Friday, August 31, 2018

The Red Turtle (2016)

බැලූ බැල්මට ළමා චිත්‍රපටයක් වගේ පෙනුනත් මේක ළමයින්ට හදපු එකක් නම් නෙවෙයි . බලල ඉවර වුනාම නිකං සාංකාවක් වගේ අමුතු හැඟීමක් තමා ඇතිවුණේ මට නම් . මේක බැලුවම අන්තිමට ප්‍රශ්න ඇති වෙයි , මොකද්ද මේකෙ තේරුම? නැත්තං සම්පුර්ණයෙන්ම හීනයක්ද? තේරුමක් නැති එකද තේරුම ? වගේ... හැබැයි ඒ මේ චිත්‍රපටිය සම්බන්ධයෙන් ඔබ ඒකෙ අධ්‍යක්ෂවරයාගෙන් අහන ප්‍රශ්න නෙවෙයි . ඔබේ ජීවිතය සම්බන්ධයෙන් ඔබෙන්ම අහන ප්‍රශ්න.... ඒක තමා මේකෙ විශේෂත්වය මට නම් .
මුලින්ම නිකං රොබින්සන් කෲසෝ ටයිප් එකේ කතාවක් විදිහට පටන් අරං, හැරවුම් ලක්ෂයක් විදිහට හඳුන්වන්න පුලුවන් සුවිශේෂී සිද්ධියක් නිසා ඒ රොබින්සන් කෲසෝ ගතිය නැති වෙලා යනව. මේකෙ මතුපිටින් බැලුවම නිකං ජනකතා ගතියක් තිබ්බත්, රූප සංකේත වලින් කියන්න හදන ඊට එහා ගිය තව ලේයර්ස් දෙකක් විතර තියෙනවා කියල තේරුම් යනව හරියට බැලුවොත් .

චිත්‍රපටයේ කාටුන් ගතිය ඒකෙ කතාවට හරියටම ගැලපෙනව. දූපතේ ලස්සන සෑහෙන්න හිතට දැනෙන විදිහට සරලව ඇනිමේට් කරල තියෙනවා . අනික, මේක සම්පුර්ණයෙන්ම නිහඬ චිත්‍රපටයක්. (ඒක නිසා උපසිරස ගැන වද වෙන්න ඕනෙම නෑ.) එක වචනයක් වත් කතා නොකර , මෙච්චරටම දැනෙන විදිහට රූප වලින් විතරක් ලස්සන හරඹයක් කරල තියෙනවා කියල විශේෂයෙන්ම කියන්න ඕනෙ....

එහෙනං බලපු නැති අය බලන්න .
spoilers ahead....
බලල නැත්තං පහල කියවන්න එපා.

🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀

මුලින්ම පෙන්නන විදිහට මනුස්සයෙක් මුහුදෙ පාවෙලා ගිහින් ජනශුන්‍ය දූපතකට එනව. මේ දූපතේ කන්න බොන්න දේවල් තිබ්බත්, ජීවත් වෙන්න අත්‍යාවශ්‍ය එක ප්‍රධාන දෙයක් නෑ. ඒ තමා ආශ්‍රය කරන්න තව එකෙක්. පවුලක්, පරම්පරාවක්... ඉතිං මූ කොහොම හරි දූපතෙන් පැන ගන්න බලනව. එතෙන්දි මූ යන්න හදන එක අර කැස්බෑවා නතර කරන්නෙ මිනිහගෙම හොඳට . මොකද මේ මනුස්සයා බලාපොරොත්තු වෙන, හොයන සතුට, සම්පුර්ණත්වය තියෙන්නෙ මුහුදෙන් එහා නෙවෙයි මේ පුංචි දූපතේමයි. මෙතෙන්දි අර කාන්තාව බවට පත්වෙන කැස්බෑවගෙන් සංකේතවත් වෙන්නෙ ස්වභාවයධර්මයම තමා . ඒ වගේම කතාව මැද හරියෙදි තේරෙනව, මේ මනුස්සය මුලින් පැනල යන්න හැදුවට, එයා ඇත්තටම අයිති මේ දූපතටම බව. ඒක තමා උගේ ඉරණම . ඌට නියම වෙලා තියෙන චක්‍රය. ඒ මනුස්සයගෙන් සංකේතවත් වෙන්නෙ මුලු මනුස්ස සංහතියමයි. ජීවත් වෙන්න අවශ්‍ය මූලික දේවල් අවශ්‍ය ප්‍රමාණයෙන් තිබ්බත්, මිනිහා හැම වෙලේම බලන්නෙ, එතනින් එහාට පනින්න . මුලු ජීවිතේම කරන්න හදන්නෙ ඒක. කුතුහලයෙන් යුතුව මොකද්දෝ හොයන එක. මේ කතාවෙ එන මිනිසාගේ පුතා කරන්නෙත් තාත්තා කරපු දේමයි. ඌත් අන්තිමට තීරණය කරනව, මේ දූපතේ සිටීම "මදි" නිසා ක්ෂිතිජයෙන් එහා තියෙන ලෝකෙ හොයාගෙන යන්න. කතාව මැද්දේ එන සුනාමිය සංකේතවත් කරන්නෙ, ඒ පුතාගෙ හිතේ ඇතුලෙ තියෙන අරගලය. ඊලඟට අර තාත්තා සහ පුතා දෙන්නම වැටෙන ගුහාවෙන් ඒ දෙන්නම තමන්ම තනියෙන් ගොඩ එන එක ... ඒකෙන් කියන්නෙ මිනිස්සුන්ට එන විවිධ තර්ජන වලින් පාඩම් ඉගෙනගෙන, කලින් හිටියට වඩා දැනුම් තේරුම් තියෙන අලුත් මිනිස්සු හැදෙන එක . (මේකෙ ඒ කොලුවා පීනන්න ඉගෙනගන්නෙ එතෙන්දි )
මූණු පොතේ කතා බහ

Saturday, August 18, 2018

හරියටම හරි සීට් එක!

