Saturday, August 18, 2018

The Nutcracker and the Four Realms (2018)

මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේදී තිරගත වෙන්න තියෙන ඩිස්නි සමාගම ඉදිරිපත් කරන, සුරංගනා කතා අලුත් විදිහට, චිත්‍රපට බවට පත් කරන එයාලගෙ ප්‍රොජෙක්ට් එකේ අලුත්ම චිත්‍රපටය තමා මේක .

මේකෙ නම ඇහුවම තේරුමක් නෑ වගේද? මේක සුරංගනා කතාවකින් හදපු එකක් උනාට , අර හිම කුමරිය හෝ සින්ඩරෙල්ලා වගේ අපිට එච්චර හුරුපුරුදු එකක් නෙවෙයි නිසා තමා එහෙම වෙන්නෙ. ඉතිං ඒක දැන ගන්න නම් ටිකක් විස්තරයක් කරන්න වෙනවා. මුලින්ම කියන්න වෙන්නෙ මේ nutcracker කියන වචනය ගැන . Nut කියන්නෙ තද ආවරණයක් තියෙන ඇට වලට , ඒ කියන්නෙ ඔය යුරෝපයේ තියෙන හේසල්නට් වගේ එව්වට. ඉතිං ඕවෑ තියෙන තද ආවරණය තලල මදේ එලියට ගන්න උපකරණ තියෙනවා . අන්න ඒවට තමා පොදුවේ nutcracker කියන්නෙ . (නිකං හිතන්නකො අපි පුවක් ගෙඩි සුද්ද කරන්න ගිරය පාවිච්චි කරනව වගේ)
ඔය nutcracker ටූල් එක ඉස්සර පාවිච්චි කරල තියෙන්නෙ ජර්මනිය වගේ රටවල් වල. කාලෙත් එක්ක ඒ ටූල් එකට, එක එක ඩිසයින් එකතු වෙලා, ඒව පුංචි බෝනික්කො විදිහට හැදුනා. ඒ කියන්නෙ ඔය බෝනික්කන්ගෙ කටට තමා එතකොට අර nut එක තියල තද කරල පුපුරව ගන්නෙ. දෙවෙනි ලෝක යුද්දෙට ජර්මනියට ආපු ඇමරිකන් සොල්දාදුවො නිසා ඒ බෝනික්කො ඇමරිකාවටත් ආවා. පස්සෙ පස්සෙ nutcracker dolls ලගෙ සැබෑ ප්‍රයෝජනය අනවශ්‍ය උනා මොකද ඒ වෙනකොට පොත්ත ඇරපු ඇටවර්ග කෙලින්ම වෙළෙඳපොළට ඇවිදින් තිබ්බා. ඊට පස්සෙ මේ nutcracker dolls ලා නිකංම නත්තල් කාලෙට පුංචි අයට දෙන සුකුරුත්තන් සෙල්ලම් බඩුවක් බවට පත්වුණා. ඉතිං ඔන්න ඕකයි ඔය nutcracker කියන පදේ කතාව , බොහොම කෙටියෙන් .

