Wednesday, December 27, 2017

Tulip Fever (2017)

මීට අවුරුදු හාරසීයකට විතර කලින් ඕලන්දක්කාරයොන්ට, එහෙමත් නැත්තං ලන්දේසීන්ට (දැන් නෙදර්ලන්තය) අමුතු "උණක්" හැදුන. උණක් කියන්නෙ මේනියාවක්: සල්ලි තිබ්බ හැමෝම වගේ ටියුලිප් මල් වල බල්බ (ගහේ පසට යටින් ඇති ළූණු ගෙඩිය වගේ කොටස) සල්ලි වලට ගත්ත . එහෙම අරං ඊටත් වඩා වැඩි මුදලකට වෙන්දේසියේ විකුණුවා. හොඳ හොඳ ලස්සන සහ දුර්ලභ ටියුලිප් මල් වල බල්බ, හිතාගන්න බැරි ලොකු ලන්සු වලට වෙන්දේසියේ විකිණුනා... එතකොට එහෙම ලැබෙන සල්ලි වලින් සමහරු අක්කර ගනන් අරං ඒවයෙ ටියුලිප් වගා කලා... ඒව ආපහු වෙන්දේසි කළා. එහෙම කරල සමහර අය ලොකු සල්ලි කාරයො උනා. හැබැයි , මේක මේනියාවක් . මොකද මේ ටියුලිප් මල් බල්බ වලට තිබ්බෙ, ඇත්ත වටිනාකමක් නෙවෙයි. හැමෝම වටිනාකමක් ලබාදීපු නිසා ලැබුනු කෘතිම වටිනාකමක් මිසක් , නිරපේක්ෂ වටිනාකමක් නෑ . ඉතිං මේක ඇත්තටම සූදුවක් වගේ.... සරලව කිව්වොත් , තමන් ලඟ තියෙන ටියුලිප් මල් බල්බ වටින්නෙ, ඒව තව කෙනෙක් ලොකු ගානක් දීල ගන්නව කියන "සම්මතය" තියෙනකං විතරයි . ඉතිං ඔහොම ගිහිල්ල එක මොහොතකදි, මේ වාණිජමය පෙණ බුබුල පුපුරල ගියා . ඒ කියන්නෙ , හිටි ගමන් ටියුලිප් බල්බ වලට මිනිස්සුම දීල තිබ්බ වටිනාකම, මිනිස්සුම ප්‍රතික්ෂේප කළා... එක්දාස් හයසිය තිස් හතේ, පෙබරවාරි මාසෙ දවසක තිබ්බ වෙන්දේසියකදි, ටියුලිප් කාටවත්ම ඕන උනේ නෑ ... ඉතිං අර අක්කර ගනන් ටියුලිප් වගා කරගෙන , ඒවට සෑහෙන සල්ලියක් යට කරපු උන්ට සරලවම "කෙළ උනා". හැබැයි මේකෙන් ගොඩ ගිය අයත් හිටියා.
හරි , කොහොම උනත් ඔය කෙටියෙන් කිව්වෙ, Tulip Fever චිත්‍රපටය පසුබිමේ යන කතන්දරයක් . චිත්‍රපට කතාව ඕක නෙවෙයි . මේ ෆිල්ම් එක කාගෙවත් වැඩි අවධානයට ලක් උනේ නැතත්, ලස්සන කතාවක් තියෙන ෆිල්ම් එකක් . කම්මැලි නැතුව බලන්න පුලුවන් . බාගයක් බලල ඉතුරු ටික පහුවෙනිද බලනව කියල පටන් ගත්තු එක අන්තිමේ එක සැරේට බලල ඉවර කලා. මේක ඉතිං මහා ගැඹුරු එකක් නං නෙවෙයි. ආදරය, දරුවො, සල්ලි වගේ අපි ජීවිතේ පුරා වැඩි වැඩියෙන් හොයන, බලාපොරොත්තු වෙන දේවල් හොයාගන්න මිනිස්සු වෙහෙසෙන හැටි, වෙහෙසිලා හෙම්බත් වෙන හැටි , එපා වෙලා අතඇරල යන හැටි.... මේව ලංකාවේද , ඕලන්දෙද , එක්දාස් හයසීයෙද, විසිඑක්වෙනි සියවසේද කියල වෙනස් වෙන්නෙ නෑ ... ඒක තමා මේ චිත්‍රපටය තුළත් පෙන්නන්නෙ. ඒක නිසා, ඕන කෙනෙක්ට රස විඳින්න පුලුවන් හොඳ ෆිල්ම් එකක් කියල හඳුන්වන්න පුලුවන්. මග ඇරුනනං බලන්න එහෙනං....
මූණු පොතේ කතා බහ

No comments:

Post a Comment