Wednesday, October 25, 2017

මොකද්ද මේ "suspension of disbelief" ?

වෙන මොකද්ද එකක් හොයන්න ගූගල් හාර හාර ඉද්දි මෙන්න මේ වචනෙ හම්බුනා "suspension of disbelief" මේ යෙදුම කලින් අහල තියෙනවද ? මම නම් අහල තිබ්බ. හැබැයි , තේරුම මොකද්ද කියල දැනන් හිටියෙ නෑ . අද තමා තේරුනේ. මට තේරුන හැටියට කියන්නං...
දැන් මේ යෙදුම ඕනම කලා නිර්මාණයකට සම්බන්ධයි, චිත්‍රපට වලට විතරක් නෙවෙයි. මේකෙ ඉංග්‍රීසි වචන දෙකේ අමු සිංහල තේරුම ගත්තම නිකං, "අවිශ්වාසය දරා ගැනීම/යටපත් කිරීම " වගේ අර්ථයක් තමා තියෙන්නෙ. ඒත් ඔහොම කිව්වට ඕක තේරෙන් නෑ.
හරි, දැන් ඔය සස්පෙන්ශන් ඔෆ් ඩිස්බිලීෆ් කියන දේ, ඕනෑම කලා නිර්මාණයක් තුල නිරීක්ෂණය කරන්න පුලුවන් හැබැයි ඒක අත්විඳින්නෙ, අදාළ නිර්මාණය රස විඳින රසිකයා නොහොත් අපි මිසක් නිර්මාණකරුවා නෙවෙයි, නිර්මාණය ඊට උදව් කරනව විතරයි, හැබැයි ඔබ තුළ මේ සස්පෙන්ශන් ඔෆ් ඩිස්බිලීෆ් කියන දේ නැත්තං , කිසිම ෆිල්ම් එකක් (හෝ වෙනයම් නිර්මාණයක් ) රස විඳින්න බෑ!!
ඉතිං ඇත්තටම මොකද්ද මේ? 🤔
දැන් අපි මොකක් හරි ෆිල්ම් එකක් බලනව කියමුකො එතකොට අපි දන්නවනෙ ඒක බොරුවක් කියල? නේ? ඒ කියන්නෙ ඔබ ලැප්ටොප් එකෙන් ෆිලුමක් බලනව. ඒක යන්නෙ ලැප්ටොප් එකේ තිරය මත. ඔබ ඉන්නෙ එලියෙ, මේ යතාර්ථය තුළ. ෆිල්ම් එකේ කතාවක් දිග හැරුනත්, ඒක මායාවක් බවත් ඒ රඟපාන්නෙ නලුවන් බවත්, මේ සිද්ධිය ඔබේ ඇස් පනාපිට සත්‍ය වශයෙන් සිදු නොවන බවත් ඔබේ මනස දන්නව. කොටින්ම ඕක "බොරුවක් " කියල මොලේ දන්නව. ඒ කියන්නෙ ඔබ ඒක "අවිශ්වාස කරනව" හරිනෙ? ඒත්, ඒ කතාව රසවිඳිනු පිණිස ඔබේ මනස විසින්ම අර කලින් ඇති වුනු අවිශ්වාසය , යටපත් කරල දානව නේද? ඒ කියන්නෙ ඔබ තුළ නිරායාසයෙන් ඇතිවන "ඩිස්බිලීෆ් " එක "සස්පෙන්ඩ්" කරල දානව මනස විසින්ම. ඒකත් ඉතිං නිරායාසයෙන්ම තමා වෙන්නෙ. ඔන්න ඕක නිසා තමා අපි හොල්මන් කතා වලට බය වෙන්නෙ,ඇක්ශ්න් වලදි මයිල් කෙලින් වෙන්නෙ, ගැස්සෙන්නෙ. කොටින්ම අපිට චිත්‍රපටයක් එක්ක ඒකාත්මික වෙලා , ඒ ලෝකය තුල ජීවත් වෙමින් ඒක අපේම අත්දැකීමක් කර ගන්න පුලුවන් වෙන්නෙ මෙන්න මේ suspension of disbelief කියන ගුණය අපි ළඟ තිබෙන නිසයි. ඒ කියන්නෙ ඇත්තටම ඒක තියෙන්නෙ ප්‍රෙක්ෂකයා ළඟ මිසක් නිර්මාණය තුළ නෙවෙයි, හැබැයි ප්‍රෙක්ෂකයා තුළ තියෙන මේ ගුණය හොඳට එලියට එන්න නම් , නිර්මාණය හොඳ වෙන්න ඕනෙ. අන්න එතකොට තමා අපි කියන්නෙ පැය දෙකක් ගියා තේරුනේවත් නෑ ... වෙනම ලෝකෙකට ගියා වගේ දැනුනෙ ආදී වශයෙන් .... හරි දැන් නිකං හිතන්නකො ඔය ගුණය ශුන්‍ය අවස්ථාවක්, එතකොට අපිට නිර්මාණයක් රස විඳින්න බැරි වෙනව. හැම වෙලේම හිතන්නෙ ඕක බොරුවක්නෙ කියල විතරයි. එහෙම අයට ඉතිං බලන්න වෙන්නෙ ප්‍රවෘත්ති වගේ දේවල් විතරයි 😜 ඒ කියන්නෙ එයාලට බෑ ඩිස්බිලීෆ් එක සස්පෙන්ඩ් කරගන්න...
