Wednesday, December 13, 2017

මිහිරි මතක හද රැඳේ....2

දැන් ඔය හොඳයි කියල හිතෙන ඕනෙ ෆිල්ම් එකක් හෝල් එකට ගිහින් ටිකට් එකක් අරං බලල එන එක නතිං උනාට, පොඩි එකා කාලෙ එහෙම නෑනෙ ඉතිං. ෆිල්ම් එකක් බලන්න යන්න අම්ම හරි තාත්තා හරි එක්ක යන්න ඕනෙ. චූටිම කාලෙ. පස්සෙ ඉතිං ගෙදරින් සල්ලි ඉල්ලං යාලුවො එක්ක යනව. දැන් නම් ඉතිං හම්බ කරන නිසා මොකාගෙන්වත් අවසර ගන්න වත් සල්ලි ඉලන්නවත් ඕනෙ නෑ. හිතුන ගියා බැලුව. මට මතකයි ඔන්න ඉස්සර කාලෙ ගොඩ්සිලා ෆිල්ම් එක කොළඹ හෝල් වලට ආව. මට ඉතිං මාර ආසයි ඕක බලන්න යන්න. ඒත් ඉතිං යන්න උනේ නෑ. හැබැයි දෙවැනි වටයේදී, කොළඹ සුපිරි හෝල් වලින් ගැලවිලා, ගමේ ගොඩේ දෙකපහේ හෝල් වලට ඕක එන බව දැනගෙන මම රැකල හිටියා. හිතුව වගේම යන්තං කිරිබත්ගොඩ හිමාලි එකට ආව. ඉතිං වද කරල කරල තාත්තව කැමති කරවගත්ත ඕක බලන්න යන්න. ඔන්න කොහොම හරි යන්තං හෝල් එකට ගියා කියමුකො. හෝල් එහෙකට ගිහින් ෆිලුමක් බලනව කියන්නෙ හැමදාම නොලැබෙන අත්දැකීමක් නිසා උපරිම විඳිනව ඉතිං ඒ දවස් වල.... ඔන්න ගොඩ්සිලා සීන් එකට එන්ටර් වෙලා ෆිල්ම් එකේ කලයිමැක්ස් එක හරියෙදි මම හැරිල තාත්තා දිහා බැලුව නිකං , "දැක්කනෙ , මම කිව්වෙ නැද්ද සුපිරි කියල අපරාදෙ බලන්න ආවෙ නැත්තං " වගේ දෙයක් කියන්න හිතාගෙන , අනේ ඒ මනුස්සයට නින්ද ගිහින් !! 😲 අච්චර අර ගොඩ්සිලා කෑ ගහනව මේ මනුස්සය නිදි.! ගොඩ්සිලා දන්නව නම් ආයෙ මිසයිල දානකන් ඉන්නෙ නෑ, විලි ලැජ්ජාවට මුහුදෙ පනිනව. 😃 හරි ඉතිං කොහෙමෙන් කොහොම හරි යන්තං ගොඩ්සිලා බලා ගත්ත මම . තාත්තටත් ඉතිං හොඳට නින්ද ගියා . ඒකත් මදෑ.
ඔය ගොඩ්සිලා බලන්නත් අවුරුදු ගානකට කලින් තමා ජුරාසික් පාක් ලංකාවට ආවෙ. ඒ කාලෙ ඉතිං සූටිම සූටි බබා කාලෙ. කොටින්ම චිත්‍රපටියක් , හෝල් එකක් කියන්නෙ මොකද්ද කියලවත් තේරෙන්නෑ . ඒත් ආසයි හැබැයි . ඔන්න අම්මට කනින් කොනින් ආරංචි වෙලා තිබ්බ හොඳ ෆිල්ම් එකක් ඇවිල්ල කියල . ඉතිං අපි කට්ටියම ගියා ලිබර්ටි එකට ජුරාසික් පාක් බලන්න . ඇත්තටම අපි විතරක් නෙවෙයි , සාමාන්‍යයෙන් චිත්‍රපටි නොබලන අය පවා බහුතරයක් ඔය ෆිල්ම් එක බැලුව. මොකද ඒක ඇත්තටම බලපු හැමෝටම මින් පෙර නොවී විරූ අත්දැකීමක් වුනු නිසා. ඊට කලින් චිත්‍රපටි වල ඔය විදියට සජීවීව ඩයිනෝල ඉඳලම නෑ මම දන්න තරමින් . හරි ඉතිං , ඔන්න කොහොම හරි බැල්කනියෙම බලන්න සෙට් වුනා අපි ෆිල්ම් එක. කලිනුත් කිව්ව වගේ මේ කාලෙ මොන්ටිසෝරි යන වයසෙ ඉතිං . හැබැයි ඔය ඩයිනෝසෝර්ල ගැන එහෙම හෙන උනන්දුයි. ෆිල්ම් එක පටන් අරගත්තට ඉතිං ඉංග්‍රීසි තේරෙන්නෑනෙ. මම හිතුවෙ ඒකෙ ඉන්න අර විද්‍යාඥ ජෝඩුව අම්මයි තාත්තයි, අර පොඩි උන් දෙන්න එයාලගෙ දරුවො කියල . වයසක කෙනා තමා සීය. ඊට අමතරව ඩයිනෝල ගැන කිව්වොත් ප්‍රධාන වශයෙන් , මම "බෙල්ල දිග කොළ කන එකා" සහ "මස් කන ලොකු එකාව" කියල අඳුනගත්තා. මම හිතුවෙ, අර පොඩි මස් කන උන් ලොකු එකාගෙ පැටව් කියල . (වෙලෝසිරැප්ටර්ස්ල , ටී - රෙක්ස්ගෙ පැටව් කියල 😁) කොහොමින් කොහොම හරි ෆිල්ම් එකේ උච්ච අවස්ථාවෙ අර ටී රෙක්ස්, වාහන වලට ඇටෑක් කරල දෙවනත් වෙන්න කෑ ගහද්දී , මගෙත් දරාගැනීමේ සීමාව පැන්න. මාත් පුටුවෙන් නැගිටල ඌට නොදෙවෙනි වෙන්න හෝල් එක දෙවනත් වෙන්න යටිගිරියෙන් කෑ ගැහුව! කෑ ගහල එහෙම්ම සීට් එකේ අනික් පැත්තට හැරිල සීට් එකේ මූණ ඔබාගෙන, තාත්තෙ ඌ ගියාද කිය කිය අහ අහ හිටිය ටී රෙක්ස් සීන් එකෙන් අහක් වෙනකම්ම . 😂 ඒ යකා ගියැයින් පස්සෙ තමා යන්තං හිත හදන් ඉතිරි ටික බලාගත්තෙ. 😁 ගෙදර ඇවිල්ලත් දවස් ගානක් යනකම්ම මම හිටියෙ ජුරාසික් පාක් එකේ. පිස්සුව කොච්චර උපරිම උනාද කියනවනම් , පස්සෙ ගෙදර පොඩියට ජුරාසික් පාක් එකක් හැදුව මැටියෙන් . කොහොම උනත් ජුරාසික් පාක් කියන්නෙ , පුංචිම කාලෙ මගේ හිත වසඟ කරපු , බොක්කටම වැදුනු ෆිල්ම් එකක් . ඒ වැදිච්ච පාර තාම එහෙමයි. මේ ලඟදි ආයි ඒක බලල , ජුරාසික් වර්ල්ඩ් එකත් ඒ ගැම්මටම බැලුව . මොනා උනත් පරණ එකට මම තාම ආදරෙයි . ඒකෙ සම්පුර්ණ ගෞරවය ස්ටීවන් ස්පීල්බර්ග් මහත්තයට දෙන්න ඕනෙ අර පුංචි එකාව පිස්සු වැට්ටුවට.
මූණු පොතේ කතා බහ

No comments:

Post a Comment