Saturday, October 26, 2019

Breaking Bad නොකියූ කතාව...

2008 පටන් අරන් 2013 ඉවර වුනු "බ්‍රේකින් බෑඩ්" ඉවර වුනු දා පටන්ම තිබ්බ කටකතාවක් තමා, ඒකෙන් ෆිල්ම් එකක් එනවාය කියන එක. හැබැයි ඒ ෆිල්ම් එක හදල ඉවර වෙනකම්ම, ඒක කටකතාවක් මට්ටමෙන්ම තියාගන්න ඒක ඇත්තටම හදන්න මුල් වෙච්චි හැමෝම කටයුතු කලා. ෆිල්ම් එකේ හැම දේම සිද්ධ වුනේ අතිශයින්ම රහසිගත විදිහට. කොටින්ම මේකෙ එක සීන් එකක් තියෙනවා රෙස්ටුරන්ට් එහෙක කෑම කන, ඒ සීන් එකට පසුබිමේ ඉන්නව පෙන්නන රෙස්ටුරන්ට් එකට ආපු සෙනඟ විදිහට අරං තියෙන්නෙත් ෆිල්ම් එකේ වැඩකටයුතු කරපු අයගේ පවුල්වල අය. තොරතුරු එලියට යයි කියල.

ඉතිං ඒ උත්සාහය සාර්ථකයි කියන්න පුලුවන්. මොකද මේකෙ ට්‍රේල එක එලියට දානකම්ම වගේ තිබ්බෙ කටකතාවක් විදිහට.

2018 නොවැම්බර් වල නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ 'ඇල්බර්කර්කී' වල චිත්‍රපටයේ රූපගත කිරීම් සිදුවෙලා තියෙන්නෙ Greenbrier කියල working title එකක් යටතේ. ඉතිං ඒ පළාතෙ මිනිස්සුන්ට සැක හිතිල අරව මෙව්ව ප්‍රශ්න ඇහුවමත් නිෂ්පාදන කණ්ඩායම කියල තියෙන්නෙ, ඔව් බ්‍රේකින් බෑඩ් වලට සම්බන්ධයි තමා හැබැයි ඒකෙ තියෙන ඒව පාවිච්චි කරල කරන වෙළෙඳ දැන්වීමක් විතරයි කියල !

හරි. ඉතිං බ්‍රේකින් බෑඩ් ෆෑන් කෙනෙක් නම් මේ El Camino නමින් හැදුනු "බ්‍රේකින් බෑඩ් ෆිල්ම් එක" ඔයා දැනටමත් බලල ඇති. බ්‍රේකින් බෑඩ් නොබලපු කෙනෙකුට උනත් මේක බලල රසවිඳින්න පුලුවන් උනත්, අංගසම්පූර්ණව රසය විඳින්න නම් ඔබ බ්‍රේකින් බෑඩ් සීසන් ටික බලල තියෙන්න ඕනෙ කියන එක තමා, ඒ සීරීස් එක වගේම මේ චිත්‍රපටයේත් නිර්මාණකරුවා වන වින්ස් ගිලිගන් (Vince Gilligan)ගේ අදහස.

වින්ස් ගිලිගන්, ඒ කියන්නෙ මේ සියල්ල පිටුපස ඉන්න "මහ මොළකරුට", බ්‍රේකින් බෑඩ් වල කියවෙන කතාවට ඌනපූර්ණයක්/ පසුවදනක් විදිහට මෙහෙම දෙයක් කරන්න ඕනෙ කියල හිතෙන්නෙ බ්‍රේකින් බෑඩ් මුලින්ම විකාශනය වෙලා ගතවෙන දසවෙනි අවුරුද්දේ විතර. ඒ කියන්නෙ දෙදාස් දහඅට කිට්ටු වෙලා.
මේකෙ කතාව විදිහට ඔහුට කියන්න උවමනා වෙලා තියෙන්නෙ BB වල හිටපු දෙවැනි ප්‍රධාන චරිතය වන ජෙසීට (Jesse Pinkman) BB වල සීසන් ෆිනාලෙ වුනු "Felina" එපිසෝඩ් එකෙන් පස්සෙ වෙන්නෙ මොකද්ද කියන එක එලි කරන්න.

මේකෙදි වින්ස් ගිලිගන්ට අදහස් දෙකක් තිබිල තියෙනවා ජෙසීගෙ ඉරණම විසඳෙන විදිහ ගැන....

එකක් තමා, BB ෆයිනල් එපියෙ එන සිද්ධි වලට අනුව වෝල්ටර් වයිට්ගෙ උදව් ඇතුව අර එයාව බෙලෙන් තියාගෙන ඉන්න නාසි කඳවුර වගේ තැනින් පැන ගන්න ජෙසී, කැනඩා දේශ සීමාවට පලා යනව. ඉන්පස්සෙ එයා කෙල්ලෙක්ට උදව් කරන්න සෙට් වෙනව. එහෙම උදව් කිරීම සඳහා ඔහුට සිද්ධ වෙනවා ආපහු නීතියට පිටින් වැඩ කරන්න. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට කතාව අන්තිමට ජෙසී නතර වෙන්නෙ හිර කූඩුවක. හැබැයි, එයා හිත සතුටින් තමා ඒ සැරේ හිරේ ඉන්නෙ.

