Saturday, February 23, 2019

Alien චිත්‍රපට පෙලේ කතාව....

හොඳටම අඳුරක් තියෙන රෑක දකුණු අර්ධගෝලයේ අහස නිරීක්ෂණය කලොත් ඔබට Reticulum කියන තාරකා රාශිය දැකගන්න පුලුවන් වෙයි. මේක තියෙන්නෙ පෘථිවියේ ඉඳලා ආලෝක වර්ෂ 39ක දුරින්. ඉතිං මේ තරු රාශියෙ තියෙනවා Zeta Reticuli නමින් හඳුන්වන යුග්ම තාරකාවක්. (හොඳට බැලුවොත් මේකත් පියවි ඇසට පේනවා.) ඒ කියන්නෙ, binary star එකක්. තවත් පැහැදිලි කලොත්, මේ තරු දෙක එකිනෙකට බොහොම ලඟින් ඒ දෙකටම පොදු වුනු ගුරුත්ව කේන්ද්‍රයක් වටේ තමා භ්‍රමණය වෙන්නෙ.

Alien චිත්‍රපට පෙලේ කතාව අනුව, ඔය යුග්ම තාරකාවට තියෙනවා ග්‍රහ මණ්ඩලයක්. ඒකෙන් හතර වෙනි ග්‍රහලෝකය අපේ සෙනසුරු වගේ ලොකු වලලු තියෙන ග්‍රහයෙක්. නමින් Calpamos. මේ ග්‍රහයාට උපග්‍රහයින් තුන් දෙනෙක් ඉන්නවා,
එකක් LV 426 (නොහොත් Acheron). අනික LV 223. තව එකක් තියෙනවා නමක් නැති. අමතරව මේ ග්‍රහමණ්ඩලයේ තව ග්‍රහලෝකයක් තියෙනවා නිකං බ්‍රහස්පති වගේ. ඒකෙ නම KG 348.
(පටලගන්න එපා, මෙතෙන්දි ඔය යුග්ම තාරකාව ඇත්තටම තියෙනවා. එතනින් එහාට කියපු දේවල් ඒලියන් ෆිල්ම්ස් වලට විතරයි අදාල.)
දැන් බලමු මේ කතාව මොකද්ද කියල. චිත්‍රපට සෙට් එක බලපු අය විතරක් කියෙව්වොත් හොඳයි හැබැයි...

මනුෂ්‍යයින්, ඒලියන්ල (Xenomorphල) සහ ඉංජිනියර්ස්ල අතර කතන්දරේ වෙන්නෙ ඔන්න ඔය Zeta Reticuli කියන තරු යුගලයට අයත් ඔය මුලින්ම කියපු ග්‍රහලෝක සෙට් එකේ.

ඉතාමත් ඈත අතීතයේ ඉංජිනියර්ස්ල, LV 223 කියන චන්ද්‍රයා මත පර්යේෂණාගාරයක් පිහිටුවනවා. මේකෙ අරමුණ, A0- 3959X.91 කියන රසායන ද්‍රව්‍ය (අර කලු පාට දියරය) ගැන පර්යේෂණ පැවැත්වීමයි. එහෙම කරන්නෙ අවසානයේ ඒකෙන් රසායනික අවියක් හදල ඒක මේ අපේ පෘථිවිය මතට ගෙනත් අතෑරලා මනුෂ්‍ය සංහතිය විනාශ කරන්නයි. නමුත් මේ පරීක්ෂණ අවුල් ගිහින් මේ රසායන ද්‍රව්‍ය නිසා, ඒ පර්යේෂණාගාරය විනාශ වෙලා කීප දෙනෙක් ඇරෙන්න ඉංජිනියර්ස්ලත් මැරිලා යනවා.

ඔන්න ඔය අතර කලෙදිම, ඉංජිනියර්ස්ල පාවිච්චි කරන, Juggernaut වර්ගයේ ලොකු යානාවක්, Xenomorph බිත්තරත් එක්ක කඩන් වැටෙනවා LV 426 කියන චන්ද්‍රයා මතට. ඒකත් මතක තියාගන්න.

ඉන්පස්සේ, 2093 අවුරුද්දේදි පුරාණ තාරකා සිතියමක් ඔස්සේ යමින්, USCSS Prometheus කියන මිනිස්සු රැගත් යානාව එනවා Zeta Reticuli වෙතට. ඒ ඇවිදින් ගොඩබහින්නේ, LV 223 කියන චන්ද්‍රයා මතටයි. ඒ කියන්නෙ අර පර්යේෂණය වැරදුනු තැනට. ඊට පස්සෙ වෙන ටික Prometheus ෆිල්ම් එක බැලුවනම් දන්නව ඇතිනෙ. ඒකෙදි අවසානයේ අර හයිබනේට් වෙලා ඉන්න ඉංජිනියර් නැගිට්ට ගමන් ආයි යන්න හදන්නෙ පෘථිවිය විනාශ කරන්නයි. ඒත් Prometheus ශිප් එක ඌ යන්න හදන එකේ හප්පලා ඒක නතර කරනවා. ඊට පස්සෙ Elizabeth Shaw සහ ඩේවිඩ් කියන ඇන්ඩ්‍රොයිඩ්වරයා විතරක් තවත් Juggernaut ship එහෙක නැගල Zeta Reticuli වලින් පිටත් වෙලා යනවා අනික් engineersලා හොයාගෙන.

