Saturday, January 20, 2018

Pandora පාක් එක

නයිට් ටයිම් ඩේටා වලින් යූ ටියුබ් එකේ රස්තියාදු වෙවී ඉන්නකොට ඔන්න වීඩියෝ එකක් සෙට් උනා... ඒකෙ තිබ්බෙ ඇමරිකාවෙ ඩිස්නි Animal Kingdom පාක් එකේ කොටසක් විදියට ලඟදි විවෘත කරපු Pandora පාක් එක ගැන... ඔව් අර Avatar ෆිල්ම් එකේ පෙන්නන්නෙ , අන්න ඒ ග්‍රහලෝකෙ විදියට හදල .... යන්න තියෙනව නම් සුපිරි අත්දැකීමක් තමා ඉතිං මොනා කරන්නද .... බලා සැනසෙමි යා ගන්න බැරි Pandora සිහිනේ... 🎵🎶 😭 😂
හරි කොහොම හරි අඩු ගානෙ වීඩියෝ එක හරි බැලුවනෙ 💪 (😢) මම මේ කියන්න හැදුවෙ ඒක ගැන නෙවෙයි . ඒක ඉතිං කියල වැඩක් නෑනෙ ... යූ ටියුබ් එකටවත් ගිහින් බලන්න . ඔන්න ඒකෙ තියෙනවා රයිඩ් එකක් virtual reality විදියට හදපු. අර ඉක්රාන් කියන එකෙක් ගෙ පිටේ නැගල පැන්ඩෝරා වල අහසෙ රවුමක් ගහන්න පුලුවන් . අපිට තියෙන්නෙ නිකං උගෙ පිට වගේ හදපු සීට් එහෙකට නැගල , virtual 3D glasses එහෙම දාගෙන වැඩේට සෙට් වෙන්න... යන එකාලා ගෑ ගහන විදියෙන් හිතා ගන්න පුලුවන් මොන වගේ පට්ට experience එකක් ද කියන එක...(රයිඩ් එකේ වීඩියෝ ද ඇත) virtual reality කියන දේ තවත් එක් ඉදිරි පිම්මක් පැනපු අවස්ථාවක් කියල හිතෙනව ඒක... කොහොමත් virtual reality කියන එක අනාගතයේ සිනමාවත් අතික්‍රමණය කරයි... දැනට තියෙන අවුලක් තමා , virtual reality environments , render කරන්න තියෙන අපහසුතාවය.. ඒ කියන්නෙ සුපිරිම computers වලටත් අංගසම්පූර්ණව අංශක 360 විදියට VR environment render කරන්න සෑහෙන වෙලාවක් යනව, හැබැයි ඒකටත් ලඟදිම විසඳුමක් හොයා ගනී..
අපි මේ පාවිච්චි කරන fb එකත් එක්තරා virtual reality එකක් . ඒකටත් නුදුරු අනාගතයේදීම ඔය virtual environment කියන එක එනවලු... ඒකෙ වීඩියෝ තියෙනවා බලන්න ... අනාගතයේ virtual conference වගේ ඒව fb එකෙන්ම කරන්න පුලුවන් .. ඔහොම කියද්දි මතක් වෙනව බලපු ෆිල්ම් එකක් , Surrogates කියල ... බලල තියේද ? ඕකෙත් තියෙන්නෙ ඔය virtual සීන් එකම තමා . ඒකෙ උපරිම තලයකට ආපු අනාගතේ සිද්ධ වෙන දෙයක් යන්නෙ. ඇත්තටම බැලුවම ඉතිං , අපි ලෝකය කියල අඳුනගෙන ඉන්නෙ, අපේ පංචේන්ද්‍රියන්ට දැනෙන දේනෙ? ඉතිං virtual reality කියන එක දියුණු වෙලා වෙලා , අනාගතයේ යම් දවසක් එයි, ඇත්ත ලෝකෙයි virtual ලෝකෙයි වැඩි වෙනසක් නැති වෙන. දැනට උනත් මේ ප්‍රාථමික මට්ටමේ තියෙන fb වගේ virtual reality වලටත් අපි සෑහෙන්න ඇබ්බැහි වෙලානෙ? ඉතිං අර වගේ ඇස, කන, සම වගේ හැම තැනටම සංවේදන ලැබෙන සුපිරි virtual රියැලිටියක් සෙට් උනොත් ඒකට ඇබ්බැහි වෙන එක වලක්වන්න බැරිම දෙයක් ... කොටින්ම අන්තිමේ මේ ලෝකෙ එපාම කියල අර virtual ලොකෙම නතර වෙන්න උනත් තීරණය කරයි. එක අතකට හොඳයි... නිකං matrix වගේ වෙයි. අඳුරු යතාර්ථය පිලි අරං කට්ට කාගෙන ෆයිට් කරල ඒ යතාර්ථය දිනවන්න කටයුතු කරනවද , නැත්තං සොඳුරු මායාව ඇත්ත විදියට පිළි අරං, හැම නැටුමක්ම මැරෙන තුරුනෙ කියල හිත හදාගෙන , හොඳ virtual reality එකක් තෝරගෙන ඒකට වෙලා ආතල් එකේ ඉඳලා මැරිල යනවද කියල තීරණයක් ගන්න වෙන දවසක් අනාගතේ එයි.... සමහර විට අපිටම මූණ දෙන්න වෙයිද දන්නෙත් නෑ ඒ තීරණයට
මූණු පොතේ කතා බහ

Carne y Arena: "Flesh and Sand"

Alejandro González Iñárritu කියල ඩිරෙක්ට කෙනෙක් ගැන අහල තියෙනවද? මෙයාට මේ මෑතකදී සම්මානයක් ලැබුනා , ඔස්කා විශේෂ සම්මානයක් . ඒක ලැබුනෙ මොහු අධ්‍යක්ෂණය කරපු සුවිශේෂී චිත්‍රපටයක් වෙනුවෙන් . ෆිල්ම් එකේ නම තමා , Carne y Arena ස්පාඤ්ඤ භාෂාවෙන් තියෙන නමේ ඉංග්‍රීසි තේරුම , "Flesh and Sand", ඒ කියන්නෙ "මස් සහ වැලි" වගේ අර්තයක්...
මේ ෆිල්ම් එකේ විශේෂත්වය තමා , මේක virtual reality ෆිල්ම් එකක් වීම සහ, මෙතෙක් බිහි වෙලා තියෙන ඔය තාක්ෂණය භාවිතා වුනු චිත්‍රපට අතලොස්සට වඩා වෙනස්ම මාතෘකාවක් මූලික කරගත්තු කතාවක් තිබීම . මේක විනාඩි හතක් වගේ සුලු කාලයක් දිවෙන කෙටි චිත්‍රපටයක් . කතාව යන්නෙ, අනවසර සංක්‍රමණිකයන් ගැන . ඒ කියන්නෙ මෙක්සිකන් බෝඩර් එකට එන සංක්‍රමණිකයන් පිරිසක් අතර ඔබටත් මිනිත්තු හතක් හැසිරෙන්න පුලුවන් වෙනව. බලන්න නෙවෙයි "හැසිරෙන්න" . Virtual අත්දැකීමක් කියන්නෙ බැලිල්ලට එහා ගිය එකක්නෙ. ෆිල්ම් එකක් කිව්වට, මේක ඇත්තටම installation එකක් . ඒ කියන්නෙ මේ අත්දැකීම පිරිනමන්න, ටිකක් ඉඩ පහසුකම් ඕනෙ. ඒ කියන්නෙ බිමට වැලි අතුරල සකස් කරපු ලොකු කාමරයක් ඇතුලෙ තමා මේ අත්දැකීම ඔබට ලබන්න පුලුවන් . ඒ කාමරේට යන්න කලින්, අදාළ VR ගොග්ල්ස්, සහ අනික් සංවේදක උපකරණ පලඳින්න ඕනෙ. ඊට පස්සෙ සපත්තු එහෙම ගලවල අර කාමරේට ඇතුලු වෙනව. ඔන්න ඔබේ දෙපයට වැලි පෑගෙනව. එතකොට ෆිල්ම් එක පටන් ගන්නව.... ඒ කියන්නෙ ඔබ ඉදිරියේ විතරක් නෙවෙයි . දැන් ඔබ වටේටම සරණාගතයො කෙඳිරි ගානව, සමහරු පඳුරු අස්සෙ හැංගිලා , සමහරු තුවාල වෙලා වැටිල තැන් තැන් වල, ඔය අතරේ ඇමරිකන් හමුදාවේ සෙබලු මෙයාලව හසුරුවන්න හදනව... ඔන්න එතකොට ඉහලින් හෙලිකොප්ටර් එකක් ලෑන්ඩ් කරනව... මිනිස්සු හිස් ලූ ලූ අත දුවනව. සමහරු හමුදාවේ අය අල්ලං යනව... ඔබ හැංගෙනවද, ඇමරිකන් හමුදාවේ බටයොන්ට මුවා වෙලා ඉන්නවද, නැත්තං සරණාගතයො එක්ක දුවනවද කියන එක තීරණය කරන්න ඕනෙ ඔබ... ඒක නිසා , මේක අලුත්ම විදියේ සිනමාවක්. ඒ කියන්නෙ අධ්‍යක්ෂවරයාම කියන විදියට , ඔහු සපයන්නෙ කතාවෙන් 20% ක් විතරයි . ඉතිරි 80% ක විතර ටිකම තීරණය වෙන්නෙ, සිනමාව ඇතුලෙ අපි හැසිරෙන විදිය මත... ඇත්තටම මේක ෆිල්ම් කැටගරියට ගන්න පුලුවන්ද නැත්තං මේක වෙනමම කළාවක්ද කියන එකත් දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා ... මොකද මේකෙ අධ්‍යක්ෂවරයාම කියන විදියට, ෆිල්ම් එහෙක මූලික ම දෙයක් තමා ෆ්‍රේම් එක... ඒක තීරණය කරන්නෙ අධ්‍යක්ෂවරයා . නමුත් මෙවැනි නිර්මාණයක් තුල ෆ්‍රේම් එකක් නෑ. ෆ්‍රේම් එකක් නැති ෆිල්ම් එකක් කියන්නෙ නිකං රෝද නැති කාර් එකක් වගේ, ඒක නිසා ඔහු කියන විදියට නම්, මේකට ෆිල්ම් එකක් කියන එක සාධාරණ නෑලු. ඒත් පහුගිය අවුරුද්දෙ කෑන්ස් චිත්‍රපට උළෙලට සමගාමිව මේක "තිරගත" උනා. තිරගත උනා කිව්වට ඉතිං , වෙනම ගබඩා කාමරයක් වගේ තැනක තමා මේක පෙන්නල තියෙන්නෙ. විනාඩි හතක් වගේ සුලු කාලයක් තිබ්බත්, අංගසම්පූර්ණව අංශක 360 ක රූප සහ ශබ්ද නිර්මාණය කරන්න වුනු නිසා, මේකෙ visual effects කරන එක සෑහෙන අභියෝගයක් වෙලා තියෙනව. කොහොමද කරන්නෙ කියමින් හිත හිත ඉන්නකොට , ඒක කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නෙ ILM (Industrial Light & Magic ) ටීම් එක. හැබැයි එයාලටත් ලේසි වෙලා නෑ. මේකෙ rendering වැඩ ටික කරන්න එයාලගෙ කම්පියුටර් සිස්ටම් එකත් වෙනමම හදන්න උනාලු...
කොහොමින් කොහොම හරි වැඩේ ගොඩ දාල.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, අපි අනාගතයේ වෙයි කියල හිතන් ඉන්න දේවල් දැනටමත් වෙලා ඉවරයි කියල තමා. කවදා හරි මෙහෙටත් එයිනෙ බලමුකෝ....
මූණු පොතේ කතා බහ

Sunday, January 7, 2018

ග්‍රහලෝකාගාරය තුළ පෙන්නන චිත්‍රපටි...

