Friday, September 10, 2021

KON-TIKI (2012)

 ප්‍රංශ පොලිනීසියාව කියන්නෙ, ලෝක ගෝලයේ පහලට වෙන්න, දකුණු පැසිෆික් සාගරය මැද හරියෙ පිහිටල තියෙන දූපත් සමූහක්. නමෙන්ම තේරෙන විදිහට, මේක ප්‍රංශය යටතේ පාලනය වෙන, අර්ධ ස්වාධීන රාජ්‍යයක්. 

ඒත් කතන්දරේ ඒක නෙවෙයි, හැබැයි 

කතාව තේරුම් ගන්න නම්, ඒ දූපත්වල පිහිටීම ගැන අවබෝධයක් ඕනෙමයි... 

ප්‍රංශ පොලිනීසියාවෙ පිහිටීම බලපුවාම පේන්නෙ ඒකට වැඩියෙන්ම ලඟින් තියෙන්නෙ පැපුවා නිව්ගිනියාව, ෆීජි වගේ දූපත්. ඒවටත් තවත් නැඟෙනහිර දිහාට වෙන්න පැසිෆික් සාගරය මැද්දේ  හුදකලා වෙලා තියෙන දූපත් ටිකක් තමා මේ ප්‍රංශ පොලිනීසියාව. 

අනික් පැත්තෙ ඉඳල බැලුවොත්, දකුණු ඇමරිකාවට බටහිර පැත්තෙන්. හැබැයි ඒ පැත්තෙ ඉඳලා කෙනෙක් මූද හරහා එනව නම් සෑහෙන දුරක්, ඒ කියන්නෙ මූදු සැතපුම් හාරදාස් තුන්සීයක් විතර ගෙවාගෙන එන්න වෙනවා.

ඉතිං, මේ දූපත ජනාවාස වෙන්න ඒකට මිනිස්සු ඉස් ඉස්සෙල්ලාම සංක්‍රමණය වෙන්න ඇත්තෙ කොයි පැත්තෙ ඉඳලද?

දූපත් වලට බටහිරින් තියෙන පැපුවා නිව්ගිනියාව පැත්තෙ ඉඳලද? නැත්තං නැඟෙනහිර පැත්තෙන් සෑහෙන දුරින් තියෙන දකුණු ඇමරිකාවෙ ඉඳලද? 

ඕන කෙනෙකුට හිතෙන්නෙ ලඟ පැත්තෙන් එන්න ඇති කියලනෙ. 

ඒත් 1947 අවුරුද්දේදී නෝර්වීජියානු ජාතික දේශගවේෂකයෙක් සහ මානව විද්‍යාඥයෙක් වුනු තෝර් හෙයඩල් (Thor Heyerdahl) කිව්වා, එහෙම නෙවෙයි, ඒක ජනාවාස වුනේ දුර පැත්තෙන් කියල. ඔන්න එතකොට අනික් අය අභියෝග කලා, ඒක වෙන්නෙ කොහොමද ? අවුරුදු එක්දාස් පන්සීයකට විතර කලින් තිබ්බ සරල තාක්ෂණය එක්ක, ගෝත්‍රිකයන්ට පුලුවන්ද කිලෝමීටර් හත්දාහක විතර දුරක් ගෙවාගෙන ඒ පුංචි දූපත් වලට මූද හරහා එන්න කියල...

ඉතිං අර මනුස්සය මොකද කලේ? එයා කිව්වා, ඒක ඔප්පු කරන්න මම ගිහින්ම පෙන්නනම් කියල. ඒ අනුව, අවුරුදු දාස් ගානකට කලින් ගෝත්‍රික ජනතාව හදපු විදිහටම පහුරක් හදාගෙන එයා පිටත් වෙනවා දකුණු ඇමරිකාවේ පේරු වල ඉඳලා ප්‍රංශ පොලිනීසියාව බලා. ඒ වීර චාරිකාවට එයාගෙ යාලුවො ටිකකුත් එකතු වෙනවා...

ඉතිං, ඒ චාරිකාව සාර්ථක වෙයිද ? 

KON-TIKI (2012) චිත්‍රපටය බැලුවොත් ඒක දැන ගන්න පුලුවන්. බලන්න වටින ලස්සන චිත්‍රපටයක්. අනික ඉතිං මේක ඇත්ත සිද්ධියක්නෙ...

චිත්‍රපටයේ කතාව ඉඳුල් වෙන නිසා, වැඩි විස්තර කියන්න යන්නෑ.

බලපු අය විතරක් (හෝ බලල ඇවිදින්) පහළ ටික කියවන්න...

මේ චාරිකාවට ඔවුන් යොදාගත්තු පහුරට නම දැම්මේ Kon-Tiki කියලයි. (ඒ නිසාම ඒ ගැන හදපු ෆිල්ම් එකටත් ඒ නමම දාල තියෙනවා.) කොන් ටිකි කියන්නෙ, දකුණු ඇමරිකාවෙ තිබුනු පුරාණ ශිෂ්ඨාචාරයක් වෙච්චි ඉන්කා ශිෂ්ඨාචාරයේ හිරු දෙවියන් හඳුන්වන්න කියපු නමක්.

ෆිල්ම් එකේ කතාව ඇත්ත කතාවක් වුනත්, කතන්දරයක් විදිහට විචිත්‍රවත් කරන්න පොඩි දේවල් එකතු කරල අඩු කරල තියෙනවා.

ඒත්, මේ චිත්‍රපටයට පාදක වුනු, ඇත්තටම ගවේෂණ චාරිකාව ගිය ගවේෂකයා නොහොත් තෝර් හෙයඩල් (Thor Heyerdahl) විසින්ම, චාරිකාව තුළදීම රූගත කරපු දර්ශනවලින් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කළා. ඒකෙ නමත් Kon-Tiki මයි. ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වුණෙත් තෝර් මයි. ඒ වාර්තා චිත්‍රපටයට 1951 අවුරුද්දේ ඇකඩමි සම්මාන උළෙලේදී සම්මානයක් පවා ලැබුනා. ඉතිං අමුවෙන්ම ඇත්ත බලන්න ඕනෙනම්, ඒ චිත්‍රපටයත් හොයාගෙන බලන්න.

තෝර් විසින් තම ගවේෂණය අලළා, Kon-Tiki: Across the Pacific In a Raft නමින් ලියූ පොත 1948  දී පලවුනා. ඒක අලෙවි වාර්තා තැබූ පොතක් වුනා.

ඒ වගේම, තෝර් සහ ඔහුගේ යහළුවන් විසින් මෙම ගවේෂණාත්මක වීර චාරිකාව සඳහා යොදාගත් ලී කොට වලින් තැනූ පහුර, අදටත් නොර්වේහි ඔස්ලෝ නුවර, කොන් - ටිකි කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තියෙනවා...




නිදහසේ පියා DS

හම්මේ යාන්තං ඇති ලංකාවට නිදහස හම්බුනා. තව පොඩ්ඩෙන් ඒක හම්බෙන්න කලින් මට නින්ද යනව. ඒක නිසා 2x දාල බැලුවා. මුලු ලෝකෙන්ම කම්මැලිම නිදහස් සටන කරල තියෙන්නෙ අපේ රටේද කොහෙද. වාඩි වෙනවා කතා කරනව. ඊට පස්සෙ සුද්දො ටික වාඩි වෙලා ආපහු කතා කරනව. උන් සමහර වෙලාවට හොඳ සිංහලෙන් කතා කරනව. සමහර උන්ගෙ ඇක්සන්ට් එකවත් අවුලක් නෑ. (උදාහරණයක් විදිහට සිංහල උන්ම සුදු නායකයෙක්ට ගිහින් කුමන්ත්‍රණයක් ගැන කියද්දි, සුද්ද කියනව,

"ඕව දවල් හීන , කලබල වෙන්නැතුව ඉන්නවකො" කියල 😱. උන් අපිට සෙක්න්ඩ් වෙන් නෑ මෙහෙ ඉඳල ඉඳල මෙහෙටම ගොයි වෙලා.)

ඉන් පස්සෙ අර පාඩුවෙ වාඩි වෙලා වට මේස සාකච්ඡා කරපු උන් ඔක්කොම සුද්දො ඇවිත් අත්අඩංගුවට ගන්නව. එයින් එකෙක්ට වෙඩි තියල මරණව. අනේ ඇයි එහෙම ? උන් මොන වරදක් කලාටද? රටේ ඇති වුනු කෝලාහල වලට ඒ මිනිස්සුන්ගෙ අබ මල් රේණුවකවත් සම්බන්ධයක් තිබ්බ කියල හැඟෙවෙන දෙයක් මේකෙ පෙන්නන්නේ නෑ .( සමහර විට මේකෙ ඩිරෙක්ට බලන අපි ගැන  හිතන් ඉන්නෙ, "මචංල, උඹල දන්නවනෙ සීන් එක, උඹල අපි ඔක්කොම ලංකාවේ. ඉතිං , මම තැනින් තැනින් පෙන්නන්නේ බජට් එකේ හැටියට. ඉතිරි ටික අතින් දාගනිල්ලා හරිනෙ?" වගේ දෙයක්ද මන්ද.)

