Tuesday, September 26, 2017

A Ghost Story (2017)

පොඩි කාලෙ "හොල්මනක් " කියපු ගමන් හිතේ ඇඳුනු රූපයක් තිබ්බ. සුදු රෙද්දක් ඔලුවෙ ඉදන් දාගෙන ඇස් දෙක තිබ්බ තැන් වල රෙද්දෙ හිල් දෙකක් තියෙන සරල හොල්මනක් ඒ. පස්සෙ පස්සෙ ඔය නානාප්‍රකාර හොල්මන්, භූත කතා බලල සහ මනෝකාය, පුනරුප්පත්තිය වගේ බර කන්සෙප්ට් ඔලුවට එද්දි, අර රූපෙ ටිකෙන් ටික මැකිල ගියා. ඒත් මේ ළඟදි ෆිල්ම් එහෙක පෝස්ටරයක් දැකල අර පොඩි කාලෙ හිතේ හිටපු හොල්මන ආපහු මතක් උනා. ඒ හොල්මනගෙ කතාව මොකද්ද කියල දැන ගන්නම ඕනෙ කියල හිතුනු නිසා අරං බැලුව.
මේ තියෙන්නෙ , මේකෙ මුල සිට අග දක්වා බලං ඉද්දි හිතුනු දේවල් ....
මුලම හරියෙදි......
හොල්මනක් කිව්වට ඇත්තටම හොල්මනක් නෙවෙයි වෙන්ඩ ඇති . සම්භාව්‍ය ෆිල්ම් එකක් වගේනෙ. වෙන අර්ථයක් ඇති .....
මොකද්ද මේ පොඩි කොටුවක පෙන්නන්නෙ ? හ්ම් සමහර විට මගක් යද්දි හරියයි.....
අපෝ එකම දේ පෙන්නගෙන ඉන්නවනෙ. කම්මැලී .
ෆාස්ට් ෆෝවඩ් දානව....
ලෝ බජට් මගුලක්ද කොහෙද....
හොල්මනක් හදා ගන්න ඉෆෙක්ට්ස් වලට සල්ලි යන හින්ද මිනිහෙක්ගෙ ඔලුවට රෙද්දක් දාල අරන් වගේ හ්ම්....
ඉවසීමෙන් පලමු විනාඩි තිහක් පමණ බැලීමෙන් පසු.......
හොල්මන් ෆිල්මුත් බැලුව මෙහෙම එකක් නම් බැලුවෙ නෑ .
රෙද්දක් ඔලුවෙ දාන් හිටියත් පට්ටෙට බය හිතෙනවනෙ.....
හම්මො කටු මැටි පැලක් හරි අලුතෙන් අටව ගන්නව මිසක්, හදපු ගෙවල් සල්ලි දීල නම් ගන්නෑ...... 😨
අවසානයට ලංවී......
මං ජීවත් වෙන්නෙ ඇයි? අපි ජීවත් වෙන්නෙ ඇයි? මේ හැම දේකම අවසානය අර්ථ විරහිතද? අනිවාර්යයෙන්ම අර්ථ රහිත දේකට අර්ථයක් දීමට ගන්නා නිරර්ථක වෑයමක්ද මේ ජීවිතය? 😲
මෙහෙමත් කන්සෙප්ට් මිනිස්සුන්ගෙ ඔලුවට එනවනෙ ....... සිරාම කතාවක් ........
ඉවර වුනු පසු.........
ගූගල් ඕපන් කර .....
Typing .....
A Ghost story movie ending explained........
😂
බලලම කතා කරමු. බැලිය යුතුම චිත්‍රපටයක්.
මූණු පොතේ කතා බහ

සලෙලු වරම (The Web of Love)

