Saturday, October 26, 2019

Breaking Bad නොකියූ කතාව...

2008 පටන් අරන් 2013 ඉවර වුනු "බ්‍රේකින් බෑඩ්" ඉවර වුනු දා පටන්ම තිබ්බ කටකතාවක් තමා, ඒකෙන් ෆිල්ම් එකක් එනවාය කියන එක. හැබැයි ඒ ෆිල්ම් එක හදල ඉවර වෙනකම්ම, ඒක කටකතාවක් මට්ටමෙන්ම තියාගන්න ඒක ඇත්තටම හදන්න මුල් වෙච්චි හැමෝම කටයුතු කලා. ෆිල්ම් එකේ හැම දේම සිද්ධ වුනේ අතිශයින්ම රහසිගත විදිහට. කොටින්ම මේකෙ එක සීන් එකක් තියෙනවා රෙස්ටුරන්ට් එහෙක කෑම කන, ඒ සීන් එකට පසුබිමේ ඉන්නව පෙන්නන රෙස්ටුරන්ට් එකට ආපු සෙනඟ විදිහට අරං තියෙන්නෙත් ෆිල්ම් එකේ වැඩකටයුතු කරපු අයගේ පවුල්වල අය. තොරතුරු එලියට යයි කියල.

ඉතිං ඒ උත්සාහය සාර්ථකයි කියන්න පුලුවන්. මොකද මේකෙ ට්‍රේල එක එලියට දානකම්ම වගේ තිබ්බෙ කටකතාවක් විදිහට.

2018 නොවැම්බර් වල නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ 'ඇල්බර්කර්කී' වල චිත්‍රපටයේ රූපගත කිරීම් සිදුවෙලා තියෙන්නෙ Greenbrier කියල working title එකක් යටතේ. ඉතිං ඒ පළාතෙ මිනිස්සුන්ට සැක හිතිල අරව මෙව්ව ප්‍රශ්න ඇහුවමත් නිෂ්පාදන කණ්ඩායම කියල තියෙන්නෙ, ඔව් බ්‍රේකින් බෑඩ් වලට සම්බන්ධයි තමා හැබැයි ඒකෙ තියෙන ඒව පාවිච්චි කරල කරන වෙළෙඳ දැන්වීමක් විතරයි කියල !

හරි. ඉතිං බ්‍රේකින් බෑඩ් ෆෑන් කෙනෙක් නම් මේ El Camino නමින් හැදුනු "බ්‍රේකින් බෑඩ් ෆිල්ම් එක" ඔයා දැනටමත් බලල ඇති. බ්‍රේකින් බෑඩ් නොබලපු කෙනෙකුට උනත් මේක බලල රසවිඳින්න පුලුවන් උනත්, අංගසම්පූර්ණව රසය විඳින්න නම් ඔබ බ්‍රේකින් බෑඩ් සීසන් ටික බලල තියෙන්න ඕනෙ කියන එක තමා, ඒ සීරීස් එක වගේම මේ චිත්‍රපටයේත් නිර්මාණකරුවා වන වින්ස් ගිලිගන් (Vince Gilligan)ගේ අදහස.

වින්ස් ගිලිගන්, ඒ කියන්නෙ මේ සියල්ල පිටුපස ඉන්න "මහ මොළකරුට", බ්‍රේකින් බෑඩ් වල කියවෙන කතාවට ඌනපූර්ණයක්/ පසුවදනක් විදිහට මෙහෙම දෙයක් කරන්න ඕනෙ කියල හිතෙන්නෙ බ්‍රේකින් බෑඩ් මුලින්ම විකාශනය වෙලා ගතවෙන දසවෙනි අවුරුද්දේ විතර. ඒ කියන්නෙ දෙදාස් දහඅට කිට්ටු වෙලා.
මේකෙ කතාව විදිහට ඔහුට කියන්න උවමනා වෙලා තියෙන්නෙ BB වල හිටපු දෙවැනි ප්‍රධාන චරිතය වන ජෙසීට (Jesse Pinkman) BB වල සීසන් ෆිනාලෙ වුනු "Felina" එපිසෝඩ් එකෙන් පස්සෙ වෙන්නෙ මොකද්ද කියන එක එලි කරන්න.

මේකෙදි වින්ස් ගිලිගන්ට අදහස් දෙකක් තිබිල තියෙනවා ජෙසීගෙ ඉරණම විසඳෙන විදිහ ගැන....

එකක් තමා, BB ෆයිනල් එපියෙ එන සිද්ධි වලට අනුව වෝල්ටර් වයිට්ගෙ උදව් ඇතුව අර එයාව බෙලෙන් තියාගෙන ඉන්න නාසි කඳවුර වගේ තැනින් පැන ගන්න ජෙසී, කැනඩා දේශ සීමාවට පලා යනව. ඉන්පස්සෙ එයා කෙල්ලෙක්ට උදව් කරන්න සෙට් වෙනව. එහෙම උදව් කිරීම සඳහා ඔහුට සිද්ධ වෙනවා ආපහු නීතියට පිටින් වැඩ කරන්න. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට කතාව අන්තිමට ජෙසී නතර වෙන්නෙ හිර කූඩුවක. හැබැයි, එයා හිත සතුටින් තමා ඒ සැරේ හිරේ ඉන්නෙ.

එතනින් කතාව ඉවරයි.

ඉතිං මේ අදහස, වින්ස් එයාගෙ පෙම්වතියට කිව්වම එයා මේකට තදින්ම අකමැති වෙලා තියෙනව. අච්චර දේවල් ජීවිතේ වෙච්ච මනුස්සයව අන්තිමට හිරේට දාල නතර කරන එක ගැන ෆෑන්ස්ලා කිසිසේත්ම සතුටු වෙන් නැති වෙයි කියල තමා ඇය එකහෙළාම කියල තියෙන්නෙ. ඔයින් මෙයින් වින්ස් ගිලිගන්, ඒ "ඉරණම " පැත්තකට දාල දෙවෙනි කතාව තෝරගෙන තියෙනවා. අන්න ඒ කතාව තමා අද අපි චිත්‍රපටයක් විදිහට දකින්නේ...

බ්‍රේකින් බෑඩ් ඉවර වුනැයින් පස්සෙ ඒකෙ ස්පිනෝෆ් සීරීස් එකක් ආවනෙ Better Call Saul කියල. මේ සීරීස් එකත් සාර්ථක වුනා, ජනප්‍රිය වුනා. හැබැයි මේකෙ කතාව ලිව්වෙ වින්ස් ගිලිගන් නෙවෙයි. ඒත්, Breaking Bad මත පදනම් වෙලා ෆිල්ම් එකක් කලොත් ඒක අසාර්ථක වෙන එකක් නෑ කියල හිතන්න, මේ Better Call Saul එකේ සාර්ථකත්වයත් බලපෑව කියල තමා ඔහු කියන්නෙ. ඒ කතාවත් සිද්ධ වෙන්නෙ බ්‍රේකින් බෑඩ් වෙච්ච ලෝකෙම නිසා, මේ කතා දෙකේ කාරණා එකිනෙකට නොගැලපීමක් තියෙනවද කියල චෙක් කරගන්න Better Call Saul නිර්මාණය කරපු අයවත් වින්ස් ගිහින් මුණගැහිල තියෙනවා. ඒ වෙද්දී ඔහු, තමන් ලියාගෙන යන කතාව නම් කරල තිබ්බෙ '63 කියලලු. ඒ කියන්නෙ, Breaking Bad වල හැටතුන් වෙනි නොපෙන්වූ එපිසෝඩ් එක වගේ අර්ථෙකින් (මුලු එපිසෝඩ් 62 ක් තියෙනවා BB සීසන් පහට). ඇත්තටම මුලින්ම ප්ලෑන් කරල තියෙන්නෙ ෆිල්ම් එකක් කරන්න නෙවෙයි, විනාඩි 15 ක් 20 ක් වගේ තියෙන 'මිනි එපිසෝඩ්' එකක් කරන්න. නමුත් කතාව ලියන් යද්දී ඒක පැයක එපිසෝඩ් එකක් වෙලා අන්තිමට නතර වෙලා තියෙන්නෙ පැය දෙකක් දුවන සම්පූර්ණ චිත්‍රපටයක් විදිහට.

හරි ඉතිං කොහොම හරි අර Better Call Saul එකේ සෙට් එක හම්බෙන්න ගියාම ඒකෙ නිෂ්පාදකවරයා තමා වින්ස්ට කියල තියෙන්නෙ, '63 කියල දාන්න එපා, ඕක වෙනම කතාවක්, ඒ කියන්නෙ වෝල්ටර් වයිට්ගෙ කතාව නෙවෙයි ජෙසීගෙ කතාවක් විදිහට යන නිසා ඒක ඇඟවෙන විදිහට වෙනම නමක් දාන්න කියල. ඒ අනුව තමා '63 කියන මුල් නම, El Camino විදිහට වෙනස් වෙන්නෙ...
ඊට අමතරව කතාවත් මුල් කතාවෙන් ටිකක් වෙනස් වෙන්න කතාව අවසන් වෙන විදිහ යම් තරමකට වෙනස් වෙන්න ඒ හමුවීම් හේතුවක් වෙලා තියෙනවා. (නමුත් ඒව නොකියා ඉන්නම් කතාව ස්පොයිල් වෙන්න පුලුවන් නිසා.)

බ්‍රේකින් බෑඩ් ආසාවෙන් බැලුව නම්, මේක අනිවා බලන්න. ඒක මුල් කතාවට ලස්සන අවසානයක් ලබල දෙනව වගේම, ඒ රිදමය එහෙම්ම පවත්වගන්නවා කියලත් කියන්න පුලුවන්. රඟපෑම් වගේම කතාව අතිනුත් හැමෝගෙම ප්‍රශංසාව මේකට හිමි වෙලා තියෙනවා. හැබැයි ඔයා බ්‍රේකින් බෑඩ් බලල ඉවර කලේ ගොඩ කාලෙකට කලින් නම්, වඩා හොඳයි මේක බලන්න කලින් ඒකෙ අන්තිම එපිසෝඩ් එක බලල ඉන්න එක. ඒ ටිකේ මතකය අලුත් කරගෙනම බැලුවොත් මේක වඩා හොඳට දැනෙයි කියල හිතෙනවා.

Sunday, October 20, 2019

ජෝකර්ට රඟපාන Joaquin Phoenix

තාම ජෝකර් බැලුවෙ නෑ. හැබැයි ජෝකර් බලපු හැමෝම කියන්නෙ, ඊළඟ සැරේ ඔස්කා හොඳම නලුවට දෙන සම්මානෙ ජෝකර්ට රඟපාන Joaquin Phoenix ට දෙන්න ඕනෙ කියලයි.

ඔක්කොටම කලින් මේ නම ගැනත් කියල ඉන්න ඕනෙ. Joaquin Phoenix කියන එක මම මෙච්චර කල් උච්චාරණය කලේ ජො(ඇ)කින් ෆීනික්ස් කියලයි. ලියල තියෙන විදිහට කියෙව්වා මිසක්, අහල තිබුන් නෑ. නමුත් ඒක වැරදියි. මේ නම හරියට කියනකොට ජයන්නක් සද්ද වෙන්නෙම නෑ.
මේක ශබ්ද කරන්නේ, වකීන් ෆීනික්ස් කියලයි. (wa-keen / hwa -kin) ජේ අකුරක් තිබ්බට සද්ද වෙන්නෙ අරහෙම. (Youtube අහල බලන්න ඕනෙනම්.)

ඉතිං කව්ද මේ වකීන් ෆීනික්ස්?

දැන් ලෝකෙම දන්න, යමක් කමක් තියෙන නලුවෙක් උනාට, වකීන් පොඩි කාලෙ ජීවත් වෙන්න ගෙදරට කීයක් හරි හොයාගන්න පොඩි පොඩි නාට්ට වල රඟපාල තියෙනවා. හන්දි වල සින්දු කියල, එක එක වාදන භාණ්ඩ වයල තියෙනවා. වකීන්ලෑ පවුලේ වකීන් ඇතුලුව සහෝදර සහෝරියො පස් දෙනෙක් ඉඳලා තියෙනවා. නම් වශයෙන්, River Phoenix, Rain Phoenix, Joaquin Phoenix, Liberty Phoenix සහ Summer Phoenix . ඒ හැමෝම රඟන්න, ගයන්න, වයන්න දක්ෂයො. ඉතිං එයාල කණඩායමක් විදිහට තමා හන්දි ගානේ ගිහින් අර විදිහට රඟල වයල අම්මට තාත්තට බරක් නොවී ගෙදරට කීයක් හරි හොයල දීලා තියෙන්නෙ.
වකීන්ගේ අම්මා වැඩ කලේ NBC එකේ සේවිකාවක් විදිහට. තාත්තා රැකියාවක් විදිහට කළේ උද්‍යාන සැකසීම. ඔහොම ඉන්නකොට හොලිවුඩ්වල ළමා වැඩසටහන් සඳහා ළමා නලු නිලියන් සපයන කෙනෙක්ට මේ සහෝදර සහෝදරියො කණ්ඩායම දකින්න ලැබෙනවා. ඒ හරහා මේ පස් දෙනාටම රූපවාහිනි ළමා වැඩසටහන් වල රඟපාන්න අවස්තාවක් ලැබෙනවා.

වකීන්ගේ නලු ජීවිතේ ඇරඹෙන්නේ එහෙමයි. ඒ ඔස්සේ ළමා නාට්‍ය හා පොඩි පහේ චිත්‍රපට කීපයකම පෙනී ඉන්න වකීන් ඇතුලු මේ සොහොයුරු සොයුරියන් පස් දෙනාගෙන් හතර දෙනෙක්ම අදටත් සක්‍රීයව නලු නිලියො හෝ ගායිකාවන් ලෙස ක්ෂේත්‍රයේ රැඳී ඉන්න එකත් සුවිශේෂියි.

ඉන්පස්සේ ඉතා අවාසනාවන්ත සිද්ධියක් වෙනව. වකීන්ගේ දහනවවෙනි උපන්දිනය පහුවෙලා දින තුනක් ගිය තැන ඔහුගේ වැඩි මහල් සොහොයුරා , River Phoenix ඖෂධ අධිමාත්‍රාවක් ශරීරගත වෙලා මිය යනව. ඒ 1993 දී. එවෙලේ තම සහෝදරයා බේරගන්න Joaquin, 911 අංකයට කතා කරපු කෝල් එක එකල ටීවී හා රේඩියෝ චැනල් වලින් ප්‍රසිද්ධියේ විකාශනය වෙනව. එයින් ප්‍රසිද්ධ නලු ජීවිතේ ගැන යම් කලකිරීමට ලක්වෙන වකීන්, අවුරුද්දක් විතර සමාජයෙන් ඉවත් වෙලා අප්‍රසිද්ධියේ ඉන්නව. ඉන්පස්සේ ඔහු නැවතත් රඟපෑමට එක් වෙන්නේ, 1995 වසරෙදි To Die For චිත්‍රපටයේ නිකොල් කිඩ්මන් සමඟයි. ඒ චිත්‍රපටයේ ඔහු රඟපෑවේ, මානසිකත්වය අවුල් ගිය, සියදිවි හානි කරගැනීමේ පෙළඹීමක් තියෙන අඳුරු චරිතයක්. ජීවිතේ මෑතකදී ලබපු අඳුරු අත්දැකීම් එක්ක ඔහු ඒ චරිතය සාර්ථකව කරනවා.

ඉන්පසු චිත්‍රපට කීපයකම රඟපාන වකීන්ව ලෝකයම හඳුනාගන්නේ, 2000 වසරෙදි ඔහු Gladiator චිත්‍රපටයේ රඟපෑ කොමොඩස් නම් රෝම අධිරාජ්‍යයාගේ චරිතයෙන්. Gladiator චිත්‍රපටය, විචාරක මෙන්ම වාණිජ අතිනුත් අතිසාර්ථක වෙන අතරේ ඒ වසරෙදි හොඳම චිත්‍රපටය විදිහට ඔස්කා සම්මානයත් ලබනවා. ගෝල්ඩන් ග්ලෝබ්, බැෆ්ටා සහ Screen Actors Guild වැනි සම්මාන උළෙලවල් ගණනාවකදී හොඳම සහය නලුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබන Joaquin, ඒ සම්මානය සඳහා ඔස්කා නිර්දේශිත උනත් සම්මානය හිමිවෙන්නේ නෑ.

මේ සම්මානය (සහය නලු) සඳහාම වකීන්ගේ මියගිය වැඩිමල් සොයුරු River Phoenix, "My Own Private Idaho" චිත්‍රපටය සඳහා 1991වසරේදී නිර්දේශ වී තියෙනවා. ඒ අනුව, එදා මෙදාතුර, රඟපෑම් සඳහා ඔස්කා සම්මානයක් උදෙසා නිර්දේශිත එකම පවුලේ සහෝදරයො දෙදෙනෙකු වීමේ වාර්තාව තියෙන්නෙ මේ දෙන්නටයි.

ඉන්පසු 2005 වසරේදී ඔහු රඟපෑ Walk The Line චිත්‍රපටය වෙනුවෙන් ඔහු ඔස්කා හොඳම නලුවා සම්මානය සඳහා පළමු වරට නිර්දේශ වෙනව. මේ චිත්‍රපටයේ සුවිශේෂී බවක් තියෙනවා. මේ චිත්‍රපට කතාව Johnny Cash නම් සංගීතඥයෙක්ගේ ජීවිතය ඇසුරෙන් චරිතාපදානයක් ලෙස නිපදවූ අතර ඒ චරිතය, ඒ කියන්නෙ ජොනී කෑෂ් ලෙස රඟපැවේ වකීන්. චරිතය සඳහා අවශ්‍ය ගායනා සහ වාදනයන් සඳහා වෙනත් ගායකයෙක් හෝ වාදකයන් යොදා නොගෙන ඒ සියලු දේ වකීන් විසින්ම ගායනා සහ වාදනය කළා. ඉතිං චිත්‍රපටය බලපු ගොඩක් අය හිතල තියෙන්නෙ වකීන් තොල් හොලවන්නව විතරයි ඇත්තටම බැක්ග්‍රවුන්ඩ් එකෙන් ජොනී කෑෂ්ම තමා කියන්නෙ කියල. නාමාවලිය යද්දි ඒ සියල්ල perform කරල තියෙන්නෙ Joaquin විසින්ම බව දැක්කම ගොඩ දෙනෙක් පුදුම වෙලා තියෙනවා. චිත්‍රපටය තුළ Joaquin විසින් ගීත නවයක් ගායනා කරන අතර ඔහුට ඒ චිත්‍රපටයේ ගීත සඳහා ග්‍රැමි සම්මානයකුත් ලැබුණා.

ඉන්පසු නැවතත් 2012 වසරෙදි The Master චිත්‍රපටයේ රංගනය සඳහා ඔහුව නැවතත් ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නලුවා සම්මානය සඳහා නිර්දේශ උනත් එවරත් සම්මානය ඔහුට අහිමි වෙනවා.

නලුවෙක් මතු නොව සංගීතවේදියෙක් ලෙසත් සම්මානයට පාත්‍ර වී ඇති Joaquin Phoenix , අවුරුදු තුනේ සිටම නිර්මාංශ පුද්ගලයෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු සම් භාණ්ඩ හෝ සත්ත්ව ලොම් වලින් තැනුනු රෙදිපිළි පවා භාවිතා කරන්නේ නෑ. ඔහු සිටින චිත්‍රපට වල චරිත වල ඇඳුම් පැලඳුම් වලට පවා, ස්වභාවික සම්, ලොම් වෙනුවට කෘතිම ද්‍රව්‍ය භාවිතා කරන ලෙස ඔහු ඉල්ලනවා.
සත්ත්ව අවිහිංසාවාදී සංවිධාන කිහිපයකම ක්‍රියාකාරි සමාජිකයෙකු වන වකීන්, දකුණු අප්‍රිකාවේ දුප්පත් පාසල් ළමුන්ට දෛනික ආහාර වේල් සපයන The Lunchbox Fund නම් පුණ්‍යායතනයේ සම අධ්‍යක්ෂවරයෙක් ලෙසද කටයුතු කරනවා.

අවසාන වශයෙන්, එක් වරක් හොඳම සහය නලුවා ලෙසත්, දෙවරක් හොඳම නලුවා ලෙසත් ඔස්කා සම්මානයට නිර්දේශ වෙලා ඉන්න Joaquin Phoenix කියන අතිදක්ෂ නලුවාට මේ සැරේ ජෝකර් නිසාවත් ඔස්කා බෙස්ට් ඇකටර් වෙන්න ලැබේවා කියල ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා...

Thursday, July 4, 2019

Born on the Fourth of July...

අද නොහොත් ජූලි තුන්වෙනිදාට Tom Cruise ගේ උපන්දිනය යෙදී ඇත.
ඔහුගේ දැන් වයස පනස් හතක් වුනත් මට ඔහුගේ වයසේ වැදගත් කමක් නොපෙනෙන්නේ, එදා පටන් අද දක්වාම නොවෙනස් තරුණයෙක් ලෙසින්ම දකිමි! නමුත් මේ සටහන ඔහු ගැන නොවේ. ඔහු මීට අවුරුදු තිහකට කලින් (1989) රඟපෑ චිත්‍රපටයක් ගැනයි.