හරි දැන් බලමු මේ සුරංගනා කතාව මොකද්ද කියල . මේ කතන්දරේ මුල තියෙන්නෙත් ජර්මනියෙම තමා . ජර්මන් ජාතික E.T.A. Hoffmann කියන ලේඛකයා විසින් 1816 දී කතාවක් ලියනවා, ඒකෙ නම, The Nutcracker and the Mouse King. මේ කතාවෙන් කියවෙන්නෙ, මේරි කියන පුංචි ගෑනු ළමයෙක්ට නත්තල් තෑග්ගක් විදිහට ලැබෙන, nutcracker බෝනික්කෙකුට පණ ඇවිදින් , ඉන්පස්සේ මේ ළමයයි ඒ බෝනික්කයි එකතු වෙලා නපුරු මී රජෙක් පරද්දන සිද්ධියක්. (මුලු කතාව මෙතන කියන්න ඕනෙ නෑනෙ)
ඔන්න ඔය කතාවත්, එක්දාස් නමසිය හතලිස් ගනන් වල ජර්මනියෙ ඉඳලා ඇමරිකාවට ගිය සොල්දාදුවන් විසින් (දෙවැනි ලෝක යුද්දෙ අවසානයේ ) අර කිව්ව බෝනික්කො එක්කම ඇමරිකාවට අරං යනවා. ඊට අමතරව , 1892 වගේ අතීතයේදී , රුසියාවේ මේ මුල් කතාවෙන් බැලේ නාට්ටයක් නිපදවනවා The Nutcracker කියල . මේ නාට්‍යයත් නවසිය හැට ගණන් වලදී ඇමරිකන් නිෂ්පාදනයක් විදිහට ඇමරිකාව පුරා ජනප්‍රිය වෙනවා. අදටත් , සිරිතක් විදිහට නත්තල් කාලෙට මේ බැලේ නාට්‍යය පෙන්නනව . ඉතිං ඔන්න ඔහොම බැලුවම , ඇමරිකාව , රුසියාව සහ අනික් යුරෝපා රටවල් වලට , මේ නට්ක්‍රැකර් සුරංගනා කතාව අමුතු දෙයක් නෙවෙයි . ඒක ඒ රටවල් වල සෑහෙන්න ජනප්‍රිය කතාවක් .

ඔය කතාවම මුල් කරගෙන, 2009 අවුරුද්දේ ෆිල්ම් එකක් ආවා, The Nutcracker in 3D කියල . මේක බ්‍රිතාන්‍ය - හංගේරියානු සම නිෂ්පාදනයක් විදිහට ආවේ. ඒත් මේක අන්තිම අසාර්ථක නිර්මාණයක් වුනා. කොටින්ම හදපු කම්පැනි එකට ඩොලර් මිලියන අසූවක් විතර පාඩු වුනා . කොහොම හරි මේ ෆිල්ම් එකේ තිබ්බෙ අර කවුරුත් දන්න සුරංගනා කතාවම තමා .( සුලු සුලු වෙනස් කම් තිබ්බට.)

පස්සෙ ඔන්න ඩිස්නි සමාගම 2016 දි නිවේදනය කළා එයාලගෙ classic fairly tales නැවත කියන වැඩපිළිවෙළ යටතේ , මෙන්න මේ සුරංගනා කතාවත් අලුතින් , live action ෆිල්ම් එකක් විදිහට හදනව කියල . අන්න ඒ ෆිල්ම් එක තමා , මේ අවුරුද්දේ (2018) නොවැම්බර් වල ඔය රිලීස් කරන්න යන්නෙ.
හැබැයි මේක නම් ෆ්ලොප් වෙන එකක් නැති වෙයි. මොකද ඩිස්නිලා වැඩක් කරන්නෙ ආවට ගියාට නොවෙන නිසා . ට්‍රේල එක බැලුවම පේනවා වෙනස. දෙන්න පුලුවන් උපරිම සුරංගනා ගතිය දීලා තියෙනවා . අනික මේක කවුරුත් දන්න කතාවම නෙවෙයි ඊට එහා ගිය අලුත් ස්ටෝරි ලයින් එකක් හඳුන්වල දීලා තියෙනවා කියල හිතන්න පුලුවන් . (අර Sleeping Beauty, කතාව Maleficent විදිහට remix කලා වගේ)
මේකෙ නමත් ටිකක් වෙනස් , four realms කෑල්ලක් තියෙනවා . ඒක නිසා අර පරණ කතාව දන්න නොදන්න හැමෝටම අලුත්ම එකක් විදිහට බලන්න පුලුවන් ...
(Nutcracker dolls ලගෙ රූපෙකුත් දාල තියෙනවා බලන්න )

මූණු පොතේ කතා බහ

No comments:

Post a Comment