Thursday, July 4, 2019

Born on the Fourth of July...

අද නොහොත් ජූලි තුන්වෙනිදාට Tom Cruise ගේ උපන්දිනය යෙදී ඇත.
ඔහුගේ දැන් වයස පනස් හතක් වුනත් මට ඔහුගේ වයසේ වැදගත් කමක් නොපෙනෙන්නේ, එදා පටන් අද දක්වාම නොවෙනස් තරුණයෙක් ලෙසින්ම දකිමි! නමුත් මේ සටහන ඔහු ගැන නොවේ. ඔහු මීට අවුරුදු තිහකට කලින් (1989) රඟපෑ චිත්‍රපටයක් ගැනයි.

Born on the Fourth of July චිත්‍රපටයේ පෝස්ටර් එක දුටු විට නම් දැනුනේ එය ඇමරිකාවේ යුධ ශක්තිය ලොවට පෙන්වන, ජාත්‍යාලය වඩවන, ඇමරිකන් තරුණයන් යුද්ධයට කැඳවන ("මොරාල් අප් කරන") ආකාරයේ චිත්‍රපටයක් ලෙසයි. එබැවින්ම, එය මෙතරම් කාලයක් නොබලා ඉඳ පසුව ටොම් නිසාම බැලීමට තීරණය කලෙමි. පෝස්ටර් එකෙන් සහ නමෙන් පමණක් චිත්‍රපට මැනීම වැරදි වැඩක් බව හොඳටම අවබෝධ වුනේ මෙය බැලූ පසුවය.

මේ චිත්‍රපටයේ කතාව ඇත්ත කතාවකි. කොටින්ම නම පවා වචනයේ පරිසමාප්තියෙන්ම ඇත්තය.

චිත්‍රපටයේ කතාව ගොඩ නැගෙන්නේ රොන් කොවික් (Ron Kovic) නම් ඇමරිකානු මැරීන් සෙබලෙකු වියට්නාම් යුද්ධයේ මුහුණ දුන් අත්දැකීම් සහ ඉන්පසු ඔහුගේ ජීවිතය ඇසුරෙන් ඔහු විසින්ම ලියා පල කල Born on the Fourth of July නම් පොත අනුසාරයෙනි. ඇත්තටම මේ රොන් කොවික් ඉපදී ඇත්තේ ඇමරිකාවේ නිදහස් දිනය යෙදී ඇති ජූලි හතර වෙනිදාය! ඉතිං පොතටත් ඉන්පසු චිත්‍රපටයටත් යෙදීමට ඊට වඩා හොඳ නමක් නැත...

චිත්‍රපටයේ අධ්‍යක්ෂක ඔලිවර් ස්ටෝන් විසින් නිර්මාණය කල වියට්නාම් යුද්ධය පිලිබඳ වූ චිත්‍රපට ත්‍රිත්වයේ දෙවෙනි චිත්‍රපටය වන්නේද මෙම චිත්‍රපටයයි. ඒත් ඒ චිත්‍රපට තුනේ කතන්දර එකිනෙකට සම්බන්ධයක් නැත. එනිසා මේ චිත්‍රපටය නැරඹීමට ඉතිරි ඒවා නැරඹීම අවශ්‍ය නොවේ.

මට අනුව, මත්ද්‍රව්‍ය වල ආදීනව කෙනෙකුට වටහා දීම සඳහා බැලීමට නම් කරන සුදුසුම චිත්‍රපටය, Requiem for a Dream ය. ඒ අයුරින්ම, යුද්ධයේ ආදීනව නොවැටහෙන කෙනෙකුට බලන්න නිර්දේශ කරන සුදුසුම නිර්මාණය නම් මේ Born on the Fourth of July චිත්‍රපටයයි. මෙය බැලූ පසුත් ඔබ සාමය අභිබවා යුද්ධය විසඳුමක් ලෙස තෝරාගන්නේ නම්, ඔබේ සිත ගොඩ ගැනීමට නොහැකි තරමින් කුණු වී ඇති බවට ඒ සාක්ෂියකි.

මීටත් වඩා විස්තර කරන්න ගියොත් කතාව සුලු වශයෙන් හෝ ඉඳුල් වෙන නිසාත්, නොසිතූ දේම සිදුවීමෙන් උපදින රසයට, හානි නොකල යුතු නිසාත්, තව තොරතුරු නොකියා නවතිමි.

Wednesday, June 5, 2019

අතීතය සිහිනයක් වී.....

රෑ දොලහ පහුවුනු පසු ලැප්ටොප් එක ඔන් කර වයිෆයි කනෙක්ට් කර චිත්‍රපටයක් ඩවුන්ලෝඩ් වීමට දැමුවෙමි. ටොරන්ට් එකේ බාර් එක ක්‍රමයෙන් කොල පාට වෙමින් චිත්‍රපටය හාඩ් ඩිස්ක් එකට පිරෙන විදිහ බලා සිටියෙමි. තව විනාඩි කිහිපයකින් මට එය නැරඹිය හැක... වාතය හරහා තරංගයක් ලෙස එන චිත්‍රපටයක් තුලින් තව මොහොතකින් මින් පෙර නෑසූ නොපෙනුනු අත්දැකීමක් විඳ ගැනීමට ලැබෙනු ඇත. රෑ දොලහත් පසු වී ඇති නිසා හිත මඤ්ඤං වෙලා යැයි කෙනෙකුට සිතිය හැකි වුවත්, මෙය ඇත්තටම එක්තරා පුදුමයක් නොවේද?

මීට අවුරුදු විස්සකට පෙර අතීතයේ, ෆිල්ම් එකක් බැලීමට විඳපු කට්ට සහ කොච්චර ආසා වුවත් බලාගැනීමට නොහැකි වුනු චිත්‍රපට කොපමණද?  ඒ සියල්ල ඇඟිලි තුඩු මත විනාඩි කිහිපයකට නුදුරින් තිබීමම පුදුමයක් නොවේද ?

දැන් කාමරයක මුල්ලේ තබා ඇති පරණ ටැලන්ට් ටීවී එකෙන් ගියොත් හැරෙන්නට චිත්‍රපටයක් බැලීමට කල් යල් බලා හෝල් එහෙකටම යා යුතු කාලයක් තිබුනු බව මතක් වෙනකොට ඒකත් පුදුමයකි.