Born on the Fourth of July චිත්‍රපටයේ පෝස්ටර් එක දුටු විට නම් දැනුනේ එය ඇමරිකාවේ යුධ ශක්තිය ලොවට පෙන්වන, ජාත්‍යාලය වඩවන, ඇමරිකන් තරුණයන් යුද්ධයට කැඳවන ("මොරාල් අප් කරන") ආකාරයේ චිත්‍රපටයක් ලෙසයි. එබැවින්ම, එය මෙතරම් කාලයක් නොබලා ඉඳ පසුව ටොම් නිසාම බැලීමට තීරණය කලෙමි. පෝස්ටර් එකෙන් සහ නමෙන් පමණක් චිත්‍රපට මැනීම වැරදි වැඩක් බව හොඳටම අවබෝධ වුනේ මෙය බැලූ පසුවය.

මේ චිත්‍රපටයේ කතාව ඇත්ත කතාවකි. කොටින්ම නම පවා වචනයේ පරිසමාප්තියෙන්ම ඇත්තය.

චිත්‍රපටයේ කතාව ගොඩ නැගෙන්නේ රොන් කොවික් (Ron Kovic) නම් ඇමරිකානු මැරීන් සෙබලෙකු වියට්නාම් යුද්ධයේ මුහුණ දුන් අත්දැකීම් සහ ඉන්පසු ඔහුගේ ජීවිතය ඇසුරෙන් ඔහු විසින්ම ලියා පල කල Born on the Fourth of July නම් පොත අනුසාරයෙනි. ඇත්තටම මේ රොන් කොවික් ඉපදී ඇත්තේ ඇමරිකාවේ නිදහස් දිනය යෙදී ඇති ජූලි හතර වෙනිදාය! ඉතිං පොතටත් ඉන්පසු චිත්‍රපටයටත් යෙදීමට ඊට වඩා හොඳ නමක් නැත...

චිත්‍රපටයේ අධ්‍යක්ෂක ඔලිවර් ස්ටෝන් විසින් නිර්මාණය කල වියට්නාම් යුද්ධය පිලිබඳ වූ චිත්‍රපට ත්‍රිත්වයේ දෙවෙනි චිත්‍රපටය වන්නේද මෙම චිත්‍රපටයයි. ඒත් ඒ චිත්‍රපට තුනේ කතන්දර එකිනෙකට සම්බන්ධයක් නැත. එනිසා මේ චිත්‍රපටය නැරඹීමට ඉතිරි ඒවා නැරඹීම අවශ්‍ය නොවේ.

මට අනුව, මත්ද්‍රව්‍ය වල ආදීනව කෙනෙකුට වටහා දීම සඳහා බැලීමට නම් කරන සුදුසුම චිත්‍රපටය, Requiem for a Dream ය. ඒ අයුරින්ම, යුද්ධයේ ආදීනව නොවැටහෙන කෙනෙකුට බලන්න නිර්දේශ කරන සුදුසුම නිර්මාණය නම් මේ Born on the Fourth of July චිත්‍රපටයයි. මෙය බැලූ පසුත් ඔබ සාමය අභිබවා යුද්ධය විසඳුමක් ලෙස තෝරාගන්නේ නම්, ඔබේ සිත ගොඩ ගැනීමට නොහැකි තරමින් කුණු වී ඇති බවට ඒ සාක්ෂියකි.

මීටත් වඩා විස්තර කරන්න ගියොත් කතාව සුලු වශයෙන් හෝ ඉඳුල් වෙන නිසාත්, නොසිතූ දේම සිදුවීමෙන් උපදින රසයට, හානි නොකල යුතු නිසාත්, තව තොරතුරු නොකියා නවතිමි.

Wednesday, June 5, 2019

අතීතය සිහිනයක් වී.....

රෑ දොලහ පහුවුනු පසු ලැප්ටොප් එක ඔන් කර වයිෆයි කනෙක්ට් කර චිත්‍රපටයක් ඩවුන්ලෝඩ් වීමට දැමුවෙමි. ටොරන්ට් එකේ බාර් එක ක්‍රමයෙන් කොල පාට වෙමින් චිත්‍රපටය හාඩ් ඩිස්ක් එකට පිරෙන විදිහ බලා සිටියෙමි. තව විනාඩි කිහිපයකින් මට එය නැරඹිය හැක... වාතය හරහා තරංගයක් ලෙස එන චිත්‍රපටයක් තුලින් තව මොහොතකින් මින් පෙර නෑසූ නොපෙනුනු අත්දැකීමක් විඳ ගැනීමට ලැබෙනු ඇත. රෑ දොලහත් පසු වී ඇති නිසා හිත මඤ්ඤං වෙලා යැයි කෙනෙකුට සිතිය හැකි වුවත්, මෙය ඇත්තටම එක්තරා පුදුමයක් නොවේද?

මීට අවුරුදු විස්සකට පෙර අතීතයේ, ෆිල්ම් එකක් බැලීමට විඳපු කට්ට සහ කොච්චර ආසා වුවත් බලාගැනීමට නොහැකි වුනු චිත්‍රපට කොපමණද?  ඒ සියල්ල ඇඟිලි තුඩු මත විනාඩි කිහිපයකට නුදුරින් තිබීමම පුදුමයක් නොවේද ?

දැන් කාමරයක මුල්ලේ තබා ඇති පරණ ටැලන්ට් ටීවී එකෙන් ගියොත් හැරෙන්නට චිත්‍රපටයක් බැලීමට කල් යල් බලා හෝල් එහෙකටම යා යුතු කාලයක් තිබුනු බව මතක් වෙනකොට ඒකත් පුදුමයකි.

ජුරාසික් පාක් බලන්නට අම්මාගේ හා තාත්තාගේ අනුග්‍රහය ඇතුව ගෙදර සියලු දෙනා කොළඹ ලිබර්ටි එකට ගිය හැටි ඉතා පැහැදිලිව මතකය. පරණ ලිබර්ටි හෝල් එකේ ඇතුලුවෙන දොර ලඟ කාඩ්බෝඩ් වලින් ඩයිනෝසර් බිත්තර සහ එවායින් පැටවුන් එළියට පනින රූප කපා හේත්තු කර තිබූ හැටි තාමත් මතකය. ෆිල්ම් එකේ උද්වේගකරම මොහොතේ, "මස් කන ලොකු එකා" වාහන වලට පහර දෙන විට හෝල් එකටම ඇහෙන්න මාත් කෑ ගසා, දෑස් දෙඅත් වලින් වසාගෙන, සීට් එක මත අනික් පැත්තට හැරී දණ ගසාගෙන තාත්තාගෙන්, "දැන් ඉවරයි ද ඌ ගියාද" කියා ඇසූ සැටි අද ඊයේ මෙන් මතකය...
දැන් ත්‍රීඩී ග්ලාස් දාගෙන, ඩොල්බි ඇට්මොස් ශබ්ද වලින් වටකර දුන්නත්, ඒ පොඩි එකා වින්ද විදිහට චිත්‍රපටයක් ඇතුළටම රිංගා එය තමන්ගේම කර ගැනීමට ඇති හැකියාව, වැඩිහිටි වෙන්න වෙන්න මොට වී ඇතැයි සිතේ. යතාර්ථයෙන් පිළුණු වී ගිය යටිහිත, ඔය උබ දකින්නේ ෆැන්ටසියක් බව සිහිපත් කරවයි. ඇතුළටම ගොස් එය තමන්ගේ කර ගන්නවා වෙනුවට තර්ක විතර්ක වලින් අවුරා දමයි.

ජුරාසික් පාක් හෝල් එහෙක බලන්න වාසනාව ලැබුනත්, ඒකෙම දෙවැනි කොටස බලන්න එහෙම අවස්තාවක් නොලැබුණි. ප්‍රාථමිකයේ ඉගෙන ගත් අපිට, මහා විද්‍යාලේ හෝල් එකේ ඉරිදා හවසක ජුරාසික් පාක් එකේ දෙවැනි එක පෙන්නන්නවා කියා ආරංචි වුනත්, මට තනියම යන්න බැරි නිසා ඒ අදහස අතහැර දැමුවෙමි. හැබැයි, මට "බලන්න" නොලැබුණත්, එහා ඩෙස් එකේ හිටි එකා එය නරඹා සඳුදා ඇවිත් සම්පූර්ණ කතන්දරේම ඉස්කෝලෙ ඇරෙන්න කලින් කියන්න සමත් විය. "අහල දැනගත්ත" පළවෙනි චිත්‍රපටය ලෙස එය වාර්තාවක් උසුලයි. (පසු කලෙකදී ඩීවීඩි එකක් ගෙනැවිත් බලන කොට, පොඩි එකා උනත් අරූට හිතේ ඇඳෙන විදිහට පිළිවෙළකට කතන්දර කියා දීමේ සැබෑ හැකියාවක් ඇතැයි සිතුණි.)

ඩීවීඩි හෝ සීඩී නොතිබුනු ඒ කාලේ චිත්‍රපට බැලුවේ VHS වලින්, "වීඩියෝ ඩෙක්" වලය.
ගෙවල් වල වීඩියෝ ඩෙක් නොතිබුනු අපි වැනි දුප්පත් ළමයින්, ඒ අඩුව පුරවාගත්තේ හොලිවුඩ් ෆිල්ම්ස් වල කතන්දරේ කෙටියෙන් තියෙන මල්පියලි සහ වාසනා පොත් වලිනි. ඒවාට පින්සිද්ද වෙන්නට, ඇනකොන්ඩා, පිටසකවලින් ආ අත්භූත සත්ත්වයා, හිමෙන් මතු වූ සොල්දාදුවා, වැනි චිත්‍රපට "කියවා" රසවිඳින්නට හැකි විය. ඉස්කෝලෙ තිබ්බ මල්පියලි පොත් ප්‍රදර්ශනයකින් රුපියල් හතළිහකට මිළදී ගත් , මනොජ් රත්නායක කෙටියෙන් ලියපු ජුරාසික් පාක් පොත අදටත් සුරක්ෂිතව ඇත.

කවදාහරි ලොකු වී, රස්සාවක් කරපු දවසකට "වීඩියෝ ඩෙක්" එකක් ගන්නවාමයි කියන සිහිනයක් එදා පැවතුනි.
දැන්, සල්ලි ඇත. නමුත් ඒ අතීතයේ දී අනාගතයේ ඉටුවෙන ප්‍රාර්ථනාවක් ලෙස දුටු "වීඩියෝ ඩෙක්" කාලය විසින් අතීතයට අයිති වර්තමානයේ හොයාගන්නටවත් නැති ඇන්ටික් බඩුවක් කර ඇත!

අනාගතයේ දවසක මෙහෙම සුලඟින් චිත්‍රපට ඇවිදින් හාඩ් ඩිස්ක් එහෙකට විනාඩි ගානකින් පුරවගන්න පුලුවන් වේවි යැයි ඒ පොඩි එකාට තියා වැඩිහිටියෙකුට කිව්වත් එකල විස්වාස නොකරනු ඇත.

ඒත් නොදැනීම, සිහින දුටු අනාගතය අද වී, අතීතය සිහිනයක් වී, ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වී ඇත....!

Wednesday, March 20, 2019

Mortal Engines (2018)

Lord of the Rings චිත්‍රපට පෙළේ අධ්‍යක්ෂවරයා වන පීටර් ජැක්සන්ගේ නම මීට ගෑවී තිබුණත්, ඔහු ඊට දායක වෙලා තියෙන්නෙ තිර රචනයෙන් සහ සම නිෂ්පාදනයෙන් පමණයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා Christian Rivers වන අතර මේ ඔහුගේ මංගල චිත්‍රපට අධ්‍යක්ෂණයයි.

චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ මේ නමින්ම තියෙන, Philip Reeves නම් ලේඛකයාගේ පොතක් ඇසුරෙන්. එය සිව් ඈඳුනු පොත් පෙළක පළමු පොත වන අතර, මේ චිත්‍රපටය සාර්ථක වුනොත් සමහර විට ඉතිරි පොත් තුනත් චිත්‍රපට බවට පත් වෙයි.
මේ පොත් වගේම චිත්‍රපටයත් අයත් වෙන්නෙ Steampunk කියන වර්ගෙටලු, ඒ කියන්නෙ genre එක. එහෙම එකක් කලින් අහල තිබුන් නැත්තං , මේක බලල තේරුම් ගන්න පුලුවන් වෙයි ඒ මොන වගේ ජාතියක්ද කියන එක. සරලව කිව්වොත් ඔය නිකං යකඩ දැති රෝද එන්ජින් වගේ දේවල් පිරිච්ච ලෝක වල, පරිසර වල සිද්ද වෙන කතන්දර ... අර මීට කලින් ආපු Hugo, Sky Captain and the World of Tomorrow , Golden Compass වගේ චිත්‍රපටත් අයිති වෙන්නෙ මේ ගොඩට.

LOTR සහ Hobbit වැනි චිත්‍රපට පිටුපස සිටි VFX ටීම් එකම, නොහොත් පීටර් ජැක්සන් ප්‍රමුඛ කණ්ඩායමම තමා මේ ෆිල්ම් එකෙත් දෘශ්‍ය ප්‍රයෝග (VFX) පැත්තෙ වැඩ ටික බලල තියෙන්නෙ. මේක නරඹපු චිත්‍රපට විචාරකයො ගොඩ දෙනෙක්ගෙ අදහස වෙලා තියෙන්නෙ VFX පැත්තෙන් සාර්ථක උනත් කතාව පැත්තෙන් එච්චරම ගැම්මක් නැති බවයි.

චිත්‍රපටයේ කතාව ගැන නම් මුකුත්ම කියන්නෙ නෑ මොකද අද ඉඳල (14) මේ ෆිල්ම් එක ලංකාවේත් තිරගත වෙනවා. ඉතිං බලලම කතාව දැන ගන්න පුලුවන්නෙ.

ප.ලි. අද හවස ඔන්න මේක බැලුවා. අනේ මේ විචාරකයො කියන තරම් අවුලක් නම් නෑ . (Rotten tomatoes වල 28% යි දීලා තියෙන්නෙ 😒) කතාවෙ ගතියක් තියෙනවා. අනික අර ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ගතියත් චුට්ටක් තියෙනවා. පුලුවන් නම් හෝල් එකටම ගිහිල්ලා බලන්න මොකද ඒ දර්ශන වල තියෙන දැවැන්ත ගතිය ඇඟට දැනෙන්නේ හෝල් එකකින් බැලුවම තමා....

අදහන්න නෙවෙයි රසවිඳින්න....

මේ... ඕගොල්ලො බලල තියෙනවද අර ෆිල්ම් එකක් තියෙන්නෙ, Abraham Lincoln: Vampire Hunter කියල? ඕකෙ විදිහට ඒබ්‍රහම් ලින්කන් කියන්නෙ වැම්පයර්ස්ලට විරුද්ධව සටන් කරපු කෙනෙක්. ඇත්තටම ඒකෙ එක්තරා සංඛේතාත්මක දෙයකුත් තියෙනවා කියලයි තේරුනේ බලද්දි. කොහොම හරි, චිත්‍රපට කතන්දර නිර්මාණය කරන එක ෂානරයක් (genre) තියෙනවනෙ Historical Fantasy කියල. ඕකෙ තව උප ෂානරයක් තියෙනවා , Alternate history and historical fantasy කියල . ඒ අනුව අපිට හිතන්න පුලුවන් මේ චිත්‍රපටය අයිති වෙන්නෙ ඔන්න ඔය ගොඩට කියල. මොකද මේ ෆිල්ම් එකේ කතාවෙ හැටියට, ඒබ්‍රහම් ලින්කන්ට සීක්‍රට් අයිඩෙන්ටිටි එකක් තිබිලා තියෙනවා වැම්පයර් හන්ටර් කෙනෙක් විදිහට.

දැන් මම කියන්න උත්සාහ කරන්නෙ මේකයි...
ඔය ෆිල්ම් එක එලියට ආවම, ඇමරිකාවෙ ඉන්න රසික ප්‍රජාව ඔෆෙන්ඩ් උනේ නෑ අනේ මෙන්න අපේ හිටපු ජනාධිපති කෙනෙකුට අපහාස කරලා... අනේ එයා කොහෙද වැම්පයර්ස්ලව මැරුවෙ? ඇයි මේම බොරු කියල මිනිස්සු රවට්ටනෙ? ඇයි අපේ ඉතිහාසය විකෘති කරන්නෙ? අපෙ පොඩි දරුවො මේවයින් ගන්න ආදර්ශෙ මොකද්ද ? අපේ පාසල් යන දුවා දරුවන්ට මෙව්ව පෙන්නන්නේ කෝමද දෙයියනේ එයාලගෙ සමාජ අධ්‍යයනය පොතේ මෙහෙම කතාවක් නෑනේහ්.... ආදි දේවල් කිය කිය.
හැබැයි නිකමට හිතන්නකො ඔහොම එකක් ලංකාවේ හැදුවයි කියල.

අපි උදාහරණයක් ගමු.

අවුරුදු ගානකට කලින් විදුසර පත්තරේ ගියා විද්‍යා ප්‍රබන්ධ කතාවක්... ඒකත් ටිකක් ඔය වගේ. (ලියපු කෙනාව නම් මතක නෑ.)
කොහොමහරි කතාව තිබ්බෙ සීගිරිය ගැන.

ඒ කතාවට අනුව, කාශ්‍යප රජතුමා සීගිරිය තමන්ගෙ බලකොටුව කරගන්න කලින්, එතන ඇත්තටම තිබිල තියෙන්නෙ ඒලියන්ස්ලගෙ කොලනියක්. උන් මොකක් හරි පර්යේෂණ කටයුත්තකට ඒක උඩ කොලනියක් හදන් ඉන්නව. ඔය අදටත් වැඩ කරන වතුර මල් එහෙම උන් හදපුවා. විදුලි සෝපාන වගේ ටෙක්නොලොජි ඔක්කොමත් උන්ගෙ. කාශ්‍යප, මුගලන් එක්ක යුද්දෙට යන්න කලින් මුන් එක්ක යුද්ධයක් කරනව. යුද්ධයක් කිව්වට ලොකුවට ෆයිට් කරන්න ඕනෙ වෙන්නෙ නෑ. අරුන් ටිකගෙ කොලනියට පහල ඉඳන් ගිනි බෝල විසිකරනව ලොකු කැටපෝල යොදාගෙන මට මතක හැටියට . ඉන් පස්සෙ ඒලියන්ස්ල උන්ගෙ යානා වල නැගල පිට වෙලා යනව. ප්‍රති ප්‍රහාර එල්ල කරන්නෙ නෑ මොකද උන්ගෙ අරමුණ මෙහෙ යුද්ධ කරන එක නොවෙන නිසා. කොහොමෙන් හරි කාශ්‍යප ඊට පස්සෙ ඒ බලකොටුව තමන්ගෙ කරගන්නව. හැබැයි අර ටෙක්නොලොජි කාලයාගෙ ඇවෑමෙන් නැති වෙලා යනව මොකද ඒව උදුරගත්තු ඒව මිසක් අවබෝධයෙන් ගොඩනගපු දේවල් නොවෙන නිසා. ඉන්පස්සේ තමා මුගලන් ඇවිදින් ගේම ඉල්ලන්නෙ.

ඔන්න ඕකයි ඒ කතාව.

දැන් මම අහන්නෙ මේකයි, ඔය කතාවෙන් අපි ෆිල්ම් එකක් කලා කියමුකො? ප්‍රතිචාරය කුමක් වෙයිද?
අනිවා සැලකිය යුතු නැන්දලා මාමල, අයියල අක්කලා සෙට් එකක් සෑහෙන හඬක් නගයි ඉතිහාසයේ ඔහොම එකක් තිබ්බෙ නෑය මෙන්න විකෘති කරලාය ඇයි අච්චර ලස්සන ඉතිහාසයක් තියෙද්දි මේ බොරු පෙන්නන්නේ? අවුරුදු දෙදාස් පන්සීයක ලිඛිත ඉතිහාසය නේද මේ බොරු කරන්න හදන්නෙ? කිය කිය. හා නැද්ද ?

මේ ටික කියන්න අර රාවණ එකත් බලපෑව. මොකද ගොඩක් පිරිසක් ඒක බලන්නෙ, රාවණ ගැන "ඇත්ත කතාව" දැන ගන්න. ඔය "ෆැන්ටසි අජීර්ණ" රෝග තත්ත්වය සහිත "රසික හදවත්" හොඳින් හඳුනන නිසාම, ඔය කතාව මාකට් කරන්නෙත් ඒ විදිහටම තමා . ඉල්ලන දේ එපෑ දෙන්න නැද්ද මං අහන්නෙ ? මොකද අපේ කස්ටිය හෙනම ආසයි "ඇත්තටම මොකද්ද උනේ?" කියල දැන ගන්න... "හෙලි නොවූ කතාව " දැන ගන්න... බොරු නම් ගිහින් යූ ටියුබ් ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ බලන්නකො මොනාද ට්‍රෙන්ඩ් වෙන්නෙ කියල. සාක්ෂි ඇතුව හෝ නැතුව මොකක් හරි එකක් රස කරල කිව්වනම් අනේ ඒ හොඳටම ඇති. ඊට පස්සෙ ඒක තමා පට්ට ඇත්ත.

