Sunday, December 27, 2020

සෝමාලියාවට පාන්!

සාමාන්‍යයෙන් ගෙදර කන්න බොන්න යහමින් තියෙන , හොඳ හොඳ හෝටල් වලින් කාලත් තියෙන මනුස්සයෙක් දානෙකට වගේ ගිහින් කෑවම ඒ දානෙ දීපු අයට ස්තූති කියල පින් සිද්දවෙනව කියලත් ඕනෙනම් කියල වැදගත් විදිහට එනව. හැබැයි ඉතිං ඒ දානෙ ගෙදර කෑම අවුල් නම් එහෙම අවුලක් තිබ්බාය කියන එකත් තේරෙනව. (ඒක තේරුම් ගන්න කෝකියෙක් වෙන්න ඕනෙ නෑ )

ඒත්, එදා වේල හම්බෙන් නැති, බත් ඇටයක් ආසාවට ඇහැට දැකපු නැති , හෝටල් වලින් විසි කරන මට්ටමේ කෑම, පාන් රොඩු වගේ කෑම කකා ඉන්න හිඟන්නෙක්ට, ඔයා සාමාන්‍යයෙන් ගෙදර හදපු බත් මුලක් ගෙනිහින් දුන්නොත් ?

" අනේ මහත්තයො බුදුන් දැක නිවන් දකින්න ඕනෙ මේ කරපු පිං කමට, අද දවසටම හරියට කෑමක් නෑ මහත්තයො බඩගින්නෙ හිටියෙ" ආදී දේවල් කියමින්, ලෝකෙ හොඳම කෑම එක ලැබුනා වගේ ප්‍රශංසා කරයි... (හැබැයි කෑම එක දීපු එකත් දන්නව ඒකට එච්චරම හයිප් එකක් දෙන්නෙ, මූ කන්න නැතුව හිටපු එකෙක් නිසා මිසක්, තමන්ගෙ කෑම එක රජ බොජුනක් නිසා නෙවෙයි කියන එක.)

ඇත්තටම , එහෙම දෙයක් හදල දුන්නම ඒක ලබන එකාගේ ප්‍රතිචාර අනුව , ඌට තිබ්බ බඩගින්න, අසරණකම වගේ දේවල් නම් මැන ගන්න පුලුවන්.

ඉතිං අන්න ඒ වගේ, තමා ලංකාවේ ප්‍රේක්ෂකයොත්. පව් උන්. කාන්තාරෙට වහිනව වගේ ඉඳලාමත් යන්තං කටක් ඇරල "හොඳයි" කියන්න පුලුවන් මට්ටමේ නිර්මාණයක් කලාම දුවන් ගිහින් imdb එකේ 10/10 දීලා එනවා. 

ඇත්තටම ජාත්‍යන්තරේ උන් මෙව්ව දැක්කම, අපේ රටේ හැදෙන අනික් නිර්මාණ මොන වගේද කියන එක හිතාගන්නව ඇති. කොටින්ම "පව් දෙයියනේ අසරණයො ටිකක් " කියල උන් උන් කියනව ඇති. 

හරි . දැන් මේ ජාත්‍යාලයෙන් ඔද වැඩී ගිහින් ශ්‍රී ලාංකික ලේ කකියන අයට  විශේෂයෙන්ම කියන්න තියෙන්නෙ,

ඔව් ඉතිං මෙව්ව අපේ දේවල් තමා . අඩුගානේ imdb එකේ අපේ දේවල් කියල පෙන්නන්න පුලුවන් විදිහට එකවුන්ට් එකක් වත් තියෙන්නෙ මේ වගේ නිර්මාණ අතලොස්සකට විතරයි . ඉතිං එහෙව් ඒව ටිකවත්, වැදගත් විදිහට, "තාත්ත්වික" විදිහට  තියාගන්න එක වටිනව නේද ? 

ඒකටත් ගිහින් ජාත්‍යලෙන් අන්ධ වෙලා, ජාතික වගකීමක් ඉටු කළා වගේ අභිමානයෙන් 10/10  රේටින්ග්ස්  දීලා ආවම, ඇත්තටම වෙන්නෙ, "අප්පටසිරි යකෝ 9.8 ක් තියෙන එකක් ඇවිත් කියල " ජාත්‍යන්තර ප්‍රජාව පිස්සුවෙන් වගේ ඕව බලන්න පෙළඹෙන එක නෙවෙයි . 

"සෝමාලියාවට පාන් හම්බෙලා" කියල අනුකම්පා දෑසකින් අපි දිහා උන් බලන්න පුරුදු වෙන එක විතරයි වෙන්නෙ.




Crazy Rich Asians (2018)

මේ චිත්‍රපටයේ කතාව සරල, සුන්දර ආදර කතාවක්. ඉතිං බලල නැත්තං බලන්න. බොහොම සැහැල්ලුවෙන් බලන්න පුලුවන්. අනික් කාරණේ, සිංගප්පූරුවේ ලස්සන දර්ශන ගොඩක් තියෙනවා. කොටින්ම බලල ඉවර වෙද්දි, සිංගප්පූරු ගිහින් නැත්තං, කවදහරි යන්න ඕනෙ කියල අදහසක් ආවොත් ඒක ස්වභාවිකයි. 

තවත් විශේෂත්වයක් තමා ප්‍රධාන පෙලේ හොලිවුඩ් ස්ටුඩියෝ එහෙකින්, සම්පුර්ණයෙන්ම ආසියානු නළු නිලි පිරිසකගෙ දායකත්වයෙන් මෑතකදී කරපු එකම චිත්‍රපටය වීම.

මේ චිත්‍රපටය හදල තියෙන්නෙ එනමින්ම 

ලියපු පොතක් ඇසුරෙන්. පොතේ හැටියට කතාව සිද්ධ වෙන්නෙ සම්පුර්ණයෙන්ම සිංගප්පූරුව ආශ්‍රිතව.

ඉතිං ඒ නිසාම තමා මෙහි දර්ශන සියල්ලම සිංගප්පූරුව (සහ සුලු ප්‍රමාණයක් මැලේසියාව) ආශ්‍රිතව රූගත කරල තියෙන්නෙ. මුලින්ම පෙන්නන ලන්ඩන් නුවර හොටෙල් එකේ දර්ශනයත් ඇත්තටම අරන් තියෙන්නෙ මැලේසියාවෙදි.

මෙහි එන එක් දර්ශනයක් සඳහා සිංගප්පූරු ගුවන් තොටුපොළේ ගුවන් යානා පෙන්නන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා සිංගප්පූරු ගුවන් සේවයේ (Singapore Airlines) යානා යොදාගන්න චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම අවසර ඉල්ලා තියෙන්නෙ, product placement එකක් විදිහට එම ගුවන් සේවයට චිත්‍රපටය හරහා ලැබෙන ප්‍රචාරණයට ඒක හිලව් වෙන්න. නමුත්, "චිත්‍රපටය තුළින් සිංගප්පූරු ගුවන් සේවය සහ එහි පාරිභෝගිකයන් නිවැරැදිව  නියෝජනය වෙයිද නැද්ද කියන එක ශුවර් නෑ" කියල සිංගප්පූරු ගුවන් සේවයේ බලධාරින් ඒකට කැමති වෙලා නෑ. ඉතිං පස්සෙ  "Pacific Asean Airlines" කියල මනඃකල්පිත ගුවන් සේවයක් නිර්මාණය කරල ඒක තමා ඒ දර්ශන සඳහා පාවිච්චි කරල තියෙන්නෙ.

චිත්‍රපටයේ තවත් තැනක පවත්වන සාදයකට ලොකු වත්තක් මැද්දේ තියෙන විශාල ලස්සන මන්දිරයක් භාවිතා වෙනවා. ඇත්තටම සිංගප්පූරුවේ තියෙන එකක් කියල පෙන්නුවත්, මේක මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර තියෙන එරට රජයට අයිති මන්දිරයක්. 2015 දක්වා සංචාරක හෝටලයක් විදිහට පාවිච්චි වුනු මේක දැන් භාවිතාවක් නැතුව අත්හැර දාලලු තියෙන්නෙ! ඉතිං 2017 දී චිත්‍රපටය සඳහා මේක පාවිච්චි කරන්න කලින්, ඒක ඇතුලෙ තිබ්බ වඳුරු බෙටි එහෙමත් සුද්ද කරල ගන්න වුනාලු නිෂ්පාදන කණ්ඩායමට.

ඒ වගේම ඒ ගෙදර තියෙන පාටියෙ දර්ශන වලදී එක් තැනක පුලුන් පුරවා සකස් කරපු ව්‍යාඝ්‍රයකු පෙන්නනවා. ඇත්තටම මේක සම්පුර්ණයෙන්ම කෘතිමව හදපු එකක්. (ඒ කියන්නෙ සැබෑ ව්‍යාඝ්‍ර හමක් පාවිච්චි කරල නෑ.) නමුත් ඇත්ත එකක් වගේමයි පේන්නෙ. ඉතිං ඕක තායිලන්තයේ නිෂ්පාදනය කරල  මැලේසියාවට ගෙනෙද්දී, තායිලන්තයේ ගුවන් තොටුපලකදී එරට රේගුවෙන් අත්අඩංගුවට අරන් තියෙනවා ඇත්තටම පුලුන් පුරවපු ව්‍යාඝ්‍රයෙක් කියල හිතල. පස්සෙ, මේක ෆිල්ම් එහෙකට හදපු බොරු එකක්ය කියල කරුණු පැහැදිලි කරල තමා නිදහස් කරගෙන තියෙන්නෙ.

මේ චිත්‍රපටයේ බෙදාහැරීමේ අයිතිය ගන්න NETFLIX සමාගමත් සෑහෙන උත්සාහයක් අරන් තියෙනවා. නමුත් අවසානයේ මෙහි නිෂ්පාදකවරු තීරණය කරල තියෙන්නෙ එහි අයිතිය වෝනර් බ්‍රදර්ස්ලට දෙන්න ඕනෙ කියලයි.

එසේ Warner Brothersලට දීමෙන්, ලොව පුරා සිනමා ශාලාවල චිත්‍රපටයක් විදිහටම තිරගත කිරීමට අවස්තාව ලැබෙන නිසා, එයින් ඇතිකල හැකි සංස්කෘතිකමය බලපෑම, Netflixලට දීමෙන් ගන්න බෑ... කියන මතයෙ තමා එයාල ඉඳල තියෙන්නෙ.

චිත්‍රපටයට නැගුනු මෙනමින්ම තියෙන පොත, ඇත්තටම තුන් ඈඳුනු කතාවක පළමු කොටසයි. 

ඉතිං මේ ෆිල්ම් එක වාණිජමය අතින් සාර්ථක වුනු නිසා (වියදම: $30 million, ආදායම: $238.5 million) එහි ඉතිරි කොටස් දෙකත් (China Rich Girlfriend සහ Rich People Problems) ඉදිරියේදී චිත්‍රපට දෙකක් විදිහට නිෂ්පාදනය කරන්න වෝනර් බ්‍රදර්ස්ල දැනටමත් තීරණය කරලලු තියෙන්නෙ.



පිටසක්වල ජීවීන් ඉංග්‍රීසි කතා කිරීම....!

චිත්‍රපටවල තියෙන සිද්ධියක් හෝ චරිතයක් ගැන අඩුපාඩුවක් නොගැලපීමක් කියන්න ගියාම, කීප තැනකදිම වෙච්ච දෙයක් නිසා මේක කියන්න හිතුනෙ... 

සමහර අය ඒ වගේ සංවාද මැද්දට  තකහනියෙ ඇවිදින් උජාරුවට කියන්නෙ,

"ඕක මොකද්ද බං ඒකෙ ඒලියන්ල ඉංග්‍රීසි කතා කරන්නෙ" කියල. නිකං, එච්චරම "තඩි අතාත්වික මෙව්ව එකක්" තියෙද්දී , අනික් දේවල් නතිංනෙ වගේ අදහසක් ඇතුව.

ඇත්තටම ඔය ප්‍රශ්නය අහන අයට, ඔය ප්‍රශ්නය, ප්‍රශ්නයක් වීමේ ආකාර කීපයක් තියෙනවා.

මට දැනෙන හැටියට නම් එක ප්‍රධාන හේතුවක් තමා, තමන්ට අවුරුදු දහතුනක් ඉගෙනගෙනත්, ඊට පස්සෙ රටවටේ එකේක කෝස් කරලත් ගොඩදාන්න බැරි වෙලා "අතාත්වික" වෙච්ච දේ, කොහෙන්ද පාත් වෙච්ච ඒලියන් කෙනෙක් සෙනිකව කිරීම නිසා හටගත් පුදුමය, කලකිරීම සමඟ ඇති වෙන ඉරිසියාව😜. එහෙම උන්ටනම් ඉතිං දෙන්න උත්තර නෑ. 😂

අනික් හේතුව ඇත්තටම කතාව ඇතුලෙ අදාළ ඒලියන්ලට ඉංග්‍රීසි පුලුවන් වුනේ කොහොමද කියල හරිහමන් පැහැදිලි කිරීමක් ඉදිරිපත් නොවීම නිසා ඇති වුනු සාධාරණ ගැටලුවක්.

ඉතිං එහෙම වෙන්න ඇති කියල හිතල, උදාහරණයක් කියන්න කිව්වම එයාල කිව්වෙ, මාවල් Infinity War එක සහ Star Wars. 😏.

ඔය උදාහරණ දෙකම මේ කාරණේ සම්බන්ධව සාධාරණ උදාහරණ නෙවෙයි කියන එක ඔය චිත්‍රපට උඩින් පල්ලෙන් නැතුව හොඳට බලපු හැමෝම දන්න දෙයක්.

කොටින්ම ඔය කොමික් යුනිවර්ස් (මාවල් සහ DC ඇතුලු ) සහ ඔය Star Wars, Star Trek වගේ එව්ව වල මිනිස්සු සහ පිටසක්වල ජීවීන් හිටියට, පිටසක්වල ජීවීන් ඉංග්‍රීසි කතා කරන්නෙ කොහොමද කියන ගැටලුව ඔය එකකටවත් අදාල නෑ. මොකද ඔය ෆිල්ම් වල කතාව, මිනිස්සුන්ට ඉස් ඉස්සෙල්ලාම ඒලියන්ලව හම්බෙන (first contact) ආකාරයේ එකක් නෙවෙයි. ඒ චිත්‍රපට පටන් ගත්තු වෙලේ ඉඳන් පිටසකවලයොයි මිනිස්සුයි ගනුදෙනු කරනව, ගහ මරා ගන්නව. හරියට ලඟ ගම් දෙකක මිනිස්සු වගේ. මොකද මේවා fantasy universe ඇතුලෙ සිද්ධවෙන දේවල්.  

දැන් අපි පිටරටකට ගියාම,  ඒ රටවල් වල මිනිස්සු අපිත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනව. හැබැයි ඒ ඒ රටවල් වලට ආවේණික භාෂාවලුත් තියෙනවා. නමුත් සන්නිවේදන පහසුව තකා හැමෝම පොදුවේ ඉංග්‍රීසි පාවිච්චි කරනව. නිකං අන්න ඒ වගේ, මේ ෆිල්ම්ස් වලත් ඉංග්‍රීසි කියන්නෙ නිකං යුනිවර්සල් ලැන්වේජ් එකක් වගේ වෙලා තියෙන්නෙ. මොකද ඕවෑ ඉන්න ඒලියන්ල බහුතරයක් මිනිස්සු එක්ක ඇයි හොඳයිකම් පවත්වන්නේ අනාදිමත් කාලෙක ඉඳලා කියල ඒ කතා වල එන ෆැන්ටසි යුනිවර්ස්වල ඉතිහාසය හොයල බැලුවම තේරෙනවා. ඒ වගේම ඒ පිටසක්වල ජීවින්ට උන්ට ආවේණික භාෂාවලුත් තියෙනවා සහ යම් යම් අවස්තාවලදි උන් ඒවා පාවිච්චි කරන බවත් දකින්න පුලුවන්.

මේ ඇරුණම, ඔය in built translators වගේ ගැජමැටික්ස්, එහෙමත් නැත්තං අර ට්‍රාන්ස්ෆෝමර්ස් එකේ වගේ WWW හරහා ඉංග්‍රීසි ඉගෙනගැනීම වගේ පිලිගත හැකි හේතු ඉදිරිපත් කරන අවස්තාත් ඕන තරම්.

හැබැයි තව පොඩි කොස්සක් තියෙනවා. සමහර වෙලාවට, මේ ඒලියන්ල උන් උන් හම්බුනා මත් ඉංග්‍රීසියෙන්ම කතා කරනවා. එතකොට ඒ ඇයි ? 

හේතු දෙකක් දෙන්න පුලුවන්.

එකක් තමා, දැන් ඔය ලංකාවේ වුනත්, ඔෆීෂියල් මීටින් වලට එහෙම ගියාම වැදගත් කියල පෙන්නන්න සිංහල හොඳට දන්න උනුත් අමාරුවෙන් හරි ඉංග්‍රීසි කතා කරන්නෙ. අන්න ඒ වගේ, ඉංග්‍රීසි කියන්නෙ හෙනම පොෂ් භාෂාවක්‍ ය කියල යුනිවර්සල් පිලිගැනීමක් තියෙනවද කව්ද දන්නෙ? ඒක නිසා ඒලියන්ල උනත් උන් උන් හම්බුනාම උන්ගෙ ගොඩේ භාෂාව පැත්තකට දාල කඩ්ඩ වනනව ඇති. 😊

ඒ එකක්.

අනික තමා, ඇත්තටම ඔය උඩ කියල තියෙනවා වගේ ෆැන්ටසි ඝනයේ  චිත්‍රපටවල  මූලික අරමුණ වෙන්නෙ කතාව ප්‍රේක්ෂකයන්ට තේරෙන විදිහට ඉදිරිපත් කිරීම මිසක්, පට්ට ලොජිකල් විදිහට, අමු ඇත්ත විදිහට, 'උඹල තේරුම් ගන්නවනම් ගනිල්ලා නැත්තං නිකා ඉඳහල්ලා' ලයින් එක දෙන එක නොවෙන නිසා, සැම හිත සුව පිණිස, ඒ ඒ අවස්තා වලදි ඒලියන්ලත් ඉංග්‍රීසියෙන්ම කතා කරන විදිහට පෙන්නීම. 

එතෙන්දි ඉතිං ප්‍රේක්ෂකයො විදිහට අපිට චුට්ටක් විතර මොළයක් තියෙන්නෙ ඕනෙ මෙහෙම  කරල තියෙන්නෙ මේන් මේ නිසාය කියල තේරුම් ගන්න.

එහෙම තේරුම් ගන්න බැරි උන්, තමන් පට්ට ලොජිකල් මයින්ඩ් එකෙන් ඉන්නෙ කියල පෙන්නන්න අර උඩ කිව්ව වගේ කමෙන්ට් දාල, තමන්ට පොඩි ළමයෙක් තරම් වත් රසවින්ඳන හැකියාවක් නැති බව නොදැනුවත්වම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බව පේනවා.

මේ කිව්වෙ, ඔය ෆැන්ටසි ලෙවල් එකේ යන ෆිල්ම්ස් ගැන. ඒ ඇරුණම මෑත කාලයෙ ආපු විද්‍යා ප්‍රබන්ධ මට්ටමේ චිත්‍රපට වල නම් ඔය ඒලියන්ලගෙ භාෂාව කියන දේට ඉතාමත් විද්‍යාත්මක පැහැදිලි කිරීම්, විකල්ප ආදිය ඉදිරිපත් කරල තියෙනවා. (සමහර ඒව තේරුම් ගන්න වෙනම ගේමක් දෙන්නෝනෙ)

ඇත්තටම ඒකයි උදාහරණයක් දෙන්න කියල ඉල්ලුවෙත්.

නමුත් ඔයාලට මතකයි නම්, ඉස්සර අපි හැමෝම බලපු මයාබන්ධන එකේ, උන් යන යන හැම සමාන්තර ලෝකෙකම ප්‍රධාන භාෂාව විදිහට ඉංග්‍රීසි කතා කරනව. හැබැයි ඒ කතාව ඉතා  රසවත්ව සිද්ධි ගලායාමක් ඇතුව හදල තිබ්බ නිසා ඊළඟට මොනවා වෙයිද කියල මිසක් ඔය භාෂා ප්‍රශ්න හිතට එන් නෑ . හැබැයි ආව නම් ඒක සාධාරණ ප්‍රශ්නයක් නේද? මොකද මට මතක හැටියට විද්‍යා ප්‍රබන්ධයක් වුනත් ඒක එහෙම වෙන්නෙ ඇයි කියල හේතුවක් දෙන්නෙ නෑ. නිකම්ම ඒක එහෙම තමා, කියල කැමති පැහැදිලි කිරීමක් ප්‍රේක්ෂකයන්ට හිතෙන් ගොඩනගාගෙන බලන්න තමා තියෙන්නෙ.