ෆිල්ම් එකක් බලන්න යනකොට ඇති වෙන එක ප්‍රධාන ප්‍රශ්නයක් තමා (මන්ද ඉතිං මටනම් සෑහෙන ප්‍රශ්නයක් 😄) වාඩිවෙන තැන.
චිත්‍රපට ශාලාවක අසුන් ගැනීමට සුදුසුම අසුන මොකද්ද ? ඇත්තටම එහෙම එකක් තියෙනවද නැත්තං ඒක පුද්ගලයගෙන් පුද්ගලයාට වෙනස් වෙන එකක්ද?
ඇත්තටම ටෙක්නිකලි හරියටම හරි සීට් එකක් තියෙනවා .
ඒක තියෙන්නෙ , සිනමා ශාලාවෙ දිගින්, තිරයේ සිට තුනෙන් දෙහෙක දුරක් ගිය තැන ඇති සීට් පේලියෙ මැද.
ඒ කොහොමද ඒ සීට් එක හරිම එක වෙන්නෙ?
සාමාන්‍යයෙන් ෆිල්ම් හෝල් එකක් හදද්දී ඒකෙ සවුන්ඩ් සිස්ටම් එක කැලිබ්‍රේට් කරන්න ඕනෙ. ඕක කරන්න මයික්‍රෆෝන් සෙට් එකක් (bundle එකක් ) පාවිච්චි වෙනව. සවුන්ඩ් සිස්ටම් එක ඔන් කරල , ඔය මයික් තැන් තැන් වල තියල සවුන්ඩ්ස් හරියටම හරිද කියල බලනව. ඒත් ඔතෙන්දි මයික්‍රෆෝන් ගොඩක් පාවිච්චි වෙන නිසා ඇවරේජ් එකක් තමා එන්නෙ. හැබැයි සමහර ගණනය කිරීම් වලට locations ගොඩක් පාවිච්චි කරන්න බෑ. ඒකට තනි location එකක් ඕනෙ වෙනව. අන්න ඒ ලොකේෂන් එකට තමා ප්‍රයිමරි මයික් එක සෙට් කරල , calibrate කරන්නෙ. අන්න ඒ primary mic එක සෙට් කරන තැන තමා අර කලින් කිව්ව තැන . තුනෙන් දෙකක් ගිය තැන ඇති සීට් පේලියෙ මැද හරිය. ඒ කියන්නෙ technically , ඔතෙන්දි තමා ෆිල්ම් හෝල් එකේ සවුන්ඩ් සිස්ටම් එකේ උපරිමය අත්විඳින්න පුලුවන්. (සවුන්ඩ් ටෙස්ට් කරන්න මෙතනම තෝරගෙන තියෙන්නෙ, ස්වභාවිකවම හෝල් එහෙක වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ ඔය හරියෙ සීට් වලට නිසාලු)
හැබැයි දැන් ලෝකෙ හැදෙන අති නවීන සිනමා ශාලා වල , වෙනසක් නැතිව කොතන ඉඳගත්තත් එකම සුපිරි කොලිටියට ඇහෙන විදිහට තාක්ෂණික උපක්‍රම පාවිච්චි කරනව. මේවයෙ ස්පීකර්ස් align කරන්නෙ ලේසර් කිරණ වලින්. ඒ වගේම දවසට එක සැරයක් වත්, මයික්‍රෆෝන් පාවිච්චියෙන්, ස්පීකර්ස් ඔටො කැලිබ්‍රේට් වෙන විදිහට හදල තියෙනවා .
ඒ වගේ ඒව ඉතිං තාම මෙහෙ නෑ. මෙහෙ හෝල්ස් වල තාම ඉස්සරයින් වාඩි වෙන එකාගෙ ඔලුගෙඩියෙ ප්‍රමාණය වගේ කරුණු මත අපිට ස්ක්‍රීන් එක පෙනෙන ප්‍රමාණය තීරණය වෙන්න ඉඩ ඇති නිසා, සවුන්ඩ් එකට වඩා මම නම් හිතන්නෙ ඒ ගැන 😃.
(THX ආයතනයේ අධ්‍යක්ෂ, Steve Martz ගේ අදහස් වලින් Seth Porges විසින් vulture වෙබ් අඩවියේ පලකළ ලිපියක් ඇසුරිනි.)
[සාමාන්‍ය හෝල් එහෙක සහ අලුත්ම සැම්සුන් Onyx හෝල් එහෙක sounds විසිරෙන විදිහ රූපයේ දැක්වේ.]
මූණු පොතේ කතා බහ

විනීද පූට බය චීන ජනපති ...

