Saturday, February 23, 2019

J සහ L cuts

අපි දන්නෙ නැති භාෂාවක් කතා කරන රටකට ගිහිල්ලා කාලයක් හිටියම ඉබේම අපිට ඒ භාෂාව කතා කරන්න පුලුවන් වෙනවා. හැබැයි ඒ අපි ඒක ඉස්කෝලේ ගිහින් හෝ ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන නෙවෙයි. ඒ මිනිස්සු එක්ක ඉඳල එයාලා කියන දේ අහන් ඉඳල ටිකින් ටික ඒ භාෂාව අපිටත් කතා කරන්න පුලුවන් වෙනවා. හැබැයි, ඒකෙ තියෙන ව්‍යාකරණ නීති රීති, අකුරු , මහප්‍රාණ ආදිය අපිට තේරුමක් නෑ.

චිත්‍රපට බැලිල්ලත් ඒ වගේ නේද ? ඒක රූප වලින් සැදුණු භාෂාවක් නම්, අපි ඒවා කාලයක් තිස්සෙ බලද්දි, අපිට ඒක තේරෙනවා. ඒ කියන්නෙ චිත්‍රපට කතාව තේරෙනවා කියන එක නෙවෙයි, චිත්‍රපටය හොඳද නැද්ද, අරක මෙහෙම කලානම් වඩා හොඳයි නේද වගේ අදහස් පල කරන්න පුලුවන් වෙනවා. හැබැයි අපි ඒ භාෂාව ඉගෙනගෙන තියෙන්නෙ ඒක දිහා බලන් ඉඳලා මිසක්, නිල වශයෙන් ඉගෙනගෙන නෙවෙයි නිසා චිත්‍රපටයේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා කියන්න මිසක් ඒ අහවල් හේතුව නිසාය කියන්න ප්‍රේක්ෂකයො විදිහට අපිට තේරුමක් නෑ. කොටින්ම අපි සිනමා භාෂාවේ ව්‍යාකරණ දන්නෙ නෑ. ඉතිං එහෙම දේවල් ටිකකුත් අපි අපිම දැන ගත්තොත්, අර කිව්ව රූප භාෂාව වඩාත් හොඳට තේරුම් ගන්න, විනිවිද දකින්න පුලුවන් වෙයි නේද ?

ඉතිං එහෙම හිතාගෙන චිත්‍රපට සංස්කරණය ගැන පොඩ්ඩක් හොයල බැලුවා.

සාමාන්‍යයෙන් චිත්‍රපටයක් සංස්කරණය කරනවා කියන දේ දෙවැනි වෙන්නෙ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවාට විතරයි කියලත් කියනවා. මොකද ඒ තරම්ම වැදගත් වැඩක් ඒක. සංස්කරණය චිත්‍රපටයේ අවසන් ප්‍රතිඵලයට කොච්චර බලපෑමක් එල්ල කරනවද කියනවනම්, අකිර කුරසොවා, කොඑන් බ්‍රදර්ස්ල වගේ ලෝක ප්‍රසිද්ධ සමහර අධ්‍යක්ෂවරු, තමන්ගෙ චිත්‍රපට තමන්ම සංස්කරණය කරගෙන තියෙනවා.
චිත්‍රපට සංස්කරණය හරියට නොකලොත්, චිත්‍රපටය සංස්කරණය කරල තියෙන බව ප්‍රේක්ෂකයන්ට දැනෙන්න ගන්නවා. ඒ කියන්නෙ රූපාවලි (දර්ශන) කපල අලෝලා කියල තේරෙන්න ගන්නවා. ඒක ඇහැට වෙහෙසක් ගෙන දෙනවා වගේම, චිත්‍රපටයේ කතාවෙන් ප්‍රේක්ෂකයා මුදවලා, වීඩියෝ කැපෙන කෙටෙන විදිහ ගැන ඔවුන්ගේ අවධානය යොමු වෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට, එහෙම කිරීමේ (ඒක දැනෙන්න අරින්න) නිර්මාණාත්මක අවශ්‍යතාවක් තිබුනොත් හැරෙන්නට, එහෙම ප්‍රේක්ෂක අවධානය බිඳිල, ඔවුන් චිත්‍රපටයේ ආඛ්‍යානය තුල නිමග්න වෙලා ඉන්න එකෙන් ගැලවිලා යන විදිහට සංස්කරණය වුනා කියන්නෙ, ඒ සංස්කරණය අසාර්ථක එකක් කියන එකයි. ඒකෙම විලෝමය තමා, හරියට සංස්කරණය කළා කියන්නෙ සංස්කරණය කියල දෙයක් වෙලාය කියල බලන කෙනාගෙ ඇහැට දැනෙන්න බෑ. ඒක සැඟවිලා තියෙන්නෙ ඕනෙ. මේ නිසාම සාර්ථක සංස්කරණය යන්න සැඟවුණු කලාවක් කියලත් හඳුන්වනවා (Hidden art).

ඉතිං මේ විදිහට ප්‍රේක්ෂක ඇසට හොරෙන්, ඇස් ඉදිරියේ ලස්සනට කතාවක් ගලායන විදිහට (continuity of narrative) සාර්ථක සංස්කරණයක් කරන්න, සංස්කරණය ශිල්පීන් නොයෙකුත් ශිල්පීය උපක්‍රම පාවිච්චි කරනවා.

සාමාන්‍යයෙන් තනි රූපාවලියක් තවත් එකකින් වෙන් කරගන්න එකට කියන්නෙ කට් එකක් කියලයි (cut) මේ වගේ කට්ස් ගොඩක් එකතු වෙලා තමා චිත්‍රපටයක් හැදෙන්නේ. මේ විදිහේ කට් වර්ග රාශියක් තියෙනවා. මේවා විවිධ විදිහට නිර්මාණය ඉල්ලන පරිදි පාවිච්චි කරන්න ඕනෙ.
විශේෂ ක්‍රමයකට (transition) නැතුව සාමාන්‍ය විදිහට එක් දර්ශනයකින් තවත් දර්ශනයකට මාරු වෙන එකට කියන්නෙ, Standard cut කියලයි. මේවා ඉතිං අනන්තවත් චිත්‍රපට වල තියෙනවා. උදාහරණ අවශ්‍ය නෑ . හැබැයි ඔබ සමහර චිත්‍රපට වල දැකලා ඇති, එක් දර්ශනයක වීඩියෝ කොටස ඉවරවෙන්න කලින්ම, ඒ දර්ශනය මතට ඊළඟ දර්ශනයට අදාළ හඬ පටය එනවා. මේ විදිහට කට් කරනවාට කියන්නෙ, J cut එකක් කියලයි .
J cut කියන්නත් හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් සංස්කරණයේදී, ඕඩියෝ ට්‍රැක් එක තියෙන්නෙ වීඩියෝ ට්‍රැක් එක යටින්. එතකොට අර උඩ කිව්ව විදිහට ඊලඟ දර්ශනයට අදාළ හඬ ටිකක් කලින් ඉඳලා play වෙන්න නම් , පහල තියෙන ඕඩියෝ එක උඩ තියෙන ඒකට අදාල වීඩියෝ එකට වඩා ටිකක් ඉස්සරහින් තියෙන විදිහට ගන්න ඕනෙ. එතෙන්දි J හැඩයක් එනවා(උඩ වීඩියෝ එකයි පහල ඕඩියෝ එකයි දෙකම සැලකුවාම). ඒකයි ඒකට J cut කියන්නෙ . ඕකෙම විලෝමය තියෙනවා L cut කියල . එතෙන්දි වෙන්නෙ, මුල් දර්ශනයට අදාල ඕඩියෝ එක , දෙවෙනි දර්ශනය තුලට ඇදෙන එකයි. ( L හැඩේකට එනවා එතකොට ට්‍රැක් දෙකම බැලුවම )
මේ J සහ L කට් බහුලව පාවිච්චි වෙන්නෙ, චිත්‍රපට තුළ පෙන්නන සංවාද වලටයි. චිත්‍රපටයක දෙන්නෙක් කතා කරන දර්ශනයක් විමසිල්ලෙන් බැලුවම පෙනෙයි, ඒවා බොහෝවිට මේ J සහ L කට් වල එකතුවක් බව. ඒ කියන්නෙ පලමු කෙනා ප්‍රශ්නයක් අහනවා. ඊට පස්සෙ එයාගෙ මූණ පෙන්නන ගමන්ම දෙවැනි කෙනාගෙ උත්තරේ අපිට ඇහෙනවා. ඊට මොහොතකට පස්සෙයි කැමරාවෙන් දෙවැනි කෙනාගෙ මූණ පෙන්නන්නේ . ඒ කියන්නෙ ඇත්තටම එතෙන්දි කළේ, J cut එකක් . L cut එකත් ඔය විදිහටම පාවිච්චි වෙනවා. ඉතිං ඒ විදිහට J සහ L පාවිච්චි කිරීමෙන්, අර සංවාදය කරන දෙන්නා අතර තියෙන බැඳීම , ප්‍රේක්ෂකයන්ට වඩාත් සමීපව දැනෙනවා. එහෙම නොකර standard cut පාවිච්චි කලානම්, ප්‍රේක්ෂකයන්ට දැනෙන්නේ මුන් දෙන්න කතා කලාට උන් අතරෙ ලොකු බැඳීමක් නෑ වගේ. ඉතිං එහෙම, කතා කලාට මුන් එකාට එකා නෑ හෝ, පළමු වතාවට මුණ ගැහිලා කතා කරන නාඳුනන දෙන්නෙක්ගෙ සංවාදයක් පෙන්නන්න standard cut එක පාවිච්චි කරන්න පුලුවන්.

සංවාද විතරක් නෙවෙයි සමහර චිත්‍රපට පටන් ගන්න සහ ඉවර කරන්නත් J සහ L cuts පාවිච්චි වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට , Whiplash චිත්‍රපටයේ ආරම්භය බලන්න.
ඒක පටන් ගන්නෙම J cut එහෙකින්. ඒ වගේම No Country for Old Men චිත්‍රපටයේ අවසානය බැලුවොත් ඒක L cut එකකි ඉවර වෙන බව පෙනේවි. ඒකෙන්, අපිට පේන්න චිත්‍රපටය ඉවර උනත් අපිට නොපෙනී කතාව තාම ඉස්සරහට යනවා වගේ දැනීමක් ප්‍රේක්ෂකයන්ට දෙනවා.
(Pic from iceflowsstudios)

No comments:

Post a Comment