගෙදරින් සල්ලි ඉල්ලං යාලුවො එක්ක යනව. දැන් නම් ඉතිං හම්බ කරන නිසා මොකාගෙන්වත් අවසර ගන්න වත් සල්ලි ඉලන්නවත් ඕනෙ නෑ. හිතුන ගියා බැලුව. මට මතකයි ඔන්න ඉස්සර කාලෙ ගොඩ්සිලා ෆිල්ම් එක කොළඹ හෝල් වලට ආව. මට ඉතිං මාර ආසයි ඕක බලන්න යන්න. ඒත් ඉතිං යන්න උනේ නෑ. හැබැයි දෙවැනි වටයේදී, කොළඹ සුපිරි හෝල් වලින් ගැලවිලා, ගමේ ගොඩේ දෙකපහේ හෝල් වලට ඕක එන බව දැනගෙන මම රැකල හිටියා. හිතුව වගේම යන්තං කිරිබත්ගොඩ හිමාලි එකට ආව. ඉතිං වද කරල කරල තාත්තව කැමති කරවගත්ත ඕක බලන්න යන්න. ඔන්න කොහොම හරි යන්තං හෝල් එකට ගියා කියමුකො. හෝල් එහෙකට ගිහින් ෆිලුමක් බලනව කියන්නෙ හැමදාම නොලැබෙන අත්දැකීමක් නිසා උපරිම විඳිනව ඉතිං ඒ දවස් වල.... ඔන්න ගොඩ්සිලා සීන් එකට එන්ටර් වෙලා ෆිල්ම් එකේ කලයිමැක්ස් එක හරියෙදි මම හැරිල තාත්තා දිහා බැලුව නිකං , "දැක්කනෙ , මම කිව්වෙ නැද්ද සුපිරි කියල අපරාදෙ බලන්න ආවෙ නැත්තං " වගේ දෙයක් කියන්න හිතාගෙන , අනේ ඒ මනුස්සයට නින්ද ගිහින් !! 😲 අච්චර අර ගොඩ්සිලා කෑ ගහනව මේ මනුස්සය නිදි.! ගොඩ්සිලා දන්නව නම් ආයෙ මිසයිල දානකන් ඉන්නෙ නෑ, විලි ලැජ්ජාවට මුහුදෙ පනිනව. 😃 හරි ඉතිං කොහෙමෙන් කොහොම හරි යන්තං ගොඩ්සිලා බලා ගත්ත මම . තාත්තටත් ඉතිං හොඳට නින්ද ගියා . ඒකත් මදෑ.
ඔය ගොඩ්සිලා බලන්නත් අවුරුදු ගානකට කලින් තමා ජුරාසික් පාක් ලංකාවට ආවෙ. ඒ කාලෙ ඉතිං සූටිම සූටි බබා කාලෙ. කොටින්ම චිත්‍රපටියක් , හෝල් එකක් කියන්නෙ මොකද්ද කියලවත් තේරෙන්නෑ . ඒත් ආසයි හැබැයි . ඔන්න අම්මට කනින් කොනින් ආරංචි වෙලා තිබ්බ හොඳ ෆිල්ම් එකක් ඇවිල්ල කියල . ඉතිං අපි කට්ටියම ගියා ලිබර්ටි එකට ජුරාසික් පාක් බලන්න . ඇත්තටම අපි විතරක් නෙවෙයි , සාමාන්‍යයෙන් චිත්‍රපටි නොබලන අය පවා බහුතරයක් ඔය ෆිල්ම් එක බැලුව. මොකද ඒක ඇත්තටම බලපු හැමෝටම මින් පෙර නොවී විරූ අත්දැකීමක් වුනු නිසා. ඊට කලින් චිත්‍රපටි වල ඔය විදියට සජීවීව ඩයිනෝල ඉඳලම නෑ මම දන්න තරමින් . හරි ඉතිං , ඔන්න කොහොම හරි බැල්කනියෙම බලන්න සෙට් වුනා අපි ෆිල්ම් එක. කලිනුත් කිව්ව වගේ මේ කාලෙ මොන්ටිසෝරි යන වයසෙ ඉතිං . හැබැයි ඔය ඩයිනෝසෝර්ල ගැන එහෙම හෙන උනන්දුයි. ෆිල්ම් එක පටන් අරගත්තට ඉතිං ඉංග්‍රීසි තේරෙන්නෑනෙ. මම හිතුවෙ ඒකෙ ඉන්න අර විද්‍යාඥ ජෝඩුව අම්මයි තාත්තයි, අර පොඩි උන් දෙන්න එයාලගෙ දරුවො කියල . වයසක කෙනා තමා සීය. ඊට අමතරව ඩයිනෝල ගැන කිව්වොත් ප්‍රධාන වශයෙන් , මම "බෙල්ල දිග කොළ කන එකා" සහ "මස් කන ලොකු එකාව" කියල අඳුනගත්තා. මම හිතුවෙ, අර පොඩි මස් කන උන් ලොකු එකාගෙ පැටව් කියල . (වෙලෝසිරැප්ටර්ස්ල , ටී - රෙක්ස්ගෙ පැටව් කියල 😁) කොහොමින් කොහොම හරි ෆිල්ම් එකේ උච්ච අවස්ථාවෙ අර ටී රෙක්ස්, වාහන වලට ඇටෑක් කරල දෙවනත් වෙන්න කෑ ගහද්දී , මගෙත් දරාගැනීමේ සීමාව පැන්න. මාත් පුටුවෙන් නැගිටල ඌට නොදෙවෙනි වෙන්න හෝල් එක දෙවනත් වෙන්න යටිගිරියෙන් කෑ ගැහුව! කෑ ගහල එහෙම්ම සීට් එකේ අනික් පැත්තට හැරිල සීට් එකේ මූණ ඔබාගෙන, තාත්තෙ ඌ ගියාද කිය කිය අහ අහ හිටිය ටී රෙක්ස් සීන් එකෙන් අහක් වෙනකම්ම . 😂 ඒ යකා ගියැයින් පස්සෙ තමා යන්තං හිත හදන් ඉතිරි ටික බලාගත්තෙ. 😁 ගෙදර ඇවිල්ලත් දවස් ගානක් යනකම්ම මම හිටියෙ ජුරාසික් පාක් එකේ. පිස්සුව කොච්චර උපරිම උනාද කියනවනම් , පස්සෙ ගෙදර පොඩියට ජුරාසික් පාක් එකක් හැදුව මැටියෙන් . කොහොම උනත් ජුරාසික් පාක් කියන්නෙ , පුංචිම කාලෙ මගේ හිත වසඟ කරපු , බොක්කටම වැදුනු ෆිල්ම් එකක් . ඒ වැදිච්ච පාර තාම එහෙමයි. මේ ලඟදි ආයි ඒක බලල , ජුරාසික් වර්ල්ඩ් එකත් ඒ ගැම්මටම බැලුව . මොනා උනත් පරණ එකට මම තාම ආදරෙයි . ඒකෙ සම්පුර්ණ ගෞරවය ස්ටීවන් ස්පීල්බර්ග් මහත්තයට දෙන්න ඕනෙ අර පුංචි එකාව පිස්සු වැට්ටුවට.
මූණු පොතේ කතා බහ