Tuesday, October 17, 2017

මිහිරි මතක හද රැඳේ....

ඉස්සරකාලෙ ඉරිද දවල්ට සිරස ටිවි එකේ හෝ MTV එකේ ( හරියටම මතක නෑ) හොඳ ෆිල්ම්ස් යනව. ඒත් මට ඔය වෙලාවටම වගේ ක්ලාස් එකක් තිබ්බ. ඉතිං හැමදාම අර යන ෆිල්ම් එක බාගෙට බලල නතර කරල ක්ලාස් යන්න වෙනව. චිත්‍රපටියක් මග නතර කරල යන එක නම් ඉතිං කාලකණ්ණිම අත්දැකීමක් තමා , මොකද මේක ඇවිල්ල බලන්න pause කරල යනව නෙවෙයිනේ .... ආයි කවද බලන්න ලැබෙයිද කවදාවත් ඉතුරු ටික බලන්න නොලැබෙයිද කියල ඉතිං ශුවර් නෑ. මොකද ඉතිං ඒ කාලෙ ඉන්ටනෙට් තියා ගෙදෙට්ට ටෙලිෆෝන් වත් තිබුන්නෑ...( ඉන්ටනෙට් කියල දේකට තිබ්බෙ, ඉස්සර ජාතික රූපවාහිනීයෙ ගියා වැඩසටහනක් "අන්තර්ජාලය ඔබේ නිවසට" කියල , මතක ඇති සමහර අයට.. ඉතිං ඕක මම කීප දවසක්ම බැලුව අපේ නිවසට එහෙම හරි "අන්තර්ජාලෙ" පොඩ්ඩක් ලැබෙයිද කියල ... ඒ අතින් බලද්දී ඒ පොඩි එකා හරි පව් 😃😃) බලන එකක් ටිවී එකෙන් තමා. VHS ප්ලෙයර් එව්ව මෙව්ව මොනවත් නෑ...
ඉතිං මම මේ කියන "අඳුරු කාල පරිචේඡදය" පොඩි කාලෙ අත්දැකපු අය ඇතිනෙ.... මතකනෙ ඉස්සර මයාබන්ධන, රොබින්සන් අන්දරය වගේ ඒව පටන් ගන්න වෙලාව අල්ලල ගොරවන්නයි විදුලි කොටන්නයි පටන් ගත්තම හිත මැලවී යන ආකාරය .... ඒත් නැත්තං කරන්ට් ගියොත් විදුලිබල මණ්ඩලේ උන්දලෑගෙ හත්මුතු පරම්පරාවම මතක් වෙන හැටි (පොඩි උනත් නැති කුණුහරුපත් මතක් වෙනව එවෙලෙට 😁)
ඔන්න ඔය මොන ක්‍රමේකට හරි ඔය වගේ දෙයක් මග ඇරුනොත් ඉතිං අපේ පිහිටට එන්නෙ පහුවෙනිදට ඉස්කෝලේ ගියාම, මගඇරුනු කෑල්ල බලපු හොඳ යාලුවෙක් තමා ඉතිං.... ඌ ඉතිං ඔය ෆ්‍රී පීරියඩ් වල ඉතාමත් ලස්සනට චිත්ත රූප මැවෙන ආකාරයෙන් අර අපිට බලන්න බැරි උනු කෑල්ල විස්තර කරල දෙනව... කොහොම හරි යන්තං ඉස්කෝලේ ඇරෙන්න කලින් අදාල එපිසෝඩ් එක ඉවර කරනව... ඒව තමා ඉතිං ඉස්සර තිබ්බ "රිවයින්ඩ් ටීවී" ... අදටත් ස්තූති පූර්වකව සිහිපත් කරන්න ඕනෙ ඒ වගේ අයව...
හරි ඉතිං ඔය ඉස්සරනෙ, දැන් නම් ඉතිං ඔය වගේ දේවල් මග ඇරෙනව, බලන්න බැරි වෙනව කියල දෙයක් නෑනෙ. මගඇරුනත් අදාල චැනල් එකේ සයිට් එකට හෝ යූ ටියුබ් ගියාම ඕක බලාගන්න පුලුවන්. ෆිල්ම්ස් නම් ෆිල්ම් එකේ නම ගූගල් කිරීමේ ප්‍රමාදය විතරයි . සියල්ල ඇඟිලි තුඩු මත...
ඉතිං දැන් තත්ත්වය ඔහොම උනත් අර මානව "රිවයින් ටීවී" පරපුරේ අය අද කාලෙත් ඉන්න බව පේනව . එයාල මොකක් හරි එකක් බලල හිතට වැදුනොත් ඒකෙ කතාව යුනිකෝඩ් එකෙන් ටයිප් කරනව.... පුලුවන් නම් ඉවරවෙනකම්ම කියනව. ඒත් ඉතිං එහෙම ඕනෙ නෑ යන්තං බැක්ග්‍රවුන්ඩ් එක කිව්වනම් ඇති, ඕනෙ එකා හොයං බලනව. නැති එකාට කොටල පොවන්න හැදුවත් බලන් නෑ...
හරි දිග වැඩි උනා මේක නතර කරන්නං 😂

No comments:

Post a Comment