Wednesday, March 20, 2019

අදහන්න නෙවෙයි රසවිඳින්න....

මේ... ඕගොල්ලො බලල තියෙනවද අර ෆිල්ම් එකක් තියෙන්නෙ, Abraham Lincoln: Vampire Hunter කියල? ඕකෙ විදිහට ඒබ්‍රහම් ලින්කන් කියන්නෙ වැම්පයර්ස්ලට විරුද්ධව සටන් කරපු කෙනෙක්. ඇත්තටම ඒකෙ එක්තරා සංඛේතාත්මක දෙයකුත් තියෙනවා කියලයි තේරුනේ බලද්දි. කොහොම හරි, චිත්‍රපට කතන්දර නිර්මාණය කරන එක ෂානරයක් (genre) තියෙනවනෙ Historical Fantasy කියල. ඕකෙ තව උප ෂානරයක් තියෙනවා , Alternate history and historical fantasy කියල . ඒ අනුව අපිට හිතන්න පුලුවන් මේ චිත්‍රපටය අයිති වෙන්නෙ ඔන්න ඔය ගොඩට කියල. මොකද මේ ෆිල්ම් එකේ කතාවෙ හැටියට, ඒබ්‍රහම් ලින්කන්ට සීක්‍රට් අයිඩෙන්ටිටි එකක් තිබිලා තියෙනවා වැම්පයර් හන්ටර් කෙනෙක් විදිහට.

දැන් මම කියන්න උත්සාහ කරන්නෙ මේකයි...
ඔය ෆිල්ම් එක එලියට ආවම, ඇමරිකාවෙ ඉන්න රසික ප්‍රජාව ඔෆෙන්ඩ් උනේ නෑ අනේ මෙන්න අපේ හිටපු ජනාධිපති කෙනෙකුට අපහාස කරලා... අනේ එයා කොහෙද වැම්පයර්ස්ලව මැරුවෙ? ඇයි මේම බොරු කියල මිනිස්සු රවට්ටනෙ? ඇයි අපේ ඉතිහාසය විකෘති කරන්නෙ? අපෙ පොඩි දරුවො මේවයින් ගන්න ආදර්ශෙ මොකද්ද ? අපේ පාසල් යන දුවා දරුවන්ට මෙව්ව පෙන්නන්නේ කෝමද දෙයියනේ එයාලගෙ සමාජ අධ්‍යයනය පොතේ මෙහෙම කතාවක් නෑනේහ්.... ආදි දේවල් කිය කිය.
හැබැයි නිකමට හිතන්නකො ඔහොම එකක් ලංකාවේ හැදුවයි කියල.

අපි උදාහරණයක් ගමු.

අවුරුදු ගානකට කලින් විදුසර පත්තරේ ගියා විද්‍යා ප්‍රබන්ධ කතාවක්... ඒකත් ටිකක් ඔය වගේ. (ලියපු කෙනාව නම් මතක නෑ.)
කොහොමහරි කතාව තිබ්බෙ සීගිරිය ගැන.

ඒ කතාවට අනුව, කාශ්‍යප රජතුමා සීගිරිය තමන්ගෙ බලකොටුව කරගන්න කලින්, එතන ඇත්තටම තිබිල තියෙන්නෙ ඒලියන්ස්ලගෙ කොලනියක්. උන් මොකක් හරි පර්යේෂණ කටයුත්තකට ඒක උඩ කොලනියක් හදන් ඉන්නව. ඔය අදටත් වැඩ කරන වතුර මල් එහෙම උන් හදපුවා. විදුලි සෝපාන වගේ ටෙක්නොලොජි ඔක්කොමත් උන්ගෙ. කාශ්‍යප, මුගලන් එක්ක යුද්දෙට යන්න කලින් මුන් එක්ක යුද්ධයක් කරනව. යුද්ධයක් කිව්වට ලොකුවට ෆයිට් කරන්න ඕනෙ වෙන්නෙ නෑ. අරුන් ටිකගෙ කොලනියට පහල ඉඳන් ගිනි බෝල විසිකරනව ලොකු කැටපෝල යොදාගෙන මට මතක හැටියට . ඉන් පස්සෙ ඒලියන්ස්ල උන්ගෙ යානා වල නැගල පිට වෙලා යනව. ප්‍රති ප්‍රහාර එල්ල කරන්නෙ නෑ මොකද උන්ගෙ අරමුණ මෙහෙ යුද්ධ කරන එක නොවෙන නිසා. කොහොමෙන් හරි කාශ්‍යප ඊට පස්සෙ ඒ බලකොටුව තමන්ගෙ කරගන්නව. හැබැයි අර ටෙක්නොලොජි කාලයාගෙ ඇවෑමෙන් නැති වෙලා යනව මොකද ඒව උදුරගත්තු ඒව මිසක් අවබෝධයෙන් ගොඩනගපු දේවල් නොවෙන නිසා. ඉන්පස්සේ තමා මුගලන් ඇවිදින් ගේම ඉල්ලන්නෙ.