ලංකාවේ ඇත්තටම වෙච්චි සිද්ධි වලින් හොඳ සිනමා නිර්මාණ බිහි කරන්න පුලුවන් කියන එකට දෙන්න පුලුවන් හොඳ උදාහරණයක් තමා "සලෙලු වරම" (The Web of Love) කියන චිත්‍රපටය . මේක ඇත්තටම වෙච්චි සිද්ධියක නඩු වාර්තා අධ්‍යනය කරල තමා හදල තියෙන්නෙ . අධ්‍යක්ෂක වසන්ත ඔබේසේකර . අපිට හිටපු හොඳම අධ්‍යක්ෂකවරයෙක්. (මේ වසර මුල අපෙන් සමුගත්ත ඔහු)
මේකෙ කතාව ඇත්ත කතාවක් කිව්වනෙ, ඉතින් මේක ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නෙ කැලණිය කැම්පස් එකේලු. ඇත්තටම වුනේ මොකද්ද කියල සවිස්තරව මෙතන කියන්නේ නෑ , ඒක චිත්‍රපටය තුල හොඳට විස්තර වෙනව.
දැන් මේ කතාව (හෝ වසන්ත ඔබේසේකරගෙ බහුතරයක් චිත්‍රපටි ) බලද්දී ටිකක් අමුත්තක් දැනෙනව මොකද වසන්ත ඔබේසේකර චිත්‍රපටි කතාව ඉදිරිපත් කරන්නෙ අපිට පුරුදු පිලිවෙලට නෙවෙයි. ඒ කියන්නේ මුල මැද අග පිලිවෙලට නෑ මේකෙ. ඔක්කොම මාරු කරල තියෙන්නෙ. බලන කෙනා තමා ඒක ගලපගන්න ඕනෙ. දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඒක විකාරයක්නෙ කියල . ඒත් ඒ ජාතියෙ ෆිල්ම්ස් බලපු අය තමා ඒකෙ ආතල් එක දන්නෙ.
මේ ළඟදි කෙනෙක් අහල තිබ්බ Memento ෆිල්ම් එක බැලුව, ඒක තේරෙන්නේ නෑ කියල . සමහර විට ඒකට හේතුවත් මේක වෙන්න ඇති. මොකද Memento කියන්නෙත් අර කියපු ශෛලියට අයිති එකක් .ඒ කිව්වෙ මුල මැද අග ඔක්කොම පටලවල තියෙන්නෙ . මේ ශෛලියට කියන්නේ , Non linear narrative කියල , ඒ කියන්නේ , අරේඛීය ආඛ්‍යායනයක් . අපි බලන හුගාක් ෆිල්ම්ස් වල අනුගමනය කරන්නෙ Linear narrative එකක් (රේඛීය ආඛ්‍යායනයක්) . රේඛීය ආඛ්‍යායනයක් තියෙන චිත්‍රපටි නෝමල් එකේ බලන් ඉන්නයි තියෙන්නෙ , ඒවයෙ මුලින්ම තියෙන්නෙ සාමකාමී අවධිය, ඉන් පස්සෙ ගැටුමක් නිර්මාණය වෙනව. අවසාන අවධියේදී ගැටුම විසදිලා නැවත සාමකාමී වෙලා යනව. හැබැයි මේ අරේඛීය සීන් එකේදි එහෙම නෑ. සමහර විට චිත්‍රපටය ඉවර වෙන්නෙ ගැටුමෙන්. ගැටුමෙන් පසු ඇතිවෙන තත්ත්වය ඊට කලින්ම පෙන්නනව. ඉතින් ලංකාවේ මේ ස්ටයිල් එකට ෆිල්ම්ස් හදපු එකම කෙනා මම දන්න තරමින් වසන්ත ඔබේසේකර විතරයි. හරි, වැඩි විස්තර කියල වැඩක් නෑ ඒක බලලම අත්විඳින්න .
ආයිත් මේ චිත්‍රපටය ගැන කිව්වොත්, 2002 අවුරුද්දෙ තමා මේක රිලීස් උනේ. කැම්පස් ආදර පලහිලව්වක් තමා කතාව . වසන්ත ඔබේසේකරගෙම වචන වලින් කිව්වොත්, මේකෙන් කතා කරන්නෙ , "අපි අනිත් අය සඳහා දෙන විනිශ්චය කොතරම් නිවැරැදිද සහ එය කොතරම් භයානක විය හැකිද" කියන කාරණය.
යූ ටියුබ් තිබේ..... බලන්න . (මේ රූපෙ කලු සුදු උනාට මේක වර්ණ චිත්‍රපටියක් )
මූණු පොතේ කතා බහ

බොරදිය පොකුණ

හැමෝම සිංහල සිනමාව ගැන වැඩි වැඩියෙන් කතා කරන වෙලේ මේ කියන්න යන්නෙත් ලගදි බලපු සිංහල චිත්‍රපටියක් ගැන තමා. මේක වැඩිහිටියන්ට පමණයි එකක් .
ඉතින් පොඩි ළමයි කියවන්න එපා පල්ලෙහා නරක දේවල් කියනව මම 😂
මේකෙ නම බොරදිය පොකුණ , නිෂ්පාදන කටයුතු ඉවර වෙන්නෙ 2003 අවුරුද්දෙ. ඒත් ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය විසින් මහජන ප්‍රදර්ශනයට තහනම් කරනව. නමුත් ඒ අවසරය ආපහු ලැබෙනව 2010 අවුරුද්දෙ . ඊට පස්සෙ චිත්‍රපට පෝලිමේ ඉදල අන්තිමට හෝල් වල පෙන්නන්නෙ 2015 අවුරුද්දෙ .
චිත්‍රපටයෙ කතාව දිවෙන්නෙ, බියගම වෙලද කලාපයෙ වැඩ කරන තරුණ ගෑනු ළමයි තුන් දෙනෙක් ගැන .
හරි, ඉතින් දැන් මේක වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් එකක් , කතාව ගාමන්ට් කෙල්ලො තුන් දෙනෙක් ගැන කියල කිව්ව ගමන් හිතෙන්නෙ දෙකයි පණහෙ ෆිල්ම් එකක් වෙන්න ඇති කියලනෙ. ඇත්තටම මාත් මුලින් එහෙම තමා හිතුවෙ . මං හිතන් හිටියෙ මේක අග මුල නොතේරෙන "සම්භාව්‍ය කුණුහරුපයක්" කියල . ඒත් ඒක සම්පූර්ණ වැරදි අදහසක් බව මේක බලද්දි තේරුනා. මේ චිත්‍රපටියෙ හොඳ කතාවකුත් තියෙනව , කම්මැලිකමක් නැතුව බලන් ඉන්න පුලුවන් . නලු නිලියන්ගෙ රඟපෑමත් ඉහලම මට්ටමක තියෙනව . විශේෂයෙන්ම ප්‍රධාන චරිතය කරන කෞෂල්‍යා ප්‍රනාන්දුගේ රඟපෑම අගය කල යුතුමයි.
සරලවම කිව්වොත් මේක තවත් එක් ගොන් ආතල් එකක් නෙවෙයි . සාමාන්‍ය ප්‍රේක්ෂකයට නොතේරෙන ලොකු ලයින් එකේ පණ්ඩිත ෆිල්ම් එකකුත් නෙවෙයි .
මේක දැන් යූ ටියුබ් එකේ තියෙනව . ඕන කෙනෙක්ට බලන්න .
ඉතින් මට ඇත්තටම අවසාන වශයෙන් ඇතිවුනු ගැටලුවක් තමා , මේක මුලින් තහනම් කලේ මොන පදනමකින්ද කියන එක. අනික කාලෙකදි මහජන ප්‍රදර්ශනයට සුදුසු නෑ කියල සම්මත කරපු චිත්‍රපටියක් දැන් හැමෝටම බලා ගන්න යූ ටියුබ්ම දාල තියන එක ? මට හිතන්නෙ ඒක අර රැගුම් පාලක මණ්ඩලයේ හිටපු උන්ට රිදෙන්නම කරපු දෙයක්ද කොහෙද.
මූණු පොතේ කතා බහ