එක අතකට ඔය ගේම් ඔෆ් ත්‍රෝන්ස් , ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වගේ කොලිටියට කතා මෙහෙ හැදෙන්නේ නැති එකත් හොඳයි. ඒ වගේ බොක්කටම දැනෙන්න එකක් නිකං හරි හැදුවොත් මේ තත්ත්වය මීටත් වඩා දරුණු වෙයි, කොටසක් කියයි හෙළ ඉතිහාසය විකෘති කළා කියල , තවත් කට්ටියක් හදපු උන්ට පින් දෙයි මෙච්චර කාලයක් අපි නොදැන හිටපු හෙළ ඉතිහාසය අපිට කියල දුන්න කියල ... මේ කතා සමාජ අධ්‍යයනය අච්චු පොතට නොදාන්නෙ, බටහිර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදිහට කියල කියන්නත් බැරි නෑ ...

නිර්මාණ හදන උන්වම විවේචනය කරල වැඩක් නෑ බලන් ගියාම. කොටින්ම මේ නාට්‍ය හදන අයත් දන්නවා අපේ ප්‍රේක්ෂකයන්ගෙ දේහලීය අගය නොහොත් දරාගන්න පුලුවන් සීමාව. ඒ කියන්නෙ, මුන්ට මේක ආගමක් වගේ අදහන්න පටන් ගන්න, මහ ලොකු නිර්මාණ කාර්යයක් කරන්න ඕනෙ නෑ කියන එක එයාලට තේරෙනව.

රසිකයො/ප්‍රේක්ෂකයො විදිහට අපිත් අපේ ඒ සීමාව අඳුනගෙන ඒක ටිකක් එහාට තල්ලු කරගන්න එක වැදගත්. අපිත් ඉස්සරහට යන්න ඕනෙ නැද්ද නිර්මාණත් එක්ක...?
ෆැන්ටසියක් ෆැන්ටසියක් විදිහට බාරගමුකො... අදහන්න නෙවෙයි රසවිඳින්න.

BlacKkKlansman (2018)

මේ ෆිල්ම් එකේ නම කියෙව්ව ගමන් මේක මොකක් ගැන තියෙන ෆිල්ම් එකක්ද කියල තේරුම් ගත්ත නම්, ඔයත් බොහෝවිට ඉස්කෝලේ යන කාලෙ පැල් බැඳන් අර චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරපු ශර්ලොක් හෝම්ස් පොත් කියවපු එකෙක් වෙන්න ඕනෙ. ඔය මැද්දේ තියෙන KkK අකුරු ටික දැකපු සැනින් මට මතක් වුනේ අර ශර්ලොක් හෝම්ස් කතාවක් තියෙන්නෙ... දොඩම් ඇට පහක් ලියුම් කවරෙක දාල එවන සිද්ධියක් තියෙන? මතකද? ඒකෙ සිංහල නම නම් මතක නෑ. ඉංග්‍රීසි නම The Five Orange Pips.

සර් ආතර් කොනන් ඩොයිල් ශර්ලොක් හෝම්ස් කෙටි කතා 56 ක් ලියල තියෙනව. ඒ අතරින් ඕකෙයි තව එක කතාවකයි විතරයි අභිරහසක් විසඳගන්න කියල හෝම්ස් ගාවට එන ක්ලයන්ට්, කතාව අතරතුරේ මැරෙන්නෙ. ඉතිං මේ කතාවෙත් එහෙම වෙනව සහ අන්තිමට එලිවෙනව, ඒ මරණයට වග කියන්න ඕනෙ මෙන්න මේ KKK කියල හඳුන්වන මිනීමරු කල්ලිය කියල. ඔව්, KKK කියන්නෙ ඉතිහාසයේ තිබුණු සහ දැනටත් පවතිනවා කියල විශ්වාස කරන මිනීමරු කල්ලියක්. ශර්ලොක් හෝම්ස් කතා මනඃකල්පිත ඒව වුනත්, මේ කල්ලිය ඇත්තටම තිබ්බ (තියෙන?) එකක්...
KKK කියන්නෙ, Ku Klux Klan කියන එක කෙටි කරල. මේ අය ඔය පෝස්ටර් එකේ තියෙනවා වගේ කෝන් ශේප් එකේ තොප්පිත් පාවිච්චි කරල තියෙනවා මිනීමරන්න යද්දි මූණ වහගන්න ගමන්, KKK අනන්‍යතාව ‍රැකගන්න.

හරි ...ඉතිං මේ ෆිල්ම් එක ගැන ....
ශර්ලොක් හෝම්ස් ගැන කිව්වෙ KKK නිසා. මේක ශර්ලොක් හෝම්ස් ගැන එකක් නෙවෙයි.

ෆිල්ම් එකේ කතාව විදිහට යන්නෙ, එක්දාස් නවසිය හැත්තෑ ගණන් වල ඇමරිකාවෙ කොලරාඩෝ සිටි ස්ප්‍රින්ග්ස් වල පොලිස් දෙපාර්තමේන්තුවට ප්‍රථම කලු ජාතික පොලිස් රහස් පරීක්ෂකවරයා විදිහට වැඩ භාරගන්න Ron Stallworth කියන නිලධාරියා, ඒ ප්‍රදේශයේ ඒ කාලෙ දරුණුවටම ක්‍රියාත්මක වෙච්ච මේ කල්ලිය මර්දනය කරන්න වෙස් වලාගෙන කරන ගේම් එක. ඔව්. ඇත්ත කතාවක්.

අර Getout කියල ෆිල්ම් එකක් ආවනේ, මේකත් ඒ සෙට් එකේම වැඩක්.
ඉතිං මේක මේ අවුරුද්දේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන වලටත් නිර්දේශ වෙලා තියෙනවා හොඳම චිත්‍රපටය ඇතුලු අංශ හතරකට. ඒ වගේම American Film Institute එකෙන් 2018 වසරේ හොඳම චිත්‍රපට දහයෙන් එකක් විදිහටත් නම් කරලලු.

බලන්න වෙයි වගේ නේ? 🤗🤗

"jumping the shark"

අපි දැකල තියෙනවා සමහර අපි ආසාවෙන් බලපු ටීවි සීරීස් කාලයක් යද්දි චොර වෙලා යනව. මොකක් හරි හේතුවක් නිසා මිනිස්සුන්ට එපා වෙලා ජනප්‍රියත්වය නැතිවේගෙන යනව. ඔන්න ඔහොම බහින කලාවෙ යන ටීවී ෂෝ, ආපහු Up කරල ගන්න සමහර විට ඒ ටීවි සීරීස් හදන අය මොනා හරි අමුතු දෙයක් කරල බලනවා... ඒ කියන්නෙ සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයන් ඒකෙන් බලාපොරොත්තු නොවෙන ජාතියෙ දෙයක්...නිකං twist එකක් වගේ. ඉතිං එහෙම කරන්න ගිහින් අර තිබ්බ තත්ත්වෙත් නැති වෙලා නිකං ඇදගෙන නෑමක් වගේ වුනොත් අන්න ඒකට කියන නිකං ප්‍රස්ථා පිරුළක් වගේ එකක් තියෙනවා, "jumping the shark" කියල .
(සමහර විට, ලොකු අවුලක් නැතුව හොඳට තිබ්බ කතා, තව හිට් කරන්න ගිහිල්ලා ඇණ ගත්තමත් මේක කියනව)

මේ වගේ පිරුළු හැදෙන්නේ බටහිර රටවල් වල තමා... මොකද එහෙනෙ ටීවි සීරීස්, ෆිල්ම්ස් සම්බන්ධ ලොකු ඉතිහාසයක් වගේම සංස්කෘතියක් තියෙන්නෙ. ඉතිං මේ වගේ phrases "coin" වෙන්නෙත් ඒ රටවල් වල.

ඉතිං මොකද්ද මේ ජම්පින් ද ශාක් කියන්නෙ? කොහොමද ඒ නම වැටුණෙ?

1970 ගණන් වල ඉඳල අසූ ගණන් වෙනකම් ඇමරිකාවෙ විකාශනය වෙච්චි Happy Days කියන සිට්කොම් එකක් තමා මේකට මුල් වෙන්නෙ. සිට්කොම් කියන්නෙ situation comedy කියන එකනෙ. ඒ කියන්නෙ මේක සරල විහිලු තියෙන ටෙලිනාට්‍යක්. ඉතිං මේකෙ ජනප්‍රිය බව අඩුවේගන යද්දි ඒක හදපු අය, අමුතු වැඩක් කරන්න තීරණය කලා. ඒ තමා මේකෙ ඉන්න ෆ්‍රොන්සි කියන චරිතය , skiing තරඟයකට ගිහින්, මුහුදෙ ඉන්න මෝරු ඉන්න තැනකට උඩින් skiing වලින් පනින සීන් එකක් කරන එක. (කියනවට වඩා ලේසි මේක යූ ටියුබ් බලන්න) ඉතිං මේ වගේ ඇක්ෂන් සීන් එකක් මිනිස්සු කිසිසේත්ම අර වගේ සිට්කොම් එකකින් බලාපොරොත්තු වෙන්නෙ නෑනෙ ... ඒක නිසාම මේක කට්ටියම බැලුව. ෂෝ එකේ ඒ එපියෙ රේටින්ග්ස් වැඩිවුනා. ඒත් සමස්තයක් විදිහට ෂෝ එක ඩවුන්ද පල්ලම් යන එක නම් නතර කරන්න බැරිවුණා මොකද ඉතිං මිනිස්සු සිට්කොම් එහෙකින් බලාපොරොත්තු වෙන්නෙ ඔය විදිහෙ ඇක්ෂන් නොවෙන නිසා. ඔය මෝර උඩින් පනින සීන් එකෙන් තමා jumping the shark කියන phrase එක ඇති වුනේ....

ඒක ගැන කියද්දී නොකියා බැරි ඔය වගේ තව එකක් තියෙනවා, "nuke the fridge" කියල. මේක නම් ගොඩක් අය දන්නවත් ඇති. මේක පාවිච්චි වෙන්නෙ චිත්‍රපට සම්බන්ධයෙන්. ඒ කියන්නෙ කාලයක් ජනප්‍රිය වෙලා තිබිලා ක්‍රමයෙන් ජනප්‍රියත්වය අඩු වීගෙන යන ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක්, ආපහු මිනිස්සු අතරට ගෙනියන්න කරන "ඩෙස්පරේට්" උත්සාහයක් සහ ඒ උත්සාහයෙදි චොර sequels හදල අර ඩවුන් වෙලා තියෙන එක තවත් වණ කර ගැනීමේ අවස්තාවන් තමා මෙහෙම හැඳින්වෙන්නේ....

හරි ඉතිං මොකද්ද මේ පිරුළෙ ඉතිහාස කතාව ?

මේක එන්නෙ අර Indiana Jones and the Kingdom of the Crystal Skull කියල හදපු ඉන්දියානා ජෝන්ස් එකේ හතර වෙනි ෆිල්ම් එකෙන්. ඕකෙ සීන් එකක් තියෙනවා න්‍යෂ්ටික බෝම්බයක් පිපිරෙන. ඉතිං ප්‍රධාන චරිතය නොහොත් ඉන්ඩියානා ජෝන්ස්, ඒකෙන් බේරෙන්නෙ ෆ්‍රිජ් එකක් ඇතුලට ගිහිල්ලා දොර වහගැනීමෙන්..!

ෆිල්ම් එක රිලීස් වුනැයින් පස්සෙ ෆිල්ම් එකටත් වඩා හැමෝම කතා වුනේ මේ සීන් එක ගැන. මොකද ඒක විද්‍යාත්මක පැත්තෙන් බැලුවම අන්තිම ගොබ්බ සීන් එකක්. අනික මේක ඩිරෙක්ට් කලේ ස්පිල්බර්ග්... ඉතිං ඕක එයාගෙන්ම අහල තිබ්බ වතාවක්. එතකොට එයා කියල තිබ්බෙ, "ඒක මගේ මෝඩ අදහසක්"(my silly idea) කියලයි... හැබැයි, ඔයින් මෙයින් හොලිවුඩ් වලට ඒ වගේ phrase එකක් හඳුන්වා දෙන්න ලැබීම ගැන තමන් සතුටු වෙන බවත් ඔහු කියල තිබ්බා.

ඔය ෆිල්ම් එකේ executive producer වුනේ ජෝජ් ලූකාස්. එයා නම් කියල තිබ්බෙ, ඒ මෝඩ අදහසෙ සම්පුර්ණ වගකීම ස්පිල්බර්ග්ට විතරක් දෙන්න බැරි බවත්, එක්සකටිව් ප්‍රඩියුසර් විදිහට ඒකට තමන්ගේ වගකීමකුත් තියෙන නිසා, අර phrase එකේ credit එකෙන් කොටසක් තමන්ටත් හිමි බවත්....😄


SpongeBob SquarePants බලල තියෙන්නෙ කව්ද ?

මේක ඉස්සර ගියා හවසට ETV එකේ. පිටින් බැලුවම විකාරයක් වගේ තමා පේන්නෙ. ඒත් එක සැරයක් හරි බැලුව කෙනෙක්, ඒකට ඇබ්බැහි වීමේ සම්භාවිතාව ඉතා ඉහළයි.

මේ කාටුන් එක බලපු/බලන ෆෑන්ස්ලට නම් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ මේකෙ තියෙන ආතල් එක. ඉතිං එහෙව් කාටුන් එකක් හදපු, ඒ චරිත , කතාව, පරිකල්පනය කරපු, නිර්මාණකරුවා මියගියා කියල දැන ගත්තම ඇත්තටම ලොකු කණගාටුවක් ඇති වුනා. ඒ නිසාමයි මේ ටික ලියන්නෙ.

ස්පොන්ජ්බොබ් නිර්මාණය කළේ, Stephen Hillenburg. ඔහු පසුගිය නොවැම්බර් 26 වෙනිදා, ඔහුට වැළඳී තිබුනු චාලක නියුරෝන ආශ්‍රිත රෝගය නිසා හටගත්තු සංකූලතා හේතුවෙන් ජීවිතෙන් සමුගත්තා. ඒ වෙද්දි වයස 57 යි. ඉතිං මැරෙන්න වයසක් නෙවෙයි. ඒත් මොනා කරන්නද?😢

ස්ටීවන් මුලින්ම වෘත්තීයෙන් සාගර ජීව විද්‍යාඥයෙක්. ඉන්පස්සේ තමා ඇනිමේෂන් පැත්තට යොමු වෙලා තියෙන්නෙ. දැන් තේරුම් ගන්න පුලුවන්නෙ මේ කාටුන් එකේ පසුබිම සහ චරිත ඒ විදිහට නිර්මාණය වුනේ ඇයි කියල ?
ඉතිං මේ කාටුන් එකේ සාම්පල් එපිසෝඩ් එකක් හදල Nickelodeon එකට ගිහින් පෙන්නුවාම, ඒකෙ තියෙන අමුතුම ගතිය නිසාම එයාල කැමති වෙලා තියෙනවා මේක Nickelodeon වල විකාශනය කරන්න. ඒ 1999 අවුරුද්දේ . එහෙම පටන් ගත්ත කාටුන් එක අදටත් විකාශනය වෙනවා. මේ වෙද්දි සීසන් එකොළහක් , එපිසෝඩ් දෙසිය හතලිස් දෙකක් විකාශනය වෙලා, ෆිල්ම්ස් දෙකකුත් හැදිලා තව ෆිල්ම් එකක් ඉදිරියේ එන්නත් තියෙනවා.(ලෝකයෙ වැඩියෙන්ම ජනප්‍රිය කාටුන් එක මේක කියල තමා කියන්නෙ) SpongeBob කියන්නෙ තව දුරටත් නිකම්ම කාටුන් එකක් නෙවෙයි . ඒක ෆ්‍රැන්චයිස් එකක්... ගේම්ස් තියෙනවා , memes තියෙනවා. වැඩිය ඕනෙ නෑ පිටකොටුවේ පේමන්ට් එකේ ගිහින් බැලුවම SpongeBob රූපය සහිත වෙළෙඳ භාණ්ඩ අනන්ත හොයාගන්න පුලුවන් . ඉතිං මේ විදිහට ලෝකෙ පුරා අලෙවි වූ ස්පොන්ජ්බොබ් merchandise ඇතුලුව, ඊට අදාල සියල්ල නිසා නිර්මාණකරුවන්ට දැනට ඩොලර් බිලියන 13 කටත් වඩා ආදායමක් ලැබිල තියෙනවා.
මෙන්න මේ විදිහට , තමන්ගෙ හිතේ ඇඳුනු කාටුන් චරිතයක් , සුපිරි පරිකල්පන හැකියාව පාවිච්චි කරල ලෝකය පුරාම පැතිරුණ අමරණීය චරිතයක් බවට පත් කරපු මනුස්සයෙක් තමා අද මේ මියගොස් තියෙන්නෙ.
කණගාටුවට හේතුව වෙන්නෙ ඔහු අකාලයේ මියගිය එක පමණයි.

SpongeBob SquarePants කාටුන් එකේ තියෙන විශේෂත්වය තමා, ඒක පොඩි අයට වගේම වැඩිහිටියන්ටත් එකසේ විඳින්න පුලුවන් වීම. මේක හුදෙක්ම නිකං ප්‍රකාශයක් නෙවෙයි. සමීක්ෂණ වාර්තා මගින් ඔප්පු වෙච්ච දෙයක්.

ඉතිං මේ SpongeBob කාටුන් එක බලලම නැත්තං නිකමට එක එපිසෝඩ් එකක් බලන්න. වගකීමෙන් කියන්නෙ ඒක වෙනම ආතල් එකක්.

රැක් ෆෝකස් (rack focus)කියල වචනයක් අහල තිබ්බද කලින්?

ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය නම් දන්නව ඇති ඉතිං අපි දන් නෑනෙ. වචනෙ නොදන්නව උනාට, ඒකෙන් වෙන දේ නම් අපි දැකල තියෙනවා ඕන තරම්. ඇත්තටම මොකද්ද මේ රැක් ෆෝකස් කියන්නෙ?

දැකල තියෙනවද චිත්‍රපට වල එකම රූප රාමුව ඇතුලෙ කැමරාවෙ ලෙන්ස් එකේ ෆෝකස් එක ඒ කියන්නෙ කාචය නාභිගත වෙලා තියෙන තැන වෙනස් කරමින්, ඒ රූපරාමුව ඇතුලෙ තියෙන විවිධ දේවල් වලට ප්‍රේක්ෂකයගෙ අවධානය යොමු කරනව? ඔය දාල තියෙන රූප බලන්න. ඒ කියන්නෙ මුලින්ම මේසෙ එහා කෙලවරේ ඉන්න කෙනා කතා කරද්දි එතනට ෆෝකස් වෙන කැමරාව ඉන් පස්සෙ මෙසේ මෙහා කෙලවරේ ඉන්න ගෑනු කෙනාගෙ මූණට ෆෝකස් වෙනව. අන්න එහෙම ලේයර්ස් විදිහට ෆෝකස් එක වෙනස් කරන එකට තමා රැක් ෆෝකස් කරනව කියන්නෙ. රූප වලින් කතාව කියද්දි ප්‍රේක්ෂකයන්ට විවිධ දේවල් අඟවන්න යොදාගන්න එක ක්‍රමයක් තමා මේ. කැමරාවෙ පිහිටීම වෙනස් නොකර ෆෝකස් එක විතරක් වෙනස් කරලත් ගොඩක් දේවල් සන්නිවේදනය කරන්න පුලුවන්.

මේ විදිහට කැමරා කාචය එක්ක කරන මේ සෙල්ලම බාරව ඉන්න කෙනාට කියන්නෙ "ෆෝකස් පුලර්" (focus puller) කියලයි. කැමරා ඔපරේටර්වරු එක්ක තමා එයා වැඩ කරන්න ඕනෙ. සිනමැටොග්‍රැෆර් යටතේ.
එයගෙ වගකීම තමා අධ්‍යක්ෂවරයාට අවශ්‍ය විදිහට මේ කාච එහෙ මෙහෙ කරල ඒ දර්ශනය අවශ්‍ය විදිහට අරං දෙන එක. හැබැයි ඒ ඉස්සර. දැන්නම් ගොඩක් වෙලාවට ඉලෙක්ට්‍රොනික් විදිහට ඔටෝමැටිකලි වෙන්න සෙට් කරන්න පුලුවන් මේක.

දැන් මේකෙම තව පොඩි දෙයක් තියෙනවා, ටිකක් වෙනස් සිද්ධියක් ....

සාමාන්‍යයෙන් දර්ශනයක් ගත්තම ඒකෙ එක් තලයකටනෙ කැමරාව නාභිගත වෙලා තියෙන්නෙ. හැබැයි අධ්‍යක්ෂවරයාට උවමනා වුනොත් , ඈත වෙන සිද්ධියක් සහ ඒ ෆ්‍රේම් එකේම ලඟ වෙන සිද්ධියක් එකම වෙලාවෙ ෆෝකස් කරල පෙන්නන්න ? එතකොට මොකො කරන්නෙ?
ඒ වගේ වෙලාවට ඩයොප්ටර් එකක් කාචෙට ඉස්සරහින් සෙට් කරල , එකම කාචයට නාභිදුරවල් දෙකක් එන විදිහට හදාගන්න පුලුවන්. ඒකට කියන්නෙ split field diopter effect කියලයි. ඔය ටැරන්ටිනො, ස්පිල්බර්ග් , මාටින් ස්කෝසි, වගේ වැඩකාරයො මේ ක්‍රමයත් පාවිච්චි කරනව ෆිල්ම් හදද්දී. (Casino ෆිල්ම් එකේ රූපයක් උදාහරණයක් විදිහට දාල තියෙනවා)

ප.ලි. මේ ස්ක්‍රීන් ශොට්ස් ගත්තෙ යූ ටියුබ් වීඩියෝ එහෙකින්. Fandor කියල channel එකක් තියෙනවා මේ වගේ ටෙක්නිකල් දේවල් තියෙන. කැමති අය ගිහිල්ලා බලන්න . ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් ....