ඉතිං මම නම් සරලව හිතුවා, "සමාන්තර ලෝකනේ මොනා උනත්... ඒක නිසා  භාෂාවල් ගානටම සමාන්තර විදිහට පරිණාමය වෙන්න ඇති" කියල වගේ එකක්. එච්චරයි. 

තව එහෙම භාෂා පුරස්න ඇති වෙච්ච අවස්තා තියෙනවද ? 😜



වේශ නිරූපණය සත්තුන්ටත්....

ඔය දාල තියෙන රූපෙ (උඩ) රතු පාට අත් වැසුමක් දාන් ඉන්නෙ ඇලෙක්සැන්ඩ්‍රා බැනිස්ටර්. එයාට හොඳට චිත්‍ර අදින්න පුලුවන් වගේම අශ්වයින් ගැන හොඳ අවබෝධයකුත් තියෙනවා. ඉතිං, මේන් මෙයාව තමා ස්ටීවන් ස්පිල්බර්ග්, එයාගෙ War Horse කියන චිත්‍රපටයෙ, අශ්වයින්ගේ වේශ නිරූපණ ශිල්පීන්ගේ උපදේශිකාව විදියට පත් කලේ. ඒ කියන්නෙ, Equine Hair and Makeup Department එකේ ප්‍රධානියා විදියට ඉඳල තියෙන්නෙ ඇයයි.

War Horse චිත්‍රපටයට අශ්වයින් අසූවකට වඩා යොදා ගෙන තියෙනවා. ඒ අශ්වයින්ව හැඩ ගන්වන්න වේශ නිරූපණ ශිල්පීන් විසි හය දෙනෙක්ගෙ සේවය ලබා ගෙන තියෙනවා. මෙයාල උදේ පාන්දර පහේ විතර ඉඳන් තමන්ගෙ රාජකාරිය පටන් ගන්නව. ඒ කියන්නෙ අස්සයො මේකප් කරන්න.

ඉතිං ඇත්තටම මොනවද මේ මේකප් කරනව කියල කරන්නෙ? 

ඔය වගේ චිත්‍රපට වල අස්සයින්ගෙ ඇඟේ මඩ පැල්ලම්, ලේ පැල්ලම් , සීරීම් තුවාල වගේ ඒව තියෙනවා දැකල ඇතිනෙ... ඉතිං ඒව අහඹු ලෙස ඇති වෙලා හෝ ඇත්තටම වෙලා නෙවෙයි. ඒව ඔක්කොම කලින් ප්ලෑන් කරල ඒ ඒ තැන් වල නිරූපණ ශිල්පීන් විසින් "ඇඳපුව" කිව්වොත් නිවැරදියි. 

ඒ වගේම තමා, ඒ පැල්ලම් අදාල දර්ශනය පුරාවට එකම විදියට තියාගැනීමේ වගකීම පැවරෙන්නෙත් මේ මේකප් ආටිස්ට්ලටම තමා. ඒ කියන්නෙ මුල් දර්ශනයේ අශ්වයෙක්ගෙ වම් කකුලේ තිබුනු මඩ පැල්ලම, ඊළඟ රූගත කිරීමේදීත් එතැනම ඒ ප්‍රමාණයෙන්ම ඒ පාටින්ම තියෙන්න ඕනෙ. මේ සංතතික බව රැක ගන්න ඒ ගොල්ලො ඒවයෙ ඡායාරූප අරං තියා ගන්නව. ඊට අමතරව ප්‍රධාන චරිතය රඟපාන අශ්වයගෙ මුහුණේ හැඟීම් තිව්‍රර වෙන විදියට උගේ මුහුණටත් අවස්ථාවට අදාලව මේකප් එකක් දෙනව.

ඒ වගේම තමා, අශ්වයින් එක්ක රඟපාන අනෙක් රංගන ශිල්පීන්ටත් විශේෂ උපදෙස් ලැබෙනව අශ්වයින් අල්ලන්න ඕනෙ තැන් නොඇල්ලිය යුතු තැන් ගැන, මොකද, මේකප් එක ගැලවී යාමේ අවධානමක් තියෙන නිසා.

War Horse වල විතරක් නෙවෙයි, සත්තු රඟපාන හැම හොලිවුඩ් චිත්‍රපටයකම වගේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙනව. මිනිස්සු වගේ නෙවෙයිනේ සත්තු... එයාල එක දිගට දවස පුරා රඟපාන්නෙ නෑ. අනික එහෙම යොදා ගන්න එක නීතියටත් පටහැනියි. ඉතිං බොහෝ චිත්‍රපට වල ප්‍රධාන චරිත රඟපාන සත්තුන්ට body doubles සහ stand-ins යොදා ගැනෙනව. උදාහරණයක් විදියට, 101 Dalmatians චිත්‍රපටයෙ ප්‍රධාන චරිත රඟපෑ dalmatian වර්ගයේ බල්ලො දෙන්නට එකාට තුන ගානෙ ස්ටන්ට් ඩබල්ස්ල ඉඳල තියෙනවා. උනුත් dalmatian වර්ගයේම උනත්, සර්වසම පෙනුමක් නැති නිසා, එයාලව මේකප් කරල තියෙනව ප්‍රධාන නලුවන්ට (බල්ලන්ට) අයිඩෙන්ටිකල් වෙන විදියට.

හරි, දැන් අනික් රූපෙ පේනව නේද සීබ්‍රා කෙනෙක් ඉන්නව? 

ඉතිං ඌ සීබ්‍රා වගේ පෙනුනට ඇත්තටම සුදු අස්සයෙක්! 

ඇනිමල් ප්ලැනට් චැනල් එකේ සීබ්‍රාවෙක් ගැන ගිය වැඩසටහනකට ඇත්තටම සීබ්‍රාවෙක් පාවිච්චි කරන්න අමාරු නිසා, එයාල මේකප් ආටිස්ට් කෙනෙක්ට වැඩේ බාරදීල තියෙනවා. ඔය එහා පැත්තෙ හිටගෙන ඉන්නෙ එයා තමා. නම රෝස් ඕඩයිල්. එයා, Animals of a Different Color කියල තමන්ගෙම ආයතනයක් පවත්වගෙන යනව. ඒකෙන් කරන්නෙත් ඉතිං සත්තු මේකප් කරන එක තමා. The Artist, We Bought a Zoo, Beverly Hills Chihuahua වගේ චිත්‍රපට කීපයකටම ඇය දායක වෙලා තියෙනවා. 

මේ වගේ වෘත්තිමය මට්ටමින් මේ වැඩේ කරන අය, සත්තුන්ව මේකප් කරන්න භාවිතා කරන්නෙ, උන්ගෙ ශරීරවලට අහිතකර නැති වර්ණක. මොකද ඉතිං සත්තු මේකප් ලෙව කන්න පුළුවන්නෙ.

ඉතිං ඊළඟ සැරේ සත්තු රඟපාන ෆිල්ම් එකක් බලද්දි සැලකිල්ලෙන් බලන්න. සමහර විට මේ ඇස්බැන්දුම් අඳුනගන්න පුලුවන් වෙයි.




උරුමයක අරගලය...

(Written on January 20, 2019)

උරුමයක අරගලය ටෙලිනාට්‍යය පසුගිය සතියේ අවසන් විය 🙏. 

මේ ටෙලිනාට්‍යයේ කතාව, 1848 දි සිදුවූ නිදහස් අරගලය මූලාශ්‍ර කොට කියවෙන බව ආරභයේදීම කියැවෙයි. එසේම 1848 මාතලේ කැරැල්ල , සිංහලයින් විසින්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව දියත් කළ විශාලම සහ අවසන් අවි දැරූ කැරැල්ල වන අතර, ඉන්පසු 1948 දී නිදහස හිමි වෙන තුරු වසර සියයක් එවැනි කැරැල්ලක් සංවිධානය නොවූ බවත් මතක තබාගන්න.

මෙවැනි අවර ඝනයේ නාට්‍ය "කොහොමත් ගොන් නිසා අපි නම් බලන් නෑ" කියන පිරිසක් සිටිති. ඇත්තටම ඔව්. ගොන් තමා. නමුත් සිහිතබා ගත යුතු වන්නේ මේ ටෙලිනාට්‍ය "නිකම්ම නිකං ගොන් කතා" කියමින් අත් හැර දමන එකේත් යම් අවධානමක් පවතින බවයි, මොකද මොවුන් මේවා පෙන්නන්නේ අපේ රටේ ඉතිහාසය බව කියමිනි, සහ ඉන්පසු ලෝකයාටම අනාදිමත් කාලයක් සඳහා නැරඹීමට හැකි පරිදි යූ ටියුබ් වැනි දේවල් තුලටත් නිදහස් කරති. 

එහෙම දැම්මාය කියල ජාත්‍යන්තර අවධානයට ලක්වෙලා හැමෝම ඕක බලන්නෙ නැති බවත් සැබෑවකි. නමුත්, යටත් විජිත සමයේ අපේ රටතුල සිදුවූ නිදහස් සටන් ගැන හොයන විදේශිකයෙකුට, අහම්බෙන් හෝ මෙවැනි දෑ නැරඹීමට ලැබීමේ සම්භාවිතාවක් ඇති අතර පොත් පත් වලින් වේගයෙන් ඈත් වෙමින් යන අලුත් පරපුර, තමන්ගෙ "ඓතිහාසික මූලාශ්‍ර" විදිහට අනාගතයෙ මෙවැනි දේ පාවිච්චි කරන්න සුලුවෙන් හෝ ඉඩක් ඇත. අවධානම ඇත්තේ එතැනය.

සැබෑවටම 1848 දී සිදුවූ දේවල් සහ, මේ නාට්‍යය තුළ පෙන්නන දේවල් අතර ලොකු පරස්පරතා ඇති බව පැහැදිලිය.

මුලින්ම 1848 ඇත්තටම සිද්ද වුනේ මොකද්ද කියා බලමු. 

සරලව කිව්වොත්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්  විසින් සිංහල ජනයා මත පැටවූ අසාධාරණ බදු ගණනාවක් නිසා තමා මේ කැරැල්ල ඇරඹෙන්නේ. 

කැරැල්ලට නායකත්වය දුන් කීප දෙනා අතරින් ප්‍රධානියා වුණු, ගොංගාලේගොඩ බණ්ඩාව, 1848 ජූලි 26 දින දඹුල්ල විහාරයේදී, ගිරානෙගම හිමියන් විසින් මීලඟ සිංහල රජු විදිහට නම් කරනවා. පුරන් අප්පු, අගමැති හා සමාන තනතුරකට පත්වෙන්නෙ, අසිපත් දරන්නා නොහොත් sword bearer විදිහට. ගොංගාලේගොඩ බණ්ඩගෙ සහෝදරයා වන දිනෙස්, යුවරජ විදිහට පත්කරනවා. 

හැබැයි ගොංගාලේගොඩ බණ්ඩාව මෙසේ රජෙක් විදිහට අභිශේක කළත්, ඔහුට නියම විදිහට රජ වෙන්න නම්, ඉංග්‍රීසින්ට විරුද්ධව මෙහෙයවන කැරැල්ල ජයග්‍රහණය කළයුතු බව, ඔහුත් අනෙක් අයත් හොඳින් දැන සිටි දෙයක්. ඇත්තටම මේ අභිශේකය, හුදෙක්ම සිංහල හමුදාවේ "මොරාල් අප්" කිරීමට කරපු දෙයක්. මොකද ඉදිරියේ එන සටනට නායකයෙක් අවශ්‍ය නිසා. 

ඉංග්‍රීසින් විසින් ගොංගාලේගොඩ බණ්ඩාව හඳුන්වන්නේ pretender කෙනෙක් විදිහට, එනම් සැබෑ රාජ්‍ය උරුමයක් නැති නමුත් එසේ පෙනී සිටින තැනැත්තා යන අර්ථයෙන්. 

ඉතිං ජූලි 26 උදේ දඹුල්ලෙන් ගමන් අරඹන සිංහල සේනාව, මාතලේ හරහා මහනුවරට එනවා. එතෙන්දි සහ තවත් තැන් කිහිපයකදි දරුණු සටන් ඇවිලෙන අතර, ඉන් සිංහල තරුණයන් සැලකිය යුතු පිරිසක් මියයනවා. නමුත් ඉංග්‍රීසින්ට දරුණුවටම රිදෙන්නෙ, බදු වාර්තා තිබුණු මාතලේ කච්චේරියට කඩා වදින සිංහල කැරලිකරුවන්, එහි තිබූ බදු වාර්තා පිටතට ගෙන මහමග දමා ගිනි තැබීම නිසයි.

ඉන්පසු එවකට ආණ්ඩුකාරවරයා වූ ටොරිංටන් විසින්, රටතුළ යුධ නීතිය (martial law) ප්‍රකාශයට පත්කරනව. අවසානයේ කැරැල්ල අසාර්ථක වෙන අතර පුරන්අප්පු ඇතුලු කැරැල්ල මෙහෙයවූ පිරිසක් අත්අඩංගුවට ගන්නවා. පුරන්අප්පුට සහ ගොංගාලේගොඩ බණඩාට විරුද්ධ චෝදනා වලට ඔවුන් වැරදි කරුවන් වෙනවා. මහනුවරදී පුරන්අප්පු වෙඩි තබා මරණවා. හැබැයි ගොංගාලේගොඩ බණ්ඩාව මරන්නෙ නෑ. මහනුවර නගරයේ විශාල පිරිසක් ඉදිරියේ කසපහර සියයක් දීමෙන් අනතුරුව, ඔහුව මොරොක්කෝවට පිටුවහල් කරනවා.මාස කිහිපයකට ඇවෑමෙන් ඔහු එහිදී උදරාබාදයකින් මිය යනවා.

ඔන්න ඕකයි කතාව ඉතාමත් කෙටියෙන්.

නමුත් මේ ටෙලිනාට්‍යය තුළ ඔය කිව්ව කැරැල්ලේ අංශුමාත්‍රයක් වත් පෙන්නන්නේ නැත.

අනික් විහිලුව තමා, ගොංගාලේගොඩ බණ්ඩා, ඉස්තරම් රජ ඇඳුම් වලින් සැරසී, තමන්ගෙ ඔලුව වගේ දෙගුණයක් විතර ලොකු ඔටුන්නක් දාගෙන ගල්ගුහාවකට වෙලා සිටීම. අරහෙ කෙල වෙලා පුරන් අප්පු අල්ලාගෙන  කියල ඔහු දැන ගන්නෙත් ගුහාවට එන මැණිකෙ කෙනෙක්ගෙනි! එවෙලෙ ඔහු හැසිරෙන විදිහට, සියල්ලට කලින් වෙඩි තියල දාන්න ඕනෙ මූට කියල තමා බලන අපිට හිතෙන්නෙ. රණශූරයෙක්ට තබා, අඩුගානේ පිරිමියෙකුටවත් නොගැලපෙන විදිහට, "අනේ අපිට මේ මොකෝ වුනේ , මේ සිංහල රට නේද දෙයියනේ , දළදාහාමුදුරුවනේ" ආදි වශයෙන් දෙස් දෙවොල් තියමින් ඔහු හඬා වැටෙනවා. ඌව නලවන්නෙ ඕනෙ මැණිකේ.... 😒.

ඉන්පස්සේ මෙයාවත් සුදු හමුදාවේ (කිව්වට ඉතිං මේ අපේම කොල්ලො තමා රතුපාට අලුත්ම සූට් ඇඳන් ඉන්නෙ 😊 ඒ අතින් නම් ආඩම්බරයි ඈ) අය ඇවිදින් කුදලාගෙන යනව. 

(හමුදාව කියල සඳහන් කරන සෑම තැනකම, එක් පාර්ශවයකට සිටින උපරිම සෙබළුන් ප්‍රමාණය, හතක් හෝ අටක් පමණක් බව සිහි තබාගන්න. නමුත්, සැබෑ සිදුවීමේදි, කැරැල්ල සඳහා සිංහල තරුණයින් හාරද
හසක් පමණ සහභාගී වූ බව පැවසේ.)

මොවුන්ට විරුද්ධව නඩු ඇසීමේදීද, පුදුම සහගත ලෙස, ඉංග්‍රීසි නඩුකාරවරයාද පැහැදිලි සිංහල කතා කරන අතර, ඔහු පවසන දේවල් පුරන්අප්පු, ගොංගාලේගොඩ බණඩා ආදීන්ට තේරුම් කර දීමට තෝල්කමුදලි කෙනෙක් යොදාගන්නෙ අහවල් එහෙකටදැයි සිතීම නොවැලැක්විය හැකිය.

නඩුවෙන් පසු, පාලු වෙලක් මැද්දට රැගෙන යන ගොංගාලේගොඩ බණ්ඩාට, කසපහර දෙකක් විතර දෙන අතර ඉන්පසු ඔහු ගැන සඳහනක් නැත. 

නමුත් පුරන්අප්පු, එම වෙල මැද්දෙන්ම ගෙනියන විටදී, "මේක අපේ රට යකෝ, මේක සිංහල රට යකෝ, මේක දළදාහාමුදුරුවන්ගෙ රට යකෝ, අපේ රට අපිට දීල පලයව් යකෝ" ආදී දේවල් නොනවත්වාම කීමේ කන්දොස්කිරියාවෙන් ගැලවීමට, ඔහුට වෙඩි තැබීමට ඉංග්‍රීසින්ට සිදුවූ බව සිතිය හැකිය. 

ඒ හැර, මෙහි එන කිසිම වීරයෙක් මොනයම් හෝ කැරැල්ලක් මෙහෙය වූ බවක් නොපෙන්වන අතර, ලඳු කැලෑ, ගල්ගුහා, බඩවැටි සහ පැරණි මහනුවර ක්‍රමයට හැදුනු ගෙවල් වල ඉස්තෝප්පුවල, ඉංග්‍රීසින්ට විරුද්ධව වහසිබස් කීම හැර වෙන වැරැද්දක් මේ මිනිස්සු නොකළ බව, මේ නාට්‍යය එහෙන් මෙහෙන් හෝ නැරඹූ සැවොම දනිති.

කෙසේ හෝ පුරන්අප්පු වෙල මැද්දෙන් ගෙන යද්දී ඔහුගේ උඩුකය නිරුවත්ව තිබූ අතර අලි බඳින දම්වැලක් උරෙස්සට දමා තිබුණි. (ඇයි ඒ?😨) නමුත් ඔහුට වෙඩි තැබීමට මොහොතකට  කලින් 100% cotton සුදෝසුදු වෙලෝනා බැනියමක් ඇන්දුවේ ඇයිද කියා දන්නේ, මෙවැනි වෙඩි වදින දර්ශනයකට, කුඩා වෙඩි බෙහෙත් සැෂේ පැකට් බඩට තියා සෙලෝටේප් ගැසූවිට, ඒවා නොපෙනෙන ලෙස සකසන්නේ කෙසේදැයි දස අතේ කල්පනා කළ, ඒ මේකප් කටයුතු භාරව සිටි මනුස්සයාම පමණි. (හොඳින් බැලුවොත් පුරන්අප්පුගේ කමිසයට යටින් ඒ පැකට් පහ ස්ථානගත වී ඇති අයුරුද නිරීක්ෂණය කළ හැක.😌)

මෙහිදී (බඩේ අලවා ඇති වෙඩිබෙහෙත් පැකට් පුපුරා) පුරන් අප්පු මියයන විට පවසන්නේ, තමන් වගේ තව එකෙක් හිටියනම් සටන ජයගත හැකිව තිබූ බවය. නමුත්, ටොරිංටන් ආණ්ඩුකාරවරයා විසින්, කැරැල්ල ගැන ලියා බ්‍රිතාන්‍යයට යැවූ සැබෑ ලියුමේ කියවෙන්නේ, "තමන් වැනි අය දුසිම් භාගයක් සිටියානම් කැරැල්ල ජයගත හැකිව තිබූ බව පුරන්අප්පු පැවසූ බවත්, තමන්ටද එය සත්‍යයක් බව හැඟෙන බවයි" මේ නාට්‍යයේ දෙබස් ලියන විට සරලව විකිපීඩියාවෙන් සොයාගැනීමට හැකි මෙවැනි  කාරණා ගැනවත් නොසැලකා හැර ඇත්තේ ඇයි?වීරයින් එසේ මියගිය පසු, මැණිකෙලා සෙට් එකත් ඒ විදිහටම ඔවුන් මෙතෙක් කල් බඳාගෙන හැඬූ ඉස්තෝප්පුවල කණු අසලදීම වෙඩි තබා ඝාතනය කිරීම දෛවෝපගතය.