ජුරාසික් පාක් බලන්නට අම්මාගේ හා තාත්තාගේ අනුග්‍රහය ඇතුව ගෙදර සියලු දෙනා කොළඹ ලිබර්ටි එකට ගිය හැටි ඉතා පැහැදිලිව මතකය. පරණ ලිබර්ටි හෝල් එකේ ඇතුලුවෙන දොර ලඟ කාඩ්බෝඩ් වලින් ඩයිනෝසර් බිත්තර සහ එවායින් පැටවුන් එළියට පනින රූප කපා හේත්තු කර තිබූ හැටි තාමත් මතකය. ෆිල්ම් එකේ උද්වේගකරම මොහොතේ, "මස් කන ලොකු එකා" වාහන වලට පහර දෙන විට හෝල් එකටම ඇහෙන්න මාත් කෑ ගසා, දෑස් දෙඅත් වලින් වසාගෙන, සීට් එක මත අනික් පැත්තට හැරී දණ ගසාගෙන තාත්තාගෙන්, "දැන් ඉවරයි ද ඌ ගියාද" කියා ඇසූ සැටි අද ඊයේ මෙන් මතකය...
දැන් ත්‍රීඩී ග්ලාස් දාගෙන, ඩොල්බි ඇට්මොස් ශබ්ද වලින් වටකර දුන්නත්, ඒ පොඩි එකා වින්ද විදිහට චිත්‍රපටයක් ඇතුළටම රිංගා එය තමන්ගේම කර ගැනීමට ඇති හැකියාව, වැඩිහිටි වෙන්න වෙන්න මොට වී ඇතැයි සිතේ. යතාර්ථයෙන් පිළුණු වී ගිය යටිහිත, ඔය උබ දකින්නේ ෆැන්ටසියක් බව සිහිපත් කරවයි. ඇතුළටම ගොස් එය තමන්ගේ කර ගන්නවා වෙනුවට තර්ක විතර්ක වලින් අවුරා දමයි.

ජුරාසික් පාක් හෝල් එහෙක බලන්න වාසනාව ලැබුනත්, ඒකෙම දෙවැනි කොටස බලන්න එහෙම අවස්තාවක් නොලැබුණි. ප්‍රාථමිකයේ ඉගෙන ගත් අපිට, මහා විද්‍යාලේ හෝල් එකේ ඉරිදා හවසක ජුරාසික් පාක් එකේ දෙවැනි එක පෙන්නන්නවා කියා ආරංචි වුනත්, මට තනියම යන්න බැරි නිසා ඒ අදහස අතහැර දැමුවෙමි. හැබැයි, මට "බලන්න" නොලැබුණත්, එහා ඩෙස් එකේ හිටි එකා එය නරඹා සඳුදා ඇවිත් සම්පූර්ණ කතන්දරේම ඉස්කෝලෙ ඇරෙන්න කලින් කියන්න සමත් විය. "අහල දැනගත්ත" පළවෙනි චිත්‍රපටය ලෙස එය වාර්තාවක් උසුලයි. (පසු කලෙකදී ඩීවීඩි එකක් ගෙනැවිත් බලන කොට, පොඩි එකා උනත් අරූට හිතේ ඇඳෙන විදිහට පිළිවෙළකට කතන්දර කියා දීමේ සැබෑ හැකියාවක් ඇතැයි සිතුණි.)

ඩීවීඩි හෝ සීඩී නොතිබුනු ඒ කාලේ චිත්‍රපට බැලුවේ VHS වලින්, "වීඩියෝ ඩෙක්" වලය.
ගෙවල් වල වීඩියෝ ඩෙක් නොතිබුනු අපි වැනි දුප්පත් ළමයින්, ඒ අඩුව පුරවාගත්තේ හොලිවුඩ් ෆිල්ම්ස් වල කතන්දරේ කෙටියෙන් තියෙන මල්පියලි සහ වාසනා පොත් වලිනි. ඒවාට පින්සිද්ද වෙන්නට, ඇනකොන්ඩා, පිටසකවලින් ආ අත්භූත සත්ත්වයා, හිමෙන් මතු වූ සොල්දාදුවා, වැනි චිත්‍රපට "කියවා" රසවිඳින්නට හැකි විය. ඉස්කෝලෙ තිබ්බ මල්පියලි පොත් ප්‍රදර්ශනයකින් රුපියල් හතළිහකට මිළදී ගත් , මනොජ් රත්නායක කෙටියෙන් ලියපු ජුරාසික් පාක් පොත අදටත් සුරක්ෂිතව ඇත.

කවදාහරි ලොකු වී, රස්සාවක් කරපු දවසකට "වීඩියෝ ඩෙක්" එකක් ගන්නවාමයි කියන සිහිනයක් එදා පැවතුනි.
දැන්, සල්ලි ඇත. නමුත් ඒ අතීතයේ දී අනාගතයේ ඉටුවෙන ප්‍රාර්ථනාවක් ලෙස දුටු "වීඩියෝ ඩෙක්" කාලය විසින් අතීතයට අයිති වර්තමානයේ හොයාගන්නටවත් නැති ඇන්ටික් බඩුවක් කර ඇත!

අනාගතයේ දවසක මෙහෙම සුලඟින් චිත්‍රපට ඇවිදින් හාඩ් ඩිස්ක් එහෙකට විනාඩි ගානකින් පුරවගන්න පුලුවන් වේවි යැයි ඒ පොඩි එකාට තියා වැඩිහිටියෙකුට කිව්වත් එකල විස්වාස නොකරනු ඇත.

ඒත් නොදැනීම, සිහින දුටු අනාගතය අද වී, අතීතය සිහිනයක් වී, ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වී ඇත....!

Wednesday, March 20, 2019

Mortal Engines (2018)

Lord of the Rings චිත්‍රපට පෙළේ අධ්‍යක්ෂවරයා වන පීටර් ජැක්සන්ගේ නම මීට ගෑවී තිබුණත්, ඔහු ඊට දායක වෙලා තියෙන්නෙ තිර රචනයෙන් සහ සම නිෂ්පාදනයෙන් පමණයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා Christian Rivers වන අතර මේ ඔහුගේ මංගල චිත්‍රපට අධ්‍යක්ෂණයයි.

චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ මේ නමින්ම තියෙන, Philip Reeves නම් ලේඛකයාගේ පොතක් ඇසුරෙන්. එය සිව් ඈඳුනු පොත් පෙළක පළමු පොත වන අතර, මේ චිත්‍රපටය සාර්ථක වුනොත් සමහර විට ඉතිරි පොත් තුනත් චිත්‍රපට බවට පත් වෙයි.
මේ පොත් වගේම චිත්‍රපටයත් අයත් වෙන්නෙ Steampunk කියන වර්ගෙටලු, ඒ කියන්නෙ genre එක. එහෙම එකක් කලින් අහල තිබුන් නැත්තං , මේක බලල තේරුම් ගන්න පුලුවන් වෙයි ඒ මොන වගේ ජාතියක්ද කියන එක. සරලව කිව්වොත් ඔය නිකං යකඩ දැති රෝද එන්ජින් වගේ දේවල් පිරිච්ච ලෝක වල, පරිසර වල සිද්ද වෙන කතන්දර ... අර මීට කලින් ආපු Hugo, Sky Captain and the World of Tomorrow , Golden Compass වගේ චිත්‍රපටත් අයිති වෙන්නෙ මේ ගොඩට.

