Sunday, July 22, 2018

Skyscraper:ඩ්වේන් ද රොක් ජොන්සන් ගෙ ජම්ප් එක!!

Skyscraper කියන්නෙ ඩ්වේන් ද රොක් ජොන්සන් ගෙ අලුත්ම ෆිල්ම් එකනෙ. ෆිල්ම් එකේ ප්‍රමෝෂනල් පෝස්ටර් එක පහුගිය පෙබරවාරි මාසෙ රොක් එයාගෙ ට්විටර් ගිණුමෙ දැම්ම. ඒ පෝස්ටර් එකේ තියෙන්නෙ රොක් අර බිල්ඩින් එකේ ජනේලයක් ඇතුලට පනින mid air ෆොටො එක . එදාම James Smythe කියන තව කෙනෙක් තමන්ගෙ ට්විටර් ගිණුමෙ දැම්මේ මේ ජම්ප් එක , ඇත්තටම මනුස්සයෙක් කලා නම් මොනව වෙයිද කියල . මේත් එක්ක දාල තියෙන්නෙ ඒ රූපෙ තමා .
ඕකට අනුව , ඔය දාල තියෙන මොන ක්‍රමයෙන් පැන්නත් සාමාන්‍ය මනුස්සයෙක් ට කිසිම විදිහකින් පනින්න බැරි පිම්මක් තමා ඔය රොක් පැනල පෙන්නන්නේ . ඇක්ෂන් ෆිල්ම්ස් වල පෙන්නන මේ වගේ වැඩ කෑලි වල භෞතික විද්‍යාත්මක හේතු හොයන්න යන්නෙ මොන පිස්සොද කියල කෙනෙකුට හිතෙන්න පුලුවන් වුනාට, මේ ජම්ප් එක සැලකෙන්නේ හොලිවුඩ් ෆිල්ම් එහෙක මෙතෙක් පෙන්නපු "වෙන්න බැරිම" ජම්ප් එකක් විදිහට.
ඉතිං කොහොමින් කොහොම හරි රොක්ගෙ ඔරිජිනල් ට්විටර් පෝස්ට් එකටත් වඩා ජනප්‍රිය වුනේ ඔය ජම්ප් එක විද්‍යාත්මකව (උපහාසයට ) පැහැදිලි කරපු පෝස්ට්, ෆොටෝශොප් කරපුව තමා . ඔය අතරෙ රොක් බැලුම් වල එල්ලිලා යන එව්ව එහෙමත් තියෙනවා . සමහරු කියන්නෙ (ජෝක් එකට) ඒ බිල්ඩින් එකේ පහලින් ඇති වෙලා තියෙන ගින්දර නිසා ඉහළ නගින උණුසුම් වායු ධාරා නිසා ඇතිවෙන උඩුකුරු තෙරපුම් බලය නිසා රොක්ට මේ ජම්ප් එක කරන්න පුලුවන් උනාය කියල .... 😂
තවත් අය කියන්නෙ පෝස්ටර් එකේ SKYSCRAPER කියන වචනය තියෙන හරියෙ K අකුර ළගින් පහලට වැටෙද්දී K අකුරෙ කෙලවරේ එල්ලිලා නැවත කැරකිලා උඩ අතට ගිහින් ඔය කියන ජනෙලෙ ඇතුලට පැන ගන්න පුලුවන් කියල 🤗
තව කෙනෙක් ගණිතය ඇසුරෙන් ඔප්පු කරල පෙන්නල තියෙනවා මේ ජම්ප් එක සාර්ථක කරගන්න නම් , පනින මොහොතේ රොක්ගේ වේගය , අවම වශයෙන් තප්පරයට මීටර් 12.7 ක් වත් වෙන්න ඕනෙ කියල . (උසේන් බෝල්ට්ගේ වාර්තාගත උපරිම වේගයත් මීට අඩුයි )
දෙමළ ෆිල්ම් එකක් මට්ටමටම ගිහින් වගේ පෙනුනත්, අමූලික බොරුවක් උනත්,විකාරයක් කරගන්නෙ නැතුව ඇත්ත වගේ ඇස් ඉදිරියේ මවන්න හොලිවුඩ් ෆිල්ම්ස් වලට ඇති හැකියාව නිසා, මේ වගේ දේවල් නොසලකා කට්ටිම මේක බලන බව නම් ශුවර්.
 මූණු පොතේ කතා බහ

Saturday, July 14, 2018

Stuntronics...

ඩිස්නි සමාගම කියන්නෙ අති දැවැන්ත, දිනෙන් දිනම වර්ධනය වෙන චිත්‍රපට සමාගමක්නෙ , මෙයාලාගෙ චිත්‍රපට වලට සමගාමීව ලෝකෙ පුරාම වගේ තීම් පාර්ක් ආරම්භ කරල නඩත්තු කරන බවත් හැමෝම දන්නව.
ඉතිං මේ තීම් පාර්ක් සැලසුම් කරල , ඒවට අලුත් අලුත් ගැජමැටික්ස් එකතු කරල ඒවට එන අයට උපරිම වින්දනයක් ලැබෙන විදිහට සකසන්නෙ ඩිස්නි සමාගමේ RnD සෙක්ෂන් එක . ඒ කියන්නෙ Research and Development Unit එක . ඩිස්නිලගෙ RnD ඉන්ජිනියර්ස්ලව හඳුන්වන්නේ imagineers ල කියල. ඒ වචනය හැදිල තියෙන්නෙ imagination සහ engineering කියන වචන දෙක එකතු කරල . ඒකට හේතුව තමා ඩිස්නි පාර්ක් එකක් ඩිසයින් කරන්න ඉංජිනේරු දැනුම විතරක් මදි. සුපිරි පරිකල්පන හැකියාවකුත් තියෙන්න ඕනෙ....