අවසන් වශයෙන් කියන්නට ඇත්තේ, මෙවැනි වීරයන් සහ ඔවුන්ගේ සැබෑ කතාව පිළිබඳ හාන්කවිස්සියක් නොදැන මෙම නාට්‍යය බලන කෙනෙකුට, ("අපේ ඉතිහාසය අපිට කියල දෙනවට ඔයාලට පින්" ආදී ලෙස සීරියස් කමෙන්ට් දමන අය මේ රටේ ජීවත් වෙන බව ගෞරවයෙන් සිහිපත් කරමු.) එකල අපේ රට යටත් කරගෙන සිටි සෙබලුන් දහදෙනෙකු පමණ වන ඉංග්‍රීසි හමුදාව, මේ වීරයන්ට වෙඩි තබන්නේ, එලිපිට සටන් නොකර, තැන තැන කුටු කුටු ගෑම ඉවසලා ඉවසලා බැරිම තැනය කියා සිතුනොත් එය ඉතා සාධාරණ බවය.

වීර පුරන් අප්පු සහ ගොංගාලේගොඩ බණ්ඩා ඇතුලු 1848 නිදහස් කැරැල්ලේ වීර චරිත, එසේ සිල්ලර විදිහට ප්‍රයිම් ටයිම් එකේදි විකිණී අවසන් වූ අතර, දැන් පැරකුම්බා රජු වෙන්දේසි කිරීම ඇරඹී ඇත. 

ජයගත යුතු සැබෑම අරගලය නම් මෙම චරිත වල ගෞරවය නොහොත්  අපේ උරුමය, විහිලුවක් බවට පත් නොකර රැක ගෙන අනාගත පරපුරටත් දායාද කිරීම බව අප වටහාගත යුතුව ඇත.





අපි නොදන්න Goose...

Captain Marvel රිලීස් වෙන්න තව දින පණහයි (මාර්තු අට, ලෝක කාන්තා දිනය දාමයි රිලීස් වෙන්නෙ) කියන එක මතක් කරන්නත් එක්ක 2019 ජනවාරි 17 වෙනිදා කැරැක්ට පෝස්ටර්ස් දහයක් රිලීස් කරල තිබ්බ. 

හැබැයි මේ දහයෙන් කාගෙත් වැඩිම අවධානය දිනා ගත්තෙ මේ පූසගෙ පෝස්ටර් එක. 

මේ ඉන්නෙ Goose කියන කැප්ටන් මාවල්ගෙ සුරතල් පූසි. හැබැයි කොමික් වල නම් මෙයාගෙ නම Chewie කියලයි තියෙන්නෙ. ෆිල්ම් එකට ඒක Goose කියල වෙනස් කරල තියෙන්නෙ, Top Gun ෆිල්ම් එකේ ඒ නම තිබ්බ චරිතය සිහි වෙන්නත් එක්කලු...

ඉතිං මේ ෆිල්ම් එකේ ගූස්ගෙ චරිතය කරන්න ඇත්තටම පූස් නලුවො හතරදෙනෙක් යොදාගෙන තියෙනවා. ඒ කියන්නෙ ඇත්තටම එක වගේම පූසො හතරදෙනෙක්. Gonzo, Rizzo, Archie සහ Reggie කියන පූස්ල තමා මේ ගූස් විදිහට ඇක්ට් කරල තියෙන්නෙ. හැබැයි වැඩි කොටසක් කරල තියෙන්නෙ Reggie කියල තමා කියන්නෙ. ඒ කියන්නෙ මෙයාලට වෙන වෙනම කොටස් භාර දීල තියෙනවා රඟපාන්න... කකුලෙ වෙලෙන්න/හුරතල් වෙන්න එකයි, මූණෙ ඉරියව් පෙන්නන්න එකයි ආදී වශයෙන්....

ඇත්තටම මේ ගූස්, නිකම්ම නිකං හුරතල් පූසියෙක් නෙවෙයි, ඌටත් ෆිල්ම් එකේ ලොකු වැඩක් කරන්න තියෙයි කියල තමා කියන්නෙ. කොහොමත් කොමික් කියවල තියෙන අය නම් මේ කතාව දන්නව. ඉතිං පොඩ්ඩක් ඒ ගැනත් කියන්නම්. 

හැබැයි සමහර විට ෆිල්ම් එකේ කතාව ස්පොයිල් වෙන්නත් ඉඩ තියෙන නිසා ඒ රිස්ක් එක ගන්න කැමති අය විතරක් පහළ කියවන්න....

කොමික් වල තියෙන හැටියට ඇත්තටම ඔය ඉන්නෙ පූසෙක් නෙවෙයි. පූසන්ට සමාන ශරීරයක් තියෙන පිටසක්වල ජීවියො ජාතියක් වෙන Flerken කෙනෙක් තමා ඔය ඉන්නෙ...!

ඉතිං කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි,

කැරොල් ඩෙන්වර්ස් නොහොත් අපේ කැප්ටන් මාවල් මුලින් දන්නෑ ඔය ඉන්නෙ එහෙම එකෙක් කියල. කොහොම හරි එක්තරා මිෂන් එහෙකට එයා පෘථිවියෙන් පිට වෙලා යද්දි මූවත් අරන් යනව. 

පස්සෙ මෙයාලට Guardians of the Galaxy සෙට් එක හම්බෙනවා. එතෙන්දි රොකට් රැකූන් සැණෙකින් අඳුනගන්නවා මේ ඉන්නෙ පූසෙක් නෙවෙයි, Flerken කෙනෙක් කියල. "මූ බිත්තර දාන්න කලියෙන් මරන්න ඕනැ" ය කියල එවෙලේම ඉවරයක් කරන්න හදනකොට කැප්ටන් පැනල නතර කරනවා.

හැබැයි ඊට පස්සෙ මූ බිත්තර 117ක් දානවා... ඒකෙන් එලිවෙනව රැකූන් කියපු ලෙසටම මූ ඒලියන් කෙනෙක් තමා කියල. ඉතිං ඔහොම කතන්දරේ යනව දිගට දිගට...

මේ ෆලර්කන්ල ගැන තව චුට්ටක් කිව්වොත්, මුන්ගෙ හැසිරීම් සහ භාහිර පෙනුම පෘථිවියේ ඉන්න පූසන්ට ඉතාමත් සමානයි කියන දේ දැන් පැහැදිලිනෙ. මුන්ට වරකට බිත්තර 117 ක් දාන්න පුලුවන්. ඒ වගේම මෙයාලගෙ ශරීරය ඇතුලෙ, Pocket Realities තියාගන්න පුලුවන්. ඒ කියන්නෙ වෙනත් තැන් වල තියෙන කාල අවකාශ කොටස් මෙයාලගෙ ශරීර ඇතුලෙ අකුලගෙන තියාගෙන ඉන්නෙ. මෙයලගෙ මුඛ කුහරය ඇත්තටම Pocket dimensions ගබඩා කර තබාගන්නත් පුලුවන් එකක්. ඒ නිසා සම්පූර්ණ යුනිවර්ස් එකක් වුනත් කටේ හංගන් ඉන්න පුලුවන්. ඒ අනුව දාන බිත්තර උනත් එලියට නොදා ඒ තැනකට දාන්න පුලුවන්.

ඒ වගේම කටෙන් බූවල්ලෙක්ගෙ වගේ අඬුපඩු ගොඩක් සහ කෙළවර කටවල් ඇති අඬු පොකුරු එලියට දාන්න පුලුවන් අවශ්‍ය වෙලාවට. මේවත් තියෙන්නෙ අර pocket dimensions වල තමා ඕනෙ වෙලාවට ගන්න පුලුවන් විදිහට. 

ඒ වගේම අර dimensions සහ තමන්ගෙ ඇඟ ඇතුලෙ තියෙන අවකාශ පාවිච්චි කරල ක්ෂණිකව තැන් තැන් වලට යන්නත් පුලුවන්. අනික් කාරණේ, මුන් පූසො වගේ හිටියට හොඳට බුද්ධිමත්. අපි කියන දේවල් ඔක්කොම තේරෙනවා.

හැබැයි මුන්ගෙ තියෙන ප්‍රධානම දුර්වලතාවය තමා අර කිව්ව හැම එකම එලියට දාන්නෙ කටින් වීම. ඒ නිසා, Flerken කෙනෙක්ව මෙල්ල කරන්න පුලුවන් පහසුම ක්‍රමයක් තමා කට අරින්න බැරි වෙන්න තදින් අල්ල ගැනීම.



Hereditary (2018)

දෙදාස් දහඅට අවුරුද්දේ මඟ ඇරුන හොඳ ෆිල්ම්ස් මොනාද කියල දැන ගන්න යූ ටියුබ් ලිස්ට් දෙක තුනක් බැලුවම, ඒ හැම එකේම වගේ මග නොඇර බැලිය යුතු හොරර් ෆිල්ම් එකක් විදිහට ලිස්ට් කරල තිබ්බ නිසා හොයාගෙන බැලුවා.

බලපුවාම කතාව ඇත්ත.

මට නම් හොඳයි මේ කතාව. මේකෙ මතුපිටින් පෙන්නන  හොල්මන් කතාවට අමතරව ඒ ඒ සිද්ධි නිසා චරිත අතරෙ තියෙන බැඳීම් දියවෙලා යන හැටි සහ යොදාගන්න දෙබස්, රඟපෑම් නිසා, ඒ මොහොතවල් වල කිසිම හොල්මනක්  නැතුවත් බය නිෂ්පාදනය වෙනවා. 

මිනිස්සු මිනිස්සු අතර ඇති වෙන ගැටුම් වලදි ඇතිකරන ආතතිය එක්ක ඇතිවෙන 'බය', ඒ කියන්නෙ ඒ චරිතය ඒ අවස්තාවට කොහොම මූණ දෙයිද? කියන අවිනිශ්චිතතාව නිසා ඇතිවෙන අමුතු ජාතියෙ බයකුත් මේකෙ තිබ්බා. කොටින්ම, 'දෙයියනේ මේක මට වුනා නම් මම මොනවා කරයිද' කියන එක කල්පනා වෙලා බල බල හිටපු ඉරියව්වෙන්ම හැකිලිලා ගිය එක් අවස්තාවකුත් තිබ්බා... ඒ සීන් එක නම් කියල වැඩක් නෑ... බලලම විඳින්න ඕනෙ එකක්.

හරි, කොහොමත් මේ ෆිල්ම් එක සම්බන්ධ අදහස් දක්වපු ගොඩ දෙනෙක් කියල තිබුණු දෙයක් තමා, මේකෙ කතාව බින්දුවක්වත් නොකියා, බලන කෙනාට ඒ ඒ අවස්තාවන් සඳහා දෙන බලාපොරොත්තු විරහිත හිස් බව එක්ක සපයන බය නොඉඳුල් විදිහට විඳින්න ඉඩ දෙන එක තමා හොඳ කියල...

ඉතිං ඒක නිසා ඔයිට වඩා කොහොමත් කියන්නෙ නෑ... හොරර් වලට කැමතියි නම් බලන්න ... 

(මේ ෆිල්ම් එක හදන්න වියදම් වෙලා තියෙන්නෙ ඩොලර් මිලියන දහයයි. ඒත් දැනට අසූවක් හොයල තියෙනවා ... ඒ කියන්නෙ මිනිස්සු මේක බලල කියන එකනෙ?)

බලපු අය සහ කොහොමත් නොබලන අය පමණක් කියවන්න පහළ.... 

Spoilers !!

දාහත් වෙනි ශත්වර්ෂයෙ වගේ ලියපු මන්තර පොතක් තියෙනවා, Lesser Key of Solomon කියල. මේ පොතේ ඇතුලෙ කොටස් පහයි. මුල් කොටස වෙන් වෙන්නේ, යක්ෂ ආත්ම හැත්තෑ දෙකක් ගැන  විස්තර කරන්නයි. 

ඒ හැත්තෑ දෙකෙන් නම වෙනියට ඉන්නෙ මේ ෆිල්ම් එකේ කතාවට අදාළ Paimon කියන ‍යක්ෂ ආත්මයයි. හැබැයි මේ පේමොන් [පේ(යි)මොන්] කියන්නෙ නිකම්ම යකෙක් නෙවෙයි යක්ෂ ප්‍රධානියෙක්. ප්‍රධාන යක්ෂයා වන ලුසිෆර් (නොහොත් සාතන්) යටතේ ඉන්න යක්ෂ සේනාධිපතිවරුන් අට දෙනාගෙන් කෙනෙක්. මොහු යටතේ යක්ෂ සේනාංක (legions) දෙසීයක් තියෙනවලු. මූ එන්නෙ පිරිමි වේෂයකින්. වාහනේ විදිහට පාවිච්චි කරන්නෙ ඔටුවෙක්. (ෆිල්ම් එකේ යන්තං රූපයක් පෙන්නනවා) 

ඉතිං ඔය පොතේ, ඒ ඒ යක්කුන්ට අදාල මුද්‍රා, ඒ කියන්නෙ නිල ලාංඡනත් දක්වල තියෙනවා. (ඒකෙන් මේ Paimonගෙ  ලකුණ තමා මම රූපෙ දාල තියෙන්නෙ, සහ ෆිල්ම් එකේ තැන් තැන් වල පෙන්නන්නේ.)

මේ යක්ෂ ආත්ම මේ ලෝකෙට ගෙන්නන්න අනුගමනය කරන්න ඕනෙ පියවර සහ කියන්න ඕනෙ මන්තර ටික එහෙමත් ඔය පොතේ දක්වලා තියෙනවා. හැබැයි නිකං ඒව කිව්ව කියල උන් එන්නෙ නෑ. අදාළ දොල පිදේනි දීලා ඒ ඒ චාරිත්‍ර අකුරටම ඉටු කරන්න ඕනෙ. ඉතිං ඒක තමා ඔය ෆිල්ම් එකේ කරන්නෙ... 

අර ආච්චිගෙ පොතේ කියල තියෙන්නෙ, "බිලිදෙන්න තියෙන දේවල් බරපතල වුනාට ලැබෙන රිවෝඩ්ස් ගැන හිතුවම ඒව මොනාද" වගේ දෙයක් නෙ... ඉතිං පොතේ හැටියට පේමොන්ව මේ ලෝකෙට ගෙන්නන (conjure කරන) යක්දෙස්සාට හෝ යක්දෙස්සිට සහ අනුගාමිකයන්ට ලැබෙන වරදාන හෙන ගොඩක් තියෙනවා... වස්තුව, කීර්තිය වගේ දේවල්... 

හැබැයි මේ යකා පිරිමි වේශයකින් එන නිසා, ඌව මේ ලෝකෙට ගෙන්නන්න කරන යාතුකර්මයට ගැහැණු ශරීරයක් වැඩක් නෑ. ඒත් ෆිල්ම් එකේ මුල ඉඳලම අර පොඩි කෙල්ලට මුගේ ආවේෂය තියෙනවා. හැබැයි ඒක ටෙම්පරි එකක්. ඔරිජිනල් ගොදුර තමා අර කොල්ලා. ඉතිං අවසානයේ ඒක කොහොම හරි ලබාගන්නව.

ඕනෙනම් මේ Lesser Key of Solomon කියන මන්තර පොත බලන්න (මං කිව්වෙ නිකමට/ ආසාවට මිසක් ඒකෙ ඉන්න යක්කු හැතිකරේ මෙහෙ ගෙන්නන්න නෙවෙයි. 🤗 pdf තියෙනවා ඕනෙනම්.) 

දැන් අපිට හිතෙන්නෙ සාමාන්‍යයෙන් ඔය ආසියාව පැත්තට වෙන්න තමා යක්කු, හොල්මන්, බිලි පූජා වගේ දේවල් වැඩියෙන් තියෙන්නෙ කියලනෙ. ඒත් ඊටත් වඩා එහා ගිය දේවල් තියෙන්නෙ මේ යුරෝපා රටවල්වල කියල හිතෙයි ඒක බැලුවම. මේකෙ තව පරණ  පොතක් තියෙනවා Key of Solomon කියල. ඇත්තටම Lesser Key of Solomon කියන්නෙ අර මහ පොතේ නැති, අඩු ටික දාල හදපු පොඩි පොතක් වගේ තේරුන හැටියට. මුල් පොත ලියල තියෙන්නෙ දාහතරවෙනි ශත්වර්ෂය වගේ ඈත කාලෙක.

Solomon කියල මෙතෙන්දි කියන්නෙ ඈත අතීතයේ ජීවත් වෙච්චි, යක්කුන්ගෙන් පවා වැඩ ගත්ත රජකෙනෙක්. බයිබලයේ පරණ ගිවිසුමේත්, කුරානයේත් මෙයා ගැන කියවෙනවා. මෙයාට තිබිලා තියෙනවා බලගතු මුද්දක්. ඒ මුද්දෙ එක්තරා සංකේතයක් තියෙනවා. Seal of Solomon කියන්නෙ ඒ සංකේතයටයි. ඒකෙ බලෙන් තමා මෙයාට යක්කුන්ව පවා අවනත කරගන්න පුලුවන් වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ මුද්දෙ බලෙන් යක්කුන්ව ගෙන්නගෙන උන්ගෙන් විස්තර අහගෙන තියෙනවා. එක එකා ගැන. අන්න ඒ විස්තර වලින් තමා ඔය පොත් වලට කරුණු අරං තියෙන්නෙ. හැබැයි, ඒකෙන් කියන්නෙ නෑ මේ පොත් ලිව්වෙ සොලමන් රජ්ජුරුවෝ කියල. Source එක අරක කියලයි කියන්නෙ. 

මේ සොලමන් ගැනම තමා අර සොලමන් රජුගේ දියමන්ති ආකර කියන පොතෙත් තියෙන්නෙ. එනිවේ මේ රජතුමා ගැන කියන්න ගියොත් ඒක හෙන දිග කතන්දරයක් වෙන නිසා නතර කරන්නම්. ඕනෙ නම් හොයල බලන්න හෙනම ඉන්ටරෙස්ටින්....




Bird Box (2018)

මේ චිත්‍රපටය ගැන හැදුනු memes, වීඩියෝස් වගේ ඒවා ගොඩක් එහෙමෙහෙ තියෙනවා දැක්කා, සහ පිරිසක් කියනවා ඒක මේ Netflix ලා තමන්ගෙ ෆිල්ම් එක මාකට් කරන්න කරන වැඩ පිලිවෙලේ කොටසක් මිසක්, ස්වභාවිකව ඇති වුන දෙයක් නෙවෙයි කියලත්. සෝෂල් මීඩියා වල එහෙ මෙහෙ යන මීම්ස් වල ඔරිජින් එක හොයන එකත් ටිකක් අමාරු වැඩක් නිසා මේ කතාව ඇත්තද නැද්ද දන්නෑ. කොහොම වුනත් මේ වැඩ නිසා සහ, චිත්‍රපටයේ කතාවේ සහ පෝස්ටර් එකේ තියෙන ගුණය නිසාත් චිත්‍රපටය ජනප්‍රිය වුනා කියල හිතන්න පුලුවන්. 

ඒ මදිවට දැන් Bird Box Challenge කියල එහෙකුත් තියෙනවා සහ ඒක කරන්න ගිහින් තුවාල කරගන්න එපා කියල Netflixල එයාලගෙ twitter ගිණුමෙ දාලත් තියෙනවා , හැබැයි මෙහෙම අනතුරු අඟවන්න තරම් දෙයක් නම් වෙලා නෑ ඉතිං... ඒකත් Netflixලගෙ මාකටින් වල කොටසක් වගේ පේන්නෙ නිකං...

දැන් මේ ෆිල්ම් එක ටිකක් විතර අර මීට කලින් ආපු A Quiet Place ෆිල්ම් එකට සමාන නිසා කෙනෙකුට හිතෙන්න පුලුවන් මේක, ඒක හිට් වුනු නිසා ඒකෙන් ආභාෂය අරං හදපු එකක්ද කියලත්. ඒත් ඒක වැරදියි. මොකද මේ ෆිල්ම් එක සඳහා තිරපිටපත ලියල තියෙන්නෙ A Quiet Place හදපු කාලෙම තමා , සහ මේක බේස් වෙලා තියෙන්නෙ මේ නමින්ම තියෙන වෙනත් නවකතාවක් මත.

චිත්‍රපටිය නම් හොඳයි. කම්මැලි නෑ. ඉතිං බැලුවෙ නැත්තං බලන්න. විශේෂයෙන්ම අර Quiet Place වගේ ඒවට කැමතියි නම් අනිවා බලන්න...

