Friday, September 10, 2021

කොපියක් නේද ?

හුස්ම කියන්නෙ අහවල් ෆිල්ම් එකේ කොපියක් කියන එක පිළිබඳව මේ වෙන විට ඔයා දැනුවත් වෙලා නැත්තං, ඒ කියන්නෙ ඔයා චිත්‍රපටි ගැන ලොකු උනන්දුවක් තියෙන කෙනෙක් නෙවෙයි.

හරි ඉතිං කොහොම හරි ඒක කොපියක් තමා. දැන් අදහස් දෙකක් තියෙනවනෙ ඔය ගැන;

කට්ටියක් කියන්නෙ කොපි කරල හරි ඔය මට්ටමට හදපු එක හොඳයි . කොපි කරන එක උනත් ලස්සනට කරල තියෙනවා කියන එක.

තව කට්ටියක් එකෙන්ම ඒකට විරුද්ධයි. කොච්චර ලස්සනට තිබ්බත් ඒ ලස්සනට හේතුව කලින් එකක් එහෙම් පිටින්ම කොපි කිරීම මිසක් වෙන අමුතු දෙයක් නෑ කියන එක තමා එයාලගෙ පොයින්ට් එක.

මගේ අදහස නම් චිත්‍රපට කොපි කලාට කමක් නෑ. කොපි කරනව කියන එක සවුත්තුයි වගේ නම් අභාසය වගේ දෙයක් ගත්තත් අවුලක් නෑ 😜. හැබැයි ඔය දෙකම කරන වැදගත් විදිහ තමා මුල් නිර්මාණයට ක්‍රෙඩිට්ස් දීල කරන එක.

දැන් ඕක කොපි කරල හරි ඔය විදිහට කරපු එක හොඳයි කියල කියන අය ගේන සරල තර්කයක් තමා, හොලිවුඩ් ෆිල්ම්ස් වුනත් සැලකිය යුතු ප්‍රමාණයක් වෙන රටවල් වල හැදුනු චිත්‍රපට වල කතාව අරගෙන, "ආබාසය" අරගෙන හදපුව කියන එක. උදාහරණයක් හැටියට හොලිවුඩ් හොරර් ෆිල්ම් සැලකිය යුතු ප්‍රමාණයක් ජපන් ෆිල්ම්ස් වල කොපි.

හැබැයි මෙතෙන්දි වෙනසක් තියෙනවා. හොලිවුඩ් වල චිත්‍රපටයක් හදද්දී එයාල ඒක කරන්නෙ වෙන මොකක් හරි නාට්‍යයක්, වේදිකා නාට්‍යයක්, ෆිල්ම් එකක්, නවකතාවක්, කෙටි කතාවක් හෝ මෙකී නොකී මොනයම් හෝ මින් පෙර නිපදවුනු නිර්මාණයක් පාදක කරගෙන නම් ඒ නිර්මාණයට ක්‍රෙඩිට්ස් දෙනව. ෆිල්ම් එකක් ඉවර වෙච්ච ගමන් වහල නොදා නාමාවලිය ඉවර වෙනකම් බලනව නම් බොහෝවිට නාමාවලිය කෙලවරේ හෝ මේක අහවල් එක ඇසුරෙන් හදපු එකක්ය කියල දානව. එහෙම නොදානවම් බොහෝවිට අදාළ මුල් කතුවරයට, නිර්මාණකරුවට මුදල් ගෙවල නිර්මාණ අයිතිය ලබාගෙන නිසා තමා නොදා ඉන්නෙ මොකද එතකොට දාන්නම කියල නියමයක් නෑ.

හැබැයි එහෙම නොදා චුට්ටක් හරි කොපි කලාය කියල ඔප්පු උනොත් ඉතිං ඩොලර් මිලියන ගණන් වලින් තමා වන්දි ගෙවන්න වෙන්නෙ. (මේ ළඟදී කැටී පෙරීට එහෙම ඩොලර් මිලියන දෙක හමාරක් ගෙවන්න උනා වැඩිය ප්‍රසිද්ධ නැති ගායකයෙක්ගෙ සින්දුවක තියෙන "බීට් කෑල්ලක් " එයා තමන්ගෙ Dark Horse කියන සින්දුවට පාවිච්චි කලා කියල ඔප්පු වෙලා.)

හැබැයි ලංකාවේ එහෙම නීත්‍යානුකූල දේවල් වෙන්නේ ලංකාවේම නිර්මාණය වෙච්ච දෙයක් ලංකාවේ තව කෙනෙක් කොපි කරනව නම් විතරයි. මොකද එහෙම නොකලොත් අර මුල් එක හදපු එකා පස්සෙන් එලෝගෙන ඇවිත් ඔලුව කනව කියල දන්නවනෙ. ඌත් ලංකාවේ මූත් ලංකාවේ නිසා හොර වැඩ කරන්න බයයි. හැබැයි ලෝක මට්ටමෙන් හදපු එව්වට එහෙම කලා කියල උන් පස්සෙන් එලෝගෙන එන් නැති බව මෙයාල දන්නව. ඒ නිසා බලපු එවුන් මේක අහවල් එකේ කොපියක් කියල තේරුම් ගත්තොත් මිසක් ඒක කොපියක් බව නිල වශයෙන් සඳහන් වෙන තැනක් නෑ.

