Saturday, August 19, 2017

Predator ව අදුරනවද?

Alien ෆිල්ම්ස් බලපු අය අනිවාර්යයෙන් බලල තියෙන තව ෆිල්ම් සෙට් එකක් තමා Predator කියන්නෙ . ඕකෙ පලවෙනි චිත්‍රපටය ආවෙ 1987 දි. ඒ කියන්නෙ ඉතිං දැන් අවුරුදු තිහකට විතර කලින්. ඒකෙ ප්‍රධාන චරිතය රඟපෑවෙ ඉතිං ආනොල්ඩ් ස්වාසනගර් බව හැමෝම වගේ දන්න දෙයක් . හැබැයි , නිකමට හරි හිතල තියෙනවද ඕකෙ predator විදියට රඟපෑවෙ කවුද කියල ? ඇත්ත වශයෙන්ම ප්‍රෙඩේටගෙ චරිතයට අවශ්‍ය වෙලා තියෙන්නෙ සටන් නලුවෙක්ව. මොකද ඉතිං ෆයිට් සීන් තියෙනවනෙ සෑහෙන්න , ඉතිං ඔය චරිතය කරන්න සුදුසු කෙනා විදියට මුලින් තෝරගෙන තියෙන්නෙ , වෑන් ඩෑම්ව. ඉතිං ඔන්න වෑන් ඩෑම්ව predator විදියට අන්දල සීන්ස් කීපයක් අරං තියෙනවා . හැබැයි , මේකෙ ප්‍රධාන නලුවො විදියට රඟපාන සෙට් එකම, ආනොල්ඩුත් ඇතුලුව , බොඩි බිල්ඩර්ස්ල. ඉතිං ඒ අය ඉදිරියේ , predator ගෙ දැවැන්ත ප්‍රතිරූපය ගොඩ නැගෙන්නනම්, ප්‍රෙඩේට අර සෙට් එකට වඩා උස මහත එකෙක් වෙන්න ඕනෙ බව අවසානෙ තීරණය උනා. ඒක නිසා , වෑන් ඩෑම්ව ප්‍රෙඩේට චරිතයෙන් ඉවත් කරල ඒ චරිතය, උස මහත , හැබැයි එච්චර ප්‍රසිද්ධ නැති, කෙවින් පීටර් හෝල් කියන නලුවට දීල තියෙනවා .( වෑන් ඩෑම් චිත්‍රපටයෙ මුල් කොටස් කිහිපයකට ප්‍රෙඩේට ලෙස පෙනී සිටියත්, ඔහුගෙ නම චිත්‍රපටය කෙලවර නාමාවලියට එක් කර නැත) කෙවින් පීටර් හෝල් කියන්නෙ ඇත්තටම සෑහෙන උසක් තිබ්බ නලුවෙක්, එයාගෙ උස අඩි හතකුත් අඟල් දෙකක් ! ඉතිං , ආන්ල්ඩ්, ප්‍රෙඩේට ඉදිරියේ මිට්ටෙක් වගේ පෙනුණ. ප්‍රේඩේට පලවෙනි සහ දෙවෙනි චිත්‍රපට දෙකේම ප්‍රෙඩේට විදියට රඟපෑවෙ කෙවින්. නමුත් දෙවෙනි චිත්‍රපටය තිරගත වෙලා ටික කලකින් ඔහු මියගියා.
හැබැයි ඊට පස්සෙත්, Alien Vs Predator සහ Alien Vs Predator : Requiem කියල චිත්‍රපට දෙකක් ආව. මේ චිත්‍රපට වලටත් ප්‍රෙඩේටට "අඳින්න " සෑහෙන උස මහතක් තියෙන නලුවෙක් ඕනෙ උනා. ඉතිං , දෙවෙනි වතාවට ප්‍රෙඩේට විදියට රඟපාන්න අවස්ථාව හිමි කර ගත්තෙ, අඩි හතකුත් අඟල් එකක් උස, ඉයන් වයිට් කියන නලුව. මෙයාව නම් අනිවා ෆිල්ම්ස් වල දැකල ඇති ., හැබැයි අඳුරගන්න අමාරුයි . මෙයා තමා, හැරී පෝටර් හතරවෙනි චිත්‍රපටයෙ අර උසම උස මැඩම් මැක්සීම්ගෙ චරිතය රඟපෑවෙ ( හැග්‍රිඩ්ගෙ ක්‍රෂ් එක මතකයිනෙ) ඊට පස්සෙ , ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල Wun Wun කියන යෝධයගෙ චරිතය කලෙත් මෙයා. ඒ විතරක් නෙවෙයි , මෑතකදි තිරගත වුනු Prometheus ෆිල්ම් එකේ, අන්තිමට පණ එන ඉංජිනියර් විදියට ඉඳල තියෙන්නෙත් මෙයාම තමයි.
🔷උඩ රූපෙ , කෙවින් පීටර් හෝල් , Predator ෆිල්ම් එකේ සෙට් එකත් එක්ක ඉන්නෙ. බලන්නකො උස!
🔶මැද වම් පැත්තෙ රූපෙ , ආනොල්ඩ් අයිය , ප්‍රෙඩේට ඉදිරියේ මිට්ටෙක් ලෙස... 😃,
🔷මැද දකුණු පැත්තෙ රූපෙ රිඩ්ලි ස්කොට්, ඉංජිනියර්ට ඇන්ද ඉයන් වයිට්ට උපදෙස් දෙනව, Prometheus           රූගත කිරීම් අතරතුර ...
🔶පහල රූපෙ , ඉයන් වයිට් , Alien Vs Predator : Requiem රූගත කිරීම් අතරතුර ....
මූණු පොතේ කතා බහ

Xenomorphs & Neomorphs

Alien ෆිල්ම්ස් එකක්වත් බලල නැත්තං කියවල තේරුමක් නැති වෙයි. 😊
ඔය ඒලියන් ෆිල්ම් වල ඉන්න සතාට, අපි ඒලියන් කිව්වට උගෙ හරි නම Xenomorph. එතකොට ඌ එන්නෙ බිත්තරේකින්. ඒ බිත්තර දාන්නෙ උන්ගෙ රැජින . ඒ බිත්තර වලින් ඌ කෙලින්ම ඉපදෙන්නෙ නෑ මුලින් එන්නෙ අර ගෝනුස්සෙක් වගේ එහෙ මෙහෙ දුවන සතා ඌට කියන්නෙ ෆේස් හගර් (facehugger) කියල . ඌනෙ අර මූන කට වැහෙන්න අල්ල ගන්නෙ. ඊට පස්සෙ ඌ මැරිල යනව. ඌ හොස්ට් ගෙ ඇග ඇතුලට දාන බීජානු වලින් බඩ ඇතුලෙ හැදෙන එකාට කියන්නෙ , චෙස්ට් බස්ටර් ( chestbuster) කියල . ඌ තමා පපුව පලා ගෙන එලියට එන්නෙ. ඊට පස්සෙ ඌ ලොකු වෙලා තමා සෙනොමෝර්ෆ් කෙනෙක් වෙන්නෙ. මුන්ගෙ ලේ වෙනුවට තියෙන්නෙ ඇසිඩ්.
හැබැයි , අර Alien : Covenant එකේ ඉන්න සුදු පාට එකා, ඌ සෙනොමෝර්ෆ් නෙවෙයි . ඌ Neomorph කෙනෙක් . මුන්ව හැදෙන්නෙ අර ඉංජිනියර්ස්ල ඩිසයින් කරන කලු පාට දියරයෙන්. ඒක අර ග්‍රහලෝකයේ පොලවට වැටුනම හතු වගේ හැදෙනව. ලග පාත හොස්ට් කෙනෙක් ඉන්නව නම් මේවට ඒක දැනෙනව . එහෙම දැනුනොත්, ඇතුලෙ තියෙන බීජානු රිලීස් කරනව. ඒව වාතය හරහා සක්‍රීයව හොස්ට්ව හොයාගෙන උගේ ඇගේ තියෙන සිදුරකින් ඇතුල් වෙනව. එහෙම ඇතුල් උනු වෙලාවෙ ඉදං ධාරකයගෙ සිරුර වේගයෙන් දිරාපත් වෙනව. ටික වෙලාවකින් ශරීරය පලා ගෙන එලියට එන එකාට කියන්නෙ, බ්ලඩ්බර්ස්ට (bloodburster) කියල . මූ ඉපදුණු මොහොතේ ඉදලම හරිම සක්‍රීයව චලනය වෙනව. ඒ වගේම ප්‍රහාරාත්මකයි. මූ ලොකු උනාම තමා නියෝමෝර්ෆ් කෙනෙක් වෙන්නෙ.
හැබැයි , මේ නියෝමෝර්ෆ්ල, සෙනොමෝර්ෆ්ලට වඩා නොදියුණු සත්තු බව පේනව . මුන්ගෙ ලේ ඇසිඩ් නෙවෙයි . මුන් මිනිස්සුන්ගෙ මස් කනව. සෙනොමෝර්ෆ්ල එහෙම මිනී මස් කන බවක් පෙන්නන්නෙ නෑ . අනික මුන් හතරගාතෙන් දුවන්නේ . ඒ වගේම මුන් ඇටෑක් කරන්නෙ කාබනික සැකැස්මක් තියෙන ජීවීන්ට විතරයි .
නියෝමෝර්ෆ් කෙනෙක් උනත් සෙනොමෝර්ෆ් කෙනෙක් උනත්, උන්ව බිහිවෙන්න පාවිච්චි උනු ධාරකයගෙ DNA මත බිහිවෙන සතාගෙ ස්වරූපය වෙනස් වෙනව.
හරි . මේ ටික හොඳට පාඩම් කර ගන්න . මේ සැරේ මේ කොටසින් රචනා ප්‍රශ්නයක් එනව. 😂😂
                                                                          

‌බෙන්හර් අලුත් එක!