බැලුව අයට විතරයි පහල ... (Spoilers ...)

දැන් මේකෙ ඉන්න ඒ සතාව පෙන්නන්නේ නැති එක සමහර දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තිබ්බා ... ඇත්තටම ඇයි නොපෙන්නුවේ?

චිත්‍රපටය හදන අතරෙ ප්‍රඩක්ෂන් ටීම් එකේ එක්කෙනෙක්ම කියල/අහල තියෙනවා, ෆිල්ම් එකේ කොතනකදි හරි අන්තිමට හරි ඒ සතෙක්ව පෙන්නන්න ඕනෙ කියල. ඉතිං ඒකට හැමෝම එකඟත් වෙලා, ප්‍රධාන නිලිය නොහොත් මැලරි දකින හීනයක් විදිහට පොඩි සීන් එකක උන්ගෙන් එකෙක්ව පෙන්නන්න ප්ලෑන් කරල සතාව ඩිසයින් කරල ඒ සීන් එක අරගෙනත් තියෙනවලු. ඒත් අන්තිමට ඒක නොපෙන්වා ඉන්න තීරණය කරල තියෙනවා .

සැන්ඩ්‍රා බුලොක් කියන හැටියට නම් ඒ "සතාව" දැක්කාම එයාට හිනා ගියාලු...

කොහොමෙන් කොහොම හරි දැන් ඌව පෙන්නන්නේ නෑ, හැබැයි ඒකට හේතුව සැන්ඩ්‍රාට ඒක ජෝක් එකක් වෙච්ච එකම නෙවෙයි. 

ෆිල්ම් එකේ හැටියට, ඒ සත්තු (හෝ මොක්කු හෝ) දැක්කාම මිනිස්සු භය වෙනව. හැබැයි මේ භය වෙන්න හේතුව  ඒ ඒ පුදගලයාට වෙනස්. ඒ කියන්නෙ අපි එක එක්කෙනාට ජීවිතේ වැඩියෙන්ම භය වෙන්න හෝ කම්පනය වෙන්න තියෙන හේතු එක එක් කෙනාට අනන්‍යයි. මේ භය ඔස්සේ තමා ඒ ජීවීන් මිනිස්සුන්ගෙ මනසට බලපෑම් කරල සියදිවි නසා ගන්න පොළඹවන්නෙ... 

ඉතිං ඒක නිසා, ඒ කියන්නෙ මේ සත්තුන්ව එක එක්කෙනාට පෙන්නේ ඒ ඒ මනුස්සයින්ට අනන්‍ය විදිහට නිසා, නියත රූපයක් ඉදිරිපත් කරනවට වඩා නොකරම සිටීමෙන්, චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට වඩාත් හොඳට විඳින්න පුලුවන් වෙයි කියල තමා ඒක නොපෙන්වා ඉන්න තීරණය කරල තියෙන්නෙ.

(දැනටමත් මොකක් හරි දේකින් හොඳටම කම්පනය වෙලා, මොළේ අවුලක් තියෙනවා නම් මේ සත්තු දැක්ක කියල ලොකු වෙනසක් වෙන්නෙ නෑ...)

තව දෙයක් තමා ෆිල්ම් එකේ කතාවට වඩා පොතේ කතාව අඳුරුයි සහ බියකරුබව වැඩියි කියන කාරණය. 

පොතේ හැටියට මෙයාලා අර අන්තිමට යන අන්ධයො ඉන්න තැනේ ඉන්න සමහර මිනිස්සු අන්ධ වෙලා ඉන්නෙ ස්වකැමැත්තෙන්මයි. ඒ කියන්නෙ, පොතේදි, අම්මයි ළමයි දෙන්නයි ආවයින් පස්සෙ එතන භාරකාරය වගේ ඉන්න කෙනා කියන අතීත සිද්ධියක් හැටියට කලින් ඒ තැනට අර සතෙක් කඩාගෙන ඇතුලට ඇවිදින් ලොකු විනාශයක් වෙනවලු. අම්මල තමන්ගෙ ළමයි මරල දාල තමනුත් මැරිලා ... ඊට පස්සෙ ඉතිරි අය ඒ වගේ විනාශයක් ආපහු නොවෙන්න කියල ස්වකැමැත්තෙන්ම අන්ධ වෙනවලු... හැබැයි ෆිල්ම් එකේ ඔහොම එකක් නෑ ... කොටින්ම ෆිල්ම් එකේ අධ්‍යක්ෂවරියට එච්චරම දරුණු කතාවක් කියල මිනිස්සුන්ව භය කරන්න ඕනෙ නෑ කියල හිතිලා, දැන් තියෙන විදිහට කතාව වෙනස් කරලලු.




Fulldome Cinema ගැන...

අපි චිත්‍රපටි බලනකොට ඒක හොඳටම හිතට වැදුනොත් අපි ඒකෙ ඇතුලෙ ජීවත් උනා වගේ දැනෙනව. හැබැයි ඒ චිත්‍රපටය හොඳයි නම්. එහෙම නැත්තං සාමාන්‍ය චිත්‍රපටි අපිට පේන්නෙ අපේ ඇස් ඉදිරිපිට කොටු හැඩේ තිරයකනෙ. ඒත් ඊට වෙනස් විදිහට බලන්න පුලුවන් සිනමා ශාලාත් තියෙනව. මේවට කියන්නේ fulldome cinema කියල. මේ හෝල්ස් අර්ධ කවාකාර හැඩයක් ගන්නව. මේ ගැන යම් අදහසක් ගන්න පුලුවන් ග්‍රහලෝකාගාරය ගැන මතක් කර ගත්තොත්. නිකං මුනින් අතට හරවපු කෝප්පයක් ඇතුලට ගිහින් උඩ බලන් ඉන්නව වගේ දෙයක්. ඉහලින් පෙනෙන අර්ධගෝලය පුරාවටම චිත්‍රපටය දිගහැරෙනව. 

මේ තාක්ෂණය, ඒ කියන්නේ fulldome cinema technology එක ලෝකෙ පුරා ව්‍යාප්ත වුනේ අනූව දශකයේ. දැන් විවිධ රටවල් වල මේ වගේ සිනමා ශාලා දෙදාහක් විතර තියෙනව. බහුතරයක් මේ හෝල්ස් තියෙන්නෙ ග්‍රහලෝකාගාර හෝ කෞතුකාගාර ආශ්‍රිතව. මේවයෙ පෙන්නන්නෙ අධ්‍යාපනික වටිනාකමක් ඇති වාර්තා චිත්‍රපටි වගේ ඒව තමා. සාමාන්‍ය චිත්‍රපටි හෝල් වල වගේ මාසෙන් දෙකෙන් මේවයෙ චිත්‍රපටි මාරු වෙන්නෙ නෑ මොකද මේ ෆොමැට් එකේ චිත්‍රපටි සුලබ නෑ. වෙනමම කියල හදවපුව මිසක් කඩෙන් ගන්න නෑ. සාමාන්‍යයෙන් මෙහෙම හදන අර්ධගෝල හැඩැති තිරය පුරාවටම පැනොරාමා විදිහට විසිරිලා යන විනාඩි හතලිහක් විතර දුවන ෆිල්ම් එකක් ගිගාබයිට් පන්සීයක විතර ඉඩක් ගන්නව. මේ වගේ චිත්‍රපටි ඒ විශේෂ තිරය මතට ප්‍රක්ශේපණය කරන්න ප්‍රොජෙක්ටර්ස් හයක් විතර දළ වශයෙන් යොදා ගන්නව. ඒ ප්‍රොජෙක්ටර්ස් වලින් ප්‍රක්ශේපණය කරන රූප එකතු කරල නොබිදුනු තනි රූපයක් (seamless picture ) විදිහට පරිඝණක භාවිතයෙන් සකසල තමා ප්‍රේක්ෂකය වෙනම ලෝකෙකට අරන් යන විදිහෙ අයස්කාන්ත දර්ශන තිරය මතට අරන් එන්නෙ.

අධ්‍යාපනික පැත්තට අමතරව එන්ටටේන්මන්ට් පැත්තෙ වැඩ වලටත් මේව යොදා ගන්නව. ඒ වගේම ඔය තාක්ෂණික ප්‍රදර්ශන වගේ ඒව වලට මේ වගේ චිත්‍රපටි ශාලා තාවකාලිකව සකසල දෙන සමාගම් තියෙනව. 

ඩුබායි වල තියෙන ඩුබායි මෝල් එක ඇතුලෙ මේ වගේ හෝල් එකක් තියෙනව, හැබැයි ඒක ටිකක් වෙනස්. ඒක අර්ධගෝලයක් නෙවෙයි සම්පූර්ණ ගෝලයක්. අර X Men ෆිල්ම් එකේ ප්‍රොෆෙසර් X පාවිච්චි කරන සෙරීබ්‍රෝ කියන ගැජට් එක මතකද? ටිකක් අන්න ඒ වගේ හැබැයි ඊට වඩා පොඩියි.ඒක ඇතුලට යන්න පුලුවන්. ගියැයින් පස්සෙ තමන්ව සම්පූර්ණයෙන්ම වෙනම තැනකට ගියා වගේ තමා දැනෙන්නේ මොකද අංග සම්පූර්ණව ප්‍රේක්ෂකය වටේටම වීඩීයො එක යනව.

ඩුබායි වල විතරක් නෙවෙයි අපේ අසල්වැසි රට වෙන ඉන්දියාවෙත් මෙහෙම හෝල් එකක් පටන් ගත්ත ගිය අවුරුද්දෙ (2016) මැද.

ඉතිං ලංකාව ඇතුලෙදිත් දැන් අපිට Dome සිනමාව අත්දකින්න පුලුවන්... ඒ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයෙදි. ඒක එහෙම උනේ, 2014 අවුරුද්දෙ , අපේ ග්‍රහලෝකාගාරය ඩිජිටල් ක්‍රමයට නවීකරණය කළ නිසා. අපේ බදු මුදල් වලින් ඇත්තටම වැඩක් ඇති දෙයක් කරපු දුර්ලභ අවස්ථාවක් විදියටත් මේක හඳුන්වන්න පුලුවන් ...

(අපේ ග්‍රහලෝකාගාරයේ මේ Dome සිනමාව ගැන කලින් විස්තරයක් දැම්මා.)

(දාල තියෙන එක රූපෙකින් පෙන්නන්නෙ එක එක ජාතියෙ වීඩීයො ෆොමැට් සහ ෆුල්ඩෝම් වීඩීයො ෆොමැට් එකේ සංසන්දනයක්.

අනික් රූපෙ තියෙන්නෙ ස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් නුවර අර කලින් කිව්ව වගේ අප්ග්‍රේඩ් කරපු ග්‍රහලෝකාගාරයක කට්ටියක් තරු බලන හැටි. )




ඉතිං උඹ කරල පෙන්නපන්කො...

 අපේ රටේ මොකක් හරි නිර්මාණයක් ගැන කතා කරන්න ගියාම, සමහරු ඇවිත් අහන දෙයක් තියෙනවා, "ඉතිං උඹ කරල පෙන්නපන්කො" හෝ "දැන් ඔයා ඊට වඩා හොඳට මොකක් හරි කරල තියෙනවාද" කියල.

ඔය "තර්කය" අනුව,

-මාළුකාරයෙක්ගෙන් මාලු ගන්න ගියාම, ඒ මාළු සවුත්තුයි නම් ඒක ඒ මනුස්සයට කියන්න කලින්, අපි බෝට්ටුවක් අරං මූදු ගිහින් ඌ ගාව තියෙන මාලු ජාතිය මුලින්ම අල්ලාගෙන ගෙනත් පෙන්විය යුතුයි...

- දොස්තරට වැරදිලා දකුණු අතේ කරන්න තියෙන ඔප්‍රේෂන් එක වම් අතේ කළාම, ඒක ගැන දොස්තරට හෝ වෙන කෙනෙක් එක්ක කියන්න කලින්, අපි ශල්‍ය වෛද්‍යවිද්‍යාව ඉගෙනගෙන නිවැරැදිව අදාල ශල්‍යකර්මය කරල පෙන්විය යුතුයි...

-බස් එකේ ඩ්‍රයිවර් බස් එක හප්පගෙන මිනිස්සුන්ට තුවාල වුනාම ඒක ගැන වචනයක් කතා කරන්න කලින්, අපි බස් ලයිසන් අරං, ඒ පාරෙම ඒ ජාතියෙම බස් එකක් හප්පන් නැතුව ඩ්‍රයිව් කරල පෙන්විය යුතුයි...

-බස් එකේ කොන්දොස්තර එක්ක ඉතුරු සල්ලි දුන් නැති එක ගැන අහන්න කලින්, නිවැරැදිව ඉතුරු සල්ලි දෙමින් කොන්දොස්තර කෙනෙක් විදිහට එක දවසක් හෝ වැඩ කරල පෙන්විය යුතුයි...

ඔය ලිස්ට් එක දිගටම කියාගෙන යන්න පුලුවන්. ඒත් ඉතිං ඕනවට වඩා උදාහරණ දීල මිනිස්සුන්ගෙ බුද්ධියට නිග්‍රහ කරන්න ඕනෙ නෑ.

ටෙලිනාට්‍ය චිත්‍රපට හදනව කියන්නෙත් රස්සාවක්. ලෝකෙ වෙන රටවල් වල නම් ඒක එහෙමයි. මෙහෙ කට්ටිය ඒකට අමුතු පූජනීය මෙව්ව එකක් දීලා කළාකාරයො කියන්නෙත් අමුතු ජීවියො ටිකක් කියල සැලකුවට, දියුණු රටවල් වල නම් ඒක උන්ගෙ ජොබ් එක විදිහටයි සැලකෙන්නේ. ඒක උන් හරියට කරන්නෙ නැත්තං, ඒක විවේචනය කරන්න ප්‍රේක්ෂකයන්ට අයිතිය තියෙනවා තමා . නැත්තං ඉතිං උන් උන්මද ඒක කරගන්න ඕනෙ? 

ඒක නිසා, අනේ පිංසිද්ද වෙයි, මොකක් හරි නිර්මාණයක ඇද කුද ටිකක් කිව්වම, තකහනියෙ දුවන් ඇවිත් , "ඉතිං උයා ඒම එකක් කරල පෙන්නන්නකො... බැන බැන ඉන්නෙ..." "අනී ඉතිං එයාලට පුලුවන් විදිහටනෙ එයාල කරල තියෙන්නෙ..  එයාල පව්ව්ව්ව්....." වගේ ලොන්ත කතා නොකියා, ප්‍රේක්ෂකයෙක් විදිහට තමන්ගෙ ගෞරවය තියාගෙන ඉන්න කියල ඉල්ලා සිටිනවා ...🙏🙏

Thursday, November 12, 2020

රෑ දොළහට හොල්මනකට...

ඔන්න මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්, මේ ළඟදී රෑ වෙනකං වැඩ කරල, තනියම මිනිහගෙ වාහනෙන් ගෙදර යන්න පිටත් වෙලා. සිකුරාදා හවස ගමේ යනව කියමුකො. දැන් රෑ දොළහට විතර ඇති. පාරෙ කවුරුත් ඇත්තෙත් නෑ. නගරෙන් පිටට ඇවිත් දැන්... ටිකක් ගම් පළාතක, පාරෙ එක පැත්තක පොල් වත්තක්, අනික් පැත්තෙ කනත්තක්ලු. 

ඔන්න එක පාරටම සීට් බෙල්ට් දාල නෑ කියල එලාම් එක වදින්න අරං... වැඩේ කියන්නෙ යාලුව ඒ වෙද්දිත් සීට් බෙල්ට් එක දාගෙනයි ඉඳල තියෙන්නෙ. ඒ කියන්නෙ එහා සීට් එකේ ඉන්න "කෙනා" තමා සීට් බෙල්ට් දාගෙන නැත්තෙ 😐😐.

ඉතිං මුගෙ හිත ටිකක් ගැස්සිලා ඇඟ සීතල වෙලා ගියාලු මොහොතකට ...

ඒත් පස්සෙ හොයල බලද්දි ඒ එලාම් එක වදින්න සාධාරණ /විද්‍යාත්මක/ හේතුඵලවාදී හේතුවක් එයා හොයාගෙන තිබ්බා...😌

(එහෙම වෙන්න එපෑ ඉතිං  නේ? නැත්තං ඉතිං මේ හොල්මනක් ඇවිත් වාඩි වෙලා හිටියා කියල හිතන්න තරම් බොළඳ නැහැ නේද යහලුවෙ අපි 🤗😄) 

හැබැයි ඌ ඕක කිව්ව ගමන් මට හිතුනෙ, මේක හොල්මන් ෆිල්ම් එහෙක පාවිච්චි කරන්න ගන්න ශෝක් සිද්ධියක් නේද කියල. (අර Shutter ෆිල්ම් එකේ ෆයිනල් සීන් එක මතකද ඒකත් ටිකක් මීට සමානයි.)

මොකද දැන් එන හොල්මන් ෆිල්ම් බැලුවට ඇත්තටම බය හිතෙන්නෙ නෑ. හොලිවුඩ් ඒවනම් අපේ සංස්කෘතියත් එක්ක එච්චර ටැලි වෙන් නැති නිසා ඒ හොල්මන් එක්ක අපිට ඒකාත්මික වෙන්න අමාරු ගතියක් තියෙනවා.

ඉතිං එහෙම කියල, අපිට බලල බය වෙන්න ලංකාවේ හොරර් කියල ඒව හැදෙන්නෙත් නෑ. ගෑනු යටිගිරියෙන් කෑ ගහන එව්වයි,බල්ලො උඩු බුරන ඒවයි, උලමො කෑ ගහන ඒවයි, දොරවල් කිරි කිරි සද්දෙට ඇරෙන වැහෙන එව්වයි හරිම cliche. එව්වට බය වෙච්ච කාලෙ ගියා. දැන් ඒවට ඇත්තටම හිනා යන්නෙ. අනික ඉතිං මිනිස්සු බය කරන්න ලේ පෙරාගෙන ,නියපොතු උල් කරගෙන, කොණ්ඩෙ කඩාගෙන, දුමාර දාගෙන දඟලන්න ඕනෙත් නෑ. අනේ අර මහසෝනත් එක්ක රෙස්ලිං කරන්න යනව වගේ අවධානම් වැඩ නම් කොහොමත් එපා 🙏😄

අලුත් හොඳ ස්ක්‍රිප්ට් එකක් ලියාගන්න පුලුවන් නම්, හොරර් කියන්නෙ අඩු වියදමක් කරල වැඩියෙන් හම්බ කරගන්න පුලුවන් ෆිල්ම් කැටගරි එකක්...



පුලුවන් විදිහට VFX

රාවණා ටෙලිනාට්‍ය ගැන ඇති වුනු සංවාදයකදි කෙනෙක් කිව්වා, ඒකෙ VFX විවේචනය කරන්න එපා, පුලුවන් විදිහට තමා කලේ... ඔයිට වඩා කරන්න බෑ වියදම් වැඩියි කියල. (එයා ඒ නිර්මාණයට සම්බන්ධ කෙනෙක් වෙන්න ඇති කියල හිතනවා වියදම් ගැනත් දැනන් හිටපු නිසා)

ඇත්තටම ඒ ටෙලිනාට්‍යයේ VFX ගැන මුකුත්ම කියන්න ඕනෙත් නෑ කොහොමත්. ඒ නාට්ටෙ යම් අවුලක් තියෙනවා නම්, ඒ අවුල ඇතිවෙලා තියෙන්නෙ VFX හින්ද නෙවෙයි. ඒක ස්තිරවම කියන්න පුලුවන් මොකද අවුල් යන්න තරම් මහලොකු VFX එකක් ඒකෙ නැති නිසා.

මෙතෙන්දි කියන්න ඕනෙ, VFX= CGI නොවෙන බව. ඒ කියන්නෙ චිත්‍රපටයක/නාට්‍යයක, දෘශ්‍ය ප්‍රයෝග නොහොත් visual effects කියන්නෙ, හැම වෙලේම computer generated imagery ම වෙන්න ඕනෙ නෑ කියන එක. නමුත් අර ඒක ගැන කියපු කෙනා නම් හිටියෙ ඒ වගේ මතයක වගෙයි තේරුනේ, සහ මේ නිර්මාණය ඇතුලෙත්, VFX කියල අපිට දකින්න පුලුවන් CGI දර්ශන විතරමයි. එතනින් එහා ගිය, කැමරා කෝණ, අංග රචනය, පසුතල වගේ හැමදේම එකට මිශ්‍ර වෙලා හැදුනු සම්පූර්ණ දෘශ්‍ය ප්‍රයෝග මේකෙ දකින්න නෑ, ඒත් ඒව පාවිච්චි කළ යුතු (ඒත් නොකළ) අවස්තා නම් තියෙනවා.