LOTR සහ Hobbit වැනි චිත්‍රපට පිටුපස සිටි VFX ටීම් එකම, නොහොත් පීටර් ජැක්සන් ප්‍රමුඛ කණ්ඩායමම තමා මේ ෆිල්ම් එකෙත් දෘශ්‍ය ප්‍රයෝග (VFX) පැත්තෙ වැඩ ටික බලල තියෙන්නෙ. මේක නරඹපු චිත්‍රපට විචාරකයො ගොඩ දෙනෙක්ගෙ අදහස වෙලා තියෙන්නෙ VFX පැත්තෙන් සාර්ථක උනත් කතාව පැත්තෙන් එච්චරම ගැම්මක් නැති බවයි.

චිත්‍රපටයේ කතාව ගැන නම් මුකුත්ම කියන්නෙ නෑ මොකද අද ඉඳල (14) මේ ෆිල්ම් එක ලංකාවේත් තිරගත වෙනවා. ඉතිං බලලම කතාව දැන ගන්න පුලුවන්නෙ.

ප.ලි. අද හවස ඔන්න මේක බැලුවා. අනේ මේ විචාරකයො කියන තරම් අවුලක් නම් නෑ . (Rotten tomatoes වල 28% යි දීලා තියෙන්නෙ 😒) කතාවෙ ගතියක් තියෙනවා. අනික අර ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ගතියත් චුට්ටක් තියෙනවා. පුලුවන් නම් හෝල් එකටම ගිහිල්ලා බලන්න මොකද ඒ දර්ශන වල තියෙන දැවැන්ත ගතිය ඇඟට දැනෙන්නේ හෝල් එකකින් බැලුවම තමා....

අදහන්න නෙවෙයි රසවිඳින්න....

මේ... ඕගොල්ලො බලල තියෙනවද අර ෆිල්ම් එකක් තියෙන්නෙ, Abraham Lincoln: Vampire Hunter කියල? ඕකෙ විදිහට ඒබ්‍රහම් ලින්කන් කියන්නෙ වැම්පයර්ස්ලට විරුද්ධව සටන් කරපු කෙනෙක්. ඇත්තටම ඒකෙ එක්තරා සංඛේතාත්මක දෙයකුත් තියෙනවා කියලයි තේරුනේ බලද්දි. කොහොම හරි, චිත්‍රපට කතන්දර නිර්මාණය කරන එක ෂානරයක් (genre) තියෙනවනෙ Historical Fantasy කියල. ඕකෙ තව උප ෂානරයක් තියෙනවා , Alternate history and historical fantasy කියල . ඒ අනුව අපිට හිතන්න පුලුවන් මේ චිත්‍රපටය අයිති වෙන්නෙ ඔන්න ඔය ගොඩට කියල. මොකද මේ ෆිල්ම් එකේ කතාවෙ හැටියට, ඒබ්‍රහම් ලින්කන්ට සීක්‍රට් අයිඩෙන්ටිටි එකක් තිබිලා තියෙනවා වැම්පයර් හන්ටර් කෙනෙක් විදිහට.

දැන් මම කියන්න උත්සාහ කරන්නෙ මේකයි...
ඔය ෆිල්ම් එක එලියට ආවම, ඇමරිකාවෙ ඉන්න රසික ප්‍රජාව ඔෆෙන්ඩ් උනේ නෑ අනේ මෙන්න අපේ හිටපු ජනාධිපති කෙනෙකුට අපහාස කරලා... අනේ එයා කොහෙද වැම්පයර්ස්ලව මැරුවෙ? ඇයි මේම බොරු කියල මිනිස්සු රවට්ටනෙ? ඇයි අපේ ඉතිහාසය විකෘති කරන්නෙ? අපෙ පොඩි දරුවො මේවයින් ගන්න ආදර්ශෙ මොකද්ද ? අපේ පාසල් යන දුවා දරුවන්ට මෙව්ව පෙන්නන්නේ කෝමද දෙයියනේ එයාලගෙ සමාජ අධ්‍යයනය පොතේ මෙහෙම කතාවක් නෑනේහ්.... ආදි දේවල් කිය කිය.
හැබැයි නිකමට හිතන්නකො ඔහොම එකක් ලංකාවේ හැදුවයි කියල.

අපි උදාහරණයක් ගමු.

අවුරුදු ගානකට කලින් විදුසර පත්තරේ ගියා විද්‍යා ප්‍රබන්ධ කතාවක්... ඒකත් ටිකක් ඔය වගේ. (ලියපු කෙනාව නම් මතක නෑ.)
කොහොමහරි කතාව තිබ්බෙ සීගිරිය ගැන.

ඒ කතාවට අනුව, කාශ්‍යප රජතුමා සීගිරිය තමන්ගෙ බලකොටුව කරගන්න කලින්, එතන ඇත්තටම තිබිල තියෙන්නෙ ඒලියන්ස්ලගෙ කොලනියක්. උන් මොකක් හරි පර්යේෂණ කටයුත්තකට ඒක උඩ කොලනියක් හදන් ඉන්නව. ඔය අදටත් වැඩ කරන වතුර මල් එහෙම උන් හදපුවා. විදුලි සෝපාන වගේ ටෙක්නොලොජි ඔක්කොමත් උන්ගෙ. කාශ්‍යප, මුගලන් එක්ක යුද්දෙට යන්න කලින් මුන් එක්ක යුද්ධයක් කරනව. යුද්ධයක් කිව්වට ලොකුවට ෆයිට් කරන්න ඕනෙ වෙන්නෙ නෑ. අරුන් ටිකගෙ කොලනියට පහල ඉඳන් ගිනි බෝල විසිකරනව ලොකු කැටපෝල යොදාගෙන මට මතක හැටියට . ඉන් පස්සෙ ඒලියන්ස්ල උන්ගෙ යානා වල නැගල පිට වෙලා යනව. ප්‍රති ප්‍රහාර එල්ල කරන්නෙ නෑ මොකද උන්ගෙ අරමුණ මෙහෙ යුද්ධ කරන එක නොවෙන නිසා. කොහොමෙන් හරි කාශ්‍යප ඊට පස්සෙ ඒ බලකොටුව තමන්ගෙ කරගන්නව. හැබැයි අර ටෙක්නොලොජි කාලයාගෙ ඇවෑමෙන් නැති වෙලා යනව මොකද ඒව උදුරගත්තු ඒව මිසක් අවබෝධයෙන් ගොඩනගපු දේවල් නොවෙන නිසා. ඉන්පස්සේ තමා මුගලන් ඇවිදින් ගේම ඉල්ලන්නෙ.