ඉතිං ඔය ඩිස්නිලන්ත ඉමැජිනියර්ස්ලට තේරිලා තියෙනවා , දැන් දැන් නිෂ්පාදනය වෙන ඩිස්නි චිත්‍රපට වල ඔය සුපිරි වීර චරිත, ඒ කියන්නෙ අයන් මෑන්, ස්පයිඩර් මෑන් , කැප්ටන් ජැක් ස්පැරෝ වගේ අය, තිරය මත පාන දස්කම් , මේ තීම් පාර්ක් වල දැනට තියෙන තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය කරන්න අමාරුයි කියල . ඒ කියන්නෙ දැන් තියෙන ෆිල්ම්ස් වල තියෙන දෘශ්‍ය ප්‍රයෝග එක්ක සාමාන්‍ය රොබෝවරු පාවිච්චි කරල, පාක් එකට එන මිනිස්සු "රවට්ටන්න" බැරි වේගෙන යන බව.
දැනට මේ වගේ පාක් වල ඔය වගේ චරිත , ඩයිනෝසරයන් වගේ දේවල් ප්‍රතිනිර්මාණය කරන්න පාවිච්චි වෙන්නෙ "animatronics" රොබෝවරු .
හැබැයි මේ ඇනිමැට්‍රොනික් රොබෝලට පුලුවන් කලින් කියල තියෙන විදිහට (pre-programmed ) එකම අංගචලනයක් රිපීට් කරන්න විතරයි . ඒකත් එකම තැනක පිහිටල තමා කරන්නෙ.
මේකට පිලියමක් විදිහට දැන් අලුත් තාක්ෂණයක් ඇවිදින් තියෙනවා , stuntronics කියල . (මේ අලුත් වචනය ඩිස්නි සමාගම විසින්ම හඳුන්වා දුන් එකකි) පහුගිය මාසෙ අන්තිමේ ඩිස්නි සමාගම මේ සම්බන්ධ වීඩියෝ එකක් දාල තියෙනවා යූ ටියුබ් එකේ, Stuntronics යටතේ නිෂ්පාදනය කරපු acrobat රොබෝ කෙනෙක් අහසේ කරණමක් ගහල ලෑන්ඩ් කරන විදිහ තමා ඒකෙ තියෙන්නෙ . මේකෙ විශේෂත්වය තමා මේ රොබෝට පුලුවන් කරණම අතරතුර තමන්ගෙ ගුරුත්ව කේන්ද්‍රය පාලනය කරගෙන , ඒ අනුව ඇත්ත මනුස්සයෙක් වගේ අත් පා හසුරුවමින්, කලින් දීල තියෙන ටාගට් එහෙකට ලෑන්ඩ් කරන්න .
මේ තාක්ෂණය එක්ක අනාගතයෙදි අර නිකං West World එකේ පෙන්නනව වගේ ඇත්ත මිනිස්සු වගේම පේන ඇන්ඩ්‍රොයිඩ් කුලයේ soft robots ල ඉන්න තීම් පාර්ක් ඇතිවෙයි කියලත් කියනව. හැබැයි ඒවට නම් කල් යයි.
ඒත් දැනට ඇත්ත මිනිස්සු යොදා ගෙන කරන අවදානම් ස්ටන්ට් වැඩ අනාගතයෙ මේ රොබෝලට පැවරෙනු ඇති බවත්, අනාගතයෙ ඩිස්නි තීම් පාර්ක් වල , අයන් මෑන් , ස්පයිඩර් මෑන් , කැප්ටන් ඇමරිකා වගේ චරිත , චිත්‍රපට වල දාන ඇක්ෂන් කෑලි, මේ රොබෝවරු විසින් සජීවීව රඟදක්වනු ඇති බවත් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියලයි ඩිස්නි imagineers ල කියන්නෙ.

මූණු පොතේ කතා බහ

Sunday, July 8, 2018

තානෝස්ගේ ජීවිතයේ ඔබ (සමහරවිට) නොදුටු පැතිකඩ.....

මාවල් ෆෑන්ස්ලට පමණයි .....
Infinity War Spoilers නැත. රහිතයි. බය නැතුව කියවන්න....

තානෝස් , සෙනසුරුගේ උපග්‍රහයෙකු වන ටයිටන්හි වාසය කල Eternal වරුන්ගෙන් පැවතෙන්නෙකි. ඔහුගෙ පියා එටර්නල්කෙනකු වූ Mentor වූ අතර මව Sui San නම් විය. ඔහුට Eros නොහොත් Starfox නම් වූ සොහොයුරෙක් සිටී. තානෝස්ගේ දෙමව්පියන් Eternal වරුන් වුවද , තානෝස්ට Deviants වරුන්ගේ ජාන සැකසුම් උරුම වී තිබුනි. (Deviants , එනම් Eternal වරුන්ට නෑදෑකම් දක්වන තවත් විශේෂයක්) එමනිසා, Eternalsලාට වඩා වෙනස් විකෘතිජනක රූපයක් තානෝස්ට උපතින්ම උරුම වී තිබුණි. මෙම විකෘති පෙනුම නිසාම, තම පුත්‍රයා කෙදිනක හෝ විශ්වය විනාශ කරනු ඇතයි බිය වී, ඉපදුණු වහාම තානෝස්ගේ මව විසින්ම ඔහුව මරාදැමීමට සූදානම් වූ අතර එය වැලකුණේ ඔහුගේ පියාගේ මැදිහත් වීම නිසාය.
පාසල් කාලයේ තානෝස් සාමයට ලැදි යුධ විරෝධී අදහස් දැරූවෙකු වූ අතර , ඔහුට යහලුවන් නොසිටි නිසා, සෙල්ලම් කලේ ඔහුගේ සොහොයුරා හෝ සුරතල් සතුන් සමග පමණි.
නමුත් , ගැටවර වියට පා තබත්ම, ජීවිතය යනු අර්ථ ශුන්‍ය දෙයක් බවට අදහන්නට පටන් ගත් ඔහු, ජීවිතයේ ලඟා කරගතහැකි පරමාර්ථයක් හෝ අරමුණක් නැති බව පිලිගනිමින් ශුන්‍යවාදියෙක් වූයේ , මරණය වැනි සංකල්ප වලටම වඩාත් ඇලුම් කරන්නට පටන් ගත්තේය . අවසානයේ එවැනි සංකල්ප අදහන්නට පටන්ගත් තානෝස්, මරණයේ භෞතික ස්වරූපයක් ලෙස පෙනීසිටින , Mistress Death සමඟ පෙමින් වෙලුණේය...

වැඩිහිටියෙකු ලෙස, තමා සතු වූ විද්‍යාත්මක දැනුම භාවිතා කර, කායික ශක්තියත්, බලයත් තවත් වැඩි දියුණු කරගත් තානෝස්, මංකොල්ලකරුවෙකුගේ භූමිකාවක් මෙන්ම, දරුවන් දරුකමට හදාවඩාගැනීමෙන් පීතෘත්වයේ භූමිකාවක්ද තෝරා ගනිමින් තම ජීවිතය අලුත් කරන්නට උත්සාහ කලේය.

අන්න බලන්න , අපේ ජීවිත වලටත් තානෝස්ගෙන් ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා නේද යාලුවනේ 😂😁
(Source : Wikipedia )
මූණු පොතේ කතා බහ

ෆිල්ම් හෝල් වලදී හමුවන එපා කරපු චරිත ....

