Wednesday, March 20, 2019

රැක් ෆෝකස් (rack focus)කියල වචනයක් අහල තිබ්බද කලින්?

ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය නම් දන්නව ඇති ඉතිං අපි දන් නෑනෙ. වචනෙ නොදන්නව උනාට, ඒකෙන් වෙන දේ නම් අපි දැකල තියෙනවා ඕන තරම්. ඇත්තටම මොකද්ද මේ රැක් ෆෝකස් කියන්නෙ?

දැකල තියෙනවද චිත්‍රපට වල එකම රූප රාමුව ඇතුලෙ කැමරාවෙ ලෙන්ස් එකේ ෆෝකස් එක ඒ කියන්නෙ කාචය නාභිගත වෙලා තියෙන තැන වෙනස් කරමින්, ඒ රූපරාමුව ඇතුලෙ තියෙන විවිධ දේවල් වලට ප්‍රේක්ෂකයගෙ අවධානය යොමු කරනව? ඔය දාල තියෙන රූප බලන්න. ඒ කියන්නෙ මුලින්ම මේසෙ එහා කෙලවරේ ඉන්න කෙනා කතා කරද්දි එතනට ෆෝකස් වෙන කැමරාව ඉන් පස්සෙ මෙසේ මෙහා කෙලවරේ ඉන්න ගෑනු කෙනාගෙ මූණට ෆෝකස් වෙනව. අන්න එහෙම ලේයර්ස් විදිහට ෆෝකස් එක වෙනස් කරන එකට තමා රැක් ෆෝකස් කරනව කියන්නෙ. රූප වලින් කතාව කියද්දි ප්‍රේක්ෂකයන්ට විවිධ දේවල් අඟවන්න යොදාගන්න එක ක්‍රමයක් තමා මේ. කැමරාවෙ පිහිටීම වෙනස් නොකර ෆෝකස් එක විතරක් වෙනස් කරලත් ගොඩක් දේවල් සන්නිවේදනය කරන්න පුලුවන්.

මේ විදිහට කැමරා කාචය එක්ක කරන මේ සෙල්ලම බාරව ඉන්න කෙනාට කියන්නෙ "ෆෝකස් පුලර්" (focus puller) කියලයි. කැමරා ඔපරේටර්වරු එක්ක තමා එයා වැඩ කරන්න ඕනෙ. සිනමැටොග්‍රැෆර් යටතේ.
එයගෙ වගකීම තමා අධ්‍යක්ෂවරයාට අවශ්‍ය විදිහට මේ කාච එහෙ මෙහෙ කරල ඒ දර්ශනය අවශ්‍ය විදිහට අරං දෙන එක. හැබැයි ඒ ඉස්සර. දැන්නම් ගොඩක් වෙලාවට ඉලෙක්ට්‍රොනික් විදිහට ඔටෝමැටිකලි වෙන්න සෙට් කරන්න පුලුවන් මේක.

දැන් මේකෙම තව පොඩි දෙයක් තියෙනවා, ටිකක් වෙනස් සිද්ධියක් ....

සාමාන්‍යයෙන් දර්ශනයක් ගත්තම ඒකෙ එක් තලයකටනෙ කැමරාව නාභිගත වෙලා තියෙන්නෙ. හැබැයි අධ්‍යක්ෂවරයාට උවමනා වුනොත් , ඈත වෙන සිද්ධියක් සහ ඒ ෆ්‍රේම් එකේම ලඟ වෙන සිද්ධියක් එකම වෙලාවෙ ෆෝකස් කරල පෙන්නන්න ? එතකොට මොකො කරන්නෙ?
ඒ වගේ වෙලාවට ඩයොප්ටර් එකක් කාචෙට ඉස්සරහින් සෙට් කරල , එකම කාචයට නාභිදුරවල් දෙකක් එන විදිහට හදාගන්න පුලුවන්. ඒකට කියන්නෙ split field diopter effect කියලයි. ඔය ටැරන්ටිනො, ස්පිල්බර්ග් , මාටින් ස්කෝසි, වගේ වැඩකාරයො මේ ක්‍රමයත් පාවිච්චි කරනව ෆිල්ම් හදද්දී. (Casino ෆිල්ම් එකේ රූපයක් උදාහරණයක් විදිහට දාල තියෙනවා)

ප.ලි. මේ ස්ක්‍රීන් ශොට්ස් ගත්තෙ යූ ටියුබ් වීඩියෝ එහෙකින්. Fandor කියල channel එකක් තියෙනවා මේ වගේ ටෙක්නිකල් දේවල් තියෙන. කැමති අය ගිහිල්ලා බලන්න . ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් ....




No comments:

Post a Comment