හැබැයි තව දෙයක් තියෙනවා .... නිකං හිතන්නකො සස්පෙන්ඩ් කරගන්න ඩිස්බිලීෆ් එකක් ඒ කියන්නෙ අවිශ්වාසයක් නැත්තං ? කොහොම වෙයිද? ඔන්න එහෙම එකෙක් ෆිල්ම් එකක් බලනකොට දුශ්ටය කාව හරි මැරුවොත් මෙයා පොලිසියට කෝල් කරල කියයි මිනීමැරුමක් උනා කියල . මේ වගේ අවස්ථාවක් තිබ්බ අර ඉස්සර ගිය මායාබන්ධන කතාවෙ. ඒකෙ රියානා, අපේ ලෝකෙට ඇවිල්ල පෝල්ගෙ ගෙදර ටීවී බලන අවස්ථාව මතක් කර ගන්න. අන්න එතෙනදී රියානාට, සස්පෙන්ඩ් කිරීම සඳහා ඩිස්බිලීෆ් එකක් නෑ. ඒ කියන්නෙ එයා ටිවි එකේ යන දේ අමු ඇත්ත කියල පිලිඅරං ඒ විදියට හැසිරෙනව...
හරි. ඉතිං ඔන්න ඕකයි ඔය suspension of disbelief කියන යෙදුමේ තේරුම.
මේ යෙදුම , ඔය උඩ කියල තියෙන අර්ථයෙන් කලා ලෝකයට මුලින්ම හඳුන්වල දුන්නෙ 1817 වගේ අතීතයේ හිටපු කවියෙක් වගේම දාර්ශනිකයෙක් වුණු සැමුවෙල් ටේලර් කෝල්රිඩ්ජ්.
හැබැයි ඔය උඩ කියල තියෙන අර්ථකථනයත් එක්ක එකඟ නොවෙන පිරිසකුත් ඉන්නව. එයාල මේකට විකල්ප අර්ථකථනත් ඉදිරිපත් කරල තියෙනව: J. R. R. Tolkien LOTR ලියපු කෙනා... එයා කියන විදියට කතන්දරයක් ලියන කෙනා නිර්මාණය කරනව ද්විතීයික රියැලිටියක්. කතාව අහන/බලන කෙනා ඒක දෙවැනි යතාර්ථයක් කියන අවබෝධය ඇතුව, ඒකට සමවදිනව. ඒත් ඒ කතාව ඇතුලේ පිලිගත නොහැකි දේවල් ඒ කියන්නෙ නිකං , කොච්චර වෙඩි තිබ්බත් වීරයට වෙඩි වදින් නැ වගේ සීන් යද්දි, මේක බොරුවක් කියල හිතට එන සිතුවිලි යටපත් කරගෙනීමටයි suspension of disbelief කියන්නෙ කියලයි ඔහු කිව්වෙ.
මූණු පොතේ කතා බහ

මහාසෝනාගෙන් වැඩ ගැනීම!

හම්මේ යාන්තං බන්ධනේ බලාගත්ත. කම්මැලිකමක් නැතුව බලන් ඉන්න පුලුවන් ෆිල්ම් එකක් කියල නම් බය නැතුව කිව්වැකි. සමහර අය මෝඩයි කියල කිව්වට මටනම් හොඳයි .
අනික මොනා උනත් මේ වගේ කන්සෙප්ට් එකකින් ෆිල්ම් එකක් කරපු එකම මදෑ.... මම කියන්නෙ , දැන් ඔය හොලිවුඩ් වල කට්ටිය ඔය වෙයවුල්ෆ්ලගෙන්, වැම්පර්ලගෙන් එහෙම කොච්චර හම්බ කරනවද? ඒත් අපේ රටවල් ? මොකද අපිට යක්කු නෑ කියලද? දහඅට සන්නිය සැලකුවත් බලන්න එතනම දහඅටයි.😃 ඉස්සර නම් ඔය යක්කු තොවිල් වගේ ඒව වලට හරි ආව ගියා. දැන් එහෙමවත් නෑනෙ . නිකාං හාල් වෙනවනෙ. එහෙව් එකේ මහසෝනගෙන් මෙහෙම හරි ප්‍රයෝජනයක් ගත්තු එක ගැන අපි උදයකාන්ත මාමට ස්තූතිවන්ත වෙන්න ඕනෙ නේද? 😃
ඕවරෝල් ෆිල්ම් එකක් විදියට ගත්තම මේකෙ කතාව අවුලක් නෑ. අර පොඩි කෙල්ලත් හොඳට රඟපානව. අනික් අයත් හොඳයි. හේමාලුත් හොඳයි. දෘශ්‍ය ප්‍රයෝග ටික උනත් චා කරගන් නැතුව හොඳට කරල තියෙනවා . හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ මහාසෝන ඉදිරිපත් කරල තියෙන විදිය....
ඊට කලින් පොඩ්ඩක් මතක් කලොත් මහසෝනගෙ ඔරිජින් ස්ටෝරිය, මහසෝන බවට පත්වෙන්නේ රිටිගල ජයසේන කියන සෙනෙවිය. මෙයා දුටුගැමුණු රජතුමාට යුද්ධෙ දිනන්න උදව් කරපු කෙනෙක් . යුද්ධෙ එහෙම දිනල, පස්සෙ රජතුමාගෙ දසමහා යෝධයන්ගෙන් එක්කෙනෙක් වුනු ගෝඨයිම්බරගෙ අලුත් ගෙදෙට්ට ගෙවදින්න පාටියක් තිබිල තියෙනවා . ඒකට ජයසේනත් ඇවිත් . ඉතිං කාට්ටිය කාල බීල ජොලියක් දාල තියෙනවා .ජයසේනට පොඩ්ඩක් වැඩිවෙලා ඉඳලා තියෙන්නෙ . ඉතිං මේ ගෝඨයිම්බරගෙ වයිෆ් හරි ලස්සනයිලු . සූර් පිට ජයසේන මෙයාව බදාගෙන. පස්සෙ ඔතන ලොකු වලියක් යන්න ගිහින් කට්ටිය යන්තං ශේප් කරගෙන. හැබැයි , පස්සෙ ආයි ද්වන්ධ සටනකට එනව කියල තමා වලිය නතර කරල තියෙන්නෙ. කිව්ව විදියට පස්සෙ මේ සටන සිද්ද වෙලා. ෆයිට් එක පටන් ගද්දිම ගෝඨයිම්බර දෙන පා පහරකින් ජයසේනගෙ ඔලුව ගැලවිලා විසිවෙනව. ඕක දැකපු ෆයිට් එක බලන්න ඇවිල්ල හිටපු එයාගෙ යාලුවෙක් වෙන සෙනසුරා, ඒ ගැලවිච්ච ඔලුව හොයන්න ගියත් හම්බෙන්නෙ නෑ. පස්සෙ අහල පහලින් ගිය වලහෙක් මරල උගෙ ඔලුව ගෙනත් ජයසේනගෙ කඳට හයි කරනව. ඒත් පස්සෙ තමා සෙනසුරාට ක්ලික් වෙන්නෙ ඔලුව සෙට් කරල තියෙන්නෙ අනික් පැත්තට බව. ඉතිං ඒ කතාවට අනුව , මහසෝන කියන යකාගෙ ඔලුව වලස් ඔලුවක්. කඳ මිනිහෙක්ගෙ. හැබැයි ඔලුව අනික් අතට තියෙන්න ඕනෙ. හැබැයි මේ ෆිල්ම් එකේ ඉන්න එකා නම් ඒ වගේ නෑ. මුලු ඇඟම වලහෙක් වගේ. කොටින්ම නිකං වෙයාවුල්ෆ් ලුක් එකක් තියෙන්නෙ ...
ඔය රූපෙ දාල තියෙනවා වගේ ඉන්න ඕනෙ නේද හරිනං? ඔලුව අනික් පැත්තට තිබ්බම අවුල් වගේ නිසා සමහර විට හරි පැත්තට තියෙනවා කියල ගන්න ඇති. ඒත් , ඔලුව කනපිටට තිබිල, ෆයිට් එකට (ඒ කියන්නෙ මේ ෆිල්ම් එකේ ෆයිනල් සීන් එකට) එන්ටර් වෙද්දි ඇට කැඩෙන සද්දෙකුත් එක්ක ඔලුව කැරකිලා ඇවිත් හරි පැත්තට සෙට් වෙනව පෙන්නුවනම් තවත් භීෂණය ඇති කරන්න තිබ්බ ... අපරාදෙ ....
හරි අන්තිමේ වෙනදේ පොඩ්ඩක් කියන්න යන්නෙ ... spoiler alert... බලල නැත්තං කියවන්න එපා පහල .
මේකෙ ස්ටෝරිය මුල ඉඳං අගට යනකම්ම අවුලක් නෑ. හැබැයි ඉවර වෙන විදිය නම් චොරයි. අච්චර මන්තර දන්න ගුරුන්නාන්සෙව නිකම්ම මරල දාන මහසෝන කොහොමද අර පාං බක්කරේට පැරදුනේ? ඌ අර සුරේ කටේ ඔබන හින්දද? ඉතිං ඒක තූ කියල එලියට දාන්න තිබ්බනෙ. අනික ඒ සුරේ එච්චර දවස් අර කෙල්ලගෙ බෙල්ලෙ තිබ්බනෙ ඉතිං ? එතකොට මුකුත් අවුලක් උනේ නෑනෙ ? ඒ අතින් ඔයිට වඩා හොඳ අවසානයක් නම් ගොඩනගන්න තිබ්බ. හැබැයි සමස්තයක් විදියට හොඳයි ෆිල්ම් එක....
(මේ ෆොටෝ එක බන්ධනය ෆිල්ම් එකේ නෙවෙයි , Guardians කියල රුසියන් ෆිල්ම් එහෙක එකක් )
මූණු පොතේ කතා බහ

Tuesday, October 17, 2017

මිහිරි මතක හද රැඳේ....

ඉස්සරකාලෙ ඉරිද දවල්ට සිරස ටිවි එකේ හෝ MTV එකේ ( හරියටම මතක නෑ) හොඳ ෆිල්ම්ස් යනව. ඒත් මට ඔය වෙලාවටම වගේ ක්ලාස් එකක් තිබ්බ. ඉතිං හැමදාම අර යන ෆිල්ම් එක බාගෙට බලල නතර කරල ක්ලාස් යන්න වෙනව. චිත්‍රපටියක් මග නතර කරල යන එක නම් ඉතිං කාලකණ්ණිම අත්දැකීමක් තමා , මොකද මේක ඇවිල්ල බලන්න pause කරල යනව නෙවෙයිනේ .... ආයි කවද බලන්න ලැබෙයිද කවදාවත් ඉතුරු ටික බලන්න නොලැබෙයිද කියල ඉතිං ශුවර් නෑ. මොකද ඉතිං ඒ කාලෙ ඉන්ටනෙට් තියා ගෙදෙට්ට ටෙලිෆෝන් වත් තිබුන්නෑ...( ඉන්ටනෙට් කියල දේකට තිබ්බෙ, ඉස්සර ජාතික රූපවාහිනීයෙ ගියා වැඩසටහනක් "අන්තර්ජාලය ඔබේ නිවසට" කියල , මතක ඇති සමහර අයට.. ඉතිං ඕක මම කීප දවසක්ම බැලුව අපේ නිවසට එහෙම හරි "අන්තර්ජාලෙ" පොඩ්ඩක් ලැබෙයිද කියල ... ඒ අතින් බලද්දී ඒ පොඩි එකා හරි පව් 😃😃) බලන එකක් ටිවී එකෙන් තමා. VHS ප්ලෙයර් එව්ව මෙව්ව මොනවත් නෑ...