> ෆිල්ම් එක පටන් ගත්තැයින් පස්සෙ සැරින් සැරේ ඇවිල්ල වාඩි වෙන උන්..... මොන සාධාරණ හේතුවක් උඩ පරක්කු උනත් මට නම් මුන්ට සමාවක් දෙන්න හිතෙන්නෙම නෑ . තමන් ඇත්තටම ආසාවෙන් නම් බලන්න ආවෙ, කතාවෙ බින්දුවක් හරි මග ඇරුන නම් , හරි නම් ඉඳලා ඊලඟ ටයිම් එකේ එක බලන්න ඕනෙ. බුක් කරල ආව නම් ඉතිං සොරි තමා . ඒත් ... මොන හේතුවක් මත වත් මට නම් අනුකම්පාවක් හිතන්නෙම නෑ .....

> ෆිල්ම් එක යන අතරතුරේ කෑම කන උන්.... මුන් කෑම කෑවට නම් මට කමක් නෑ . ඒත් ඉවසන්න බැරි කන්දෙක ලඟ අර බෑග් එක පොඩි කරන කොට එන සර සර සද්දෙන් වෙන බාධාව.... විශේෂයෙන් මේ තත්ත්වය උදා වෙන්නෙ විවේකය දුන්නැයින් පස්සෙ. හත් දොහක් බඩ සයින් පෙලුන උන වගේ හපන්නයි පොඩි කරන්නයි ගන්නව. කොටින්ම මුන් ආවෙ මේක බලන්නද , නැත්තං කෑම වේලක් කාල යන්නද කියල හිතෙනව .

> තඩි සයිස් පොරවල් , ඉස කුඩිච්චි වගේ කොණ්ඩෙ බැඳං එන ගෑනු සහ අන්නාසි මොටෙයියො වගේ කොණ්ඩෙ හදන් එන කොල්ලො.... මුන්ගෙන් එකෙක් ඉස්සරහ සීට් එකට සෙට් උනොත් ඉතිං දර්ශන පථයෙන් සීයට විස්සක් විතර උන්ගෙ කොණ්ඩෙන් හරි ඔලුගෙඩියෙන් හරි වැහිලා යන එක වළක්වන්න හරිම අමාරුයි ....

> වෙන වෙන ඇපොයින්මන්ට් මිස් වෙලා කාලෙ ගෙවා ගැනීම සඳහා ෆිල්ම් හෝල් එකක් ඇතුලට රිංගන හැතිකරේ .... මේ අයට ෆිල්ම් එක ගැන මෙලෝ දැනීමක් නැති අතර ආපු වෙලේ සිට ෆෝන් එක ඔබමින් සිටීම බොහෝවිට සිදුකරයි.

> ගෙදර ප්‍රශ්න , ජීවන ගැටලු ආදිය කතා කිරීමට නිස්කලංක තැනක් ලෙස ෆිල්ම් හෝල් තෝරාගන්නා පිරිස.... අහල පහල සීට් එහෙකට සෙට් උනොත් උන්ගෙ ප්‍රශ්නයට ලුණු ඇඹුල් සහිතව පිළිතුරු දීමට සිතේ.....

> ෆිල්ම් එකෙ ඉවර වෙන්න වගේ වෙනකොටම නැගිටල දුවන උන්... මුන්ට අවශ්‍ය , තමන් මාර බිසී බවත් මෙවැනි එන්ටටේන්මන්ට් පැත්තෙ වැඩ සඳහා තමාට දීමට ඇති කාලය "ලිමිටඩ්" බවත් අපිට පෙන්නීමට යැයි හැඟේ.....

> කාපු හිස් පොප්කෝන් පැකට් , බීම බෝතල් ආදිය හෝල් එකේම තැන තැන දමා යන උන්. මේක නම් ඉතිං රටේම උන්ගේ ජානමය ලක්ෂණයක් කිව්වත් කමක් නෑ. ෆිල්ම් එකට ටිකට් ගන්නකොට, හෝල් එකේ වැඩ කරන උන් අපි කාපු බීපු ඒවත් අස් කරන්න බැඳිල ඉන්නව කියල තමා මේ වගේ උන් හිතන්නෙ . තමන් වින්දනයක් ලබපු තැන කෙලෙසල හැඩි කරල යන්නෙ ඒක තමන්ගෙ අයිතියක් වගේ.
මම නම් ඉතිං පාර්ථනා කරන්නෙ මේ වගේ එවුන් ලබන ආත්මෙ ඇස් නැති ජීවීන් විදියට මුහුදු පතුලේ ඉර එළිය වත් වැටෙන්නෙ නැති අන්ධකාරයෙ උපදින්න කියලයි . 😃මූණු පොතේ කතා බහ

පද්මාවතී (2018)

පද්මාවතී පට්ටයි මාරයි... නොබැලුවොත් වැඩක් නෑ..... හෝල් එහෙකම බලන්න... බන්සාලි කියන්නෙ මනුස්සයෙක් නම් වෙන්න බෑ ... දෑස පැහැරගත්තා... ආදී වසයෙන් කතන්දර රාසියක් වැටී තුබුනු නිසා ගිහින් බැලුව ඉතිං ..... 😏😏
.
.
.
.
ඉතිං ඇත්ත තමා බැලුවම 😂😂😂
හරි . දැන් ලුණු ඇඹුල් ඇතුව කමෙන්ට් එකක් දාන්න හිටිය නම් පද්මාවතී ෆෑන්ස්ල සන්සුන් වෙන්න . මොකද මාත් එයින් එකක් තමා .... 😊
කොහොමත් මේක බලන්න කියල තමා හිටියෙ. මේක තමා ජීවිතේ හෝල් එහෙකට ගිහින් බලපු පළවෙනි හින්දි ෆිල්ම් එක. මොකද සාමාන්‍යයෙන් හින්දි එව්වයෙ වැඩි හරියක් තියෙන්නෙ ගෑනු මිනිස්සු අඬන දොඩන හොටු පෙරන එව්ව නිසා, එව්වයෙ හෝල් එහෙකට ගිහින් බලන්න තරම් දෙයක් නෑය කියන ජෙනරල් අයිඩියා එකක් අයි හෑව්. ඒත් මේකෙ ට්‍රේල එක බලපු සැනින්ම ඒක නම් වෙනස් උනා....
ඉතිං මම බැලුව . හොඳයි කියල ආයි ආයි කියන්න ඕනෙ නෑනෙ . ඇස් දෙක පැහැරගත්ත මුල ඉඳංම. කොටින්ම අර බන්සාලි ලෝගෝ එක හැදෙන විදිය පවා මාර ක්‍රියේටිව්නෙ. ඉතිං ඇස් දෙක නැති නිසා බොක්කෙන්ම බැලුව ෆ්‍රෙන්ස් 😁 ඒ කියන්නෙ බැහැලම බැලුව . ෆිලුම ඇතුලෙ හිටියෙ... මම නම් කියන්නෙ ඔය ෆිල්ම් අතර විවේකයක් දෙන්න ඕනෙ නෑ . එතකොට අර බැහැගෙන බලන උන්ගෙ දැහැන කැඩෙනව.... ඒක හරි වැරැදියි 😟
හ්ම්ම්... ඉතිං ඔහොම බොක්කෙන් බලං ඉද්දි , ඒ කියන්නෙ මේක ෆිල්ම් එකක් නෙවෙයි , මම ඉදිරියේ ඇත්තටම වෙන දෙයක් විදියට හිතාගෙන බලද්දි මෙන්න මෙහෙම හිතුන මට....

Spoiler ALERT......

අර මාලිගාවෙ හවස් වෙද්දි පාන් පත්තු කරන්න වෙනම සෙට් එකක් ඉන්නව ඇති....😜
එතකොට අර ගෑනු ඔක්කොම අන්තහ්පුරේ උන්ද? 😒
අර යකාව මරන්න පුලුවන් වෙලේ මැරුව නම් ඉවරයිනේ ... රෙද්දෙ පරම්පරාවෙ ගරුත්වෙ ඔය කොර ගත්තෙ.... 😏
අන්තිමට ගින්දරට පනින එක නම් අපරාදෙ . පද්මාවතී නම් පැන්නත් මොකෝ . අර අනික් ගෑනු ? මොකද රජා ආයි ආව කියලත් සිය ගානකින් තවත් එකෙක් වෙනව ඇරෙන්න , තමන්ගෙ කියල පවුලක් පන්සලක් වෙලා දරුවෙක් මල්ලෙක් හදාගෙන , මනුස්සයෙක්ගෙ තනි ආදරයක් ලබන්න උන්ට අවස්ථාවක් ලැබෙන් නෑනෙ ... එහෙව් එකේ, අර සුල්තාන්ගෙ හමුදාවේ කොල්ලෙක් එක්ක හරි සෙට් උනා නම් ? හා නැද්ද මං අහන්නෙ ? ඇත්තටම ඔය සිද්ධිය වෙන වෙලාවෙ ඔතන ගින්නට පැනපු ගෑනු කී දෙනක් ඔහොම හිතන්න ඇද්ද? හැමෝම රජා කෙරෙහි පට්ට පති භක්තියෙන් පැන්න කියල හිතන්න පුලුවන්ද?
"අනේ පද්මා, උඹට ඕන්නං උඹ පැනහං . උඹේ මිනිහනෙ. අපි නිකං පරිවාර ගෑනුනෙ. ඉතිං අපිට එච්චරම ඇම්මක් නෑ . අපිට යන්තං ගිනි රස්නෙ වැදුනම ඇති...." - .... අන්න ඒ වගේ හිතපු අයත් ඉන්න ඇති නේද ?

හරි . අන්තිමට කියන්න ඕනෙ අර සුල්තාන් සහ ටීම් එක තනි කකුලෙන් දාන ඩාන්ස් එක.... පට්ටම පට්ට . මාර ෆීලිං එකක් ආවෙ.
මූණු පොතේ කතා බහ

මානසික උපදේශනයට චිත්‍රපට....

මං කියනවට ඔයා බලන්නකො ඒ ෆිල්ම් එක. ඒකෙ ඉන්න එකාටත් තියෙන්නෙ ඔය ඉශූ එකම තමා . අන්තිම වෙනකම් ඉවසීමෙන් බලන්න. ඔයාගෙ ප්‍රශ්නෙට මොකක් හරි උත්තරයක් ලැබෙයි සමහර විට....
මෙහෙම කියල තියෙනවද කවදහරි මොකක් හරි දෙයක් නිසා අවුලකින් ඉන්න යාලුවෙක්ට? යාලුවෙක්ට කිව්වෙ නැතත් , අපි අපේම මානසිකත්වය අවුල් ගිය වෙලාවල් වලදි සමහර විට ෆිල්ම්ස් බලන්න පෙලබෙනව, ප්‍රශ්නය අමතක කරල දාන්න . ඒත් සමහර වෙලාවට හරියටම හරි ෆිල්ම් එකක් සෙට් උනොත් අමතක කරන එකට එහා ගිහින් ප්‍රශ්නයට උත්තරයකුත් ෆිල්ම් එක ඇතුලෙන්ම හොයාගන්න පුලුවන් වෙන්නත් ඉඩ තියෙනවා . ඉතිං මේක අපි නිල වශයෙන් ප්‍රශ්න විසඳීමේ ක්‍රමයක් විදියට පාවිච්චි නොකලට බටහිර රටවල් නම් දැනටත් මේ ක්‍රමය මානසික උපදේශනයේදී යොදා ගන්නව. [ඇත්තටම මේ ක්‍රමය, ඒ කියන්නෙ reel therapy කියන එක , bibliotherapy (කතා පොත් ඇසුරෙන් මානසික උපදේශනය ) කියන එකේම දිගුවක් විදියට තමා සැලකෙන්නේ .]
Rent Two Films and Let's Talk In The Morning කියන්නෙ අන්න එහෙම මානසික උපදේශනයේදී චිත්‍රපට යොදාගන්න, මානසික උපදේශකවරුන්ට ප්‍රයෝජනයට ගන්න ලියපු අත්පොතක් වගේ එකක් .
මේකෙ විස්තර කරන්නෙ , අදාල client ට චිත්‍රපට ප්‍රතිකාරකය දීම සුදුසුද කියල තීරණයක් ගන්න එකට මගපෙන්වීමක් වගේම , ඉන් පස්සෙ එයාට තියෙන ගැටලුව අනුව බලන්න යොමු කරන්න ඕනෙ මොන වගේ චිත්‍රපටද කියන දේ ගැන ඉඟියක් සැපයීම ....
ඇත්තටම මේ පොත සාමාන්‍ය මිනිස්සුනට නෙවෙයි ප්‍රයෝජනවත් , අදාල මානසික උපදේශනය දෙන අයටයි .
ඒත් ඉතිං කලිනුත් කිව්ව වගේ, මේ පොත් නොකියෙව්වට අපිත් ඕන තරම් reel therapy කියන දෙයින් ප්‍රයෝජන අරං ඇති.
(Reel Therapy නමින්ම 2017 වර්ෂයේදී වාර්තා චිත්‍රපටයක් රිලීස් උනා ඒකෙදි කියන්නෙ විශාද රෝගීන් දෙදෙනෙකු මේ therapy එක පාවිච්චි කරන හැටි)
මූණු පොතේ කතා බහ

Jurassic World: Fallen Kingdom (2018)

