Sunday, July 8, 2018

ඔස්කා සම්මාන දෙන්නෙ කොහොමද ?

සමහර වෙලාවට අපිට ඇහෙන ප්‍රශ්නයක් තමා අර ෆිල්ම් එකට ඔස්කා හොඳම ෆිල්ම් එක සම්මානෙ ලැබුනෙ කොහොමද අරක ඊට වඩා හොඳයි නෙ... ආදී වශයෙන් ...
ඇත්තටම කොහොමද මේ සම්මාන දෙන්න තීරණය වෙන්නෙ?
ඔස්කා සම්මාන දෙන්නෙ ඇමරිකාවෙ motion picture academy කියන එකෙන් නෙ. ඔය සම්මාන දෙන්නෙ ඡන්ද ක්‍රමයකින්. හැබැයි හැමෝටම ඡන්දෙ දාන්න බෑ. ඇකඩමි මෙම්බර්ස්ලට විතරයි ඒ අයිතිය තියෙන්නෙ . ඇකඩමියෙ මෙම්බර්ස්ල හයදාස් ගානක් ඉන්නව . මේ හැමෝම චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ අය. මේකෙ මෙම්බශිප් ගන්න නම් චිත්‍රපට සම්බන්ධ කුමන හෝ අංශයක වැඩ පෙන්නල තියෙන්නෙ ඕනෙ. ඉතිං ඔහොම ගත්ත අයට, ඔස්කා සම්මාන ලැබීම සඳහා තියෙන්නෙ ඕන මූලික සුදුසුකම් සපුරපු චිත්‍රපට ලිස්ට් එකක් හදල යවනව . මොනවද මේ සුදුසුකම් ?
- චිත්‍රපටය අවම විනාඩි 40 ක් වත් දිග වෙන්න ඕනෙ.
- චිත්‍රපටයෙ පළමු මහජන ප්‍රදර්ශනය, අදාළ කැලැන්ඩර් වර්ෂය තුලදී , චිත්‍රපට ශාලාවක සිදුවී තියෙන්නෙ ඕනෙ
- චිත්‍රපටය , 35mm හෝ 70 mm ෆිල්ම් ෆොමැට් එකෙන් හෝ, 24 fps , progressive scan digital ෆොමැට් එකෙන් එලිදක්වා තියෙන්නෙ ඕනෙ
- ලොස් ඇන්ජලීස් කවුන්ටියට අයත් චිත්‍රපට ශාලාවක ,මුදල් අයකල මහජන ප්‍රදර්ශනය එක දිගට දවස් හතක් , අදාළ කැලැන්ඩර් වර්ෂය තුළ සිදුකළ චිත්‍රපටයක් වෙන්න ඕනෙ...
මේ සුදුසුකම් සපුරල නම්, අදාල ෆෝම් එක ෆිල් කරල ඇකඩමියට දුන්නොත් , ඒ චිත්‍රපටය අදාළ වර්ෂයේ සම්මාන සඳහා සැලකෙනව . ඒ කියන්නෙ අර මුලින්ම කිව්ව ලිස්ට් එකට ඇතුළු කර ගන්නව. ඊට පස්සෙ ඒ ලිස්ට් එක තමා මෙම්බර්ස්ලට යවන්නෙ. ඊට පස්සෙ එයාල , ඒ ඒ කැටගරියෙ හොඳම ෆිල්ම්ස් තෝරල ඒ ලිස්ට් එකේ ලකුණු කරල ආපහු ඇකඩමියට යවනව . (ඒ කිව්වෙ, සංස්කරණ ශිල්පීයෙකුට මේකෙදි තෝරන්න පුලුවන් හොඳම සංස්කරණය සඳහා චිත්‍රපට ... ඔන්න ඔය වගේ)
ඊට පස්සෙ එහෙම ලැබුනු ඡන්ද පත්‍රිකා ටික ගනන් කරල , ඒවැයින් වැඩිම ඡන්ද ලැබුන ෆිල්ම්ස් පහ ගානෙ නොමිනේට් කරගන්නව. එහෙම තෝරාගත් නොමිනේෂන්ස් ප්‍රසිද්ධ කරල ආපහු ඒවට නැවතත් ඡන්දය විමසනව. ඒකෙදිත් වැඩිම ඡන්ද ලබාගන්න චිත්‍රපට තමා සම්මාන ලබන්නෙ.
හැබැයි , ඔය ක්‍රමය අදාළ වෙන්නෙ හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානය හැර ඉතුරු සම්මාන වලට . හොඳම චිත්‍රපටය (Best Picture ) සඳහා සම්මානය තීරණය වෙන්නෙ ඔයිට ටිකක් වෙනස් ක්‍රමයකින්.