Life that Glows (2016)

කණාමැදිරියො අනන්ත දැකල තිබුනත්, රෑ බදුල්ලොත් ඕන තරම් දැකල තිබ්බත්, ඇත්තටම රෑ බදුල්ලා කියන්නෙ වෙනම සතෙක් නෙවෙයි කණාමැදිරියන්ගෙ ජීවන චක්‍රයෙ එක් අවස්තාවක් කියල තේරුම් ගත්තෙ මේ ලඟදි. හැබැයි ඒ නම් මේ වාර්තා චිත්‍රපටය බලල නෙවෙයි.

මේ ඩොකියුමෙන්ට්‍රිය බලල ඊටත් වඩා ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් ජෛව සංදීප්තතාව (bioluminescence) දක්වන මේ ලෝකෙ ඉන්න ගොඩක් ජීවීන් ගැන .

උදාහරණයක් විදිහට ඔය කණාමැදිරියො ඉන්නවනෙ, නගරබදව නම් ටිකක් අඩු වුනත් ගම්පලාත් වල නම් රෑ වෙලා ටිකක් එලි පහලියට බැස්සොත් මුන් එහෙ මෙහෙ යනව දකින්න පුලුවන්. ඉතිං එහෙම යද්දි සැරින් සැරේ පොඩි බල්බ් එකක් වගේ නිවි නිවි පත්තු වෙනවනෙ. අපි ඉතිං හිතෙන්නෙ උන් ඒ එලිය දාන්නෙ උන්ට පාර හොයාගන්න වෙන්න ඇති කියල සරලව. ඒත් ඇත්තටම ඒ එලියේ දීප්තිය සහ නිවෙන දැල්වෙන රටාව කණාමැදිරි විශේෂයෙන් විශේෂයට වෙනස්. ඉතිං එකම විශේෂ වලට අයිති කණාමැදිරි ගැහැණු පිරිමි සත්තුන්ට උන් උන්ව හොයාගන්න මේකෙන් පුලුවන්. ඒ විතරක් නෙවෙයි මේක එක්තරා ආකාරයට නිකං මෝස් කෝඩ් එකක් වගේ පණිවිඩ යවන්නත් පාවිච්චි වෙනව.

ගැහැණු කණාමැදිරියෙක් දක්වන එලි රටාවකට (mating call), ඒ විශේෂයෙම පිරිමි සතෙක්, පිලිතුරු විදිහට යවන එලි සංඥාව යවන්න ඕනෙ යම් තප්පර ගානකට පස්සෙයි. ඉතිං ඌ ඒක හරියටම ඒ ටයිම් එකට යැව්වෙ නැත්තං අර කණාමැදිරිච්චි තේරුම් ගන්නව මූ හරියන එකෙක් නෙවෙයි කියල. (ඇත්තටම කිව්වොත් , උගේ ජාන කිටුව (genome) හරි නෑ, ඒකයි ටයිමින් අප්සෙට් යන්නෙ. කණාමැදිරියො ඕව දන්නෑ, ඒත් ඇත්තටම එතෙන්දි වෙන්නෙ ස්වභාවික වරණයක් කියන්න පුලුවන්)

ඉතිං ඔන්න ඔය වගේ අපි හීනෙන්වත් හිතන්නෙ නැති සංකීර්ණ දේවල් මේ අපි එදිනෙදා දකින ස්වභාවධර්මයේ තියෙනවා.
මේ චිත්‍රපටයෙ කණාමැදිරියො ගැන විතරක් නෙවෙයි, ජෛව සංදීප්තතාව දක්වන සෑහෙන ජීවින් ගාණක් ගැන පුදුම හිතෙන තොරතුරු ගොඩක් අන්තර්ගතයි. අනික මේක ඉදිරිපත් කරන්නෙ David Attenbrorough.

ඉතිං මේ වගේ ස්වභාවධර්මය ගැන තියෙන වාර්තා චිත්‍රපට බලන්න කැමතියි නම් මේක අනිවාර්යයෙන් බලන්න...

චිත්‍රපටි වල බොරු කෑම

චිත්‍රපටි වල සමහර දර්ශන සඳහා විවිධ කෑම වර්ග ඕනෙ වෙනවා. මේවා අවස්තාව අනුව ඇත්තටම හදල ගන්නත් පුලුවන්. ඒත් සමහර විට ඒවා බොරුවට හදල ඒ දර්ශන වලට පාවිච්චි කරන්න වෙනවා. ඒ කියන්නෙ ෆේක් ෆුඩ්. අපි හිතමුකො නිකං අයිස්ක්‍රීම් වගේ තියෙන එකක් කීප වාරයක් ගන්නව නම් අයිස්ක්‍රීම් දියවෙලා යන එක ගැටලුවක් . අන්න ඒ වගේ අවස්තාවන් වලට බොරු අයිස්ක්‍රීම් පාවිච්චි කරන්න පුලුවන්.

මේ වගේ දේවල් වලට පාවිච්චි කරන්න බොරු කෑම හදල විකුණන කඩවල් තියෙනවා . රෙඩි මේඩ් විදිහට ගන්න පුලුවන් . ඒත් මොකක් හරි චිත්‍රපටයක් සඳහා විශේෂ කෑමක් හදවගන්න ඕනෙ නම් එහෙම ඒව හදල දෙන්න ෆේක් ෆුඩ් ආර්ටිස්ට්ලත් ඉන්නවා. එතකොට කරන්න තියෙන්නෙ බොරුවට හදල ඕනෙ කෑම එකේ ඇත්ත සාම්පල් එකක් ඒ ගොල්ලන්ට යවන එකයි. එතකොට එයාලා ඒක බලාගෙන ඒ විදිහටම බොරු එකක් හදල දෙනවා. ඒක නරක් වෙන් නෑ ... පාට වෙනස් වෙන් නෑ.. වයනය (texture එක) වෙනස් වෙන්නෙත් නෑ...දිය වෙන් නෑ... කූඹි එන්නෙත් නෑ... කවුරුහරි බඩගින්නට කාලදායි කියල අවධානමකුත් නෑ ... 😊.

මේ සමහර කෑම සීයට සීයක් කෘතිම විදිහට හදන අතරෙ, සමහර ඒවා ඇත්ත කෑම අරං මොඩිෆයි කරලත් හදනවා. Food styling කියල කියන්නෙ මේකට. චිත්‍රපට වල නම් ආට් ඩිපාට්මන්ට් එකෙන් තමා මේ වැඩේ කරන්නෙ. හිතමුකො නිකං රෝස්ට් කරපු කුකුලෙක් පෙන්නන්න ඕනෙ කියල ඇඩ් එකකට. සමහර විට දැකලත් ඇති. අපි සැබෑ ජීවිතේ කොච්චර උත්සාහ කලත් කරන්න බැරි විදිහට රන්වන් පාටට ලස්සනට පේන්න කුකුලව රෝස් වෙලා කැමරාව වටේ කරකවල පෙන්නන්නේ... ඒ ඇත්තටම රෝස් කරපු කුකුල්ලු නෙවෙයි . රෝස් වෙලා වගේ පේන්න මේකප් කරපු කුකුල්ලු තමා ඒ. අනික් කෑම ඇඩුත් මෙහෙමයි බහුතරයක්. (ලංකාවේ නම් දන්නෑ ඉතිං , ජාත්‍යන්තරව කියන්නෙ )

බොරු කෑම ගැන කියපු නිසා, ජපානෙ ගැනත් නොකියා බෑ. හැබැයි ඒකට ෆිල්ම්ස් වල සම්බන්ධයක් නෑ. ඒත් මේ fake food බිස්නස් එක දරුණුවටම තියෙන රටක් තමා ජපානෙ කියන්නෙ . මොකද එහෙ රෙස්ටුරන්ට් වල ඩිස්ප්ලේ වල තියෙන කෑම පිඟන් ඔක්කොම මෙහෙම බොරුවට හදපුවා. ඒ කියන්නෙ මාලු කෑලි , පොකිරිස්සො, සලාද ... ඔක්කොම ප්ලාස්ටික් . ඒව හදන්න වෙනම ලොකු ෆැක්ටරි තියෙනවා . යූ ටියුබ් තියෙනවා ඕනෙනම් බලන්න .
(රූප වල තියෙන්නෙ 100% කෘතිම කෑම)


දෙවැනි ඉනිම....

දෙවැනි ඉනිම කියන්නෙ සංසාරයට හොඳ උදාහරණයක්. ඉතිං ඒ ඉමක් කොනක් නොපෙනෙන "සංසාර ගමනේ" කෙලවරක් පෙනෙන්න නැති බවත්, තමන් ස්වෝත්සාහී වෙලා අවබෝධයෙන් යුතුව ඒකෙන් එතෙර උනොත් මිසක අනවරාග්‍ර වූ මේ "සංසාරය" තුලටම හිරවෙන බවත් අවබෝධ කරගත් උතුම් නිලියක් ඒකෙන් මේ ඊයෙ පෙරේදා එතෙර උනා... 😂

මේ සංසාරයේ දුක තාමත් අවබෝධ කොට නොගත් සුවහසක් පෘථග්ජනයා මේ පිලිබඳ දැක්වූ අව්‍යාජ අදහස් අදාළ යූ ටියුබ් වීඩියෝ එක පහලින් දැක බලාගන්න පුලුවන්.

මොකක් හරි නාට්ටෙක ඉන්න නලුවෙක්ට නිලියෙක්ට ඒ නාට්ටෙන් මොන හේතුවක් නිසා හරි අයින් වෙන්න ඕනෙ උනාම එයා ඒ ගැන අධ්‍යක්ෂවරයාට කියනවනෙ. ඊට පස්සෙ අධ්‍යක්ෂවරයාට මෙයාව අයින් කරන්න විවිධ උපක්‍රම පාවිච්චි කරන්න පුලුවන්.
සමහර වෙලාවට අමුතුවෙන් උපක්‍රම දාන්නෙ නැතුව හෙන ගැහුවා වගේ අදාළ නිලිය හෝ නලුවා වෙනුවට වෙන කෙනෙක් දානවා. ඒකට හේතුවක් කියන්නෙ නෑ . අපි අපේ ඔලුවෙ ඉන්න චරිතය අර අලුත් මූණෙන් රිප්ලේස් කරගෙන මුකුත් උන් නෑ වගේ හිත හදාගන්න ඕනෙ. (GOT එකේ Daario Naharis)

එහෙම නැත්තං නිකං ඇක්සිඩන්ට් එකක් වෙලා ප්ලාස්ටික් සර්ජරි එකක් කරල මූණ වෙනස් උනා වගේ හේතුවක් දෙන්න පුලුවන් (ගොන් ඉතිං)

එහෙමත් නැත්තං හාට් ඇටෑක් එකක් වගේ හද්දවලා සෙනිකව දොට්ට දාන්න පුලුවන් ... බලන්න ඒ ලෙඩ කොච්චර ප්‍රයෝජනයවත් ද ටෙලිනාට්‍ය කලාවට? (උදාහරණය මම කියන්නෙ නෑ ඉතිං 😂)

සුලු කාලෙකට නම් සරලව රට යනවා වගේ දෙයක් පාවිච්චි කරන්න පුලුවන් . ඒත් සදාකාලිකව අයින් කරන්න ඕනෙ නම් ඒක හරියන්නෑ. මොකද ඌ කොහෙහරි පණපිටින් ඉන්නවා කියන්නෙ බලන උන්ටත් අවුල්.

ඉතිං මේ ඉවත් කිරීමේ කලාවට එක් උනු අලුත්ම ක්‍රමය තමා (මීට කලින් කරල තියෙනව නම් කියන්න), මේ පැවිදි කිරීම.

බලන්න කොච්චර නිර්මාණශීලීද කියල ? මහණ වීම කියන්නෙ ආපහු නොඑන විදිහට ගිහි ජීවිතේට සමුදීම කියන එක තමා සාමාන්‍ය පිලිගැනීම. ඒ නිසා ආපහු ඒමක් ගැන කහටක් හිතට එන්නෙත් නෑ. අනික, මේ රටේ අතිබහුතරයක් බෞද්ධ නිසා ඒ හැමෝටම මේක බොක්කටම වදිනවා. ඒ බහුතරයම, මහණ වීම සලකන්නෙ අඬා වැලපිය යුතු , හරිම සංවේදී අවස්තාවක් විදිහට. (අර නිවන් සුවය මරණයත් එක්ක ඒකාබද්ධ කරල තියෙනවා වගේම තමා )

ඒ කාලෙ බුදුහාමුදරුවො බණ කියද්දි, මහණකම හඳුන්වා දීලා තියෙන්නෙ සංසාරය කෙටි කරගන්න තියෙන හොඳම ක්‍රමයක් කියල නේද ? ඒත් ඒ වගේම උන්වහන්සේත් අනිවාර්යයෙන් දැනන් ඉන්න ඇති (සර්වඥතා ඥානය නිසා ) කවදා හරි දවසක මේ දූපතේ , සංසාරය වගේම භයානක සහ දීර්ඝ ටෙලිනාට්‍ය වලින් හදිස්සයට නිලියො අයින් කරන්නත් ඒක පාවිච්චි කරන බව, සහ ඒ දූපත් වාසීන් ඒක දැකලා හඬා වැලපෙන බව...

ඒත් ඉතිං මේ පාවිච්චි කරපු උපක්‍රමයේ වැරැද්දක් කියන්නත් බෑ. මොකද මේක ටෙලිනාට්‍යක්. ඒ වගේ දේවල් උපයෝගි කරගන්න සම්පුර්ණ නිදහස නිර්මාණකරුවාට තියෙනවා මට දැනෙන හැටියට ....

ප.ලි. මනුස්සයෙක් කොණ්ඩෙ උණු උණුවේ බූ ගෑවම, එන තට්ටය, ඒ මනුස්සයාගේ හමේ පාටටත් වඩා රන් වන් කහපාටකින්ද පේන්නෙ? අනේ මන්ද ඉතිං...

Dilwale Dulhania Le Jayenge (1995)

මේකෙ නමේ ඉංග්‍රීසි තේරුම් ගත්තම The big hearted will take away the bride නෙ. ඒ කියන්නෙ "සැබෑ පෙම්වතාට මනාලිය හිමිය" වගේ තේරුමක්. එහෙම බැලුවම ෆිල්ම් එකේ නමම තඩි ස්පොයිලර් එකක් . හැබැයි ඉතිං මේ වගේ හින්දි ෆිල්ම්ස් වල ඔය දේ ඇරෙන්න වෙන එකක් වෙන්නෙත් නැති නිසා එක අතකට අමුතුවෙන් ස්පොයිල් වෙන්න දේකුත් නෑ.

හැබැයි ෆිල්ම් එක බලලා ඒකෙ විකිපීඩියා පේජ් එක කියවද්දි තේරුන දේ තමා මේක හිතුවට වඩා සුවිශේෂී ෆිල්ම් එකක්ය කියන එක.

ඒක සුවිශේෂී වෙන්න කාරණා ගොඩක් තියෙනවා.
එකක් තමා මේ වගේ හිට් වුනු ෆිල්ම්ස් ගොඩක් හදපු ආදිත්‍ය චොප්රගෙ පළවෙනි චිත්‍රපට අධ්‍යක්ෂණය මේක වීම. නිෂ්පාදනය කරල තියෙන්නෙ එයාගෙ තාත්තා (යාෂ් චොප්රා)බව නම් ගොඩ දෙනෙක් දන්න දෙයක්නෙ.
ඉතිං ආදිත්‍යට උවමනා වෙලා තියෙනවා තමන්ගෙ පළවෙනි චිත්‍රපටය මිනිස්සුන්ට එපා නොවී නැවත නැවතත් බලන්න හිතෙන විදිහට කරන්න. හිතුවා වගේම මිනිහා ඒක සුපිරියට කරල තියෙන බව කියන්න පුලුවන් මොකද 1995 රිලීස් වෙච්ච ෆිල්ම් එක, අද මේ 2018 අවුරුද්දෙත් මුම්බායේ මරත මන්දීර් සිනමා ශාලාවේ තිරගත වෙනවා. මේක පනස් වතාවකට වඩා බලමු අයත් ඇතුලුව පට්ට ෆෑන් බේස් එහෙකුත් ඉන්නවා.

තවත් අමුතු කතාවක් තමා ආදිත්‍ය මුලින්ම මේකෙ කොල්ලගෙ චරිතය කරන්න ඕනෙ හොලිවුඩ් නලුවෙක් කියලයි තීරණය කරල තිබිල තියෙන්නෙ. ඒ කියන්නෙ කතාව තිබිල තියෙන්නෙ සුදු ජාතික (ඇමරිකන් ) කොල්ලෙක් සහ ඉන්දියන් කෙල්ලෙක් අතර ඇති වෙන ආදර කතාවක් විදිහට. ඉතිං ඒ චරිතය සඳහා ආදිත්‍ය හිතන් ඉඳල තියෙන්නෙ ටොම් කෲස්ව අරගන්නලු. ඒත් යාෂ් චොප්රා මේකට අකමැති වෙලා තියෙනවා . ඊට පස්සෙ තමා දැන් තියෙන විදිහට කතාව හදල තියෙන්නෙ. ඒත් ඒ හැදුවයින් පස්සෙත් මේකෙ ප්‍රධාන චරිතයට හින්දි නලුවෙක් හොයාගන්න ටිකක් අමාරු වෙලා තියෙනව. ආදිත්‍ය, ශාරුක්ට මුලින්ම ස්ක්‍රිප්ට් එක කියවන්න දුන්නම, ඒක කියවල ශාරුක් කිව්වලු එයාට ඒක ගැලපෙන්නෙ නෑ ඒ නිසා බෑ කියල. ඊට පස්සෙ අමීර් කාන්ට දීලා එයත් බෑ කියල. සෙයිෆ් අලිකාන්ට දීලා එයත් බෑ කියල තියෙනවා. ඉන්පස්සේ ආපහු ශාරුක්ව කිහිප වතාවක් හම්බෙලා, අන්තිමේ ආදිත්‍ය කිව්වලු, "ඔයාට මේ ක්ෂෙත්‍රයේ සුපිරි තරුවක් වෙන්න ඕනෙනම්, ඔයා හැම කෙල්ලෙක්ගෙම සිහින කුමාරයා වෙලා හැම අම්මා කෙනෙක්ගෙම ආදර පුතා වෙන්නත් ඕනෙ" කියල . ඔන්න ඊට පස්සෙ තමා අරය වැඩේට හා කියල තියෙන්නෙ . හැබැයි සල්මාන් කාන් නම් ශාරුක්ට කියල තියෙනවා ඔයා මේක කරන්න අනිවා හිට් වෙයි කියල. සැබෑ ජීවිතේ තමන්ගෙ සහ ගෞරි කාන්ගෙ ආදර කතාවත් ෆිල්ම් එකේ කතාවට චුට්ටක් විතර සමාන වීමත් මේ ශාරුක්ගෙ මේ තීරණයට හේතුවක් උනාලු.

එතකොට කාජල්? එයානම් ආදිත්‍යගෙ හොඳ යාලුවෙක් නිසා, මේ ගැන කියපු ගමන් එක පයින් කැමති වෙලා.
තව එකක් තමා, ෆිල්ම් එකේ රාජ්ගෙ (ශාරුක්ගෙ) එක යාලුවෙක් විදිහට ඉන්නෙ කරන් ජොහාර්! ඔව් ඔව් අර පස්සෙ කුච් කුච් එක හැදුවෙ... එයා තමා.

ෆිල්ම් එකේ නමේ තේරුම මුලින් කිව්වනෙ, ඉතිං ඔය නම මේකට දාමු කියල යෝජනා කරල තියෙන්නෙ Kirron Kher කියල නිලියෙක්. 1974 දි තිරගත වුනු Chor Machaye Shor ෆිල්ම් එකේ තියෙනවා Le jayenge le jayenge කියල සින්දුවක්. අන්න ඒ සින්දුවෙ පදයක් අරං තමා ඔය නම දාල තියෙන්නෙ . ඒ සින්දුව, මේ ෆිල්ම් එකේ එක තැනකදි රාජ් (කොල්ල) නිකං මුමුණ මුමුණ යන සීන් එකක් තියෙනවා. අනික තමා , චිත්‍රපටයේ නමාවලියෙත් මේ නම යෝජනා කරපු කෙනාට ක්‍රෙඩිට්ස් දීලා තියෙනවා. ඒකත් සුවිශේෂ දෙයක්.

මේ ෆිල්ම් එක සුවිශේෂී වෙන්නත්, මෙච්චර ඉහළ රේටින්ග්ස් ගන්නත් මේක කතාවෙ තියෙන අමුතු වෙනස් ගතිය බලපෑවා.