ඩයිනෝසෝර්ලට ඒ කාලෙ ඉඳංම කොච්චර කැමතිද කියනවනම් ඉස්සර ටීවී එකේ ගිය ඩයිනෝල ඉන්න හැම රෙද්දම බැලුව, ඒ කියන්නෙ ඔය
Land of the Lost (ඉස්සර සෙනසුරාදා හවසට ගියෙ මතක හැටියට . වරද්දන්නෙ නැතුව අනිවා බලනව ) , Dinatopia, වගේ කතා, ඊට පස්සෙ , Denver the Last Dinosaur, Cadillacs and Dinosaurs වගේ කාටුන් විතරක් නෙවෙයි , අර බානි කියල සින්දු කිය කිය නටන දම්පාට ඩයිනෝ ඉන්න වැඩසටහනත් බැලුව යාලුවනේ 😎😂
කොටින්ම මොකක් හරි ෆිල්ම් එහෙක ඩයිනෝසෝර්ල ඉන්නව නම් ඒක මට කොහොමත් හොඳයි . නිකං අන්ධ වෙලා වගේ බලන් ඉන්නෙ 😜
ඉතිං Jurassic World: Fallen Kingdom එකත් බලන්න ගියා. අපරාදෙ කියන්න බෑ බඩ කට හිත ඇස් පිරෙන්න ඩයිනෝසෝර්ල පෙන්නනව... ඇක්ෂන් පැක්ඩ්! ඒ මදිවට හරි පව් කියලත් හිතුන අප්පා... CGI උනත් අර කන්දෙන් පහලට බෝල ගෙඩි වගේ වැටෙද්දී හිත වාවගන්න බැරුව ගියා ෆ්‍රෙන්ස් 😓😓 අර දුමාරෙන් බ්‍රැකියොසෝර්ව වැහිල යන සීන් එක 😣😣

හරි ඊට වඩා කියන්නෙ නෑ.
[කොහොමත් ට්‍රේල එක බලල අපි හිතං ඉන්නවට වඩා වෙනස්ම විදියට තමා කතාව යන්නෙ. ]

Jurassic Park ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකේ පස්වැනි ෆිල්ම් එක, සහ Jurassic World trilogy එකේ දෙවැනි එක , පළවෙනි ෆිල්ම් එක වගේම , කරට කර තියෙන සුපිරි ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන් ඉතිං මටනම් ...
හෝල් එකටම ගිහිල්ල බලන්න ඕන එකක් . අනික මේක තාම ඇමරිකාවෙ රිලීස් වෙලත් නෑලු.... බලන්න ඒ අතින් අපි හෙන දියුණුයි නේද ? 😎
තව පොඩි දෙයක් කියන්නං මේක හෝල් එකේ බලන උන්ට, මේකෙ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකක් තියෙනවා . ඒක නිසා ආසයි නම් නාමාවලිය ඉවර වෙනකම් ඉවසීමෙන් ඉඳලා ඒකත් බලලම එන්න ....

28

28 බැලුව .
මට නම් කම්මැලියි.
හරි හරි ඔව් ඉතිං .
තේරුම් ගන්න මොලේ ඕනෙනෙ . ගැඹුරුයි . හා.

පැයෙන් කියන්න පුලුවන් කතාව පැය එකහමාරක් ඇදල කියලයි මට නම් හිතුනෙ.
අනික මේක ලංකාවේ වෙන්න පුලුවන් /වෙන විදියට හිතල හදපු එකක්ද? එහෙමත් නැත්තං අධ්‍යක්ෂවරයගෙ හිතේ තියෙන ෆැන්ටසි රටක් ඇතුලෙ වෙන එකක් ද?
මම එහෙම ඇහුවෙ මේකයි, මේකෙ පෙන්නන සම්පුර්ණ සිද්ධියම ටිකක් අභව්‍ය ගතියක් තියෙනවා . මොකද අතපය හතර හොඳට තියෙන , හම්බ කරන මිනිහෙකුට තමන්ගෙ ගෑනිගෙ මිනිය ගමට ගෙනියන වැඩේ ඔයිට වඩා හොඳට ඕන හැටියෙ කරන්න පුලුවන් කියලයි මට නම් හිතන්නෙ .
අනික, අර මිනී පෙට්ටිය පහලට වැටුනු වෙලාවෙ, එතෙන්ට වට වුනු මිනිස්සු හැසිරෙන විදිය ? ටිකක් අවුලක් නැද්ද? ලංකාවේ මිනිස්සු ඔහොමද? ඔයිට වඩා ප්‍රතිචාර දක්වනව නේද ? තව තැනක, අර කොල්ල මිනී පෙට්ටිය අල්ලගෙන වහල උඩ යද්දි හූ කියන එක? එහෙම කරනවද ලංකාවේ ගම්වල මිනිස්සු ? ඒක හූ කියන්න දෙයක්ද ? අනේ මන්ද ඉතිං , මට නම් එතන හූ කියන්න දෙයක් නෑ. මට හිතුනෙම, ඒ හූ කියවිල්ල අවසානෙ අබසිරි උන්ට බනින කෑල්ල , ඒ දෙබස, එතෙන්ට දාගන්න ඕන නිසා කෘතිමව ඔබපු සීන් එකක් කියලයි .
තව එකක් තමා , අර සුද්දි බාත් රූම් එකේ නානව එයාගෙ මාමා හොරෙන් බලන් ඉඳලා , සුද්දි හෙලුවෙන් නාපු නිසා ගමෙන් යන්න උනා කියන කතාව ... ඇත්තටම ගම් වල ඔහොම ඒව වෙනවද ? මම අහන්නෙ නාන එක හොරෙන් බලන එක නෙවෙයි , අදාළ ගෑනි බාත් රූම් එක ඇතුලෙ හෙලුවෙන් නාපු එක , ගමෙන් යන්න තරම් ලැජ්ජා සහගත , හූ කිවයුතු දෙයක් යැයි සලකන ගම් පලාත් ලංකාවේ තියෙනවද ?

ඊට අමතරව , මේක ලංකාවේ හොඳම ෆිල්ම් එක වීම ගැන ඉතිං අවුලක් නෑ . මොකද ඉතිං ලංකාවේ අනික් හැදුනු ෆිල්ම් වලට සාපේක්ෂව , මේක හොඳ නිසා . ඒත් , මේක ආසියාවේ හොඳම චිත්‍රපටය උනේ කොහොමද කියලනම් නොතේරේ .
අනික ඉතිං මේකෙ පෙන්නන "රටවැසියො" හැසිරෙන ආකාරය සහ ලංකාවේ මිනිස්සු සාමාන්‍ය ජීවිතේ ඕවගේ දේකට ප්‍රතිචාර දක්වන විදිය අතර ලොකු පරතරයක් තියෙනවා කියන එක ලංකාවේ එකෙක්ට තේරුනත් (මන්ද ඉතිං මට නම් එහෙමයි ), මේක බලපු වෙන රටවල උන්, ලංකාවේ උන් මෙහෙමයි කියල හිතන්න ඇති.
මූණු පොතේ කතා බහ

පරම්පරාවෙන් පරම්පරාවට ....