මේ සඳහා සියලුම ඇකඩමි මෙම්බර්ස්ලට ඡන්දය පාවිච්චි කරන්න පුලුවන් . (ඒ කියන්නෙ , ඔබ ඇකඩමියෙ සමාජිකත්වය හිමි අධ්‍යක්ෂවරයෙක් කියමුකො , එතකොට ඔබට හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මාන ලබාදෙන වැඩේට වගේම හොඳම චිත්‍රපටය තෝරන එකටත් ඡන්දය පාවිච්චි කරන්න පුලුවන්)
එතනදි අර මුලින්ම කිව්ව ලිස්ට් එකෙන් වැඩිම ඡන්ද ලබාගන්න ෆිල්ම්ස් දහයක් නොමිනේට් කරගන්නව. පස්සෙ ඒ දහයෙ නම් ප්‍රින්ට් කරපු ballot paper එකක් හැම මෙම්බ කෙනෙක්ටම යවනව. ඒකෙදි තමන් කැමතිම චිත්‍රපටයට අංක එක සිට කැමැත්ත අඩුම එක දහය වෙනකං අංක දාල , ආපහු ඇකඩමියට දෙන්න ඕනෙ.
ඉන් පස්සෙ ඡන්ද ගනන් කිරීම සිදුවෙනවා . මේක කරන්නෙ ප්‍රයිස් වෝටර්හවුස් කූපර්ස් කියල විඝණන සමාගමක් . එයාල බොහොම රහසිගතව තමා මේක කරන්නෙ. එතකොට මේ ලැබුනු ඡන්ද පත්‍රිකා වල පළමු කැමැත්ත ලැබිල තියෙන විදියට ගොඩවල් ගහනව . හැබැයි මොකක් හරි චිත්‍රපටයක් හොඳම එක විදියට තෝරාගන්න නම් ඒකට මුලු ඡන්ද සංඛ්‍යාවෙන් සීයට පනහකට වඩා ලැබෙන්න ඕනෙ. ඒ කියන්නෙ මුලු ඡන්ද ගාන සීයක් නම් , අඩුම පනස් එකක් වත් ලැබෙන්න ඕනෙ. අපි හිතමුකො ඔක්කොම ගොඩවල් ගැහුවයින් පස්සෙ , එක ෆිල්ම් එකකටවත් ඔය කියන ප්‍රමාණය තිබුන් නෑ කියල , එතකොට කරන්නෙ , අඩුම ඡන්ද ගොඩ තියෙන ෆිල්ම් එකේ ඡන්ද කොල ටික අරං ඒකෙ දෙවැනි මනාපය සලකන එක. එතකොට අර ෆිල්ම් එක (අඩුම එක) ඉබේම ඉවත් වෙලා ඒකෙ ඡන්ද ටික දෙවැනි මනාපය අනුව අනික් ෆිල්ම්ස් අතරේ බෙදිල යනව . ඔහොම කරලත් එකකටවත් 51% ක් ලැබුනෙ නැත්තං , ආයි ඊලඟට අඩුම ෆිල්ම් එකේ ඡන්ද ටික බෙදනව . ඔන්න ඔහොම කරන් යද්දී එක්තරා අවස්ථාවක යම් චිත්‍රපටයක් මුලින්ම 51% සීමාව පන්නනව. එතකොට ඒක තමා හොඳම චිත්‍රපටය කියල තෝරගන්නෙ. ඉතිං ඇත්තටම බැලුවම තේරිලා එන්නෙ බහුතරයක් මෙම්බර්ස්ල වැඩිම මනාපයක් /ඉහළ මනාපයක් ලබල දීපු චිත්‍රපටයක් , තවත් හොඳට කිව්වොත් , හැමෝම අඩුවෙන්ම අකමැති චිත්‍රපටයක් . ඉතිං එහෙම බැලුවම අපි අපි අතරේ හොඳම ෆිල්ම් එක විදියට ඒක තේරුනේ ඇයි ? අරක නොතේරුනේ ඇයි වශයෙන් වාද විවාද තිබ්බත්, හොඳම චිත්‍රපටය තෝරා ගන්න භාවිතා වෙන ක්‍රමය සෑහෙන්න සාධාරණ ක්‍රමයක් කියලයි මට හිතන්නෙ .

මූණු පොතේ කතා බහ

No comments:

Post a Comment