මොකද මේක ඒ තාක් කල් රැල්ලට හදපු හින්දි ෆිල්ම්ස් වලින් වෙනස් වුනු නිසා. මේ කතාව යන්නෙ ඉන්දියාවේ ජීවත් නොවෙන ඉන්දියන් ජාතිකයන් මූලික කරගෙන. කොල්ලයි කෙල්ලයි දෙන්නම එහෙමයි. Non resident indians ලා නොහොත් NRI ලා. මේ අයව ටාගට් කරල කරපු නිසා ඉන්දියාවේ වගේම ලෝකෙ පුරා ඉන්න ඉන්දියන් ඩයස්පෝරා එකෙනුත් මේ චිත්‍රපටයට ලොකු මාකට් එකක් හැදුනා. අනික් දේ තමා , සාමාන්‍යයෙන් වට්ටෝරු හින්දි ෆිල්ම්ස් වල යන ඉන්දියාවේ ඉන්න තරුණයා හොඳ එකා, බටහිරට ලැදි එකා දුෂ්ටයා කියන දේ මේකෙදි අනික් පැත්ත ගහල තිබීම. ඒ වගේම සාමාන්‍යයෙන් එතෙක් සෑදුනු බහුතරයක් හින්දි ෆිල්ම් වල වුනා වගේ දෙමව්පියන්ට හොරෙන් පැනල යන එක ප්‍රමෝට් නොකර දෙමව්පිය කැමැත්ත සලකන විදිහට කතාව හදල තිබීම නිසා, ගතානුගතිකත්වය අගයන ඉන්දියානුවන් අතරෙත්, නූතනත්වය අගයන ඉන්දියානුවන් අතරෙත් එකලෙස ජනප්‍රිය වෙන්න මේ ෆිල්ම් එකට හැකි වුනා.

අවසාන වශයෙන් මේ සියලු කරුණු සහ තාක්ෂණ‍ය, කැමරාව වගේ දේවල් වලින් ආදිත්‍ය කරපු අලුත් වැඩ කෑලි නිසා, මේක අලුත්ම හින්දි චිත්‍රපට ටේන්ඩ් එකක් නිර්මාණය කරන්න මුල් වුනා. ඉන් පස්සෙ හැදුනු මේ විදිහටම ජනප්‍රිය වුනු හින්දි චිත්‍රපට ගොඩක මේ චිත්‍රපටයෙන් ඇහිඳ ගත්තු කතා කොටස් (උදාහරණයක් විදිහට කොල්ල හෝ කෙල්ල ඇමරිකාව යුරෝපය වගේ බටහිර රටක සිටීම), කැමරා ශිල්ප වගේ ඒවා දකින්න පුලුවන්.

ඒ වගේම, අර "1001 Movies You Must See Before You Die" කියල , ලෝකෙ සියලු චිත්‍රපට සලකලා සංස්කරණය කරන පොතේ, ඒ එක්දාස් එක ඇතුලෙ තියෙන හින්දි ෆිල්ම්ස් තුනෙන් එකක් වෙන්නෙත් මේක. ඒවගේම පැය තුනකුත් විනාඩි දහයක් යන මේ චිත්‍රපටය බොලිවුඩ් වල බිහිවුනු දිගම චිත්‍රපටයක් විදිහටත් සැලකෙනවා.

ඉතිං බලල නැත්තං බලන්න. හැබැයි ටේස්ට් එකට සෙට් වෙන්නැත්තං ඉතිං මට කරන්න දෙයක් නෑ 😊...

Saturday, February 23, 2019

Three Identical Strangers (2018)

හිතන්නකො නිකං ඔයා අලුතින් ඉස්කෝලෙකට යනවා. ඊට කලින් කවදාවත් ගිහින් නැති අලුත්ම ඉස්කෝලෙ ඇතුලට යද්දිම හා මචං කොහොමද ගාගෙන කට්ටිය ඇවිදින් කතා කරනවා, කාලෙක ඉඳල දැනන් හිටියා වගේ... ඔයා කල්පනා කරනවා මේ මොන මගුලක්ද මේ වෙන්නෙ කියල ... පස්සෙ කාරණා හොයල බලද්දී , ඔයාගෙ රූපෙට හැම අතින්ම සමාන කෙනෙක් ඒ ඉස්කෝලෙ ඉන්නව කියල දැන ගන්නවා. ඒ කෙනා, ඉපදුන ගමන්ම වගේ ඔයාගෙන් වෙන් කරපු ඔයාගෙම නිවුන් සහෝදරයා බව ඊට පස්සෙ දැන ගන්නව !! ඊට පස්සෙ ඔන්න ඔය දෙන්න හම්බෙලා කතා බහ කරනවා. සිද්ධිය පත්තරේ එහෙමත් යනවා. පත්තරේ ආටිකල් එක බලපු තව කෙනෙක් ඔය දෙන්නට කතා කරල කියනවා, එයා තමා ඔයාලගෙ තුන් වෙනි නිවුන් සොහොයුරා කියල !!

ඉතිං මම ඔය කිව්වෙ මේ චිත්‍රපටය ආරම්භ වෙන විදිහ විතරයි. ඊට පස්සෙ වෙන ටික පුදුමෙනුත් පුදුමයි. ඇයි එච්චර පුදුම ?
ලොකුම පුදුමය තමා මේක සම්පුර්ණයෙන්ම ඇත්තටම වෙච්චි (සහ තාමත් වෙමින් පවතින?) කතාවක් වීම. මේ ෆිල්ම් එක වාර්තා චිත්‍රපටයක් විදිහට තමා කෙරිලා තියෙන්නෙ. ඒත් සාමාන්‍ය වාර්තා චිත්‍රපට වගේ බෝරිං ගතියක් නෑ... කුතුහලයෙන් පිරිලා තියෙන්නෙ.

විශේෂයෙන්ම විද්‍යා ප්‍රබන්ධ වලට කැමතියි නම් මේක මග අරින්න එපා. මොකද සත්‍යය හැම විටම ප්‍රබන්ධයට වඩා රසවත් කියනවනෙ. මේ ෆිල්ම් එක ඊට හොඳම උදාහරණයක්. කොටින්ම ඇත්තටම වෙච්ච "විද්‍යා ප්‍රබන්ධයක්" වගේ මට නම් දැනුනෙ. හරි. මීට වඩා කියන්න යන්නෙ නෑ කතාව ස්පොයිල් වෙන නිසා...

J සහ L cuts

අපි දන්නෙ නැති භාෂාවක් කතා කරන රටකට ගිහිල්ලා කාලයක් හිටියම ඉබේම අපිට ඒ භාෂාව කතා කරන්න පුලුවන් වෙනවා. හැබැයි ඒ අපි ඒක ඉස්කෝලේ ගිහින් හෝ ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන නෙවෙයි. ඒ මිනිස්සු එක්ක ඉඳල එයාලා කියන දේ අහන් ඉඳල ටිකින් ටික ඒ භාෂාව අපිටත් කතා කරන්න පුලුවන් වෙනවා. හැබැයි, ඒකෙ තියෙන ව්‍යාකරණ නීති රීති, අකුරු , මහප්‍රාණ ආදිය අපිට තේරුමක් නෑ.

චිත්‍රපට බැලිල්ලත් ඒ වගේ නේද ? ඒක රූප වලින් සැදුණු භාෂාවක් නම්, අපි ඒවා කාලයක් තිස්සෙ බලද්දි, අපිට ඒක තේරෙනවා. ඒ කියන්නෙ චිත්‍රපට කතාව තේරෙනවා කියන එක නෙවෙයි, චිත්‍රපටය හොඳද නැද්ද, අරක මෙහෙම කලානම් වඩා හොඳයි නේද වගේ අදහස් පල කරන්න පුලුවන් වෙනවා. හැබැයි අපි ඒ භාෂාව ඉගෙනගෙන තියෙන්නෙ ඒක දිහා බලන් ඉඳලා මිසක්, නිල වශයෙන් ඉගෙනගෙන නෙවෙයි නිසා චිත්‍රපටයේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා කියන්න මිසක් ඒ අහවල් හේතුව නිසාය කියන්න ප්‍රේක්ෂකයො විදිහට අපිට තේරුමක් නෑ. කොටින්ම අපි සිනමා භාෂාවේ ව්‍යාකරණ දන්නෙ නෑ. ඉතිං එහෙම දේවල් ටිකකුත් අපි අපිම දැන ගත්තොත්, අර කිව්ව රූප භාෂාව වඩාත් හොඳට තේරුම් ගන්න, විනිවිද දකින්න පුලුවන් වෙයි නේද ?

ඉතිං එහෙම හිතාගෙන චිත්‍රපට සංස්කරණය ගැන පොඩ්ඩක් හොයල බැලුවා.

සාමාන්‍යයෙන් චිත්‍රපටයක් සංස්කරණය කරනවා කියන දේ දෙවැනි වෙන්නෙ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවාට විතරයි කියලත් කියනවා. මොකද ඒ තරම්ම වැදගත් වැඩක් ඒක. සංස්කරණය චිත්‍රපටයේ අවසන් ප්‍රතිඵලයට කොච්චර බලපෑමක් එල්ල කරනවද කියනවනම්, අකිර කුරසොවා, කොඑන් බ්‍රදර්ස්ල වගේ ලෝක ප්‍රසිද්ධ සමහර අධ්‍යක්ෂවරු, තමන්ගෙ චිත්‍රපට තමන්ම සංස්කරණය කරගෙන තියෙනවා.
චිත්‍රපට සංස්කරණය හරියට නොකලොත්, චිත්‍රපටය සංස්කරණය කරල තියෙන බව ප්‍රේක්ෂකයන්ට දැනෙන්න ගන්නවා. ඒ කියන්නෙ රූපාවලි (දර්ශන) කපල අලෝලා කියල තේරෙන්න ගන්නවා. ඒක ඇහැට වෙහෙසක් ගෙන දෙනවා වගේම, චිත්‍රපටයේ කතාවෙන් ප්‍රේක්ෂකයා මුදවලා, වීඩියෝ කැපෙන කෙටෙන විදිහ ගැන ඔවුන්ගේ අවධානය යොමු වෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට, එහෙම කිරීමේ (ඒක දැනෙන්න අරින්න) නිර්මාණාත්මක අවශ්‍යතාවක් තිබුනොත් හැරෙන්නට, එහෙම ප්‍රේක්ෂක අවධානය බිඳිල, ඔවුන් චිත්‍රපටයේ ආඛ්‍යානය තුල නිමග්න වෙලා ඉන්න එකෙන් ගැලවිලා යන විදිහට සංස්කරණය වුනා කියන්නෙ, ඒ සංස්කරණය අසාර්ථක එකක් කියන එකයි. ඒකෙම විලෝමය තමා, හරියට සංස්කරණය කළා කියන්නෙ සංස්කරණය කියල දෙයක් වෙලාය කියල බලන කෙනාගෙ ඇහැට දැනෙන්න බෑ. ඒක සැඟවිලා තියෙන්නෙ ඕනෙ. මේ නිසාම සාර්ථක සංස්කරණය යන්න සැඟවුණු කලාවක් කියලත් හඳුන්වනවා (Hidden art).

ඉතිං මේ විදිහට ප්‍රේක්ෂක ඇසට හොරෙන්, ඇස් ඉදිරියේ ලස්සනට කතාවක් ගලායන විදිහට (continuity of narrative) සාර්ථක සංස්කරණයක් කරන්න, සංස්කරණය ශිල්පීන් නොයෙකුත් ශිල්පීය උපක්‍රම පාවිච්චි කරනවා.

සාමාන්‍යයෙන් තනි රූපාවලියක් තවත් එකකින් වෙන් කරගන්න එකට කියන්නෙ කට් එකක් කියලයි (cut) මේ වගේ කට්ස් ගොඩක් එකතු වෙලා තමා චිත්‍රපටයක් හැදෙන්නේ. මේ විදිහේ කට් වර්ග රාශියක් තියෙනවා. මේවා විවිධ විදිහට නිර්මාණය ඉල්ලන පරිදි පාවිච්චි කරන්න ඕනෙ.
විශේෂ ක්‍රමයකට (transition) නැතුව සාමාන්‍ය විදිහට එක් දර්ශනයකින් තවත් දර්ශනයකට මාරු වෙන එකට කියන්නෙ, Standard cut කියලයි. මේවා ඉතිං අනන්තවත් චිත්‍රපට වල තියෙනවා. උදාහරණ අවශ්‍ය නෑ . හැබැයි ඔබ සමහර චිත්‍රපට වල දැකලා ඇති, එක් දර්ශනයක වීඩියෝ කොටස ඉවරවෙන්න කලින්ම, ඒ දර්ශනය මතට ඊළඟ දර්ශනයට අදාළ හඬ පටය එනවා. මේ විදිහට කට් කරනවාට කියන්නෙ, J cut එකක් කියලයි .
J cut කියන්නත් හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් සංස්කරණයේදී, ඕඩියෝ ට්‍රැක් එක තියෙන්නෙ වීඩියෝ ට්‍රැක් එක යටින්. එතකොට අර උඩ කිව්ව විදිහට ඊලඟ දර්ශනයට අදාළ හඬ ටිකක් කලින් ඉඳලා play වෙන්න නම් , පහල තියෙන ඕඩියෝ එක උඩ තියෙන ඒකට අදාල වීඩියෝ එකට වඩා ටිකක් ඉස්සරහින් තියෙන විදිහට ගන්න ඕනෙ. එතෙන්දි J හැඩයක් එනවා(උඩ වීඩියෝ එකයි පහල ඕඩියෝ එකයි දෙකම සැලකුවාම). ඒකයි ඒකට J cut කියන්නෙ . ඕකෙම විලෝමය තියෙනවා L cut කියල . එතෙන්දි වෙන්නෙ, මුල් දර්ශනයට අදාල ඕඩියෝ එක , දෙවෙනි දර්ශනය තුලට ඇදෙන එකයි. ( L හැඩේකට එනවා එතකොට ට්‍රැක් දෙකම බැලුවම )
මේ J සහ L කට් බහුලව පාවිච්චි වෙන්නෙ, චිත්‍රපට තුළ පෙන්නන සංවාද වලටයි. චිත්‍රපටයක දෙන්නෙක් කතා කරන දර්ශනයක් විමසිල්ලෙන් බැලුවම පෙනෙයි, ඒවා බොහෝවිට මේ J සහ L කට් වල එකතුවක් බව. ඒ කියන්නෙ පලමු කෙනා ප්‍රශ්නයක් අහනවා. ඊට පස්සෙ එයාගෙ මූණ පෙන්නන ගමන්ම දෙවැනි කෙනාගෙ උත්තරේ අපිට ඇහෙනවා. ඊට මොහොතකට පස්සෙයි කැමරාවෙන් දෙවැනි කෙනාගෙ මූණ පෙන්නන්නේ . ඒ කියන්නෙ ඇත්තටම එතෙන්දි කළේ, J cut එකක් . L cut එකත් ඔය විදිහටම පාවිච්චි වෙනවා. ඉතිං ඒ විදිහට J සහ L පාවිච්චි කිරීමෙන්, අර සංවාදය කරන දෙන්නා අතර තියෙන බැඳීම , ප්‍රේක්ෂකයන්ට වඩාත් සමීපව දැනෙනවා. එහෙම නොකර standard cut පාවිච්චි කලානම්, ප්‍රේක්ෂකයන්ට දැනෙන්නේ මුන් දෙන්න කතා කලාට උන් අතරෙ ලොකු බැඳීමක් නෑ වගේ. ඉතිං එහෙම, කතා කලාට මුන් එකාට එකා නෑ හෝ, පළමු වතාවට මුණ ගැහිලා කතා කරන නාඳුනන දෙන්නෙක්ගෙ සංවාදයක් පෙන්නන්න standard cut එක පාවිච්චි කරන්න පුලුවන්.

සංවාද විතරක් නෙවෙයි සමහර චිත්‍රපට පටන් ගන්න සහ ඉවර කරන්නත් J සහ L cuts පාවිච්චි වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට , Whiplash චිත්‍රපටයේ ආරම්භය බලන්න.
ඒක පටන් ගන්නෙම J cut එහෙකින්. ඒ වගේම No Country for Old Men චිත්‍රපටයේ අවසානය බැලුවොත් ඒක L cut එකකි ඉවර වෙන බව පෙනේවි. ඒකෙන්, අපිට පේන්න චිත්‍රපටය ඉවර උනත් අපිට නොපෙනී කතාව තාම ඉස්සරහට යනවා වගේ දැනීමක් ප්‍රේක්ෂකයන්ට දෙනවා.
(Pic from iceflowsstudios)

විජයබා කොල්ලය...

මුලින්ම මේක කිව්වම මතක් උනේ W.A. සිල්වාගේ නවකතාව උනාට දැන් නම් මතක් වෙන්නෙ අලුතින් ඒ ඇසුරෙන් හැදෙන ෆිල්ම් එක...

නවකතාව කියවල තියෙන අයනම් දන්නව ඇති, ගොඩක් ලස්සන කතාවක් මේක. මට මතක හැටියට ටිකක් විතර ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ගතියකුත් තියෙනවා අර ෆැන්ටසි පැත්ත අයින් කලොත්. විශේෂයෙන්ම මේකෙ අන්තිම සහ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් එකේ අන්තිම සීන් එක ටිකක් එක වගේ. තව පැත්තකින් ගත්තොත් මේක ටිකක් ටයිටැනික් වගේ. මොකද මේ කතාවෙ පසුබිමේ යන සිද්ධිය ඓතිහාසික එකක් උනාට ප්‍රධාන කතාව, කල්පිතයක්. ටයිටැනික් වලත් එහෙමනෙ. නැව ගිලුනු එක ඇත්ත උනාට ජැක් රෝස් සිද්ධිය හදපු කතාවක්නෙ.

ඉතිං "විජයබා කොල්ලය" කියන සිද්ධිය, එක්දාස් පන්සිය ගනන් වල ඇත්තටම වෙච්චි එකක් උනාට, පොතේ එන නීලමණී, නයනානන්ද සහ අසංග සෙනෙවිගේ තුන් කොන් ප්‍රේම කතාව ඇත්ත සිද්ධියක් නෙවෙයි. නවකතාවට හදපු එකක්.
ලංකාවේ ඉතිහාසය සම්බන්ධ ෆිල්ම්ස් මෑතකදී ගොඩක් ආවට, මේක ටිකක් වෙනස් වෙන්නෙ ඔතනින්. මොකද මේක "ඓතිහාසික නවකතාවක්" ඇසුරෙන් හැදෙන එකක් මිසක්, ඉතිහාසය එහෙම්ම කියන එකක් නෙවෙයි. (මේ වගේ තව පොතක් තමා මාටින් වික්‍රමසිංහයන්ගෙ "රෝහිණී " ඒකෙත් පසුබිමේ එළාර ගැමුණු කතාව යද්දි, මතුපිට ප්‍රේම කතාවක් යන්නෙ.)

හරි ඉතිං කොහොම හරි ඔන්න මහාචාර්ය සුනිල් ආරියරත්න ඩිරෙක්ට් කරනවා, එක්සකටිව් ප්‍රඩියුසර් බූඪි කීර්තිසේන... ඉතිං මේ දෙන්නම පුරුදු වෙන්න ෆිල්ම්ස් හදන දෙන්නෙක් නොවෙන නිසා, මේ ෆිල්ම් එක ගැන යම් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නෙ.

හැබැයි, මේක හිට් වෙයි කියන්න පුලුවන් ලොකුම හේතුව තමා, මේකෙ තිර රචකයා තිස්ස අබේසේකර වීම. මේක තිස්ස අබේසේකර මහතාගේ අවසන් තිරපිටතයි.
තිරපිටත ලිව්වා කියන්නෙ, හිතින් ෆිල්ම් එක හැදුවා වගේ තමා. ඒ කියන්නෙ රෙසිපිය හරි. දැන් තියෙන්නෙ අඩුම කුඩුම ටික ගානට මික්ස් කරල හොද්ද හදාගන්න එක. මහාචාර්යතුමාට ඒක චොර නොකර කරගන්න පුලුවන් ධෛර්යය ශක්තිය ලැබේවා කියල ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා...

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි/ටීවි සීරීස් වල තියෙන ගැජට් ...

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි/ටීවි සීරීස් වල තියෙන එක එක ගැජට් වලින් හොඳටම හිතට අල්ලපු ඇත්තටම තිබ්බ නම්... කියල හිතුන ගැජට් මොනාද ?

මට නම් එහෙම හිතුනා අර Black Mirror එකේ එක එපිසෝඩ් එහෙක තියෙන අපිට පෙනුනු දේවල් රිවයින්ඩ් කරල බලන්න පුලුවන් ගැජට් එක දැක්කම. මේකෙන් ඇස් දෙකෙන් දකින ඒවා HD වීඩියෝ විදිහට බෙල්ල හරියෙ තියෙන මෙමරි ඩිවයිස් එහෙක සේව් වෙනවා. ඒකෙන් ඕන වෙලේක අර කලින් දැකපුවා ආයි බලන්න පුලුවන්. ඒ කියන්නෙ ඒ මොහොත ආපහු රසවිඳින්න පුලුවන්. අනික වෙන වීඩියෝ ප්ලේයර්ස් මුකුත් ඕනෙත් නෑ. වැඩි විස්තර කියන්නෙ නෑ . ඕන නම් ඒක බලලම තේරුම් ගන්න.

තව එකක් තිබ්බා Minority Report ෆිල්ම් එකේ. ඒකෙ ටොම් කෲස් ඉන්න ෆැලට් එකේ රූම් එකයි කෙලින්ම රූම් එකේ දොරටම සෙට් වෙන විදිහට හදල තියෙන කාර් එකයි. මේක ඉතිං අනාගතයෙ වෙන කතාවක්නෙ. කෙලින්ම සාලෙ සැටියක වාඩි වෙනව වගේ කාර් එකේ වාඩි වෙන්න තියෙන්නෙ .

තව කීපයක් තිබ්බ බැක් ටු ද ෆියුචර් සීරීස් එකේ. හොඳට මතක එකක් තමා අර ඉන්ස්ටන්ට් පීසා එක. චූටි පියනක් වගේ තියෙන්නෙ. මයිකොවේව් එකට දාල තප්පර ගානෙන් ලොකු පීසා එකක් වෙනවා. ඇත්තටම තිබ්බ නම් ට්‍රිප් එහෙම ගෙනියන්න කියාපු භාණ්ඩෙ. අනික ඉතිං Hover board එක . Back to the Future බලමු ඕන එකෙකුට ආසාවක් එනව ඒ වගේ එහෙකට.

තව එකක් තමා Men in Black එකේ අර අමතක කරවන්න පුලුවන් ගැජට් එක . මේක මූණට එල්ල කරල ස්විච් එක එබුවාම අදාල පුද්ගලයාට අතීතයේ අදාළ කොටස් අමතක වෙනවා. ඉතිං මේ වගේ එකක් තිබ්බ නම් ඇත්තට ජීවිතේ කොච්චර ප්‍රයෝජනවත් වෙන්න තිබ්බද? මීට සමාන එකක් තියෙනවා Eternal Sunshine of the Spotless Mind එකෙත්. හැබැයි ඒකෙ තියෙන්නෙ අපේ මොලේම තියෙන හිතට වදයක් වෙලා තියෙන සවුත්තු මතකයන් අමතක කරවන ගැජට් එකක්. සමහර අය නම් මේක ගනී කීය ගියත් කමක් නෑ කියල. ඒක තීරණය වෙන්නෙ ඉතිං අතීතයේ මතක මොනවගේද කියන දේ මතයි.

තව සුපිරි ගැජට් එකක් තියෙනවා Prometheus ෆිල්ම් එකේ. ඒක තමා අර සැත්කම් කරන මැෂින් එක නොහොත් Med Pod එක. අදාළ සැත්කම තෝරලා, මේ ගැජට් එක ඇතුලට රිංගලා දොර වහ ගන්නයි තියෙන්නෙ . සට සට ගාලා විනාඩි ගානෙන් සර්ජරිය කරල ටස් ටස් ගාල මැහුම් දාල ඉවරයක් කරනවා. මැගී නූඩ්ල්ස් හදනවා වගේ නිකං.😋 මේකක් ඇත්තටම ආවොත් නම් ඩොක්ටර්ස්ලට ටිකක් බඩේ පාර වදී. ලංකාවේ නම් ලොකුවට උද්ඝෝෂණ එහෙමත් කරයි. වෛද්‍ය සභාවෙ අනුමැතිය එහෙම මළාට හම්බෙන එකක් නෑ. හැබැයි ඉතිං ඔය සමහර ඩොක්ටස්ලගෙ ලොකු සීන් බලන්නෙ නැතුව, පෝලිමේ ඉන්නෙත් නැතුව ටක් ටක් ගාලා සැත්කම් කරල දෙන මේ වගේ එකක් නම් ට්‍රිලියන ගානක් දීලා හරි ගන්න තියෙනවා නම් පාඩු නෑ.

අනික් සුපිරිම ගැජට් එක තමා Star Trek ෆිල්ම්ස් වල පෙන්නන "ට්‍රාන්ස්පෝට් චැම්බර්" එක . මේකෙන් කරන්නෙ කෙනෙක්ව එක තැනකින් තව තැනකට ක්ෂණිකව "ටෙලි පෝර්ට්" කරන එක. නිකං හිතන්නකො ඔෆිස් එක ඇරිල ඇගිල්ල ගහන්න ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එක ලඟ ඉන්නව වගේ, අනාගතයෙ දවසක ඔෆිස් ඇරිලා ඔෆිස් එකේම මුල්ලෙ හයි කරල තියෙන මෙහෙම මැෂින් එහෙක ඇතුලට ගිහින් එතනින් අතුරුදන් වෙලා ගේ ගාව ATM මැෂින් වගේ හයි කරල තියෙන මේ ජාතියෙ මැෂින් එකෙන් එලියට බැහැල තප්පර ගානින් ගෙදර එනකොට ?

හැබැයි මේ වගේ ඒවා ලංකාවට ගේනව නම් ඒවා ගේන්නෙ අපේ මළ කඳන් මතින් තමා කිය කිය මෙතන නහින්න හදයි ප්‍රයිවට් බස් සෙට් එකයි ත්‍රීවීලර් අයියලයි 😂



They Shall Not Grow Old (2018)

1914 ජූලි 28 වෙනිදා ඇරඹෙන පළවෙනි ලෝක යුද්ධයේ ගහ මරාගැනීම්, 1918 නොවැම්බර් 11 වෙනිදා ජර්මනිය සහ අනික් පාර්ශ්වය අතර අත්සන් කෙරෙන සටන් විරාමය නිසා අවසන් වෙනවා. එදා ඉඳලා මේ සිද්ධිය හැම අවුරුද්දකම නොවැම්බර් එකොළොස් වෙනිදාට,පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් විසින් සමරනවා Remembrance Day විදිහට. පොපි මල් දිනය කියල කියන්නෙත් මේකටමයි. ඒ අනුව මේ (2018) නොවැම්බර් 11 වෙනිදාට යෙදිල තියෙන්නෙ පළමු ලෝක යුද්ධය නිමවී අවුරුදු සීයක සැමරුමයි.

ඉතිං මේ කියන්න හැදුවෙ ඒක ගැන නෙවෙයි. මේ ශත සංවත්සරය නිමිත්තෙන්, අපි කවුරුත් දන්න පීටර් ජැක්සන් ඔන්න අලුත්ම වැඩක් කරල තියෙනවා. ඒක තමා මේ They Shall Not Grow Old කියන වාර්තා චිත්‍රපටය. හැබැයි මේ චිත්‍රපටය සුවිශේෂී එකක්. ඒකෙ විශේෂත්වය තමා, මේ ෆිල්ම් එකේ තියෙන රූපාවලි, ඇත්තටම පළමු ලෝක යුද්ධ කාලයේ රූපගත කරපුවා වීම.
පීටර් ජැක්සන්, නවීන සිනමා තාක්ෂණය පාවිච්චි කරලා ඒ කලු සුදු රූප වර්ණ ගන්වලා තියෙනවා. අනික තමා, මේ චිත්‍රපටයේ ඉන්න ඇත්තම සොල්දාදුවන්ගේ තොල් සෙලවීම් අධ්‍යනය කරල හඬ නලුවන් මගින් "ලවන් සබැඳි තෙපුල්" යොදලා නිහඬ චිත්‍රපටය හඬ සහිත කරල තියෙනවා. අමතරව, ඒ කාලෙ හුවමාරු වුනු ලිපි සහ සොල්දාදුවන්ගේ දිනපොත් වලින් ගත්තු දේවල් යොදාගෙන තියෙනවා පසුබිම් කතාවට. මේ රූපරාමු ත්‍රිමාණ විදිහටත් පරිවර්තනය කරල තියෙන නිසා, මේක බලන කෙනෙකුට පළවෙනි ලෝක යුද්ධයේ සැබෑ දසුන් මින් පෙර කිසිම කෙනෙක් සිනමා පටයක් තුලින් නොදුටු විදිහට, වර්ණවත්ව, හඬ සහිතව, 3D විදිහට බලන්න පුලුවන්.

කොටින්ම අතීතයට ගියා වගේ.

ඉතිං මේක බලපු සමහර අය කියල තිබ්බෙ, "පරණ" ඒවා "කලු සුදු විය යුතු" බවට මොළය බලාපොරොත්තු වෙන නිසා, තමන් මේ දකින්නෙ සැබෑම අතීතයේ දර්ශන බවට පිලිගන්න අසීරු වුණු බවයි.

මේ චිත්‍රපටයේ නම, පළමු ලෝක යුධ සමයේ ලියැවුණු කවියක (The Fallen by Laurence Binyon) තිබුණු පදයක් (They shall grow not old, as we that are left grow old) ඇසුරෙන් තමා හදාගෙන තියෙන්න. චිත්‍රපටයේ අඩංගු වර්ණගැන්වීමට ලක්වුණ මුල් සංරක්ෂිත දර්ශන ලබාගෙන තියෙන්නෙ BBC සේවයෙන් සහ Imperial යුධ කෞතුකාගාරයෙන්. මේ සියලු දර්ශන වලින් පෙන්නන්නේ, පළමු ලෝක යුද්ධයේ ඉතා සුලු භූමි කොටසක සිදුවූ සිද්ධි කිහිපයක් නිසා, ඒ යුද්ධය සම්පූර්ණයෙන් ආවරණය වීමක් මේ චිත්‍රපටයෙන් බලාපොරොත්තු වෙන්න එපා. අනික මේකෙ politically incorrect ගතියකුත් තියෙනවලු. මොකද මේකෙ තියෙන්නෙ අපි ෆිල්ම්ස් වලින් බලාපොරොත්තු වෙන දේ නෙවෙයි, අමු ඇත්තයි. ඒක නිසා සමහර දර්ශන වල බ්‍රිතාන්‍ය යුධ සෙබළුන් ජර්මන් යුධ සිරකරුවන් සමඟ විහිලු තහලු කරමින් ඉන්න අවස්තා පවා තියෙනවා. අනික් දේ මේ සියලු දර්ශන, බ්‍රිතාන්‍ය අන්තයෙන් රූගත කරපුවා, ඒ කියන්නෙ ජර්මනිය පැත්තෙ ඒව නෑ. ඉතිං මේක සමබර වාර්තාවක් නොවෙන්න පුලුවන්.

මේ චිත්‍රපටයේ විශේෂ දර්ශන කිහිපයක් පසුගියදා පැවැත්වුනා. ප්‍රේක්ෂක ඉල්ලීම් නිසාම මේකෙ ධාවන කාලය මුලින්ම තීරණය කලාට වඩා දීර්ඝ කරලා තියෙනව. මිනිත්තු අනූනවයක් පුරා දිවෙන මේ චිත්‍රපටය ලබන නොවැම්බර් 11 වෙනිදා තෙක් සිනමා ශාලා වල තිරගත කෙරෙන අතර ඉන්පස්සේ BBC රූපවාහිනියෙන් විකාශනය වෙන්න නියමිතයි.

ඉතිං පීටර් ජැක්සන්ගේ වැඩක් නිසා, අමුතුවෙන් වර්ණනා ඕනෙ නෑ. ඒත් imdb අගය 9.2/10 කියල නිකමට කියන්නම්. එහෙනං අනිවාර්යයෙන් බලන්න....

Diegetic සහ non- diegetic....

චිත්‍රපටියක තියෙන මුලු අන්තර්ගතය diegetic සහ non- diegetic කියල බෙදල වෙන් කරන්න පුලුවන්.
හැබැයි මේක දැනන් ඉන්න ඕනෙ නෑ ෆිල්ම් එකක් රස විඳින්න. ඒත් ඉතිං ෆිල්ම්ස් ගැන ඕනවටත් වැඩිය හොයනවනම් මේ ගැන දැනටමත් දන්නව ඇති සමහරවිට.

චිත්‍රපටියක් ගත්තම ඒකෙ යනවනෙ කතාවක්. ඕකට ආඛ්‍යානය කියලත් කියනව. ඒ කියන්නෙ "narrative" එක. ඉතිං ඔය කතන්දරයට ඍජුවම දායක වෙන රූප සහ ශබ්ද ටික අයිති වෙන්නෙ චිත්‍රපටයෙ diegetic කියන කොටසට. තවත් පැහැදිලි කලොත් , චිත්‍රපටයේ විස්තර වෙන කතන්දරයට අයිති, ඒ "කතන්දර ලෝකෙට" අයිති ශබ්ද සහ රූප ටිකට කියන්නෙ ෆිල්ම් එකේ diegetic content එක කියලයි. චිත්‍රපටයක වැඩියෙන්ම තියෙන්නෙත් මේක තමා. නලු නිලියන්ගෙ දෙබස්, ඒ ලෝකය තුළ තියෙන බඩු මුට්ටු, පසුතලය සහ ඒ දේවල් නිසා ඇති වෙන ශබ්ද මේ diegetic කියන කොටස යටතට ගැනෙනවා.
එතකොට ඔබට ප්‍රශ්නයක් ඇති වෙයි, ඕවට අයිති නැති දේවලුත් ෆිල්ම් එහෙක තියෙනවද කියල.
ඔව් තියෙනවා. අන්න ඒ ටිකට තමා non-diegetic කියල කියන්නෙ. Non diegetic රූපත් තියෙනවා ශබ්දත් තියෙනවා. ඒත් nondiegetic රූප වලට ෆිල්ම්ස් වල උදාහරණ ඉතා විරලයි. ඒත් දැකපු එක උදාහරණයක් විදිහට දෙන්න පුලුවන් , Rubber (2010) චිත්‍රපටයේ මුල් දර්ශනය. මේ Rubber කියන ෆිල්ම් එකත් අමුතුම ෆිල්ම් එකක්. මේකෙ කතාව යන්නෙ, මිනීමරු ටයර් එකක් ගැන. චිත්‍රපට කතාවට අනුව ඔන්න හිටපු ගමන් ටයර් එකකට පණ එනවා. ඊට පස්සෙ මේ ටයර් එක මිනී මර මර යනවා. ඕක තමා කතාව. ඒත් ඒ "කතාව" පටන් ගන්න කලින්, ඒ කතන්දරේ "ලෝකෙට" අයිති නැති දර්ශනයක, එක් කෙනෙක් ඇවිදින් ප්‍රේක්ෂකයන්ට කතා කරමින්, මේ ලෝකෙ හැම දේකටම හේතු හොයාගන්න බැරි බවත් , කිසිම හේතුවක් නැතුව සිද්ද වෙන දේවලුත් තියෙනවා කියලත් කියනවා. ඉතිං ඔන්න ඔය පටන් ගන්න සීන් (opening scene) එක සම්පුර්ණයෙන්ම nondiegetic scene එකක්. (මේ සීන් එක යූ ටියුබ් තියෙනවා, බැලුවම තේරුම් ගන්න පුලුවන් ලේසියෙන් )

හරි ඒ කිව්වෙ nondiegetic රූප වලට උදාහරණයක්. ඒව තමා හොයාගන්න අමාරු . ඒත් nondiegetic ශබ්ද කියන දේ නම් හැම ෆිල්ම් එහෙකම වගේ තියෙන දෙයක්. චිත්‍රපටයක පසුබිම් කතනයක් (narration) තියෙනවනම් ඒක අයිති වෙන්නෙ මේ nondiegetic sounds යටතටයි. ඊට අමතරව, ෆිල්ම් එකේ soundtrack එක සහ චිත්‍රපටයේ කතාව තුලින් උත්පාදනය නොවී, භාහිරින් එකතු කරපු ශබ්ද ප්‍රයෝග වගේ දේවලුත් අයිති වෙන්නෙ මේ nondiegetic ශබ්ද කොටසටයි.

ආපහු සරලව කිව්වොත්, චිත්‍රපටයේ කියවෙන කතාව තුළ ඉන්න චරිත වලට ඇහෙන හඬවල් (මේවා අපිට නොහොත් ප්‍රේක්ෂකයන්ට කොහොමත් ඇහෙනවනෙ) සැලකෙන්නේ diegetic (sounds) විදිහටයි. අපිට ඇහෙන, නමුත් කතාව තුළ ඉන්න පාත්‍රවර්ගයාට නොඇසෙන හඬවල්, සංගීතය වගේ දේවල් සැලකෙන්නේ nondiegetic (sounds) ලෙසටයි.

ඇත්තටම මේ nondiegetic , diegetic කියන කතන්දරේ වැඩියෙන්ම අදාල වෙන්නෙත් මේ ශබ්ද වලට තමයි. (රූප සම්බන්ධයෙන් උදාහරණ හොයාගන්න වුනත් අමාරුයි )
කොහොම වුනත්, මේ nondiegetic සහ diegetic කියන කලාප දෙක අතර පොඩි පොඩි සෙල්ලම් දැමීමෙන්, තමන්ගෙ චිත්‍රපටය වඩාත් රසවත් කරන්න සමහර අධ්‍යක්ෂවරු සමත් වෙලා තියෙනවා . මේක බොහෝවිට කරල තියෙන්නෙ කොමඩි ෆිල්ම්ස් වලයි. හිතමුකො ඔන්න පසුබිමේ ඇහෙන සංගීතයක්, අපි හිතන්නේ ඒක ඇහෙන්නේ අපිට, නලුවට ඇහෙන්නේ නෑ කියල . ඒත් හිටපු ගමන් නලුවා වට පිට බලල ඇහුවොත් මොකද්ද ඒ සද්දෙ කියල , අන්න එතකොට ඒක (අවස්තාව අනුව) , nondiegetic සහ diegetic අතර කලවමක් (flip) කිරීමෙන්, ප්‍රහසනය උත්පාදනය කරපු අවස්තාවක් වෙනවා.

1974 දී ආපු Blazing Saddles කියන චිත්‍රපටය තුලත් මේ nondiegetic / diegetic sounds පටලවල රසවත් කරපු අවස්තාවක් තියෙනව. මේකෙ කව් බෝයි කෙනෙක් යනවා අස්සයගෙ පිටේ. පසුබිමේ සංගීතයක් ඇහෙනවා. ඉතිං මේක චිත්‍රපට පසුබිම් සංගීතයක් මිසක්, අර කව්බෝයිට ඇහෙන එකක් කියල අපිට නිකමටවත් හිතෙන්නෙ නෑ . ඒත් මෙන්න මෙයා අස්සයගෙ පිටේ ඉස්සරහට එද්දි, කාන්තාර පරිසරයක් මැද්දෙ, ලොකු orchestra එකක් අර මියුසික් එක ඇත්තටම වාදනය කරනවා. එතකොට ක්ෂණිකව, අපි nondiegetic යැයි හිතපු සවුන්ඩ් එක ,diegetic බවට පත්වෙනවා. එතෙන්දි ඒක comic device එකක් විදිහටයි පාවිච්චි වෙන්නෙ....

ඒ වගේම , nondiegetic විදිහට සැපයෙන සංගීතයක් මගින්, diegetic කලාපයේ දෙයක් නියෝජනය කරන්නත් පුලුවන් ඒක නොපෙන්වා. උදාහරණයක් විදිහට , nondiegetic විදිහට එන Jaws (1975) චිත්‍රපටයේ විශේෂ සංගීත ඛණ්ඩයක් මගින්, ඒකෙ ඉන්න මෝරාගේ පැමිණීම සංඛේතවත් කරල තියෙනවා . ඒකෙන් ස්ටීවන් ස්පිල්බර්ග්, අවස්තා කීපෙකදිම අපිට මෝරාව නොපෙන්වා , මෝරාට පේන හැටි එක්ක අර කිව්ව සංගීතය මිශ්‍ර කිරීම තුලින්, මෝරව "පෙන්නනවා".

තවත් උදාහරණයක් කිව්වොත් මෑතකදී ආපු, Birdman චිත්‍රපටයේ නිතරම ඩ්‍රම් සෙට් එකකින් එන හඬක් එනවා පසුබිමේ. අපි ප්‍රේක්ෂකයන් විදිහට හිතන්නෙ, මේක පසුබිම් සංගීතයක් (nondiegetic) නිසා නලු නිලියන්ට ඇහෙන්නේ නැතුව ඇති කියලයි. ඒත් එක තැනකදි බලපුවම ඒ හඬ එන්නෙ චිත්‍රපටය තුල ඉන්න ("කතන්දර ලෝකය" තුල ඉන්න ) පාර අයිනේ ඩ්‍රම් සෙට් එකක් වාදනය කරන කෙනෙක්ගෙන්. මෙතෙන්දි ප්‍රේක්ෂකයා nondiegetic විදිහට විශ්වාස කරන් ඉන්න දෙයක් එකපාරටම diegetic කලාපයට ගෙනල්ලා, පොඩි twist එකක් දාල අධ්‍යක්ෂවරයා අමුතු රසයක් එකතු කරනවා. ඉතිං ඒ රසය විඳින්න ඔබට මේ nondiegetic / diegetic කතන්දරේ දැනන් ඉන්න ඕනෙ නෑ. හැබැයි දැන් , ඒක දන්න නිසා, ඒ රසය උත්පාදනය වුනේ කොහොමද කියන එක තේරුම් ගන්න පුලුවන් .

