Saturday, October 26, 2019

Breaking Bad නොකියූ කතාව...

2008 පටන් අරන් 2013 ඉවර වුනු "බ්‍රේකින් බෑඩ්" ඉවර වුනු දා පටන්ම තිබ්බ කටකතාවක් තමා, ඒකෙන් ෆිල්ම් එකක් එනවාය කියන එක. හැබැයි ඒ ෆිල්ම් එක හදල ඉවර වෙනකම්ම, ඒක කටකතාවක් මට්ටමෙන්ම තියාගන්න ඒක ඇත්තටම හදන්න මුල් වෙච්චි හැමෝම කටයුතු කලා. ෆිල්ම් එකේ හැම දේම සිද්ධ වුනේ අතිශයින්ම රහසිගත විදිහට. කොටින්ම මේකෙ එක සීන් එකක් තියෙනවා රෙස්ටුරන්ට් එහෙක කෑම කන, ඒ සීන් එකට පසුබිමේ ඉන්නව පෙන්නන රෙස්ටුරන්ට් එකට ආපු සෙනඟ විදිහට අරං තියෙන්නෙත් ෆිල්ම් එකේ වැඩකටයුතු කරපු අයගේ පවුල්වල අය. තොරතුරු එලියට යයි කියල.

ඉතිං ඒ උත්සාහය සාර්ථකයි කියන්න පුලුවන්. මොකද මේකෙ ට්‍රේල එක එලියට දානකම්ම වගේ තිබ්බෙ කටකතාවක් විදිහට.

2018 නොවැම්බර් වල නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ 'ඇල්බර්කර්කී' වල චිත්‍රපටයේ රූපගත කිරීම් සිදුවෙලා තියෙන්නෙ Greenbrier කියල working title එකක් යටතේ. ඉතිං ඒ පළාතෙ මිනිස්සුන්ට සැක හිතිල අරව මෙව්ව ප්‍රශ්න ඇහුවමත් නිෂ්පාදන කණ්ඩායම කියල තියෙන්නෙ, ඔව් බ්‍රේකින් බෑඩ් වලට සම්බන්ධයි තමා හැබැයි ඒකෙ තියෙන ඒව පාවිච්චි කරල කරන වෙළෙඳ දැන්වීමක් විතරයි කියල !

හරි. ඉතිං බ්‍රේකින් බෑඩ් ෆෑන් කෙනෙක් නම් මේ El Camino නමින් හැදුනු "බ්‍රේකින් බෑඩ් ෆිල්ම් එක" ඔයා දැනටමත් බලල ඇති. බ්‍රේකින් බෑඩ් නොබලපු කෙනෙකුට උනත් මේක බලල රසවිඳින්න පුලුවන් උනත්, අංගසම්පූර්ණව රසය විඳින්න නම් ඔබ බ්‍රේකින් බෑඩ් සීසන් ටික බලල තියෙන්න ඕනෙ කියන එක තමා, ඒ සීරීස් එක වගේම මේ චිත්‍රපටයේත් නිර්මාණකරුවා වන වින්ස් ගිලිගන් (Vince Gilligan)ගේ අදහස.

වින්ස් ගිලිගන්, ඒ කියන්නෙ මේ සියල්ල පිටුපස ඉන්න "මහ මොළකරුට", බ්‍රේකින් බෑඩ් වල කියවෙන කතාවට ඌනපූර්ණයක්/ පසුවදනක් විදිහට මෙහෙම දෙයක් කරන්න ඕනෙ කියල හිතෙන්නෙ බ්‍රේකින් බෑඩ් මුලින්ම විකාශනය වෙලා ගතවෙන දසවෙනි අවුරුද්දේ විතර. ඒ කියන්නෙ දෙදාස් දහඅට කිට්ටු වෙලා.
මේකෙ කතාව විදිහට ඔහුට කියන්න උවමනා වෙලා තියෙන්නෙ BB වල හිටපු දෙවැනි ප්‍රධාන චරිතය වන ජෙසීට (Jesse Pinkman) BB වල සීසන් ෆිනාලෙ වුනු "Felina" එපිසෝඩ් එකෙන් පස්සෙ වෙන්නෙ මොකද්ද කියන එක එලි කරන්න.