Nightcrawler (2014)

මේ මාරාන්තික අනතුරේ CCTV දර්ශන දැන් අප වෙත ලැබී තිබෙනවා. රැඳෙන්න අප සමගම කියල , ඇඩ් ටික පුලුවන් තරම් දාල , මිනිහෙක් තමන්ගෙ ප්‍රශ්න දරා ගන්න බරුව පාරෙ යන ටිපර් එක්කට බෙල්ල තියෙන හැටි ලඟදි පෙන්නුව මතකද?
"ඔබේ ජීවිතය, අපේ ප්‍රවෘත්ති" කියල කිව්වට, ඇත්ත කතාව, "ඔබේ ඛේදවාචකය, අපේ ආදායම් මාර්ගය" නේද?
මේ චිත්‍රපටයෙ තියෙන කතාවට අදාල නිසයි ඔය ටික කිව්වෙ. මේ ෆිල්ම් එකෙන් කතා කරන්නෙ "මාධ්‍යවේදියෙකු" ගැන තමා . හැබැයි අමුතුම පොරක් මෙයා. මේ කතාව වෙන්නෙ ඇමරිකාවෙ උනාට මේක අපිටත් හොඳටම අදාලයි. මොකද මේ විදිහට ගියොත් නුදුරු අනාගතයේ මේ චිත්‍රපටි කතාවෙ වෙන දේවල් ඇත්තටම මෙහෙ වෙන්නත් බැරි නෑ .
ඒක නිසා කොයි එකටත් බලන්න . අනාගතයට සූදානමින් ඉන්න එක හොඳයිනෙ.
මූණු පොතේ කතා බහ



‌ලංකාවෙ Visual Effects

ලංකාවේ හදන ෆිල්ම්ස් සමහර ඒවයෙ 3D ඇනිමේශන් වගේ දේවල් මෑත කාලෙදි භාවිතා උනා. ඒත් ඒව හරිම ප්‍රාථමික මට්ටමක නේද තියෙන්නෙ ? සමහර ඒව දැක්කම හිනා යනව, දුක හිතෙනව. එහෙම වෙන්නෙ ඇයි ඇත්තටම ?
තාක්ෂණය නෑනෙ අපිට ඇමරිකාවෙ වගේ . එහෙමද? මට නම් එකඟ වෙන්න බෑ ඒකට. මොකද, මීට අවුරුදු තිහකට විතර කලින් හදපු හොලිවුඩ් ෆිල්ම් එකක් ගත්තත් ඔය තාක්ෂණය භාවිතය අතින් අපිට වඩා ඉදිරියෙන් ඉන්නව. අපි තාම ළදරු අවධියේ .
උදාහරණයක් ගමු. ජුරාසික් පාක් මුල් චිත්‍රපටය ආවෙ 1993 වගේ. ඒ කියන්නේ මීට අවුරුදු විසි පහකට කලින් කියමුකො. ඒ චිත්‍රපටය හදනකොට ඒ අයට තිබ්බ පරිඝණක , සොෆ්ට්වෙයා එක්ක සැලකුවාම ඊට වඩා සෑහෙන දියුණු උපකරණ, සොෆ්ට්වෙයා දැන් ලංකාවේ අය ගාවත් තියෙනව නේද? ඉතින් සාපේක්ෂව මීට වඩා දෙයක් කර ගන්න පුලුවන් වෙන්න එපෑයැ? මට නම් හිතන්නෙ , උපකරණය හෝ සල්ලි නැති කම නෙවෙයි මම නම් දකින්නෙ, අපිට අත්දැකීම් හා පුහුණුව තියෙන මිනිස්සු තමා නැත්තෙ. කොටින්ම නිර්මාණශිලීව හිතන්න පුලුවන් මිනිස්සු ඔය ඉන්ඩස්ට්‍රි එකේ නෑ. මම කියන්නේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ නෑ . ඒත් එහෙම වැඩ්ඩො ලංකාවේ වෙලඳ දැන්වීම් ක්ශේත්‍රයෙ නම් ඉන්න බව පේනව.
අනික තමා චිත්‍රපටයක දෘශ්‍ය ප්‍රයෝග කියන දේ සම්පූර්ණයෙන්ම පරිඝණකයට භාර දිය යුතු වැඩක් කියල අපේ අධ්‍යක්ෂකවරු බහුතරයක් හිතන් ඉන්නව. ප්‍රැක්ටිකල් ඉෆෙක්ට්ස්, ඇනිමට්‍රොනික්ස්, මේකප් වගේ දේවලුත් කලවමේ යොදා ගන්න ඕනෙ කියල අවබෝධ කරගෙන නෑ. නොදැනුවත්කම නිසා හෝ ලේසිය නිසා හැම රෙද්දටම ඇනිමේශන් එකක්ම ඔබනව. එහෙම නැත්තං ඇත්තටම අදාල ලොකේෂන් එකට ගිහින් කරන්න පුලුවන් රූගත කිරීම් පවා, ග්‍රීන් ස්ක්‍රීන් දාල කරනව. ඒ කලත් කමක් නෑ හරියට කරනවනම් . බැලූ බැල්මට පේනව බොරු කියල . කව්රුත් කියන්නෙවත් නැද්ද මන්ද....
චිත්‍රපටි හදනවනම් හොඳ ඇහක් තියෙන්න ඕනෙ. ප්‍රේක්ෂකයට අමු අමුවේ බොරුවක් කියල පේන දේ, අධ්‍යක්ෂකට එහෙම පේන් නැත්තං එයාගෙ අධ්‍යක්ෂක කමින් වැඩක් නෑනෙ.
ඕනම නිර්මාණකරුවෙක්ට තමන්ගෙ නිර්මාණය මැණිකක්. අර උනහපුළු අම්මට උගෙ පැටියා මැණිකක් කියනවනෙ. ඒත් ඉතින් අනික් අයටත් ඒක මැණිකක් වගේ පේන්න වැඩේ කරනවනම් තමා හොඳ .මූණු පොතේ කතා බහ