මේකේ අලුතෙන් ආපු ෆිල්ම් එක සුපිරි කියල මේ පේජ් එකේ පොස්ට් එකක් තිබ්බ. මාත් බැලුව මේක අනේ ඒ කියන තරම් සුපිරියක් නම් නෑ . Visual effects නම් හොඳයි ඉතින් ඒ වුනාට දැන් හදන හැම ෆිල්ම් එකකම ඒවා නම් හොඳයි තමා .මේකේ ඔරිජිනල් ෆිල්ම් එක මීට වඩා සැහෙන්න හොඳයි. එකේ practical effects අතින් ඉහලයි.කතාවත් මීට වඩා බොහොම ඉහලයි.මේ අලුත් ෆිල්ම් එකේ කතාව පරණ එකට වඩා බොහොම වෙනස්.
Spoiler ඇලට් ....
ෆිල්ම් දෙකෙන් එකක් වත් බලල නැත්තම් පහල තියෙන ඒවා තේරෙන් නැති වෙයි.
පරණ ෆිල්ම් එකේ අන්තිමට දුෂ්ටයයි බෙන්හරුයි කතාවේ අන්තිමට යාලු වෙන් නෑ . පරණ කතාවේ දුෂ්ටයා, ඒ කියන්නේ මෙසාල (Messala ) අස්ස කරත්ත රේස් එකේදි වැටිලා වෙන තුවාල වලින්ම මැරෙනවා. මැරෙන වෙලාවේ එයාම තමා බෙන්හර්ට කියන්නේ අම්මයි නංගිටයි ලාදුරු හැදිලා බව. මේ අලුත් ෆිල්ම් එකේ මේක සම්පුර්ණයෙන් වෙනස් කරලා. මේකේ අන්තිමට අච්චර අර මරා ගන්න හදපු එවන් දෙන්න මෙන්න බොලේ යාලු වෙනවා! නිකන් හින්දි ෆිල්ම් එකක් වගේ. හරිම අභව්‍යයි.
මෙසලා සහ බෙන්හර්ගේ නංගි ආදරෙන් ඉන්නවා ෆිල්ම් එකේ මුල හරියේ.ඊට පස්සේ රෝමන් නායකයා නගරෙට එද්දි වෙන අවුල් සහගත සිද්දියෙන් පස්සේ , බෙන්හර්ගේ මුළු පවුලම අත්අඩංගුවට ගන්නවා. මෙසාලට මේක සෙට්ල් කරන්න පුළුවන් කම තිබ්බත් කරන් නෑ . එහෙම කරපු මිනිහට මෙන්න කතාව අන්තිමට නංගි ඇවිත් කිස් එකකුත් දෙනවා!
මේ වගේ අවුල් සහගත ප්ලොට් හෝල්ස් මේ re - make එකේ බහුලව තියෙනවා.
කෝකටත් පරණ ෆිල්ම් එක බලල නැත්තම් බලන්න. ෆිල්ම් එකක් සම්භාව්‍ය වීම සහ අභව්‍ය වීම අතර වෙනස හොඳට තෙරුන් ගන්න පුළුවන් මේ අලුත් ෆිල්ම් එකයි පරණ ෆිල්ම් එකයි දෙක හොඳට අධ්‍යයනය කලොත්.

Wednesday, August 16, 2017

ARRIVAL

Spoiler alert !! මේ ෆිල්ම් එක තවම බලා නැත්නම් මෙය කියවීමෙන් ඔබේ රසවින්දනය පළුඳු විය හැක.
මේ චිත්‍රපටියේ හැටියට සප්තපාදික සක්වල ජීවින් එනවා අපේ ලෝකෙට, අමුතු හැඩේ යානා දොළහක. ඔවුන් මේ යානා නතර කරන්නේ ලෝකේ තැන් දොළහක. (මේකම ලොකු විශේෂත්වයක්නේ ඉතින්, මොකද හැම එකම එන්නේ ඇමරිකාවට විතරයිනෙ ) එහෙම එන මේ ජීවින් අපිට යම් පණිවිඩයක් දෙන්න හදනවා. එකට ඔවුන් ඔවුන්ගේ භාෂාව පාවිච්චි කරනවා. ඉතින් මේ භාෂාව තේරුම් අරන් ඔවුන් කියන්න උත්සහ කරන්නේ මොකද්ද කියන දේ හොයා ගැනීමේ වගකීම පැවරෙන්නේ අපේ කතානායිකාවට.
මේ ලියන එකේ අරමුණ මේ භාෂා කතන්දරේ පැහැදිලි කරන එක නිසා කෙලින්ම ඒ ගැන කියන්නම්. ඒ සඳහා තේරුම් ගත යුතු වැදගත්ම කරුණ තමයි, මේ සප්තපාදිකයින් අපි වගේ කාලය රේඛීයව අත්විදින අය නෙවෙයි. ඔවුන් කාලය කියන මානය සංජානනය කරන්නේ අරේඛීය ආකාරයකටයි. ඉතින් මෙයාලගේ භාෂාවත් හදාගෙන තියෙන්නේ ඊටම ගැලපෙන විදියට නිසා එක තේරුම් ගන්න එකත් අමාරුම වැඩක් බවට පත් වෙනවා.
මේ කතාව මැද හරියේදී අපේ වාග් විද්‍යාඥවරිය මේ එක සක්වල ජීවියෙක් සමග මුහුණට මුහුණ මුණ ගැහෙනවා. අන්න ඒ අවස්ථාවේදී ඇයටත් හැකියාව ලැබෙනවා, අර ජීවින් වගේම කාලය අරේඛීයව අත්විඳින්න. ඒ කියන්නේ අතීතයත් වර්තමානයත්, අනාගතයත් එකම පින්තුරයක් වගේ පේනවා. මේකෙන් කාලය හරහා යන්න පුළුවන් කියන දේ අදහස් වෙන් නෑ . ඇයට මේ හැකියාව ලැබෙන්නේ, අර අමුතුම හැඩයේ සංකේත වලින් ලියන සප්ත්පදිකයන්ගේ අරේඛීය භාෂාව තේරුම් ගැනීමත් එක්ක. ඒ දැනුම සම්පුර්ණ වෙන්නේ අර මුණ ගැහීමේදී. මෙන්න මෙතෙන්දි තමයි, Sapir- Whorf කල්පිතය අවශ්‍ය වෙන්නේ.
Sapir- Whorf කල්පිතය: මේකෙන් කියවෙන්නේ, අපි භාවිතා කරන භාෂාව, අපි මේ ලෝකය අත්විඳින ආකාරය කෙරෙහි යම් බලපෑමක් කරන බව. ඒ කියන්නේ, ඉතා ප්‍රථමික භාෂාවක් භාවිත කරන කෙනෙක්ට වඩා, වැඩි වචන, අකුරු ඇති දියුණු භාෂාවක් භාවිත කරන පුද්ගලයෙක්, වඩා පුළුල් පරාසයකින් ලෝකය අත්විඳින බව. මේක ඇත්තක් කියලවත් බොරුවක් කියලවත් ඔප්පු කරලා නැති නිසා තමයි, මේකට "කල්පිතයක්" කියල කියන්නේ.
කොහොම නමුත්, මේ ෆිල්ම් එකේ කතා නායිකාවට, අර භාෂාව තේරුම් ගැනීමත් එක්කම, කාලය අරේඛීයව අත්විඳින්න හැකියාව ලැබීම පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ, මේ කල්පිතය හරහා තමයි.
අවසාන වශයෙන්, මේ ලැබෙන හැකියාව නිසා ඇයට පුළුවන් වෙනවා චීන නායකයාගේ හිත වෙනස් කරලා වෙන්න යන විනාශයක් වලක්වා ගන්න. ඒ වගේම, ඇයට ඇගේ මුළු ජිවිතයම, රේඛිය නොවන, චිත්‍රයක් වගේ පේනවා. මේ කතාව මුලදීම ඇගේ දුවගේ මරණය සිදුවන බවක් පෙන්නුවත්, ඇත්තටම එය තාම සිදුවුණු දෙයක් නෙවෙයි. ඒ ඇයට, සහ මෙහි අනෙක් ප්‍රධාන චරිතය වන භෞතික විද්‍යාඥයට දාව අනාගතයේදී ලැබෙන දියණිය. එම දියණිය අකාලයේ මියයන බවත්, සැමියා තමන් හැර යන බවත් ඇයට කල්තියා දැනුනත්, ඇය එම මාවත තෝර ගන්නවා. ඒක තමා මේ චිත්‍රපටයෙන් දෙන ගැඹුරු පණිවිඩය, ඔබට ඔබේ ජීවිතය චිත්‍රයක් වගේ, අගක් මුලක් නැති අරේඛීය සංකේතයක් වගේ සම්පුර්ණයෙන්ම දර්ශනය වුනොත්, ඔබ එය තෝර ගන්නවද? නැත්තම් එය වෙනස් කරනවද?
අන්තර්ජාලයේ කරුණු ඇසුරිනි.
   

Tuesday, August 15, 2017

වේශ නිරූපණය සත්තුන්ටත්....