මේකෙදි වින්ස් ගිලිගන්ට අදහස් දෙකක් තිබිල තියෙනවා ජෙසීගෙ ඉරණම විසඳෙන විදිහ ගැන....

එකක් තමා, BB ෆයිනල් එපියෙ එන සිද්ධි වලට අනුව වෝල්ටර් වයිට්ගෙ උදව් ඇතුව අර එයාව බෙලෙන් තියාගෙන ඉන්න නාසි කඳවුර වගේ තැනින් පැන ගන්න ජෙසී, කැනඩා දේශ සීමාවට පලා යනව. ඉන්පස්සෙ එයා කෙල්ලෙක්ට උදව් කරන්න සෙට් වෙනව. එහෙම උදව් කිරීම සඳහා ඔහුට සිද්ධ වෙනවා ආපහු නීතියට පිටින් වැඩ කරන්න. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට කතාව අන්තිමට ජෙසී නතර වෙන්නෙ හිර කූඩුවක. හැබැයි, එයා හිත සතුටින් තමා ඒ සැරේ හිරේ ඉන්නෙ.

එතනින් කතාව ඉවරයි.

ඉතිං මේ අදහස, වින්ස් එයාගෙ පෙම්වතියට කිව්වම එයා මේකට තදින්ම අකමැති වෙලා තියෙනව. අච්චර දේවල් ජීවිතේ වෙච්ච මනුස්සයව අන්තිමට හිරේට දාල නතර කරන එක ගැන ෆෑන්ස්ලා කිසිසේත්ම සතුටු වෙන් නැති වෙයි කියල තමා ඇය එකහෙළාම කියල තියෙන්නෙ. ඔයින් මෙයින් වින්ස් ගිලිගන්, ඒ "ඉරණම " පැත්තකට දාල දෙවෙනි කතාව තෝරගෙන තියෙනවා. අන්න ඒ කතාව තමා අද අපි චිත්‍රපටයක් විදිහට දකින්නේ...

බ්‍රේකින් බෑඩ් ඉවර වුනැයින් පස්සෙ ඒකෙ ස්පිනෝෆ් සීරීස් එකක් ආවනෙ Better Call Saul කියල. මේ සීරීස් එකත් සාර්ථක වුනා, ජනප්‍රිය වුනා. හැබැයි මේකෙ කතාව ලිව්වෙ වින්ස් ගිලිගන් නෙවෙයි. ඒත්, Breaking Bad මත පදනම් වෙලා ෆිල්ම් එකක් කලොත් ඒක අසාර්ථක වෙන එකක් නෑ කියල හිතන්න, මේ Better Call Saul එකේ සාර්ථකත්වයත් බලපෑව කියල තමා ඔහු කියන්නෙ. ඒ කතාවත් සිද්ධ වෙන්නෙ බ්‍රේකින් බෑඩ් වෙච්ච ලෝකෙම නිසා, මේ කතා දෙකේ කාරණා එකිනෙකට නොගැලපීමක් තියෙනවද කියල චෙක් කරගන්න Better Call Saul නිර්මාණය කරපු අයවත් වින්ස් ගිහින් මුණගැහිල තියෙනවා. ඒ වෙද්දී ඔහු, තමන් ලියාගෙන යන කතාව නම් කරල තිබ්බෙ '63 කියලලු. ඒ කියන්නෙ, Breaking Bad වල හැටතුන් වෙනි නොපෙන්වූ එපිසෝඩ් එක වගේ අර්ථෙකින් (මුලු එපිසෝඩ් 62 ක් තියෙනවා BB සීසන් පහට). ඇත්තටම මුලින්ම ප්ලෑන් කරල තියෙන්නෙ ෆිල්ම් එකක් කරන්න නෙවෙයි, විනාඩි 15 ක් 20 ක් වගේ තියෙන 'මිනි එපිසෝඩ්' එකක් කරන්න. නමුත් කතාව ලියන් යද්දී ඒක පැයක එපිසෝඩ් එකක් වෙලා අන්තිමට නතර වෙලා තියෙන්නෙ පැය දෙකක් දුවන සම්පූර්ණ චිත්‍රපටයක් විදිහට.

හරි ඉතිං කොහොම හරි අර Better Call Saul එකේ සෙට් එක හම්බෙන්න ගියාම ඒකෙ නිෂ්පාදකවරයා තමා වින්ස්ට කියල තියෙන්නෙ, '63 කියල දාන්න එපා, ඕක වෙනම කතාවක්, ඒ කියන්නෙ වෝල්ටර් වයිට්ගෙ කතාව නෙවෙයි ජෙසීගෙ කතාවක් විදිහට යන නිසා ඒක ඇඟවෙන විදිහට වෙනම නමක් දාන්න කියල. ඒ අනුව තමා '63 කියන මුල් නම, El Camino විදිහට වෙනස් වෙන්නෙ...
ඊට අමතරව කතාවත් මුල් කතාවෙන් ටිකක් වෙනස් වෙන්න කතාව අවසන් වෙන විදිහ යම් තරමකට වෙනස් වෙන්න ඒ හමුවීම් හේතුවක් වෙලා තියෙනවා. (නමුත් ඒව නොකියා ඉන්නම් කතාව ස්පොයිල් වෙන්න පුලුවන් නිසා.)

බ්‍රේකින් බෑඩ් ආසාවෙන් බැලුව නම්, මේක අනිවා බලන්න. ඒක මුල් කතාවට ලස්සන අවසානයක් ලබල දෙනව වගේම, ඒ රිදමය එහෙම්ම පවත්වගන්නවා කියලත් කියන්න පුලුවන්. රඟපෑම් වගේම කතාව අතිනුත් හැමෝගෙම ප්‍රශංසාව මේකට හිමි වෙලා තියෙනවා. හැබැයි ඔයා බ්‍රේකින් බෑඩ් බලල ඉවර කලේ ගොඩ කාලෙකට කලින් නම්, වඩා හොඳයි මේක බලන්න කලින් ඒකෙ අන්තිම එපිසෝඩ් එක බලල ඉන්න එක. ඒ ටිකේ මතකය අලුත් කරගෙනම බැලුවොත් මේක වඩා හොඳට දැනෙයි කියල හිතෙනවා.

Sunday, October 20, 2019

ජෝකර්ට රඟපාන Joaquin Phoenix

තාම ජෝකර් බැලුවෙ නෑ. හැබැයි ජෝකර් බලපු හැමෝම කියන්නෙ, ඊළඟ සැරේ ඔස්කා හොඳම නලුවට දෙන සම්මානෙ ජෝකර්ට රඟපාන Joaquin Phoenix ට දෙන්න ඕනෙ කියලයි.

ඔක්කොටම කලින් මේ නම ගැනත් කියල ඉන්න ඕනෙ. Joaquin Phoenix කියන එක මම මෙච්චර කල් උච්චාරණය කලේ ජො(ඇ)කින් ෆීනික්ස් කියලයි. ලියල තියෙන විදිහට කියෙව්වා මිසක්, අහල තිබුන් නෑ. නමුත් ඒක වැරදියි. මේ නම හරියට කියනකොට ජයන්නක් සද්ද වෙන්නෙම නෑ.
මේක ශබ්ද කරන්නේ, වකීන් ෆීනික්ස් කියලයි. (wa-keen / hwa -kin) ජේ අකුරක් තිබ්බට සද්ද වෙන්නෙ අරහෙම. (Youtube අහල බලන්න ඕනෙනම්.)

ඉතිං කව්ද මේ වකීන් ෆීනික්ස්?

දැන් ලෝකෙම දන්න, යමක් කමක් තියෙන නලුවෙක් උනාට, වකීන් පොඩි කාලෙ ජීවත් වෙන්න ගෙදරට කීයක් හරි හොයාගන්න පොඩි පොඩි නාට්ට වල රඟපාල තියෙනවා. හන්දි වල සින්දු කියල, එක එක වාදන භාණ්ඩ වයල තියෙනවා. වකීන්ලෑ පවුලේ වකීන් ඇතුලුව සහෝදර සහෝරියො පස් දෙනෙක් ඉඳලා තියෙනවා. නම් වශයෙන්, River Phoenix, Rain Phoenix, Joaquin Phoenix, Liberty Phoenix සහ Summer Phoenix . ඒ හැමෝම රඟන්න, ගයන්න, වයන්න දක්ෂයො. ඉතිං එයාල කණඩායමක් විදිහට තමා හන්දි ගානේ ගිහින් අර විදිහට රඟල වයල අම්මට තාත්තට බරක් නොවී ගෙදරට කීයක් හරි හොයල දීලා තියෙන්නෙ.
වකීන්ගේ අම්මා වැඩ කලේ NBC එකේ සේවිකාවක් විදිහට. තාත්තා රැකියාවක් විදිහට කළේ උද්‍යාන සැකසීම. ඔහොම ඉන්නකොට හොලිවුඩ්වල ළමා වැඩසටහන් සඳහා ළමා නලු නිලියන් සපයන කෙනෙක්ට මේ සහෝදර සහෝදරියො කණ්ඩායම දකින්න ලැබෙනවා. ඒ හරහා මේ පස් දෙනාටම රූපවාහිනි ළමා වැඩසටහන් වල රඟපාන්න අවස්තාවක් ලැබෙනවා.

