Saturday, February 23, 2019

Diegetic සහ non- diegetic....

චිත්‍රපටියක තියෙන මුලු අන්තර්ගතය diegetic සහ non- diegetic කියල බෙදල වෙන් කරන්න පුලුවන්.
හැබැයි මේක දැනන් ඉන්න ඕනෙ නෑ ෆිල්ම් එකක් රස විඳින්න. ඒත් ඉතිං ෆිල්ම්ස් ගැන ඕනවටත් වැඩිය හොයනවනම් මේ ගැන දැනටමත් දන්නව ඇති සමහරවිට.

චිත්‍රපටියක් ගත්තම ඒකෙ යනවනෙ කතාවක්. ඕකට ආඛ්‍යානය කියලත් කියනව. ඒ කියන්නෙ "narrative" එක. ඉතිං ඔය කතන්දරයට ඍජුවම දායක වෙන රූප සහ ශබ්ද ටික අයිති වෙන්නෙ චිත්‍රපටයෙ diegetic කියන කොටසට. තවත් පැහැදිලි කලොත් , චිත්‍රපටයේ විස්තර වෙන කතන්දරයට අයිති, ඒ "කතන්දර ලෝකෙට" අයිති ශබ්ද සහ රූප ටිකට කියන්නෙ ෆිල්ම් එකේ diegetic content එක කියලයි. චිත්‍රපටයක වැඩියෙන්ම තියෙන්නෙත් මේක තමා. නලු නිලියන්ගෙ දෙබස්, ඒ ලෝකය තුළ තියෙන බඩු මුට්ටු, පසුතලය සහ ඒ දේවල් නිසා ඇති වෙන ශබ්ද මේ diegetic කියන කොටස යටතට ගැනෙනවා.
එතකොට ඔබට ප්‍රශ්නයක් ඇති වෙයි, ඕවට අයිති නැති දේවලුත් ෆිල්ම් එහෙක තියෙනවද කියල.
ඔව් තියෙනවා. අන්න ඒ ටිකට තමා non-diegetic කියල කියන්නෙ. Non diegetic රූපත් තියෙනවා ශබ්දත් තියෙනවා. ඒත් nondiegetic රූප වලට ෆිල්ම්ස් වල උදාහරණ ඉතා විරලයි. ඒත් දැකපු එක උදාහරණයක් විදිහට දෙන්න පුලුවන් , Rubber (2010) චිත්‍රපටයේ මුල් දර්ශනය. මේ Rubber කියන ෆිල්ම් එකත් අමුතුම ෆිල්ම් එකක්. මේකෙ කතාව යන්නෙ, මිනීමරු ටයර් එකක් ගැන. චිත්‍රපට කතාවට අනුව ඔන්න හිටපු ගමන් ටයර් එකකට පණ එනවා. ඊට පස්සෙ මේ ටයර් එක මිනී මර මර යනවා. ඕක තමා කතාව. ඒත් ඒ "කතාව" පටන් ගන්න කලින්, ඒ කතන්දරේ "ලෝකෙට" අයිති නැති දර්ශනයක, එක් කෙනෙක් ඇවිදින් ප්‍රේක්ෂකයන්ට කතා කරමින්, මේ ලෝකෙ හැම දේකටම හේතු හොයාගන්න බැරි බවත් , කිසිම හේතුවක් නැතුව සිද්ද වෙන දේවලුත් තියෙනවා කියලත් කියනවා. ඉතිං ඔන්න ඔය පටන් ගන්න සීන් (opening scene) එක සම්පුර්ණයෙන්ම nondiegetic scene එකක්. (මේ සීන් එක යූ ටියුබ් තියෙනවා, බැලුවම තේරුම් ගන්න පුලුවන් ලේසියෙන් )