ඔන්න ඕකයි ඒ කතාව.

දැන් මම අහන්නෙ මේකයි, ඔය කතාවෙන් අපි ෆිල්ම් එකක් කලා කියමුකො? ප්‍රතිචාරය කුමක් වෙයිද?
අනිවා සැලකිය යුතු නැන්දලා මාමල, අයියල අක්කලා සෙට් එකක් සෑහෙන හඬක් නගයි ඉතිහාසයේ ඔහොම එකක් තිබ්බෙ නෑය මෙන්න විකෘති කරලාය ඇයි අච්චර ලස්සන ඉතිහාසයක් තියෙද්දි මේ බොරු පෙන්නන්නේ? අවුරුදු දෙදාස් පන්සීයක ලිඛිත ඉතිහාසය නේද මේ බොරු කරන්න හදන්නෙ? කිය කිය. හා නැද්ද ?

මේ ටික කියන්න අර රාවණ එකත් බලපෑව. මොකද ගොඩක් පිරිසක් ඒක බලන්නෙ, රාවණ ගැන "ඇත්ත කතාව" දැන ගන්න. ඔය "ෆැන්ටසි අජීර්ණ" රෝග තත්ත්වය සහිත "රසික හදවත්" හොඳින් හඳුනන නිසාම, ඔය කතාව මාකට් කරන්නෙත් ඒ විදිහටම තමා . ඉල්ලන දේ එපෑ දෙන්න නැද්ද මං අහන්නෙ ? මොකද අපේ කස්ටිය හෙනම ආසයි "ඇත්තටම මොකද්ද උනේ?" කියල දැන ගන්න... "හෙලි නොවූ කතාව " දැන ගන්න... බොරු නම් ගිහින් යූ ටියුබ් ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ බලන්නකො මොනාද ට්‍රෙන්ඩ් වෙන්නෙ කියල. සාක්ෂි ඇතුව හෝ නැතුව මොකක් හරි එකක් රස කරල කිව්වනම් අනේ ඒ හොඳටම ඇති. ඊට පස්සෙ ඒක තමා පට්ට ඇත්ත.

එක අතකට ඔය ගේම් ඔෆ් ත්‍රෝන්ස් , ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වගේ කොලිටියට කතා මෙහෙ හැදෙන්නේ නැති එකත් හොඳයි. ඒ වගේ බොක්කටම දැනෙන්න එකක් නිකං හරි හැදුවොත් මේ තත්ත්වය මීටත් වඩා දරුණු වෙයි, කොටසක් කියයි හෙළ ඉතිහාසය විකෘති කළා කියල , තවත් කට්ටියක් හදපු උන්ට පින් දෙයි මෙච්චර කාලයක් අපි නොදැන හිටපු හෙළ ඉතිහාසය අපිට කියල දුන්න කියල ... මේ කතා සමාජ අධ්‍යයනය අච්චු පොතට නොදාන්නෙ, බටහිර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදිහට කියල කියන්නත් බැරි නෑ ...

නිර්මාණ හදන උන්වම විවේචනය කරල වැඩක් නෑ බලන් ගියාම. කොටින්ම මේ නාට්‍ය හදන අයත් දන්නවා අපේ ප්‍රේක්ෂකයන්ගෙ දේහලීය අගය නොහොත් දරාගන්න පුලුවන් සීමාව. ඒ කියන්නෙ, මුන්ට මේක ආගමක් වගේ අදහන්න පටන් ගන්න, මහ ලොකු නිර්මාණ කාර්යයක් කරන්න ඕනෙ නෑ කියන එක එයාලට තේරෙනව.

රසිකයො/ප්‍රේක්ෂකයො විදිහට අපිත් අපේ ඒ සීමාව අඳුනගෙන ඒක ටිකක් එහාට තල්ලු කරගන්න එක වැදගත්. අපිත් ඉස්සරහට යන්න ඕනෙ නැද්ද නිර්මාණත් එක්ක...?
ෆැන්ටසියක් ෆැන්ටසියක් විදිහට බාරගමුකො... අදහන්න නෙවෙයි රසවිඳින්න.

BlacKkKlansman (2018)

මේ ෆිල්ම් එකේ නම කියෙව්ව ගමන් මේක මොකක් ගැන තියෙන ෆිල්ම් එකක්ද කියල තේරුම් ගත්ත නම්, ඔයත් බොහෝවිට ඉස්කෝලේ යන කාලෙ පැල් බැඳන් අර චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරපු ශර්ලොක් හෝම්ස් පොත් කියවපු එකෙක් වෙන්න ඕනෙ. ඔය මැද්දේ තියෙන KkK අකුරු ටික දැකපු සැනින් මට මතක් වුනේ අර ශර්ලොක් හෝම්ස් කතාවක් තියෙන්නෙ... දොඩම් ඇට පහක් ලියුම් කවරෙක දාල එවන සිද්ධියක් තියෙන? මතකද? ඒකෙ සිංහල නම නම් මතක නෑ. ඉංග්‍රීසි නම The Five Orange Pips.

සර් ආතර් කොනන් ඩොයිල් ශර්ලොක් හෝම්ස් කෙටි කතා 56 ක් ලියල තියෙනව. ඒ අතරින් ඕකෙයි තව එක කතාවකයි විතරයි අභිරහසක් විසඳගන්න කියල හෝම්ස් ගාවට එන ක්ලයන්ට්, කතාව අතරතුරේ මැරෙන්නෙ. ඉතිං මේ කතාවෙත් එහෙම වෙනව සහ අන්තිමට එලිවෙනව, ඒ මරණයට වග කියන්න ඕනෙ මෙන්න මේ KKK කියල හඳුන්වන මිනීමරු කල්ලිය කියල. ඔව්, KKK කියන්නෙ ඉතිහාසයේ තිබුණු සහ දැනටත් පවතිනවා කියල විශ්වාස කරන මිනීමරු කල්ලියක්. ශර්ලොක් හෝම්ස් කතා මනඃකල්පිත ඒව වුනත්, මේ කල්ලිය ඇත්තටම තිබ්බ (තියෙන?) එකක්...
KKK කියන්නෙ, Ku Klux Klan කියන එක කෙටි කරල. මේ අය ඔය පෝස්ටර් එකේ තියෙනවා වගේ කෝන් ශේප් එකේ තොප්පිත් පාවිච්චි කරල තියෙනවා මිනීමරන්න යද්දි මූණ වහගන්න ගමන්, KKK අනන්‍යතාව ‍රැකගන්න.