මේ ලඟදි කවුරුහරි මේ ගෲප් එකේමද මන්ද අහල තිබ්බ, ඔයාලා පළවෙනියටම හෝල් එහෙකට ගිහිල්ල බලපු ෆිල්ම් එක මොකද්ද කියල ...
ඉතිං මම ඕකෙ කමෙන්ට් කියවං ගියා. හුඟක් අයගෙ උත්තරයක් වෙලා තිබ්බෙ Jurassic Park (මාත් ඇතුළුව). තවත් සමහර අයගෙ Titanic . ඉතිං ඔහොම පහලට පහලට යද්දි මෙන්න තියෙනවා උත්තරයක් Jurassic World කියල !!
හෝව් හෝව්. මූට පැටලිලා . ඉතිං මම රිප්ලයි එකක් දාන්න ගියා ,
"Jurassic World කියන්නෙ ළඟදි ආපු එක නෙ බං, අරක Jurassic Park කියල "....
ඔන්න එතකොටම විදුලියක් කෙටුව වගේ මටම තේරුනා, මූට නෙවෙයි වැරදිලා තියෙන්නෙ මටමයි කියන එක . ඒ කියන්නෙ ඒ කමෙන්ට් එක දාපු "දරුවා"( ඒ "කිරි සප්පය" 😂) ඇත්තටම පළවෙනියටම හෝල් එහෙකට ගිහිල්ල බලල තියෙන්නෙ Jurassic World තමා !!! 😱😱

ඒ කියන්නෙ මම කොච්චර නාකිවෙලා ද අනේ දෙයියනේ 😱😱 කියල හිතුන ඉතිං ...

හරි Anyway , මට එතෙනදී ප්‍රත්‍යක්ෂ වෙච්චි තව දෙයක් තමා, සමහර විට මේ ගෲප් එකේම මම දකින සමහර පෝස්ට් වල , ටිකක් පරණ (ඒ කියන්නෙ අනූව දසකෙ වගේ හොඳේ) ඒත් හොඳ ෆිල්ම් එකක් දාල අහනව , "ළඟදි බලපු සුපිරි ෆිල්ම් එකක් කවුද බැලුවෙ" කියල . . ඔන්න එතකොටත් මේ වෙලා තියෙන්නෙ , අන්න ඒ වගේම මල්ලි කෙනෙක් හෝ නංගි කෙනෙක් ලඟදි ෆිල්ම් බලන්න පටන් අරං ... ඉතිං එයාල , ඒ ලෝකය rediscover කරන සීන් එකක් මේ යන්නෙ කියන දේ මට වැටහුණා ....
එහෙම බැලුවම ඇත්තටම දැන් ෆේස් බුක් එකේ ෆිල්ම්ස් බලන සෙට් එකේ පැහැදිලිව අඳුනගන්න පුලුවන් පරම්පරා දෙකක් තියෙනවා කියල හිතෙනව මට . එකක් Jurassic Park හෝල් එකේ බලපු උන් , අනික Jurassic World හෝල් එකේ පලවෙනියට බලපු උන්..... (චිත්‍රපට දෙක උදාහරණ දෙකක් විතරයි ඉතිං )
කොහොමෙන් කොහොම හරි, ස්ටීවන් ස්පීල්බර්ග් කියන්නෙ පරම්පරා අතික්‍රමණය කරන මනුස්සයෙක් කියල ඔප්පු කරමින් ඔන්න executive producer විදියට Jurassic World එකේ දෙවෙනි එකත් අරං ඇවිල්ල ...
දැන් ඒකත් බලන්න යන්න ඉන්නෙ...
මොන්ටිසෝරි යන වයසෙ පොඩි එකෙක් විදියට Jurassic Park, පරණ ලිබර්ටි හෝල් එකේ බලල කොච්චර ගැම්මක් , පිස්සුවක් හැදුනද කිව්වොත් , ගෙදර ඇවිල්ල මැටියෙන් ඩයිනෝසෝර්ල හදල පුංචියට Jurassic Park එහෙකුත් දැම්ම. ඒ කාලෙ දැන් වගේ ප්ලාස්ටික් ඩයිනෝසෝර්ල හිටියෙ නෑ සෙල්ලම් බඩු කඩවල් වල. මොකද ඇත්තටම ඒ trend එක ඇති උනේ Jurassic Park ෆිල්ම් එකෙන් පස්සෙ .
කොහොම උනත් , මුල් ෆිල්ම් එක 2D විදියට බලල උනත් අර මොන්ටිසෝරි වයසෙ හිටිය පොඩි එකාට දැනුන තරම් සැරට, දෙවෙනි එක 3D විදියට බලපු ලොකු එකාට දැනුනෙ නෑ .

හැබැයි, Jurassic World කියන්නෙත්, Jurassic Park මුල් ෆිල්ම් එකේ reputation එකට හානි නොකරපු පට්ටම ෆිල්ම් එකක් බව කියන්නම ඕනෙ....
මූණු පොතේ කතා බහ

ඔස්කා සම්මාන දෙන්නෙ කොහොමද ?

