World War Z බැලුව ආපහු. මේ ලෝකෙ විනාස වෙනවනම්, (වෙනවට නෙවෙයි ඉතිං කියන්නෙ මම කියන්නෙ වෙනවනම්,) මම ආස සොම්බි ඇපොකැලිප්ස් එකකින් වෙනවට තමා. ඒ ෆීලින්ග් එක උපරිමෙන් දෙන ෆිල්ම් එකක් තමා මේක.
අව කැපෙන කතා කියන්නෙ නැතුව හිටපංකො මේ වගේ වෙලාවක... සොම්බි ඇපොකැලිප්ස් එකක් වගේ ගොන් කතා කියන්නෙ ඕව වෙන්න පුලුවන් දේවල් ද ? වගේ කියන අයට මම කියන්නෙ 10th Man Rule එක ගැන හොයල බලන්න. මමම මේ ෆිල්ම් එකට අදාලව, මේ පේජ් එකේම ඒක ගැන කලින් විස්තරයක් දාල තියෙන නිසා ඒක ආපහු දීර්ඝව කියන්නෙ නෑ. එනිවේ, නිකං හිතල බලන්නකො, ගිය අවුරුද්දේ මේ කාලෙ වගේ කෙනෙක් කිව්වනම්, ලබන අවුරුද්දේ මේ කාලෙ වෙද්දි වයිරස් ඇටෑක් එකක් නිසා රටටම දවස් දෙකක් ඇඳිරි නීතිය දාන්න වෙයි කියල , ඒක කී දෙනෙක්ට විහිලුවක් වෙයිද? අන්නේකයි කියන්නෙ 10th Man Rule එක වැදගත් කියල.
ඉතිං කොහොමහරි මේ ෆිල්ම් එකේ කතාවෙ පෙන්නන විදිහට ලෝකයේ අනික් සියලු රටවල් රේබීස් වර්ගයේ දරුණු වයිරසයක් නිසා රූපීයව සොම්බි ඇපොකැලිප්ස් එකකට ඉතා සමාන තත්ත්වයකට මුහුණ දෙද්දි, ඊශ්‍රායලය විතරක් ඊට හොඳින් මුහුණ දෙනව. ඒ සම්බන්ධයෙන් ලැබෙන හෝඩුවාවක් හරහා අපේ කතා නායකය (බ්‍රැඩ් අයිය) ඊශ්‍රායලයට යනව. එහෙම ගියාම එයාට දකින්න ලැබෙන්නෙ ඒ ගොල්ලො නගරයේ කොටසක් වෙන් කරල දැවැන්ත තාප්පයක් ගහල, වයිරස් ආසාදනය නොවුනු පිරිස පරීක්ෂා කරමින් ඒ තාප්පෙන් වටවුනු ආරක්ෂිත කොටසට ගන්න බව. මෙහෙම කරන්න එයාලට පුලුවන් වෙලා තියෙන්නෙ, මේ වගේ දෙයක් වෙයි කියල කලින්ම බලාපොරොත්තු වෙලා එහෙම තාප්පයක් හදපු නිසයි. ඒක කරන්න පුලුවන් වුනේ අර කියපු දසවැන්නාගේ නීතිය අනුව කටයුතු කරපු නිසයි...