එතනින් කතාව ඉවරයි.

ඉතිං මේ අදහස, වින්ස් එයාගෙ පෙම්වතියට කිව්වම එයා මේකට තදින්ම අකමැති වෙලා තියෙනව. අච්චර දේවල් ජීවිතේ වෙච්ච මනුස්සයව අන්තිමට හිරේට දාල නතර කරන එක ගැන ෆෑන්ස්ලා කිසිසේත්ම සතුටු වෙන් නැති වෙයි කියල තමා ඇය එකහෙළාම කියල තියෙන්නෙ. ඔයින් මෙයින් වින්ස් ගිලිගන්, ඒ "ඉරණම " පැත්තකට දාල දෙවෙනි කතාව තෝරගෙන තියෙනවා. අන්න ඒ කතාව තමා අද අපි චිත්‍රපටයක් විදිහට දකින්නේ...

බ්‍රේකින් බෑඩ් ඉවර වුනැයින් පස්සෙ ඒකෙ ස්පිනෝෆ් සීරීස් එකක් ආවනෙ Better Call Saul කියල. මේ සීරීස් එකත් සාර්ථක වුනා, ජනප්‍රිය වුනා. හැබැයි මේකෙ කතාව ලිව්වෙ වින්ස් ගිලිගන් නෙවෙයි. ඒත්, Breaking Bad මත පදනම් වෙලා ෆිල්ම් එකක් කලොත් ඒක අසාර්ථක වෙන එකක් නෑ කියල හිතන්න, මේ Better Call Saul එකේ සාර්ථකත්වයත් බලපෑව කියල තමා ඔහු කියන්නෙ. ඒ කතාවත් සිද්ධ වෙන්නෙ බ්‍රේකින් බෑඩ් වෙච්ච ලෝකෙම නිසා, මේ කතා දෙකේ කාරණා එකිනෙකට නොගැලපීමක් තියෙනවද කියල චෙක් කරගන්න Better Call Saul නිර්මාණය කරපු අයවත් වින්ස් ගිහින් මුණගැහිල තියෙනවා. ඒ වෙද්දී ඔහු, තමන් ලියාගෙන යන කතාව නම් කරල තිබ්බෙ '63 කියලලු. ඒ කියන්නෙ, Breaking Bad වල හැටතුන් වෙනි නොපෙන්වූ එපිසෝඩ් එක වගේ අර්ථෙකින් (මුලු එපිසෝඩ් 62 ක් තියෙනවා BB සීසන් පහට). ඇත්තටම මුලින්ම ප්ලෑන් කරල තියෙන්නෙ ෆිල්ම් එකක් කරන්න නෙවෙයි, විනාඩි 15 ක් 20 ක් වගේ තියෙන 'මිනි එපිසෝඩ්' එකක් කරන්න. නමුත් කතාව ලියන් යද්දී ඒක පැයක එපිසෝඩ් එකක් වෙලා අන්තිමට නතර වෙලා තියෙන්නෙ පැය දෙකක් දුවන සම්පූර්ණ චිත්‍රපටයක් විදිහට.

හරි ඉතිං කොහොම හරි අර Better Call Saul එකේ සෙට් එක හම්බෙන්න ගියාම ඒකෙ නිෂ්පාදකවරයා තමා වින්ස්ට කියල තියෙන්නෙ, '63 කියල දාන්න එපා, ඕක වෙනම කතාවක්, ඒ කියන්නෙ වෝල්ටර් වයිට්ගෙ කතාව නෙවෙයි ජෙසීගෙ කතාවක් විදිහට යන නිසා ඒක ඇඟවෙන විදිහට වෙනම නමක් දාන්න කියල. ඒ අනුව තමා '63 කියන මුල් නම, El Camino විදිහට වෙනස් වෙන්නෙ...
ඊට අමතරව කතාවත් මුල් කතාවෙන් ටිකක් වෙනස් වෙන්න කතාව අවසන් වෙන විදිහ යම් තරමකට වෙනස් වෙන්න ඒ හමුවීම් හේතුවක් වෙලා තියෙනවා. (නමුත් ඒව නොකියා ඉන්නම් කතාව ස්පොයිල් වෙන්න පුලුවන් නිසා.)

බ්‍රේකින් බෑඩ් ආසාවෙන් බැලුව නම්, මේක අනිවා බලන්න. ඒක මුල් කතාවට ලස්සන අවසානයක් ලබල දෙනව වගේම, ඒ රිදමය එහෙම්ම පවත්වගන්නවා කියලත් කියන්න පුලුවන්. රඟපෑම් වගේම කතාව අතිනුත් හැමෝගෙම ප්‍රශංසාව මේකට හිමි වෙලා තියෙනවා. හැබැයි ඔයා බ්‍රේකින් බෑඩ් බලල ඉවර කලේ ගොඩ කාලෙකට කලින් නම්, වඩා හොඳයි මේක බලන්න කලින් ඒකෙ අන්තිම එපිසෝඩ් එක බලල ඉන්න එක. ඒ ටිකේ මතකය අලුත් කරගෙනම බැලුවොත් මේක වඩා හොඳට දැනෙයි කියල හිතෙනවා.

No comments:

Post a Comment