Alien: Covenant චිත්‍රපටයේ කතාව වෙන්නෙ ඕකෙන් පස්සෙ 2104 දී. ඒ කියන්නෙ Prometheus සිද්ධි වලින් අවුරුදු දහයකට විතර පස්සෙ. මේකෙදි Covenant කියන යානාවට හම්බෙන්නෙ අර Prometheus එකේ අන්තිමට පිටත් වෙලා යන ඩේවිඩ්ව, මෙතෙක් හොයාගෙන නැති පෘථිවියට සමාන ග්‍රහලෝකයක් මතදී. කතාව විස්තර කරන්න යන්නෑ.

ඉන්පස්සේ 2122 දී, ඒ කියන්නෙ අර Prometheus සිද්ධි වලින් දළ වශයෙන් අවුරුදු තිහකට විතර පස්සෙ, Weyland සමාගමට අයිති Nostromo කියන යානාව ඔය අසලින් යනවා. එතෙන්දි අර LV 426 කියන චන්ද්‍රයා මතට Xenomorph බිත්තර එක්ක කඩාවැටුණු Juggernaut යානාවෙන් එන සංඥාවක් මෙයාලාගෙ යානාවෙ AI එක විසින් ලබාගෙන ඒ අනුව තමා ඒ යානාව LV 426 මතට ගොඩබහින්නේ. (ඒක තමා Alien පළවෙනි ෆිල්ම් එකේ කතාව) මේකෙදි වෙන සිද්ධි මාලාවෙන් අන්තිමට බේරෙන්නෙ යානාවෙ ඉන්න Ellen Ripley විතරයි. Xenomorph එක්ක Nostromo යානාව පුපුරවා හැරලා, රිප්ලි බේරිලා යන්නෙ Narcissus කියන shuttle එකෙන්.

එහෙම බේරිලා යන රිප්ලිව නැවතත් හොයාගන්නෙ, අවුරුදු 57 කට පස්සෙ. හැබැයි හයිබනේට් වෙලා ඉන්න නිසා වයස ගිහින් නෑ. ඔය කාලය අතරතුරේ, Weyland සමාගම, Xenomorph කියන ජීවීන් ගැන දැන ගන්නවා සහ එයාලට අවශ්‍ය වෙනවා උන් භාවිතා කරල ජෛව ආයුධ නිෂ්පාදනය කරන්න.

ඔය Prometheus යානාව අතුරුදන් වුනු කාලය සහ Nostromo යානාව විනාශ වීම අතර කාලෙදි, Weyland සමාගම වගේම එහි එදිරිවාදී තවත් සමාගමක් වෙන, Seegson කියන සමාගම, Zeta Reticuli කලාපයේ හදනවා Sevastopol Station කියල අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක්. මේක කක්ෂගත කරල තියෙන්නෙ අර මුලින්ම කිව්ව KG 348 කියන බ්‍රහස්පති වගේ ග්‍රහලෝකය වටේ.

වර්ෂ 2137 දී, Xenomorph ආක්‍රමණයක් නිසා මේක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා, KG 348 මතට කඩන් වැටෙනවා. ඇත්තටම මේක වෙන්නෙ, Anesidora කියල කාගෝ ෂිප් එකක් මේ මධ්‍යස්ථානයට සම්බන්ධ වුනයින් පස්සෙ . මේ Anesidora කියන යානාවත් අර Nostromo යානාව වගේම, LV 426 වලින් ආපු සිග්නල් එකක් නිසා ඒකට ගිහින් Xenomorphලව බෝ කරගෙන ඇවිත් තමා Sevastopol එකට එන්නෙ. ඒකෙන් වෙන්නෙ, ඒ යානාවෙ හිටපු Xenomorphලා Sevastopol එකට ඇවිත් අවසානයේ ඒක කඩාවැටීමයි.
(මේ වගේ සිද්ධි නිසා තමා Weyland සමාගම Xenomorph ලා ගැන හොයන්න පටන් ගන්නේ.)

Aliens නොහොත් Alien දෙවැනි කොටස වෙන්නෙ, 2179 අවුරුද්දේ . ඒත් ඊට කලින්, 2157 අවුරුද්දේ Weyland සමාගම මගින්, LV 426 කියන චන්ද්‍රයව terraform කරන්න පටන් ගන්නවා. ඒක කරන්න පටන් ගන්න කොලනිය නම් කරන්නෙ Hadley's Hope නමින්. දෙවැනි චිත්‍රපටයේ කතාව සිද්ධ වෙන්නෙ LV 426 මත ඇති මේ කොලනිය ආශ්‍රිතවයි. මේකෙදි රිප්ලි ඇතුලු පිරිසට ඒ චන්ද්‍රයා මතදී නිකං හුස්ම ගන්න පුලුවන් වෙන්නෙ, ඒ වෙනකොටත් අර ටෙරාෆෝම් කරන වැඩේ අවුරුදු විස්සක් විතර කෙරිලා ඒකෙන් වායුගෝලය වෙනස් වෙලා නිසයි.

ඔන්න ඕකයි කතාව වෙච්චි පිලිවෙළට පෙලගැහුවොත්...

(ප.ලි. : අර KG 348 ග්‍රහලෝකයේ සිද්ධිය ඇත්තටම චිත්‍රපටවල පෙන්නන්නේ නෑ. ඒක තියෙන්නෙ Alien: Isolation කියන ගේම් එකේ. අනික, මේ ඒලියන් ෆ්‍රැන්චයිස් එකේ තව එක ෆිල්ම් එකක් එන්න තියෙනවා කියල කියනවා. බොහෝවිට ඒකෙදි පැහැදිලි කරයි අර බිත්තර සහ කලු දියර සහිත යානාව, LV 426 ට කඩාවැටුණෙ කොහොමද කියල.)


No comments:

Post a Comment