ඔන්න ඉතිං තාප්පෙන් එලියෙ සොම්බිල එහෙ මෙහෙ යනව. තාප්පෙන් වටවුනු ආරක්ෂිත කොටස ඇතුලට ආපු පිරිසට ඉතිං හරි සතුටුයි. සතුට දෝරෙ ගලා ගිහින් අනේ අපි නම් බේරුනා කියල හිතිල නිකං චූන් එකක් වගේ ගිහින් එකෙක් ගීතිකාවක්/ස්තූති ගීයක් වගේ එකක් ගායනා කරන්න පටන් ගන්නව... අනික් උනුත්, මේ වෙලාවෙ හැටියට, අපේ ජීවිත බේරල දුන්නු මේ හැමෝටම ස්තූති කරන්න අපේ මට්ටමෙන් කරන්න පුලුවන් දේකට කියල තියෙන්නේ මෙච්චරයිනේ දෙයියනේහ්.... කියල හිතාගෙන බොහොම සද්භාවයෙන් අර ගීතයට දායක වෙනව... හොඳ වැඩක්නේ කාගෙ උනත් නේද කියල, ඉක්මනින් මේ වැඩේට කට්ටිය එකතු වෙලා ඔන්න ඉතිං දැන් සීයක් විතර මේ ගීතය පිලිවෙලට ලස්සනට ගායනා කරනව... හරිම සුන්දර දර්ශනයක්. මනුෂ්‍යත්වයේ නාමයෙන් එකතු වූ මොහොතක්....නේද ?
මේක ටිකක් "අවුල්" වගේ තේරුනත් ආරක්ෂක අංශ වල අයත් මේකට කෙලින්ම විරුද්ධ වෙන්න යන්නෙ නෑ . එයාල නොසන්සුන්ව නමුත් ඉවසීමෙන් බලන් ඉන්නව... ඒත් , චිත්‍රපටයේ මුල ඉඳලම පෙන්නන විදිහට වයිරසේ ආසාදනය වුනු අය ආකර්ෂණය වෙන්නෙ ප්‍රධාන වශයෙන්ම ශබ්දයට... අන්න ඒ නිසා වෙන්න ඕනෙ එවෙලේ ඒ නිලධාරීන්ගෙ මූණු ඇඹුල් වෙන්නෙ. නමුත් විරුද්ධ නොවෙන්නෙ , ඒ වගේ සුන්දර දේකට අකුල් හෙලල මිනිස්සු ඉස්සරහ නරුමයො වෙන්න බැරි නිසා වෙන්න ඇති. ඒ කෙසේ වෙතත් අපේ කතානායකයට නම් මේක හොඳටම වැටහිලා, ඒ මොහොතේ කෑ ගහල කියනව, ඔය සින්දු කියවිල්ල නවත්තන්න... උන් එන්නෙ සද්දෙට කියල...
ඒත් ඒ වෙද්දිත් පරක්කු වැඩියි. තාප්පෙන් එහා පැත්තෙ හිටපු සොම්බි , පොදියක් වගේ අර ශබ්දය එන තැන ඉලක්ක කරගෙන එකතු වෙලා අන්තිමට තාප්පෙන් එහාට පනින්න ගන්නව. අනේ ඉතිං, අර රූල් මේ රූල් දාගෙන අවුරුදු ගනන් ප්ලෑන් කරල හදපු ඔක්කොම එක මොහොතෙන් හුචස් වෙලා හැමෝම හිස් ලූ ලූ අත දුවන්න ගන්නව...
අන්න ඒකයි කියන්නෙ, මේ වගේ සිද්ධියකදි, තමන් කරන වැඩේ මොන තරම් පින් අතේ උනත්, කෘතගුණ දැක්වීමක් වුනත්, මනුස්සකම පෙන්වීමක් වුනත්, අදාල සිද්ධිය ගැන විද්‍යාත්මකව හඳුනාගෙන "කරන්න එපා" කියල වර්ග කරල තියෙන ගොඩට ඒක වැටෙනවද කියල කල්පනා කරල බලන්න, කරන්න කලින්. නැත්තං මේක පාලනය කරන්න දිවා රෑ නොබලා වෙහෙසන මිනිස්සුන්ගෙ මහන්සිය අපතේ යන්න පුලුවන් ඒ වගේ එක වැඩක් නිසා.
ඉතිං හදවතට වඩා මොළේට මුල් තැන දීල තීරණ ගමු. ගෙදර ඉමු. ෆිල්ම් බලමු. 🤗
No comments:
Post a Comment