හරි ...ඉතිං මේ ෆිල්ම් එක ගැන ....
ශර්ලොක් හෝම්ස් ගැන කිව්වෙ KKK නිසා. මේක ශර්ලොක් හෝම්ස් ගැන එකක් නෙවෙයි.

ෆිල්ම් එකේ කතාව විදිහට යන්නෙ, එක්දාස් නවසිය හැත්තෑ ගණන් වල ඇමරිකාවෙ කොලරාඩෝ සිටි ස්ප්‍රින්ග්ස් වල පොලිස් දෙපාර්තමේන්තුවට ප්‍රථම කලු ජාතික පොලිස් රහස් පරීක්ෂකවරයා විදිහට වැඩ භාරගන්න Ron Stallworth කියන නිලධාරියා, ඒ ප්‍රදේශයේ ඒ කාලෙ දරුණුවටම ක්‍රියාත්මක වෙච්ච මේ කල්ලිය මර්දනය කරන්න වෙස් වලාගෙන කරන ගේම් එක. ඔව්. ඇත්ත කතාවක්.

අර Getout කියල ෆිල්ම් එකක් ආවනේ, මේකත් ඒ සෙට් එකේම වැඩක්.
ඉතිං මේක මේ අවුරුද්දේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන වලටත් නිර්දේශ වෙලා තියෙනවා හොඳම චිත්‍රපටය ඇතුලු අංශ හතරකට. ඒ වගේම American Film Institute එකෙන් 2018 වසරේ හොඳම චිත්‍රපට දහයෙන් එකක් විදිහටත් නම් කරලලු.

බලන්න වෙයි වගේ නේ? 🤗🤗

"jumping the shark"

අපි දැකල තියෙනවා සමහර අපි ආසාවෙන් බලපු ටීවි සීරීස් කාලයක් යද්දි චොර වෙලා යනව. මොකක් හරි හේතුවක් නිසා මිනිස්සුන්ට එපා වෙලා ජනප්‍රියත්වය නැතිවේගෙන යනව. ඔන්න ඔහොම බහින කලාවෙ යන ටීවී ෂෝ, ආපහු Up කරල ගන්න සමහර විට ඒ ටීවි සීරීස් හදන අය මොනා හරි අමුතු දෙයක් කරල බලනවා... ඒ කියන්නෙ සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයන් ඒකෙන් බලාපොරොත්තු නොවෙන ජාතියෙ දෙයක්...නිකං twist එකක් වගේ. ඉතිං එහෙම කරන්න ගිහින් අර තිබ්බ තත්ත්වෙත් නැති වෙලා නිකං ඇදගෙන නෑමක් වගේ වුනොත් අන්න ඒකට කියන නිකං ප්‍රස්ථා පිරුළක් වගේ එකක් තියෙනවා, "jumping the shark" කියල .
(සමහර විට, ලොකු අවුලක් නැතුව හොඳට තිබ්බ කතා, තව හිට් කරන්න ගිහිල්ලා ඇණ ගත්තමත් මේක කියනව)

මේ වගේ පිරුළු හැදෙන්නේ බටහිර රටවල් වල තමා... මොකද එහෙනෙ ටීවි සීරීස්, ෆිල්ම්ස් සම්බන්ධ ලොකු ඉතිහාසයක් වගේම සංස්කෘතියක් තියෙන්නෙ. ඉතිං මේ වගේ phrases "coin" වෙන්නෙත් ඒ රටවල් වල.

ඉතිං මොකද්ද මේ ජම්පින් ද ශාක් කියන්නෙ? කොහොමද ඒ නම වැටුණෙ?

1970 ගණන් වල ඉඳල අසූ ගණන් වෙනකම් ඇමරිකාවෙ විකාශනය වෙච්චි Happy Days කියන සිට්කොම් එකක් තමා මේකට මුල් වෙන්නෙ. සිට්කොම් කියන්නෙ situation comedy කියන එකනෙ. ඒ කියන්නෙ මේක සරල විහිලු තියෙන ටෙලිනාට්‍යක්. ඉතිං මේකෙ ජනප්‍රිය බව අඩුවේගන යද්දි ඒක හදපු අය, අමුතු වැඩක් කරන්න තීරණය කලා. ඒ තමා මේකෙ ඉන්න ෆ්‍රොන්සි කියන චරිතය , skiing තරඟයකට ගිහින්, මුහුදෙ ඉන්න මෝරු ඉන්න තැනකට උඩින් skiing වලින් පනින සීන් එකක් කරන එක. (කියනවට වඩා ලේසි මේක යූ ටියුබ් බලන්න) ඉතිං මේ වගේ ඇක්ෂන් සීන් එකක් මිනිස්සු කිසිසේත්ම අර වගේ සිට්කොම් එකකින් බලාපොරොත්තු වෙන්නෙ නෑනෙ ... ඒක නිසාම මේක කට්ටියම බැලුව. ෂෝ එකේ ඒ එපියෙ රේටින්ග්ස් වැඩිවුනා. ඒත් සමස්තයක් විදිහට ෂෝ එක ඩවුන්ද පල්ලම් යන එක නම් නතර කරන්න බැරිවුණා මොකද ඉතිං මිනිස්සු සිට්කොම් එහෙකින් බලාපොරොත්තු වෙන්නෙ ඔය විදිහෙ ඇක්ෂන් නොවෙන නිසා. ඔය මෝර උඩින් පනින සීන් එකෙන් තමා jumping the shark කියන phrase එක ඇති වුනේ....

ඒක ගැන කියද්දී නොකියා බැරි ඔය වගේ තව එකක් තියෙනවා, "nuke the fridge" කියල. මේක නම් ගොඩක් අය දන්නවත් ඇති. මේක පාවිච්චි වෙන්නෙ චිත්‍රපට සම්බන්ධයෙන්. ඒ කියන්නෙ කාලයක් ජනප්‍රිය වෙලා තිබිලා ක්‍රමයෙන් ජනප්‍රියත්වය අඩු වීගෙන යන ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක්, ආපහු මිනිස්සු අතරට ගෙනියන්න කරන "ඩෙස්පරේට්" උත්සාහයක් සහ ඒ උත්සාහයෙදි චොර sequels හදල අර ඩවුන් වෙලා තියෙන එක තවත් වණ කර ගැනීමේ අවස්තාවන් තමා මෙහෙම හැඳින්වෙන්නේ....

හරි ඉතිං මොකද්ද මේ පිරුළෙ ඉතිහාස කතාව ?