ඉතිං මම මේ කියන "අඳුරු කාල පරිචේඡදය" පොඩි කාලෙ අත්දැකපු අය ඇතිනෙ.... මතකනෙ ඉස්සර මයාබන්ධන, රොබින්සන් අන්දරය වගේ ඒව පටන් ගන්න වෙලාව අල්ලල ගොරවන්නයි විදුලි කොටන්නයි පටන් ගත්තම හිත මැලවී යන ආකාරය .... ඒත් නැත්තං කරන්ට් ගියොත් විදුලිබල මණ්ඩලේ උන්දලෑගෙ හත්මුතු පරම්පරාවම මතක් වෙන හැටි (පොඩි උනත් නැති කුණුහරුපත් මතක් වෙනව එවෙලෙට 😁)
ඔන්න ඔය මොන ක්‍රමේකට හරි ඔය වගේ දෙයක් මග ඇරුනොත් ඉතිං අපේ පිහිටට එන්නෙ පහුවෙනිදට ඉස්කෝලේ ගියාම, මගඇරුනු කෑල්ල බලපු හොඳ යාලුවෙක් තමා ඉතිං.... ඌ ඉතිං ඔය ෆ්‍රී පීරියඩ් වල ඉතාමත් ලස්සනට චිත්ත රූප මැවෙන ආකාරයෙන් අර අපිට බලන්න බැරි උනු කෑල්ල විස්තර කරල දෙනව... කොහොම හරි යන්තං ඉස්කෝලේ ඇරෙන්න කලින් අදාල එපිසෝඩ් එක ඉවර කරනව... ඒව තමා ඉතිං ඉස්සර තිබ්බ "රිවයින්ඩ් ටීවී" ... අදටත් ස්තූති පූර්වකව සිහිපත් කරන්න ඕනෙ ඒ වගේ අයව...
හරි ඉතිං ඔය ඉස්සරනෙ, දැන් නම් ඉතිං ඔය වගේ දේවල් මග ඇරෙනව, බලන්න බැරි වෙනව කියල දෙයක් නෑනෙ. මගඇරුනත් අදාල චැනල් එකේ සයිට් එකට හෝ යූ ටියුබ් ගියාම ඕක බලාගන්න පුලුවන්. ෆිල්ම්ස් නම් ෆිල්ම් එකේ නම ගූගල් කිරීමේ ප්‍රමාදය විතරයි . සියල්ල ඇඟිලි තුඩු මත...
ඉතිං දැන් තත්ත්වය ඔහොම උනත් අර මානව "රිවයින් ටීවී" පරපුරේ අය අද කාලෙත් ඉන්න බව පේනව . එයාල මොකක් හරි එකක් බලල හිතට වැදුනොත් ඒකෙ කතාව යුනිකෝඩ් එකෙන් ටයිප් කරනව.... පුලුවන් නම් ඉවරවෙනකම්ම කියනව. ඒත් ඉතිං එහෙම ඕනෙ නෑ යන්තං බැක්ග්‍රවුන්ඩ් එක කිව්වනම් ඇති, ඕනෙ එකා හොයං බලනව. නැති එකාට කොටල පොවන්න හැදුවත් බලන් නෑ...
හරි දිග වැඩි උනා මේක නතර කරන්නං 😂

අලුත් ඇඳුම් පරණ කරමු....

අර අලුතින් "කාල" කියල ෆිල්ම් එකක් එනවනේ? අන්න ඒකෙ ට්‍රේල එක යූ ටියුබ් තියෙනවා බලන්න . ඉතිං මම ඕක බැලුවම මට පෙනුණේ ඒක නලු නිලියො ඇඳන් ඉන්න රෙදි.... 😃
දැන් මේක රජ කතාවක්නෙ ඉතිං ඒකාලෙ මිනිස්සු දැන් වගේ ඇඳුම් අඳින්න නැතුව ඇතිනෙ... බොහෝවිට විට තනි පාට, ඒ අතරිනුත් ඔය පඬු පාටට හුරු අමු රෙදි තමා ඒ කාලෙ තියෙන්නෙ ඇත්තෙ කියල හිතන්න පුලුවන. එහෙම හිතල මේකෙ රඟපාන ගම් වැසියන්ට එහෙම රෙදි අන්දවල තියෙන බව පේනව. ඒත් ලොකු අඩුවක් පේනව මට නම්, ඒ තමා මේ ඔක්කොම රෙදි කිටිකිටියේ අලුත්ම රෙදි බව බැලූ බැල්මට පේනව. ඒ කියන්නෙ ඔක්කොම උන් ඊට කලින් දවසෙ රෙදි අරං අද ඇන්ද වගේ... ලංකාවේ හැදෙන බොහොමයක් රජ කතාවල සහ ඉතිහාස කතාවල මේ අවුල තියෙනවා. (දෙරණෙ යන මුතුකුඩ නාට්‍යය බලන්න ඒකෙ අර පරදේසක්කාර හමුදාවේ උන් හැමදාම අලුත්ම සූට් අදින්නෙ... රතුපාටට දිලිසි දිලිසි) ඒත් මේ අවුල මම හොලිවුඩ් ෆිල්ම්ස් වල නම් දකින්නේ නෑ....