සමහර වෙලාවට අපිට ඇහෙන ප්‍රශ්නයක් තමා අර ෆිල්ම් එකට ඔස්කා හොඳම ෆිල්ම් එක සම්මානෙ ලැබුනෙ කොහොමද අරක ඊට වඩා හොඳයි නෙ... ආදී වශයෙන් ...
ඇත්තටම කොහොමද මේ සම්මාන දෙන්න තීරණය වෙන්නෙ?
ඔස්කා සම්මාන දෙන්නෙ ඇමරිකාවෙ motion picture academy කියන එකෙන් නෙ. ඔය සම්මාන දෙන්නෙ ඡන්ද ක්‍රමයකින්. හැබැයි හැමෝටම ඡන්දෙ දාන්න බෑ. ඇකඩමි මෙම්බර්ස්ලට විතරයි ඒ අයිතිය තියෙන්නෙ . ඇකඩමියෙ මෙම්බර්ස්ල හයදාස් ගානක් ඉන්නව . මේ හැමෝම චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ අය. මේකෙ මෙම්බශිප් ගන්න නම් චිත්‍රපට සම්බන්ධ කුමන හෝ අංශයක වැඩ පෙන්නල තියෙන්නෙ ඕනෙ. ඉතිං ඔහොම ගත්ත අයට, ඔස්කා සම්මාන ලැබීම සඳහා තියෙන්නෙ ඕන මූලික සුදුසුකම් සපුරපු චිත්‍රපට ලිස්ට් එකක් හදල යවනව . මොනවද මේ සුදුසුකම් ?
- චිත්‍රපටය අවම විනාඩි 40 ක් වත් දිග වෙන්න ඕනෙ.
- චිත්‍රපටයෙ පළමු මහජන ප්‍රදර්ශනය, අදාළ කැලැන්ඩර් වර්ෂය තුලදී , චිත්‍රපට ශාලාවක සිදුවී තියෙන්නෙ ඕනෙ
- චිත්‍රපටය , 35mm හෝ 70 mm ෆිල්ම් ෆොමැට් එකෙන් හෝ, 24 fps , progressive scan digital ෆොමැට් එකෙන් එලිදක්වා තියෙන්නෙ ඕනෙ
- ලොස් ඇන්ජලීස් කවුන්ටියට අයත් චිත්‍රපට ශාලාවක ,මුදල් අයකල මහජන ප්‍රදර්ශනය එක දිගට දවස් හතක් , අදාළ කැලැන්ඩර් වර්ෂය තුළ සිදුකළ චිත්‍රපටයක් වෙන්න ඕනෙ...
මේ සුදුසුකම් සපුරල නම්, අදාල ෆෝම් එක ෆිල් කරල ඇකඩමියට දුන්නොත් , ඒ චිත්‍රපටය අදාළ වර්ෂයේ සම්මාන සඳහා සැලකෙනව . ඒ කියන්නෙ අර මුලින්ම කිව්ව ලිස්ට් එකට ඇතුළු කර ගන්නව. ඊට පස්සෙ ඒ ලිස්ට් එක තමා මෙම්බර්ස්ලට යවන්නෙ. ඊට පස්සෙ එයාල , ඒ ඒ කැටගරියෙ හොඳම ෆිල්ම්ස් තෝරල ඒ ලිස්ට් එකේ ලකුණු කරල ආපහු ඇකඩමියට යවනව . (ඒ කිව්වෙ, සංස්කරණ ශිල්පීයෙකුට මේකෙදි තෝරන්න පුලුවන් හොඳම සංස්කරණය සඳහා චිත්‍රපට ... ඔන්න ඔය වගේ)
ඊට පස්සෙ එහෙම ලැබුනු ඡන්ද පත්‍රිකා ටික ගනන් කරල , ඒවැයින් වැඩිම ඡන්ද ලැබුන ෆිල්ම්ස් පහ ගානෙ නොමිනේට් කරගන්නව. එහෙම තෝරාගත් නොමිනේෂන්ස් ප්‍රසිද්ධ කරල ආපහු ඒවට නැවතත් ඡන්දය විමසනව. ඒකෙදිත් වැඩිම ඡන්ද ලබාගන්න චිත්‍රපට තමා සම්මාන ලබන්නෙ.
හැබැයි , ඔය ක්‍රමය අදාළ වෙන්නෙ හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානය හැර ඉතුරු සම්මාන වලට . හොඳම චිත්‍රපටය (Best Picture ) සඳහා සම්මානය තීරණය වෙන්නෙ ඔයිට ටිකක් වෙනස් ක්‍රමයකින්.
මේ සඳහා සියලුම ඇකඩමි මෙම්බර්ස්ලට ඡන්දය පාවිච්චි කරන්න පුලුවන් . (ඒ කියන්නෙ , ඔබ ඇකඩමියෙ සමාජිකත්වය හිමි අධ්‍යක්ෂවරයෙක් කියමුකො , එතකොට ඔබට හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මාන ලබාදෙන වැඩේට වගේම හොඳම චිත්‍රපටය තෝරන එකටත් ඡන්දය පාවිච්චි කරන්න පුලුවන්)
එතනදි අර මුලින්ම කිව්ව ලිස්ට් එකෙන් වැඩිම ඡන්ද ලබාගන්න ෆිල්ම්ස් දහයක් නොමිනේට් කරගන්නව. පස්සෙ ඒ දහයෙ නම් ප්‍රින්ට් කරපු ballot paper එකක් හැම මෙම්බ කෙනෙක්ටම යවනව. ඒකෙදි තමන් කැමතිම චිත්‍රපටයට අංක එක සිට කැමැත්ත අඩුම එක දහය වෙනකං අංක දාල , ආපහු ඇකඩමියට දෙන්න ඕනෙ.
ඉන් පස්සෙ ඡන්ද ගනන් කිරීම සිදුවෙනවා . මේක කරන්නෙ ප්‍රයිස් වෝටර්හවුස් කූපර්ස් කියල විඝණන සමාගමක් . එයාල බොහොම රහසිගතව තමා මේක කරන්නෙ. එතකොට මේ ලැබුනු ඡන්ද පත්‍රිකා වල පළමු කැමැත්ත ලැබිල තියෙන විදියට ගොඩවල් ගහනව . හැබැයි මොකක් හරි චිත්‍රපටයක් හොඳම එක විදියට තෝරාගන්න නම් ඒකට මුලු ඡන්ද සංඛ්‍යාවෙන් සීයට පනහකට වඩා ලැබෙන්න ඕනෙ. ඒ කියන්නෙ මුලු ඡන්ද ගාන සීයක් නම් , අඩුම පනස් එකක් වත් ලැබෙන්න ඕනෙ. අපි හිතමුකො ඔක්කොම ගොඩවල් ගැහුවයින් පස්සෙ , එක ෆිල්ම් එකකටවත් ඔය කියන ප්‍රමාණය තිබුන් නෑ කියල , එතකොට කරන්නෙ , අඩුම ඡන්ද ගොඩ තියෙන ෆිල්ම් එකේ ඡන්ද කොල ටික අරං ඒකෙ දෙවැනි මනාපය සලකන එක. එතකොට අර ෆිල්ම් එක (අඩුම එක) ඉබේම ඉවත් වෙලා ඒකෙ ඡන්ද ටික දෙවැනි මනාපය අනුව අනික් ෆිල්ම්ස් අතරේ බෙදිල යනව . ඔහොම කරලත් එකකටවත් 51% ක් ලැබුනෙ නැත්තං , ආයි ඊලඟට අඩුම ෆිල්ම් එකේ ඡන්ද ටික බෙදනව . ඔන්න ඔහොම කරන් යද්දී එක්තරා අවස්ථාවක යම් චිත්‍රපටයක් මුලින්ම 51% සීමාව පන්නනව. එතකොට ඒක තමා හොඳම චිත්‍රපටය කියල තෝරගන්නෙ. ඉතිං ඇත්තටම බැලුවම තේරිලා එන්නෙ බහුතරයක් මෙම්බර්ස්ල වැඩිම මනාපයක් /ඉහළ මනාපයක් ලබල දීපු චිත්‍රපටයක් , තවත් හොඳට කිව්වොත් , හැමෝම අඩුවෙන්ම අකමැති චිත්‍රපටයක් . ඉතිං එහෙම බැලුවම අපි අපි අතරේ හොඳම ෆිල්ම් එක විදියට ඒක තේරුනේ ඇයි ? අරක නොතේරුනේ ඇයි වශයෙන් වාද විවාද තිබ්බත්, හොඳම චිත්‍රපටය තෝරා ගන්න භාවිතා වෙන ක්‍රමය සෑහෙන්න සාධාරණ ක්‍රමයක් කියලයි මට හිතන්නෙ .