Tuesday, September 19, 2017

ධර්මයුද්ධ‍යෙන් පසු....

ඔන්න රෑක මනුස්සයෙක් ත්‍රී විල් එකක් එලවං යනව. මේ මනුස්සය දුර හයර් එකක් ගිහින් මැදියම් රැයත් පහු වෙලා තමා මේ ආපහු ගෙදර යන්නෙ . ඔන්න පාර අයිනෙ ඉන්න පොලිස් රාලහාමිල දෙන්නෙක් මෙයාව නතර කරනව, නතර කරල අහනව, තමුසෙ බීල නේද ඉන්නෙ කියල , අර මනුස්සය නෑ කියනව. ඒත් අරුන් පිලි ගන්නෙම නෑ . පස්සෙ අර බැලුමක් පුම්බල බලනව. ඒකෙ රිසල්ට් එකත් නෙගටිව්. ඊට පස්සෙ අර පොලිසියෙ උන් දෙන්න කියනව ගෙදර යන්ඩ ඕනෙ නම් ..💸.... දෙන්න කියල . අරූ බෑ කියනව. පස්සෙ බීමත්ව රිය පැදවීමේ වරදට මූව අත්අඩංගුවට ගන්නව. මෙයාට විරුද්ධව නඩු දානව. අර පොලිස් කාරයො දෙන්න , තමන්ට 💸 නොලැබුනු කේන්තියට බොරු සාක්ශි දෙනව. පස්සෙ අර මනුස්සය නීතිඥවරයකු යොදා ගෙන අරුන්ට විරුද්ධව නඩු කියනව. ඒත් ඒ මනුස්සයගෙ මුලු සේසතම නඩුවට වැය වෙනව. නීතිඥවරුන්ට දෙන්න සල්ලි නැති තැන මේ ත්‍රීවීලර් රියදුරා තීරණය කරනව තමන්ගෙ නඩුවට තමන්ම කතා කරන්න !
එහෙම නඩු කියද්දි මෙයාට ත්‍රීවිල් රස්සාව කරන්න වෙලාවක් ඉතුරුවෙන්නෙ නෑ . ඉතින් එදිනෙදා කන්න බොන්න සල්ලි නැතුව ගේ දොර පවා උකස් කරනව. හැබැයි මේ හැම දේකදිම ඒ මනුස්සයගෙ බිරිඳ එයාගෙ පස්සෙන් ඉදන් සෙවනැල්ල වගේ උදව් කරනව සහ තමන්ගෙ සැමියගෙ නිර්දෝශීභාවය වෙනුවෙන් පෙනී සිටිනව. මේ නඩුව නිසා එයාලගෙ දරුවන්ගෙ ඉගෙනීම පවා කඩාකප්පල් වෙන තැනට පත් වෙනව. නමුත් අපේ කතානායකය ගේම අතහරින්නෙ නෑ . ඔහු නීතිය හොඳට අධ්‍යනය කරනව. මීට සමාන නඩු වල නඩු වාර්තා හොයා ගෙන නිදිමරාගෙන කියවනව. මෙහෙම අවුරුදු හතකට ආසන්න කාලයක් නඩු කියල, අවසානයේ නඩුවෙ තීන්දුව ප්‍රකාශයට පත් වෙනව. ඒක ඓතිහාසික නඩු තීන්දුවක් බවට පත් වෙන්නෙ, ශ්‍රී ලංකා පොලීසියට විරුද්ධව නඩු කිව්ව ත්‍රීවීලර් රියදුරාව සියලු චෝදනා වලින් නිදහස් කරමින්, අර පොලිස් නිලධාරින් වැරදි කරුවන් කරමින්. සියලු නඩු ගාස්තු ඇතුළුව අපේ කතානායකයට සිදුවූ අපහාසයට ලොකු වන්දියකුත් ගෙවන්න නියම වෙනව.
ඉතින් මන් ඔය කිව්වෙ , චිත්‍රපටියක කතාවක් නෙවෙයි . ඕක ලංකාවේ ඇත්තටම වෙච්චි දෙයක් .
මතකත් ඇති සමහර අයට මම ලිව්වෙ මට මතක හැටියට .
මට කියන්න ඕනෙ උනේ මේකයි, දැන් ඔය ධර්මයුද්ධය කියන ෆිල්ම් එක හැමෝම බලන්න යන්නෙ ඇයි? ප්‍රධාන හේතුව , ඒකෙ කතාව . තමන්ගෙ දරු පවුල රැකගන්න නීතිය අන්ධ කරල ගේමක් ගහන, පොඩි මිනිහෙක්ගෙ කතාවක් නිසා , ඒක අපි හැමෝගෙම හදවතට දැනෙනව . ඒත් ඉතින් ඒ ඔරිජිනල් කතාව අපේ නෙවෙයිනේ . මම යෝජනා කරන්නෙ, ඔය ට්‍රෙන්ඩ් එක තේරුම් අරන් අර ඉහලින් මම විස්තර කරපු එක වගේ සත්‍යය කතාවක් වස්තු බීජය කරගෙන අපිට අපේමයි කියල කියන්න පුලුවන් පට්ට ෆිල්ම් එකක් හදන්න බැරි ඇයි ? ඒක හිට් වෙලා , ඒක බලාගෙන බොලිවුඩ් , කොලිවුඩ් ෆිල්ම් ගැහුවොත් කාටද ආඩම්බර ?? 😎😎👊👊
මූණු පොතේ කතා බහ

