Wednesday, March 20, 2019

Life that Glows (2016)

කණාමැදිරියො අනන්ත දැකල තිබුනත්, රෑ බදුල්ලොත් ඕන තරම් දැකල තිබ්බත්, ඇත්තටම රෑ බදුල්ලා කියන්නෙ වෙනම සතෙක් නෙවෙයි කණාමැදිරියන්ගෙ ජීවන චක්‍රයෙ එක් අවස්තාවක් කියල තේරුම් ගත්තෙ මේ ලඟදි. හැබැයි ඒ නම් මේ වාර්තා චිත්‍රපටය බලල නෙවෙයි.

මේ ඩොකියුමෙන්ට්‍රිය බලල ඊටත් වඩා ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් ජෛව සංදීප්තතාව (bioluminescence) දක්වන මේ ලෝකෙ ඉන්න ගොඩක් ජීවීන් ගැන .

උදාහරණයක් විදිහට ඔය කණාමැදිරියො ඉන්නවනෙ, නගරබදව නම් ටිකක් අඩු වුනත් ගම්පලාත් වල නම් රෑ වෙලා ටිකක් එලි පහලියට බැස්සොත් මුන් එහෙ මෙහෙ යනව දකින්න පුලුවන්. ඉතිං එහෙම යද්දි සැරින් සැරේ පොඩි බල්බ් එකක් වගේ නිවි නිවි පත්තු වෙනවනෙ. අපි ඉතිං හිතෙන්නෙ උන් ඒ එලිය දාන්නෙ උන්ට පාර හොයාගන්න වෙන්න ඇති කියල සරලව. ඒත් ඇත්තටම ඒ එලියේ දීප්තිය සහ නිවෙන දැල්වෙන රටාව කණාමැදිරි විශේෂයෙන් විශේෂයට වෙනස්. ඉතිං එකම විශේෂ වලට අයිති කණාමැදිරි ගැහැණු පිරිමි සත්තුන්ට උන් උන්ව හොයාගන්න මේකෙන් පුලුවන්. ඒ විතරක් නෙවෙයි මේක එක්තරා ආකාරයට නිකං මෝස් කෝඩ් එකක් වගේ පණිවිඩ යවන්නත් පාවිච්චි වෙනව.

ගැහැණු කණාමැදිරියෙක් දක්වන එලි රටාවකට (mating call), ඒ විශේෂයෙම පිරිමි සතෙක්, පිලිතුරු විදිහට යවන එලි සංඥාව යවන්න ඕනෙ යම් තප්පර ගානකට පස්සෙයි. ඉතිං ඌ ඒක හරියටම ඒ ටයිම් එකට යැව්වෙ නැත්තං අර කණාමැදිරිච්චි තේරුම් ගන්නව මූ හරියන එකෙක් නෙවෙයි කියල. (ඇත්තටම කිව්වොත් , උගේ ජාන කිටුව (genome) හරි නෑ, ඒකයි ටයිමින් අප්සෙට් යන්නෙ. කණාමැදිරියො ඕව දන්නෑ, ඒත් ඇත්තටම එතෙන්දි වෙන්නෙ ස්වභාවික වරණයක් කියන්න පුලුවන්)

ඉතිං ඔන්න ඔය වගේ අපි හීනෙන්වත් හිතන්නෙ නැති සංකීර්ණ දේවල් මේ අපි එදිනෙදා දකින ස්වභාවධර්මයේ තියෙනවා.
මේ චිත්‍රපටයෙ කණාමැදිරියො ගැන විතරක් නෙවෙයි, ජෛව සංදීප්තතාව දක්වන සෑහෙන ජීවින් ගාණක් ගැන පුදුම හිතෙන තොරතුරු ගොඩක් අන්තර්ගතයි. අනික මේක ඉදිරිපත් කරන්නෙ David Attenbrorough.

ඉතිං මේ වගේ ස්වභාවධර්මය ගැන තියෙන වාර්තා චිත්‍රපට බලන්න කැමතියි නම් මේක අනිවාර්යයෙන් බලන්න...

No comments:

Post a Comment