Saturday, February 23, 2019

හතර වෙනි බිත්තිය සහ එය බිඳීම...

සාමාන්‍ය වේදිකාවක් ගත්තම පිටිපස්සෙ බිත්තිය සහ දෙපැත්තේ බිත්ති දෙක සැලකුවාම බිත්ති තුනයි. එතකොට හතරවෙනි බිත්තියක් තිබ්බොත්, ඒක තියෙන්නෙ ඕනෙ නලු නිලියන් රඟන වේදිකාව සහ ප්‍රේක්ෂකාගාරය අතරයි. නමුත් එහෙම ඇත්තටම බිත්තියක් නෑනෙ. ඒත් එතන අදෘශ්‍යමාන බිත්තියක් තියෙනවා කියල හිතාගෙන තමයි සාමාන්‍යයෙන් නාට්‍යයක් රඟදක්වන්නේ. ඒ කියන්නෙ, රඟපාන නලු නිලියන් ප්‍රේක්ෂකයන්ට කෙලින්ම කතා කරන්නෙ හෝ මේක නාට්‍යයක් කියන දේ කෙලින්ම කියන්නෙ හෝ නෑ. හැබැයි සමහර නිර්මාණ වලදී නලු නිලි පිරිස් කෙලින්ම ප්‍රේක්ෂකයන්ට කතා කරනවා. ඒ කියන්නෙ ප්‍රේක්ෂකාගාරය පැත්තට හැරිලා දෙබස් කියන එක නෙවෙයි මේ කියන්නෙ, කෙලින්ම 'මේක නාට්‍යයක් , ඔයාල ප්‍රේක්ෂකයො' කියන දේ ඇඟවෙන විදිහට කතා කරනව. අන්න එහෙම කරනවට තමා , හතර වෙනි බිත්තිය බිඳිනවා කියල කියන්නෙ (breaking the fourth wall).

මුලින්ම වේදිකාවෙන් පටන් ගත්තට දැන් මේක ටෙලිනාට්‍ය චිත්‍රපට වගේ අනික් මාධ්‍ය වලටත් පොදු දෙයක්. හැබැයි එතෙන්දි , ප්‍රේක්ෂකයා වෙනුවට තියෙන්නෙ කැමරාව නිසා ටෙලිනාට්‍යක හෝ චිත්‍රපටයක ෆෝර්ත් වෝල් එක බ්‍රේක් කරන්න ඕනෙනම් කරන්න තියෙන්නෙ කෙලින්ම කැමරාව දිහාට හැරිලා කැමරාවට කතා කරන එක.
මේක පාවිච්චි කරපු එක උදාහරණයක් තමා Malcom in the Middle සීරීස් එක. මේ කතාවල හිටපු ගමන් මැල්කම් කැමරාවට, ඒ කියන්නෙ අපිට කෙලින්ම කතා කරල එක එක දේවල් කියනවා. හැබැයි එයා එහෙම කතා කරන එක , ඒ කතාව තුළ ඉන්න අනික් චරිත වලට දැනෙන්නේ නෑ .
ඉස්සර ඉඳලම චිත්‍රපට වල කතාව කීමේ සහ රසවත් බව ඇති කිරීමේ එක උපක්‍රමයක් විදිහට මේ හතර වෙනි බිත්තිය බිඳින එක පාවිච්චි කලා. මෑතකදී ඒ බිත්තිය අමු අමුවේ සුණුවිසුණු කරපු ෆිල්ම් එකක් තමා ඩෙඩ්පූල් පළවෙනි ෆිල්ම් එක. ඒකෙ අන්තිමට අර ඩෙඩ් පූල් බාත්රෝබ් එහෙකුත් ඇඳන් ඇවිදින් ප්‍රේක්ෂකයන්ට හෙන සවුත්තු නෝන්ඩියක් දාන්නෙ, ෆිල්ම් එක ඉවරයි වෙන මුකුත් පෙන්නන්නේ නෑ දැන් ගෙදර පලයව් කියල 😂. (ඇත්තටම මේකෙ ඔරිජිනල් සීන් එක, 1986 ආපු Ferris Bueller's Day Off චිත්‍රපටයේ තියෙන එකක්.)

ඩෙඩ්පූල් එහෙම අමු අමුවේ හතර වෙනි බිත්තියෙන් එලියට පැනලා ප්‍රේක්ෂකයන්ට කෝචොක් කලාට, ඊට වඩා බොහොම සංයමයෙන් දැනෙන නොදැනන ගානට මේ බිත්තිය කඩපු අවස්තාවක් තියෙනවා ලංකාවේ චිත්‍රපටියක. "බඹර වළල්ල" ෆිල්ම් එක බලල තියෙනවනම් ඒකෙ අන්තිම සීන් එක මතක ඇති. ඒකෙදි ප්‍රේක්ෂකයාව කැමරාව ඔස්සේ මිනීපෙට්ටි සාප්පුවට එන කස්ටමර් කෙනෙක් බවට පත්කරලා ඊට පස්සෙ ප්‍රධාන චරිතය අපෙන්, ඒ කියන්නෙ ප්‍රේක්ෂකයගෙන්, අහනව "පෙට්ටියක් තෝර ගත්තද?" කියල. චිත්‍රපටය පුරාවටම නොබිඳ රැකගන්න හතර වෙනි බිත්තිය අන්තිමට බොහොම සූක්ෂම විදිහට බිඳලා ඒ හරහා අපෙන් අහන ඒ ප්‍රශ්නය, හිතට තදටම වදිනවා.

No comments:

Post a Comment