The Curious Case of Benjamin Button (2008)

කාලෙකට කලින් බලපු එකක් ආයිත් බැලුවෙ, ඒ චිත්‍රපටය ඉවර වෙනකොට දැනෙන අමුතු හැඟීම ආයි විඳින්න ඕනෙ කියල හිතුනු නිසා. චිත්‍රපටය තමා , The Curious Case of Benjamin Button (2008). බලපු අය දන්නව ඇති, මේක අමුතුම කතාවක් .
අපිට තියෙන්නෙ බෙන්ජමින් එක්ක පැය තුනකට ආසන්න කාලයක් "ජීවත් වෙන්න" හැබැයි ඒ අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන පිලිවෙලට ඉස්සරහට හැල්මෙ දුවන් යන විදිහට නෙවෙයි , ආපස්සට . මෙහෙම ආපස්සට යන ගමනෙදි බෙන්ජමින්ට හමුවෙන, වෙන්වෙන අයත් එක්ක අපිටත් ජීවිතේ බෙදාහදා ගන්න පුලුවන් . ඒ අය සමුඅරගන්න කොට අපිටත් දුකයි. ඒත් අපිට යන්න වෙන්නෙ බෙන්ජමින් එක්ක අනික් පැත්තට . ඒක අපූරුම අත්දැකීමක් , යතාර්ථය තුල කවදාවත් අත්විඳින්න නොලැබෙන දෙයක් .
සමහර චිත්‍රපට තියෙනව කාලය පැය දෙකක් ගතවුනාද කියලවත් නොදැනෙන, ඒ තරමට සිදුවීම් බහුල, කුතුහලයෙන් පිරුණු ඒව. තවත් සමහර ඒව තියෙනව , පට්ටම කම්මැලී , පැය දෙක ඉවසං ඉන්නෙත් අමාරුවෙන් . ඔය අතරෙ තවත් ඒව තියෙනව , ඒව බලල ඉවර වෙද්දි දැනෙන්නේ පැය දෙක තුනක් ගතවුනා කියල නෙවෙයි , ජීවිත කාලයක්ම ගතවුණා කියල . මේකත් අන්න ඒ ගොඩට අයිතියි .
මේකෙ අවසානය වෙද්දි අමුතුම උපේක්ෂාව මිශ්‍ර වුණු දැනීමක් එනව, එතකොට හිතෙනව, වඩා වැදගත් වෙන්නෙ අපි ජීවත් උනේ ඉදිරියටද ආපස්සටද කියන එක නෙවෙයි , ඒ ජීවිතේ අපි ගත කරල තියෙන්නෙ අපිට ආඩම්බර වෙන්න පුලුවන් විදිහකටද කියන එක බව.
ඒක දැනෙන්න මේක මග නොඇර බලන්න .
මූණු පොතේ කතා බහ