මේක එන්නෙ අර Indiana Jones and the Kingdom of the Crystal Skull කියල හදපු ඉන්දියානා ජෝන්ස් එකේ හතර වෙනි ෆිල්ම් එකෙන්. ඕකෙ සීන් එකක් තියෙනවා න්‍යෂ්ටික බෝම්බයක් පිපිරෙන. ඉතිං ප්‍රධාන චරිතය නොහොත් ඉන්ඩියානා ජෝන්ස්, ඒකෙන් බේරෙන්නෙ ෆ්‍රිජ් එකක් ඇතුලට ගිහිල්ලා දොර වහගැනීමෙන්..!

ෆිල්ම් එක රිලීස් වුනැයින් පස්සෙ ෆිල්ම් එකටත් වඩා හැමෝම කතා වුනේ මේ සීන් එක ගැන. මොකද ඒක විද්‍යාත්මක පැත්තෙන් බැලුවම අන්තිම ගොබ්බ සීන් එකක්. අනික මේක ඩිරෙක්ට් කලේ ස්පිල්බර්ග්... ඉතිං ඕක එයාගෙන්ම අහල තිබ්බ වතාවක්. එතකොට එයා කියල තිබ්බෙ, "ඒක මගේ මෝඩ අදහසක්"(my silly idea) කියලයි... හැබැයි, ඔයින් මෙයින් හොලිවුඩ් වලට ඒ වගේ phrase එකක් හඳුන්වා දෙන්න ලැබීම ගැන තමන් සතුටු වෙන බවත් ඔහු කියල තිබ්බා.

ඔය ෆිල්ම් එකේ executive producer වුනේ ජෝජ් ලූකාස්. එයා නම් කියල තිබ්බෙ, ඒ මෝඩ අදහසෙ සම්පුර්ණ වගකීම ස්පිල්බර්ග්ට විතරක් දෙන්න බැරි බවත්, එක්සකටිව් ප්‍රඩියුසර් විදිහට ඒකට තමන්ගේ වගකීමකුත් තියෙන නිසා, අර phrase එකේ credit එකෙන් කොටසක් තමන්ටත් හිමි බවත්....😄


SpongeBob SquarePants බලල තියෙන්නෙ කව්ද ?

මේක ඉස්සර ගියා හවසට ETV එකේ. පිටින් බැලුවම විකාරයක් වගේ තමා පේන්නෙ. ඒත් එක සැරයක් හරි බැලුව කෙනෙක්, ඒකට ඇබ්බැහි වීමේ සම්භාවිතාව ඉතා ඉහළයි.

මේ කාටුන් එක බලපු/බලන ෆෑන්ස්ලට නම් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ මේකෙ තියෙන ආතල් එක. ඉතිං එහෙව් කාටුන් එකක් හදපු, ඒ චරිත , කතාව, පරිකල්පනය කරපු, නිර්මාණකරුවා මියගියා කියල දැන ගත්තම ඇත්තටම ලොකු කණගාටුවක් ඇති වුනා. ඒ නිසාමයි මේ ටික ලියන්නෙ.

ස්පොන්ජ්බොබ් නිර්මාණය කළේ, Stephen Hillenburg. ඔහු පසුගිය නොවැම්බර් 26 වෙනිදා, ඔහුට වැළඳී තිබුනු චාලක නියුරෝන ආශ්‍රිත රෝගය නිසා හටගත්තු සංකූලතා හේතුවෙන් ජීවිතෙන් සමුගත්තා. ඒ වෙද්දි වයස 57 යි. ඉතිං මැරෙන්න වයසක් නෙවෙයි. ඒත් මොනා කරන්නද?😢

ස්ටීවන් මුලින්ම වෘත්තීයෙන් සාගර ජීව විද්‍යාඥයෙක්. ඉන්පස්සේ තමා ඇනිමේෂන් පැත්තට යොමු වෙලා තියෙන්නෙ. දැන් තේරුම් ගන්න පුලුවන්නෙ මේ කාටුන් එකේ පසුබිම සහ චරිත ඒ විදිහට නිර්මාණය වුනේ ඇයි කියල ?
ඉතිං මේ කාටුන් එකේ සාම්පල් එපිසෝඩ් එකක් හදල Nickelodeon එකට ගිහින් පෙන්නුවාම, ඒකෙ තියෙන අමුතුම ගතිය නිසාම එයාල කැමති වෙලා තියෙනවා මේක Nickelodeon වල විකාශනය කරන්න. ඒ 1999 අවුරුද්දේ . එහෙම පටන් ගත්ත කාටුන් එක අදටත් විකාශනය වෙනවා. මේ වෙද්දි සීසන් එකොළහක් , එපිසෝඩ් දෙසිය හතලිස් දෙකක් විකාශනය වෙලා, ෆිල්ම්ස් දෙකකුත් හැදිලා තව ෆිල්ම් එකක් ඉදිරියේ එන්නත් තියෙනවා.(ලෝකයෙ වැඩියෙන්ම ජනප්‍රිය කාටුන් එක මේක කියල තමා කියන්නෙ) SpongeBob කියන්නෙ තව දුරටත් නිකම්ම කාටුන් එකක් නෙවෙයි . ඒක ෆ්‍රැන්චයිස් එකක්... ගේම්ස් තියෙනවා , memes තියෙනවා. වැඩිය ඕනෙ නෑ පිටකොටුවේ පේමන්ට් එකේ ගිහින් බැලුවම SpongeBob රූපය සහිත වෙළෙඳ භාණ්ඩ අනන්ත හොයාගන්න පුලුවන් . ඉතිං මේ විදිහට ලෝකෙ පුරා අලෙවි වූ ස්පොන්ජ්බොබ් merchandise ඇතුලුව, ඊට අදාල සියල්ල නිසා නිර්මාණකරුවන්ට දැනට ඩොලර් බිලියන 13 කටත් වඩා ආදායමක් ලැබිල තියෙනවා.
මෙන්න මේ විදිහට , තමන්ගෙ හිතේ ඇඳුනු කාටුන් චරිතයක් , සුපිරි පරිකල්පන හැකියාව පාවිච්චි කරල ලෝකය පුරාම පැතිරුණ අමරණීය චරිතයක් බවට පත් කරපු මනුස්සයෙක් තමා අද මේ මියගොස් තියෙන්නෙ.
කණගාටුවට හේතුව වෙන්නෙ ඔහු අකාලයේ මියගිය එක පමණයි.

SpongeBob SquarePants කාටුන් එකේ තියෙන විශේෂත්වය තමා, ඒක පොඩි අයට වගේම වැඩිහිටියන්ටත් එකසේ විඳින්න පුලුවන් වීම. මේක හුදෙක්ම නිකං ප්‍රකාශයක් නෙවෙයි. සමීක්ෂණ වාර්තා මගින් ඔප්පු වෙච්ච දෙයක්.