අර රජවරු ඉන්න මාලිගා සහ අසපු වල භාහිරින් පේන විදිහ පෙන්නන දර්ශන ටික තමා ඕකෙ VFX කියල දැක්කෙ. (VFX කිව්වෙ ඇත්තටම CGI.) ඊට අමතරව අර කුවේර, ජනතාව අමතන තැනදි crowd multiplication ක්‍රමය පාවිච්චි කරල තිබුනා. ඒ දර්ශනය නම් බැලූ බැල්මට අවුලක් නැතුව තිබ්බ. හැබැයි අර රජ මාලිගා ටික නම් ඉතිං බැලූ බැල්මට 3D කියල පේනව. හොඳ වෙලාවට සුමාලි රජ්ජුරුවො භූගත මාලිගාවක හිටපු නිසා, ඒ සඳහා නම් ඇත්ත දිය ඇල්ලක් පෙන්නල වැඩේ ගොඩ දාල තියෙනව. නමුත් ඒ මාලිගාව තියෙන්නෙ ඇත්තටම දිය ඇල්ලට යටින්ය කියල ප්‍රේක්ෂකයන්ට ඒත්තු යන විදිහේ කිසිම ප්‍රයෝගයක් යොදාගන්න උත්සාහ කරලවත් නෑ. හරි ඒක කමක් නෑ අපිට හිතාගන්න පුලුවන් කියමුකො.

ඉතිං මේ CGI මාලිගා/නගර ටික හැමවෙලේම පෙන්නනව (යටින් නමත් එක්ක) අදාල තැනේ ඇතුලෙ දර්ශනය පෙන්නන්න කලින්. ඒත් ඇත්තටම ඒක ඕනෙ නෑ. මොකද එහෙම පැටලෙන තත්ත්වයක් ඒකෙ නෑ, බැලූ බැල්මට අපිට කියන්න පුලුවන් මේ අහවල් මාලිගාව ඇතුලෙ තමා කියල මොකද මාලිගාව ලොකුවට එලියෙන් පෙන්නුවට පොඩි කාමරේක තමා රජා හැසිරෙන්නෙ. 

මේ VFX චෝදනාව කරපු කෙනාට අනුව, එයාලට ඔයිට වඩා සංකීර්ණ විදිහට ඒ මාලිගාවල එලියේ දර්ශන කරන්න බැරි, ඒව render වෙන්න යන වෙලාව වැඩි නිසාලු. 

ඒත් මට කියන්න තියෙන්නෙ, මුලු කතාව පුරාවටම, මාලිගාවල ඇතුල පෙන්නන වාරයක් වාරයක් පාසා රිපීට් කර කර පෙන්නන්න බලාපොරොත්තු වෙන ඒ දර්ශන ටික( තප්පර කිහිපයකට සීමා වුනු), වෙලාව අරන් හරි render කරල ඔයිට වඩා හොඳට හදන්න තිබ්බ කියලයි.

එහෙම render කරගන්නම බැරි නම්, VFX කියන්නෙ CGI ම නොවෙන නිසා, miniature එකක් හදනව වගේ වෙන ක්‍රමයක් පාවිච්චි කරන්නත් තිබ්බා. 

නමුත් ලංකාවේ බහුතරයක් ඔය vfx උගන්නනවා කියල කරන පාඨමාලාවල පවා, දෘශ්‍ය ප්‍රයෝග කියල උගන්නන්නෙ ඔය 3D modeling කරන software එක්ක වැඩ කරන විදිහ විතරයි. ඉතිං ඒවැයින් එලියට එන "ත්‍රිමාණ සජීවීකරණ ශිල්පීන්ට" චිත්‍රපටයක දෘශ්‍ය ප්‍රයෝග කියල කියන්නෙ පරිගණකය පාවිච්චි කරල කරන CGI වැඩ කෑලි ටික විතරයි. හැබැයි, මේ ලෝකෙට ඔය computer, 3D software එන්න කලිනුත් චිත්‍රපට වල ඕනෙ තරම් දෘශ්‍ය ප්‍රයෝග කලා. ඒත් ලංකාවේ එහෙම සමස්තය ගැන තේරුමක් තියෙන අය අඩුයි. මොකද අපිට ඒ සම්බන්ධ ඉතිහාසයක් නෑ. කෙලින්ම  Maya, After effects වලින්ම තමා පටන් අරං තියෙන්නෙ. Practical effects ගැන අවබෝධයක් නෑ වගේ. ඔක්කොම computer එකෙන්ම ගොඩදාන්න දඟලන අය තමා වැඩි.

ඒත්, ලෝකෙ ප්‍රධාන අධ්‍යක්ෂවරු (උදාහරණ : ස්පිල්බර්ග් , නොලාන්) වගේ අයත් තාම CGI කියන දේ යොදාගන්නෙ අන්තිම තුරුම්පුව විදිහට. ඒත් මෙහෙ ඒකෙ අනික් පැත්ත.

VFX කියන්නෙ CGI විතරයි කියල හිතාගෙන ඉන්නවනම්, Alien, 2001 A Space Odyssey වගේ චිත්‍රපට බලන්න....

(රූපෙ තියෙන්නෙ Alien ෆිල්ම් එකේ පාවිච්චි වුනු miniature space ship එකක්)



යතාර්ථයෙ හිරකාරයො...

 ඉස්සර නාට්‍යයක් ගියා, සිහින ඉසව්ව කියල. ඒක දිය කිඳුරියෙක් ගැන කතාවක්. මතක විදිහට, කොල්ලො දෙන්නෙක්ට දිය කිඳුරියෙක් හම්බෙනවා. ඒ දියකිඳුරිට ගොඩබිම ඉන්න පුලුවන් සීමා සහිත කාලෙකට හැබැයි ඊට පස්සෙ කකුල් නැති වෙලා වරල් වෙනවා. එයාගෙ නම මිත්‍යා. තව මේ කොල්ලො අඳුරන එයාලගෙ යාලු වෙන කෙල්ලෙක් ඉන්නව එයාගෙ නම සත්‍යා. සත්‍යා සහ මිත්‍යා රූපෙන් එක වගේ. (ඒ චරිත දෙකම කලේ එකම නිලිය කොහොමත්) කොහොම හරි දිය කිඳුරිව අල්ලල මිනිස්සුන්ට පෙන්නල ආදායමක් ගන්න ජාවරම්කාරයො සෙට් එකක් එයාව පැහැරගෙන යනව. පස්සෙ මේ කොල්ලො දෙන්නයි, අර සත්‍යා කියන කෙල්ලයි සෙට් වෙලා ගේම ඉල්ලල කොහොමහරි අන්තිමට මිත්‍යාව බේරගෙන මුහුදට යවනව. 

ඔය නාට්ටෙ ගිහින් දැන් අවුරුදු විස්සක් විතර ඇති ඒත් තාම හොඳට මතකයි. මේකෙ දියකිඳුරි, වරල් එක්ක ඉන්න සීන් එහෙමත් ලස්සනට අරං තිබ්බා, සහ අන්තිම ෆයිට් එකට හෙලිකොප්ටරයක් පවා යොදාගෙන තිබ්බා. 

ඒත් දැන් නම් ඒ වගේ නාට්‍ය හැදෙන්නෙ නෑ. නිකං සාලෙ මැද්දෙ  ගෑනු කතා කරන ලොන්ත කතා විතරයි බහුතරය. ඈක්කා.

ලංකාවේ නිර්මාණකරුවො ගොඩක් උන් දැන් යතාර්ථයෙ හිර කාරයො වෙලා. උන් සුරංගනා කතා, ෆැන්ටසි කතා සලකන්නෙ පොඩි උන්ට බලන්න තියෙන ඒව විදිහට. ඒවත් හදන්නෙ පොඩි එකෙක්ට පවා බැලුවම එපා වෙන ගොබ්බ විදිහට. අර රන් කෙවිට එහෙම බැලුවනම් මතක ඇති. එහෙම රන් කෙවිටක්, ඇත්තටම ඒ වයසෙ කොල්ලො දෙන්නෙක්ට හම්බුනා නම් ඔය වගේ ගොබ්බ විදිහට හැසිරෙන එකක් නෑ. ඒත් ඒ ෆිල්ම් එකේ කොල්ලො දෙන්න ඒකෙන් මෙලෝ ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. උන්ගෙ මෝඩ කම ප්‍රදර්ශනය කරනව ඇරෙන්න. හැබැයි මොනා උනත්, උදයකාන්ත වර්ණසූරිය කියන්නෙ ශ්‍රී ලංකාවේ ඔය ජනකතා වගේ දේවල් වලින් පොඩියට හරි ප්‍රයෝජනයක් ගත්ත සිනමාකරුවෙක්. ඒත් ඒක ඔයිට වඩා හොඳට කරන්න තිබ්බා අපරාදෙ...

ඇස් දෙක පිරෙන්නම Aquaman...

Originally posted on Facebook on 2018/12/24

Aquaman බැලුවා. හරි හරි ස්පොයිල් කරන් නෑ....

අර වතුර යට කතා කරන්නෙ කොහොමද කියල අහල තිබ්බනෙ සමහරු... ඉතිං අනේ ඒකට චිත්‍රපටයේම පැහැදිලිව උත්තර දෙනවනෙ? ඒක Aquaman විසින්ම ප්‍රශ්නයක් විදිහට අහනව එක තැනකදි, සහ පැහැදිලිව උත්තරත් ලැබෙනවා එවෙලේම. අනේ මන්දන්නෑ ඉංග්‍රීසි තේරුම් ගන්න බැරි අවුලක් වෙන්න ඇති. වෙන නම් හේතුවක් හිතා ගන්න බෑ.

ඒක විතරක් නෙවෙයි, තව මෙහෙම ප්‍රශ්න ආවෙ නැද්ද....  ඇක්වමෑන්ට ගොඩබිම වගේම වතුරෙත් අවුලක් නැතුව ඉන්න පුලුවන්. අර මීරාටත් එහෙම පුලුවන්. එතකොට අර අනික් සෙබලුන්ට එහෙම බැරි ඇයි? 

ඔන්න ඕකටත් පැහැදිලිව එක දෙබසකින් හේතුව කියනව.

එතකොට අර අච්චර සෙක්‍යුරිටි තියෙන ඇට්ලැන්ටිස් සිටි එකට ඇක්වමෑන්ට සහ මීරාට අර ship එකෙන් ඇතුල් වෙන්න දෙන්නෙ ඇයි? මොකද ඇක්වමෑන් කියන්නෙ ඒකෙ සිටිසන් කෙනෙක් නෙවෙයි ආගන්තුකයෙක්. ඉතිං ඕකටත් එක වාක්‍යයකින් පැහැදිලි උත්තරයක් දෙනවනෙ. 

දෙබස් ගැනත් පොඩ්ඩක් අවධානය දුන්නනම්, ඔය වගේ ප්‍රශ්න ඉතුරුවෙන්න නෙවෙයි ඒ ෆිල්ම් එක හදල තියෙන්න. අනික සමහර අය කියල තිබ්බ ඒක බලන්න කලින් කොමික් කියවල යන්න ඕනෙ කියල. අනේ එහෙම ඕනෙනෑ. ඒ කතාව ඇක්වමෑන් කියල එකෙක් ගැන අහලවත් නැති එකෙක්ට උනත් ගිහින් බලන්න පුලුවන් විදිහට, හේතු ඵල සම්බන්ධ සහිතව ශක්තිමත් කතාවක් ඇතුව හදල තියෙන්නෙ. Prerequisite ඔනෙනෑ ඒක බලන්න. 

ෆිල්ම් එක නං... 😍 සුපිරිම සුපිරී මට නම්. ඇස් දෙක පිරෙන්නම දීලා තියෙනවා. ඒ වගේම ඇක්වමෑන් කියන චරිතය මාර විදිහට අප් කරල ගන්නව ආයෙ ඉතිං 😙😍

James Wan නම් සුපිරිම වැඩ්ඩෙක් තමා. ඇත්තටම ඔය ඇක්වමෑන් කියන චරිතය මුලින්ම දැක්කාම මට නම් හිතුනෙ, ඔය අනික් සුපර්හීරෝස්ල ගැන ෆිල්ම්ස් හැදුවට මූට නම් එකක් believable විදිහට හදාගන්න බැරිවෙයි කියල. මොකද නිකං කන්සෙප්ට් එකම විකාරයක් වගේ තමා බැලූ බැල්මට පෙනුනේ. ඒත් ඒ මතය සම්පුර්ණයෙන්ම කනපිට හරවලා ඒ චරිතයෙන් උපරිම ප්‍රයෝජනය අරං තියෙනවා. මුහුද යට යන ෆයිට් සීන් ටිකයි,  මුහුදු රාජධානි ටිකයි පට්ට ලස්සනට ඩිසයින් කරල තියෙනවා. (අනේ දෙයියනේ 3D බලාගන්න බැරි උනානෙ 😢)

දැන් ඉතිං මේකත් සවුත්තුයි කියල කියන අය ඉන්නව තමා... ඒක ඉතිං ලෝකස්වභාවය. ඔය ඕනම හිට් වෙච්ච මියුසික්  වීඩියෝ එකක් ගිහින් බලන්න යූ ටියුබ්... බිලියන ගානක් කැමති නම්, අඩුම මිලියන එකක් දෙකක් ඩිස්ලයික් දාල තියනව... ඒක ඉතිං කරුමේ ෆ්‍රෙන්ස්. පවට පින දෙන්න බෑ කියනවනෙ.

මළැයින් පස්සෙවත් ඒ ඇස් වලින් කාට හරි ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙන්න කියල, අර අක්ෂිදාන සංගමේ ෆෝම් එක පුරවල බාර දෙන්න  😂

(ප.ලි. මේකෙ mid credit සීන් එකක් තියෙනව. හැබැයි post credit සීන් එකක් නම් නෑ.)



එකෙක් Alien, අනිකා Predator !

පිටසක්වල ජීවියො කියල ජාතියක් තාම හොයාගෙන නැතත් එහෙම කිව්ව ගමන් අපේ ඔලුවෙ ඇඳෙන රූප දෙකක් තියෙනවා. එකක් Alien, ඒ කිව්වෙ ඒ නමින් ආපු ෆිල්ම් එකේ ඉන්න එකා. අනිකා Predator. 

මුල්ම ඒලියන් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නෙ, රිඩ්ලි ස්කොට්. ඒක ආදායම් අතිනුත් යම් දුරකට සාර්ථක වෙනව. හැබැයි 20th Century Fox ලට ලොකු උවමනාවක් එන්නෑ මේකට දෙවැනි එකක් හදන්න. ඒත් පස්සෙ ජේම්ස් කැමරන් අහනව මේකට දෙවෙනි කොටසක් කරන්න. ජේම්ස් කැමරන් ටර්මිනේටර් එහෙම හදල ඒක ගොඩක් සාර්ථක උනැයින් පස්සෙ , හා එහෙනං ඔයා හදන්න කියල ජේම්ස්ට දෙනව Alien දෙවෙනි එක හදන්න. ඉතිං ලද අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනය අරන්, ඒක ජේම්ස් සුපිරි විදිහට ගොඩ දානව. ආදායම් අතිනුත් සාර්ථක වෙනවා. ඉන් පස්සෙ ඒලියන් තුන් වෙනි එක හදන්නෙ ඩේවිඩ් ෆින්චර්. පස්සෙ හතරකුත් හැදෙනව. හැබැයි මේ තුන සහ හතර එච්චර හිට් වෙන් නෑ.  

ඔය අතරෙ ඒලියන් පස්වෙනි ෆිල්ම් එකක් හදන්න රිඩ්ලි ස්කොට්, ජේම්ස් කැමරන් ඇතුලු පිරිසක් සූදානම් වෙලා හිටියත්, FOX සමාගම ඔය කාලෙදි ප්‍රසිද්ධ කරනව ඉදිරියේ ඒලියන් සහ ප්‍රෙඩේට මික්ස් කරල ෆිල්ම් එකක් කරන බව.

ඔන්න ඔය කලවං කරන වැඩේට ජේම්ස් කැමරන් කොහෙත්ම කැමති වෙලා නෑ. ඔහු කියල තියෙන්නෙ , ඒ Crossover එකෙන්, ෆ්‍රැන්චයිස් එකේ වටිනාකම මැරිල යයි කියලයි. එයා ඒක සමාන කලේ යුනිවර්සල් සමාගම 1943 දී  Frankenstein Meets the Wolfman කියන ෆිල්ම් එක හරහා සිදුකල crossover එකටයි. ඔයින් මෙයින් ජේම්ස්, අර පස්වෙනි ෆිල්ම් එකක් හදන වැඩේ අත්ඇරල දාල පැත්තකට වෙනවා. ඒකෙන් ඒ වැඩේ එහෙම්ම යට යනවා. AVP ෆිල්ම් එක රිලීස් උනැයින් පස්සෙ (2004 දි), ඒක චිත්‍රපටයක් විදිහට හොඳ නිර්මාණයක් කියල ඔහු පිලිගත්තත්, ඒ කලවං කිරිල්ල නිසා, අනාගතයෙ ආපහු ඒලියන් ෆ්‍රැන්චයිස් එකට සම්බන්ධ නොවෙන බව තමා එයා කියල තියෙන්නෙ.

එතකොට රිඩ්ලි ස්කොට් මේ ගැන මොන වගේ අදහසක්ද දරන්නෙ?

අනේ එයා ඊට හපන්. Empire Magazine එකෙන් ඉන්ටර්විව් කරපු වෙලාවක එයාගෙන් අහනව ඔබතුමා AVP ෆිල්ම්ස් ගැන මොකද්ද දරණ අදහස කියල. එතෙන්දි රිඩ්ලි කියන්නෙ ඒ ෆිල්ම් එකක් වත් බලල නෑ කියලයි. ඒ කියන්නෙ ඒ තරමට කැමති නෑ 😂.

ඒත් ඉතිං චිත්‍රපට කියන්නෙ සල්ලි. ඒව හදන්නෙ අධ්‍යක්ෂවරුන්ට ඕනෙ විදිහට නෙවෙයි . අදාළ සමාගම් වලට ඕනෙ විදිහටයි. කොටින්ම අධ්‍යක්ෂවරයා කියන්නෙ සමාගමේ සේවකයෙක් වගේ. එයා මොකකට හරි බෑ කිව්වොත්, උබට බැරි නම් පලයං කියල වෙන එකක් දම්මල වැඩේ කරනව. සරලයි. 

ඒ අතින් බැලුවම නලු නිලියන්ට අධ්‍යක්ෂවරුන්ට වඩා බලයක් තියෙනවා. මොකද සමහර ෆිල්ම් හිට් වෙන්න ඒකෙ ඉන්න ප්‍රධාන නලු/නිලි චරිතයත් හේතුවක්. මේ ඒලියන් චිත්‍රපට සම්බන්ධයෙනුත් ඒක ඇත්තක්. මේකෙ තුන් වෙනි ෆිල්ම් එක හදන්න ඉඳලා තියෙන්නෙ රිප්ලි කියන ප්‍රධාන චරිතය නැතුව. ඒත් ෆොක්ස් සමාගම කැමති වෙලා නෑ ඒකට. රිප්ලිට රඟපාපු සිග්නි වීවර්ටත් උවමනාවක් තිබිලා නෑ කොටින්ම තුන් වෙනි එකක් කරන්න . පස්සෙ ඩොලර් මිලියන පහක් දෙන්නම් කියල ඊට පස්සෙ තමා හා කියල තියෙන්නෙ. ඊට පස්සෙ හතරවෙනි ෆිල්ම් එකේදි එයාගෙ ගාස්තුව ඩොලර් මිලියන එකොළහක් දක්වා ඉහළ දැම්මත්, ඒකත් දෙන්නම් කියල එයාවම අරං තියෙනවා . මොකද ෆිල්ම් එකේ වටිනාකමට, අනන්‍යතාවයට ඒ චරිතය අත්‍යාවශ්‍ය නිසා.

හරි, එනිවේ, ඊට පස්සෙ ආපහු prequel සීරීස් එකක් පටන් ගත්තනෙ රිඩ්ලි ස්කොට්ම මුල් වෙලා, ඕකෙ පළවෙනි එකනෙ Prometheus. ඒක ආදායම් අතින් සාර්ථක වුනා. හැබැයි ඒකෙ දෙවෙනි එක විදිහට ආපු Covenant ආදායම් අතින් අසාර්ථක වුනා. ඒත් කොහොම හරි දැන් මේකෙ තුන් වෙනි එකත් හදන්නලු යන්නෙ. ඒකෙ පිටපත ලියාගෙන යනව මේ දවස් වල. 