වකීන්ගේ නලු ජීවිතේ ඇරඹෙන්නේ එහෙමයි. ඒ ඔස්සේ ළමා නාට්‍ය හා පොඩි පහේ චිත්‍රපට කීපයකම පෙනී ඉන්න වකීන් ඇතුලු මේ සොහොයුරු සොයුරියන් පස් දෙනාගෙන් හතර දෙනෙක්ම අදටත් සක්‍රීයව නලු නිලියො හෝ ගායිකාවන් ලෙස ක්ෂේත්‍රයේ රැඳී ඉන්න එකත් සුවිශේෂියි.

ඉන්පස්සේ ඉතා අවාසනාවන්ත සිද්ධියක් වෙනව. වකීන්ගේ දහනවවෙනි උපන්දිනය පහුවෙලා දින තුනක් ගිය තැන ඔහුගේ වැඩි මහල් සොහොයුරා , River Phoenix ඖෂධ අධිමාත්‍රාවක් ශරීරගත වෙලා මිය යනව. ඒ 1993 දී. එවෙලේ තම සහෝදරයා බේරගන්න Joaquin, 911 අංකයට කතා කරපු කෝල් එක එකල ටීවී හා රේඩියෝ චැනල් වලින් ප්‍රසිද්ධියේ විකාශනය වෙනව. එයින් ප්‍රසිද්ධ නලු ජීවිතේ ගැන යම් කලකිරීමට ලක්වෙන වකීන්, අවුරුද්දක් විතර සමාජයෙන් ඉවත් වෙලා අප්‍රසිද්ධියේ ඉන්නව. ඉන්පස්සේ ඔහු නැවතත් රඟපෑමට එක් වෙන්නේ, 1995 වසරෙදි To Die For චිත්‍රපටයේ නිකොල් කිඩ්මන් සමඟයි. ඒ චිත්‍රපටයේ ඔහු රඟපෑවේ, මානසිකත්වය අවුල් ගිය, සියදිවි හානි කරගැනීමේ පෙළඹීමක් තියෙන අඳුරු චරිතයක්. ජීවිතේ මෑතකදී ලබපු අඳුරු අත්දැකීම් එක්ක ඔහු ඒ චරිතය සාර්ථකව කරනවා.

ඉන්පසු චිත්‍රපට කීපයකම රඟපාන වකීන්ව ලෝකයම හඳුනාගන්නේ, 2000 වසරෙදි ඔහු Gladiator චිත්‍රපටයේ රඟපෑ කොමොඩස් නම් රෝම අධිරාජ්‍යයාගේ චරිතයෙන්. Gladiator චිත්‍රපටය, විචාරක මෙන්ම වාණිජ අතිනුත් අතිසාර්ථක වෙන අතරේ ඒ වසරෙදි හොඳම චිත්‍රපටය විදිහට ඔස්කා සම්මානයත් ලබනවා. ගෝල්ඩන් ග්ලෝබ්, බැෆ්ටා සහ Screen Actors Guild වැනි සම්මාන උළෙලවල් ගණනාවකදී හොඳම සහය නලුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබන Joaquin, ඒ සම්මානය සඳහා ඔස්කා නිර්දේශිත උනත් සම්මානය හිමිවෙන්නේ නෑ.

මේ සම්මානය (සහය නලු) සඳහාම වකීන්ගේ මියගිය වැඩිමල් සොයුරු River Phoenix, "My Own Private Idaho" චිත්‍රපටය සඳහා 1991වසරේදී නිර්දේශ වී තියෙනවා. ඒ අනුව, එදා මෙදාතුර, රඟපෑම් සඳහා ඔස්කා සම්මානයක් උදෙසා නිර්දේශිත එකම පවුලේ සහෝදරයො දෙදෙනෙකු වීමේ වාර්තාව තියෙන්නෙ මේ දෙන්නටයි.

ඉන්පසු 2005 වසරේදී ඔහු රඟපෑ Walk The Line චිත්‍රපටය වෙනුවෙන් ඔහු ඔස්කා හොඳම නලුවා සම්මානය සඳහා පළමු වරට නිර්දේශ වෙනව. මේ චිත්‍රපටයේ සුවිශේෂී බවක් තියෙනවා. මේ චිත්‍රපට කතාව Johnny Cash නම් සංගීතඥයෙක්ගේ ජීවිතය ඇසුරෙන් චරිතාපදානයක් ලෙස නිපදවූ අතර ඒ චරිතය, ඒ කියන්නෙ ජොනී කෑෂ් ලෙස රඟපැවේ වකීන්. චරිතය සඳහා අවශ්‍ය ගායනා සහ වාදනයන් සඳහා වෙනත් ගායකයෙක් හෝ වාදකයන් යොදා නොගෙන ඒ සියලු දේ වකීන් විසින්ම ගායනා සහ වාදනය කළා. ඉතිං චිත්‍රපටය බලපු ගොඩක් අය හිතල තියෙන්නෙ වකීන් තොල් හොලවන්නව විතරයි ඇත්තටම බැක්ග්‍රවුන්ඩ් එකෙන් ජොනී කෑෂ්ම තමා කියන්නෙ කියල. නාමාවලිය යද්දි ඒ සියල්ල perform කරල තියෙන්නෙ Joaquin විසින්ම බව දැක්කම ගොඩ දෙනෙක් පුදුම වෙලා තියෙනවා. චිත්‍රපටය තුළ Joaquin විසින් ගීත නවයක් ගායනා කරන අතර ඔහුට ඒ චිත්‍රපටයේ ගීත සඳහා ග්‍රැමි සම්මානයකුත් ලැබුණා.

ඉන්පසු නැවතත් 2012 වසරෙදි The Master චිත්‍රපටයේ රංගනය සඳහා ඔහුව නැවතත් ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නලුවා සම්මානය සඳහා නිර්දේශ උනත් එවරත් සම්මානය ඔහුට අහිමි වෙනවා.

නලුවෙක් මතු නොව සංගීතවේදියෙක් ලෙසත් සම්මානයට පාත්‍ර වී ඇති Joaquin Phoenix , අවුරුදු තුනේ සිටම නිර්මාංශ පුද්ගලයෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු සම් භාණ්ඩ හෝ සත්ත්ව ලොම් වලින් තැනුනු රෙදිපිළි පවා භාවිතා කරන්නේ නෑ. ඔහු සිටින චිත්‍රපට වල චරිත වල ඇඳුම් පැලඳුම් වලට පවා, ස්වභාවික සම්, ලොම් වෙනුවට කෘතිම ද්‍රව්‍ය භාවිතා කරන ලෙස ඔහු ඉල්ලනවා.
සත්ත්ව අවිහිංසාවාදී සංවිධාන කිහිපයකම ක්‍රියාකාරි සමාජිකයෙකු වන වකීන්, දකුණු අප්‍රිකාවේ දුප්පත් පාසල් ළමුන්ට දෛනික ආහාර වේල් සපයන The Lunchbox Fund නම් පුණ්‍යායතනයේ සම අධ්‍යක්ෂවරයෙක් ලෙසද කටයුතු කරනවා.

අවසාන වශයෙන්, එක් වරක් හොඳම සහය නලුවා ලෙසත්, දෙවරක් හොඳම නලුවා ලෙසත් ඔස්කා සම්මානයට නිර්දේශ වෙලා ඉන්න Joaquin Phoenix කියන අතිදක්ෂ නලුවාට මේ සැරේ ජෝකර් නිසාවත් ඔස්කා බෙස්ට් ඇකටර් වෙන්න ලැබේවා කියල ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා...