Thursday, July 4, 2019

Born on the Fourth of July...

අද නොහොත් ජූලි තුන්වෙනිදාට Tom Cruise ගේ උපන්දිනය යෙදී ඇත.
ඔහුගේ දැන් වයස පනස් හතක් වුනත් මට ඔහුගේ වයසේ වැදගත් කමක් නොපෙනෙන්නේ, එදා පටන් අද දක්වාම නොවෙනස් තරුණයෙක් ලෙසින්ම දකිමි! නමුත් මේ සටහන ඔහු ගැන නොවේ. ඔහු මීට අවුරුදු තිහකට කලින් (1989) රඟපෑ චිත්‍රපටයක් ගැනයි.

Born on the Fourth of July චිත්‍රපටයේ පෝස්ටර් එක දුටු විට නම් දැනුනේ එය ඇමරිකාවේ යුධ ශක්තිය ලොවට පෙන්වන, ජාත්‍යාලය වඩවන, ඇමරිකන් තරුණයන් යුද්ධයට කැඳවන ("මොරාල් අප් කරන") ආකාරයේ චිත්‍රපටයක් ලෙසයි. එබැවින්ම, එය මෙතරම් කාලයක් නොබලා ඉඳ පසුව ටොම් නිසාම බැලීමට තීරණය කලෙමි. පෝස්ටර් එකෙන් සහ නමෙන් පමණක් චිත්‍රපට මැනීම වැරදි වැඩක් බව හොඳටම අවබෝධ වුනේ මෙය බැලූ පසුවය.

මේ චිත්‍රපටයේ කතාව ඇත්ත කතාවකි. කොටින්ම නම පවා වචනයේ පරිසමාප්තියෙන්ම ඇත්තය.

චිත්‍රපටයේ කතාව ගොඩ නැගෙන්නේ රොන් කොවික් (Ron Kovic) නම් ඇමරිකානු මැරීන් සෙබලෙකු වියට්නාම් යුද්ධයේ මුහුණ දුන් අත්දැකීම් සහ ඉන්පසු ඔහුගේ ජීවිතය ඇසුරෙන් ඔහු විසින්ම ලියා පල කල Born on the Fourth of July නම් පොත අනුසාරයෙනි. ඇත්තටම මේ රොන් කොවික් ඉපදී ඇත්තේ ඇමරිකාවේ නිදහස් දිනය යෙදී ඇති ජූලි හතර වෙනිදාය! ඉතිං පොතටත් ඉන්පසු චිත්‍රපටයටත් යෙදීමට ඊට වඩා හොඳ නමක් නැත...

චිත්‍රපටයේ අධ්‍යක්ෂක ඔලිවර් ස්ටෝන් විසින් නිර්මාණය කල වියට්නාම් යුද්ධය පිලිබඳ වූ චිත්‍රපට ත්‍රිත්වයේ දෙවෙනි චිත්‍රපටය වන්නේද මෙම චිත්‍රපටයයි. ඒත් ඒ චිත්‍රපට තුනේ කතන්දර එකිනෙකට සම්බන්ධයක් නැත. එනිසා මේ චිත්‍රපටය නැරඹීමට ඉතිරි ඒවා නැරඹීම අවශ්‍ය නොවේ.

මට අනුව, මත්ද්‍රව්‍ය වල ආදීනව කෙනෙකුට වටහා දීම සඳහා බැලීමට නම් කරන සුදුසුම චිත්‍රපටය, Requiem for a Dream ය. ඒ අයුරින්ම, යුද්ධයේ ආදීනව නොවැටහෙන කෙනෙකුට බලන්න නිර්දේශ කරන සුදුසුම නිර්මාණය නම් මේ Born on the Fourth of July චිත්‍රපටයයි. මෙය බැලූ පසුත් ඔබ සාමය අභිබවා යුද්ධය විසඳුමක් ලෙස තෝරාගන්නේ නම්, ඔබේ සිත ගොඩ ගැනීමට නොහැකි තරමින් කුණු වී ඇති බවට ඒ සාක්ෂියකි.

මීටත් වඩා විස්තර කරන්න ගියොත් කතාව සුලු වශයෙන් හෝ ඉඳුල් වෙන නිසාත්, නොසිතූ දේම සිදුවීමෙන් උපදින රසයට, හානි නොකල යුතු නිසාත්, තව තොරතුරු නොකියා නවතිමි.