චිත්‍රපටයක් සඳුහා ඇඳුම් නිර්මාණය කියන්නෙ වෙනම සබ්ජෙක්ට් එකක් . ඒක සාමාන්‍ය ඇඳුම් නිර්මාණයකට වඩා වෙනස්. ඒකෙ එක කොටසක් තියෙනවා , Costume distressing / weathering කියල මෙන්න මේ පාට් එක නොකරන නිසා තමා ලංකාවේ හැදෙන ඒවයෙ ඔය අවුල එන්නෙ.
මෙතෙන්දි කරන්නෙ, අදාල චරිතය අඳින ඇඳුම, ඒ චරිතයට ගැලපෙන විදියට පාවිච්චි කල බවට ලුක් එකක් දෙන එක. ඒ කියන්නෙ උවමනාවෙන් පරණ කරන එක.
ඉතිං මේක ඩොලර් මිලියන ගානක් වැයවෙන පට්ට සංකීර්ණ ප්‍රොසෙස් එකක්😉 ...ලංකාවේ කරන්න තියා හිතන්නවත් බෑ... 😅😅 ඉන්නකො කියන්න...
මුලින්ම කරන්න තියෙන්නෙ අදාළ ඇඳුම කීප සැරයක් වොශින් මැශින් එහෙකට දාල හෝද ගන්න එක. මෙතෙන්දි ටිකක් වැඩිපුර ෆැබ්‍රික් කන්ඩිශනර් එකක් දාන්න වෙනව අලුත් රෙද්දෙ ටිකක් සොෆ්ට් කරල ගන්න... ඒ වගේම සායම් යන තව රෙද්දක් එක්ක හෝද ගන්නව නම් , අර මුල් රෙද්දට අනික් රෙද්දෙ සායම් උරාගෙන ටිකක් පාවිච්චි උනු ලුක් එකක් ගන්න පුලුවන්.. ඊට පස්සෙ මේක වේලගෙන, වැලි කඩදහියකින් මදින්න ඕනෙ ... මොකක් ? ඔව් ඒ ඇඳුම කාලයක් පාවිච්චි කලා නම් ගෙවෙන තැන් ටික අඳුනගෙන, ඒ තැන් වැලි කඩදාසියකින් මැදල "හම්පඩ" කරන්න ඕනෙ ... ඊටත් පස්සෙ ඒ ඒ චරිතයට අදාල විදියට මඩ පැල්ලම් කහට පැල්ලම් ගාන්න ඕනෙ. මේකට තේ කහට හෝ කෝපි කහට පාවිච්චි කරන්න පුලුවන් . ඒ හැරුනු කොට මේ විදියට රෙදි කෘතිමව පරණ කරන්නම වෙනම සායම් , ස්ප්‍රේ, පවුඩර් වර්ග (රූප බලන්න) එහෙමත් තියෙනවා .(ලංකාවේ කඩවල් වල නම් තියෙනවද දන්නෑ)
දැන් දැක්කනෙ, මේක අමාරු දෙයක් නෙවෙයි . ඕනෙ නම් කරන්න පුලුවන් වැඩක් . ඉතිං අපේ ෆිල්ම්ස් හදන අය එක්කො මේක ගැන අවබෝධයක් නෑ... එහෙම නැත්තං දැනගෙනත් උවමනාවෙන් නොකර ඉන්නව කම්මැලිකමට. ඒත් මේ වගේ ක්‍රම අනුගමනය කරන්න ඕනෙ. මොකද ප්‍රෙක්ෂකයා මෝඩයෙක් නෙවෙයි. අපිත් හොඳ හොඳ ෆිල්ම්ස් බලල තියෙනවා හරිද?