මූණු පොතේ කතා බහ

මොළේ අප්ලෝඩ් කරන ෆිල්ම්!

මීට අවුරුදු ගානකට කලින් ඔන්න ආට් ටීවි එකේ ගියා ෆිල්ම් එකක් , කතාව හැටියට ඒකෙ විද්‍යාඥයෙක් හොයා ගන්නව ක්‍රමයක් , මොළය, විද්‍යුත් සංඥා විදියට පරිඝණක පද්ධතියකට "අප්ලෝඩ්" කරන්න ... ඉතිං මැරෙන්න කලින් කොහොම හරි මෙයාට පුලුවන් වෙනව, තමන්ව අප්ලෝඩ් කරගන්න. ඒ කියන්නෙ කෙලින්ම ඉන්ටනෙට් එකට අප්ලෝඩ් වෙනව.... ඊට පස්සෙ ඉතිං සෑහෙන පිස්සුවක් නටනව , මට මතක නෑ අන්තිමට මොනා වෙනවද කියල . ඕකෙ නම, Virtual Obsession . ඔය මොළේ අප්ලෝඩ් කරන සීන් එක චිත්‍රපටයක් තුළ මුලින්ම දැක්කෙ ඕකෙන්. ඊට පස්සෙ ආයි ඔයිට සමාන කතාවක් තිබ්බ, ලඟදි ආපු ජොනී ඩෙප් ඉන්න Transcendence ෆිල්ම් එකේ. ඒකත් සෑහෙන්න හිතන්න යමක් ඉතුරු කරන, බලන්න වටින ෆිල්ම් එකක් . හිතන්න යමක් කිව්වෙ, ඇත්තටම මනුස්සයෙක් කියන්නෙ මොලේ රසායනික ප්‍රතිකියා ටිකක් විතරද? නැත්තං ඊට එහා ගිය, විද්‍යාත්මකව අනුකරණය කරන්න බැරි විඥානයක් වගේ දෙයක් තියෙනවද කියන ප්‍රශ්නය මේ ෆිල්ම් එක බලද්දි ගැඹුරටම දැනෙනව. දැන් ඔය කිව්වෙ, මිනිස්සු , කෘතිම බුද්ධි බවට පත්වීමෙන් අමරණීයත්වය ලබාගන්න හදපු අවස්ථා තියෙන ෆිල්ම්ස්නෙ. ඉතිං ඕකෙම අනික් පැත්තත් තියෙනවා ... ඒ කියන්නෙ , යන්ත්‍ර, ටිකින් ටික මිනිසත්බව ලබන්න දරපු උත්සාහ සහිත ෆිල්ම්ස් . මට මතක එහෙම කතාවක් තියෙන පරණ ෆිල්ම් එකක් තමා , Bicentennial Man කියන්නෙ . මේකෙ නමේ විදියට, අවුරුදු දෙසීයක් වයස මනුස්සයෙක් ගැනනෙ කියන්නෙ , ඇත්තටම ඒ මනුස්සයෙක් නෙවෙයි . රොබෝ කෙනෙක් . මුලින්ම රොබෝ කෙනෙක් විදියට ඉන්න මෙයා, කතාව අන්තිමට මනුස්සයෙක් (?) වෙනව. ඒකට අවුරුදු දෙසීයක් යනව. ඒක තමා මේ නම දාල තියෙන්නෙ . ලඟදි ආපු මේ විදිහෙ තව ෆිල්ම් එකක් තමා Ex Machina කියන්නෙ . ඒකෙ තියෙන්නෙ ගෑනු කෙනෙක් විදියටම හදපු රොබෝ වරියක් ගැන . ඔය ෆිල්ම්ස් දෙකේම අන්තිමට අර අපිට මුලින්ම ආපු ප්‍රශ්නයේ ප්‍රතිවිරුද්ධ දේට උත්තර හොයාගන්න වෙනව. ඒ කියන්නෙ කොච්චර මානවරූපී උනත් , මේ රොබෝ වරු මිනිස්සුනට සමාන කරන්න පුලුවන්ද කියන එක. අර විඥානය , ආත්මය වගේ දේවල් පැත්තකට දැම්මොත් නම් ඉතිං මෙයාලත් මිනිස්සුනට සමාන හෝ ඊටත් වඩා දියුණු සත්ත්ව කොට්ඨාසයක් කියල තමා සලකන්න වෙන්නෙ...
මට මේව මතක් උනේ, දැන් අර අලුතින් මානව රූපී රොබොච්චියෙක් හදල නේද සොෆීයා කියල ? සොෆියව හැදුවෙ 2015 දි උනත් , එයාව ආයි කරළියට ආවෙ, 2017 ඔක්තෝම්බර් මාසෙදි එයාට සවුදි අරාබියෙ පුරවැසිභාවය හිමිවීමත් එක්ක... ඔව්, ඒ තමා රොබෝ කෙනෙක්ට රටක පුරවැසිභාවය හිමි වුනු පලවෙනි අවස්ථාව ... ඔන්න ඉතිං මේ ලඟදි දවසක සොෆියා , ජිමී ෆැලන් (Tonight Show එකේ) හම්බෙන්නෙ ආව... සොෆියා එක්ක කතා කරන්න ගිහින් ඇත්තටම අපහසුතාවට පත්වුනේ ජිමී... කොටින්ම සොෆියාගෙ ජෝක් එහෙකට මිනිස්සු හිනා වෙද්දි සොෆියා අහනව, මම කියන ඒවට මිනිස්සු හිනා වෙනවනෙ ජිමී, එක්කො ඔන්න ඔහෙ මමම මේ ෂෝ එක කරන්නද කියල ? !! යූ ටියුබ් එකේ තියෙනවා බලන්න. ඔය අතරේ මේ ජනවාරි මාසෙදි ඇවිදින්නත් පුලුවන් වෙන විදියට සොෆියාට කෘතිම කකුල් දෙහෙකුත් හයි කලා කියල ආරංචියි.
අවසාන වශයෙන් ඉතිං කියන්න තියෙන්නෙ , සවුදි අරාබිය වගේ රටවල් , රොබෝ ගැහැනුන්ටත් පුරවැසිභාවය ලබාදෙමින් අනාගතය දෙසට යෝධ පියවර තබද්දී, අපේ රටේ ඉන්න ලිං මැඩි නායකයින් ලිං පතුලේ මඩත් හාරගෙන තවත් අතීතයේ වැලලෙන්න හදන එක ගැන බොහොම කණගාටුයි කියල තමා .