ඉතිං මේ SpongeBob කාටුන් එක බලලම නැත්තං නිකමට එක එපිසෝඩ් එකක් බලන්න. වගකීමෙන් කියන්නෙ ඒක වෙනම ආතල් එකක්.

රැක් ෆෝකස් (rack focus)කියල වචනයක් අහල තිබ්බද කලින්?

ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය නම් දන්නව ඇති ඉතිං අපි දන් නෑනෙ. වචනෙ නොදන්නව උනාට, ඒකෙන් වෙන දේ නම් අපි දැකල තියෙනවා ඕන තරම්. ඇත්තටම මොකද්ද මේ රැක් ෆෝකස් කියන්නෙ?

දැකල තියෙනවද චිත්‍රපට වල එකම රූප රාමුව ඇතුලෙ කැමරාවෙ ලෙන්ස් එකේ ෆෝකස් එක ඒ කියන්නෙ කාචය නාභිගත වෙලා තියෙන තැන වෙනස් කරමින්, ඒ රූපරාමුව ඇතුලෙ තියෙන විවිධ දේවල් වලට ප්‍රේක්ෂකයගෙ අවධානය යොමු කරනව? ඔය දාල තියෙන රූප බලන්න. ඒ කියන්නෙ මුලින්ම මේසෙ එහා කෙලවරේ ඉන්න කෙනා කතා කරද්දි එතනට ෆෝකස් වෙන කැමරාව ඉන් පස්සෙ මෙසේ මෙහා කෙලවරේ ඉන්න ගෑනු කෙනාගෙ මූණට ෆෝකස් වෙනව. අන්න එහෙම ලේයර්ස් විදිහට ෆෝකස් එක වෙනස් කරන එකට තමා රැක් ෆෝකස් කරනව කියන්නෙ. රූප වලින් කතාව කියද්දි ප්‍රේක්ෂකයන්ට විවිධ දේවල් අඟවන්න යොදාගන්න එක ක්‍රමයක් තමා මේ. කැමරාවෙ පිහිටීම වෙනස් නොකර ෆෝකස් එක විතරක් වෙනස් කරලත් ගොඩක් දේවල් සන්නිවේදනය කරන්න පුලුවන්.

මේ විදිහට කැමරා කාචය එක්ක කරන මේ සෙල්ලම බාරව ඉන්න කෙනාට කියන්නෙ "ෆෝකස් පුලර්" (focus puller) කියලයි. කැමරා ඔපරේටර්වරු එක්ක තමා එයා වැඩ කරන්න ඕනෙ. සිනමැටොග්‍රැෆර් යටතේ.
එයගෙ වගකීම තමා අධ්‍යක්ෂවරයාට අවශ්‍ය විදිහට මේ කාච එහෙ මෙහෙ කරල ඒ දර්ශනය අවශ්‍ය විදිහට අරං දෙන එක. හැබැයි ඒ ඉස්සර. දැන්නම් ගොඩක් වෙලාවට ඉලෙක්ට්‍රොනික් විදිහට ඔටෝමැටිකලි වෙන්න සෙට් කරන්න පුලුවන් මේක.

දැන් මේකෙම තව පොඩි දෙයක් තියෙනවා, ටිකක් වෙනස් සිද්ධියක් ....

සාමාන්‍යයෙන් දර්ශනයක් ගත්තම ඒකෙ එක් තලයකටනෙ කැමරාව නාභිගත වෙලා තියෙන්නෙ. හැබැයි අධ්‍යක්ෂවරයාට උවමනා වුනොත් , ඈත වෙන සිද්ධියක් සහ ඒ ෆ්‍රේම් එකේම ලඟ වෙන සිද්ධියක් එකම වෙලාවෙ ෆෝකස් කරල පෙන්නන්න ? එතකොට මොකො කරන්නෙ?
ඒ වගේ වෙලාවට ඩයොප්ටර් එකක් කාචෙට ඉස්සරහින් සෙට් කරල , එකම කාචයට නාභිදුරවල් දෙකක් එන විදිහට හදාගන්න පුලුවන්. ඒකට කියන්නෙ split field diopter effect කියලයි. ඔය ටැරන්ටිනො, ස්පිල්බර්ග් , මාටින් ස්කෝසි, වගේ වැඩකාරයො මේ ක්‍රමයත් පාවිච්චි කරනව ෆිල්ම් හදද්දී. (Casino ෆිල්ම් එකේ රූපයක් උදාහරණයක් විදිහට දාල තියෙනවා)

ප.ලි. මේ ස්ක්‍රීන් ශොට්ස් ගත්තෙ යූ ටියුබ් වීඩියෝ එහෙකින්. Fandor කියල channel එකක් තියෙනවා මේ වගේ ටෙක්නිකල් දේවල් තියෙන. කැමති අය ගිහිල්ලා බලන්න . ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් ....




Life that Glows (2016)

කණාමැදිරියො අනන්ත දැකල තිබුනත්, රෑ බදුල්ලොත් ඕන තරම් දැකල තිබ්බත්, ඇත්තටම රෑ බදුල්ලා කියන්නෙ වෙනම සතෙක් නෙවෙයි කණාමැදිරියන්ගෙ ජීවන චක්‍රයෙ එක් අවස්තාවක් කියල තේරුම් ගත්තෙ මේ ලඟදි. හැබැයි ඒ නම් මේ වාර්තා චිත්‍රපටය බලල නෙවෙයි.

මේ ඩොකියුමෙන්ට්‍රිය බලල ඊටත් වඩා ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් ජෛව සංදීප්තතාව (bioluminescence) දක්වන මේ ලෝකෙ ඉන්න ගොඩක් ජීවීන් ගැන .

උදාහරණයක් විදිහට ඔය කණාමැදිරියො ඉන්නවනෙ, නගරබදව නම් ටිකක් අඩු වුනත් ගම්පලාත් වල නම් රෑ වෙලා ටිකක් එලි පහලියට බැස්සොත් මුන් එහෙ මෙහෙ යනව දකින්න පුලුවන්. ඉතිං එහෙම යද්දි සැරින් සැරේ පොඩි බල්බ් එකක් වගේ නිවි නිවි පත්තු වෙනවනෙ. අපි ඉතිං හිතෙන්නෙ උන් ඒ එලිය දාන්නෙ උන්ට පාර හොයාගන්න වෙන්න ඇති කියල සරලව. ඒත් ඇත්තටම ඒ එලියේ දීප්තිය සහ නිවෙන දැල්වෙන රටාව කණාමැදිරි විශේෂයෙන් විශේෂයට වෙනස්. ඉතිං එකම විශේෂ වලට අයිති කණාමැදිරි ගැහැණු පිරිමි සත්තුන්ට උන් උන්ව හොයාගන්න මේකෙන් පුලුවන්. ඒ විතරක් නෙවෙයි මේක එක්තරා ආකාරයට නිකං මෝස් කෝඩ් එකක් වගේ පණිවිඩ යවන්නත් පාවිච්චි වෙනව.

