Saturday, February 23, 2019

They Shall Not Grow Old (2018)

1914 ජූලි 28 වෙනිදා ඇරඹෙන පළවෙනි ලෝක යුද්ධයේ ගහ මරාගැනීම්, 1918 නොවැම්බර් 11 වෙනිදා ජර්මනිය සහ අනික් පාර්ශ්වය අතර අත්සන් කෙරෙන සටන් විරාමය නිසා අවසන් වෙනවා. එදා ඉඳලා මේ සිද්ධිය හැම අවුරුද්දකම නොවැම්බර් එකොළොස් වෙනිදාට,පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් විසින් සමරනවා Remembrance Day විදිහට. පොපි මල් දිනය කියල කියන්නෙත් මේකටමයි. ඒ අනුව මේ (2018) නොවැම්බර් 11 වෙනිදාට යෙදිල තියෙන්නෙ පළමු ලෝක යුද්ධය නිමවී අවුරුදු සීයක සැමරුමයි.

ඉතිං මේ කියන්න හැදුවෙ ඒක ගැන නෙවෙයි. මේ ශත සංවත්සරය නිමිත්තෙන්, අපි කවුරුත් දන්න පීටර් ජැක්සන් ඔන්න අලුත්ම වැඩක් කරල තියෙනවා. ඒක තමා මේ They Shall Not Grow Old කියන වාර්තා චිත්‍රපටය. හැබැයි මේ චිත්‍රපටය සුවිශේෂී එකක්. ඒකෙ විශේෂත්වය තමා, මේ ෆිල්ම් එකේ තියෙන රූපාවලි, ඇත්තටම පළමු ලෝක යුද්ධ කාලයේ රූපගත කරපුවා වීම.
පීටර් ජැක්සන්, නවීන සිනමා තාක්ෂණය පාවිච්චි කරලා ඒ කලු සුදු රූප වර්ණ ගන්වලා තියෙනවා. අනික තමා, මේ චිත්‍රපටයේ ඉන්න ඇත්තම සොල්දාදුවන්ගේ තොල් සෙලවීම් අධ්‍යනය කරල හඬ නලුවන් මගින් "ලවන් සබැඳි තෙපුල්" යොදලා නිහඬ චිත්‍රපටය හඬ සහිත කරල තියෙනවා. අමතරව, ඒ කාලෙ හුවමාරු වුනු ලිපි සහ සොල්දාදුවන්ගේ දිනපොත් වලින් ගත්තු දේවල් යොදාගෙන තියෙනවා පසුබිම් කතාවට. මේ රූපරාමු ත්‍රිමාණ විදිහටත් පරිවර්තනය කරල තියෙන නිසා, මේක බලන කෙනෙකුට පළවෙනි ලෝක යුද්ධයේ සැබෑ දසුන් මින් පෙර කිසිම කෙනෙක් සිනමා පටයක් තුලින් නොදුටු විදිහට, වර්ණවත්ව, හඬ සහිතව, 3D විදිහට බලන්න පුලුවන්.

කොටින්ම අතීතයට ගියා වගේ.

ඉතිං මේක බලපු සමහර අය කියල තිබ්බෙ, "පරණ" ඒවා "කලු සුදු විය යුතු" බවට මොළය බලාපොරොත්තු වෙන නිසා, තමන් මේ දකින්නෙ සැබෑම අතීතයේ දර්ශන බවට පිලිගන්න අසීරු වුණු බවයි.

මේ චිත්‍රපටයේ නම, පළමු ලෝක යුධ සමයේ ලියැවුණු කවියක (The Fallen by Laurence Binyon) තිබුණු පදයක් (They shall grow not old, as we that are left grow old) ඇසුරෙන් තමා හදාගෙන තියෙන්න. චිත්‍රපටයේ අඩංගු වර්ණගැන්වීමට ලක්වුණ මුල් සංරක්ෂිත දර්ශන ලබාගෙන තියෙන්නෙ BBC සේවයෙන් සහ Imperial යුධ කෞතුකාගාරයෙන්. මේ සියලු දර්ශන වලින් පෙන්නන්නේ, පළමු ලෝක යුද්ධයේ ඉතා සුලු භූමි කොටසක සිදුවූ සිද්ධි කිහිපයක් නිසා, ඒ යුද්ධය සම්පූර්ණයෙන් ආවරණය වීමක් මේ චිත්‍රපටයෙන් බලාපොරොත්තු වෙන්න එපා. අනික මේකෙ politically incorrect ගතියකුත් තියෙනවලු. මොකද මේකෙ තියෙන්නෙ අපි ෆිල්ම්ස් වලින් බලාපොරොත්තු වෙන දේ නෙවෙයි, අමු ඇත්තයි. ඒක නිසා සමහර දර්ශන වල බ්‍රිතාන්‍ය යුධ සෙබළුන් ජර්මන් යුධ සිරකරුවන් සමඟ විහිලු තහලු කරමින් ඉන්න අවස්තා පවා තියෙනවා. අනික් දේ මේ සියලු දර්ශන, බ්‍රිතාන්‍ය අන්තයෙන් රූගත කරපුවා, ඒ කියන්නෙ ජර්මනිය පැත්තෙ ඒව නෑ. ඉතිං මේක සමබර වාර්තාවක් නොවෙන්න පුලුවන්.

මේ චිත්‍රපටයේ විශේෂ දර්ශන කිහිපයක් පසුගියදා පැවැත්වුනා. ප්‍රේක්ෂක ඉල්ලීම් නිසාම මේකෙ ධාවන කාලය මුලින්ම තීරණය කලාට වඩා දීර්ඝ කරලා තියෙනව. මිනිත්තු අනූනවයක් පුරා දිවෙන මේ චිත්‍රපටය ලබන නොවැම්බර් 11 වෙනිදා තෙක් සිනමා ශාලා වල තිරගත කෙරෙන අතර ඉන්පස්සේ BBC රූපවාහිනියෙන් විකාශනය වෙන්න නියමිතයි.

ඉතිං පීටර් ජැක්සන්ගේ වැඩක් නිසා, අමුතුවෙන් වර්ණනා ඕනෙ නෑ. ඒත් imdb අගය 9.2/10 කියල නිකමට කියන්නම්. එහෙනං අනිවාර්යයෙන් බලන්න....

No comments:

Post a Comment