Tuesday, August 15, 2017

වේශ නිරූපණය සත්තුන්ටත්....

ඔය දාල තියෙන රූපෙ (උඩ) රතු පාට අත් වැසුමක් දාන් ඉන්නෙ ඇලෙක්සැන්ඩ්‍රා බැනිස්ටර්. එයාට හොඳට චිත්‍ර අදින්න පුලුවන් වගේම අශ්වයින් ගැන හොඳ අවබෝධයකුත් තියෙනවා . ඉතිං , මේන් මෙයාව තමා ස්ටීවන් ස්පිල්බර්ග්, එයාගෙ War Horse කියන චිත්‍රපටයෙ, අශ්වයින්ගේ වේශ නිරූපණ ශිල්පීන්ගේ උපදේශිකාව විදියට පත් කලේ. ඒ කියන්නෙ , Equine hair and makeup department එකේ ප්‍රධානියා විදියට ඉඳල තියෙන්නෙ මෙයා.
War Horse චිත්‍රපටයට අශ්වයින් අසූවකට වඩා යොදා ගෙන තියෙනවා, ඒ අශ්වයින්ව හැඩ ගන්වන්න වේශ නිරූපණ ශිල්පීන් විසි හය දෙනෙක්ගෙ සේවය ලබා ගෙන තියෙනවා . මෙයාල උදේ පාන්දර පහේ විතර ඉදං තමන්ගෙ රාජකාරිය පටන් ගන්නව. ඒ කියන්නෙ අස්සයො මේකප් කරන්න.
ඉතිං ඇත්තටම මොනවද මේ මේකප් කරනව කියල කරන්නෙ? ඔය වගේ චිත්‍රපට වල අස්සයින්ගෙ ඇගේ මඩ පැල්ලම් , ලේ පැල්ලම් , සීරීම් තුවාල වගේ ඒව තියෙනවා දැකල ඇතිනෙ, ඉතිං ඒව අහඹු ලෙස ඇති වෙලා හෝ ඇත්තටම වෙලා නෙවෙයි . ඒව ඔක්කොම කලින් ප්ලෑන් කරල ඒ ඒ තැන් වල නිරූපණ ශිල්පීන් විසින් "ඇඳපුව" කිව්වොත් නිවැරදි . ඒ වගේම තමා , ඒ පැල්ලම් අදාල දර්ශනය පුරාවට එකම විදියට තියාගැනීමේ වගකීම පැවරෙන්නෙත් මේ මේකප් ආටිස්ට්ලටම තමා. ඒ කියන්නෙ , මුල් දර්ශනයේ අශ්වයෙක්ගෙ වම් කකුලේ තිබුනු මඩ පැල්ලම, ඊලග රූගත කිරීමේදීත් එතැනම ඒ ප්‍රමාණයෙන්ම ඒ පාටින්ම තියෙන්න ඕනෙ. මේ සංතතික බව රැක ගන්න ඒ ගොල්ලො ඒවයෙ ඡායාරූප අරං තියා ගන්නව. ඊට අමතරව ප්‍රධාන චරිතය රඟපාන අශ්වයගෙ මුහුණේ හැඟීම් තිව්‍රර වෙන විදියට උගේ මුහුණටත් අවස්තාවට අදාලව මේකප් එකක් දෙනව.
ඒ වගේම තමා, අශ්වයින් එක්ක රඟපාන අනෙක් රංගන ශිල්පීන්ටත් විශේෂ උපදෙස් ලැබෙනව අශ්වයින් අල්ලන්න ඕනෙ තැන් නොඇල්ලිය යුතු තැන් ගැන මොකද , මේකප් එක ගැලවී යාමේ අවධානමක් තියෙන නිසා.
War Horse වල විතරක් නෙවෙයි , සත්තු රඟපාන හැම හොලිවුඩ් චිත්‍රපටයකම වගේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙනව. මිනිස්සු වගේ නෙවෙයිනේ සත්තු , එයාල එක දිගට දවස පුරා රඟපාන්නෙ නෑ . අනික එහෙම යොදා ගන්න එක නීතියටත් පටහැනියි , ඉතිං බොහෝ චිත්‍රපට වල ප්‍රධාන චරිත රඟපාන සත්තුන්ට, body doubles සහ stand-ins යොදා ගැනෙනව. උදාහරණයක් විදියට , 101 Dalmatians චිත්‍රපටයෙ ප්‍රධාන චරිත රඟපෑ dalmatian වර්ගයේ බල්ලො දෙන්නට එකාට තුන ගානෙ ස්ටන්ට් ඩබල්ස්ල ඉඳල තියෙනවා . උනුත් dalmatian වර්ගයේම උනත්, සර්වසම පෙනුමක් නැති නිසා, එයාලව මේකප් කරල තියෙනව ප්‍රධාන නලුවන්ට (බල්ලන්ට) අයිඩෙන්ටිකල් වෙන විදියට .
හරි, දැන් අනික් රූපෙ පේනව නේද සීබ්‍රා කෙනෙක් ඉන්නව ? ඉතිං ඌ සීබ්‍රා වගේ පෙනුනට ඇත්තටම සුදු අස්සයෙක් ! ඇනිමල් ප්ලැනට් චැනල් එකේ සීබ්‍රාවෙක් ගැන ගිය වැඩසටහනකට ඇත්තටම සීබ්‍රාවෙක් පාවිච්චි කරන්න අමාරු නිසා, එයාල මේකප් ආටිස්ට් කෙනෙක්ට වැඩේ බාරදීල තියෙනවා . ඔය එහා පැත්තෙ හිටගෙන ඉන්නෙ එයා තමා. නම රෝස් ඕඩයිල්. එයා , Animals of a Different Color කියල තමන්ගෙම ආයතනයක් පවත්වගෙන යනව. ඒකෙන් කරන්නෙ ඉතිං සත්තු මේකප් කරන එක තමා. The Artist, We Bought a Zoo, Beverly Hills Chihuahua වගේ චිත්‍රපට කීපයකටම එයා දායක වෙලා තියෙනවා .මේ වගේ වෘත්තිමය මට්ටමින් මේ වැඩේ කරන අය, සත්තුන්ව මේකප් කරන්න භාවිතා කරන්නෙ, උන්ගෙ ශරීර වලට අහිතකර නැති වර්ණක. මොකද ඉතිං සත්තු මේකප් ලෙව කන්න පුළුවන්නෙ.
ඉතිං ඊලග සැරේ සත්තු රඟපාන ෆිල්ම් එකක් බලද්දි සැලකිල්ලෙන් බලන්න. සමහර විට මේ ඇස්බැන්දුම් අදුරගන්න පුලුවන් වෙයි.

No comments:

Post a Comment