හරි ඒ කිව්වෙ nondiegetic රූප වලට උදාහරණයක්. ඒව තමා හොයාගන්න අමාරු . ඒත් nondiegetic ශබ්ද කියන දේ නම් හැම ෆිල්ම් එහෙකම වගේ තියෙන දෙයක්. චිත්‍රපටයක පසුබිම් කතනයක් (narration) තියෙනවනම් ඒක අයිති වෙන්නෙ මේ nondiegetic sounds යටතටයි. ඊට අමතරව, ෆිල්ම් එකේ soundtrack එක සහ චිත්‍රපටයේ කතාව තුලින් උත්පාදනය නොවී, භාහිරින් එකතු කරපු ශබ්ද ප්‍රයෝග වගේ දේවලුත් අයිති වෙන්නෙ මේ nondiegetic ශබ්ද කොටසටයි.

ආපහු සරලව කිව්වොත්, චිත්‍රපටයේ කියවෙන කතාව තුළ ඉන්න චරිත වලට ඇහෙන හඬවල් (මේවා අපිට නොහොත් ප්‍රේක්ෂකයන්ට කොහොමත් ඇහෙනවනෙ) සැලකෙන්නේ diegetic (sounds) විදිහටයි. අපිට ඇහෙන, නමුත් කතාව තුළ ඉන්න පාත්‍රවර්ගයාට නොඇසෙන හඬවල්, සංගීතය වගේ දේවල් සැලකෙන්නේ nondiegetic (sounds) ලෙසටයි.

ඇත්තටම මේ nondiegetic , diegetic කියන කතන්දරේ වැඩියෙන්ම අදාල වෙන්නෙත් මේ ශබ්ද වලට තමයි. (රූප සම්බන්ධයෙන් උදාහරණ හොයාගන්න වුනත් අමාරුයි )
කොහොම වුනත්, මේ nondiegetic සහ diegetic කියන කලාප දෙක අතර පොඩි පොඩි සෙල්ලම් දැමීමෙන්, තමන්ගෙ චිත්‍රපටය වඩාත් රසවත් කරන්න සමහර අධ්‍යක්ෂවරු සමත් වෙලා තියෙනවා . මේක බොහෝවිට කරල තියෙන්නෙ කොමඩි ෆිල්ම්ස් වලයි. හිතමුකො ඔන්න පසුබිමේ ඇහෙන සංගීතයක්, අපි හිතන්නේ ඒක ඇහෙන්නේ අපිට, නලුවට ඇහෙන්නේ නෑ කියල . ඒත් හිටපු ගමන් නලුවා වට පිට බලල ඇහුවොත් මොකද්ද ඒ සද්දෙ කියල , අන්න එතකොට ඒක (අවස්තාව අනුව) , nondiegetic සහ diegetic අතර කලවමක් (flip) කිරීමෙන්, ප්‍රහසනය උත්පාදනය කරපු අවස්තාවක් වෙනවා.

1974 දී ආපු Blazing Saddles කියන චිත්‍රපටය තුලත් මේ nondiegetic / diegetic sounds පටලවල රසවත් කරපු අවස්තාවක් තියෙනව. මේකෙ කව් බෝයි කෙනෙක් යනවා අස්සයගෙ පිටේ. පසුබිමේ සංගීතයක් ඇහෙනවා. ඉතිං මේක චිත්‍රපට පසුබිම් සංගීතයක් මිසක්, අර කව්බෝයිට ඇහෙන එකක් කියල අපිට නිකමටවත් හිතෙන්නෙ නෑ . ඒත් මෙන්න මෙයා අස්සයගෙ පිටේ ඉස්සරහට එද්දි, කාන්තාර පරිසරයක් මැද්දෙ, ලොකු orchestra එකක් අර මියුසික් එක ඇත්තටම වාදනය කරනවා. එතකොට ක්ෂණිකව, අපි nondiegetic යැයි හිතපු සවුන්ඩ් එක ,diegetic බවට පත්වෙනවා. එතෙන්දි ඒක comic device එකක් විදිහටයි පාවිච්චි වෙන්නෙ....