Tuesday, September 12, 2017

Fulldome Cinema

අපි චිත්‍රපටි බලනකොට ඒක හොඳටම හිතට වැදුනොත් අපි ඒකෙ ඇතුලෙ ජීවත් උනා වගේ දැනෙනව . හැබැයි ඒ චිත්‍රපටය හොඳයි නම්. එහෙම නැත්තං සාමාන්‍ය චිත්‍රපටි අපිට පේන්නෙ අපේ ඇස් ඉදිරිපිට කොටු හැඩේ තිරයකනෙ. ඒත් ඊට වෙනස් විදිහට බලන්න පුලුවන් සිනමා ශාලාත් තියෙනව . මේවට කියන්නේ fulldome cinema කියල . මේ හෝල්ස් අර්ධ කවාකාර හැඩයක් ගන්නව. මේ ගැන යම් අදහසක් ගන්න පුලුවන් ග්‍රහලෝකාගාරය ගැන මතක් කර ගත්තොත්. නිකං මුනින් අතට හරවපු කෝප්පයක් ඇතුලට ගිහින් උඩ බලන් ඉන්නව වගේ දෙයක් . ඉහලින් පෙනෙන අර්ධගෝලය පුරාවටම චිත්‍රපටය දිගහැරෙනව. (හැබැයි අපේ ග්‍රහලෝකාගාරයෙ නම් භාවිතා වෙන්නෙ මේ කියන තාක්ෂණය නෙවෙයි ) මේ තාක්ෂණය ඒ කියන්නේ fulldome cinema technology එක ලෝකෙ පුරා ව්‍යාප්ත වුනේ අනූව දශකයේ. දැන් විවිධ රටවල් වල මේ වගේ සිනමා ශාලා දෙදාහක් විතර තියෙනව . බහුතරයක් මේ හෝල්ස් තියෙන්නෙ ග්‍රහලෝකාගාර හෝ කෞතුකාගාර ආශ්‍රිතව . මේවයෙ පෙන්නන්නෙ අධ්‍යාපනික වටිනාකමක් ඇති වාර්තා චිත්‍රපටි වගේ ඒව තමා . සාමාන්‍ය චිත්‍රපටි හෝල් වල වගේ මාසෙන් දෙකෙන් මේවයෙ චිත්‍රපටි මාරු වෙන්නෙ නෑ මොකද මේ ෆොමැට් එකේ චිත්‍රපටි සුලබ නෑ. වෙනමම කියල හදවපුව මිසක් කඩෙන් ගන්න නෑ. සාමාන්‍යයෙන් මෙහෙම හදන අර්ධගෝල හැඩැති තිරය පුරාවටම පැනොරාමා විදිහට විසිරිලා යන විනාඩි හතලිහක් විතර දුවන ෆිල්ම් එකක් ගිගාබයිට් පන්සීයක විතර ඉඩක් ගන්නව. මේ වගේ චිත්‍රපටි ඒ විශේෂ තිරය මතට ප්‍රක්ශේපණය කරන්න ප්‍රොජෙක්ටර්ස් හයක් විතර දළ වශයෙන් යොදා ගන්නව. ඒ ප්‍රොජෙක්ටර්ස් වලින් ප්‍රක්ශේපණය කරන රූප එකතු කරල නොබිදුනු තනි රූපයක් (seamless picture ) විදිහට පරිඝණක භාවිතයෙන් සකසල තමා ප්‍රේක්ෂකය වෙනම ලෝකෙකට අරන් යන විදිහෙ අයස්කාන්ත දර්ශන තිරය මතට අරන් එන්නෙ.
අධ්‍යාපනික පැත්තට අමතරව එන්ටටේන්මන්ට් පැත්තෙ වැඩ වලටත් මේව යොදා ගන්නව. ඒ වගේම ඔය තාක්ෂණික ප්‍රදර්ශන වගේ ඒව වලට මේ වගේ චිත්‍රපටි ශාලා තාවකාලිකව සකසල දෙන සමාගම් තියෙනව . ඩුබායි වල තියෙන ඩුබායි මෝල් එක ඇතුලෙ මේ වගේ හෝල් එකක් තියෙනව, හැබැයි ඒක ටිකක් වෙනස්. ඒක අර්ධගෝලයක් නෙවෙයි සම්පූර්ණ ගෝලයක්. අර X Men ෆිල්ම් එකේ ප්‍රොෆෙසර් X පාවිච්චි කරන සෙරීබ්‍රෝ කියන ගැජට් එක මතකද? ටිකක් අන්න ඒ වගේ හැබැයි ඊට වඩා පොඩියි .ඒක ඇතුලට යන්න පුලුවන් . ගියැයින් පස්සෙ තමන්ව සම්පූර්ණයෙන්ම වෙනම තැනකට ගියා වගේ තමා දැනෙන්නේ මොකද අංග සම්පූර්ණව ප්‍රේක්ෂකය වටේටම වීඩීයො එක යනව.
ඩුබායි වල විතරක් නෙවෙයි අපේ අසල්වැසි රට වෙන ඉන්දියාවෙත් මෙහෙම හෝල් එකක් පටන් ගත්ත ගිය අවුරුද්දෙ (2016) මැද.
ඉතින් ආයි අපේ දුප්පත් ග්‍රහලෝකාගාරය පැත්තට හැරුනොත් , ඒක දැන් සෑහෙන්න යල් පැනපු එකක් , ඒකෙ ප්‍රක්ශේපණය කරන්න පුලුවන් නිශ්චල රූප විතරයි . හැබැයි ඒක මේ විදිහෙ fulldome cinema එකක් විදිහට අප්ග්‍රේඩ් කලොත් විද්‍යාව පැත්තෙන් සෑහෙන දැනුමක් අපේ රටේ මිනිස්සුන්ට දෙන්න පුලුවන් වෙයි.
දාල තියෙන එක රූපෙකින් පෙන්නන්නෙ එක එක ජාතියෙ වීඩීයො ෆොමැට් සහ ෆුල්ඩෝම් වීඩීයො ෆොමැට් එකේ සංසන්දනයක්.
අනික් රූපෙ තියෙන්නෙ ස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් නුවර අර කලින් කිව්ව වගේ අප්ග්‍රේඩ් කරපු ග්‍රහලෝකාගාරයක කට්ටියක් තරු බලන හැටි. අපිටත් ළඟදිම එහෙම බලන්න ලැබේවා කියල පතමු.