ඔය දාල තියෙන රූපෙ (උඩ) රතු පාට අත් වැසුමක් දාන් ඉන්නෙ ඇලෙක්සැන්ඩ්‍රා බැනිස්ටර්. එයාට හොඳට චිත්‍ර අදින්න පුලුවන් වගේම අශ්වයින් ගැන හොඳ අවබෝධයකුත් තියෙනවා . ඉතිං , මේන් මෙයාව තමා ස්ටීවන් ස්පිල්බර්ග්, එයාගෙ War Horse කියන චිත්‍රපටයෙ, අශ්වයින්ගේ වේශ නිරූපණ ශිල්පීන්ගේ උපදේශිකාව විදියට පත් කලේ. ඒ කියන්නෙ , Equine hair and makeup department එකේ ප්‍රධානියා විදියට ඉඳල තියෙන්නෙ මෙයා.
War Horse චිත්‍රපටයට අශ්වයින් අසූවකට වඩා යොදා ගෙන තියෙනවා, ඒ අශ්වයින්ව හැඩ ගන්වන්න වේශ නිරූපණ ශිල්පීන් විසි හය දෙනෙක්ගෙ සේවය ලබා ගෙන තියෙනවා . මෙයාල උදේ පාන්දර පහේ විතර ඉදං තමන්ගෙ රාජකාරිය පටන් ගන්නව. ඒ කියන්නෙ අස්සයො මේකප් කරන්න.
ඉතිං ඇත්තටම මොනවද මේ මේකප් කරනව කියල කරන්නෙ? ඔය වගේ චිත්‍රපට වල අස්සයින්ගෙ ඇගේ මඩ පැල්ලම් , ලේ පැල්ලම් , සීරීම් තුවාල වගේ ඒව තියෙනවා දැකල ඇතිනෙ, ඉතිං ඒව අහඹු ලෙස ඇති වෙලා හෝ ඇත්තටම වෙලා නෙවෙයි . ඒව ඔක්කොම කලින් ප්ලෑන් කරල ඒ ඒ තැන් වල නිරූපණ ශිල්පීන් විසින් "ඇඳපුව" කිව්වොත් නිවැරදි . ඒ වගේම තමා , ඒ පැල්ලම් අදාල දර්ශනය පුරාවට එකම විදියට තියාගැනීමේ වගකීම පැවරෙන්නෙත් මේ මේකප් ආටිස්ට්ලටම තමා. ඒ කියන්නෙ , මුල් දර්ශනයේ අශ්වයෙක්ගෙ වම් කකුලේ තිබුනු මඩ පැල්ලම, ඊලග රූගත කිරීමේදීත් එතැනම ඒ ප්‍රමාණයෙන්ම ඒ පාටින්ම තියෙන්න ඕනෙ. මේ සංතතික බව රැක ගන්න ඒ ගොල්ලො ඒවයෙ ඡායාරූප අරං තියා ගන්නව. ඊට අමතරව ප්‍රධාන චරිතය රඟපාන අශ්වයගෙ මුහුණේ හැඟීම් තිව්‍රර වෙන විදියට උගේ මුහුණටත් අවස්තාවට අදාලව මේකප් එකක් දෙනව.
ඒ වගේම තමා, අශ්වයින් එක්ක රඟපාන අනෙක් රංගන ශිල්පීන්ටත් විශේෂ උපදෙස් ලැබෙනව අශ්වයින් අල්ලන්න ඕනෙ තැන් නොඇල්ලිය යුතු තැන් ගැන මොකද , මේකප් එක ගැලවී යාමේ අවධානමක් තියෙන නිසා.
War Horse වල විතරක් නෙවෙයි , සත්තු රඟපාන හැම හොලිවුඩ් චිත්‍රපටයකම වගේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙනව. මිනිස්සු වගේ නෙවෙයිනේ සත්තු , එයාල එක දිගට දවස පුරා රඟපාන්නෙ නෑ . අනික එහෙම යොදා ගන්න එක නීතියටත් පටහැනියි , ඉතිං බොහෝ චිත්‍රපට වල ප්‍රධාන චරිත රඟපාන සත්තුන්ට, body doubles සහ stand-ins යොදා ගැනෙනව. උදාහරණයක් විදියට , 101 Dalmatians චිත්‍රපටයෙ ප්‍රධාන චරිත රඟපෑ dalmatian වර්ගයේ බල්ලො දෙන්නට එකාට තුන ගානෙ ස්ටන්ට් ඩබල්ස්ල ඉඳල තියෙනවා . උනුත් dalmatian වර්ගයේම උනත්, සර්වසම පෙනුමක් නැති නිසා, එයාලව මේකප් කරල තියෙනව ප්‍රධාන නලුවන්ට (බල්ලන්ට) අයිඩෙන්ටිකල් වෙන විදියට .
හරි, දැන් අනික් රූපෙ පේනව නේද සීබ්‍රා කෙනෙක් ඉන්නව ? ඉතිං ඌ සීබ්‍රා වගේ පෙනුනට ඇත්තටම සුදු අස්සයෙක් ! ඇනිමල් ප්ලැනට් චැනල් එකේ සීබ්‍රාවෙක් ගැන ගිය වැඩසටහනකට ඇත්තටම සීබ්‍රාවෙක් පාවිච්චි කරන්න අමාරු නිසා, එයාල මේකප් ආටිස්ට් කෙනෙක්ට වැඩේ බාරදීල තියෙනවා . ඔය එහා පැත්තෙ හිටගෙන ඉන්නෙ එයා තමා. නම රෝස් ඕඩයිල්. එයා , Animals of a Different Color කියල තමන්ගෙම ආයතනයක් පවත්වගෙන යනව. ඒකෙන් කරන්නෙ ඉතිං සත්තු මේකප් කරන එක තමා. The Artist, We Bought a Zoo, Beverly Hills Chihuahua වගේ චිත්‍රපට කීපයකටම එයා දායක වෙලා තියෙනවා .මේ වගේ වෘත්තිමය මට්ටමින් මේ වැඩේ කරන අය, සත්තුන්ව මේකප් කරන්න භාවිතා කරන්නෙ, උන්ගෙ ශරීර වලට අහිතකර නැති වර්ණක. මොකද ඉතිං සත්තු මේකප් ලෙව කන්න පුළුවන්නෙ.
ඉතිං ඊලග සැරේ සත්තු රඟපාන ෆිල්ම් එකක් බලද්දි සැලකිල්ලෙන් බලන්න. සමහර විට මේ ඇස්බැන්දුම් අදුරගන්න පුලුවන් වෙයි.

ටොරන්ට් වල අතුරු කතාවක්...

අපිටම කියල සිනමාවක් ඇත්ද නැද්ද කියල දාපු පොස්ට් එකේ කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා, සිංහල ෆිල්ම් තියෙනවනම් ඒවා 720p , 1080p විදියට ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් දෙන්න, ඇයි ලංකාවේ ෆිල්ම් එකක් පිටරට ෆිල්ම් වගේ ඩවුන්ලෝඩ් කරන්න අන්තර්ජාලය තුල නැත්තේ? ඇයි හොලිවූඩ් වල අයට පුළුවන් නම් අපේ අයට බැරි අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදියට bluray කොපි නෙට් එකට දාන්න ..... උන් මාසයක් හෝ මාස දහයක් හරි ගිහිල්ලා බලන්න පුළුවන් හොදම කොපියක් වෙබ් එකට දානවා, අපේ එහෙමවත් නෑ ...එහෙම නොකරන්නේ ලංකාවේ ඉන්න උන් කුහක නිසා කියල...තාක්ෂණික දියුණව අතින් ගත්තම ඉහලම හිනිපෙත්තක ඉන්න හොලිවුඩ්පුරයේ ෆිල්ම් වගේ අපේ ෆිල්මුත් එහෙම බ්ලුරෙ පිටපත් ගහලා ටොරෙන්ට් එකේ නොමිලේ බෙදා දෙන්න බැරිද කියලත් අහල තිබ්බ.....
මුලින්ම තේරුම් ගන්න ඕනේ, හොලිවුඩ් වල එවුන් කවදාවත් අපිට තියා ලෝකේ කිසිම එකෙක්ට නොමිලේ ෆිල්ම් දෙන්නෙ නෑ . ඒ ෆිල්ම්, හෝල් වල පෙන්නුවයින් පස්සේ DVD සහ Bluray, officially රිලීස් වුනත්, ඒවා ගන්න ඕනේ අදාල මුදල දීල මිසක්, නිකන් ඩවුන්ලෝඩ් කරගන්න කොහෙවත් ඉඩ දීල නෑ . ඉතිං එහෙම ඩවුන්ලෝඩ් කරන්න තියෙයි නම් ඒ හොර වැඩක්, අපි ඩවුන්ලෝඩ් කරනවානම් එක හොරකමක් . වෙලා තියෙන්නේ, හොරකම් කරලා කරලා, දැන් හොරකම , අයිතිවාසිකමක් කියල හිතන්න පටන් අරන්!
හොලිවුඩ් වල ප්‍රධාන පෙලේ චිත්‍රපට නිපදවන සමාගම් 6ක් (වෝල්ට් ඩිස්නි, වෝනර් බ්‍රදර්ස් , ෆොක්ස් , යුනිවර්සල්. සෝනි ,පැරමවුන්ට් ) එකතුවෙලා පිහිටුවාගෙන තියෙනවා සංගමයක්, Motion Picture Association of America කියල, මේකේ ලෝගෝ එක දැකල ඇති, හුගක් ෆිල්ම් වල නාමාවලිය අගට යනවා. මේ සංගමයෙන් කරන්නේ, හොලිවුඩ් සිනමාව වාණිජමය කර්මාන්තයක් විදියට සාර්ථක කරන එක. මේ යටතේ, ඔය හොරෙන් ෆිල්ම් බෙදා දෙන සයිට් නැති කරලා දැමීමේ දැවැන්ත වැඩ පිළිවෙලක් කරනවා. මෙයාල තමා කලින් තිබ්බ yts.to කියන ටොරන්ට් සයිට් එක නැති කරලා දැම්මේ, ඒවගේම Kickass එකත් නැති කලේ මේ මගින් තමා. දැන් ආපහු yts.ag කියල එකක් තිබ්බත් මේ අර මුල් සයිට් එකේ හොර කොපියක්! ඒ කියන්නේ හොරුන්ගෙත් හොරු.. (ඒ කියන්නේ මෙයාල අර මුල් සයිට් එකේ රෙපියුටෙෂන් එක පාවිච්චි කරනවා මිසක් මුල් සයිට් එක කරපු අය මේකට සම්බන්ධ නෑ .)
ඉතින් මේ හොලිවුඩ් සමාගම් වලට පුළුවන් නම් ඔය ටොරන්ට් වලින් නොමිලේ ෆිල්ම් ගන්න එක නැත්තටම නැති කරලා දාන්න, බොහොම කැමැත්තෙන් කරයි ඒක . එක කරන්න අමාරු නිසයි මෙහෙම නොමිලේ හොලිවුඩ් ෆිල්ම් බලන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙම නැතුව හොලිවුඩ් වල ඉන්න සත් ගුණවත්, (කුහක නැති) නිෂ්පාදකවරු, තමන්ගේ චිත්‍රපටිය, හෝල් එකේ දුවල ඉවර උන් පස්සේ, සකල ලෝක වාසීන්ට නරඹන්න දෙන්න ඕනේ කියල හිතාගෙන bluray හෝ DVD කොපි නෙට් එකට දාන හින්ද නෙවෙයි !
ඒ වගේම ඉතින් ලංකාව වගේ ආසියාවේ පොඩි රටවල් වලින්, හොලිවුඩ් වලට ලොකු අදායමක් එන් නැති නිසා, එයාලත් අපේ රටවල් මේ වගේ හොරෙන් ඩවුන්ලෝඩ් කරන් බලන එක නවත්තන්න වැඩිය ට්‍රයි කරන්නෙත් නෑ . අපි සම්පුර්ණයෙන්ම හොලිවුඩ් ෆිල්ම් නොබලාම හිටියත් එයාලට එක දැනෙන්නේවත් නෑ . ඉතින් ඊට වඩා හොඳයි, හොරට හරි බලන්න ඉඩ දෙන එක, මොකද එතකොට, අපි වගේ දුප්පත් රටවල වුනත් හොලිවුඩ් ෆිල්ම් සඳහා ෆෑන් බේස් එකක් හැදෙනවා.
දැන් ලංකාවේ කතන්දරේ ගත්තොත්, ලංකාවෙත් ඔය ටොරානා වගේ ආයතන සමහර ෆිල්ම් වල DVD රිලීස් කරනවා, නමුත් එහෙම දුන්නයි කියල ඒ ඔරිජිනල් DVD එකම ගන්නේ අතලොස්සයිනේ , ඒකෙන් ගහපු හොර කොපි ඊට පස්සේ පේමන්ට් එකේ තියනවා. ඉතින් අර copyrights වලට සල්ලි ගෙවාගෙන, DVD හදපු මුල් සමාගමට පාඩුයි වැඩේ. ඇමෙරිකාව වගේ රටවල මේ තත්වය ටිකක් වෙනස්, බහුතරයක් ඔරිජිනල් එකම ගන්නවා. අනික ඒ රට වල copyright සම්බන්ධ නීති අපේ රටවලට වඩා තදට ක්‍රියාත්මක වෙනව, අපේ රටේ මේවා ගැන කව්රුත් හොයන්නේ නැත. අර මුලින් කිව්වා වගේ ආයතනත් අපිට නැත. චිත්‍රපටියක් රිලීස් වුනු සැනින්, එකේ හොර කොපිය හොයාගෙන බලන්න ඉන්න අපි වගේ අය ඉන්න රටක, DVD එක officially රිලීස් කලත් වැඩක් නැත.
කොහොම වෙතත්, බලන් ඉන්න පුළුවන් විදියේ ෆිල්ම් ඉතා අඩුවෙන් හැදෙන ලංකාව වගේ රටවල ඉන්න අපිට ටොරන්ට් වලින් මෙසේ ෆිල්ම් නොමිලේ ලබා ගැනීමට පුළුවන් වීම පූරුවේ වාසනාවකි. ඒ නිසා, සියලු ටොරන්ට් සයිට් වලටත්, ඒවා රන් කරන අයටත් තමන් කරන සේවය සාර්ථකව ඉදිරියටත් සකල ලෝක වාසීන්ට ලබා දීමට අවශ්‍ය යෝධ බල යෝධ ශක්තිය ලැබේවායි පතමි.
(රූපයෙන් දැක්වෙන්නේ, MPAA මගින්, හොර ඩවුන්ලෝඩ් නවත්තන්න කරන කැම්පේන් එකට පාවිච්චි කල පෝස්ටරයකි.)
මූණු පොතේ කතා බහ