රිඩ්ලි ස්කොට් කියන විදිහට, මේ ෆිල්ම් එකේ කෙළවර, ඒලියන් පළවෙනි චිත්‍රපටයේ කතාවට සම්බන්ධ වෙනවා. ඒකෙන් ෆෑන්ස්ලාට තියෙන දැවෙන ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙයිලු.

ඒලියන් ෆෑන්ස්ලා ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් නෙ අර space jokey ඉන්න ship එක,  කොහොමද LV 426 ට ආවෙ කියන එක, ඒක කඩා වැටුනද ? නැත්තං land කලාද? අරු මළේ මක් වෙලාද..? වගේ දේවල්...

ඔන්න ඕවට පොඩි ඉඟියක් දීලා තියෙනවා රිඩ්ලි ස්කොට්, එයා කියන්නෙ ඒ යානාව කාගො ශිප් එකක් ලු. ඒක කඩා වැටිලා නෙවෙයි, යනාව ප්‍රවාහනය කරමින් තිබුණු දෙයක්, out of control ගිහින්, ඒක නිසා පයිලට්ට (space jokey) ඒක පාලනය කරගන්න අපහසු වෙලා, LV 426 කියන planetoid එක මතට crash landing එකක් තමාලු කරල තියෙන්නෙ. ඉතිං හරියටම සිද්ධිය මොකද්ද කියල බලාගන්න පුලුවන් වෙයි ඊලඟ ෆිල්ම් එකෙන්.

අහ්... එතකොට කෝ ප්‍රෙඩේට ? 

මෑතකදී නිල වශයෙන් කියල තියෙනවා , Alien franchise එකේ canon එකට, AVP ෆිල්ම්ස් සලකන්නෙ නෑ කියල. ඒක නිසා, Alien ෆිල්ම් වල ඉන්න ඒලියන්ල  AVP ෆිල්ම්ස් වලත්  හිටියත් උන් දෙක දෙකක් . පටලගන්න එපා. ඔරිජින් ස්ටෝරි හිටන් වෙනස්. හරිනෙ?




මොකද්ද මේ canon එක?

ඔය කොමික්, ෆැන්චයිස්, යුනිවර්ස් වගේ එකේකේව ගැන කතා කරනකොට එන ගැටලුවක් තමා ඒ ඒ කතා වල එක එක ජාති ගොඩක් තියෙනවා ඒ කියන්නෙ නවකතා පොත්, කොමික් පොත්, ටීවී සීරිස්, ඇනිමේටඩ් කාටුන්, ලයිව් ඇක්ෂන් ෆිල්ම් අරව මේව ගොඩයි. සමහර ඒවයෙ සමහර සිද්ධි එකිනෙකට ගැලපෙන්නෙ නෑ. ඒ කියන්නෙ කාටුන් එකේ මැරිච්ච එකෙක් පස්සෙ ෆිල්ම් එකේ ඉන්නව. කොමික් පොත් වල අබ්බගාත වෙච්චි එකා, ෆිල්ම් එකේ හොඳට ඉන්නව. ඔන්න ඔය වගේ.

ඒක නිසා මොකක් හරි ෆ්‍රැන්චයිස් එකක් ගත්තම ෆෑන්ස්ලා නිල වශයෙන් හඳුනා ගත යුතු කරුණු ටික, ඒක හදන්න මුල් වුනු කට්ටිය වෙන් කරල දක්වනව. අන්න ඒ ටිකට කියනව canon එක කියල.

ඒ කියන්නෙ මෙහෙමයි, අපි හැමෝම දන්න උදාහරණයක් ගමු. ශර්ලොක් හෝම්ස් ගැන අනන්ත අප්‍රමාණ කතා, කාටුන්, ටීවී සීරීස් අරව මේව හැදිල තියෙනවනෙ පස්සෙ. ඒත් ශර්ලොක් හෝම්ස් කතාවල canon එක විදිහට සලකන්නෙ, ආතර් කොනන් ඩොයිල් ලියපු, කෙටි කතා 56 සහ දිග කතා 4 තුළ තියෙන කරුණු විතරයි.  පස්සෙ එක එක ලේඛකයො ඒ චරිත පාවිච්චි කරල කතා ලිව්වට ඒවට "canonicity" දීල නෑ.... අන්න ඒ වගේ... 

තව උදාහරණයක් ගත්තොත්, Star Trek වගේ... 

Star Trek එකේ නිල වෙබ් අඩවියෙ, Star Trek canon එක විදිහට දක්වල තියෙන්නෙ,

"the events that take place within the episodes and movies" කියලයි. ඒ කියන්නෙ ටිවි සීරීස් එකේ  එපිසෝඩ් ටිකයි ආපු ෆිල්ම්ස් ටිකයි විතරයි. ඒ ඇරුණම තියෙන කොමික් පොත්, වීඩියෝ ගේම්ස් වගේ ඒවයෙ එන සිද්ධි, කැනොන් එකට අදාල නෑ.

හැබැයි ඔය කලින් කිව්ව Sherlock Holmes ගෙ canon එක ස්ථිර එකක් වුනාට, දැන් තියෙන ෆ්‍රැන්චයිස් වල කැනන් ස්ථිර නෑ. ඒ කියන්නෙ අලුත් කෑලි ඇඩ් වෙන්න පුලුවන් සහ තියෙන ඒව අයින් වෙන්නත් පුලුවන්. උදාහරණයක් විදිහට, මුලින්ම Star Trek කැනන් එකේ, Enterprise ship එකේ කැප්ටන්ට middle name එකක් තිබ්බෙ නෑ. නමුත් කැනොනයිස් විදිහට නොසලකන, Star Trek animated series එකේ, ඌට තිබුණු මැද නම Tibirius. පස්සෙ මේ නමේ මැද කෑල්ල, canonical කියල පිළිඅරගත්තා. ඒ අනුව Star Trek canon එක වෙනස් වුණා. ඒ කියන්නෙ දැන් ඒ කැප්ටන්ගෙ නම, James Tibirius Kirk. මුලින්ම තිබ්බෙ නිකං James Kirk විතරයි. 

මේ කැනන් කතන්දරේ තේරුම් ගන්න තව උදාහරණයක් ගමු. Star Wars. ඔය ෆ්‍රැන්චයිස් එක  2014 දි Disney ල මිලදී ගන්නවනෙ. ඊට පස්සෙ එයාලා ඕකෙ canon එක වෙනස් කරනව. ඒ අනුව අලුත් Star Wars official canon එක විදිහට සැලකෙන්නේ 2014 ට පෙර ආපු, ප්‍රධාන Star Wars චිත්‍රපට කිහිපය සහ The Clone Wars කියන CGI Cartoon එක පමණයි.  අනික් සියලු ටීවි සීරීස්, කොමික්, ගේම්ස් වගේ දේවල් වල එන කතාව නිල canon එකෙන් අයින් කලා. හැබැයි ඒ, 2014 කලින් ඒව. ඊට පස්සෙ එන ඒව canon එකට අදාලයි. ඒ වගේම, ඒක supervise කරන්න ඩිස්නිල වෙනම ගෲප් එහෙකුත් හැදුව, Lucasfilm Story Group කියල. එයාලගෙ වගකීම තමා මේ ඔෆීෂියල් කැනන් එක නඩත්තු කරමින්, පටලවගන්නෙ නැතුව සන්තතික බව රැකගෙන ඉදිරියට අරන් යන එක.

ඉතිං මොකද්ද ඔය canon එකේ තියෙන වැදගත්කම ? මෙහෙමයි, ඕනම කතා මාලාවක තියෙනවනෙ continuity එකක්. ඒ කියන්නෙ සන්තතික බවක්, නොහොත්, කලින් සිද්ධවෙච්ච දේවල් වර්තමානයට බලපානව වර්තමානය අනාගතයට බලපානව. ඉතිං ඔය ෆ්‍රැන්චයිස් එක නඩත්තු කරන පිරිස, ඒකෙ ඔය කිව්ව සන්තතික බව සම්බන්ධයෙන් වගකියන්නෙ, ඔය canon එක ඇතුලෙ කියල සලකන සිද්ධි වලට විතරයි. 

හරිනෙ? ඒ කියන්නෙ ෆ්‍රැන්චයිස් එකේ දෙවැනි ෆිල්ම් එකේ යම් චරිතයක් මළා නම්, තුන්වෙනි ෆිල්ම් එකේදි ඌ මැරිලා කියන එක බලපැවෙත්වෙනව. ඔය අතරෙ ඒ ෆ්‍රැන්චයිස් එකේම canonical නොවෙන කතාවක ඒ චරිතය පණ පිටින් ඉන්න පුලුවන්...

ඔය canon කියන එකටම ලඟින් යන පදයක් තියෙනවා fanon කියල. Fan fiction වලින් නොහොත් රසික සමාජය විසින් අර ෆ්‍රැන්චයිස් අලලා නිර්මාණය කරන කතා වලින්, ගොඩක් ප්‍රබල ලෙස ෆෑන්ස්ලා අතරෙ පිලිගැනීමක් තියෙන කරුණු වලට තමා මේ නම කියන්නෙ. හැබැයි ඒව canon කියල සැලකෙන්නේ නම් නෑ. නමුත් canon තරම්ම ප්‍රබලයි කියල පෙන්නන තමා fanon කියල දාගෙන තියෙන්නෙ . 

තව දෙයක්... ඔය canon, fanon මොන කතා කිව්වත්, ඔය වගේ ෆ්‍රැන්චයිස් වල, අපි අපි අපේ ඔලුව ඇතුලෙ හදාගත්තු කතාවක් තියෙනවනෙ... ඒ කියන්නෙ අපි පිළිගන්න ටික, නොපිළිගන්නා ටික සහ පුද්ගලිකව අපිටම කියල හදාගත්තු ෆෑන් තියරි අරව මෙව්ව... ඔන්න ඔය විදිහට රසිකයෙක් තමන්ගෙ ඔලුවෙ තමන්ටම කියල හදාගන්න එකට කියන්නෙ, "headcanon" කියලයි. ඒ කියන්නෙ අදාළ ප්‍රබන්ධය පිලිබඳ පුද්ගලික නිර්වචනයක් වගේ දෙයක්...



Aquaman ෆිල්ම් එකේ ඒ අය වතුර යට කතා කරන්නෙ කොහොමද?

කෙනෙක් ප්‍රශ්නයක් අහල තිබ්බා අර Aquaman ෆිල්ම්  එකේ ඒ අය වතුර යට කතා කරන්නෙ කොහොමද , ඒක නිකං අවුල් වගේ කියල. ඉතිං ගොඩක් අය එයාට දොස් කියල තිබ්බා, ඌට කොමික් තේරුම් ගන්න බැරිය, කොමික් කියන්නෙ ඔහොම තමා ඒවා වලින් "තාත්ත්වික දේවල් බලාපොරොත්තු වෙන්න එපා කියල " 

ඇත්තටම මේ අහපු ප්‍රශ්නය සාධාරණයි. (හරි කියල නෙවෙයි කියන්නෙ, සාධාරණයි කියල ), දීලා තියෙන උත්තරේ තමා වැරදි .

ඔය ප්‍රශ්නය සැලකුවොත්, ඕක මේ මෙහෙ අයට විතරක් ආපු ගැටලුවක් නෙවෙයි, ඔයාලට මතක නම් Justice League එකේ පොඩි කෑල්ලක් තිබ්බා, වතුර යට කතා කරන. ඒකෙදි එයාල කලේ වතුර යට කතා කරන්න කලින්, air bubble එකක් හදල ඒ චරිත ඒකෙ ඇතුලෙ ඉඳන් තමා ඒ ඩයලොග් කිව්වෙ. ඒත් ඇත්තටම ගොඩක් ෆෑන්ස්ලා මේක විකාරයක් විදිහට දැක්කෙ සහ, එයාලා කිව්ව ඉදිරියේ එන Aquaman සොලෝ ෆිල්ම් එකකදිත් මේ ක්‍රමේ පාවිච්චි කරන්න ගියොත්, ඒ කියන්නෙ කතා කරන කරන සැරේට air bubble හදන්න ගියොත් ඒක අවුලක් වෙයි කියල. 

ඉතිං Aquaman හදන්න කියල James Wan ට බාර දුන්නම එයාටත් ඔය ප්‍රශ්නයම යොමු වුනා. එතෙන්දි එයා කිව්වෙ, "බය වෙන්න එපා, ඇක්වමෑන් එකේදි එයා බබල් පාවිච්චියක් නෑ" කියලයි.

එතකොට කොහොමද උන් කතා කරන්නෙ? 

ජේම්ස් ආපහු කිව්වෙ, "people are overthinking it, they are just gonna talk" කියල. ඒ කියන්නෙ "වැඩිය හිතන්න එපා, උන් නිකම්ම කතා කරනව එච්චරයි" වගේ අදහසක්නෙ... 

ඇත්තටම Aquaman චිත්‍රපටයේ එන ඇට්ලැන්ටිස්වරු, වතුර යට කතා කරන්නෙ කොහොමද කියන එක ගැන අපි වැඩිය හිතන්න ඕනෙ නෑ තමා. මොකද ඒකට සරල හේතුවක් තියෙනවා. 

හැබැයි මේකට උත්තරේ, "ඒව කොමික්නෙ , ඒව ඒම තමා, ඒව වලින් තාත්ත්වික දේවල් බලාපොරොත්තු වෙන්න එපා" වගේ එකක් නෙවෙයි.  ඔක්කොම පටලගත්තු අය තමා එහෙම උත්තර දෙන්නෙ. කොමික් තියා මොන ෆිල්ම් එහෙක උනත්, කතාව ඉදිරිපත් කරන රාමුව තුළ, (සන්දර්භය තුළ ) ඔය වගේ ප්‍රශ්න වලට උත්තර තියෙන්නෙ ඕනෙ. ඒක ෆිල්ම් එකක්නෙ ඉතිං කියන එක උත්තරේ නෙවෙයි.

ඒ අනුව බැලුවම සුපර්මෑන්ට පියාඹන්න පුලුවන් කොහොමද? කියල ඇහුවම, ඒකට උත්තරේ, "ඉතිං ඒක කොමික්නෙ , කොමික් වල ඒම තමා , ඒවා තාත්ත්වික නෑ තමා ..." එහෙමද?

නෑනෙ. 

සුපර්මෑන් කියන්නෙ පෘථිවියට අයිති කෙනෙක් නෙවෙයි. ඌ ක්‍රිප්ටෝනියන් කෙනෙක්. ඉතිං පෘථිවියේ ගුරුත්වාකර්ෂණය වගේ දේවල් එයාට defy කරන්න පුලුවන්. අන්න ඒකයි "උත්තරේ"...  කතාවෙ පසුබිමෙන්, සන්දර්භයෙන්, රාමුවෙන් දීලා තියෙන උත්තරේ. හැබැයි ඔතනිනුත් එහාටත් ගිහින් ඒම කෝමද වෙන්නෙ? ඒක විද්‍යාත්මකව පහදන්න? වගේ අහනවනම් මොකෙක් හරි අන්න එතන අවුලක් තියෙනවා. ඌට තියෙන්නෙ ෆැන්ටසි අජීර්ණ තත්ත්වයක් . ඒවට බේත් නෑ... 

හරි , ඉතිං ඒ අනුව බැලුවම , ඔය Aquaman සම්බන්ධයෙනුත් අර ජේම්ස් කිව්ව වගේ ඕනවට වැඩිය හිතන්න ඕනෙ නෑ. Aquaman වල ඉන්න atlanteans ලට වතුර යට කතා කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ, උන් ඇට්ලැන්ටිස්වරු නිසා. ඒක උන්ගෙ ලෝකෙ. උන් මිනිස්සු වගේ පෙනුනට, උන් ඇත්තටම ගොඩබිමට අයිති ජීවීන් නෙවෙයිනේ. උන්ට වතුර යට හුස්ම ගන්න පුලුවන් වගේ, වතුර යට කතා කරන්නත් පුලුවන්. 

සරලව හිතන්න තියෙන්නෙ, ගොඩබිම ඉන්න අපිට කතා කරනකොට ශබ්ද ගමන් කරන මාධ්‍ය විදිහට වාතය තියෙනවා වගේ, ඇට්ලැන්ටිස් වලදි වතුර මාධ්‍ය විදිහට තියෙනවා එච්චරයි. එතනින් එහාට හිතන්න ඕනෙ නෑ.

හැබැයි  ඒක ප්‍රශ්න කරන එක අසාධාරණ නෑ. එහෙම තමා බොක්කෙ ෆෑන්ස්ලා.

හැබැයි ඕවගෙ ප්‍රශ්න වලට උත්තර විදිහට, ඉතිං එව්ව කොහොමත් බොරුනෙ, ඒව කොමික්නෙ... ඒව අතාත්විකයිනෙ කියන අයට කියන්න තියෙන්නෙ, හදවතට තට්ටු කරල අහන්න උඹල ඇත්තටම ෆෑන්ස්ලද? යටි හිතේ ඔය වගේ අදහස් තියාගෙන ?

තමන් ආදරය කරන දෙයක් තියෙනවා නම්, "ඒක බොරුවක්නෙ කොහොමත් ඉතිං" කියල පැනල යන එක නෙවෙයි කරන්න ඕනෙ, ඒකට

හොඳ පැහැදිලි කිරීමක් කොමික් වලින්ම සපයන එක ....

(ප.ලි. මේ සටහන ෆිල්ම් එක බලන්න කලින් ලියපු එකක්, ඉතිං ෆිල්ම් එක බැලුවනං දන්නව ඇති, ඇත්තටම මේකට ඉතා පැහැදිලි උත්තරයක් චිත්‍රපටය තුලම දෙබසක් විදිහට ලබාදෙනවා.... )



චරිත ජාති...

 චිත්‍රපට වල වීරයො ඉන්නව ඒ වගේම දුෂ්ටයොත් ඉන්නව. ඒ වගේම දැන් දැන් අලුතින් එන එව්වයැ ඉන්නව Anti-hero ල කියල ජාතියකුත්. අලුතින් කිව්වට මේ Antihero නොහොත් "ප්‍රතිවීර" චරිත සිනමාවට අලුත් දෙයක්මත් නෙවෙයි. හොලිවුඩ් වල නම් 1960 ගණන් වල ආපු ෆිල්ම් වලත් මෙහෙම අය ඉඳල තියෙනවා [උදා. Fistful of Dollars (1964) චිත්‍රපටයේ Man with No Name කියන චරිතය]. 

මේ මෑතකදී ආපු  superhero වර්ගයේ ගොඩක් ෆිල්ම්ස් වල වීරයො, ඇත්තටම වීරයො නෙවෙයි, ප්‍රතිවීරයො බව තමා පේන්නෙ. ෆිල්ම් එකක ඉන්න ඒ "වීරයා" ඇත්තටම වීරයෙක්ද නැත්තං ප්‍රතිවීරයෙක්ද කියල හඳුනගන්න පුලුවන් පහසුම විදිහ නම් ඉතිං උදාහරණ ටිකක් අධ්‍යයනය කරන එක තමා. හොඳම උදාහරණයක් තමා Deadpool. ඊට අමතරව Venom, Wolverine, Ghost Rider වගේ අයත් සලකන්න පුලුවන්. දැන් මේ අයගෙ ලක්ෂණ සලකල බැලුවම පේනවා, මෙයාලගෙ හිත හොඳ වුනත්, මෙයාල කරන වැඩ අපි දන්න සදාචාරයට විරුද්ධ බව. ඒ වගේම මේ කට්ටිය වැඩි දෙනෙකුගෙ පෙනුමත් ටිකක් අවුල්. අනික සාමාන්‍ය සුපර් හීරෝ කෙනෙකුට වගේ ළඟා වෙන්න බලාපොරොත්තු වෙන අවසන් යහපත් අරමුණකුත් නෑ. එහෙම යහපත් වැඩකට එකතු වෙන්න ලොකු උවමනාවකුත් නෑ. (මතකනෙ අර ප්‍රොෆෙසර් එක්ස් සමඟ මැග්නීටො ඇවිත්, අපිට එකතු වෙනවද කියල Wolverine ගෙන් ඇහුවම ඌ දෙන උත්තරේ) බොහෝවිට මෙයාල වැඩ කරන්නෙ තමන්ගෙම ආත්මාර්ථය පිණිස මිසක්, පොදුජන යහපත පිණිස නෙවෙයි. තවත් හොඳ උදාහරණයක් තමා, කැප්ටන් ජැක් ස්පැරෝ. මිනිහත් ඔය වගේනෙ. එයා කරන වැඩ වලින් ගොඩක් අය අමාරුවෙ වැටෙනව. ඌත් ඇතුලුව. කිසි වගකීමක් නෑ. උගේ ටීම් එක උනත් සෙනිකව පාවල දෙයි අවස්තාවක් ආවොත්. ඒත් මොකක්දො හේතුවක් නිසා, අපි, ඒ කියන්නෙ ප්‍රේක්ෂකයො ඉන්නෙ උගෙ පැත්තෙ. අපි කැමති ඌ දිනනවට. 