Christopher Robin කියන්නෙ ඩිස්නි ස්ටුඩියෝ එකෙන් මේ අවුරුද්දේ ජූලි මාසෙ රිලීස් කරපු, හැමෝම ආදරේ කරන කහපාට වලහා, Winnie the Pooh ඉන්න live action ෆිල්ම් එකක්. ( 2017 ආපු Good Bye Christopher Robin චිත්‍රපටය සමඟ පටලවා නොගන්න.)
ඒත් මේක චීනය විසින් එරටේ ප්‍රදර්ශනය තහනම් කලා. ඒකට හේතුව, ඒ රටේ ඉන්ටනෙට් පාවිච්චි කරන සෙට් එක , Winnie the Pooh ව චීන ජනාධිපතිට සමාන කරල මීම්ස් හදල share කරපු එක. දැන්, චීනයේ වෙබ් බ්‍රව්සර් වල Winnie කියල ගහල search කලත් රිසල්ට් විදිහට එන්නෙ, content is illegal කියල විතරයි . ඒ තරමට චීනයට විනීව පෙන්නන්න බෑ.
මේ සමාන කිරිල්ල මුලින්ම පටන් ගන්නෙ, චීන ජනාධිපතිගෙ, 2013 අවුරුද්දේ ඇමරිකා සංචාරය එක්ක. ඒකෙදි එයා එවකට ඇමරිකන් ජනපති ඔබාමා එක්ක ඇවිදන් යන ෆොටෝ එකක් , Winnie , එයාගෙ යාලු ව්‍යාඝ්‍රයා Tigger එක්ක යන ෆොටො එහෙකට සමාන කරල හදපු මීම්ස් share වුනා. ඇත්තටම ඒ ෆොටො දෙකේ මොකද්දෝ අමුතු සමානකමක් තියෙනවා කියල පේනවා බැලූ බැල්මට. ඉන් පස්සෙ දිගින් දිගටම චීන නායකයව විනීට සමාන්තරව තියෙන ෆොටෝස් එහා මෙහා සැරිසරන්න ගත්තා. ඊලඟට 2014 අවුරුද්දේ චීන ජනපති , ජපානෙ ජනාධිපති ෂින්සෝ අබේ හම්බුනු වෙලේ ගත්තු ෆොටො එකක් ආයි හිට් වුනා. මෙතෙන්දි චීන ජනාධිපති Xi Jinping ව Winnie ට සමාන වෙන අතරෙ, ජපානෙ ජනාධිපතිව පෙනුනෙ, Winnie ගෙ තවත් යාලුවෙක් වුනු දුක්බර මූණක් තියෙන බූරු පැටියා, Eeyore විදිහට. ඔන්න ඕකත් එක්ක තත්ත්වය එන්න එන්නම දරුණු වුනා. සැරටම මීම්ස් share වෙන අතරෙ මේක නවත්තන්න, බලධාරින් කලේ එවගේ ෆොටෝස් , මීම්ස් අන්තර්ජාලයෙන්ම අයින් කරල දාන එක. කොටින්ම මේ ගැන විහිලු තහලු කරපු ටීවි ප්‍රොග්‍රෑම් පවා තහනම් කළා.
ඔන්න ඔය වගේ තත්ත්වයක් තියෙද්දි කොහොමද ඉතිං Winnie the Pooh ගෙ කතාව තියෙන ෆිල්ම් එකක් රටපුරා පෙන්නන්න අවසර දෙන්නෙ? ඒක නිසා චීනයේ මේ ෆිල්ම් එක තහනම්.
හැබැයි, වසරකට විදෙස් චිත්‍රපට තිස් හතරකට පමණක් අවසර දීමේ චීනයේ විදෙස් චිත්‍රපට සම්බන්ධ ප්‍රතිපත්තියත් මේකට හේතුවක් වුනා කියල කියනව. ඒත් ඉතිං ඇත්තම හේතුව තමා Xi Jinping ට තමන්ව ජෝක් එකක් වීම දරාගන්න බැරි වීම .
(ඒ අතින් බැලුවම අපේ එක්කනා හොඳයි නේද හිටං 😉? අපි අපිට ලැබිල තියෙන නිදහස අවභාවිතා කරනවද කියලත් හිතෙනව😃)

මූලාශ්‍ර: theguardian and wikipedia.


මූණු පොතේ කතා බහ

The Nutcracker and the Four Realms (2018)

මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේදී තිරගත වෙන්න තියෙන ඩිස්නි සමාගම ඉදිරිපත් කරන, සුරංගනා කතා අලුත් විදිහට, චිත්‍රපට බවට පත් කරන එයාලගෙ ප්‍රොජෙක්ට් එකේ අලුත්ම චිත්‍රපටය තමා මේක .

මේකෙ නම ඇහුවම තේරුමක් නෑ වගේද? මේක සුරංගනා කතාවකින් හදපු එකක් උනාට , අර හිම කුමරිය හෝ සින්ඩරෙල්ලා වගේ අපිට එච්චර හුරුපුරුදු එකක් නෙවෙයි නිසා තමා එහෙම වෙන්නෙ. ඉතිං ඒක දැන ගන්න නම් ටිකක් විස්තරයක් කරන්න වෙනවා. මුලින්ම කියන්න වෙන්නෙ මේ nutcracker කියන වචනය ගැන . Nut කියන්නෙ තද ආවරණයක් තියෙන ඇට වලට , ඒ කියන්නෙ ඔය යුරෝපයේ තියෙන හේසල්නට් වගේ එව්වට. ඉතිං ඕවෑ තියෙන තද ආවරණය තලල මදේ එලියට ගන්න උපකරණ තියෙනවා . අන්න ඒවට තමා පොදුවේ nutcracker කියන්නෙ . (නිකං හිතන්නකො අපි පුවක් ගෙඩි සුද්ද කරන්න ගිරය පාවිච්චි කරනව වගේ)
ඔය nutcracker ටූල් එක ඉස්සර පාවිච්චි කරල තියෙන්නෙ ජර්මනිය වගේ රටවල් වල. කාලෙත් එක්ක ඒ ටූල් එකට, එක එක ඩිසයින් එකතු වෙලා, ඒව පුංචි බෝනික්කො විදිහට හැදුනා. ඒ කියන්නෙ ඔය බෝනික්කන්ගෙ කටට තමා එතකොට අර nut එක තියල තද කරල පුපුරව ගන්නෙ. දෙවෙනි ලෝක යුද්දෙට ජර්මනියට ආපු ඇමරිකන් සොල්දාදුවො නිසා ඒ බෝනික්කො ඇමරිකාවටත් ආවා. පස්සෙ පස්සෙ nutcracker dolls ලගෙ සැබෑ ප්‍රයෝජනය අනවශ්‍ය උනා මොකද ඒ වෙනකොට පොත්ත ඇරපු ඇටවර්ග කෙලින්ම වෙළෙඳපොළට ඇවිදින් තිබ්බා. ඊට පස්සෙ මේ nutcracker dolls ලා නිකංම නත්තල් කාලෙට පුංචි අයට දෙන සුකුරුත්තන් සෙල්ලම් බඩුවක් බවට පත්වුණා. ඉතිං ඔන්න ඕකයි ඔය nutcracker කියන පදේ කතාව , බොහොම කෙටියෙන් .