ශ්‍රී ලාංකික අපිට කියල සිනමාවක් ඇත්තෙම නැද්ද?

කලින් කොපි කරලා හදපු ෆිල්ම් ගැන දාපු පොස්ට් එකේ සමහර දෙනා කියල තිබ්බ ලංකාවේ අපටම කියල සිනමාවක් නෑ , තියෙන්නේ හින්දි අභාෂය ගත්තු මොකද්ද එකක් කියල. මම නම් ඒ මතයට විරුද්ධයි. ලංකාවේ හොඳ චිත්‍රපට බිහිවෙලා තියෙනවා. අදටත් බිහිවෙනවා. නමුත් මේ සමහර නිර්මාණ වලට ළඟා වීම දුෂ්කරයි. ඒ කියන්නේ, හෝල් එකට ගිහින් බලා ගන්න බැරි වුනොත් ඉතින් ආයි හොයාගෙන බලනව බොරු.... හරි දුර්ලභයි. ඒවා හෝල් වල දුවන්නෙත් සතියයි නැත්තම් දෙකයි.හොලිවුඩ් වල වගේ DVD , Blu -Ray කියල මුකුත් officially රිලීස් වෙන්නෙත් නෑ . ඔන්ලයින් බලන්න ක්‍රමයක් හදලත් නෑ . TV එකේ ගියොත් ඔන්න යන්තම් බලාගන්න පුළුවන්. එත් හැම එකම TV වල යන්නෙත් නෑ . චිත්‍රපටයක් ගියත් ඉතින් ඒකෙත් දහසකුත් එකක් දේවල් දානවා... ඉන්ටනෙට් වල පෙන්නන්න එපාලු... සැටලයිට් TV වල පෙන්නන්න එපාලු... ලඟතියා ගන්නත් එපාලු... විකුණන්නත් එපාලු... හරියට නිකන් හෙරොයින් වගේ... ඉතින් ඔය පෙමෙන්ට් එකේ අහම්බෙන් දැක්කොත් හරි, ඉන්ටනෙට් එකෙන් හොරට ඩවුන්ලෝඩ් කරගත්තොත් මිසක් හරි ඒවා බලන්න වෙන්නෑ . මේක නම් ඇත්තටම වෙනස් විය යුතු තත්වයක් ... චිත්‍රපට සංරක්ෂණය කලයුතු බව ඇත්ත... එහෙමයි කියල කෘතිමව අහේනියක් නිර්මාණය කිරීම සාධාරණ නෑ කියලයි හිතෙන්නේ. හැබැයි, සාමාන්‍ය බුද්ධියක් තියෙන මනුස්සයෙක්ට අවසානය දක්වා ඉවසගෙන බලන් ඉන්න බැරි, ගොන් පාට් සිංහල ෆිල්ම් නම් හන්දියේ කොමියුනිකේෂන් එකේ රාක්කෙත් තියෙනවා...
හරි, කොහොම නමුත් ලංකාවේ අපටත් අපේම අනන්‍යතාවක් ඇති චිත්‍රපට තියෙනවා... මේ ඒකට උදාහරණ කීපයක්. මේ හොඳම උදාහරණ නොවෙන්න පුළුවන්. මොකද සමහරවිට හොඳම ඒවා මග ඇරිලා ඇති අර කලින් කියපු හේතු නිසා.
1. බඹර වළල්ල
මේක අධ්‍යක්ෂණය කලේ අතුල ලියනගේ. ඔහුම තමා ප්‍රධාන චරිතය කළෙත්. හැබයි මේ ෆිල්ම් එකට ලැබිය යුතු නිසි ඇගයීම ලැබුනේ නෑ කියලයි හිතෙන්නේ.... මග අරුණනම් අනිවා බලන්න... සුපිරි ෆිල්ම් එකක්... අපේම එකක්.
2. මචං
මේක ලංකාවේ කතාවක්. අපේ නළු නිලියෝ රඟ පෑවට මේකේ අධ්‍යක්ෂක ඇතුළු තාක්ෂණික ශිල්පීන් හැමෝම වගේ ඉතාලි ජාතිකයෝ. එක හින්දද මන්ද මේකේ අමුතු ගතියක් තියනවා. අන්තිම වෙනකම් කුතුහලෙන් බලන් ඉන්න පුළුවන් පට්ට ෆිල්ම් එකක් තමා මේකත්.
3.සිකුරු හතේ
මේක ගොන් පාට් ෆිල්ම් එකක් කියල සමහරු කිව්වට මටනම් එහෙම නෑ අපේම රටේ නළු නිලියෝ, ශිල්පීන් එකතු වෙලා කරපු සුපිරි කොමඩි ෆිල්ම් එකක් තමා. ගිරිරාජ් කෞශල්‍ය මහතාගේ කුළුදුල් අධ්‍යක්ෂණය වුණාට, කිසි අඩුපාඩුවක් නොකියන්න වැඩේ කරලා තිබුණ. කුචු කවා ගෙන හිනා වෙන්න ඕනේ නැති, පවුලේ සැමට එකට ඉඳන් හිනා වෙන්න පුළුවන් පිරිසිදු විහිළු සහිත අරුත්බර කතාවක් මේකේ තියෙන්නේ.
4. බහුබුතයෝ
උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටිය අමුතු කතාවක් තියෙන කොමඩි ෆිල්ම් එකක්. මේකත් ගොන් පාට් කියල සමහරු කිව්වත් මටනම් මේක හොඳයි. හැබැයි මේකේ දෙවෙනි කොටස නම් ඔන්න ගොන් පාට් තමා .
5. අස්වැසුම
බෙනට් රත්නායක මහත්මයාගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයත් ඔබ නැරඹිය යුතුම එකක්. සංගීතා වීරරත්න සහ ජැක්සන් ඇන්තනී මෙහි විශිෂ්ට රංගනයක යෙදෙනවා.
6. රන් දිය දහර
මේකත් උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ අධ්‍යක්ෂණයක්. වෙනස් කතාවක් ඇති හොඳ චිත්‍රපටයක්....
7. කිනිහිරියා මල්
සංගීතා - කමල් ප්‍රධාන චරිත රඟන, මෑතකදී අප අතරින් වියෝ වුණු දක්ෂ අධ්‍යක්ෂවරයෙක් වන එච්. ඩී. ප්‍රේමරත්න මහතාගේ නිර්මාණයක් වන මේ චිත්‍රපටයත් අමතක කරන්න බෑ .
8.සලෙලු වරම
ඔන්න මේකනම් YouTube වල තියෙනවා ඕනෙනම් බලන්න. අරේඛිය සිනමා අඛ්‍යයනයක් භාවිත කරපු සිනමාකරුවෙක් වන වසන්ත ඔබේසේකර මහතාගේ ඔබ නැරඹිය යුතුම චිත්‍රපට අතරින් එකක්. ඔහුගේම දොරකඩමාරාව , දඩයම වගේ නිර්මාණත් බලන්න....
9. හෝ ගානා පොකුණ
මේකනම් ඉතින් ගොඩ දෙනෙක් බලල ඇති. අපේ දේවල් වලින් වැඩක් ගත්ත අවස්ථාවකට මෑත කාලෙන් දෙන්න පුළුවන් උදාහරණයක්...
10. අලිමංකඩ
චන්ද්‍රම් රත්නම් මහතාගේ නිර්මාණයක් වන මේ ෆිල්ම් එකත් හොඳයි කියල හිතෙනවා.
මේ තියෙන්නේ ලංකාවේ මෙතෙක් බිහිවුණු හොඳම ෆිල්ම් දහය නෙවෙයි... මතක් වුනු හැටියටයි ලිව්වේ....
තව කොච්චර තියෙනවද?
තුන්වෙනි යාමය , මී හරකා , රාජ්‍ය සේවය පිණිසයි, ගම්පෙරලිය trilogy එක... විරාගය..., සරෝජා, සූරිය අරණ....
හැබැයි ඉතින් ඔය පට්ට සම්භාව්‍යයි කියන, හැරෙන්ඩ පැයයි අඬන්න පැය බාගයයි යන , නාමාවලිය යනකම් ඉවර උනාමද කියල ෂුවර් නැති, පැය බාගෙ කතාව පැය එක හමාරක් විතර තිස්සේ ඇදගෙන යන ෆිල්ම් සහ පෝයට සිල් ගන්න ගමන් උනත් බලන්න පුළුවන් දොහොත් මුදුන් දීගෙන බැලිය යුතු ඒවා නම් සැලකුවේ නෑ.
හොඳයි එහෙනම්...
අපේ රටේ අපිටම කියා සිනමාවක් ඇත.... මහන්සි වී හෙව්වොත් එය හමු වේවි!
මූණු පොතේ කතා බහ

Alien : Covenant (2017) මට දැනුනු හැටි...