Sunday, September 10, 2017

R... Rajkumar

හොලිවුඩ් චිත්‍රපටි බැලුවට බොලිවුඩ් ඒව නම් බැලෙන්නෙ කලාතුරකින් කිව්වොත් හරි. ඒකත් බොහෝ විට අමීර් කාන්ගෙ ෆිල්ම් එකක් ආවොත් තමා. ඒ උනාට එක්තරා හින්දි සින්දු දෙක තුනක් තිබ්බ කාලෙක ඉදන් ඇහෙන. වෙඩින් එහෙකට පාටියකට ගියොත් අනිවා ඇහෙනව. ඒව යද්දි එච්චර වෙලා නටන් නැතුව හිටපු උනුත් ඩාන්ස් එකට සෙට් වෙනව. ඉතින් පොඩ්ඩක් හොයල බැලුවම මේ සින්දු සෙට් එකම අයිති එකම ෆිල්ම් එකකට. නම R... Rajkumar.... . දැන් කියන්න එපා ඉතින් අපෝ ඕකද... ඕව බලල කොයි කාලෙද කියල . ඇත්තටම මම නම් බැලුවෙ මේ ළඟදි. මොකද මම බොලිවුඩ් පස්සෙං වැඩිපුර එලවන් නැති නිසා. ඒත් අර සින්දු ටික යූ ටියුබ් බැලුවයින් පස්සෙ, ඒ සින්දු වල බැක්ග්‍රවුන්ඩ් එකේ තියෙන කතන්දරෙත් බලන්න ඕනෙ කියල හිතුන.
මේකෙ කතාව ඉතින් නෝමල් හින්දි චිත්‍රපටියක තියෙන අඩුම කුඩුම ටිකම තියෙන එකක් . විශේෂත්වයකට තියෙන්නෙ, සින්දු වල රූප රචනය සහ ඩාන්සින්/කොරියොග්‍රෆි වල තියන වෙනස. ඒකට හේතුව ඉතින් මේකෙ ඩිරෙක්ටර් , ඉන්දියාවේ ඉන්න සුපිරිම නර්තන ශිල්පියෙක් වන ප්‍රභූදේවා වීම. ( ඔය රූපෙ ශාහිඩ්ට එහා පැත්තෙ ඉන්නෙ එයා තමා, ෆිල්ම් එකෙත් ඩාන්ස් එහෙක පොඩි කැමියො එහෙකට ඉන්නව එයා)
මේ චිත්‍රපටය අයත් genre එක ඒ කියන්නෙ ෂානරය, action- masala කියල තමා තියෙන්නෙ. ඔය කියන මසාලා ටයිප් එකේ ෆිල්ම් වලට ඒ නම වැටිල තියෙන්නෙ නැටුම් ගැයුම් වැයුම්, විචිත්‍ර ඇදුම්, ගුටි කෙලි, ආදරය, දුක , විරහව වගේ තුනපහ ජාති හැම එකක්ම රස නොමරා එකට අඹරල හදල තියෙන නිසා. ඇක්ශන් ගතිය ටිකක් වැඩි නිසා තමා මේක ඇක්ශන් මසාලා කියන කැටගරියට වැටෙන්නෙ.
ඉතින් මේක බරසාර ෆිල්ම් එකක් නෙවෙයි . මසාලා කෑවයි කියල බඩ පිරෙන් නෑ තමා. එහෙමයි කියල නොකා ඉන්න එපා. මොකද කෑම කන්නෙ බඩගින්නටම නෙවෙයිනේ . දිව පිනවන්නත් කන ඒව තියනවනෙ.

Wednesday, September 6, 2017

Atonement (2007)

සමහර චිත්‍රපටි තියෙනව නිකං බොම්බයිමොටයි වගේ. රහයි, හැබැයි කනකං විතරයි . ඔහේ කටේම දියවෙලා යනව කිසි ගුණයක් නෑ. ඇබ්බැහි උනොත් දියවැඩියා හැදෙන්න පුලුවන් . ඔය අතරෙ සමහර එව්ව තියෙනව , මුලින් නිකන් මෙලෝ රහක් නෑ වගේ දැනෙන්නේ , හැබැයි බලන් යනකොට තමා නියම රහ දැනෙන්නේ . ඒ වගේ චිත්‍රපට අන්තිමේ හිතේ ඉතුරු කරන "පැල්ලම" ඊට පස්සෙ කොච්චර චිත්‍රපටි බැලුවත් මැකෙන් නෑ.
අන්න ඒ වගේ එකක් තමා මේ, Atonement කියන ෆිල්ම් එක. ඒ කතාවෙන් අන්තිමට හිතේ ඇතිකරවන සියුම් කම්පනය අදටත් මතකයි, දැන් අවුරුදු ගානකට කලින් බැලුව උනත්... පැල්ලම යන්නෑ...
දැන් මේකෙ, මුලින් මෙහෙමයි ඊට පස්සෙ අරෙහෙම වෙනව ඊට පස්සෙ අරය මැරෙනව මෙයා යනව... ඊට පස්සෙ වෙන්නෙ මොකද්ද කියල ෆිල්ම් එක බලලම දැන ගන්න.... වගේ ටෝක්ස් දෙන් නෑ. කතාව දැන ගන්න ඕනෙ නම් ෆිල්ම් එක බලන්න .
රේටින්ග්ස්, ආදායම් වාර්තා , නලු නිලියො, අධ්‍යක්ෂක මොකාද, ලැබිච්ච සම්මාන මොනාද අරව මෙව්ව මුකුත් කියන්නෙ නෑ. ඒව ගූගල් කරපු ගමන් බස බස ගාල දෝරෙ ගලනව . ඉතින් පොඩ්ඩක් search පාරක් දාල බලන්න ඕනෙම නම්.
හැබැයි මතක ඇතුව ෆිල්ම් එක ඉවර වෙලා නාමාවලිය යද්දි , ඇස් පියාගෙන අහන් ඉන්න. මේකෙ සවුන්ඩ් ට්‍රැක් එකට ඒ අවුරුද්දෙ ඔස්කා අවෝඩ් එක ලැබුණ එක කොච්චර සාධාරණද කියල හිතෙයි එතකොට.
එහෙනං අනිවාර්යයෙන් බලන්න .
මූණු පොතේ කතා බහ