ඔය ප්‍රතිවීරයො ලඟින්ම යන තව කොටසක් ඉන්නව, Anti villains ල කියල. ඒ කියන්නෙ "ප්‍රති දුෂ්ටයො". මුන් ඇත්තටම අර ප්‍රති වීරයින්ගෙ පරස්පරය කිව්වනම් හරි. මේකත් පැහැදිලි කරගන්න ලේසියෙන් පුලුවන් උදාහරණ සැලකුවාම. X Men ෆිල්ම්ස් වල ඉන්න මැග්නීටො, Pirates of the Caribbean වල ඉන්න කැප්ටන් හෙක්ටර් බාබෝසා වගේ අය ප්‍රතිදුෂ්ට චරිත ලෙස සලකන්න පුලුවන්. ඒ කියන්නෙ චිත්‍රපටය තුළ දුෂ්ටයෙක් ලෙස අපි හඳුනා ගත්තත්, කතාව යද්දි අපිට තේරෙනව, මූ නරක වැඩ කළාට උගෙ හිත (පපුව) හොඳයි කියල. ඒ වගේම වෙනත් පොදු සතුරෙක් මර්දනය සඳහා, චිත්‍රපටයේ වීරයා සමඟ සන්ධානගතවීමක් දකින්නත් පුලුවන් සමහර අවස්තා වලදී.  

ප්‍රති දුෂ්ටයන්, චිත්‍රපටය තුළදී දුෂ්ටයා විදිහට පෙනී සිටියත්, ඔවුන්ගේ අර්ථයෙන් ගත්තම, එයාලගෙ සටන පිරිසිදු  පරමාර්ථයක් පිණිසයි.

තවත් චරිත වර්ගයක් තියෙනවා, මෙයාල වීරයො කියල හරියටම කියන්නත් බෑ, දුෂ්ටයො කියල හරියට අඳුරගන්නත් අමාරුයි. කොටින්ම කලුත් නෑ සුදුත් නෑ. ඒ කියන්නෙ අලු වගේනෙ? අන්න ඒ වගේ දිවිත්ව ලක්ෂණ පෙන්නන චරිත, Grey Zone එකේ ඉන්න චරිත කියල හඳුන්වනවා. මේ අයව නිර්මාණය කරල තියෙන්නෙම, වීරයෙක්ද දුෂ්ටයෙක්ද කියල තීරණයක් ගන්න අපහසු වෙන විදිහටයි. ප්‍රේක්ෂකයන්ට තනි තනිව තමන්ට හිතෙන හැටියට ඒක තීරණය කරගන්න පුලුවන්. මේ වගේ චරිතයකට උදාහරණයක් විදිහට, V for Vendetta ෆිල්ම් එකේ V කියන චරිතය සලකන්න පුලුවන්.

මේ ජාති වලට ටිකක් ලඟින් යන තව චරිත වර්ගයක් තියෙනවා, foil characters කියල. මේ චරිත චිත්‍රපටවල පාවිච්චි වෙන්නෙ, වෙනත් ප්‍රධාන චරිතයක තියෙන ලක්ෂණ උද්දීපනය කරල පෙන්නන්න, මුක්කුවක් වගේ. ඒකටත් උදාහරණයක් ගමු. හැරී පෝටර් ෆිල්ම්ස් වල එන ඩ්‍රේකෝ මැල්ෆෝයි කියන්නෙ, ඒකෙ ප්‍රධාන සුදු චරිතය වන හැරී පෝටර්ගෙ චරිතයෙ යහපත් ගුණ උද්දීපනය කරන්න යොදාගත්තු foil character එකක්. කතාව තුළදී බොහෝවිට මේ චරිත දෙකට සමාන අවස්තාවන් වලට මුහුණ දෙන්න වුනත්, ඒ අවස්තා වලදී, හැරී යහපත්/නිවැරැදි මාවත තෝරගන්නව. ඩ්‍රේකෝ යන්නෙ වැරදි පාරෙ. හැබැයි එහෙම වැරදි පාරකුත් තියෙනවා‍ය, හැරීට ඒකෙත් යන්න තිබ්බාය කියල අපිට ඒත්තු ගන්නන්න තමා ඩ්‍රේකෝව යොදාගන්නෙ. ඒකෙන් හැරීගෙ යහපත්කම වඩාත් ඔපමට්ටම් වෙලා පේනව. 

ඇත්තටම මේ foil කියන වචනය අරං තියෙන්නෙ මෙහෙමයි; මැණික්, ඇලුමිනියම් ෆොයිල් වල එතුවම ඒවයෙ පෙනුම වඩාත් හොඳට ඔපේට පේනවලු. ඉතිං අන්න ඒ වගේ සිද්ධියක්නෙ මෙතෙන්දිත් වෙන්නෙ. ඒකලු මේ නම යොදාගන්නෙ.

මේ චරිත එක එක විදිහට වර්ග කරන්න උත්සාහ කලාට, වඩාත් මිනිස්සුන්ට "දැනෙන"  විදිහට චරිතයක් නිර්මාණය කරන්න නම්, අමු වීරයෙක් වෙන්නවත්, අමු දුෂ්ඨයෙක් වෙන්නවත් කොහොමත් බෑ. ඒක නිසා දැන් දැන් හැදෙන චිත්‍රපට වල චරිත, ඉරක් ගහල වෙන් කරල මොකක් හරි ගොඩකට  (වීරයෙක්, දුෂ්ඨයෙක්, ප්‍රති වීරයෙක් හෝ ප්‍රතිදුෂ්ඨයෙක් වගේ)  දාගන්න උත්සාහ කරනවට වඩා ලේසියි, තමන්ට පුද්ගලිකව දැනෙන විදිහට චරිතය තේරුම් අරං ඌත් එක්ක ඒ පැත්තෙ හිටගන්න එක. ඕකට දෙන්න පුලුවන් හොඳ උදාහරණයක් විදිහට  IW එකේ Thanos සලකන්න පුලුවන්.



Dallas හීනය

 Dallas කියන්නෙ 1978 ඉඳල 1991 දක්වා ඇමරිකාවෙ CBS නාලිකාවෙ විකාශනය වෙච්චි ටීවි සිරීස් එකක්. සීසන් 14 ක් පුරා විසිරුණු එපිසෝඩ් 357 ක් සහිත මේ ටීවී සීරීස් එක ඇමරිකන් ටෙලි ඉතිහාසයේ දිගින් වැඩිම ටෙලිනාට්‍ය අතරින් එකක් විදිහටයි සැලකෙන්නේ. 

ඉතිං මේකෙ පොඩි විශේෂත්වයක් තියෙනවා. සීසන් 9 ඉවර වෙලා, සීසන් 10 එකේ පළවෙනි එපියෙදි ප්‍රේක්ෂකයන්ට දැනගන්න ලැබෙනවා, ඒකෙ සම්පූර්ණ සීසන් 9 එකම, ඒ කතාවෙ එන ඒ පවුලේ පුතාගෙ බිරිඳ දැකපු හීනයක් කියන එක! 

ඇත්තටම වෙන්නෙ, ඒ පුතාගෙ චරිතය කරන නලුවට ඕනෙ වෙනව ඒ කතාවෙන් අයින් වෙන්න. ඒක නිසා සීසන් 8 එකේ අන්තිම එපියෙ ඌ මැරනව. ඊට පස්සෙ සීසන් 9 එක සම්පුර්ණයෙන්ම දුවන්නෙ ඌ නැතුව. මැරිලනෙ ඉතිං ... හැබැයි ඔය කාලෙදි ෂෝ එකේ රේටින්ග්ස් බහිනව. පස්සෙ අරූට ආපහු කතා කරනව එන්න කියල. ඒකෙන් අයින් උනැයි කියල මහලොකු සෙතක් අර නලුවටත් උනේ නැති නිසා ඌත් හා කියල ආපහු ජොයින් වෙනව. 

දැන් ඕක ප්‍රේක්ෂකයන්ට කොහොමද කියන්නෙ? හරි සරලව, ඒක අර පැමෙලා කියන ඒ මිනිහගෙ බිරිඳ දැකපු හීනයක්ය කියල සීසන් 10 එකේ මුල් එපියෙදි කියල දානව... 

පව් අර සීසන් 9 එක තොල කට ලෙව කකා බලපු උන්...

ඉතිං ෆ්‍රෙන්ස්... ඇමරිකාවෙ මෙහෙම උනත් ලංකාවේ මෙහෙම වෙන්නෙ නෑ ... මේ වගේ "ටීවී සීරීස්" මෙහෙ නෑ. අපි ඊට වඩා සෑහෙන්න දියුණුයි. 😂😂



The Lovely Bones

 මෑතකදී වෙච්චි ඔය මිනීමැරීම් අරව මෙව්ව එක්ක, මීට කාලෙකට කලින් බලපු චිත්‍රපටයක තිබුණු එක වචන පේලියක් නිතර නිතර මතක් වුනා. ඊට කලින් ඒ ෆිල්ම් එක මොකද්ද කියල කියන්නම්, The Lovely Bones. 

මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ පීටර් ජැක්සන්. ඒත් ඒ නම කිව්ව ගමන් අපිට මතක් වෙන්නෙ ඔය ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වගේ ලොකු ලොකු ෆිල්ම්නෙ. හැබැයි මේ ෆිල්ම් එක ඒ ජාතියෙ නෙවෙයි. මේක යන්නෙ ගෑනු ළමයෙක් ගැන. හැබැයි ෆිල්ම් එක පටන් ගද්දිම එයා මැරිලා. ඒ මැරුණු ගෑනු ළමයගෙ ආත්මෙ තමා අපිට කතා කරන්නෙ. 

ඉතිං එහෙම කතා කරල කියපු වාක්‍යයක් තමා මතක් වෙන්නෙ:

"I remember the relief. We weren't those people, those unlucky people, to whom bad things happened for no reason." 

සිංහල තේරුම නිකං , "මට මතකයි , අපි කිසි හේතුවක් නැතුව නරක දේවල් සිදුවෙන අවාසනාවන්ත මිනිස්සු නෙවෙයි කියල හිතමින් විඳපු ඒ සැනසිල්ල" වගේ දෙයක් නෙ...

ඉතිං ඔන්න ඔය වාක්‍යය අහපු දවසේ ඉඳල, මේ රටේ මොකක් හරි කාලකණ්ණි දෙයක් සිද්ධවෙලා ඒක ටීවී එකේ පෙන්නද්දි, ඒ සිද්ධියට මුහුණ දීපු උන්, නොහොත් වින්දිතයො ටික හඬා වැලපෙමින් කැමරාවට දුක කියද්දී , මට ඕක මතක් වෙනවා. 

ඉතිං ඒ අඬන උනුත් තමන් ගැන, තමන්ගෙ පවුලේ සමීපතමයන් ගැන හිතන් ඉන්න ඇත්තෙ ඔහොම නේද? ඒත් දැන් මොකද වුනේ? ඒක මතකයක් වෙලා උන්ට. 

හැබැයි තාමත් ඔබට මට ඒක I remember .... කියල පටන් ගන්න වාක්‍යයක් වෙලා නෑ. එහෙම නොවෙන්න කියල ප්‍රාර්ථනා කරමු. 

හරි ආපහු පොඩ්ඩක් එමු ෆිල්ම් එකට. ඇත්තටම මේක අනිවාර්යයෙන් බලන්න කියල යෝජනා කරනව ඔබ තාමත් මේක බලල නැත්තං. මොකද මේ ෆිල්ම් එක මිනීමැරුමක් ගැන තිබ්බට නිකං ත්‍රිලර් එකක් නෙවෙයි. මොකද පටන් ගනිද්දිම මැරිලා ඉවරයි. ඊට පස්සෙ වෙන ටිකයි කතාව. බැලුවොත් ජීවිත කාලෙටම මතක හිටින කතාවක් වෙයි.... 

මේත් එක්කම මතක් වෙන තව දෙයක් තියෙනවා. ඔය වගේ මිනීමැරුම් වුනාම අපි හැමෝම අමතක කරන එක පාර්ශවයක් ඉන්නව ඒ තමයි චූදිතයා නොහොත් මිනීමරුවා. ඒ කියන්නෙ අපිට ඌව මතක් වෙන්නෙ බනින්න විතරයි. දැන් අර කලින් ෆිල්ම් එකේදි කිව්ව වගේ අපි කොච්චර සාන්ත දාන්තව මේ සමාජෙ හිටියත්, මොකක් හරි නරක දෙයක් සිද්ද වෙලා, පහුවදා ගොසිප් සයිට් වලයි නිව්ස් වලයි අපේ මූණ පෙන්නන්න යම් ඉඩක් තියෙනවා. හැබැයි ඒ වින්දිතයො විදිහටම නෙවෙයි. සමහර විට, ඒ සිද්ධියෙ චූදිතයා ඔබ වෙන්නත් පුලුවන්. ඒ කියන්නෙ මිනීමැරුමක මිනීමරුවා ඔබ වෙන්න බැරි නැද්ද? 

නෑ නෑ අපි නම් නිවුනු තැන්පත් මිනිස්සු... අපි දහම් පාසල් ගිය ළමයි... එහෙමද? ඒත් මට නම් හිතෙන්නෙ, අපේ ජීවිතවල, අපේ දිවි දෙවැනි කොට රකින, ආදරේ කරන මොකක් හරි දෙයක් අපිට බාහිරින් තියෙනවා නම්, අන්න ඒක නිසා අපිව මිනීමරුවෝ වීමේ යම් සම්භාවිතාවක් තියෙනවා කියලයි. මෙන්න මේ කතාව හොඳට තේරුම් ගන්න පුලුවන් අර ටොම් කෲස් ඉන්න Minority Report ෆිල්ම් එක බැලුවම. රටේම ඉන්න අපරාධකරුවො අපරාධ කරන්නත් කලින්ම අල්ල අල්ල හිටපු මිනිහට අන්තිමට මොකෝ වෙන්නෙ... දන්නෝ දනිති. 

එනිවේ , අවසන් වශයෙන්, ඔය වගේ කැත සිද්ධි වලින් අපි සම්පුර්ණයෙන්ම ආරක්ෂිතයි, අපි නම් ඕවෑ වින්දිතයො හෝ චූදිතයො වෙන් නෑ... අපි යහපත්නෙ... කියල හිතන් ඉන්නව නම් ඉතිං ඒක හුදෙක්ම ෆැන්ටසියක් විතරයි.

අපිට මේව නතර කරන්න බෑ. 

අර හැරී පෝටර් හතර වෙනි ෆිල්ම් එකේ, ඇලස්ටර් මූඩි නිතරම හැරීට කියන දෙයක් තියෙනවා , constant vigilance කියල... ඒ කියන්නෙ නිරන්තර අවධානයෙන් ඉන්න කියන එක. එච්චරම තමා අපිටත් කරන්න  පුලුවන් ඉතිං.



"යහපත් පණිවිඩයක්"....

Originally posted on Facebook on 2018/11/25

අර පිහියෙන් ඇනපු එකට ඒ කොලුවා බලපු නාට්‍ය හෝ චිත්‍රපට වල මොකක් හරි බලපෑමක් තිබුන කියල ඇත්තටම හිතනවද?

ගත් කටටම නෑ කියල කියන්නත් බෑ. මොකද අපි බලන අහන ඔය කලා නිර්මාණ වලින් අපේ චින්තනයට කිසිම විදිහක බලපෑමක් වෙන්නෙ නෑ කියල කියන්නත් බෑ. 

හැබැයි මට දැනෙන විදිහට නම්  ඕකට අර දෙවැනි ඉනිමෙ නම් මෙලෝ සම්බන්ධයක් තියෙන්නෙ විදිහක් නෑ. ඇත්තටම ඒ නාට්ටෙ කොහෙ හරි තැනක පිහියකින් ඇනල ප්‍රශ්නයක් විසඳනව පෙන්නුවද? හැමදාම බලන්නෙ නැති නිසා දන්නෑ. ඔන්න එහෙම හරි පෙන්නල තිබ්බ නම් තර්කයක් ගේන්න තිබ්බ ඔන්න ඒක බලල ඉගෙනගෙන කලා කියල (ඒකත් හුදෙක්ම කෘතිම  තර්කයක් විතරයි. ඔප්පු කරන්න බෑ) 

කොහොමත් ඕක සාකච්ඡා කරන්න තරම්වත් වටින මාතෘකාවක් නෙවෙයි . ටෙලිනාට්‍ය චිත්‍රපට වල පෙන්නන ඔය වගේ සීන් බලල එහෙම ඒව කරන්න පෙලඹෙනව නම් ඒක අදාල මනුස්සයගෙ බුද්ධියෙ අවුලක් මිසක් නිර්මාණයෙ අවුලක් නෙවෙයි. 

සමහර අය කියනව ඉස්සර ටෙලිනාට්‍ය වලින් සමාජයට යහපත් පණිවිඩ දුන්නය දැන් එහෙම ඒව නෑ කියල. මේ කාරණේ ඇත්තක් තිබ්බත්, ඒක චෝදනාවක් විදිහට කරන්න බෑ. මොකද මොකක් හරි නිර්මාණයකින් සමාජයට "යහපත් පණිවිඩයක්" දෙන්න ඕනය කියල කිසිම නිර්මාණකරුවෙක් බැඳිල නෑ. පණිවිඩයක් ලැබෙන්නත් පුලුවන් නොලැබෙන්නත් පුලුවන් . හැබැයි කලාකරුවෙකුට සදාචාරාත්මක වගකීමක් තියෙනවා තමන්ගෙ නිර්මාණය තුලින් සමාජයට අයහපතක් වෙන පණිවිඩයක් නොදී ඉන්න.

දැන් ලංකාවේ යන ටෙලිනාට්‍ය වලින් යහපත් හෝ අයහපත් කිසිම පණිවිඩයක් දෙන්නෙ නෑ. ඒව නිකං ඇල්වතුර වගේ. එකක් වත් යන්තං වත් හිතට වදින්නෙ නෑ. මට දැනෙන හැටියට නම් බහුතරයක් මිනිස්සු ඒව බලන්නෙ හුදෙක්ම රෑට මොනා හරි ටීවි එකේ බලන්න ඕනෙ නිසා. ඔහේ පෙන්නන එක බලන් ඉන්නව.

දැන් අර පණිවිඩ කතාවට ආපහු ගියොත් , ඉස්සර නම් ටෙලිනාට්‍ය කිහිපයක්ම ගියා හොඳ පණිවිඩ සමාජගත කරපු. (නැවතත් කියන්නෙ පණිවිඩයක් දීම අනිවාර්ය නැත) ඒ අතරින් හොඳටම මතකෙ රැඳිල තියෙන්නෙ සසන්ති ජයසේකරයි රොෂාන් රවීන්ද්‍රයි හිටපු නාට්‍යයක් ගියා මට නම මතක නෑ . ඒකෙ තිබ්බෙ, ඉතාම සුලු සිද්ධියක් කේන්තිය නිසා දුරදිග ගිහින් පිහිඇනුමකින් කෙලවර වෙලා , අහක හිටිය අහිංසක මනුස්සයෙක් අන්තිමට ජීවිතෙන් වන්දි ගෙවන සිද්ධියක් . 

දැන් කවුරු හරි කිව්වොත් , පිහි ඇනුම් පෙන්නන නිසා තමා පිහියෙන් අනින්නෙ කියල, මේ නාට්ටෙ පිහියෙන් අනින සීන් එක පෙන්නන්න වෙන් නෑ. නමුත් එහෙම මොට්ටපාල විදිහට කලා නිර්මාණ දිහා බලන්න හොඳ නෑ . සම්පූර්ණ කතාව දිහා බලලයි ඒක කියන්න ඕනෙ. 

කතාවක සම්පූර්ණ සිද්ධිය අවබෝධ කරගන්නෙ නැතුව කෑලි කෑලි අරං ඒව වාරණය කරන එක මෝඩ වැඩක් . අර මත්පැන් පානය කරන , දුම් බොන සීන් වුනත් එහෙමයි. ඒකට හොඳම උදාහරණයක් Requiem for a Dream චිත්‍රපටය. ඒක බලල තියෙන අය දන්නව ඇතිනෙ. දැන් ලංකාවේ සුචරිතවාදීන්ට ඕක පෙන්නුවොත් කියයි හපෝ ඕක කුඩු ගැන ෆිල්ම් එකක් නේ.. ඕක තහනම් කරන්න ඕනෙ කියල. ඕවගෙ ඒව නිසා තමා තරුණ පරපුරට මේම මේම වෙලා තියෙන්නෙ කියයි. 