හරි දැන් බලමු මේ සුරංගනා කතාව මොකද්ද කියල . මේ කතන්දරේ මුල තියෙන්නෙත් ජර්මනියෙම තමා . ජර්මන් ජාතික E.T.A. Hoffmann කියන ලේඛකයා විසින් 1816 දී කතාවක් ලියනවා, ඒකෙ නම, The Nutcracker and the Mouse King. මේ කතාවෙන් කියවෙන්නෙ, මේරි කියන පුංචි ගෑනු ළමයෙක්ට නත්තල් තෑග්ගක් විදිහට ලැබෙන, nutcracker බෝනික්කෙකුට පණ ඇවිදින් , ඉන්පස්සේ මේ ළමයයි ඒ බෝනික්කයි එකතු වෙලා නපුරු මී රජෙක් පරද්දන සිද්ධියක්. (මුලු කතාව මෙතන කියන්න ඕනෙ නෑනෙ)
ඔන්න ඔය කතාවත්, එක්දාස් නමසිය හතලිස් ගනන් වල ජර්මනියෙ ඉඳලා ඇමරිකාවට ගිය සොල්දාදුවන් විසින් (දෙවැනි ලෝක යුද්දෙ අවසානයේ ) අර කිව්ව බෝනික්කො එක්කම ඇමරිකාවට අරං යනවා. ඊට අමතරව , 1892 වගේ අතීතයේදී , රුසියාවේ මේ මුල් කතාවෙන් බැලේ නාට්ටයක් නිපදවනවා The Nutcracker කියල . මේ නාට්‍යයත් නවසිය හැට ගණන් වලදී ඇමරිකන් නිෂ්පාදනයක් විදිහට ඇමරිකාව පුරා ජනප්‍රිය වෙනවා. අදටත් , සිරිතක් විදිහට නත්තල් කාලෙට මේ බැලේ නාට්‍යය පෙන්නනව . ඉතිං ඔන්න ඔහොම බැලුවම , ඇමරිකාව , රුසියාව සහ අනික් යුරෝපා රටවල් වලට , මේ නට්ක්‍රැකර් සුරංගනා කතාව අමුතු දෙයක් නෙවෙයි . ඒක ඒ රටවල් වල සෑහෙන්න ජනප්‍රිය කතාවක් .

ඔය කතාවම මුල් කරගෙන, 2009 අවුරුද්දේ ෆිල්ම් එකක් ආවා, The Nutcracker in 3D කියල . මේක බ්‍රිතාන්‍ය - හංගේරියානු සම නිෂ්පාදනයක් විදිහට ආවේ. ඒත් මේක අන්තිම අසාර්ථක නිර්මාණයක් වුනා. කොටින්ම හදපු කම්පැනි එකට ඩොලර් මිලියන අසූවක් විතර පාඩු වුනා . කොහොම හරි මේ ෆිල්ම් එකේ තිබ්බෙ අර කවුරුත් දන්න සුරංගනා කතාවම තමා .( සුලු සුලු වෙනස් කම් තිබ්බට.)

පස්සෙ ඔන්න ඩිස්නි සමාගම 2016 දි නිවේදනය කළා එයාලගෙ classic fairly tales නැවත කියන වැඩපිළිවෙළ යටතේ , මෙන්න මේ සුරංගනා කතාවත් අලුතින් , live action ෆිල්ම් එකක් විදිහට හදනව කියල . අන්න ඒ ෆිල්ම් එක තමා , මේ අවුරුද්දේ (2018) නොවැම්බර් වල ඔය රිලීස් කරන්න යන්නෙ.
හැබැයි මේක නම් ෆ්ලොප් වෙන එකක් නැති වෙයි. මොකද ඩිස්නිලා වැඩක් කරන්නෙ ආවට ගියාට නොවෙන නිසා . ට්‍රේල එක බැලුවම පේනවා වෙනස. දෙන්න පුලුවන් උපරිම සුරංගනා ගතිය දීලා තියෙනවා . අනික මේක කවුරුත් දන්න කතාවම නෙවෙයි ඊට එහා ගිය අලුත් ස්ටෝරි ලයින් එකක් හඳුන්වල දීලා තියෙනවා කියල හිතන්න පුලුවන් . (අර Sleeping Beauty, කතාව Maleficent විදිහට remix කලා වගේ)
මේකෙ නමත් ටිකක් වෙනස් , four realms කෑල්ලක් තියෙනවා . ඒක නිසා අර පරණ කතාව දන්න නොදන්න හැමෝටම අලුත්ම එකක් විදිහට බලන්න පුලුවන් ...
(Nutcracker dolls ලගෙ රූපෙකුත් දාල තියෙනවා බලන්න )

මූණු පොතේ කතා බහ

Sunday, August 5, 2018

A Quiet Place (2018)

මේක හොරර් කැටගරියෙ ෆිල්ම් එකක් නිසා, මේකෙ පසුබිමේ තියෙන සිද්ධියට විද්‍යාත්මක හේතු හොයන්න අවශ්‍යතාවක් නැති උනත්, ඇස් පේන්නත් නැති සත්තු ටිකක් ලෝකෙ ජනතාව අභිබවා ගිහින් "post apocalyptic " තත්ත්වෙට පත් කරන කම් ලෝකෙ ආයුධ සන්නද්ධ හමුදා වගේ ඒව මොනව කළාද කියල කෙනෙකුට හිතෙන්න පුලුවන් . ඒත් ඒ ප්‍රශ්නය මේ වගේ චිත්‍රපටයක් සම්බන්ධයෙන් invalid ගතියක් තියෙන එකක් නිසාම, ෆිල්ම් එක දුවන පසුතලය නිර්මාණය උනේ කොහොමද කියන එක ගැන වැඩිය නොහිත හොරර් එකක් විදිහට බලන එක තමා කරන්න ඕනෙ.

