Friday, September 10, 2021

ග්‍රහලෝකයක චුම්භක ක්ෂේත්‍රය සහ The Core

 අවුරුදු ගානකට කලින් සිරසෙ ගියා The Core  කියල ෆිල්ම් එකක්. මේක ඇත්තටම සාර්ථක ෆිල්ම් එකක් නෙවෙයි. බජට් එක තරම්වත් හොයාගන්න ලැබුනෙ නැති බොක්ස් ඔෆිස් failure එකක්. හුඟක් විද්‍යාඥයෝ සහ විද්‍යාත්මක දැනුමක් තියෙන ඒක බලපු අය ඒක හඳුන්වා දීල තියෙන්නෙ එදා මෙදා තුර හැදුනු වැඩිම විද්‍යාත්මක වැරදි සහිත විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් විදිහටයි. (ඒ අතින් මේක දෙවැනි වෙන්නේ Armageddon එකට විතරයි කියලත් කියනවා.) කොහොමෙන් හරි කමක් නෑ, තොරා බේරගෙන බලන්න කියල ලොකු දේවල් ලැබුනෙ නැති ඒ කාලෙ ඔය වගේ ෆිල්ම් එකක් කියන්නෙත් ඉතිං ලොකු දෙයක්. මොනා උනත් සයන්ස් ෆික්ෂන් කිව්වම ඉතිං බලනව. ඉතිං මේකත් ආසාවෙන් බැලුව. 

මේ ෆිල්ම් එකේ කතාවෙ හැටියට, මිනිස්සුම කරන විද්‍යාත්මක පරීක්ෂණයක් අවුල් ගිහින් ලෝකෙ ගෝලෙ මැද්දෙ තියෙන ලෝදිය ගුලිය කැරකෙන එක නතර වෙනව. ඒ නිසා, ඒකෙ ප්‍රතිඵලයක් විදිහට පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය නැති වෙලා යනව. චුම්භක ක්ෂේත්‍රය නැති වෙලා යනව කියන්නෙ අවුල් ගොඩකට මුල නිසා විද්‍යාඥයෝ තීරණය කරනවා විශේෂ යන්ත්‍රයක් යොදාගෙන පොලොව මැදට හාරගෙන ගිහින් පිපිරීම් වගයක් කරල අර නතර වුනු චලිතය නැවත පණගන්වල චුම්භක ක්ෂේත්‍රය ආපහු ගන්න. 

ඉතිං බැලූ බැල්මට විද්‍යාත්මක ඇත්ත බවක් පෙනුනට ඔය කියන කතාවේ විද්‍යාත්මක අවුල් ගොඩක් තියෙනවා. තියෙනවා කියල දැන් තේරෙනවා. ඕක බලපු කාලේ, උන් තකහනියෙ පොලොව මැද්දට යන්නෙ ඇයි ? චුම්භක ක්ෂේත්‍රය නැති වුනා කියල ඔච්චර දඟලන්න ඕනෙද? වගේ ගැටලු තමා තිබුනෙ. 

හැබැයි දැන් තේරෙනවා ග්‍රහලෝකයකට චුම්භක ක්ෂේත්‍රයක් තිබීමේ වැදගත් කම. ඉතිං ඒක තේරෙන්නෙ නැති කෙනෙකුට, ඒක තේරුම් ගන්න නම් බලන්න හොඳ ටීවි සීරීස් දෙකක් තියෙනවා. එකක්, BBC එකෙන් කරපු The Planets කියන එක. අනික නැෂනල් ජියෝග්‍රැෆික් එකෙන් කරපු One Strange Rock කියන සීරීස් එක. විශේෂයෙන්ම ඔය දෙවෙනි එක නම් පෘථිවිවාසියෙක් විදිහට ඔබ අනිවාර්යයෙන් බලන්න ඕනෙම එකක්. 

හරි. එතකොට කිය කිය හිටියෙ Core ගැනනෙ. ඒ ෆිල්ම් එකේ පෙන්නන විදිහට, ලෝකේ මැද්දේ තියෙන භ්‍රමණය වෙන ලෝහමය තරලය නිසා චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා කියන එක ඇත්ත වුනාට, ඒක මිනිස්සු කරන ක්‍රියාවක් නිසා නතර වෙන එක හෝ  'රී ස්ටාට්' කරන්න පුලුවන් කියන එක ඇත්තටම විද්‍යාත්මක විහිලුවක්. මේ මුලු ලෝකෙම තියෙන න්‍යෂ්ටික බෝම්බ එකතු කරලවත් ඒක කරන්න තියා හිතන්නවත් බෑ.  