ප්‍රේක්ෂකයා මෝඩයිද?

දැන් ඔය හැමෝම ලංකාවේ අධ්‍යක්ෂකවරුන්ටයි ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඔක්කොම උන්ටයි බනිනවනෙ හොඳ ෆිල්ම් හදන්නෑ අරකය මේකය අර ඉන්දියාවෙත් හදනව මෙහෙ තමා නැත්තෙ ... කියල ,
ඒ උනාට මට නං හිතෙන්නේ මේ ලංකාවේ බහුතරයකගේ රස වින්දනයෙ අවුලකුත් තියෙනව.
ඔන්න එක දවසක් , මේ කියන්නේ 2005 අවුරුද්දෙ , මායි තව එකෙකුයි ගියා King Kong බලන්න . මේ කියන්නෙ Peter Jackson හදපු එක . ලිබටි පරණ හෝල් එකේ බැලුවෙ. ඔය ෆිල්ම් එක බලපු අයට මතක ඇති ඕකෙ මුල සීන්ස් ටික යන්නෙ ස්කල් අයිලන්ඩ් එකේ, ඊට පස්සෙ සීන්ස් ටික යන්නෙ නිව්යෝක් වල. ස්කල් අයිලන්ඩ් එකේ අන්තිමට කොන්ග්ව අල්ල ගන්න උගේ මූණට දමල ගහනව ක්ලෝරෆෝම් බෝතලයක්ම ඒකෙන් උට සිහි නැති වෙලා උගෙ ඇස් දෙක පියවෙනවට සමගාමිව තිරයත් අඳුරු වෙලා යනව. ඊට පස්සෙ සුලු මොහොතක් හෝල් එක අඳුරෙ තිබිල ආයි පටන් ගන්නෙ නිව්යෝක් වල නියොන් එලි වලින් දැල්වෙන නාම පුවරු පෙන්නන සීන් එකකින්. ඔන්න ඔතෙන්දි, හෝල් එකේ බාගයක් විතර නැගිටල යන්න හැදුව ෆිල්ම් එක ඉවරයි කියල හිතල. පස්සෙ හෝල් එකේ වැඩ කරන උන් ඇවිත් අරුන්ව ආපහු වාඩි කෙරෙව්ව ෆිල්ම් එකේ තව තියෙන්ව කියල . ෆිල්ම් එකට ආස නිසා ආපහු සැරයක් වෙන හෝල් එකක බැලුව, එතනත් ඕකම වුනා.
මං අහන්නෙ, එතනින් ෆිල්ම් එක ඉවරයි කියල හිතන්න තරම් ගොන්ද මේ මිනිස්සු? කතාව ඉවර උන් නෑ, අරූට සිහි නැති උනා විතරයි කියල තේරෙන්නෙ නැද්ද ?
ඇත්තටම මට නම් තේරුම් ගන්න අමාරුයි මොනව බලන්නද හෝල් එකේ ඇවිත් වාඩි වෙන්නෙ කියල ඔය වගේ අය. ඉතින් ඔන්න ඔය වගේ කට්ටියක් නම් ප්‍රේක්ෂකයො විදිහට ඉන්නෙ, ඒ වගේ අයට අර ප්ලොට් ට්විස්ට් තියෙන, කල්පනා කරල තේරුම් ගන්න ඕනෙ වෙන, තප්පර කිහිපයක් මග ඇරුනොත් තේරුම් ගන්න බැරි වෙන ජාතියෙ ෆිල්ම් හදල වැඩක් තියෙයිද?
ඉතින් මට හිතෙනවා , ලංකාවේ සමහර අධ්‍යක්ෂකවරු මේක දැන ගෙන උවමනාවෙන්ම මොට්ට ෆිල්ම්ස් හදනව කියල බහුතරයට ගැලපෙන්න.
මේකට එක උදාහරණයක් තමා උදයකාන්ත වර්ණසූරිය . එයා මුලින් හදපු ෆිල්ම්ස් සහ දැන් හදන ෆිල්ම්ස් සංසන්දනාත්මකව බලන්න . නිකං, "මේ මැට්ටො ටිකට ගැඹුරු දෙයක් තේරුම් ගන්න බෑ, කීයක් හරි හොයා ගන්න ඕනෙ නම් බහුතර මැට්ටන්ට තේරෙන විදිහට ගොබ්බ විදිහට හදල දාන්න" ඕනෙ වගේ ලෙවල් එකක ඉන්නෙ කියල හිතෙනව.
(මගේ පුද්ගලික අදහසක් පමණි. )
මූණු පොතේ කතා බහ