ග්‍රහලෝකාගාරය කිව්වම මතක් වෙන්නෙ තරු උනාට දැන් අපේ ග්‍රහලෝකාගාරය තුළ තරු වලට අමතරව චිත්‍රපටිත් පෙන්නන බව ඔබ දැන සිටියාද? එසේ නම් මේ ඔබේ අවධානයටයි....
ලංකාව ඇතුලෙ Dome සිනමාව අත්දකින්න පුලුවන් එකම තැන තමා ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය . ඒක එහෙම උනේ, 2014 අවුරුද්දෙ , අපේ ග්‍රහලෝකාගාරය ඩිජිටල් ක්‍රමයට නවීකරණය කළ නිසා. අපේ බදු මුදල් වලින් ඇත්තටම වැඩක් ඇති දෙයක් කරපු දුර්ලභ අවස්ථාවක් විදියටත් මේක හඳුන්වන්න පුලුවන් ...
ඉතිං Dome Cinema කියන්නෙ මොකද්ද කියල දන්නැති අයට , ඒ කියන්නෙ ෆිල්ම් එක පැතලි තිරයක් මත නෙවෙයි දිග ඇරෙන්නේ . නිකං පොල්කට්ටක් මුනින් අතට තියල ඒක ඇතුලට ගිහින් උඩ බැලුවම පේන අර්ධගෝලය ගැන හිතන්න අන්න ඒවගේ තිරයක් පුරාවට චිත්‍රපටය දිග ඇරෙනව... ඒක අමුතුම අත්දැකීමක් ...
ග්‍රහලෝකාගාරයෙ සෙනසුරාදා උදේ දහයෙ ශෝ එකට ගියා නං ඔබටත් මේ අත්දැකීම ගන්න පුලුවන් . ටිකට් එක රුපියල් සීයයි . (3D ෆිල්ම් එකක් බලන්න උනත් රුපියල් පන්සීයක් වත් යනවනෙ.) හැබැයි ඉතිං ටිකක් වේලාසනින් යන්න වෙනව. ශෝ එක පටන් අරං මුල් විනාඩි හතලිස් පහ විතර පෙන්නන්නෙ චාල්ස් ඩාවින් පරිණාමවාදය අදාල සොයාගැනීම් කරපු විදිය.( මීට අමතරව විවිධ වාර්තා චිත්‍රපට කිහිපයක්ම තියෙනවා , එක දර්ශන වාරයකදී පෙන්නන්නෙ එකයි. ඒ ගැන විස්තර ග්‍රහලෝකාගාරෙ සයිට් එකේ තියෙනවා බලන්න ) ඒක 3D animation ෆිල්ම් එකක් විදියට Dome තිරය පුරා විසිරිල යනව. අහසෙ කුරුල්ලොත් එක්ක පියාඹගෙන යන්න වගේම , මාලුත් එක්ක මුහුදෙ කිමිදිලා බලන්නත් පුලුවන් . ඩාවින් එක්ක බීගල්ස් නැවට නැගල ගැලපගොස් දිවයින් වලට යන්නත් පුලුවන් . මිනිස් සෛලයක් ඇතුලටම ගිහින්, DNA ඇසිරිලා තියෙන විදිය බලන්නත් පුලුවන් . මේ ෆිල්ම් එකෙන් පස්සෙ, දවසේ තාරකා පිහිටීම මූලික කරගෙන, ග්‍රහලෝකාගාරෙ සාමාන්‍යයෙන් කරන ශෝ එක යනව. මුලු ශෝ එක පැය දෙකක් විතර යනව.
ඉතිං ඊලග සැරේ යාලුවො සෙට් උනාම යන්න තැනක් නැත්තං, පොඩ්ඩක් මේකත් ට්‍රයි කරල බලන්න . වෙනස්ම අත්දැකීමක් වෙයි.