Sunday, July 8, 2018

මොළේ අප්ලෝඩ් කරන ෆිල්ම්!

මීට අවුරුදු ගානකට කලින් ඔන්න ආට් ටීවි එකේ ගියා ෆිල්ම් එකක් , කතාව හැටියට ඒකෙ විද්‍යාඥයෙක් හොයා ගන්නව ක්‍රමයක් , මොළය, විද්‍යුත් සංඥා විදියට පරිඝණක පද්ධතියකට "අප්ලෝඩ්" කරන්න ... ඉතිං මැරෙන්න කලින් කොහොම හරි මෙයාට පුලුවන් වෙනව, තමන්ව අප්ලෝඩ් කරගන්න. ඒ කියන්නෙ කෙලින්ම ඉන්ටනෙට් එකට අප්ලෝඩ් වෙනව.... ඊට පස්සෙ ඉතිං සෑහෙන පිස්සුවක් නටනව , මට මතක නෑ අන්තිමට මොනා වෙනවද කියල . ඕකෙ නම, Virtual Obsession . ඔය මොළේ අප්ලෝඩ් කරන සීන් එක චිත්‍රපටයක් තුළ මුලින්ම දැක්කෙ ඕකෙන්. ඊට පස්සෙ ආයි ඔයිට සමාන කතාවක් තිබ්බ, ලඟදි ආපු ජොනී ඩෙප් ඉන්න Transcendence ෆිල්ම් එකේ. ඒකත් සෑහෙන්න හිතන්න යමක් ඉතුරු කරන, බලන්න වටින ෆිල්ම් එකක් . හිතන්න යමක් කිව්වෙ, ඇත්තටම මනුස්සයෙක් කියන්නෙ මොලේ රසායනික ප්‍රතිකියා ටිකක් විතරද? නැත්තං ඊට එහා ගිය, විද්‍යාත්මකව අනුකරණය කරන්න බැරි විඥානයක් වගේ දෙයක් තියෙනවද කියන ප්‍රශ්නය මේ ෆිල්ම් එක බලද්දි ගැඹුරටම දැනෙනව. දැන් ඔය කිව්වෙ, මිනිස්සු , කෘතිම බුද්ධි බවට පත්වීමෙන් අමරණීයත්වය ලබාගන්න හදපු අවස්ථා තියෙන ෆිල්ම්ස්නෙ. ඉතිං ඕකෙම අනික් පැත්තත් තියෙනවා ... ඒ කියන්නෙ , යන්ත්‍ර, ටිකින් ටික මිනිසත්බව ලබන්න දරපු උත්සාහ සහිත ෆිල්ම්ස් . මට මතක එහෙම කතාවක් තියෙන පරණ ෆිල්ම් එකක් තමා , Bicentennial Man කියන්නෙ . මේකෙ නමේ විදියට, අවුරුදු දෙසීයක් වයස මනුස්සයෙක් ගැනනෙ කියන්නෙ , ඇත්තටම ඒ මනුස්සයෙක් නෙවෙයි . රොබෝ කෙනෙක් . මුලින්ම රොබෝ කෙනෙක් විදියට ඉන්න මෙයා, කතාව අන්තිමට මනුස්සයෙක් (?) වෙනව. ඒකට අවුරුදු දෙසීයක් යනව. ඒක තමා මේ නම දාල තියෙන්නෙ . ලඟදි ආපු මේ විදිහෙ තව ෆිල්ම් එකක් තමා Ex Machina කියන්නෙ . ඒකෙ තියෙන්නෙ ගෑනු කෙනෙක් විදියටම හදපු රොබෝ වරියක් ගැන . ඔය ෆිල්ම්ස් දෙකේම අන්තිමට අර අපිට මුලින්ම ආපු ප්‍රශ්නයේ ප්‍රතිවිරුද්ධ දේට උත්තර හොයාගන්න වෙනව. ඒ කියන්නෙ කොච්චර මානවරූපී උනත් , මේ රොබෝ වරු මිනිස්සුනට සමාන කරන්න පුලුවන්ද කියන එක. අර විඥානය , ආත්මය වගේ දේවල් පැත්තකට දැම්මොත් නම් ඉතිං මෙයාලත් මිනිස්සුනට සමාන හෝ ඊටත් වඩා දියුණු සත්ත්ව කොට්ඨාසයක් කියල තමා සලකන්න වෙන්නෙ...
මට මේව මතක් උනේ, දැන් අර අලුතින් මානව රූපී රොබොච්චියෙක් හදල නේද සොෆීයා කියල ? සොෆියව හැදුවෙ 2015 දි උනත් , එයාව ආයි කරළියට ආවෙ, 2017 ඔක්තෝම්බර් මාසෙදි එයාට සවුදි අරාබියෙ පුරවැසිභාවය හිමිවීමත් එක්ක... ඔව්, ඒ තමා රොබෝ කෙනෙක්ට රටක පුරවැසිභාවය හිමි වුනු පලවෙනි අවස්ථාව ... ඔන්න ඉතිං මේ ලඟදි දවසක සොෆියා , ජිමී ෆැලන් (Tonight Show එකේ) හම්බෙන්නෙ ආව... සොෆියා එක්ක කතා කරන්න ගිහින් ඇත්තටම අපහසුතාවට පත්වුනේ ජිමී... කොටින්ම සොෆියාගෙ ජෝක් එහෙකට මිනිස්සු හිනා වෙද්දි සොෆියා අහනව, මම කියන ඒවට මිනිස්සු හිනා වෙනවනෙ ජිමී, එක්කො ඔන්න ඔහෙ මමම මේ ෂෝ එක කරන්නද කියල ? !! යූ ටියුබ් එකේ තියෙනවා බලන්න. ඔය අතරේ මේ ජනවාරි මාසෙදි ඇවිදින්නත් පුලුවන් වෙන විදියට සොෆියාට කෘතිම කකුල් දෙහෙකුත් හයි කලා කියල ආරංචියි.
අවසාන වශයෙන් ඉතිං කියන්න තියෙන්නෙ , සවුදි අරාබිය වගේ රටවල් , රොබෝ ගැහැනුන්ටත් පුරවැසිභාවය ලබාදෙමින් අනාගතය දෙසට යෝධ පියවර තබද්දී, අපේ රටේ ඉන්න ලිං මැඩි නායකයින් ලිං පතුලේ මඩත් හාරගෙන තවත් අතීතයේ වැලලෙන්න හදන එක ගැන බොහොම කණගාටුයි කියල තමා .

No comments:

Post a Comment