අර අලුතින් ආපු Alien : Covenant මට දැනුනු විදිය කියන්නං. නොබලපු අය කියවන්න එපා ස්පොයිල් වෙයි.
නිර්දය ලෙසම කියනව හැබැයි කේන්ති ගන්න එපා. 😉
මට දැනුනු විදියට නම් මේක හැදුවෙ රිඩ්ලි ස්කොට්මද කියල අහන්න හිතෙන තරම් මෝඩ ප්ලොට් එකක් තියෙන ෆිල්ම් එකක් . කොටින්ම කිව්වොත් මේක විද්‍යාවටත්, අභ්‍යාවකාශ ගවේෂණයටත් කරපු නින්දාවක් . මුලින්ම පටන් ගන්න කොටම ඇක්සිඩන්ට් එකකින් අර ශිශිතාරක නින්දේ හිටපු උන් ටික ඇහෙරෙනව. නමුත් සාමාන්‍යයෙන් එහෙම එකකින් ඇහැරුනු ගමන්ම ඒකෙ පෙන්නන විදියට ක්‍රියාශීලී වෙන්න බෑනෙ? ටිකක් වෙලා යනව ශරීරයට සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න. හරි, ගොඩාක් අනාගතේ (2104) වෙන නිසා එහෙමත් පුලුවන් කියමුකො. ඒත් , යානයෙන් පිටත වෙන ඩැමේජ් එකක් නිසා, අර හයිබනේශන් පොඩ් එක ඇතුලෙ හිටිය කෙනෙක් පණ පිටින් රෝස් වෙලා යන එක හරිම අතාත්ත්විකයි . ඊට වඩා safety measures තියෙන්න ඕනෙ නේද?
ඊට පස්සෙ අර second in command විදියට ඉන්න එකා හැසිරෙන විදිය ඊටත් වඩා අතාත්ත්විකයි . ඩොලර් ට්‍රිලියන ගානක් ප්‍රොජෙක්ට් එකක destination එක ඌ හිතුමනාපයට වෙනස් කරනව. අනික ඒ යන්නෙත් කිසිම feasibility study එකක්වත් නොකරපු ,නොදන්න ලෝකෙකට. ඒකට හේතුව තමා වැඩි හරියක් crew එක ආයි හයිබනේට් වෙන්න අකමැති වීම. එතකොට අර අනික් කොලනිස්ට්ලගෙ ජීවිත පිලිබඳ වගකීම කාගෙද?
හරි ඉතිං වැඩි කැමැත්තට ඉඩ දීල අර නොදන්න ,හොඳයි වගේ බැලූ බැල්මට පේන ග්‍රහලෝකෙට ගියැයි කියමුකො, ඒකට ගොඩ බහින විදිය ඊටත් වඩා අතාත්ත්විකයි . මනුස්සයෙක් නොදන්න දූපතකට ගොඩ බහිද්දි උනත් ඔයිට වඩා තමන්ගෙ ආරක්ශාව ගැන හිතනව. වායුගෝලයේ සංයුතිය පෘථිවියට සමාන වූ පමණින් ඔහොමත් ගොඩ බහිනවද? මොන මොන විෂබීජ තියෙනවද කව්ද දන්නෙ? ඒකට ඉතිං විපාක ලැබෙනවනෙ. ඊට පස්සෙ, පැහැදිලිවම නොදන්නා විෂබීජයක් ශරීර ගතවූ පුද්ගලයව හැන්ඩ්ල් කරන විදියත් හරිම අතාත්ත්විකයි . අර කෙල්ලව අර රූම් එකේ ලොක් කරන්න කිසිම සාධාරණ හේතුවක් නෑ .
ඉන් පස්සෙ අන්තිම හරියෙදි, full grown alien ආවම තමා යානයෙ සිස්ටම් එකට ඩිටෙක්ට් වෙන්නෙ නොදන්න ජීවියෙක් යානයෙ ඉන්නව කියල . නමුත් එහෙම රිස්ක් එකක් තියෙන ලෝකෙක ඉදන් මව් යානයට ගොඩ උනැයින් පස්සෙ , ඒ ආපු එවුන්ගෙ ෆුල් බොඩි ස්කෑන් එකක් කරල ගන්න විදියක් නැද්ද ? කොරන්ටීන් පොලිසි එකක්? අනේ මන්ද ඉතිං . කතාවක් ගොඩ නගන්න ඕනෙ කියල ඔය විදියට විද්‍යාවට අපහාස කරන එක වැරදියි.
මේකෙ මුල් කොටස , ඒ කියන්නෙ Prometheus නම් මීට වඩා සෑහෙන හොඳයි . ඒක නිසාමයි මේක බැලුවෙත්. නමුත් අරකෙ තිබුනු ගතිය නම් නෑ .
තව පොඩි දෙයක් තියෙනවා, අර ඩේවිඩ් කියන ඇන්ඩ්‍රොයිඩ් රොබෝගෙ කොණ්ඩෙ වැවෙන බව පේනව . ඒකත් විකාරයි. මානවරූපී කරනව කියල කොණ්ඩෙත් වැවෙන විදියට හදන්න ඕනෙද? ඒකෙන් රොබෝගෙ efficiency එක අඩුවෙන එකනෙ වෙන්නෙ.
කොහොම උනත් මේක නිකන් අර කින්ග් කෝබ්‍රා ලෙවෙල් එකට කරපු දෙයක් වගේ මට නම් දැනුනෙ. රිඩ්ලි, මම ඔයාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා.... ග්ලැඩියේටර් හදපු මනුස්සයනෙ ඉතිං .

බොරුවට වැටෙන අස්ස නලුවො...

ඔය සමහර ෆිල්ම්ස් වල දැකල තියෙනවද ඉස්සර යුද්ධ වල සටන් ජවනිකා වගේ ඒවයෙ සමහර දර්ශන වල අස්සයො වැටිල පෙරලිල යනව? මට නම් හිතුනු දෙයක් තමා කොහොමද ඒ වගේ දර්ශන අර ගන්නෙ කියන එක. ඉතිං මේ වගේ ඒව පරිඝණක දෘශ්‍ය ප්‍රයෝග වලින් කරන්න පුලුවන් වුනත්, ඒකෙ යම් සීමාවන් තියෙනව. ඔය ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වගේ ඒව වල නම් CGI අස්සයො යොදා ගෙන තිබුන. නමුත් හැම දර්ශනයටම ඒක කරන්න බෑ. විමසිල්ලෙන් බැලුවොත් පෙනෙයි සමහර අවස්ථා වලදි ඇත්තම අස්සයො ඇත්තටම වැටෙනව. අන්න එතකොට ගැටලුවක් එනව. මොකද ඔය ෆිල්ම්ස් හැම එකක්ම වගේ ඉවර වෙද්දි අන්තිමට නාමාවලියෙ කෙලවර යනව, American humane monitored the animal action and no animals were harmed.... කියල . ඇමරිකන් හියුමේන් කියන්නෙ චිත්‍රපට වලට පාවිච්චි කරන සත්තු වෙනුවෙන් පෙනී ඉන්න සංවිධානයක් . ඉතිං එයාල එහෙම කියන්නෙ වගකීමක් ඇතුවනෙ, එතකොට කොහොමද අර වගේ දර්ශන ගන්නෙ?
1940 ට කලින් , චිත්‍රපට වල ඔය වගේ දර්ශන ගනිද්දි ඇත්ත අශ්වයින්ව ඇත්තටම වට්ටල ඒව තමා කැමරාවට අහු කර ගත්තෙ. ඒ සදහා හදපු උගුල්/තොණ්ඩු (Running W) වගේ ඒව තිබුන. ඒව පාවිච්චි කරල අවශ්‍ය තැනදි අශ්වයව වට්ටනව. මේක හරිම අමානුෂික ක්‍රමයක් උනා මොකද මේකෙන් සමහර අශ්වයින් අබාධිත උනා වගේම සමහර උන් මියගියා . මේ හේතුව නිසා ඇමරිකන් හියුමේන් සංවිධානය , චිත්‍රපට සමාගම් වලට බලපෑම් කලා මේ කුරිරු වැඩේ නතර කරන්න කියල .
ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමා බොරුවට වැටෙන අශ්වයො බිහිවුනේ!
ඔව් . මේ අශ්වයින්ව විශේෂෙන් පුහුණු කරල තියෙනවා අවශ්‍ය තැනදි බොරුවට වැටිල පෙරලිල යන්න නිකං හරියට වෙඩි වැදුන, කඩු පාර වැදුන වගේ... හැබැයි මෙහෙම වැටෙන්න කලින් අදාල තැන පොලව මෘදු විදියට සකසනව දූවිලි සහ ලී කුඩු යොදාගෙන .
මේ වගේ ට්‍රේන් කරපු අශ්වයෙක් ඉතිං සෑහෙන වටිනව වගේම ඔය වගේ එකෙක්ව පුහුණු කරන එකත් හරිම සියුම් වැඩක්. අශ්වයින් අතරින් හොඳම , ඉවසිලිවන්තම, කීකරුම උන්ව තෝරල , මේ සදහාම පුහුණුව ලබපු විශේෂ පුහුණුකරුවන් මාර්ගයෙන් මේ පුහුණුව ලබල දෙනව.
සොරල් ගෙල්ඩින් වර්ගයට අයිති, "වොන්ඩර්බ්‍රෙඩ්" (Wonderbread) කියන්නෙ වර්තමානයේ ඉන්න අන්න එහෙම බොරුවට වැටෙන අස්සයෙක්. මූ මේ මෑතකදි ආපු Django Unchained සහ True Grit නව නිෂ්පාදනයෙත් "රඟපාල" තියෙනවා . ඉතිං මූ විතරක් නෙවෙයි මේ වගේ උන් ඉස්සරත් ඉඳල තියෙනවා (1940න් පස්සෙ කාලෙ) ඒ වගේම තමා මෙයාලට සම්මාන දෙන්න උළෙලවල් පවා පවත්වල තියෙනව.
ඉතිං ඔන්න ඕකයි තත්ත්වෙ , අපි දකිනවට වඩා අපූරු දේවල් තිරය පිටුපස තියෙනව. මින් පස්සෙ අස්සයො ඉන්න කව් බෝයි ෆිල්ම්ස් එහෙම බලද්දි විමසිල්ලෙන් බැලුවොත් , බොරුවට වැටෙන අස්ස නලුවො හොයා ගන්න පුලුවන් වෙයි.
මූණු පොතේ කතා බහ

Fast and the Furious 9 !!

