Wednesday, December 13, 2017

Interstellar අතුරු කතාවක් ...

අපි හැමෝම දන්න දෙයක් තමා මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ ක්‍රිස්ටෝෆ නොලාන් කියන එක. හැබැයි ඉතිං ඊටත් කලින් මෙහෙම ෆිල්ම් එකක් හදන්න ඕනෙ කියල මුලින්ම අදහස ඇවිල්ල තියෙන්නෙ ක්‍රිස්ටෝෆට නම් නෙවෙයි . Linda Obst කියන චිත්‍රපට නිෂ්පාදකවරියගෙ හිතේ තමා මේකෙ මුල් වස්තු බීජය හට ගන්නෙ. ඔන්න ඊට පස්සෙ ලින්ඩා එයාගෙ යාලුවෙක් එක්ක මේ ගැන කතා කරනව. යාලුව තමා Kip Thorne , කිප් තෝර්න් කියන්නෙ, ඇමරිකාවෙ, California Institute of Technology (Caltech) වල න්‍යායික භෞතික විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරයෙක්. ඉතිං එයත් මේ අදහසට කැමති වෙලා , දෙන්නම එකතු වෙලා මේ අදහස තවදුරටත් කතාවක් විදියට හදාගන්න උත්සාහ කරනව. කතාවක් තිබ්බට මදිනෙ ඉතිං, චිත්‍රපටයක් කරන්න අධ්‍යක්ෂවරයෙක් ඉන්න එපැයි, ඔහොම ඉද්දි ලින්ඩට හම්බෙනව ස්ටීවන් ස්පිල්බර්ග්ගෙ ඒජන්ට් කෙනෙක් .( මේ 2006 අවුරුද්දෙ ) එයත් එක්ක කතා බහ කරල මේ අදහස ඔහුට කිව්වම , එයා කියනව කතාව දළ සැකැස්මක් කරල එදාම එයාට එවන්න, ස්ටීවන්ට දෙන්නම් කියල. ඒ අනුව එදා හවසම කතාව ස්පිල්බර්ග්ට දෙන්න කටයුතු කරනව. කතාව කියවල ස්ටීවන් ස්පිල්බර්ග් කැමති වෙනව මේක අධ්‍යක්ෂණය කරන්න! ඒ අනුව, කිප්, ස්ටීවන් සහ ලින්ඩා මුණ ගැහිල මේ ගැන කතාබහ කරනව. කිප් යෝජනා කරනව, මෙම චිත්‍රපටය දැනට පවතින විද්‍යා දැනුමට අනුකූලවන , විද්‍යානුකූලව හැකි තරම් නිවැරැදි එකක් විදියට නිර්මාණය විය යුතුයි කියල . ඒ අනුව , මේ තුන් දෙනා තවත් විද්‍යාඥයන් දා හතර දෙනෙක් එකතු කරගෙන , සාකච්ඡා කරල කතාව නැවත සකස් කරනව, උපරිම විද්‍යාත්මක විදියට. ඉන් පස්සෙ, කතාව තිර පිටපතක් විදියට සකස් කිරීම සඳහා භාර කෙරෙන්නෙ, තිර රචක, ජොනතන් නොලාන්ට. විවිධ බාධක නිසා ප්‍රමාද වෙන තිර රචනාව ලියන වැඩේ ඉවර කරන්න පුලුවන් වෙන්නෙ 2010 වසරෙදි . ඒත් ඒ සමඟම, ස්ටීවන් ස්පීල්බර්ග් මේ ප්‍රොජෙක්ට් එකෙන් ඉවත් වෙනව, ඔහු සහ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්න භාර වුනු පැරමවුන්ට් සමාගම අතර ඇතිවෙන මත භේදයක් නිසා. ඊටත් ටික කාලෙකට පස්සෙ, ලින්ඩා සහ ක්‍රිස්ටෝෆ නොලාන්ගෙ බිරිඳ වන එමා අතර තියෙන මිතුරුකම හරහා, මේ ප්‍රොජෙක්ට් එක ක්‍රිස්ටෝෆ නොලාන්ට ලැබෙනව. ඒත්, ඔහු සාමාන්‍යයෙන් චිත්‍රපට කරන්නෙ, වෝනර් බ්‍රදර්ස්ලත් එක්ක නිසා, මේකට එයාලවත් සම්බන්ධ කර ගන්න ඕනෙ කියල ඔහු කියනව. ඉතිං සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රි එකේ එදිරිවාදීන් විදියට කටයුතු කරන පැරමවුන්ට් සහ වෝනර් බ්‍රදර්ස් චිත්‍රපට නිෂ්පාදන සමාගම් , සාකච්ඡා වට ගනනාවකට පස්සෙ, මේ ෆිල්ම් එක වෙනුවෙන් එකට වැඩ කරන්න එකඟ වෙනව. (ෆිල්ම් එක පටන් ගද්දි මේ දෙගොල්ලගෙම ලෝගෝ දානව ) ඔන්න ඔහොම ජල්බරි ගොඩාක් වෙලා යන්තං ෆිල්ම් එකේ වැඩ පටන් ගන්නෙ 2012 අවුරුද්දෙදි .
මේ චිත්‍රපටයේ විද්‍යා උපදේශක විදියට කටයුතු කළේ , Kip Thorne . චිත්‍රපටය කරල ඉවර වුනැයින් පස්සෙ ඔහුට අදහසක් ආව, මේ ෆිල්ම් එකේ කතා බහට ලක්වෙන සහ භාවිතා වෙන විද්‍යාත්මක සංකල්ප ටික වැඩිදුරටත් පැහැදිලි කරල පොතක් ලියන්න ඕනෙ කියල. ඒ අනුව , ෆිල්ම් එක රිලීස් වුණු 2014 අවුරුද්දෙම ඔහු The Science of Interstellar නමින් පොතක් ලියනව. ඇත්තටම මේ පොතේ Interstellar චිත්‍රපටය තුළ සිද්ධ වෙන සියලු දේවල් විද්‍යාත්මක විදියට හරිම සරලව කාටත් තේරුම් ගන්න පුලුවන් විදියට ඔහු පැහැදිලි කරල දෙනව. චිත්‍රපටය තුළ යම් අපැහැදිලි තැනක් තියෙනවා නම් මෙන්න මේ පොත කියෙව්ව නම් හරි. චිත්‍රපටය අමතක කළත් සෑහෙන දෙයක් ඉගෙනගන්න පුලුවන් පොතක් විදියට මේක හඳුන්වා දෙන්න පුලුවන්.
හරි ඔය ඇති එහෙනං .
පොතේ හැඳින්වීම කොටසෙ තිබ්බ කරුණු ටිකක් තමා ඔය උඩ කතන්දරේ වගේ ලිව්වෙ. හැබැයි පොතේ කරුණු මීට වඩා සෑහෙන රසවත් .
අවසාන වශයෙන් මේ අවුරුද්දෙ (2017) ,භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයත් ලැබුනෙ මේ කිප් තෝර්න් සහ තවත් විද්‍යඥයින් දෙදෙනෙක්ට තමා ඒ , ගුරුත්වාකර්ෂණ තරංග පිලිබඳ ඔවුන් කළ සොයා ගැනීම් නිසා.
(රූපෙ ඉන්නෙ, තිර රචක ජොනතන් නොලාන් , කිප් සමඟ ලින්ඩා)

No comments:

Post a Comment