කෙසේ හෝ වේවා, මේ nondiegetic/ diegetic වර්ගීකරණ වල අලගිය මුලගිය තැන් හොයාගෙන ගියොත් ඒවා ඈත අතීතයටම යනවා. කොටින්ම ඉස්සර ග්‍රීසියේ හිටපු ප්ලේටෝ ,ඇරිස්ටෝටල් වගේ දාර්ශනිකයො තමා, මේ කතන්දරයක් කීමේ විවිධ "ක්‍රම" පිලිබඳ මූලික සංකල්ප ලෝකෙට හඳුන්වලා දීලා තියෙන්නෙ. දැන් ඔය ෆිල්ම්ස් වලට පාවිච්චි වෙන්නත් ඇත්තටම ඒවයින් ව්‍යුත්පන්න කරගත්තු දේවල් තමා.

අවසන් වශයෙන් , මේ nondiegetic , diegetic කතන්දරේ තේරෙන් නැත්තං ඒක අමතක කරල දාල සාමාන්‍ය විදිහට ෆිල්ම්ස් බලන්න ඕන කෙනෙකුට පුලුවන් . මොකද මේ සංකල්ප වල අන්තඵල විදිහට නිර්මාණය වෙන කතා රසය විඳින්න, ඒ සංකල්ප තේරුම් ගැනීම අවශ්‍ය නැති නිසා....


පිටගම්කාරයෝ....

පිටගම්කාරයෝ කියන්නෙ මොකද්ද කියල දන්නෙ නැති අයට, පිටගම්කාරයෝ කියන්නෙ කටක් ඇරල ලැජ්ජ බය නැතුව කියන්න පුලුවන් "ටෙලිනාට්‍යකට" උදාහරණයක්. ඉතිං මේ ඉන්න නංගිලා මල්ලිලා බොහෝවිට මේක බලල නැතුව ඇති, ඒත් අයියලා අක්කලා නම් මේක බොහෝවිට බලල ඇති, එක්කො පොඩි කාලෙ බලල තියෙනවා මතක ඇති. මතකය අපැහැදිලි නම් ඔබේ මතකය අලුත් කරගන්න පුලුවන්.
මේ නාට්‍යයේ කතාව, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය තිස්ස අබේසේකර තමා කරල තියෙන්නෙ. මනුස්සයා කව්ද කියල දන්නව නම් , නිර්මාණය සුපිරියි කියන්න ඊට වඩා අටුවා ඕනෙ නෑ ...
ඉතිං මාත් ඕක බලනවා දැන් රිවයින් ටීවී වලට පිං සිද්ද වෙන්න. දැන් කොටස් දෙකක් ගිහින්. ඒත් ඔබ තාම ප්‍රමාද නෑ . ඇත්තටම මේක බලල, මේකයි දැන් යන ඔය "ටෙලිනාට්‍ය" කියල පෙන්නන එහෙකුයි සංසන්දනය කරල බලන්න. මේකෙ මුල්ම දර්ශනය තියෙන්නෙ එක්දාස් නමසිය දාහතේ, නාවින්න ස්ටේෂන් එක ලඟ. වාෂ්ප බලයෙන් එන දුම්රියක් ස්ටේෂන් එකට එනවා. ඒ කාලෙට ගැලපෙන ඇඳුම් නිර්මාණය ... වේෂ නිරූපණය... පසුතලය ... සියල්ල සුපිරියි. මේ ටෙලිනාට්‍යයෙ රාත්‍රි දර්ශන සැබැවින්ම රාත්‍රිය පිලිඹිබු කරනවා. ටියුබ් ලයිට් එලි නෑ පසුබිමේ.
ලංකාවේ අපේ තාක්ෂණ ශිල්පීන් එකතු වෙලා මීට දශක කීපෙකට කලින් කොච්චර සුපිරි නිර්මාණ බිහි කරල තියෙනවද කියල හිතෙන කොටත් සතුටුයි. ඒත් දැන් ඇයි එහෙම ඒවා නැත්තෙ??
ඔන්න නාට්‍ය ඉවර වෙලා නාමාවලිය යනකොට යනවා, අඛණ්ඩතා නිරීක්ෂණය කියල තනතුරක් සමඟ නමක්, මෙහෙම තනතුරක් දැන් ටෙලිනාට්‍ය වල නාමාවලි වල යනවා මම දැකලා නෑ. ඉතිං හොයල බැලුවම අඛණ්ඩතා නිරීක්ෂණය කියන්නෙ continuity test කියන එකයි.
සාමාන්‍යයෙන් ලෝකයේ චිත්‍රපට ටෙලිනාට්‍ය නිර්මාණය කරන කොට අනිවාර්යයෙන් කෙරෙන දෙයක් මේක. මේක සරලව පැහැදිලි කලොත්, මේකෙන් කරන්නෙ ටෙලිනාට්‍යක හෝ චිත්‍රපටයක දර්ශන අතරෙ සම්බන්ධතාව නොබිඳ පවත්වගන්න එකයි ... ඒ කියන්නෙ අපි හිතමුකො එක් දර්ශනයක නලුවා තේ බොන්න කෝප්පයක් ගන්නවා දකුණු අතින්, ඊලඟ දර්ශනයෙදි එයා වම් අතින් කෝප්පය අල්ලන් ඉන්නවා පෙන්නුවොත් ඔන්න ටිකක් අවුලක් තියෙනවා . ඒ කියන්නෙ අඛණ්ඩතාවය රැකිලා නෑ . ඔන්න ෆයිට් එහෙකදි දකුණු අත කැපෙනවා පස්සෙ වම් අතට වෙලුම් පටි දාල තියෙනවා ... ඔන්න ඔය වගේ... එක සීන් එකක් යම් ආලෝක තත්ත්වයක් යටතේ ගත්ත නම් ඊළඟ සීන් එක කතාවෙ හැටියට එවෙලේම එතෙන්දීම වෙන එකක් නම් , ඒ දෙවැනි සීන් එක වෙන දවසක ශූට් කලත් අර ආලෝක තත්ත්වය ඇඳුම් , පැල්ලම් , තුවාල , කාලගුණය ආදී සියල්ල සමාන වෙන්න ඕනෙ. නැත්තං බලන කෙනාට ඒක තේරෙනවා. ඒක නිර්මාණයට හානියක්.

ඉතිං මේ ඉස්සර ගිය නාට්‍ය වල අඛණ්ඩතා නිරීක්ෂණය කරන්න කට්ටිය හිටියට, අනේ දැන් යන නාට්‍ය වලට නම් ඕනෙම නෑ . මොකද දැන් යන ඒවයෙ නිරීක්ෂණය කරන්න තරම් අඛණ්ඩතාවයක් නෑ සරලවම. එකකට එකක් ලොකු සම්බන්ධයක් නැති එදාවේල පිරිමහගන්න මෝඩ ජෝක්ස්, ගොන් දෙබස් සහ හුරතල් කතා ටිකක් රෑට කන ගමන් බලන්න දාන එකනෙ කරන්නෙ. ඒවාට තමා අද ටෙලිනාට්‍ය කියන්නෙ. ඉතිං ඇත්තටම ටෙලිනාට්‍ය කියන්නෙ ඒවාට නෙවෙයි . මෙන්න මේ පිටගම්කාරයෝ වගේ ඒවට තමා ටෙලිනාට්‍ය කියන්නෙ. ඒකයි විශේෂයෙන්ම බලල නැත්තං බලන්න කියල කියන්නෙ .....

Alien චිත්‍රපට පෙලේ කතාව....

හොඳටම අඳුරක් තියෙන රෑක දකුණු අර්ධගෝලයේ අහස නිරීක්ෂණය කලොත් ඔබට Reticulum කියන තාරකා රාශිය දැකගන්න පුලුවන් වෙයි. මේක තියෙන්නෙ පෘථිවියේ ඉඳලා ආලෝක වර්ෂ 39ක දුරින්. ඉතිං මේ තරු රාශියෙ තියෙනවා Zeta Reticuli නමින් හඳුන්වන යුග්ම තාරකාවක්. (හොඳට බැලුවොත් මේකත් පියවි ඇසට පේනවා.) ඒ කියන්නෙ, binary star එකක්. තවත් පැහැදිලි කලොත්, මේ තරු දෙක එකිනෙකට බොහොම ලඟින් ඒ දෙකටම පොදු වුනු ගුරුත්ව කේන්ද්‍රයක් වටේ තමා භ්‍රමණය වෙන්නෙ.

Alien චිත්‍රපට පෙලේ කතාව අනුව, ඔය යුග්ම තාරකාවට තියෙනවා ග්‍රහ මණ්ඩලයක්. ඒකෙන් හතර වෙනි ග්‍රහලෝකය අපේ සෙනසුරු වගේ ලොකු වලලු තියෙන ග්‍රහයෙක්. නමින් Calpamos. මේ ග්‍රහයාට උපග්‍රහයින් තුන් දෙනෙක් ඉන්නවා,
එකක් LV 426 (නොහොත් Acheron). අනික LV 223. තව එකක් තියෙනවා නමක් නැති. අමතරව මේ ග්‍රහමණ්ඩලයේ තව ග්‍රහලෝකයක් තියෙනවා නිකං බ්‍රහස්පති වගේ. ඒකෙ නම KG 348.
(පටලගන්න එපා, මෙතෙන්දි ඔය යුග්ම තාරකාව ඇත්තටම තියෙනවා. එතනින් එහාට කියපු දේවල් ඒලියන් ෆිල්ම්ස් වලට විතරයි අදාල.)
දැන් බලමු මේ කතාව මොකද්ද කියල. චිත්‍රපට සෙට් එක බලපු අය විතරක් කියෙව්වොත් හොඳයි හැබැයි...

මනුෂ්‍යයින්, ඒලියන්ල (Xenomorphල) සහ ඉංජිනියර්ස්ල අතර කතන්දරේ වෙන්නෙ ඔන්න ඔය Zeta Reticuli කියන තරු යුගලයට අයත් ඔය මුලින්ම කියපු ග්‍රහලෝක සෙට් එකේ.

ඉතාමත් ඈත අතීතයේ ඉංජිනියර්ස්ල, LV 223 කියන චන්ද්‍රයා මත පර්යේෂණාගාරයක් පිහිටුවනවා. මේකෙ අරමුණ, A0- 3959X.91 කියන රසායන ද්‍රව්‍ය (අර කලු පාට දියරය) ගැන පර්යේෂණ පැවැත්වීමයි. එහෙම කරන්නෙ අවසානයේ ඒකෙන් රසායනික අවියක් හදල ඒක මේ අපේ පෘථිවිය මතට ගෙනත් අතෑරලා මනුෂ්‍ය සංහතිය විනාශ කරන්නයි. නමුත් මේ පරීක්ෂණ අවුල් ගිහින් මේ රසායන ද්‍රව්‍ය නිසා, ඒ පර්යේෂණාගාරය විනාශ වෙලා කීප දෙනෙක් ඇරෙන්න ඉංජිනියර්ස්ලත් මැරිලා යනවා.

ඔන්න ඔය අතර කලෙදිම, ඉංජිනියර්ස්ල පාවිච්චි කරන, Juggernaut වර්ගයේ ලොකු යානාවක්, Xenomorph බිත්තරත් එක්ක කඩන් වැටෙනවා LV 426 කියන චන්ද්‍රයා මතට. ඒකත් මතක තියාගන්න.

ඉන්පස්සේ, 2093 අවුරුද්දේදි පුරාණ තාරකා සිතියමක් ඔස්සේ යමින්, USCSS Prometheus කියන මිනිස්සු රැගත් යානාව එනවා Zeta Reticuli වෙතට. ඒ ඇවිදින් ගොඩබහින්නේ, LV 223 කියන චන්ද්‍රයා මතටයි. ඒ කියන්නෙ අර පර්යේෂණය වැරදුනු තැනට. ඊට පස්සෙ වෙන ටික Prometheus ෆිල්ම් එක බැලුවනම් දන්නව ඇතිනෙ. ඒකෙදි අවසානයේ අර හයිබනේට් වෙලා ඉන්න ඉංජිනියර් නැගිට්ට ගමන් ආයි යන්න හදන්නෙ පෘථිවිය විනාශ කරන්නයි. ඒත් Prometheus ශිප් එක ඌ යන්න හදන එකේ හප්පලා ඒක නතර කරනවා. ඊට පස්සෙ Elizabeth Shaw සහ ඩේවිඩ් කියන ඇන්ඩ්‍රොයිඩ්වරයා විතරක් තවත් Juggernaut ship එහෙක නැගල Zeta Reticuli වලින් පිටත් වෙලා යනවා අනික් engineersලා හොයාගෙන.

Alien: Covenant චිත්‍රපටයේ කතාව වෙන්නෙ ඕකෙන් පස්සෙ 2104 දී. ඒ කියන්නෙ Prometheus සිද්ධි වලින් අවුරුදු දහයකට විතර පස්සෙ. මේකෙදි Covenant කියන යානාවට හම්බෙන්නෙ අර Prometheus එකේ අන්තිමට පිටත් වෙලා යන ඩේවිඩ්ව, මෙතෙක් හොයාගෙන නැති පෘථිවියට සමාන ග්‍රහලෝකයක් මතදී. කතාව විස්තර කරන්න යන්නෑ.

ඉන්පස්සේ 2122 දී, ඒ කියන්නෙ අර Prometheus සිද්ධි වලින් දළ වශයෙන් අවුරුදු තිහකට විතර පස්සෙ, Weyland සමාගමට අයිති Nostromo කියන යානාව ඔය අසලින් යනවා. එතෙන්දි අර LV 426 කියන චන්ද්‍රයා මතට Xenomorph බිත්තර එක්ක කඩාවැටුණු Juggernaut යානාවෙන් එන සංඥාවක් මෙයාලාගෙ යානාවෙ AI එක විසින් ලබාගෙන ඒ අනුව තමා ඒ යානාව LV 426 මතට ගොඩබහින්නේ. (ඒක තමා Alien පළවෙනි ෆිල්ම් එකේ කතාව) මේකෙදි වෙන සිද්ධි මාලාවෙන් අන්තිමට බේරෙන්නෙ යානාවෙ ඉන්න Ellen Ripley විතරයි. Xenomorph එක්ක Nostromo යානාව පුපුරවා හැරලා, රිප්ලි බේරිලා යන්නෙ Narcissus කියන shuttle එකෙන්.

එහෙම බේරිලා යන රිප්ලිව නැවතත් හොයාගන්නෙ, අවුරුදු 57 කට පස්සෙ. හැබැයි හයිබනේට් වෙලා ඉන්න නිසා වයස ගිහින් නෑ. ඔය කාලය අතරතුරේ, Weyland සමාගම, Xenomorph කියන ජීවීන් ගැන දැන ගන්නවා සහ එයාලට අවශ්‍ය වෙනවා උන් භාවිතා කරල ජෛව ආයුධ නිෂ්පාදනය කරන්න.

ඔය Prometheus යානාව අතුරුදන් වුනු කාලය සහ Nostromo යානාව විනාශ වීම අතර කාලෙදි, Weyland සමාගම වගේම එහි එදිරිවාදී තවත් සමාගමක් වෙන, Seegson කියන සමාගම, Zeta Reticuli කලාපයේ හදනවා Sevastopol Station කියල අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක්. මේක කක්ෂගත කරල තියෙන්නෙ අර මුලින්ම කිව්ව KG 348 කියන බ්‍රහස්පති වගේ ග්‍රහලෝකය වටේ.

වර්ෂ 2137 දී, Xenomorph ආක්‍රමණයක් නිසා මේක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා, KG 348 මතට කඩන් වැටෙනවා. ඇත්තටම මේක වෙන්නෙ, Anesidora කියල කාගෝ ෂිප් එකක් මේ මධ්‍යස්ථානයට සම්බන්ධ වුනයින් පස්සෙ . මේ Anesidora කියන යානාවත් අර Nostromo යානාව වගේම, LV 426 වලින් ආපු සිග්නල් එකක් නිසා ඒකට ගිහින් Xenomorphලව බෝ කරගෙන ඇවිත් තමා Sevastopol එකට එන්නෙ. ඒකෙන් වෙන්නෙ, ඒ යානාවෙ හිටපු Xenomorphලා Sevastopol එකට ඇවිත් අවසානයේ ඒක කඩාවැටීමයි.
(මේ වගේ සිද්ධි නිසා තමා Weyland සමාගම Xenomorph ලා ගැන හොයන්න පටන් ගන්නේ.)

Aliens නොහොත් Alien දෙවැනි කොටස වෙන්නෙ, 2179 අවුරුද්දේ . ඒත් ඊට කලින්, 2157 අවුරුද්දේ Weyland සමාගම මගින්, LV 426 කියන චන්ද්‍රයව terraform කරන්න පටන් ගන්නවා. ඒක කරන්න පටන් ගන්න කොලනිය නම් කරන්නෙ Hadley's Hope නමින්. දෙවැනි චිත්‍රපටයේ කතාව සිද්ධ වෙන්නෙ LV 426 මත ඇති මේ කොලනිය ආශ්‍රිතවයි. මේකෙදි රිප්ලි ඇතුලු පිරිසට ඒ චන්ද්‍රයා මතදී නිකං හුස්ම ගන්න පුලුවන් වෙන්නෙ, ඒ වෙනකොටත් අර ටෙරාෆෝම් කරන වැඩේ අවුරුදු විස්සක් විතර කෙරිලා ඒකෙන් වායුගෝලය වෙනස් වෙලා නිසයි.

ඔන්න ඕකයි කතාව වෙච්චි පිලිවෙළට පෙලගැහුවොත්...

(ප.ලි. : අර KG 348 ග්‍රහලෝකයේ සිද්ධිය ඇත්තටම චිත්‍රපටවල පෙන්නන්නේ නෑ. ඒක තියෙන්නෙ Alien: Isolation කියන ගේම් එකේ. අනික, මේ ඒලියන් ෆ්‍රැන්චයිස් එකේ තව එක ෆිල්ම් එකක් එන්න තියෙනවා කියල කියනවා. බොහෝවිට ඒකෙදි පැහැදිලි කරයි අර බිත්තර සහ කලු දියර සහිත යානාව, LV 426 ට කඩාවැටුණෙ කොහොමද කියල.)


චිත්‍රපට වල එන "ටෙරාෆෝමින්"....

ඔබ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට බලන කෙනෙක් නම්, terraforming කියන වචනය දැනටමත් අහල ඇති. මම නම් මේක මුලින්ම දැනගත්තෙ, Prometheus ෆිල්ම් එක හරහා. ඒකෙ අර යානා එහෙම අයිති Weyland Yutani කියන සමාගමේ ප්‍රධාන ආදායම් මාර්ගයක් තමා ඔය terraforming කියන්නෙ. ඒකෙදි එයාල කරන්නෙ මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු, ඒත් ඒ තත්ත්වෙට පත් කරන්න පුලුවන් විභවයක් තියෙන ග්‍රහලෝක හොයාගෙන ඒවා මිනිස් වාසයට සුදුසු තත්ත්වෙට පත්කරලා ආපහු මිනිස්සුන්ට විකුණන එක. මේ සමාගමේ ස්ලෝගන් එකත්, building better worlds කියල තමා තියෙන්නෙ.

ඉතිං Prometheus කියන්නෙ මේ මෑතකදී ආපු ෆිල්ම් එකක්නෙ. ඒත් මේ ටෙරාෆෝමින් කන්සෙප්ට් එක ඊට වඩා ගොඩක් පරණයි. මුලින්ම මේක හම්බෙන්නෙ චිත්‍රපට වල නෙවෙයි පොත් වල. ඒ අතරිනුත් ඉස් ඉස්සෙල්ලාම මේ ටෙරාෆෝමින් (එහෙමත් නැත්තං අපි සිංහලෙන් කියන්න උත්සාහ කලොත් "පෘථිවිකරණය" වගේ වචනයක් පාවිච්චි කරන්න පුලුවන්) ගැන කියල තියෙන්නෙ H.G. Wells එයා 1898 වගේ ඈත කාලෙකදි ලියපු, අපි දන්න කියන War of the Worlds පොතේ. මේකෙ කතාවෙ හැටියට , පෘථිවිය ආක්‍රමණය කරනවා අඟහරු ලෝකෙන් ආපු ජීවීන්. අන්න ඒ ආක්‍රමණයෙදි, ඒ ලෝකෙ තියෙන රතු පාට ශාක විශේෂයක් (red weed) අපේ ලෝකෙ පුරා පැතිරෙනව වසංගතයක් වගේ. (වෙල්ස්ගේ පොතේ හැටියට අඟහරු රතු පාටට පේන්නෙ මේ පැලෑටි නිසයි) ඇත්තටම මේ පැලෑටියෙන් කරන්නෙ, පෘථිවිය ටිකින් ටික අඟහරු වගේ කිරීම, ඒ කියන්නෙ terraforming කිරීමක් තමා හැබැයි අනික් පැත්තට.
මේ විදිහට ඒලියන්ල ඇවිදින් අපේ ලෝකෙ "ටෙරාෆෝම්" කරනවට නොහොත් උන්ට සුදුසු විදිහට පරිවර්තනය කරගන්නවට xeno-terraforming කියල කියනව. හැබැයි, ඒ ජීවීන්ට සාපේක්ෂව (උන්ගෙ කෝණයෙන් බැලුවම) මේකත් ටෙරාෆෝමින්ම තමා.

H.G. Wells තමන්ගෙ කතන්දරය තුළ මේ ටෙරාෆෝමින් සංකල්පය පාවිච්චි කලාට ඔහු "ටෙරාෆෝමින්" කියන වචනය භාවිතා කරන්නෙ නෑ.
ඇත්තටම මේක වචනයක් විදිහට මුලින්ම හඳුන්වා දෙන්නේ (coin කරන්නෙ), Jack Williamson කියන ලේඛකයා විසින් ඔහුගේ Collision Orbit කියන විද්‍යා ප්‍රබන්ධය තුලිනුයි. ඒ 1942 වසරෙදි. දැන්නම් මේක ඉංග්‍රීසි භාෂාවේ ස්ථිර වචනයක් විදිහට ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ පවා තියෙනවා.

අපි පෘථිවි වාසීන් විදිහට වෙන ලෝක ටෙරාෆෝම් කරන එක ගැන ආතර් සී ක්ලාක් ඔහු ලියපු Sands of Mars කියන විද්‍යා ප්‍රබන්ධය තුළ විස්තර කරන්නෙ 1951 වගේ ඈත කාලේ. හැබැයි දැන් ඒක තව දුරටත් ප්‍රබන්ධයක්ම නෙවෙයි. මොකද නාසා ආයතනය දැන් මේක ගැන ඇත්තටම පර්යේෂණ කරනවා. එලොන් මස්ක් , අඟහරු සම්බන්ධව මේක යතාර්ථයක් කරන්න උත්සාහ කරනවා. ඒත් මේක ඇත්තටම කරනවනම් සෑහෙන සල්ලි යන වැඩක්.

හරි. ආපහු චිත්‍රපට පැත්තට හැරුණොත්, Star Trek කතා සෙට් එක බලල තියෙනව නම් මේවයේ අවස්තාව කීපෙකදිම මේ ටෙරාෆෝම් සීන් යනව. එකක් තියෙනවා විනාඩි ගානක් ඇතුලත ග්‍රහලෝකයක් ටෙරාෆෝම් කරන එහෙකුත්. (යූ බටේ තියෙනවා වීඩියෝ එක ) හැබැයි ඉතිං ඇත්තටම ටෙරාෆෝම් කරන එක නම් එච්චරම ලේසි නෑ .

ඒලියන් ෆ්‍රැන්චයිස් එක බලල තියෙනවා නම් මතක ඇති ඒලියන් පළවෙනි ෆිල්ම් එකේ උන් ටික ගොඩබහින ග්‍රහලෝකය (LV 426 කියන ප්ලැනටොයිඩ් එක ) මිනිස්සුන්ට එච්චරම හොඳ එකක් නෙවෙයි. ෆුල් සූට් ඇඳලා තමා තුන් දෙනෙක් එලියට යන්නෙ. ඒත් 1986 ආපු ඒලියන් දෙවෙනි චිත්‍රපටය තුළ ඒ ග්‍රහලෝකය ඊට වඩා මිනිස්සුන්ට හිතකර විදිහට ටෙරාෆෝම් කරල තියෙනවා වේලන්ඩ් සමාගම මගින්. ඒ වැඩේට දශක කීපයක් ගතවුණා කියල තමා කියන්නෙ. 2157 වසරෙදි පටන් අරගන්න වැඩේ 2179 වෙද්දිත් කෙරෙමින් තියෙනවා. මේ ග්‍රහලෝකයේ පොඩි කොලනියක් තියෙනවා එයාල තමා Atmospheric Processing Plant එක බලාකියාගන්නෙ. ඒකෙන් තමා ඒ ග්‍රහලෝකයේ වායුගෝලය, පෘථිවියේ වගේ කරන්නෙ. (ඊට පස්සෙ ඒලියන්ල ඇවිදින් කෙල වෙනවා 😊)

1990 දී ආපු Total Recall චිත්‍රපටය තුළත්, 2000 දී ආපු Red Planet චිත්‍රපට කතාවෙත් කියන්නෙ අඟහරු ලෝකය ටෙරාෆෝම් කරපු සිද්ධි තමා . මේවයින් Total Recall එකේ කතාවට අනුව පිටසක්වල ජීවීන් විසින් අඟහරු ග්‍රහයා මත සවිකල උපකරණ මගින් ඒකෙ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩි කරල මිනිස්සුන්ට සුදුසු විදිහට හදනවා. අඟහරු ටෙරාෆෝම් කරන කන්සෙප්ට් එක චිත්‍රපට තුළ මුලින්ම පාවිච්චි වෙලා තියෙන්නෙ මේ Total Recall ෆිල්ම් එක තුළයි. ඒත් ඒ ක්‍රමය විද්‍යාත්මකව එච්චර නිවැරැදි නෑ කියල තමා කියන්නෙ.
දෙදාස් තුනේ ඉඳල හතර වෙනකම් විකාශනය වුනු Firefly ටීවී සීරීස් එක සහ ඒකට sequel එකක් විදිහට හැදුනු Serenity කියන ෆිල්ම් එකෙත් කතන්දරය තුළ මේ ටෙරාෆෝම් කිරීම දකින්න පුලුවන් .

මෑතකදී ආපු Man of Steel ෆිල්ම් එකේ කතාව මතකයි නම් ඒකෙත් තියෙන්නෙ මේ ටෙරාෆෝම් සිද්ධියක් තමා . සුපර්මෑන්ගෙ මව් ග්‍රහලෝකයේ ඉඳල මෙහෙ එන ජෙනරල් Zod ට ඕන කරන්නෙ පෘථිවිය එයාලගෙ වාසයට සුදුසු විදිහට ටෙරාෆෝම් කරන්න නොහොත් Krypton වගේ කරන්න. ඇත්තටම මගක් දුර කරනව මේක. ඊට පස්සෙ සුපර්මෑන් මැදිහත් වෙලා තමා යන්තං නතර කරගන්නෙ.

රූප: LV 426 මත ඇති Atmospheric Processing Plant එක සහ War of The Worlds එකේ Red weeds.


Smallfoot (2018)

අපි ජීවත් වෙන සමාජයේ විවිධ සම්ප්‍රදායයන් තියෙනවා, සිරිත් විරිත් තියෙනවා. සමහරවිට ඒවා එහෙම කරන්නෙ ඇයි කියල අපිටම තේරෙන්නෑ. ඒවා කරන එකම හේතුව, අපේ අම්මලා තාත්තලා ඒවා ඒ විදිහට කරපු නිසා. ඔවුන් ඒවා කලේ එයාලගෙ දෙමව්පියෝ නොහොත් අපේ ආච්චිලා සීයලා ඒවා කරපු නිසා. ඉතිං මේ දේවල් ප්‍රශ්න කරල විවේචනය කරන එක හරිද? සම්ප්‍රදායයන් රැකිය යුතුමද? නොරැක්කොත් වෙන හානිය මොකද්ද ?

ඒවා රකිනවාද, ඉවත් කරනවාද කියල තීරණය කරන්න නම්, අදාළ සම්ප්‍රදායේ ඉතිහාසය හොයාගෙන ඒකෙ මූලය හොයාගෙන ඒක එහෙම කරන්න පටන් ගත්තු හැබෑම හේතුව මුලින්ම හොයාගන්න ඕනෙ. අන්න එහෙම හොයාගන්න හේතුවත් කිසිම වැදගැම්මකට නැති එකක් නම් ඔන්න ඔබට පුලුවන් ඒකට අදාළ සිරිත/සම්ප්‍රදාය/පූජාව අහකට විසික් කරන්න.
හැබැයි පැහැදිලි හේතුවක් හොයාගන්න බැරි උනොත්, එහෙම මූලය අපැහැදිලි සම්ප්‍රදායයන් සහමුලින්ම නැති කරල දාන එක ටිකක් භයානකයි. මොකද අපි දන්නැති දීර්ඝකාලීන නරක විපාක වෙන්න පුලුවන් ඒ ඉවත් කිරීම් නිසා.
ඉතිං මේ ටික විශේෂයෙන්ම ලංකාවට මේ දවස් වල ගොඩක්ම අදාලයි. මොකද කට්ටියක් ඉන්නවා සම්ප්‍රදායික දේවල් වලට ඉවක් බවක් නැතිව කෝචොක් කරමින් ඒවාට ගරහමින් ඒවායින් ක්ෂණිකව ඈතට යන. තවත් පිරිසක් ඉන්නව සම්ප්‍රදායයන් වලින් අන්ධ වෙලා ඉවක් බවක් නැතුව ඒවා අනුගමනය කරමින් ඒවාට වහල් වෙච්ච. ඉතිං ඔය දෙකම අන්ත දෙකක්.

මෙන්න මේ අන්ත දෙකෙන්ම ගැලවෙලා, සම්ප්‍රදායයන්/සංකෘතික අංග/සිරිත් විරිත් වල නියම අර්ථය හොයා ගෙන, ඒවා විනිවිද දැකපු , ප්‍රශ්න කරල ඒවාට උත්තර හොයාගත්තු අයට තමා ඔය අන්ත දෙකෙන්ම ගැලවෙලා සමාජයේ සතුටින් ඉන්න ලැබෙන්නෙ. ඒ අය තමා සත්‍යය දකින්නෙ කවදහරි. ඒක නිසා, මේක විශේෂයෙන්ම පෙන්නන ඕනෙ පොඩි අයටමයි. මොකද එතකොට අනාගතයෙවත් අන්තගාමී නොවෙන විවෘත මනස් ඇති නිදහස් මිනිස්සු ටිකක් මේ රටේ වැඩිපුර ඉඳියි. ඉතිං ඔය කිව්ව ටිකක් බරපතල කාරණාව, බොහොම සූක්ෂ්ම විදිහට ලස්සනට කියල දෙන ෆිල්ම් එකක් තමා මේ Smallfoot.
භාහිරින් බැලුවම නම් යෙටීලා සහ මිනිස්සු අතර අපූරු කතාවක්. ඒත් ඊට යටින් කියල දෙන අර පණිවිඩය ! ඒක මිනිස්සුන්ට අත්‍යවශ්‍යයයි . විශේෂයෙන්ම ලංකාවේ අයට.

ඉතිං මේ කිව්ව දේවල් චිත්‍රපටය සම්බන්ධයෙන් බොරුද ඇත්තද කියල ඔබලාම බලල ඇවිත් කියන්න.

ප්‍රෙඩේටගේ "තාත්තා", වෑන් ඩෑම් සහ ජේම්ස් කැමරන්.....

ඔය අලුතින් ආපු ප්‍රෙඩේට ෆිල්ම් එකේ එක තැනක අර විද්‍යාඥවරිය කියනවා ඒ පිටසක්වල ජීවියට "Predator" කිව්වට ඌට ඒක නෙවෙයි ගැලපෙන්නෙ Hunter කියල. මොකද Predator කියන්නෙ නිකං ජීවත් වෙන්න දඩයම් කරන සතෙක්ට. නමුත් මේ ෆිල්ම් වල ඉන්න එකා දඩයම් කරන්නෙ ක්‍රීඩාවක් විදිහට. එතකොට ඇත්තටම ඌට ගැලපෙන ඉංග්‍රීසි වචනය Hunter. ඒත් මේ ෆිල්ම් එකේම එයාගෙ ඒ කතාවට පිළිතුරු විදිහට කියනවා, Hunter කියන එකට වඩා Predator කියන එකේ ගතියක් තියෙන නිසා වැඩි මනාපයට ඒ නම සම්මත වුනාය කියල ... ඉතිං මේකෙ පොඩි ඉතිහාස කතාවකුත් තියෙනවා...

අසූ ගනන් වල ආපු ආනොල්ඩ් හිටපු පළවෙනි Predator ෆිල්ම් එකට මුලින්ම නම දාල තියෙන්නෙත් Hunter කියලයි. පස්සෙ ඒ නම හරි නෑ වගේ හිතිලා The Predator කියල දාල ඊටත් පස්සෙ The කෑල්ල හලල Predator කියල දාල තියෙනවා. නම විතරක් නෙවෙයි මුල්ම ප්‍රෙඩේට ෆිල්ම් එක හැදුනු විදිහත් අපූරු කතාවක්.

ඔන්න මුලින්ම ප්‍රෙඩේට ෆිල්ම් එක හදන්න ආනොල්ඩ් ඇතුලු පිරිස රූගත කිරීම් වලට මෙක්සිකෝවට ගිහින් තියෙනවා. මොකද මේක ශූට් කරල තියෙන්නෙ මෙක්සිකෝවේ ඝන වනාන්තරවල. ඉතිං මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය, ඒ කියන්නෙ ප්‍රෙඩේට සඳහා යොදා ගෙන තියෙන්නෙ අපි මේ අද දකින එකාව නෙවෙයි ඊට බොහොම වෙනස් ඩිසයින් එකක්. ටිකක් බල්ලෙක් වගේ හොම්බක් එක්ක ලොකු ඇස් දෙකක් තිබ්බ ටිකක් දිගටි සතෙක්. හැබැයි මූ කකුල් දෙකෙන් ඇවිදිනවා. ඒත් කකුල් ඩිසයින් කරල තියෙන විදිහට සාමාන්‍ය මනුස්සයෙක්ට ඒ සූට් එක ඇඳන් නිකම්ම ඇවිදින්න අමාරුයි. කේබල් එහෙම යොදාගන්න වෙලා තියෙනවා. ඉතිං හොඳම සීන් එක තමා ඔය සූට් එක ඇඳගෙන ප්‍රෙඩේට විදිහට රඟපාන්න තෝරගෙන තියෙන්නෙ වෑන් ඩෑම්ව! මොකද මේක ඇක්ෂන් ෆිල්ම් එකක් නිසා, සතුරාට ඇක්ෂන් වැඩ කෑලි දාන්න හැකි විය යුතු නිසා තමා එහෙම තෝරගෙන තියෙන්නෙ. ඒත් ඩිසයින් එකේ හැටියට ඇක්ෂන් කෙසේ වෙතත් ඇවිදින එකත් අමාරු වෙලා තියෙනවා. ඒත් ඒ මුල් ෆිල්ම් එක බලපු අයට මතක ඇති කතාවෙ හැටියට මුල් සීන්ස් ඔක්කොටම වගේ ප්‍රෙඩේට එන්නෙ අර ඉන්විසිබල් මෝඩ් එකෙන්. ඉතිං ඔය ඉෆෙක්ට් එක ගන්න, අර මුලින්ම කිව්ව බල්ලෙක් වගේ මූණ තිබ්බ රබර් සූට් එකට සමාන රතුපාට ඩමි සූට් එකක් පාවිච්චි කරල තියෙනවා ( රතු පාට පාවිච්චි කරල තියෙන්නෙ , පසුබිමේ කැලේ කොල පාට නිසා, දෘශ්‍ය ප්‍රයෝගය සඳහා විරුද්ධ තනි පාටක් යොදාගන්න නිසා) ඒත් ඉතිං ඔය ටෙක්නිකල් සීන් එක වෑන් ඩෑම්ට තේරිලා නෑ. ඒ මනුස්සයට අර රතුපාට බලු පෙනුමක් තියෙන ඩමිය ඇඳන් රඟපාන එක එපා වෙලා, අප්පිරිය වෙලා තමා ඉඳල තියෙන්නෙ. ඔය මුල් ඉන්විසිබල් සීන් ටික අරගෙන අර රියල් සූට් එක පාවිච්චි කරන්න ගන්නකොට ඒකෙන් ඉදිරි දර්ශන කොහෙත්ම ශූට් කරන්න අමාරු බව පෙනිලා තියෙනවා ටීම් එකට. (මොකද එක තැනක ප්‍රෙඩේට වතුර යටින් මතුවෙන සීන් එකක් පවා තියෙනව) අන්තිමේ වෑන් ඩෑම් මේකෙන් අයින් වෙලා . අර ඩිසයින් එකත් අයින්ම කරල. ඉතිං වීරයා නොහොත් ආනොල්ඩ් හිටියට ප්‍රෙඩේට කෙනෙක් නැත්තං කොහොමද Predator හදන්නෙ? ෆිල්ම් එකේ වැඩ අතරමග හබක් වෙලා තියෙනවා .

ඉතිං මාස ගානක් අර කෑලෑවෙ ශූටින් කරල , අතරමග නතර වුනු චිත්‍රපටය සඳහා , අලුත්ම ප්‍රෙඩේට කෙනෙක් ඩිසයින් කරලා ඉක්මනින්ම වැඩ ආයි පටන් ගන්න ඕනෙ වෙලා තියෙනවා.
ඔය ෆිල්ම් එකට ජොයින් වෙන්න කලින් ආනොල්ඩ්, ජේම්ස් කැමරන්ගෙ Terminator ෆිල්ම් එකේ රඟපාන කාලෙ, ඒකෙ ස්පෙෂ්ල් ඉෆෙක්ට්ස් කරපු ඒ කියන්නෙ Terminatorව හදපු, Stan Winston ව අඳුනගෙන තිබ්බ. ස්ටෑන් ආනොල්ඩ්ගෙ හොඳ යාලුවෙක්. මේ මොහොතේ තමන්ට කරන උදව්වක් විදිහට Predator ෆිල්ම් එකට ඉක්මනින්ම ප්‍රෙඩේට කෙනෙක්ව නිර්මාණය කරල දෙන්න කියල ආනොල්ඩ් තමන්ගෙ යාලුවගෙන් ඉල්ලල තියෙනවා . ස්ටෑන්ටත් තමන්ගෙ යාලුවගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසා වැඩේ බාර අරං . ඒත් මේක ඇත්තටම ලොකු අභියෝගයක් මොකද සාමාන්‍යයෙන් ස්ටුඩියෝ එකක් මේ වගේ කැරැක්ට එකක් අලුතින් හිතල හදන්න අවුරුද්දක් විතර කල් ඉල්ලනවා. ඒත් ස්ටෑන් වින්ස්ටන්ට්ට මේ සඳහා ලැබුනේ සති කීපයක් විතරයි.

ඒත් ඔහු අභියෝගය බාර ගත්තා.

මුලින්ම තිබුනේ, පිටසක්වල ජීවියාව ඩිසයින් කිරීම. ඇත්තටම ඕක තමා අමාරුම වැඩේ.
ඊට කලින් අවුරුද්දේ තමා ස්ටෑන්, ජේම්ස් කැමරන්ගෙ Aliens ෆිල්ම් එකේ වැඩ කරල තිබ්බෙ. Aliens එකේ අදාල පිටසක්වල ජීවීන් සම්බන්ධ ඉෆෙක්ට්ස් බාරව හිටියෙත් ස්ටෑන්මයි. ඉතිං මේ Aliens (1986) ෆිල්ම් එකේ ප්‍රවර්ධන වැඩකට ස්ටෑන් සහ ජේම්ස් කැමරන්ට ජපානෙට යන්න වෙලා තියෙනවා . දෙන්න ප්ලේන් එකේ වාඩි වෙලා ගිහින් තියෙන්නෙ එක ළඟමයි. අලුතින් බාර ගත්තු ප්‍රෙඩේට වැඩේ හදිස්සි නිසා, ප්ලේන් එකේ යන ගමන්ම ස්ටෑන් කොලයක් පැන්සලක් අරං ප්‍රෙඩේට ව අඳින්න අරං . ඕක දිහා බලන් ඉඳපු එහා සීට් එකේ ජේම්ස් කියල තියෙනවා , "ඔය වගේ එකෙක්ගෙ කට හරියට මම නම් හිතන්නේ මැන්ඩිබල්ස් (Mandibles, කියන්නෙ , ආත්‍රපෝඩා වංශයේ කෘමි සතුන්ගේ මුඛ උපාංග වලට කියන සමූහ පදයක්) තිබ්බ නම් හොඳයි" කියල . ඉතිං ඒක හොඳ අදහසක් වගේ පෙනුන නිසා , ස්ටෑන් තමන්ගෙ චිත්‍රයේ ඉන්න සතාගෙ කට, ජේම්ස් කියපු විදිහට මකල වෙනස් කරල තියෙනවා . ඉතිං ඔය අද අපි දකින ප්‍රෙඩේටගෙ පියා විදිහට ස්ටෑන්ව සලකන්න පුලුවන් වුනාට , ප්‍රෙඩේටර්ස්ලට තියෙන ඒ මහ කැත පෙනුමක් තියෙන කටේ අයිතිකාරය ඇත්තටම ජේම්ස් කැමරන්.
ඊට පස්සෙ, ස්ටෑන් ඇතුලු පිරිස ප්‍රෙඩේටගෙ ඩිසයින් එක සති කීපයක් ඇතුලත නිම කල අතර , ප්‍රෙඩේට විදිහට (සූට් එක අඳින්න) කෙවින් පීටර් හෝල් කියන උසින් වැඩි නලුවෙක් යොදාගත්ත.

ඉතිං කොහොමෙන් කොහොම හරි, යාලුවෙක්ට හදිස්සියට කරපු උදව්වක් විදිහට නිර්මාණය වුනු ප්‍රෙඩේට අද ලෝක ප්‍රසිද්ධයි. ප්‍රෙඩේට ඇතුලුව, Terminator , Aliens වගේ නිර්මාණ රාශියක් කරපු Stan Winston ... එයත් ඉතිං හොලිවුඩ් වල සුපිරි චරිතයක් තමා. ඔහු 2008 දී මිය ගියත් ඔහු ඇරඹූ ස්ටුඩියෝ එක නම් අදටත් වැඩ.