ඔයාල දන්නවද Fast and the Furious එකේ ඊලග එකේ කතාව ලීක් වෙලා. ඒකෙ ස‍යිෆර් ආපහු එනවලූ. එයත් වීරයො සැට් එකට එකතු වෙනවලු. එයා අර ප්ලේන් එකෙන් බිමට පැන්න වෙලේ ඉස්කෝලෙකට වැටිල තියෙන්නෙ. ඊට පස්සෙ ඒ ඉස්කෝලෙ IT උගන්නන්න ටීච කෙනෙක් නැති නිසා මෙයා ඔය කොම්පුටර් වැඩ දන්න නිසා ඇවිත් උගන්නන්න කියල. ඔහොම පන්ති‍යෙ උගන්න උගන්න ඉද්දි අර රාජ්‍ය බුද්දි අන්සෙද මන්ද බුද්දික අන්සෙද මන්ද එකෙක් ඇවිත් පන්තියට ලමයි ඉස්සරහපිටදිම කියනොලු ඔයාගෙ සේවෙ අපිට ඕනෙ ලොකු හොරෙක් ඉන්නව මේමයි මේමයි කියල. ටීච මුලින් බෑම කියනවලු. මම දැන් මගෙ ජීවිතෙ මේ පුංචි එවුන් වෙනුවෙන් කැප කරල ඉවරයි අරකයි මේකයි කියල.. එතකොට පොඩි එකෙක්ම ඇවිත් කියනවලු අනේ මේ අංකල් එක්ක යන්න මිස් ඔයා කියන ඒව අපිට තේරෙන් නෑ ඔයා අපිට ඔපිස් පැකේජ් එක වත් හරියට කියල දුන් නෑ කියල. පස්සෙ ඔකෙන් හිත කැඩිල ප්‍රින්සිපල්ටවත් කියන් නැතුව යනවලු අරයත් එක්ක. පස්සෙ අර හොරා ගැන ඩීටෙල්ස් ටික දෙනවලු සයිෆර්ට. මේ හොරා එසේ මෙසේ එකෙක් නෙවෙයිලු ඉතින් එක සැරයක් ඌ ගාව එක උන්ඩයයි පිහිතලයයි විතරක් තිබිල ටාගට් දෙකකට ගේම දෙන්න... පස්සෙ මූ පිහිතලේට ඒම් එක අරං තියල උන්ඩෙ දෙකට කැපිල ගිහින් ටාගට් දෙකම සුන්. ආං ඒ වගේ පො‍රක්. (දන්නවත් ඇති දැන් කව්ද කියල... ඔව් ඔව් මෑන්ස් තමා) ඉතින් දැන් ආං ඌ ගාව තියෙනෝලු ලෝකෙ නැති ආයුදයි වාහනයි සබ්මැර්‍ර්නුයි අරකද මේකද ඔක්කොම... හම්බෙච්ච විදියක් දන්නෑ ඉතින් පිය උරුමෙන් කියල හිතා ගන්නකො.... පස්සෙ ඉතින් සයිෆර්ටත් තමන්ගෙ අතීතෙ මතක් උනාලු මේව අහද්දි... කොහොම හිටපු ගෑනියෙක්ද මං කියල.... ඉතින් අර රාජ්‍ය බුද්දි අංශෙ එකා කිව්වලු මෙයාව අල්ලන්න උදව් කලොත් ඔයාගෙ පෙර වැරදි වලින් ඔයා නිදොස් කොට නිදහස් ක‍රනව කියල. හා එහෙනම් කරන්නං කියල සයිෆරෙත් කැමති උනාලු... හැබැයි කිව්වලු මට මේ හැම රෙද්දම තනියම කරන්න බෑ තව සෙට් එකක් ඕනේ කියල. එතකොටම අරූ කිව්වලු ආ ඒව දැනටම රෙඩී කියනකොටම මෙච්චර වෙලා බිත්තියක් වගේ තිබ්බ කමරෙ කෑල්ලක් දොර වගේ දෙපැත්තටඇරුනම මේං ඉන්නව සැට් එක... ෆාස්ට් ඇන්ද ෆියුරියස් අටවෙනි එකේ උන්ටික. ඔන්න ඉතින් දෙගොල්ලන්ටම කේන්තිලු මේ කරපු පාහර වැඩේට... යකෝ අපි කොහොමද මේ ගෑනිත් එක්ක එකට වැඩ කරන්නෙ... කලිං ෆිල්ම් එකේ අපි මරා ගත්තනෙ කියල... ස්ටැතම්ට කේන්තිය ඉවසන්න බෑලු... මායි පොඩි එකාවයි දාල පැරශුට් එකෙන් පැන්න ගෑණිනෙ මේ... කියල... ඉතින් රොක් ඌව අස්වස්සනවලු ඕව මොනාදැ මල්ලි දැන් මේ අපි බලාන්කො මේ යලුවො වගෙ ඉන්නෙ... උබට අමතක උනාද උබනෙ හත් වෙනි එකේ අපිත් එක්ක වලි ඉල්ලුවෙ කියල... ඒකත් ඇත්ත බං කව්රු ලියන පිටපත්ද බං මේ කියල අරුත් සද්දෙ වහල හියටියලු.... ඉතිං ඕකෙන් මේකෙන් දෙගොල්ලො ‍යාලු වුනා කියමුකො. නැත්තං ඉතින් දි එන්ඩ් කියල මෙතනින්ම ගේම ක්ලොස් නෙ. හරි දැන් අරුගෙ විස්තර ටික ඔක්කොම දීල අර කලු කෝට් ගහපු රාජ්‍ය නිලදාරිය කිව්වලු රජයට අයිති සීක්‍රට් වෙපන් එකක් තියෙනො එක මුගෙ අතට පත් වෙන්නයි යන්නෙ ආන් ඒක උගෙ අතට යන් නැතිව අපි කියන තැනට ගෙනියන්න ඕනෙ කියල. එතකොට ඩොම් අහන්වලු ඒ වෙපොන් එකෙන් මොනාද කරන්න පුලුවං කියල... ඒ පන්ඩිතකං වලින් උබට වැඩක් නෑනෙ... ලෝකෙම බ්ලකවුට් කරන්න පුලුවන් නිකං කලු පාට ටින් එකක් වගේ එකක් කියල කිව්වම ඌත් සැටිස්ෆ්‍යිඩ්ලු. ඊට පස්සෙ හොරා දැන් ඉන්නෙ කොතනද කියල බලාගන්න ඕනෙ හින්ද සියිෆර්ට වැඩේ බාර දුන්නලු උගෙ කොම්පුට‍ර් සිස්ටම් එක හැක් කල්ල ඌ ඉන්න තැන හොයා ගන්න කියල, ඉතින් සයිෆර් එයාගෙ ලැප අරං දිගඇරියම ඒක ඔන් වෙලා මැප් එකේ මැද රතු ඩොට් එකකින් පේනවලු අරූ ඉන්න තැන . ඉතින් කට්ටිය ෆුල් හොල්මන් වෙලා ඇහුවලු ඒ කෝමද ඒම උනේ ඔයා මුකුත් එබුවෙත් නෑනෙ කියල එතකොට සයිෆර් කියනෝලු ඒක තමා බන්ස්ල මිනිස්සු දියුනු වෙනව කියන්නෙ කලින් එකේ කී බෝඩ් එක ටිකක් ඔබ ඔබ හිටියම උනා දැන් එහෙම ඕනෙත් නෑ කියල ... ඊට පස්සෙ ඉතින් මුලු කතාවම කියන්න අමාරුයි . කියන්න තරං ද්‍ේකුත් නෑ ඉතින්... අරූ (ලොකු හොරා) තියන වෙඩි එකක් වත් මුන්ට වදින් නෑලු... මුන් සැට් එක තියෙන වෙඩි ඔක්කොම ඌට වදිනවලු. ඉතින් අරූ ලග මොන ආයුදේ තිබ්බත් වැඩක් නෑනෙ... පස්සෙ ඌ අන්තෙටම කල කිරිල අර කලු ටින් එක පැහැර ගන්න වැඩෙත් අල්ලල දාල ඌට අයිති ප්ලේන් එකෙන් ආපහු උගේ මව් රටට පලා යනවලු... අපේ රටේ නම් මෙහෙම නෑ... මැරුනත් නැගිටිනව කියල... ඒත් ඌ යන ප්ලේන් එකටත් අරුන් එලව එලව ගහනෝලු වදින තැනකට වැදියන් කිය කිය... පස්සෙ අර අහින්සකය යන ප්ලේන් එකත් කඩං වටෙනකොට ඌ ප්ලේන් එකේ තියෙන එකම පැරශුට් එක අරං එකෙන් බිමට පනිනෝලු... එතනිං මේ ෆිල්ම් එක ඉවරයි. (අරුන්ගෙ පාටි සීන් එක ඊට පස්සෙ නාමාවලිය) ඊලග එකේ (දහවෙනි) කතාව ඔනෙනම් ආයි මුල ඉදං කියවන්න... සයිෆර්ව රිප්ලේස් කරගන්න එකයි ඇත්තෙ අර දැන් වැටිච්ච එකා ගෙන්.

Sunday, August 6, 2017

‌ලංකාවෙ "ටිවී සීරීස්" ....

පෝස්ට් එකක් දැක්ක ලංකාවෙ ටීවි සීරිස් ගැන... ඇත්තටම ලංකාවේ දැනට ඔය කියන තාලෙ "ටිවී සීරීස්" තියෙනවද ? මම දන්න තරමින් නම් නැහැ... අපිට තියෙන්නෙ ටෙලි නාට්‍ය නෙ? ඉතිං ඒකටම නේද මේ ටීවි සීරීස් කියන්නෙ ? මට තේරෙන හැටියට , මම බලල තියෙන වෙන රට වල හැදුනු ටීවී සීරිස් වල ලක්ෂණ එක්ක බලද්දි ඒ ලක්ෂණ තියෙන ඒව නම් ලංකාවෙ තාම හැදිල නෑ . ඔය ටීවී සීරිස් වල තියෙනවානෙ සීසන් කියල දෙයක් . ඉතිං ඔහොම සීසන් විදියට නියත එපිසෝඩ් ගාණක් ඇතුව එන කතා අපේ රටේ නෑ නෙ? අර ගැමුණු මහරජ කියල යන එකේ දැන් දෙවෙනි කොටසක් කියල යනව හැබැයි ඒකත් සීසන් එකක් කියල කියන්න බෑ.
දැන් ටෙලි නාට්‍යයක් කිව්වොත් මතක් වෙන්නෙ ඉවරයක් වෙන්නැති, ගෑනු මිනිස්සු නාහෙන් අඩාගෙන, කේලං බොරු කිය කිය ඉන්න නිකාං ටෝක් ශෝ වගේ ජාතියක්.. මේවයෙ වෙන්න පුලුවන් උපරිම සිද්ධි ඉතින් ඔය කම්මුල් පාරක් දීමක් වගේ තමා... අනිත් හැම වෙලේම ඉතිං කටින් බතල... එච්චරයි . හැබැයි ඉතින් එහෙම නොවුනු කාලයක් තිබ්බ බව සමහරුන්ට නම් තාම මතක ඇති. මතකද ඉස්සර ගියා " දඬුබස්නාමානය" කියල නාට්‍යයක් ? ඕකට තමා ඒ අවුරුද්දේ සුමති ටෙලි සම්මාන උළෙලේ හොඳම ටෙලි නාට්‍යයට වගේම ජනප්‍රියම ටෙලි නාට්‍යයටත් හිමි වන සම්මාන දෙකම ලැබුනෙ... ඉතිං සම්මාන හම්බුනු පමණින්ම ඔය නාට්‍ය හොඳයි කියන්නෙ කොහොමද අහයි මේ ඊයෙ පෙරේදා ඉපදිච්ච, අර දෙවෙනි ඉනිම වගේ නාට්‍ට තමා නාට්‍ට කියලා හිතා ගෙන ඉන්න සෙට් එක. ඔය මං මුලින් කිව්ව නාට්‍යයෙ අවසාන කොටස විකාශනය වෙච්චි දවසේ ලංකාවටම වගේ අකුණු ගගහ වැස්ස. ඉතිං හුගාක් අයට ඕක බලාගන්න බැරි උනා ඉතිං ප්‍රේක්ෂකයන්ගෙ බලවත් ඉල්ලීම පිට, මේ අන්තිම කොටස ජාතික රූපවාහිනියෙන් නැවත විකාශය උනා. මොකද ඒ කාලෙ ඔය යූ ටියුබ් ඒව මේව තිබ්බෙත් නෑ . ඔය මං කිව්වෙ එකක් විතරයි. තව කොච්චර නම් සුපිරි ටෙලි නාට්‍ය ගියාද? අකාල සන්ධ්‍යා , දිය සුළිය, පිටගම්කාරයෝ, බොඩිම, ගිරය .... අමතක නෑ තාම. හැබැයි ඊට පස්සෙ සිරසෙන් තමා ඔය ඉන්දියන් මෙගා වසංගතේ පතුරවල ඇරියේ. මොන හේතුවක් නිසාද මන්ද, දඬුබස්නාමානය වගේ නාට්‍ය ජනප්‍රියම නාට්‍ය විදියට තෝරා ගත් ජනතාව අතරම මේවත් ජනප්‍රිය වුනා. මේකට එක හේතුවක් වෙන්න ඇත්තෙ, අර නාට්‍ය සතියකට එක කොටසක් බැගින් විකාශනය වෙද්දී , මෙගා නාට්‍ය හැමදාම වගේ විකාශනය වීම.