ඔන්න ඕකයි ඒ කතාව.

දැන් මම අහන්නෙ මේකයි, ඔය කතාවෙන් අපි ෆිල්ම් එකක් කලා කියමුකො? ප්‍රතිචාරය කුමක් වෙයිද?
අනිවා සැලකිය යුතු නැන්දලා මාමල, අයියල අක්කලා සෙට් එකක් සෑහෙන හඬක් නගයි ඉතිහාසයේ ඔහොම එකක් තිබ්බෙ නෑය මෙන්න විකෘති කරලාය ඇයි අච්චර ලස්සන ඉතිහාසයක් තියෙද්දි මේ බොරු පෙන්නන්නේ? අවුරුදු දෙදාස් පන්සීයක ලිඛිත ඉතිහාසය නේද මේ බොරු කරන්න හදන්නෙ? කිය කිය. හා නැද්ද ?

මේ ටික කියන්න අර රාවණ එකත් බලපෑව. මොකද ගොඩක් පිරිසක් ඒක බලන්නෙ, රාවණ ගැන "ඇත්ත කතාව" දැන ගන්න. ඔය "ෆැන්ටසි අජීර්ණ" රෝග තත්ත්වය සහිත "රසික හදවත්" හොඳින් හඳුනන නිසාම, ඔය කතාව මාකට් කරන්නෙත් ඒ විදිහටම තමා . ඉල්ලන දේ එපෑ දෙන්න නැද්ද මං අහන්නෙ ? මොකද අපේ කස්ටිය හෙනම ආසයි "ඇත්තටම මොකද්ද උනේ?" කියල දැන ගන්න... "හෙලි නොවූ කතාව " දැන ගන්න... බොරු නම් ගිහින් යූ ටියුබ් ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ බලන්නකො මොනාද ට්‍රෙන්ඩ් වෙන්නෙ කියල. සාක්ෂි ඇතුව හෝ නැතුව මොකක් හරි එකක් රස කරල කිව්වනම් අනේ ඒ හොඳටම ඇති. ඊට පස්සෙ ඒක තමා පට්ට ඇත්ත.

එක අතකට ඔය ගේම් ඔෆ් ත්‍රෝන්ස් , ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වගේ කොලිටියට කතා මෙහෙ හැදෙන්නේ නැති එකත් හොඳයි. ඒ වගේ බොක්කටම දැනෙන්න එකක් නිකං හරි හැදුවොත් මේ තත්ත්වය මීටත් වඩා දරුණු වෙයි, කොටසක් කියයි හෙළ ඉතිහාසය විකෘති කළා කියල , තවත් කට්ටියක් හදපු උන්ට පින් දෙයි මෙච්චර කාලයක් අපි නොදැන හිටපු හෙළ ඉතිහාසය අපිට කියල දුන්න කියල ... මේ කතා සමාජ අධ්‍යයනය අච්චු පොතට නොදාන්නෙ, බටහිර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදිහට කියල කියන්නත් බැරි නෑ ...

නිර්මාණ හදන උන්වම විවේචනය කරල වැඩක් නෑ බලන් ගියාම. කොටින්ම මේ නාට්‍ය හදන අයත් දන්නවා අපේ ප්‍රේක්ෂකයන්ගෙ දේහලීය අගය නොහොත් දරාගන්න පුලුවන් සීමාව. ඒ කියන්නෙ, මුන්ට මේක ආගමක් වගේ අදහන්න පටන් ගන්න, මහ ලොකු නිර්මාණ කාර්යයක් කරන්න ඕනෙ නෑ කියන එක එයාලට තේරෙනව.

රසිකයො/ප්‍රේක්ෂකයො විදිහට අපිත් අපේ ඒ සීමාව අඳුනගෙන ඒක ටිකක් එහාට තල්ලු කරගන්න එක වැදගත්. අපිත් ඉස්සරහට යන්න ඕනෙ නැද්ද නිර්මාණත් එක්ක...?
ෆැන්ටසියක් ෆැන්ටසියක් විදිහට බාරගමුකො... අදහන්න නෙවෙයි රසවිඳින්න.

1 comment: