Wednesday, October 25, 2017

මොකද්ද මේ "suspension of disbelief" ?

වෙන මොකද්ද එකක් හොයන්න ගූගල් හාර හාර ඉද්දි මෙන්න මේ වචනෙ හම්බුනා "suspension of disbelief" මේ යෙදුම කලින් අහල තියෙනවද ? මම නම් අහල තිබ්බ. හැබැයි , තේරුම මොකද්ද කියල දැනන් හිටියෙ නෑ . අද තමා තේරුනේ. මට තේරුන හැටියට කියන්නං...
දැන් මේ යෙදුම ඕනම කලා නිර්මාණයකට සම්බන්ධයි, චිත්‍රපට වලට විතරක් නෙවෙයි. මේකෙ ඉංග්‍රීසි වචන දෙකේ අමු සිංහල තේරුම ගත්තම නිකං, "අවිශ්වාසය දරා ගැනීම/යටපත් කිරීම " වගේ අර්ථයක් තමා තියෙන්නෙ. ඒත් ඔහොම කිව්වට ඕක තේරෙන් නෑ.
හරි, දැන් ඔය සස්පෙන්ශන් ඔෆ් ඩිස්බිලීෆ් කියන දේ, ඕනෑම කලා නිර්මාණයක් තුල නිරීක්ෂණය කරන්න පුලුවන් හැබැයි ඒක අත්විඳින්නෙ, අදාළ නිර්මාණය රස විඳින රසිකයා නොහොත් අපි මිසක් නිර්මාණකරුවා නෙවෙයි, නිර්මාණය ඊට උදව් කරනව විතරයි, හැබැයි ඔබ තුළ මේ සස්පෙන්ශන් ඔෆ් ඩිස්බිලීෆ් කියන දේ නැත්තං , කිසිම ෆිල්ම් එකක් (හෝ වෙනයම් නිර්මාණයක් ) රස විඳින්න බෑ!!
ඉතිං ඇත්තටම මොකද්ද මේ? 🤔
දැන් අපි මොකක් හරි ෆිල්ම් එකක් බලනව කියමුකො එතකොට අපි දන්නවනෙ ඒක බොරුවක් කියල? නේ? ඒ කියන්නෙ ඔබ ලැප්ටොප් එකෙන් ෆිලුමක් බලනව. ඒක යන්නෙ ලැප්ටොප් එකේ තිරය මත. ඔබ ඉන්නෙ එලියෙ, මේ යතාර්ථය තුළ. ෆිල්ම් එකේ කතාවක් දිග හැරුනත්, ඒක මායාවක් බවත් ඒ රඟපාන්නෙ නලුවන් බවත්, මේ සිද්ධිය ඔබේ ඇස් පනාපිට සත්‍ය වශයෙන් සිදු නොවන බවත් ඔබේ මනස දන්නව. කොටින්ම ඕක "බොරුවක් " කියල මොලේ දන්නව. ඒ කියන්නෙ ඔබ ඒක "අවිශ්වාස කරනව" හරිනෙ? ඒත්, ඒ කතාව රසවිඳිනු පිණිස ඔබේ මනස විසින්ම අර කලින් ඇති වුනු අවිශ්වාසය , යටපත් කරල දානව නේද? ඒ කියන්නෙ ඔබ තුළ නිරායාසයෙන් ඇතිවන "ඩිස්බිලීෆ් " එක "සස්පෙන්ඩ්" කරල දානව මනස විසින්ම. ඒකත් ඉතිං නිරායාසයෙන්ම තමා වෙන්නෙ. ඔන්න ඕක නිසා තමා අපි හොල්මන් කතා වලට බය වෙන්නෙ,ඇක්ශ්න් වලදි මයිල් කෙලින් වෙන්නෙ, ගැස්සෙන්නෙ. කොටින්ම අපිට චිත්‍රපටයක් එක්ක ඒකාත්මික වෙලා , ඒ ලෝකය තුල ජීවත් වෙමින් ඒක අපේම අත්දැකීමක් කර ගන්න පුලුවන් වෙන්නෙ මෙන්න මේ suspension of disbelief කියන ගුණය අපි ළඟ තිබෙන නිසයි. ඒ කියන්නෙ ඇත්තටම ඒක තියෙන්නෙ ප්‍රෙක්ෂකයා ළඟ මිසක් නිර්මාණය තුළ නෙවෙයි, හැබැයි ප්‍රෙක්ෂකයා තුළ තියෙන මේ ගුණය හොඳට එලියට එන්න නම් , නිර්මාණය හොඳ වෙන්න ඕනෙ. අන්න එතකොට තමා අපි කියන්නෙ පැය දෙකක් ගියා තේරුනේවත් නෑ ... වෙනම ලෝකෙකට ගියා වගේ දැනුනෙ ආදී වශයෙන් .... හරි දැන් නිකං හිතන්නකො ඔය ගුණය ශුන්‍ය අවස්ථාවක්, එතකොට අපිට නිර්මාණයක් රස විඳින්න බැරි වෙනව. හැම වෙලේම හිතන්නෙ ඕක බොරුවක්නෙ කියල විතරයි. එහෙම අයට ඉතිං බලන්න වෙන්නෙ ප්‍රවෘත්ති වගේ දේවල් විතරයි 😜 ඒ කියන්නෙ එයාලට බෑ ඩිස්බිලීෆ් එක සස්පෙන්ඩ් කරගන්න...
හැබැයි තව දෙයක් තියෙනවා .... නිකං හිතන්නකො සස්පෙන්ඩ් කරගන්න ඩිස්බිලීෆ් එකක් ඒ කියන්නෙ අවිශ්වාසයක් නැත්තං ? කොහොම වෙයිද? ඔන්න එහෙම එකෙක් ෆිල්ම් එකක් බලනකොට දුශ්ටය කාව හරි මැරුවොත් මෙයා පොලිසියට කෝල් කරල කියයි මිනීමැරුමක් උනා කියල . මේ වගේ අවස්ථාවක් තිබ්බ අර ඉස්සර ගිය මායාබන්ධන කතාවෙ. ඒකෙ රියානා, අපේ ලෝකෙට ඇවිල්ල පෝල්ගෙ ගෙදර ටීවී බලන අවස්ථාව මතක් කර ගන්න. අන්න එතෙනදී රියානාට, සස්පෙන්ඩ් කිරීම සඳහා ඩිස්බිලීෆ් එකක් නෑ. ඒ කියන්නෙ එයා ටිවි එකේ යන දේ අමු ඇත්ත කියල පිලිඅරං ඒ විදියට හැසිරෙනව...
හරි. ඉතිං ඔන්න ඕකයි ඔය suspension of disbelief කියන යෙදුමේ තේරුම.
මේ යෙදුම , ඔය උඩ කියල තියෙන අර්ථයෙන් කලා ලෝකයට මුලින්ම හඳුන්වල දුන්නෙ 1817 වගේ අතීතයේ හිටපු කවියෙක් වගේම දාර්ශනිකයෙක් වුණු සැමුවෙල් ටේලර් කෝල්රිඩ්ජ්.
හැබැයි ඔය උඩ කියල තියෙන අර්ථකථනයත් එක්ක එකඟ නොවෙන පිරිසකුත් ඉන්නව. එයාල මේකට විකල්ප අර්ථකථනත් ඉදිරිපත් කරල තියෙනව: J. R. R. Tolkien LOTR ලියපු කෙනා... එයා කියන විදියට කතන්දරයක් ලියන කෙනා නිර්මාණය කරනව ද්විතීයික රියැලිටියක්. කතාව අහන/බලන කෙනා ඒක දෙවැනි යතාර්ථයක් කියන අවබෝධය ඇතුව, ඒකට සමවදිනව. ඒත් ඒ කතාව ඇතුලේ පිලිගත නොහැකි දේවල් ඒ කියන්නෙ නිකං , කොච්චර වෙඩි තිබ්බත් වීරයට වෙඩි වදින් නැ වගේ සීන් යද්දි, මේක බොරුවක් කියල හිතට එන සිතුවිලි යටපත් කරගෙනීමටයි suspension of disbelief කියන්නෙ කියලයි ඔහු කිව්වෙ.
මූණු පොතේ කතා බහ

No comments:

Post a Comment