කොහොමෙන් කොහොම හරි, නිර්මාණාත්මක නාට්‍ය නිර්මාණය කරපු, ජයන්ත චන්ද්‍රසිරි , උදයකාන්ත වර්ණසූරිය , වගේ මිනිස්සු ටෙලිවිෂන් එකෙන් ටික ටික ඈත් වෙලා වැඩිපුර සිනමාව පැත්තට ගියා. ඊට පස්සෙ මේ කියපු ලූල්ලු නැති ටෙලිවිෂන් වලේ කනයෝ ටිකක් පණ්ඩිතයො උනා.ඉන්දියන් ටෙලි නාට්‍ය වලට ටිකින් ටික සමාජය තුලින්ම දෝෂාරෝපණ එල්ල වෙද්දී , ඒ සැකිල්ලම යොදල ලංකාවේ නලු නිලියො පසුතල යොදා ගෙන නාට්‍ය හැදුව. ඊටත් පස්සෙ මොන ආබාශයක්වත් ආතක් පාතක්වත් නැති ඔය "සිඳු" වගේ නාට්‍ය හැදුනා. දැන් ඉතින් කියන්න... අනී ඒක ශෝයි නෙ... අර හාමුදුරු පැට්ට හරී හුරතල් ... කියලා ... ඕව හොඳයි නාට්ට දැකල නැති උන්ට. දෙයියන්ට පින් සිද්ධ වෙන්න මම නං අර කලින් කියපු නාට්‍ය බලල තියෙන නිසා මම නම් ඇත්ත නාට්‍ය මොනවාද කියල දන්නව. දැන් එහෙම ඒව ලංකාවේ හැදෙන් නෑ කියලත් දන්නව.

මේ ලගදි මම පත්තරෙන් දැක්ක, ඔය සිඳු කියන නාට්ටෙ තිර පිටපත ලියපු සමන් වීරමුනි ඕකෙන් අයින් වෙලා. ඇයි කියලා අහපුවාම කියලා තියෙන්නෙ , ඒ නාට්‍යයෙන් මම කියන්න හදපු දේ කියල ඉවරයි තවත් කතාව ලියන්න දෙයක් නැති නිසා අයින් උනා කියල .... ආතල් නෙ? 😃 එහෙනං මොකද්ද ඔය සිඳු කියල තාම පෙන්නන්නෙ? රචකයාට කතාව ඉවර උනත්, ඒ නාලිකාවට ඒක ඉවර කරන්න උවමනාවක් නෑ . අපරාදෙ කීයක් හරි හොයාගන්න එකනෙ. ඉතින් එයාල වෙන කෙනෙක් ලවා කතාව ලියල දානව... මම නං ඉතිං ඕව දිහා කට ඇරන් රෑ තිස්සෙ බලං ඉන්න උන්ට අනුකම්පා කරනව....
අනික තමා ඔය ගැමුණු මහරජ කියල පෙන්නන ගෝනි එලුවා ටයිප් කතාව... මූද හත් ගව්වක් තියන් අමුඩෙ ගහන්න වගේ ඔකේ ඉන්න ගැමුණු රජ්ජුරුවොත් යුද්දෙ ගැන කියෝ කියෝ ලව් කරනව විතරයි ... ඉතිං ඕක පිටිපස්සෙත් තියෙනවා පොඩි කතාවක්... හරි නම් ගැමුණු සහ එළාර අතර යුද්ධය ඕකෙ දෙවෙනි කොටස තුල වෙන්න ඕනෙ... එහෙම තමා ඔරිජිනල් ස්ක්‍රිප්ට් එකේ තිබිල තියෙන්නෙ . ඉතිං ඔය යුද්ධය සදහා යන වියදමත් එක්ක ගනන් හදල එක එපිසෝඩ් එකකට මෙච්චර ඕනෙ කියල අදාල නාලිකාවෙන් නිර්මාණකරුවො ඉල්ලුවාම දෙන්න බෑ කියල... ලෝ බජට් යන්න කියල . ඉතිං තමන්ගෙ නිර්මාණයට ඒ වගේ හානියක් කරන්න බැරි නිසා ඕකෙ තිරපිටපත් රචකයයි නිෂ්පාදකයි අයින් වෙලා. හැබැයි නාට්ටෙ නම් තාම යනව...ඒ අර නාලිකාවෙ උවමනාවට.

ඔන්න ඕකයි අද අපේ රටේ ටෙලි නාට්‍ය වල තත්ත්වෙ. නාලිකා වලට ඕනෙ, කිකිලිගෙ බඩ මිරිකල රත්තරං බිත්තර සේරම එක සැරේ ගන්න. ඉතින් ඔය වගේ මිනිස්සු ඉන්නකං ලංකාවේ කවදාවත් සීසන් හත අට යන, එක සීසන් එකක් ඉවර උනාම ඊලග එක එනකං ඇගිලි ගැන ගැන ඉන්න ජාතියෙ කතා නම් හැදෙන එකක් නෑ . හැබැයි, අපේ රටෙත් සුපිරි වැඩකාරයො හිටිය , දැනුත් ඉන්නව . ඉතින් බලං ඉමු අනාගතේ හරි මේ තත්ත්වෙ වෙනස් වෙයිද කියල....

SPOILER ALERT !!

ඔව්, මේ ගැන කතා කරන්නම ඕනේ, මං කිව්වේ ෆිල්ම් එකක් ගැන නෙවෙයි, මේ SPOILERS ගැනම තමා ....
(මේ ගැන කෙටි පෝස්ට් එකක් දාල තිබ්බ කෙනෙක්, මේ ඒකට කරන ඌනපුර්ණයක් )
මේ '' spoilers " කියන්නේ ෆිල්ම් වලට විතරක් අදාල දෙයක් නෙවෙයි , අගක් මුලක් මැදක් තියන ඕනෑම කතන්දරයකට මේක අදාලයි. මේ අතරින් ෆිල්ම් ගැන විතරක් කතා කරමු.
දැන් බරපතල විදියට කිව්වොත් "සිනමා අඛ්‍යායනය" කියල කියනවා අහල තියනවා නේද?
(මට මතකයි, අර "සින්ඩරැල්ල" කියල ලඟදී ආපු ෆිල්ම් එකේ, බිල් බෝඩ් එකක ගහල තිබ්බ, "ඉනෝකා සත්‍යාoගනී සිනමා ආඛ්‍යායනය" කියල, ඒ කියන්නේ වැඩේ ටිකක් බරපතලයි කියන එක.) හරි, ඉතින් ඔය ආඛ්‍යායනය (එහෙමත් නැත්තම් narrative) කියල කියන්නේ, කතාන්දරය (story ) කියන එකටම තමයි. ඒ කියන්නේ එකිනෙකට සම්බන්ධ වුනු සිදුවීම් පෙළක්. දැන් මොකක් හරි ෆිල්ම් එකක් ගත්තොත්, එකිනෙකට සම්බන්ධ වුනු සිදුවීම් පෙළක් තියනවනේ අනිවාර්යෙන්ම, (ලංකාවෙ සමහර ගොන් පාට් ෆිල්ම් වලට නම් අදාල නෑ මේක) මේ සිදුවීම් පෙළ, ෆිල්ම් එක තුළ දිග හැරෙන අනුපිළිවෙලක් තියෙනවා, ඒ කියන්නේ, අර කලින් කිව්ව ආඛ්‍යායනය, ප්‍රගමනය වෙන, ඒ ෆිල්ම් එකටම අනන්‍ය වුනු අනුපිළිවෙලක් (standard narrative progression එකක්) තියෙනවා.
ඉතින් ෆිල්ම් එකේ නියම රසය අපිට සම්පුර්ණයෙන් විඳින්න පුළුවන් වෙන්නේ, අධ්‍යක්ෂවරයා විසින් තීරණය කරපු මේ අනුපිළිවෙලට කතාව බැලුවොත් තමයි. ඒක නිසා කව්රු හරි ගෝතයෙක්, ෆිල්ම් එක කලින් බලල, "ඕකේ අන්තිමට අරූ මැරෙනව ... " වගේ අලුගුත්තේරු කතාවක් කිව්වොත්, අර අනුපිළිවෙල විනාස වෙනවා. ඔන්න ඔය වගේ, අර අනුපිළිවෙලට අපිට ෆිල්ම් එක බලන්න බැරි වෙන විදියට එළි වෙන , ඒ කතාවේ අඩංගු ඉතා වැදගත් කරුණක් '' spoiler " එකක් විදියට අර්ථ දක්වන්න පුළුවන්.
දැන් මේ spoiler කියන එකක ඉෆෙක්ට් එක විවිධ ෆිල්ම් වලට විවිධ විදියට බලපාන්න පුළුවන්. උදාහරණෙකට, "Gandhi" වගේ biopic ෆිල්ම් එකක් බලල එකෙක් ඇවිත් කිව්වොත්, අපෝ එකේ අන්තිමට Gandhi මැරෙනවා කියල... එහෙමත් නැත්තම් "ක්‍රිස්තු චරිතය" වගේ එකක් බලල කිව්වොත් එකේ අන්තිමට ජේසුව කුරුසේ ඇණ ගහනව කියල....එකේ ලොකු ඉෆෙක්ට් එකක් නෑනෙ, එකම දේ අර කියපු එකාගේ නොදැනුවත් කම ප්‍රදර්ශනය වීම පමණයි.
නමුත්, "Sixth Sense" වගේ, මේ spoiler සීන් එක දරුණුවටම බලපාන ෆිල්ම් එකක් බලල ඇවිත් කිව්වොත්, "ඕකේ මුල ඉඳන්ම ඉතින් අරූ .... @#$% %&* #$ *!## ....... නෙ " කියල..... (පව් හින්ද කියන්නෑ මෙතන) ඉතින් ෆිල්ම් එක බලනවට වඩා හොඳයි නිකන් ඉන්න එක. තවත් මේ වගේම spoiler සෙන්සිටිව් ෆිල්ම් දෙකක් තමයි "Others " සහ "The Skeleton Key ". තව අනන්තවත් තියෙනවා, මේ මට මතක් වෙච්චි දෙකක්. මේවයේ අවසානයේදී හෙළි වෙන විදියට සෙට් කරලා තියෙන විශේෂ කරුණු , ඔබේ පව්කාරකමට, ෆිල්ම් එක බලන්න කලින් දැන ගන්න ලැබුනොත්, ඔබට කවදාවත් මේ ෆිල්ම් වල සැබෑ රසය විදින්න වෙන් නෑ .
කොටින්ම කියනවනම්, ෆිල්ම් එකක් spoil කරනවා කියන්නේ, රස වින්දනයක් තියෙන මනුස්සයෙකුට කරන්න පුළුවන් ඉතාම පහත්, අධම, නින්ධිත, පාහර වැඩක් කියන එක තමයි මගේ අදහස. ඉතින් මනුෂ්‍යත්වයේ නාමෙන් මම ඔබෙන් ඉල්ලා සිටිනවා, ඒ දේ කරන්න එපා. තමන් දාන පොස්ට් එකකින් හරි comment එකකින් හරි, වචනෙකින් හරි එහෙම දෙයක් වෙයි කියල හිතෙනවනම් ඒ පිලිබඳව කලින් දැනුවත් කරන්න. එතකොට අහන් ඉන්න එකාට එතනින් ඉවත් වෙන්න පුලුවන්, ඔබේ පොස්ට් එක කියවන එකාට ඒක පසුවට කල් දාන්න පුළුවන්. ඒ අවස්ථාව ඔවුන්ට ලබා දෙන්න. අනිවාර්යෙන් කලින් අවවාද කරන්න.
( හැබැයි සිනමාලෝලී හතුරෙක් ගෙන් පලි ගන්න වගේ නම් කියාපු භාණ්ඩේ )