දැන් අර පණිවිඩ කතාවට ආපහු පොඩි දෙයක් කියන්නම්. මේ ලඟදි බලපු චිත්‍රපටයක කතාව තිබ්බෙ ස්ත්‍රී දූෂණයක්. චිත්‍රපටය පුරාවටම තියෙන්නෙ , කොල්ලා තමන්ගෙ කෙල්ලව දූෂණය කරපු එකාව හොයාගෙන ගිහිල්ලා පලි ගන්න සිද්ධිය. ඒත් අන්තිමට පෙන්නන විදිහට ඌටමයි කෙල වෙන්නෙ. ඇත්තටම දූෂණය කරපු එකා යහතින් පැත්තක ඉන්නවා පෙන්නනව. එතනින් ෆිල්ම් එක ඉවරයි . දැන් මොකද්ද ඒකෙ "පණිවුඩේ"? අන්න ඒක තමා කියන්නෙ චිත්‍රපට වලින් පණිවිඩ දීම අනිවාර්ය නෑ. හුදෙක්ම නිර්දය යතාර්ථය ඉදිරිපත් කරන්නත් පුලුවන්.



 

Wednesday, November 11, 2020

Seven Worlds, One Planet (2019)

මේක ඉතිං ආවම බලනවාමයි කියල හිතාගෙනම හිටපු එකක්... ඔන්න අද බලන්න ගත්තා. ඇත්තටම පට්ටම ලස්සනයි. මේ ග්‍රහලෝකෙ ගැන ඇත්තටම ලොකු ආදරයක්, ගෞරවයක් ඇති වෙනව මේක බලද්දි  සහ මිනිස්සු කොච්චර ආත්මාර්ථකාමීද කියල දැනෙනවා. 

මම තාම බැලුවෙ ආක්ටික් එකට අදාල එක විතරයි. මේකෙ මහාද්වීප හතට අදාලව කොටස් හතක් තියෙනවා. ඒ හැම එකක් අන්තිමේදීම ඒ එපිය හදන්න BBC Natural History Unit එකේ කට්ටිය වෙච්චි මහන්සියත් ටිකක් පෙන්නනවා...

මේ සීරීස් එක හදන්න එක්දාස් පන්සීයක විතර පිරිසක් දින 1794 ක් ලෝකේ රටවල් හතලිස් එකක් පුරා රූගත කිරීම් කරල තියෙනවා. ඒ සමහර දර්ශන කොහොම රූගත කලාද කියල හිතාගන්නත් අමාරුයි.

ඉතිං මේ ආක්ටික් කලාපයට අදාල රූගත කිරීම් වල කොටසක් විදිහට රාජකීය පෙන්ගුයින් සහ යෝධ සීල් මසුන් අධික ලෙස ගැවසෙන ශාන්ත ඇන්ඩෲස් දිවයිනට (බොක්කට) මේ සෙට් එක යනව. ඒ යන ගමනෙදි, ඒ පොඩි යාත්‍රාවේ ඉන්න කණ්ඩායමේ කැමරා ශිල්පියාට "සී සික්" එක හැදිල වමනේ දමමින් යන්නෙ. ඔහුට එපා වෙලා ඉන්නෙ ඒ වෙද්දිත්. නමුත් ඒ දිවයිනට ගියාම ඔහුගේ ඒ අදහස වෙනස් වෙනව. ඇත්තටම මිනිසා කියන සතාව එච්චරම දැකල පුරුදු නැති නිසාද කොහෙද ඒ දූපතේ ඉන්න සීල් සහ පෙන්ගුයින්ල මේ කට්ටියව ගණන් ගන්නෙවත් නෑ. ඒ නිසා සමහර දර්ශන, බලාපොරොත්තු නොවූ තරම් කැමරාව ලං කරල රූ ගත කරන්න ඔවුන්ට හැකි වෙනව.

විශේෂයෙන්ම යෝධ සීල් පිරිමි සතුන් දෙදෙනෙකුගේ ද්වන්ධ සටනක් ඉතාම ලඟින් ඉඳල රූපගත කරනව. ඒක ඉතිං බලන්නම ඕනෙ ... 

ඇත්තටම හරිම පුදුමයි ඒ මුලු දූපතම. ඒක ඇත්තටම තියෙන තැනක්ද කියල හිතෙනව.

ඉතිං අපිට ඒක බලන් ඉද්දි එහෙම හිතෙනව නම්, රූගත කරන්න එතෙන්ටම ගිය අයට ඒක කොහොම දැනෙන්න ඇත්ද? ඇත්තටම අර කැමරා ශිල්පියා ඒ මොහොතේ හැඟුම්බර වෙනව. ඔහුගේ ඇස් වල කඳුලු පිරිලා ඉන් පස්සෙ කදුලු හැලෙනව. ඔහු කියනව, මේක කොච්චර ලස්සන තැනක්ද? මේ වගේ තැන් මේ මහපොලොවේ තාම තියෙන එකම පුදුමයක්. ඒත් අපේම වැඩ නිසා මේවා තව කාලෙකින් නැති වෙලා යයි.. අපිට මේව රැකගන්න බැරි වෙයි නේද... කියලයි ඔහු දුක් වෙන්නෙ. 

ඇත්තටම ඒක බොරු ෂෝ එකට කරපු ඇඬිල්ලක් නෙවෙයි.අඬනව නෙවෙයි ඇත්තටම ඇඬෙනවා...

ඒ එපිසෝඩ් එකේ කීප අවස්තාවකදීම මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා ගෝලීය උණුසුම ඉහළ යාම සහ අසීමාන්තිකව දඩයම් කිරීමට ලක්වීම නිසා ඒ සත්තුන්ගේ ගහන ක්‍රමයෙන් අඩුවෙලා යන හැටි පැහැදිලි කරල දෙනව.

ඔබ ඇත්තටම පරිසරයට ආදරය කරන හදවතක් තියෙන කෙනෙක් නම් ඔබටත් ඇඬෙයි බොහෝවිට...

ඉතිං ඇස් දෙකක් තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන් බලන්න ඕනෙ සීරීස් එකක් කියල තමා කියන්න තියෙන්නේ.

(හොඳම කොලිටියෙන් ඩවුන්ලෝඩ් කරන් බලන්න. නැතුව වැඩක් නෑ... )



World War Z

 World War Z බැලුව ආපහු. මේ ලෝකෙ විනාස වෙනවනම්, (වෙනවට නෙවෙයි ඉතිං කියන්නෙ මම කියන්නෙ වෙනවනම්,) මම ආස සොම්බි ඇපොකැලිප්ස් එකකින් වෙනවට තමා. ඒ ෆීලින්ග් එක උපරිමෙන් දෙන ෆිල්ම් එකක් තමා මේක. 

අව කැපෙන කතා කියන්නෙ නැතුව හිටපංකො මේ වගේ වෙලාවක... සොම්බි ඇපොකැලිප්ස් එකක් වගේ ගොන් කතා කියන්නෙ ඕව වෙන්න පුලුවන් දේවල් ද ? වගේ කියන අයට මම කියන්නෙ  10th Man Rule එක ගැන හොයල බලන්න. මමම මේ ෆිල්ම් එකට අදාලව, මේ පේජ් එකේම ඒක ගැන කලින් විස්තරයක් දාල තියෙන නිසා ඒක ආපහු දීර්ඝව කියන්නෙ නෑ. එනිවේ, නිකං හිතල බලන්නකො, ගිය අවුරුද්දේ මේ කාලෙ වගේ කෙනෙක් කිව්වනම්, ලබන අවුරුද්දේ මේ කාලෙ වෙද්දි වයිරස් ඇටෑක් එකක් නිසා රටටම දවස් දෙකක් ඇඳිරි නීතිය දාන්න වෙයි කියල , ඒක කී දෙනෙක්ට විහිලුවක් වෙයිද? අන්නේකයි කියන්නෙ 10th Man Rule එක වැදගත් කියල. 

ඉතිං කොහොමහරි මේ ෆිල්ම් එකේ කතාවෙ පෙන්නන විදිහට ලෝකයේ අනික් සියලු රටවල් රේබීස් වර්ගයේ දරුණු වයිරසයක් නිසා රූපීයව සොම්බි ඇපොකැලිප්ස් එකකට ඉතා සමාන තත්ත්වයකට මුහුණ දෙද්දි, ඊශ්‍රායලය විතරක් ඊට හොඳින් මුහුණ දෙනව. ඒ සම්බන්ධයෙන් ලැබෙන හෝඩුවාවක් හරහා අපේ කතා නායකය (බ්‍රැඩ් අයිය) ඊශ්‍රායලයට යනව. එහෙම ගියාම එයාට දකින්න ලැබෙන්නෙ ඒ ගොල්ලො නගරයේ කොටසක් වෙන් කරල දැවැන්ත තාප්පයක් ගහල, වයිරස් ආසාදනය නොවුනු පිරිස පරීක්ෂා කරමින් ඒ තාප්පෙන් වටවුනු ආරක්ෂිත කොටසට ගන්න බව. මෙහෙම කරන්න එයාලට පුලුවන් වෙලා තියෙන්නෙ, මේ වගේ දෙයක් වෙයි කියල කලින්ම බලාපොරොත්තු වෙලා එහෙම තාප්පයක් හදපු නිසයි. ඒක කරන්න පුලුවන් වුනේ අර කියපු දසවැන්නාගේ නීතිය අනුව කටයුතු කරපු නිසයි...

ඔන්න ඉතිං තාප්පෙන් එලියෙ සොම්බිල එහෙ මෙහෙ යනව. තාප්පෙන් වටවුනු ආරක්ෂිත කොටස ඇතුලට ආපු පිරිසට ඉතිං හරි සතුටුයි. සතුට දෝරෙ ගලා ගිහින් අනේ අපි නම් බේරුනා කියල හිතිල නිකං චූන් එකක් වගේ ගිහින් එකෙක් ගීතිකාවක්/ස්තූති ගීයක් වගේ එකක් ගායනා කරන්න පටන් ගන්නව... අනික් උනුත්, මේ වෙලාවෙ හැටියට, අපේ ජීවිත බේරල දුන්නු මේ හැමෝටම ස්තූති කරන්න අපේ මට්ටමෙන් කරන්න පුලුවන් දේකට කියල තියෙන්නේ මෙච්චරයිනේ දෙයියනේහ්.... කියල හිතාගෙන බොහොම සද්භාවයෙන් අර ගීතයට දායක වෙනව... හොඳ වැඩක්නේ කාගෙ උනත් නේද කියල, ඉක්මනින් මේ වැඩේට කට්ටිය එකතු වෙලා ඔන්න ඉතිං දැන් සීයක් විතර මේ ගීතය පිලිවෙලට ලස්සනට ගායනා කරනව... හරිම සුන්දර දර්ශනයක්. මනුෂ්‍යත්වයේ නාමයෙන් එකතු වූ මොහොතක්....නේද ?

මේක ටිකක් "අවුල්" වගේ තේරුනත් ආරක්ෂක අංශ වල අයත් මේකට කෙලින්ම විරුද්ධ වෙන්න යන්නෙ නෑ . එයාල නොසන්සුන්ව නමුත් ඉවසීමෙන් බලන් ඉන්නව... ඒත් , චිත්‍රපටයේ මුල ඉඳලම පෙන්නන විදිහට වයිරසේ ආසාදනය වුනු අය ආකර්ෂණය වෙන්නෙ ප්‍රධාන වශයෙන්ම ශබ්දයට... අන්න ඒ නිසා වෙන්න ඕනෙ එවෙලේ ඒ නිලධාරීන්ගෙ මූණු ඇඹුල් වෙන්නෙ. නමුත් විරුද්ධ නොවෙන්නෙ , ඒ වගේ සුන්දර දේකට අකුල් හෙලල මිනිස්සු ඉස්සරහ නරුමයො වෙන්න බැරි නිසා වෙන්න ඇති. ඒ කෙසේ වෙතත් අපේ කතානායකයට නම් මේක හොඳටම වැටහිලා, ඒ මොහොතේ කෑ ගහල කියනව, ඔය සින්දු කියවිල්ල නවත්තන්න... උන් එන්නෙ සද්දෙට කියල... 

ඒත් ඒ වෙද්දිත් පරක්කු වැඩියි. තාප්පෙන් එහා පැත්තෙ හිටපු සොම්බි , පොදියක් වගේ අර ශබ්දය එන තැන ඉලක්ක කරගෙන එකතු වෙලා අන්තිමට තාප්පෙන් එහාට පනින්න ගන්නව. අනේ ඉතිං, අර රූල් මේ රූල් දාගෙන අවුරුදු ගනන් ප්ලෑන් කරල හදපු ඔක්කොම එක මොහොතෙන් හුචස් වෙලා හැමෝම හිස් ලූ ලූ අත දුවන්න ගන්නව... 

අන්න ඒකයි කියන්නෙ, මේ වගේ සිද්ධියකදි, තමන් කරන වැඩේ මොන තරම් පින් අතේ උනත්, කෘතගුණ දැක්වීමක් වුනත්, මනුස්සකම පෙන්වීමක් වුනත්, අදාල සිද්ධිය ගැන විද්‍යාත්මකව හඳුනාගෙන "කරන්න එපා" කියල වර්ග කරල තියෙන ගොඩට ඒක වැටෙනවද කියල කල්පනා කරල බලන්න, කරන්න කලින්. නැත්තං මේක පාලනය කරන්න දිවා රෑ නොබලා වෙහෙසන මිනිස්සුන්ගෙ මහන්සිය අපතේ යන්න පුලුවන් ඒ වගේ එක වැඩක් නිසා. 

ඉතිං හදවතට වඩා මොළේට මුල් තැන දීල තීරණ ගමු. ගෙදර ඉමු. ෆිල්ම් බලමු. 🤗



ඔස්කා සම්මානෙ ලැබුනු කෙනා සභාවට කියන "වචන ස්වල්පය"

 ඔස්කා සම්මාන උළෙලක් දැන් සාමාන්‍යයෙන් පැය තුනකට ආසන්නව ගියත්, මුල්ම ඔස්කා සම්මාන උළෙල (එතකොට ඔස්කා කියන නම තිබ්බෙත් නෑලු...) පැවතිලා තියෙන්නේ පැය කාලක් වගේ පොඩි කාලයක්. පස්සෙ පස්සෙ සම්මාන ගාන, සහ කැටගරි ප්‍රමාණෙත් ටිකින් ටික වැඩි වෙලා දැන් තියෙන තත්ත්වයට ඇවිත්. 

කොහොම හරි දැන් නම් සංවිධායකයන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමා, මේක පැය තුනත් පන්නල යා නොදී ඒ ලිමිට් එක ඇතුලෙ රඳවගන්න එක. ඉතිං ඒක කරගන්න එයාල විවිධ නීති රීතිත් ගෙනත් තියෙනව. ප්‍රධාන එකක් තමා ඔස්කා සම්මානයක් ගත්තැයින් පස්සෙ ඒ සම්මානෙ ලැබුනු කෙනා සභාවට කියන "වචන ස්වල්පය" කියන්න දෙන වෙලාව තප්පර 45 කට සීමා කිරීම. මේ සීමාව නිල වශයෙන්ම තීරණය කලේ 2010 අවුරුද්දේ ඉඳලයි. හැබැයි එහෙමෙයි කියල සම්මාන ගන්න නලු නිලියො මේක ටක්කෙටම අනුගමනය කරන්නෙ නෑ , නමුත් උත්සාහ කරනව ඉතිං. හැබැයි කවුරු හරි සම්මානෙ අරන් ඕනවට වඩා කියෝනව වගේ නම් එයාට ඒක දැනෙන්න අරින්නෙ අර වාදක මඩුල්ල පොඩි මියුසික් කෑල්ලක් වාදනය කරන්න පටන් ගැනීමෙන්. ඒක නිකං සංඥාවක්, දැන් ඔයාගෙ ලිමිට් පැනල තියෙන්නේ කියල අඟවන්න. 

ඒත් සාමාන්‍යයෙන් හොඳම නලුවා, නිලිය, අධ්‍යක්ෂණය, චිත්‍රපටය වගේ සම්මාන වලදි මේ ටයිම් ලිමිට් එක පොඩ්ඩක් එහා මෙහා කරල ටිකක් වැඩියෙන් කාලය දෙන එක කෙරෙනව. උදාහරණයක් විදිහට ලියනාඩෝ ඩිකැප්‍රියෝට හොඳම නලුවට සම්මානෙ ලැබුනම එයා විනාඩි තුනක් විතර කතා කරන්න ඉඩ දුන්න. ඊට කලින් සැරේක ජුලියා රොබර්ට්ස්ට ලැබුනම එයාත් ටිකක් වැඩියෙන් කතා කළා. ඔන්න එතකොට අර වාද්‍ය වෘන්දය සංගීතෙ දාන්න යනකොට ජුලියා එයාලටත් පොඩි සැරක් දානව, "මේක මට ලැබුනු සුවිශේෂී අවස්තාවක්, ආපහු ලැබෙයිද කියන්නත් බෑ, ඒක නිසා ඔය කෝටු කෑල්ල පහතට දාපිය" කියල (මියුසික් කන්ඩක්ටට කියන්නෙ, අර කෝට්ට වනන්නෙ...)

හැබැයි ඉස්සර ඔහොම ලිමිට් එකක් නොතිබුනු කාලෙ, හරියටම කිව්වොත් 1942 අවුරුද්දේ පැවැත්වුනු පහලොස්වෙනි ඇකඩමි සම්මාන උළෙලෙදි Mrs. Miniver චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළිය සම්මානය ලබපු Greer Garson කියන නිලිය, සම්මානෙ අරන් ඉවර වෙලා මිනිත්තු පහමාරක් විතර දිග ස්තූති කතාවක් කියල තියෙනවා. ඇත්තටම මේ සිද්ධිය තමා, මේ "ඇක්සෙප්ටන්ස් ස්පීච්" එකට ටයිම් ලිමිට් එකක් දාන්න ඕනෙ කියන තැනට පාර කපපු සිද්ධිය විදිහට සැලකෙන්නේ.

ගොඩක් අය දිග කතා කියන්න කැමති උනත්, ඉතා කෙටි ස්තූති කතා කරපු අයත් ඉන්නව. එයින් ඔස්කා ඉතිහාසයේ කෙටිම ස්තූති කතාව (acceptance speech) විදිහට සැලකෙන්නේ 1962 තිබ්බ 35 වැනි ඔස්කා සම්මාන උළෙලෙදි Patty Duke නම් දාසය හැවිරිදි නිලියක් The Miracle Worker කියන චිත්‍රපටය වෙනුවන් හොඳම සහය නිළියට හිමි සම්මානෙ දිනල කරපු කතාව, ඇගේ කතාවෙ වචන දෙකයි, ;"Thank you" ...

ඊට අමතරව එවැනිම කෙටි සභාව ඇමතීමක් කරල තියෙන්නේ ඇල්ෆ්‍රඩ් හිච්කොක්, 1968 දී. ඉන් පෙර පස්වතාවක් ඔස්කා සම්මාන සඳහා නිර්දේශ වෙලා තිබ්බත් එයාට සම්මාන දිනාගන්න පුලුවන් වුනේ නෑ. ඉතිං මේ 1968දිත් එයාට ලැබෙන්නේ, අර සාමාන්‍ය ඔස්කා සම්මානෙ නෙවෙයි, Irving G. Thalberg Memorial Award කියල හඳුන්වන චිත්‍රපට කර්මාන්තයට කරපු අනූපමෙය මෙහෙයට පිදෙන ගෞරව සම්මානයක්. ඒත් ඇල්ෆ්‍රඩ් හිච්කොක් මේ සම්මානෙ ගත්තෙ එච්චරම ආසාවකින් නෙවෙයි. ඒ නිසාද මන්දා එයා සම්මානෙ අරන් මයික් එක ළඟට ගිහින් ඉතා කෙටියෙන් "thank you" කියල යන්න යනව. ගිහින් ආපහු ඇවිත් "...very much indeed" කියල කොටසක් එකතු කරත්, ඒ වෙද්දි මයික් එක ඕෆ් වෙලා අර වාද්‍ය වෘන්දය වාදනය පටන් අරන් නිසා ඒ ටික ඇත්තටම ඇගෙන්නෙ නෑ... (ඔය රූපෙ ඔහු ඒ සම්මානෙ අරගත්ත මොහොතේ ....)