ගැහැණු කණාමැදිරියෙක් දක්වන එලි රටාවකට (mating call), ඒ විශේෂයෙම පිරිමි සතෙක්, පිලිතුරු විදිහට යවන එලි සංඥාව යවන්න ඕනෙ යම් තප්පර ගානකට පස්සෙයි. ඉතිං ඌ ඒක හරියටම ඒ ටයිම් එකට යැව්වෙ නැත්තං අර කණාමැදිරිච්චි තේරුම් ගන්නව මූ හරියන එකෙක් නෙවෙයි කියල. (ඇත්තටම කිව්වොත් , උගේ ජාන කිටුව (genome) හරි නෑ, ඒකයි ටයිමින් අප්සෙට් යන්නෙ. කණාමැදිරියො ඕව දන්නෑ, ඒත් ඇත්තටම එතෙන්දි වෙන්නෙ ස්වභාවික වරණයක් කියන්න පුලුවන්)

ඉතිං ඔන්න ඔය වගේ අපි හීනෙන්වත් හිතන්නෙ නැති සංකීර්ණ දේවල් මේ අපි එදිනෙදා දකින ස්වභාවධර්මයේ තියෙනවා.
මේ චිත්‍රපටයෙ කණාමැදිරියො ගැන විතරක් නෙවෙයි, ජෛව සංදීප්තතාව දක්වන සෑහෙන ජීවින් ගාණක් ගැන පුදුම හිතෙන තොරතුරු ගොඩක් අන්තර්ගතයි. අනික මේක ඉදිරිපත් කරන්නෙ David Attenbrorough.

ඉතිං මේ වගේ ස්වභාවධර්මය ගැන තියෙන වාර්තා චිත්‍රපට බලන්න කැමතියි නම් මේක අනිවාර්යයෙන් බලන්න...

චිත්‍රපටි වල බොරු කෑම

චිත්‍රපටි වල සමහර දර්ශන සඳහා විවිධ කෑම වර්ග ඕනෙ වෙනවා. මේවා අවස්තාව අනුව ඇත්තටම හදල ගන්නත් පුලුවන්. ඒත් සමහර විට ඒවා බොරුවට හදල ඒ දර්ශන වලට පාවිච්චි කරන්න වෙනවා. ඒ කියන්නෙ ෆේක් ෆුඩ්. අපි හිතමුකො නිකං අයිස්ක්‍රීම් වගේ තියෙන එකක් කීප වාරයක් ගන්නව නම් අයිස්ක්‍රීම් දියවෙලා යන එක ගැටලුවක් . අන්න ඒ වගේ අවස්තාවන් වලට බොරු අයිස්ක්‍රීම් පාවිච්චි කරන්න පුලුවන්.

මේ වගේ දේවල් වලට පාවිච්චි කරන්න බොරු කෑම හදල විකුණන කඩවල් තියෙනවා . රෙඩි මේඩ් විදිහට ගන්න පුලුවන් . ඒත් මොකක් හරි චිත්‍රපටයක් සඳහා විශේෂ කෑමක් හදවගන්න ඕනෙ නම් එහෙම ඒව හදල දෙන්න ෆේක් ෆුඩ් ආර්ටිස්ට්ලත් ඉන්නවා. එතකොට කරන්න තියෙන්නෙ බොරුවට හදල ඕනෙ කෑම එකේ ඇත්ත සාම්පල් එකක් ඒ ගොල්ලන්ට යවන එකයි. එතකොට එයාලා ඒක බලාගෙන ඒ විදිහටම බොරු එකක් හදල දෙනවා. ඒක නරක් වෙන් නෑ ... පාට වෙනස් වෙන් නෑ.. වයනය (texture එක) වෙනස් වෙන්නෙත් නෑ...දිය වෙන් නෑ... කූඹි එන්නෙත් නෑ... කවුරුහරි බඩගින්නට කාලදායි කියල අවධානමකුත් නෑ ... 😊.

මේ සමහර කෑම සීයට සීයක් කෘතිම විදිහට හදන අතරෙ, සමහර ඒවා ඇත්ත කෑම අරං මොඩිෆයි කරලත් හදනවා. Food styling කියල කියන්නෙ මේකට. චිත්‍රපට වල නම් ආට් ඩිපාට්මන්ට් එකෙන් තමා මේ වැඩේ කරන්නෙ. හිතමුකො නිකං රෝස්ට් කරපු කුකුලෙක් පෙන්නන්න ඕනෙ කියල ඇඩ් එකකට. සමහර විට දැකලත් ඇති. අපි සැබෑ ජීවිතේ කොච්චර උත්සාහ කලත් කරන්න බැරි විදිහට රන්වන් පාටට ලස්සනට පේන්න කුකුලව රෝස් වෙලා කැමරාව වටේ කරකවල පෙන්නන්නේ... ඒ ඇත්තටම රෝස් කරපු කුකුල්ලු නෙවෙයි . රෝස් වෙලා වගේ පේන්න මේකප් කරපු කුකුල්ලු තමා ඒ. අනික් කෑම ඇඩුත් මෙහෙමයි බහුතරයක්. (ලංකාවේ නම් දන්නෑ ඉතිං , ජාත්‍යන්තරව කියන්නෙ )

බොරු කෑම ගැන කියපු නිසා, ජපානෙ ගැනත් නොකියා බෑ. හැබැයි ඒකට ෆිල්ම්ස් වල සම්බන්ධයක් නෑ. ඒත් මේ fake food බිස්නස් එක දරුණුවටම තියෙන රටක් තමා ජපානෙ කියන්නෙ . මොකද එහෙ රෙස්ටුරන්ට් වල ඩිස්ප්ලේ වල තියෙන කෑම පිඟන් ඔක්කොම මෙහෙම බොරුවට හදපුවා. ඒ කියන්නෙ මාලු කෑලි , පොකිරිස්සො, සලාද ... ඔක්කොම ප්ලාස්ටික් . ඒව හදන්න වෙනම ලොකු ෆැක්ටරි තියෙනවා . යූ ටියුබ් තියෙනවා ඕනෙනම් බලන්න .
(රූප වල තියෙන්නෙ 100% කෘතිම කෑම)