චිත්‍රපටයේ ප්‍රධාන නලුවා වගේම ඒකෙ අධ්‍යක්ෂවරයත් වෙන ජෝන් ක්‍රසින්ස්කිට අනුව නම් මේකෙ horror ගතියටත් වඩා එලියට එන්නෙ, අම්මෙක් සහ තාත්තෙක් තමන්ගෙ දරුවන් තම ප්‍රාණය දෙවැනි කොට රැකගන්න හදන ,parenting ගැන කතාවක්ලු...
අනික් කාරණේ තමා මේකෙ ප්‍රධාන නිලිය වෙච්චි එමිලි බ්ලන්ට් සහ නලුවා වෙච්චි ජෝන් ක්‍රසින්ස්කි සැබෑ ජීවිතයෙත් අඹු සැමියො වීම. ඒ ගොල්ලන්ගෙ දෙවැනි දරුවා ඉපදුන කාලෙම වගේ තමා ෆිල්ම් එකේ ශූටින්ග් කරල තියෙන්නෙත්. ඉතිං ඇත්තටම දෙවැනි වතාවටත් තාත්තා කෙනෙක් වීමේ හැඟීමත් එක්ක, චිත්‍රපටය තුළ පෙන්වන දරුවන් වෙනුවෙන් හැම දේම කැප කරන තාත්තෙක් වීම වඩාත් පහසු උනාලු ජෝන්ට.
තව දෙයක් තමා මේකෙ ඉන්න රේගන් කියන ගෑනු ළමයා, ඒ කියන්නෙ පවුලේ වැඩිමල් දරුවා, චිත්‍රපට කතාවට අනුව බිහිරි ළමයෙක්. ඉතිං මේ චරිතය රඟපාන ළමා නිලියත් ඇත්තටම බිහිරි කෙනෙක් . ඒක නිසා එයාටත් තමන්ගෙ චරිතය වඩාත් තාත්ත්විකව කරන්න ලැබෙන්න ඇති. චිත්‍රපටය පුරාම වැඩි කතා බහක් කෙරෙන්නෙ නෑ. වැඩිපුරම පාවිච්චි වෙන්නෙ සංඥා භාෂාව ( American Sign Language /ASL) ඒක නිසා නලු නිලි සෙට් එකටම (රේගන් හැරුණ කොට) ඒක වෙනමම ඉගෙනගන්න වෙලා .
දැන් සමහර අය කියනවා මේ ෆිල්ම් එකේ අවසානය එච්චර "සෙට් උන් නෑලු" ඒකට ඉතිං කරන්න දෙයක් නෑ, මොකද ඉතිං වට්ටෝරු ඒලියන් ෆිල්ම් එහෙක තියෙන අවසානය මේකෙන් බලාපොරොත්තු වෙන්න ඕනෙ නෑ. කොහොමත් මේකෙ ඒලියන්ස්ලව පාවිච්චි කරන්නේ , චිත්‍රපටයේ හොරර් ගතිය ඇති කරන්න අවශ්‍ය අමුද්‍රව්‍යක් විදිහට විතරයි. උන් ආවෙ කොහොමද එව්ව මෙව්ව මුකුත් කියන්නෙ නෑ, කියන්න ඕනෙත් නෑ .

Minor Spoilers ahead....

ඉතිං ෆිල්ම් එක ඉවර කරන්න උන්ව සමූලඝාතනය කරල , නලුවා වීරය වෙන සීන් එකක් ඕනෙත් නෑ. චිත්‍රපටයට අවශ්‍ය සැබෑ නිහඬ, භයානක ගතිය තියෙන්නෙ ඔය අතරමැද . ඉතිං ඒ ටික උපරිමයෙන් තියෙනවා . ඒ හොඳටම ඇති.
ඒ කොහොම උනත් , ඩොලර් මිලියන දාහතක වියදමෙන් කරපු මේ ෆිල්ම් එකේ දැන් ආදායම ඩොලර් මිලියන තුන්සීයත් පන්නල නිසාද කොහෙද මේකෙ දෙවැනි කොටසකුත් confirm වෙලාලු.

Friday, August 3, 2018

Okja (2017)

ලෝකෙ මිනිස්සු ගාන වැඩි වෙනකොට, වැඩියෙන් කෑමත් ඕනෙ. ඉතිං ඕකට විසඳුමක් විදිහට , ඉක්මනට ලොකු වෙලා වැඩි මස් ප්‍රමාණයක් දෙන්න පුලුවන් විදිහට , කුකුල්ලු, හරක් වගේ උන් හදල තියෙනවා දැනටත් ලෝකෙ.
මේ "ඔක්ජා" කියන්නෙත් අන්න ඒ වගේ එකෙක් . ඌ super pig කෙනෙක් . ඌව ජාන තාක්ෂණයෙන් නිර්මාණය කරන්නෙ, වැඩි මස් ඵලදාවක් දෙන්නමයි . ඒක කරන්නෙ ඇමරිකන් කම්පැනි එකක් . එහෙම හදපු සුපිරි ඌරො දහදෙනෙක් ලෝකෙ විවිධ රටවල් වල ගොවිපළ දහයකට දීලා උන්ගෙ වර්ධනය අවුරුදු දහයක් නිරීක්ෂණය කරනව. මේ අතරින්, අපේ කතානායක ඔක්ජා ඉන්නෙ දකුණු කොරියාවෙ. ඉතිං ඔක්ජාට අන්තිමේ මොනව වෙයිද ? ඒක දැන ගන්න මේ ෆිල්ම් එක බලන්නම වෙනව.
මස් කන නොකන හැමෝම බලන්න 😃


Monsterverse එකේ monsters ලා

Monsterverse එකේ monsters ලා ගැන තුලනාත්මක අධ්‍යයනයක් කළා 😎🤗
ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඉතා වැදගත් කරුණු රැසක් දැනගත්තා...
ඔය මොන්ස්ටර්ස්ලා, ඒලියන්ල මොක්කු උනත් උන් එන තරමක් එන්නෙ ඇමරිකාවටම බව අපි අත්දැකීමෙන්ම දන්නව. ජපන් රටේ ඉපදීලා හැදී වැඩුණු ගොඩ්සිලා උනත් දැන් මොන්ස්ටවර්ස් එකට සෙට් වෙලා ඇමරිකන් වෙලා ඉන්නෙ... ඉතිං මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙද්දී මේ මොන්ස්ටර්ස්ලා මොක්කුද කියල සරලව හඳුනාගෙන් උන්ගෙ සයිස් එක ගැන යම් අවබෝධයක් අරං, ලබන අවුරුද්දේ එන්න තියෙන ගොඩ්සිලා ෆිල්ම් එකට පිලිවෙතින් පෙලගැසෙන එක අපේ වගකීමක්....
මුලින්ම මතක් කර ගන්න කොන්ග් ස්කල් අයිලන්ඩ් ෆිල්ම් එක...
ඒකෙ ඉන්න ප්‍රධාන මොන්ස්ට කොන්ග්. උගේ උස මීටර් තිහක් විතර වෙනව. ඊට අමතරව අර තඩි මකුළුවා (arachnida acidosasa,/giant arachnid kaiju, 7 meters) , කුලු හරක්( skerry bubalis, 8-10 m) එහෙම මතක ඇති...
කොන්ග්ගෙ ප්‍රධාන සතුර වුනේ , ස්කල් ක්‍රවුලර්ස්ල. උන්ගෙ ලොකු එකාගෙ උස සාමාන්‍යයෙන් මීටර් 18ක් විතර වෙනවා.
දැන් ඊළඟට බලන්න ඇති 2014 දි ආපු ගොඩ්සිලා ෆිල්ම් එක . මේකෙ ඉන්න ගොඩ්සිලා මීටර් එකසිය අටක් විතර උසයි. මේකෙදි ඌ ෆයිට් කරන්නෙ MUTOs ල ජෝඩුවක් එක්ක. (MUTOs කියන්නෙ, Massive Unidentified Terrestrial Organisms කියන එක කෙටි කරල හදා ගත්තු යෙදුමක්. ඒ අනුව බැලුවම මුන් ඔක්කොම මුටොස්ල තමා ඒත් මෙතෙන්දි මුන් ජෝඩුවට තමා MUTOs කියල කියන්නෙ ) මුන්ගෙන් ලොකු එකාගෙ උස මීටර් අනූවක් විතර වෙනව. කතාවට අනුව මුන් පරපෝෂි කෘමි ජාතියක්. ඒකෙදි මුන් දෙන්නත් එක්ක තමා ගොඩ්සිලාට ගේම තියෙන්නෙ .
හරි දැන් බලමු මේ අලුතින් එන්න තියෙන Godzilla King of Monsters ෆිල්ම් එක ගැන . Monsterverse එකේ ගොඩ්සිලා එක්ක ෆයිට් එකට kaiju ල (සියලු monsters ලා පොදුවේ හඳුන්වන ජපන් වචනයකි) කීප දෙනෙක් ඉන්නව. උදාහරණ විදිහට , Rodan, Mothra වගේ උන් ගන්න පුලුවන් . කොහොම හරි,මේ අලුත් එකේ ගොඩ්සිලා ගෙ විලන් විදිහට එන්නෙ , King Ghidorah කියල තමා ආරංචිය (අමතරව තව උනුත් ඉන්නවද දන්නෑ ) King Ghidorah කියන්නෙ, ඔලු තුනක් තියෙන, නැටි දෙකක් තියෙන, රත්තරන් පාට කොරපොතු තියෙන වවුල් අත්තටු වලට සමාන තටු තියෙන තඩි මකරෙක්. මූ තමා සාමාන්‍යයෙන් ගොඩ්සිලාගේ ප්‍රධාන සතුරා විදිහට හුඟක් වෙලාවට එන්නෙ. මුගේ සාමාන්‍ය උස මීටර් එකසිය පනස් ගානක් වෙනව. දැන් එතකොට ගොඩ්සිලාගේ උස මීටර් එකසිය අටක් වෙනව 2014 ෆිල්ම් එකේ හැටියට . ඒ කියන්නෙ King Ghidorah ගොඩ්සිලාට වඩා උසයි. ඉතිං ලේසි වෙන එකක් නෑ.
ඔය King of Monsters ෆිල්ම් එකෙන් පස්සෙ ඒ trilogy එකේ අන්තිම එක 2020 දි එනව. ඒකෙ ගොඩ්සිලට ෆයිට් කරන්න වෙන්නෙ කින්ග් කොන්ග් එක්ක. හැබැයි මෙතෙන්දි පොඩි අවුලක් තියෙනවා , මොකද ස්කල් අයිලන්ඩ් එකේ කොන්ග්ගෙ උස මීටර් තිහක් විතර වෙන්නෙ. හැබැයි ගොඩ්සිලා මීටර් සීයකටත් වැඩියි... ඉතිං මේ ෆිල්ම් එකේ එන කොන්ගෙ සයිස් එක වෙනස් කරන්න වෙයි ෆයිට් එකක් දෙන්න නම් (නැත්තං පෑගිල මැරෙන්න පුලුවන්, රූපය බලන්න )
මේ සයිස් comparison වීඩියෝ ඕන තරම් තියෙනවා යූ බටේ. ඔයින් එකක් අරං , අපේ WTC building එකත් ඈඳල බැලුව නිකං සයිස් එක මොන වගේ තියෙයිද කියල... King Ghidorah ගෙ උස 158m, WTC එකේ උස, 152m . දැන් හිතාගන්න පුලුවන්නෙ සයිස් එක 😱😱
නිකමට හිතමු මුන් බැට්ල් ග්‍රවුන්ඩ් එක විදිහට ලංකාව තෝරගෙන, ගෝල් ෆේස් එකේ වගේ ෆයිට් එක ගියොත් 😱...
මූණු පොතේ කතා බහ

සැබෑ ගොඩ්සිලා හඳුනාගනිමු....

ඊයේ පෙරේදා නිකුත් වුනු අලුත්ම ගොඩ්සිලා ෆිල්ම් ට්‍රේල එකත් සමඟ ගොඩ්සිලා ගැන නැවතත් කතාබහක් ඇති වෙලා ...
මීට කලින් ගොඩ්සිලා ෆිල්ම් එකක් 2014 දී ආවත්, ලංකාවේ බොහෝ දෙනෙක්, ගොඩ්සිලා ගැන මුලින්ම දැන ගත්තෙ/ රසවින්දේ, 1998 දී රෝලන්ඩ් එම්‍රික් අධ්‍යක්ෂණය කරල ආපු ෆිල්ම් එකෙන්.
හැබැයි, මේ ෆිල්ම් එකේ පෙන්නපු ගොඩ්සිලා සහ 2014 ආපු ගොඩ්සිලා අතර සෑහෙන වෙනස් කම් තියෙනවා කියල පේන්නෙ ඔය දෙකම බැලුවම .
ඇත්තටම හොයල බැලුවොත්, 1998 ආපු ෆිල්ම් එකේ පෙන්නන ගොඩ්සිලා කියන්නෙ සෑහෙන දුරට ඔරිජිනල් ගොඩ්සිලාව විකෘති කරල හදාගත්තු එකෙක් කියල තේරෙන්නෙ, ගොඩ්සිලාගේ මුල හොයාගෙන ගියාම . ගොඩ්සිලා කියන මූලික අදහස ඇතිවෙන්නෙ ජපානෙන් . කොටින්ම තාමත් ගොඩ්සිලාගේ අයිතිකාරයින් වෙන්නෙත් ජපනුන් තමා . මුල්ම ගොඩ්සිලා ෆිල්ම් එකක් ජපානෙ හැදෙන්නේ 1954 වගේ කාලෙ. එදා ඉඳලා අද වෙනකම් ගොඩ්සිලා ෆ්‍රැන්චයිස් එකේ ෆිල්ම්ස් 33 ක් හැදිලා තියෙනවා , ඒකෙන් තුනක් විතරයි හොලිවුඩ් නිෂ්පාදන විදිහට ඇවිත් තියෙන්නෙ.
එක්දාස් නමසිය පනස් ගනන් වල ජපානයේ Toho ස්ටුඩියෝ එකේ හිටපු ටොමොයුකි ටනාකා කියන නිෂ්පාදකවරයට ඕන වුනා, ඒ කාලේ හොලිවුඩ් වලින් එලියට ආපු King Kong (1933) වගේ monster ටයිප් එකේ ෆිල්ම් එකක් ජපානෙත් හදන්න . මේ කාලෙ වෙනකොට දෙවෙනි ලෝක යුද්ධෙ එහෙම ඉවර වෙලා , ජපානය න්‍යෂ්ටික බෝම්බ වලින් තුවාල වෙලා හිටපු කාලෙ නිසා, න්‍යෂ්ටික/ විකිරණශීලිතාව වගේ දේවල් පටලවපු monster ෆිල්ම් එකක් කලොත් ඒක ජපනුන් අතරෙ ජනප්‍රිය වෙයි කියල හිතලා තමා ගොඩ්සිලා කන්සෙප්ට් එක එලියට එන්නෙ. Godzilla කියල දැන් කියන වචනයෙ මුල් ජපන් වචනය Gojira , ඒක හැදිල තියෙන්නෙ ගෝරිල්ලට කියන ජපන් වචනය වෙන "gorira" සහ තල්මසාට කියන ජපන් වචනය වෙන "kujira" කියන වචන දෙකේ මිශ්‍ර කිරීමක් විදිහට. මේක ඉංග්‍රීසියට එද්දි Godzilla වුනා.
සැබෑ ගොඩ්සිලා හඳුනාගන්න නම් මුලින්ම කරන්න ඕනෙ අර 1998 ෆිල්ම් එකේ ඉන්න එකාව අමාරුවෙන් හරි අමතක කරල දාන එක . ඒ ෆිල්ම් එකේ හැටියට , ගොඩ්සිලා බවට පත්වෙන්නෙ අර ඒක පටන් ගන්නකොටම පෙන්නන ඉගුවානා කියන මුහුදු තලගොයි න්‍යෂ්ටික පිපිරීම් වලට නිරාවරණය වෙලා ඇති වෙන විකෘති විදිහට . ඒත් ඇත්ත ගොඩ්සිලා න්‍යෂ්ටික විකිරණ නිසා නිර්මාණය වෙන සතෙක් නෙවෙයි . මුල් කතාවෙ හැටියට ඌ කොහොමත් මුහුදු පතුලෙ ඉන්න දැවැන්ත සතෙක්. මිනිස්සු කරන න්‍යෂ්ටික පිපිරීම් වගේ දේවල් නිසා ඌ පොලොව මතුපිටට එනව වගේ දෙයක් තමා වෙන්නෙ . ගොඩ්සිලාගේ ස්වරූපය උනත් , 1998 චිත්‍රපටයේ දක්වල තියෙන්නෙ ලොකු වෙච්චි ඉගුවානා කෙනෙක් වගේ. ඒත් ඇත්ත ස්වරූපය බලන්න නම් 2014 ෆිල්ම් එක බලන්න .
අනික තමා , මේ 1998 ආපු ෆිල්ම් එකේ, ගොඩ්සිලා ගොඩබිමක් හොයාගෙන එන්නෙ හරිම සරල ජීව විද්‍යාත්මක කාරණාවකට, ඒ කියන්නෙ බිත්තර දාන්න . එතකොට ඒ එන්නෙ ගෑනු සතෙක්ද? කොටින්ම ගොඩ්සිලා කියන්නෙ female character එකක් ද කියල හිතෙන්න පුලුවන් . ඒත් ඇත්තටම ඔරිජිනල් ගොඩ්සිලා කියන්නෙ asexual character එකක් . හැබැයි එතෙන්දි ඔය ගොඩ්සිලා බිත්තර දාන්නෙ, අර පාතනෝඵලනය (parthenogenesis) කියන ක්‍රමයෙන් කියලයි කියන්නෙ (ඒ කියන්නෙ ගෑනු පිරිමි භේදයකින් තොරව, තමන්ම ඩිම්බ නිපදවල ඒව තමන්ගෙ ශරීරය තුළම සංසේවනය කරල බිත්තර විදිහට එලියට දාන්න සමහර උරගයින්ට තියෙන හැකියාවක්). කොහොමෙන් හරි ඔය බිත්තර සීන් එක තියෙන්නෙ රෝලන්ඩ් එම්‍රික්ගෙ ෆිල්ම් එකේ. ඒත්, ඔරිමජිනල් ගොඩ්සිලා මහ පොලොව මතුපිටට ඇවිදින් මිනිස්සු එක්ක මුහු වෙන්න බලපාන හේතු ඔයිට වඩා සංකීර්ණ ඒවා බව තමා පේන්නෙ . එතෙන්දි ඌව හැම වෙලේම genderless character එකක් විදිහට තමා හඳුන්වා දීලා තියෙන්නෙ . ඒ වගේම ඌ එන්නෙ, එක්කො මිනිස්සුන්ට උදව් කරන්න (ඒ කියන්නෙ මේ වගේම තවත් monster කෙනෙක් එක්ක ෆයිට් එහෙකට), එහෙමත් නැත්තං මිනිස්සු ලෝකෙට, පරිසරයට කරන විනාශය දක්වන සලකුණක් විදිහට, මිනිස්සුන්ට ටිකක් රිද්දල යන්න වගේ දේකට . මෙතෙන්දි ගොඩ්සිලා කියන්නෙ සුදු චරිතයක්ද , නැත්තං කළු චරිතයක්ද කියල හරියට කියන්න අමාරුයි මොකද චිත්‍රපට තිහක් විතර ඇතුලෙ ඌ එක එක විදිහට නිරූපණය වෙලා තියෙනවා . සමහර වෙලාවට මිනිස්සුන්ට පක්ෂවත් සමහර විට මිනිස්සුන්ට විපක්ෂවත් හැසිරෙනව. හැබැයි කිසිම එකක ඌ මිනිස්සු මරාගෙන කනවා කියලනම් දක්වල නෑ. ඒ කියන්නෙ ඌ නිකම්ම මාංශ භක්ෂක සතෙක් නෙවෙයි. ඇත්තටම ගොඩ්සිලාගේ ආහාරය විදිහට දක්වල තියෙන්නෙ "විකිරණ". ඊට අමතරව ඔරිජිනල් ගොඩ්සිලට හැකියාව තියෙනවා විකිරණ ධාරාවක් කටින් පිට කරන්න.
1998 ෆිල්ම් එකේ ගොඩ්සිලාව මිසයිල වලින් මරල දැම්මට නියම ගොඩ්සිලාව ඒ වගේ conventional weapons වලින් මරන්න බෑ. උගේ හම ඉතාමත් දැඩි එකක් බවයි කියන්නෙ. ඒ වගේම ඌට ඩැමේජ් වෙච්ච කොටස් ආයි වර්ධනය කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඔරිජිනල් ගොඩ්සිලා, කලින් අවස්ථාවකදි න්‍යෂ්ටික පිපිරීමකටත් මුහුණ දීල තියෙන බව කියැවෙන අතර, ඌව විනාශ කරන්න නම් අනිවාර්යයෙන් ඊට වඩා දරුණු පිපිරීමක් අවශ්‍ය බවයි කියන්නෙ.

ඇත්තටම තව ගොඩක් තියෙනවා . පෝස්ට් එක දික් වෙන නිසා නතර කරන්නම්.
අවසාන වශයෙන් කියන්න ඕනෙ, ගොඩ්සිලා කියන්නෙ හොලිවුඩ් වලින් ආපු තවත් එක monster කෙනෙක් නෙවෙයි, ඌ ජපානෙන් ආපු යම් ගැඹුරක්, අර්ථයක් තියෙන, මිනිස්සු පරිසරයට කරන අනර්ථයට, ස්වභාවධර්මයේ "පිලිතුරක් " විදිහට වගේ ඉදිරිපත් කෙරෙන, god like ෆිගර් එකක් කියන දේ...

තොරතුරු සහ රූප විකිපීඩියාවෙන්. (1954 මුල් චිත්‍රපටයේ ගොඩ්සිලා රූපයේ දැක්වේ)
මූණු පොතේ කතා බහ

ලුහුබඳින චිත්‍රපට .....

චිත්‍රපටියක ප්‍රධාන සිද්ධිය විදිහට පස්සෙන් එලවන සිද්ධියක් යන ෆිල්ම්ස් වලට Chase movies කියල කියනව. බොහෝවිට මේ වගේ ෆිල්ම් වල ප්‍රධාන චරිතය(protagonist) දුවනව. දුෂ්ට චරිත/ය (antagonist) පස්සෙන් පන්නනව. ලඟදි බැලුව 12th Man කියල ෆිල්ම් එකක් ඒකත් මේ වගේ. ඒකෙ ප්‍රධාන චරිතය හිට්ලර්ගෙන් බේරෙන්න පැනල යනව. උගේ පස්සෙන් හිට්ලර්ගේ මිනිස්සු එලවනව. ෆිල්ම් එක පුරාවටම තියෙන්නෙ ලුහුබැඳීමක් තමා . මේ ජාතියෙ හොඳ ෆිල්ම්ස් වල ඊලඟ මොහොතෙ කුමකින් කුමක් සිදුවෙයිද කියල දැනෙන ගතිය උපරිමයෙන් තියෙනවා . මීට කාලෙකට කලින් ආපු Centurion කියන ෆිල්ම් එක මතකද? අර Michael Fassbender හිටිය එක . ඒකත් මේ කැටගරියෙ තමා . රෝම සොල්දාදුවො පිරිසක් වෙනත් ස්වදේශිකයන් පිරිසක් විසින් ලුහුබැඳීමක් තියෙන්නෙ . මීට අමතරව, Apocalypto, Minority Report වගේ ෆිල්ම්ස් උනත් Chase movies විදිහට සලකන්න පුලුවන් . (Chase movies කියල ගූගල් search කළාම ලිස්ට් ඇත.)
ළඟදි ආපු සුපිරි Chase movie එකක් විදිහට , 12th Man නැවතත් මතක් කරන්න කැමතියි. මග ඇරුණ නම් බලන්න.
 මූණු පොතේ කතා බහ