හැබැයි යම් ග්‍රහලෝකයක් සැලකුවාම කාලයක් යද්දි ඒකේ මැද්දේ  තියෙන ලෝදිය ක්‍රියාකාරිත්වය නැති වෙලා ගිහින්, ස්වභාවිකව ඕක නතර වෙන්න පුලුවන්. ඔය අඟහරු ලෝකය කියන්නෙ එහෙම නතර වෙච්චි ග්‍රහලෝකයක් කියල තමා කියන්නෙ (අර ටීවි සීරීස් දෙකෙන් ලබා ගත් දැනුම 🤗)  එහෙම නතර වුනාම ඒ ග්‍රහලෝකයේ මතුපිට තියෙන ගිනිකඳු වගේ දේවලුත් නතර වෙනව. මැද්දේ වැඩ නෑ කියල හොයාගන්න පුලුවන් ක්‍රමයක් ඒක. අඟහරු වල තියෙන්නේ ඉස්සර සක්‍රීයව තිබ්බ දැන් මියගිය ගිනිකඳු. දැන් ලාවා ගලන්නෙ නෑ. ග්‍රහලෝකය මැද්දේ චලනය වෙන ද්‍රවමය ලෝහ නැති නිසා, ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඇතිවෙන චුම්බක ක්ෂේත්‍රයකුත් නෑ. චුම්භක ක්ෂේත්‍රයක් නැති නිසා සූර්යයාගෙන් විහිදෙන සූර්‍ය සුලං වලට ඒ ග්‍රහලෝකයේ වායුගෝලය කෙලින්ම නිරාවරණය වෙනව. ප්‍රතිඵලයක් විදිහට ජීවයක් ඇති වෙන්නත් බැරි, ජීවීන්ට ඉන්නත් බැරි තත්ත්වයක් ඇති වෙනව. වායුගෝලයේ පැවැත්මටත් මේක බලපානව. ද්‍රව ජලය ග්‍රහලෝකය මත රඳා පවතින එකටත් ඒක බලපානව. ඉතිං චුම්භක ක්ෂේත්‍රයක් නැති වෙච්චි ග්‍රහලෝකයක් කාලයක් යද්දී ටික ටික මැරිල යනව. ද්‍රව ජලය වාෂ්ප වෙලා, ජීවයක් තිබ්බ නම් ඒකත් නැති වෙලා යයි. අඟහරු ලෝකෙ ඉස්සර ගංඟා තිබුනා කියල පේන්න තියෙනවා. දැන් ඒව නෑ. ඒ වතුර වාෂ්ප වෙලා ගිහින්.

ඒත් අපි ඉන්න ග්‍රහලෝකයේ දෙයියනේ කියල මැද්දේ සක්‍රීය ලෝදිය තියෙනවා. ඒකෙ නිසා, ඒ කියන්නෙ සන්නායකතාවක් තියෙන දෙයක් චලනය වෙන නිසා, ඇති වෙන චුම්භක ක්ෂේත්‍රයක් තියෙනවා. මේ නිසා 'ඉරෙන් එන හුලං' වලින් අපිට ලොකු කරදරයක් නෑ. ඒවා කෙලින්ම ග්‍රහලෝකයේ පෘෂ්ඨයේ වදින්නෙ නැතුව චුම්භක ක්ෂේත්‍රයට අනුගතව විහිදිලා වටෙන් යනව. ඒ සූර්‍ය සුලං වල තියෙන අංශු අර චුම්භක ක්ෂේත්‍රයේ ධ්‍රැව පිහිටන ලෝක ගෝලේ ඉහළ සහ පහළ තැන් වලදී වායුගෝලයේ ඇති නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරල අහසේ පාට පාට රටා පේනව. ඒව තමා අවුරෝරා කියල කියන්නෙ. 

ඔන්න වගේ ලස්සන කාරණා ගොඩක් දැන ගන්න පුලුවන් , අර කිව්ව ටීවි සීරීස් දෙක බැලුවොත්.

අර ෆිල්ම් එකත් බලන්න බලල නැත්තං. හැබැයි ඒක එච්චර සීරියස් ගන්න එපා. මොකද ඒකෙ පෙන්නන විදිහට ග්‍රහලෝකයක තියෙන චුම්භක ක්ෂේත්‍රයක් ඒ විදිහට සෙනිකව හුචස් වෙලා යන්න නම් ලොවෙත් විදිහක් නෑ. එහෙම වුනත්, ඒකෙ පෙන්නන විදිහට ඒක නතර වුනු ගමන්ම හෙණ පාත් වෙනව වගේ සූර්‍ය කුණාටු, විකිරණ කදම්බ එන්නෙ නෑ. ඒක වසර ගණනාවක් තිස්සෙ ක්‍රමයෙන් වෙන ක්‍රියාවලියක්. ඒක ෆිල්ම් එකක් නිසා, බලන උන්ට ආතල් එකක් දෙන්න ඕනෙ නිසා, ඒ තත්ත්වය අතිශෝක්තියට නංවල තියෙනවා උපරිමෙන්.

(ග්‍රහලෝකයක චුම්භක ක්ෂේත්‍රය ඇතිවෙන එක කියන්න පුලුවන් තරම් කෙටියෙන් කිව්වෙ. එකෙ තව ගොඩක් කතන්දර තියෙනවා. පුලුවන් නම් කොරියෝලිස් ආචරණය ගැනත් හොයල බලන්න.)




No comments:

Post a Comment