‌King Arthur: Legend of the Sword (2017)

කින්ග් ආතර් කියන්නෙ අපි නොදන්න මනුස්සයෙක් නෙවෙයිනේ , ඉතිං imdb එකෙත් 7.1 ක් තිබ්බ නිසා ඩවුන්ලෝඩ් කරල බැලුව. බලාගෙන යද්දි හිතුනු දේ තමා මේකට 7.1 රේටින්ග්ස් ආවෙ කොහොමද කියන එක. පුදුමයි . ඇත්තටම වැඩක් නෑ .
Imdb රේටින්ග්ස් මතම චිත්‍රපටයක් හොඳයි කියන්න බෑ කියන එකට හොඳ උදාහරණයක් තමා මේ. ( හැබැයි රොට්න් ටොමැටෝස් වල නම් 28%ක් වගේ අඩු අගයක් තමා තියෙන්නෙ )
මේ චිත්‍රපටයෙ සංගීතය හා කැමරාව හසුරුවන විදිය සහ සංස්කරණය කරල තියෙන ආකාරය ,මේ වගේ එපික් ස්ටෝරියකට ගැලපෙන් නෑ කියල තමා හිතුනෙ. මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ ගයි රිචී. එයා තමා ශලොක් හෝම්ස් ෆිල්ම්ස් දෙක හැදුවෙ. ඒව නම් හොඳයි . නමුත් , ඔහු ඒ චිත්‍රපට වලට යොදා ගත්තු ක්‍රම එහෙම් පිටින් මේකටත් ඔබන්න ගිහින්, ඒකෙන් අමුතු නොගැලපීමක් ඇති වෙලා බව චිත්‍රපටය බලද්දී දැනනව. ඉතා වේගවත් දෙබස් සහ දර්ශන මාරු වීම් සහ නිවීන ආරක් ගත්තු සංගීතය , මේ චිත්‍රපටයට ඇත්තටම කරල තියෙන්නෙ හානියක් .
කොහොමත් මේ චිත්‍රපටය ෆ්ලොප් එකක් . ඒ කියන්නෙ , මේ චිත්‍රපටය හදපු වෝන බ්‍රදර්ස්ලට මේක නිසා ඩොලර් මිලියන ගාණක් පාඩුයි. ඒ නිසා, කොටස් කීපයකින් සමන්විත ෆ්‍රැන්චයිස් එකක් විදියට දිග ඇරෙන්න තිබුනු කතාව මෙතනින්ම නතර වෙයි.
නමුත් කින්ග් ආතර් සහ කඩුවේ පුරාවෘත්තය , චිත්‍රපටයක් විදියට උපරිම ප්‍රයෝජනයක් ගන්න පුලුවන් කතා අමුද්‍රව්‍යයක්. ඉතිං , අනාගතේ මේ වගේ එපික් එකක් කරන්න සුදුසු අධ්‍යක්ෂ කෙනෙක් යටතේ, හොඳ නලු නිලියො ටිකක් එක්ක මේක ආපහු re-boot කරල ගනී බොහෝ විට.

Wednesday, August 2, 2017

Avatar 2

2009 අවුරද්දෙ ආපු Avatar චිත්‍රපටය හුග දෙනෙක් බලන්න ඇතිනෙ, දැන් ඔන්න මේකෙ ඊලග කොටසකුත් එන්නයි යන්නෙ. කොටසක් කිව්වට එකක් නෙවෙයි, තව හතරක්ම එනවලු... ඉතින් විචරකයො නම් අනාවැකි පල කරල තියෙනව මේ චිත්‍රපට පලමු චිත්‍රපටය තරම් සාර්තක නොවෙයි කියල. නමුත් චිත්‍රපටයෙ අද්‍යක්ශ තුමා, ඒ කියන්නෙ ජේම්ස් කැමරන් නම් කියන්නෙ මේවත් අර තරම්ම සාර්තක වන බව.
Avatar මුල් චිත්‍රපටය තමයි අදටත් ලොව වැඩිම අදායම් ලැබූ චිත්‍රපටයට හිමි වාර්තාවට හිමිකම් කියන්නෙ. ඒකට මූලික හෙතුවක් වුනේ, චිත්‍රපටය තුල භාවිතයට ගැනුනු මින් පෙර නොවූ විරූ තාක්ශනය සහ ද්ෘශ්‍ය ප්‍රයෝග. ඉතින් කැමරන් මහත්තය කියන්නෙ, මේ ඊලග චිත්‍රපට, මුල් චිත්‍රපටයේ සාර්තකත්වය මත පමනක් පදනම් නොවී, ඒවටම අනන්‍ය වු ලෙසකින් නිම කරන බව. මේ ෆිල්ම්ස් වලදී, ඔහු නවතම තාක්ශනික අංග කිහිපයක් සිනමාවට හදුන්වා දෙන්න බලාපොරොත්තු වෙනව. එකක් තමා, සාමාන්‍ය ෆ්‍රේම් රේට් එක වන තප්පරයට ෆ්‍රේම්ස් 24 සීමාව ඉක්මවා ගිය රේට් එකකින් චිත්‍රපටය රූ ගත කිරීම සහ ප්‍රදර්ශනය. එමගින් ඉහල ගුනාත්මක භාවයක් රූප වලට ලැබෙන අතරම, වේගවත් චලන පවා බොද වීමකින් තො‍රව පැහදිලිව අත්විදින්න ලැබෙනවා.
ඒ වගේම තමා, පලමු චිත්‍රපටයේ බහුල ලෙස බාවිතා වුනු රියල් ටයිම් මෝශන් කැප්ච ක්‍රමය තවත් දියුණු කර, ඒවා රියල් ටයිම් ෆොටෝ රියලිස්ටික් විදියටම කැප්ච වෙන විදියට දියුණු කිරීම. මේ නිසා, දැන් නිපදවෙන චිත්‍රපටවල සිදු කෙරෙනව වගේ, මූලික ත්‍රිමාන සැකසුම්, පසු නිශ්පාදන අවදියේදි නැවත ෆොටෝ රියලිස්ටික් විදියට සැකසීමක් අවශ්‍ය වෙන් නෑ. මින් සෑහෙන කාලයක් ඉතුරු වෙනව.
අනික විශේශම කාරනේ තමා, මේ ඉදිරි චිත්‍රපට හතරම ත්‍රිමාන කණ්ණාඩි පලදින්නෙ නැතුව, ත්‍රිමාන ලෙස නැරබීමට හැකිවන තාක්ශනයකින් බිහිකිරීම. මේ තාක්ශනය තාම පර්‍යේශන මට්ටමේ තිබුනත්, කෙසේ හෝ එය සැබෑවක් බවට පත් කර ගැනීමයි ඔහුගෙ අරමුණ. මෙම චිත්‍රපට නිපදවීම ඇරබීම, මුලින් කී දින වකවානු වලට වඩා ප්‍රමාද වීමටත් මේක හේතුවක්ලු.
කොහොමෙන් හරි, මට මතක විදියට Avatar මුල් චිත්‍රපටය ලංකාවෙ පෙන්නද්දි අපේ රටේ 3D හෝල්ස් තිබුනෙ නෑ. නමුත් දැන් නම් තියෙනවා, හැබයි මේ කියන ත්‍රිමාන කණ්ණාඩි නොදා ත්‍රිමාන චිත්‍රපට පෙන්වීමේ තාක්ශනයට මෙම චිත්‍රපට කවදහරි රිලීස් වුනොත්, එදාට අපේ රටෙත් එහෙම හෝල් එකක් හරි තිබ්බොත් හොදයි.