Friday, September 10, 2021

Chewbacca ගේ කතන්දරය...

 1977 අවුරුද්දේ මුල්ම Star Wars චිත්‍රපටය රූගත කිරීම ඇරඹීමට සූදානම්ව සිටි ජෝජ් ලූකාස්ට එහි එන පිටසක්වල ජීවියෙකු වූ Chewbacca ට ගැලපෙන නලුවෙකු අවශ්‍ය කර තිබුණි.

Star Wars රසිකයන්ට නම් අමුතුවෙන් හඳුන්වා දිමේ අවශ්‍යතාවක් නැති වුවත් කෙටියෙන් කිව්වොත් Chewbacca යනු Wookiees ලෙස හැඳින්වෙන පිටසක්වල ජීව විශේෂයේ එකෙකි. 

සාමාන්‍ය මිනිසෙකුට වඩා වැඩි උසකින් යුතු මේ ජීවීයාට පණ දීමට, සාමාන්‍ය මිනිසෙකුට වැඩි උසකින් හෙබි නලුවෙකු අවශ්‍ය කර තිබුණ අතර මුලින්ම ඒ සඳහා ලූකාස් විසින් තෝරගෙන තිබුණු අඩි හයකුත් අඟල් හයක් උස ඩේවිඩ් ප්‍රවුස්, පසුව ඩාත් වේඩාර් චරිතය සඳහා තෝරාගැනීම සමඟම Chewbacca චරිතය පුරප්පාඩු විය.

අලුතින් තැනෙන Star Wars නම් චිත්‍රපටයක් සඳහා උසින් වැඩි නලුවෙක් සොයන බවට ලද ආරංචියකට, එවකට ලන්ඩනයේ කින්ග්ස් කොලේජ් රෝහලේ වාට්ටු සහයකයෙකු ලෙස රැකියාව කළ පීටර් මේහෙව් (Peter Mayhew) නැමැති උස හීන්දෑරි තරුණයෙක්, ලන්ඩන් නුවර Elstree නම් ස්ටූඩියෝවේ ඒ වෙනුවෙන් පැවති තිර පරීක්ෂණය සඳහා සහභාගී වීමට පැමිණ වාඩිවී සිටි අතර, ජෝජ් ලූකාස් පැමිණි පසු ඔහුට අතට අත දීමට පීටර් නැගී සිටි පමණින්ම, ඔහුව එසැණින් චරිතය සඳහා තෝරාගැණුනි!

එම ක්ෂණික තෝරාගැනීමේ ප්‍රධාන හේතුව වූයේ අඩි හතකුත් අඟල් තුනක් වූ පීටර්ගේ උසත්, හීන්දෑරි පෙනුමත්ය. අනික් අතට, Chewbacca චරිතය සඳහා දෙබස් නොතිබීමත්, හැඟීම්, භාව ප්‍රකාශන වැනි දෑ නොතිබීමත් නිසා, පෙනුම ප්‍රධානම සාධකය බවට ඉබේම පත්වී තිබුණි.

එසේ, එදා රෝහල් සේවකයෙකු වූ තරුණයෙකුට, දැන් ලොවක් හඳුනන චරිතයකට පණ පොවන්නට වාසනාව ගෙන දුන් අසාමාන්‍ය උස, සැබෑවටම එක්තරා ජාන විකෘතියක ප්‍රතිඵලයකි...!

මාෆාන් සහලක්ෂණය (Marfan Syndrome) ලෙස හඳුනාගෙන ඇති මේ ජානමය රෝග තත්ත්වය ඇති අයගේ සම්බන්ධක පටක එනිසා විකෘති වෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස අදාල පුදගලයාගේ අත්, පාද සහ ඇඟිලි දිගටි නම්‍යශීලී ස්වභාවයක් ගනී. මාෆාන් සහලක්ෂණය ඇත්තෙකු, එක් අතක මහපට ඇඟිල්ල සහ සුළැඟිල්ල, අනික් අතේ මැණික් කටුව වටා යවා ග්‍රහණය කළ විට, එම ඇඟිලි අතිපිහිත (overlap) වේ. මෙය එම සින්ඩ්‍රෝමය හඳුනා ගැනීමට භාවිතා වෙන සරල පරීක්ෂණයක් ලෙසද යොදාගැනේ...

හොඳයි නැවතත් පීටර් වෙත...

Chewbacca චරිතය සඳහා නිතරඟයෙන්ම තේරී පත් වූ පීටර්, චරිතයේ විස්තර දැන කියාගෙන ඊළඟට ගියේ ලන්ඩනයේ සත්තු වත්තටයි. එහි සිටි වළසුන්, වඳුරන්, ගෝරිල්ලන් වැනි සතුන් අධ්‍යයනය කළ ඔහු එම හැසිරීම් ඔස්සේ චරිතයේ ආකෘතිය ගොඩ නගා ගත් අතර Chewbacca වරින් වර නඟන ශබ්දය, ඔහුගේ විසින් නඟන හඬක් නොව විවිධ සත්ත්වයින්ගේ කෑ ගැසීම්වල කෘතිම  මිශ්‍රණයකින් පසුව එක් කරන හඬකි.

1977 පළමු Star Wars චිත්‍රපටයේ පටන් 2015 වසරේ පැමිණි Star Wars : The Force Awakens චිත්‍රපටය දක්වා නොකඩවා Chewbaccaට ඇඳි පීටර්, 2017 වසරේ තිරගත වූ Star Wars: The Last Jedi චිත්‍රපටයටත් 2018 දී Solo: A Star Wars Story චිත්‍රපටයටත් සහභාගී වූයේ නලුවෙක් ලෙස නොව උපදේශකයකු ලෙසයි. ඒ වයසත් සමඟ තම චරිතය නිරූපණය කිරීමට අපහසු බැවින්, Joonas Suotamo නම් නවක නලුවෙකුට එය බාර කරමින් ඔහුට ගුරු හරුකම් දීමටයි.

පීටර් මේහෙව්ට වෙස්වලාගත් ආශිර්වාදයක් වූ මාෆාන් සහලක්ෂණය, පුද්ගලයෙකුගේ ආයු අපේක්ෂාවට බලපෑමක් නොකරයි. එම සහලක්ෂණය සහිතව ජීවත් වෙන්නෝද සාමාන්‍ය අයු කාලයම භුක්ති විඳිති. 

1999 වසරේ විවාහ වී පසුව දරු තිදෙනකුගේ පියෙකු වී, වසර 74 ක් ආයු විඳ  පසුගිය අප්‍රේල් තිස් වෙනිදා පීටර් මේහෙව් හෘදයාබාධයකින් මෙලොව හැර ගියත් Chewbacca තුළ ඔහු සදා අමරණීය වී ඇත...



No comments:

Post a Comment