Saturday, February 23, 2019

චිත්‍රපට වල එන "ටෙරාෆෝමින්"....

ඔබ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට බලන කෙනෙක් නම්, terraforming කියන වචනය දැනටමත් අහල ඇති. මම නම් මේක මුලින්ම දැනගත්තෙ, Prometheus ෆිල්ම් එක හරහා. ඒකෙ අර යානා එහෙම අයිති Weyland Yutani කියන සමාගමේ ප්‍රධාන ආදායම් මාර්ගයක් තමා ඔය terraforming කියන්නෙ. ඒකෙදි එයාල කරන්නෙ මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු, ඒත් ඒ තත්ත්වෙට පත් කරන්න පුලුවන් විභවයක් තියෙන ග්‍රහලෝක හොයාගෙන ඒවා මිනිස් වාසයට සුදුසු තත්ත්වෙට පත්කරලා ආපහු මිනිස්සුන්ට විකුණන එක. මේ සමාගමේ ස්ලෝගන් එකත්, building better worlds කියල තමා තියෙන්නෙ.

ඉතිං Prometheus කියන්නෙ මේ මෑතකදී ආපු ෆිල්ම් එකක්නෙ. ඒත් මේ ටෙරාෆෝමින් කන්සෙප්ට් එක ඊට වඩා ගොඩක් පරණයි. මුලින්ම මේක හම්බෙන්නෙ චිත්‍රපට වල නෙවෙයි පොත් වල. ඒ අතරිනුත් ඉස් ඉස්සෙල්ලාම මේ ටෙරාෆෝමින් (එහෙමත් නැත්තං අපි සිංහලෙන් කියන්න උත්සාහ කලොත් "පෘථිවිකරණය" වගේ වචනයක් පාවිච්චි කරන්න පුලුවන්) ගැන කියල තියෙන්නෙ H.G. Wells එයා 1898 වගේ ඈත කාලෙකදි ලියපු, අපි දන්න කියන War of the Worlds පොතේ. මේකෙ කතාවෙ හැටියට , පෘථිවිය ආක්‍රමණය කරනවා අඟහරු ලෝකෙන් ආපු ජීවීන්. අන්න ඒ ආක්‍රමණයෙදි, ඒ ලෝකෙ තියෙන රතු පාට ශාක විශේෂයක් (red weed) අපේ ලෝකෙ පුරා පැතිරෙනව වසංගතයක් වගේ. (වෙල්ස්ගේ පොතේ හැටියට අඟහරු රතු පාටට පේන්නෙ මේ පැලෑටි නිසයි) ඇත්තටම මේ පැලෑටියෙන් කරන්නෙ, පෘථිවිය ටිකින් ටික අඟහරු වගේ කිරීම, ඒ කියන්නෙ terraforming කිරීමක් තමා හැබැයි අනික් පැත්තට.
මේ විදිහට ඒලියන්ල ඇවිදින් අපේ ලෝකෙ "ටෙරාෆෝම්" කරනවට නොහොත් උන්ට සුදුසු විදිහට පරිවර්තනය කරගන්නවට xeno-terraforming කියල කියනව. හැබැයි, ඒ ජීවීන්ට සාපේක්ෂව (උන්ගෙ කෝණයෙන් බැලුවම) මේකත් ටෙරාෆෝමින්ම තමා.

H.G. Wells තමන්ගෙ කතන්දරය තුළ මේ ටෙරාෆෝමින් සංකල්පය පාවිච්චි කලාට ඔහු "ටෙරාෆෝමින්" කියන වචනය භාවිතා කරන්නෙ නෑ.
ඇත්තටම මේක වචනයක් විදිහට මුලින්ම හඳුන්වා දෙන්නේ (coin කරන්නෙ), Jack Williamson කියන ලේඛකයා විසින් ඔහුගේ Collision Orbit කියන විද්‍යා ප්‍රබන්ධය තුලිනුයි. ඒ 1942 වසරෙදි. දැන්නම් මේක ඉංග්‍රීසි භාෂාවේ ස්ථිර වචනයක් විදිහට ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ පවා තියෙනවා.

අපි පෘථිවි වාසීන් විදිහට වෙන ලෝක ටෙරාෆෝම් කරන එක ගැන ආතර් සී ක්ලාක් ඔහු ලියපු Sands of Mars කියන විද්‍යා ප්‍රබන්ධය තුළ විස්තර කරන්නෙ 1951 වගේ ඈත කාලේ. හැබැයි දැන් ඒක තව දුරටත් ප්‍රබන්ධයක්ම නෙවෙයි. මොකද නාසා ආයතනය දැන් මේක ගැන ඇත්තටම පර්යේෂණ කරනවා. එලොන් මස්ක් , අඟහරු සම්බන්ධව මේක යතාර්ථයක් කරන්න උත්සාහ කරනවා. ඒත් මේක ඇත්තටම කරනවනම් සෑහෙන සල්ලි යන වැඩක්.

හරි. ආපහු චිත්‍රපට පැත්තට හැරුණොත්, Star Trek කතා සෙට් එක බලල තියෙනව නම් මේවයේ අවස්තාව කීපෙකදිම මේ ටෙරාෆෝම් සීන් යනව. එකක් තියෙනවා විනාඩි ගානක් ඇතුලත ග්‍රහලෝකයක් ටෙරාෆෝම් කරන එහෙකුත්. (යූ බටේ තියෙනවා වීඩියෝ එක ) හැබැයි ඉතිං ඇත්තටම ටෙරාෆෝම් කරන එක නම් එච්චරම ලේසි නෑ .

ඒලියන් ෆ්‍රැන්චයිස් එක බලල තියෙනවා නම් මතක ඇති ඒලියන් පළවෙනි ෆිල්ම් එකේ උන් ටික ගොඩබහින ග්‍රහලෝකය (LV 426 කියන ප්ලැනටොයිඩ් එක ) මිනිස්සුන්ට එච්චරම හොඳ එකක් නෙවෙයි. ෆුල් සූට් ඇඳලා තමා තුන් දෙනෙක් එලියට යන්නෙ. ඒත් 1986 ආපු ඒලියන් දෙවෙනි චිත්‍රපටය තුළ ඒ ග්‍රහලෝකය ඊට වඩා මිනිස්සුන්ට හිතකර විදිහට ටෙරාෆෝම් කරල තියෙනවා වේලන්ඩ් සමාගම මගින්. ඒ වැඩේට දශක කීපයක් ගතවුණා කියල තමා කියන්නෙ. 2157 වසරෙදි පටන් අරගන්න වැඩේ 2179 වෙද්දිත් කෙරෙමින් තියෙනවා. මේ ග්‍රහලෝකයේ පොඩි කොලනියක් තියෙනවා එයාල තමා Atmospheric Processing Plant එක බලාකියාගන්නෙ. ඒකෙන් තමා ඒ ග්‍රහලෝකයේ වායුගෝලය, පෘථිවියේ වගේ කරන්නෙ. (ඊට පස්සෙ ඒලියන්ල ඇවිදින් කෙල වෙනවා 😊)

1990 දී ආපු Total Recall චිත්‍රපටය තුළත්, 2000 දී ආපු Red Planet චිත්‍රපට කතාවෙත් කියන්නෙ අඟහරු ලෝකය ටෙරාෆෝම් කරපු සිද්ධි තමා . මේවයින් Total Recall එකේ කතාවට අනුව පිටසක්වල ජීවීන් විසින් අඟහරු ග්‍රහයා මත සවිකල උපකරණ මගින් ඒකෙ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩි කරල මිනිස්සුන්ට සුදුසු විදිහට හදනවා. අඟහරු ටෙරාෆෝම් කරන කන්සෙප්ට් එක චිත්‍රපට තුළ මුලින්ම පාවිච්චි වෙලා තියෙන්නෙ මේ Total Recall ෆිල්ම් එක තුළයි. ඒත් ඒ ක්‍රමය විද්‍යාත්මකව එච්චර නිවැරැදි නෑ කියල තමා කියන්නෙ.
දෙදාස් තුනේ ඉඳල හතර වෙනකම් විකාශනය වුනු Firefly ටීවී සීරීස් එක සහ ඒකට sequel එකක් විදිහට හැදුනු Serenity කියන ෆිල්ම් එකෙත් කතන්දරය තුළ මේ ටෙරාෆෝම් කිරීම දකින්න පුලුවන් .

මෑතකදී ආපු Man of Steel ෆිල්ම් එකේ කතාව මතකයි නම් ඒකෙත් තියෙන්නෙ මේ ටෙරාෆෝම් සිද්ධියක් තමා . සුපර්මෑන්ගෙ මව් ග්‍රහලෝකයේ ඉඳල මෙහෙ එන ජෙනරල් Zod ට ඕන කරන්නෙ පෘථිවිය එයාලගෙ වාසයට සුදුසු විදිහට ටෙරාෆෝම් කරන්න නොහොත් Krypton වගේ කරන්න. ඇත්තටම මගක් දුර කරනව මේක. ඊට පස්සෙ සුපර්මෑන් මැදිහත් වෙලා තමා යන්තං නතර කරගන්නෙ.

රූප: LV 426 මත ඇති Atmospheric Processing Plant එක සහ War of The Worlds එකේ Red weeds.


No comments:

Post a Comment