මේව සවුත්තු වැඩ... සහ ලංකාව වගේ රටවල් වලට ලාක්ෂණික ගති සිරිත්...

ඒ කියන්නෙ හොරකම් කරන්න අවස්තාවක් තියෙනවා කියල පෙනුනාම වැදගත් විදිහට හොරකම් කරගැනීමේ කලාව.

මීට කාලෙකට කලින් අර ස්වර්ණවාහිනියෙ නාට්ටයක් ගියා, තුර්කි ටෙලිනාට්‍යක් අමුවෙන්ම කොපි කරල. නමුත් ඒක හදපු කෙනාගෙන් ඒක කෙලින්ම ප්‍රශ්නයක් විදිහට අහපු වෙලේවත් ඌ පිලිගත්තෙ නෑ ඒක කොපියක් කියල. එයා එහෙම තුර්කි නාට්‍යයක් තියෙනවා කියල දන්නෙවත් නෑලු. (සිරි ලංකාවේ ලාක්ෂණික ගතිය)

ඉස්සර (සහ දැනුත් යනව ද මන්ද) ITN එකේ ගිය හඬ කවපු "ළමා චිත්‍රපට"... ඒවත් මේ ගොඩේම තමා. වැදගත් හොරකම්.

ඒවට සිංහල හඬකවල තියෙන්නෙ හරි පාරෙ ගිහින් නෙවෙයි බව ඇහුවම තේරෙනව. සමහර ඒව කරෝකි මෝඩ් එකට දාල උඩින් සිංහල අලෝල වගේ පේන්නෙ. ඒත් ලංකාවේ අයට ඔව්ව එච්චරම ගානක් නෑ. ඔය මොනා හරි රත් කරල දුන්නම, පිළුණු උනත් කන ජාතියක් කියල දන්න නිසා, පොඩි උනුත් ඒ ජාතියෙම කියල දන්න නිසා, උන්ට ඉස්කෝලේ නිවාඩු දවසට උදේට කන්න ෂෝට් ඊට්ස් වගේ ඔය හොලිවුඩ් ෆිල්ම් වල ඩීවීඩි ටිකක් හොයාගෙන ලාබෙට හඬ කවෝල දෙනව කාපං කියල.

ඒ අතින් ඔය වැඩේ වැදගත් විදිහට කලේ සිරස. (ඊට කලින් ජාතික රූපවාහිනිය කළ බව ගෞරවයෙන් සිහිපත් කරමු.) මට මතකයි එක සැරයක් ඔය ස්කූබි ඩූ හඬ කවපු විදිහ ගැන වැඩසටහනක් ගියා. ඒකෙ කියපු හැටියට, ලංකාවේ ස්කූබි ඩූ සිංහලෙන් පෙන්වීමේ නිල අයිතිය එයාල මුලින්ම අරගත්තලු. ඉන්පස්සේ එක එක චරිතය සඳහා හඬ දෙන්න බලාපොරොත්තු වෙන නලු නිලියන්ගේ හඬ සාම්පල් වෝනර් බ්‍රදර්ස්ලගෙ ස්ටුඩියෝ එකට යවල තියෙනව. එහෙන් ඒ ඒ හඬවල් අදාළ චරිතය සඳහා ගැලපෙනවා කියල අනුමත කළැයින් පස්සෙ තමා හඬකවන්න පටන් අරං තියෙන්නෙ. හරියට කරනව නම් ටිකක් බරපතල වැඩක්. හැබැයි පිලිවෙළට කළාට පස්සෙ වැඩේ ලස්සනයි. පිරිසිදුයි. ඓතිහාසිකයි...

ලංකාවේ කොපි කරපුවාට උදාහරණ නම් අනන්තයි අප්‍රමාණයි. ඇත්තටම ඊට වඩා ලේසියි ලංකාවේ ස්වතන්ත්‍ර නිර්මාණ ටික මෙන්න මෙව්ව කියල පැත්තට කරල, ඉතිරි ටික කොපි කියල වර්ග කරන එක.

ඉතිං අවසානයේ කියන්න තියෙන්නෙ කොපියක් ගහන එකේ වැරැද්දක් නෑ. හැබැයි දෙයියනේ කියල ඒක හරියට කරන්න. ඒ කියන්නෙ සදාචාරාත්මක විදිහට මුල් නිර්මාණ කරුවන්ට කියල එයාලගෙ අවසරය ලබාගෙන, ගෙවන්න ඕනෙනම් ගෙවල...

එහෙමත් බැරි නම් අඩුගානේ තමන්ගෙ නිර්මාණය අහවල් එකේ කොපියක් නේද කියල ඇහුවමවත් "ඔව්" කියල පිළිගන්න නිහතමානී වෙන්න. ඒකත් බැරි නම් ඉතිං කළාකරුවෙක් කියල කියන්නෙ කොහොමද ?



No comments:

Post a Comment