ඒ වගේම , nondiegetic විදිහට සැපයෙන සංගීතයක් මගින්, diegetic කලාපයේ දෙයක් නියෝජනය කරන්නත් පුලුවන් ඒක නොපෙන්වා. උදාහරණයක් විදිහට , nondiegetic විදිහට එන Jaws (1975) චිත්‍රපටයේ විශේෂ සංගීත ඛණ්ඩයක් මගින්, ඒකෙ ඉන්න මෝරාගේ පැමිණීම සංඛේතවත් කරල තියෙනවා . ඒකෙන් ස්ටීවන් ස්පිල්බර්ග්, අවස්තා කීපෙකදිම අපිට මෝරාව නොපෙන්වා , මෝරාට පේන හැටි එක්ක අර කිව්ව සංගීතය මිශ්‍ර කිරීම තුලින්, මෝරව "පෙන්නනවා".

තවත් උදාහරණයක් කිව්වොත් මෑතකදී ආපු, Birdman චිත්‍රපටයේ නිතරම ඩ්‍රම් සෙට් එකකින් එන හඬක් එනවා පසුබිමේ. අපි ප්‍රේක්ෂකයන් විදිහට හිතන්නෙ, මේක පසුබිම් සංගීතයක් (nondiegetic) නිසා නලු නිලියන්ට ඇහෙන්නේ නැතුව ඇති කියලයි. ඒත් එක තැනකදි බලපුවම ඒ හඬ එන්නෙ චිත්‍රපටය තුල ඉන්න ("කතන්දර ලෝකය" තුල ඉන්න ) පාර අයිනේ ඩ්‍රම් සෙට් එකක් වාදනය කරන කෙනෙක්ගෙන්. මෙතෙන්දි ප්‍රේක්ෂකයා nondiegetic විදිහට විශ්වාස කරන් ඉන්න දෙයක් එකපාරටම diegetic කලාපයට ගෙනල්ලා, පොඩි twist එකක් දාල අධ්‍යක්ෂවරයා අමුතු රසයක් එකතු කරනවා. ඉතිං ඒ රසය විඳින්න ඔබට මේ nondiegetic / diegetic කතන්දරේ දැනන් ඉන්න ඕනෙ නෑ. හැබැයි දැන් , ඒක දන්න නිසා, ඒ රසය උත්පාදනය වුනේ කොහොමද කියන එක තේරුම් ගන්න පුලුවන් .

කෙසේ හෝ වේවා, මේ nondiegetic/ diegetic වර්ගීකරණ වල අලගිය මුලගිය තැන් හොයාගෙන ගියොත් ඒවා ඈත අතීතයටම යනවා. කොටින්ම ඉස්සර ග්‍රීසියේ හිටපු ප්ලේටෝ ,ඇරිස්ටෝටල් වගේ දාර්ශනිකයො තමා, මේ කතන්දරයක් කීමේ විවිධ "ක්‍රම" පිලිබඳ මූලික සංකල්ප ලෝකෙට හඳුන්වලා දීලා තියෙන්නෙ. දැන් ඔය ෆිල්ම්ස් වලට පාවිච්චි වෙන්නත් ඇත්තටම ඒවයින් ව්‍යුත්පන්න කරගත්තු දේවල් තමා.

අවසන් වශයෙන් , මේ nondiegetic , diegetic කතන්දරේ තේරෙන් නැත්තං ඒක අමතක කරල දාල සාමාන්‍ය විදිහට ෆිල්ම්ස් බලන්න ඕන කෙනෙකුට පුලුවන් . මොකද මේ සංකල්ප වල අන්තඵල විදිහට නිර්මාණය වෙන කතා රසය විඳින්න, ඒ සංකල්ප තේරුම් ගැනීම අවශ්‍ය නැති නිසා....


No comments:

Post a Comment