ඔන්න පෙන්නනව මිනිස්සු කනව, සාකච්ඡා කරනව. අනේ මෙන්න වෙඩි තියල මරණව! ආයි රබන් ගහනව. කුඹුරු කොටනව. ඔන්න ආපහු වාඩි වෙලා කනව. ඊට පස්සෙ පොඩි කාලෙ... ඉස්කෝලේ යනව. 

අනික මේ නලු නිලියො... ඩී. එස් පුංචි කාලෙ තාත්තට ඉන්නෙ ජී. ආර්. පෙරේරා . එයාම තමා ඩී. එස් බඳිනකොටත් ඒ චරිතෙට ඉන්නෙ. හැබැයි ඩී. එස් ගෙ අයිය කෙනෙකුට ඉන්නව ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ( එෆ්. ආර්. සේනානායකට), වයසට ගිහාම ඒක කරන්නෙ පාලිත සිල්වා. (මට තේරුන හැටියට ). 

ඔන්න එක පාරට පාලිත සිල්වා පෙන්නනවා. එයාට රිචඩ් කියල අනික් එකා කිව්වම අපි තේරුම් ගන්න ඕනෙ, ආහ් මේ අර රිචඩ්ම තමා මේ, එයා වයසට ගිහින් දැන් ඒ චරිතෙ කරන්නෙ මේ පාලිත සිල්වනෙ කියල . මොකද ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගෙ මූණුවර පාලිත සිල්වට ගෑවිලාවත් නෑ.

මේකෙ හැම චරිතයක්ම මුලින්ම පෙන්නද්දි ඒ චරිතයෙ නම යටින් දානව අපිට අඳුනගන්න . ඉතිං වයසට ගිහින් නලු නිලියො මාරු උනාමත් ඒක ආයි කරන්න ඕනෙ නේද ? 

නිකං ,

පාලිතව පෙන්නද්දී,

එෆ්. ආර්. සේනානායක (වයසට ගිහින්)

වගේ 🤔.

මුලින්ම ඩී. එස්. මැරෙන එක පෙන්නන්නේ. ඉන් පස්සෙ අන්තිමටත් ඒ සිද්ධිය කන්ටිනියු වෙනව. ඒක ඔය වගේ කතා වල සාමාන්‍ය ටෙක්නික් එකක්නෙ. ඒත් මැද ටික හරි මැල්ලුමක් කරන්නෙ නැතුව කරන්න තිබ්බනෙ. (Non linear narrative එකක් කියල නම් කියන්න බෑ.)

කොටින්ම මේක වාර්තා චිත්‍රපටයක්ද වෘතාන්තයක්ද කියල සැක හිතෙන තරම් අවුල් යනව. ඩි.එස්. බැක්ග්‍රවුන්ඩ් එකේ එයාගෙ ඩයරිය කියවනව වගේ දොඩවනව සෑහෙන කාලයක්. අන්තිමට අපිට ගිහින් සුද්දන්ගෙන් වැඳල ඉල්ලන්න හිතෙනව, අනේ අපිට නිදහස දීපියව් මේ මඟුල ඉවරයක් වෙන්න කියල 😁.

සල්ලි තිබ්බ පලියට, වියදම් කරපු පලියට හොඳ චිත්‍රපට හදන්න බෑ කියන එකට දර්ශීය උදාහරණයක් තමා මේක මට නම්.

ඩිස්ක්ලේමර්: කතා කලේ නිදහසේ පියා DS නම් චිත්‍රපටය පිලිබඳව මිස, ලංකාවේ සැබෑ නිදහස් සටන ගැන නොවේ.



Chewbacca ගේ කතන්දරය...

 1977 අවුරුද්දේ මුල්ම Star Wars චිත්‍රපටය රූගත කිරීම ඇරඹීමට සූදානම්ව සිටි ජෝජ් ලූකාස්ට එහි එන පිටසක්වල ජීවියෙකු වූ Chewbacca ට ගැලපෙන නලුවෙකු අවශ්‍ය කර තිබුණි.

Star Wars රසිකයන්ට නම් අමුතුවෙන් හඳුන්වා දිමේ අවශ්‍යතාවක් නැති වුවත් කෙටියෙන් කිව්වොත් Chewbacca යනු Wookiees ලෙස හැඳින්වෙන පිටසක්වල ජීව විශේෂයේ එකෙකි. 

සාමාන්‍ය මිනිසෙකුට වඩා වැඩි උසකින් යුතු මේ ජීවීයාට පණ දීමට, සාමාන්‍ය මිනිසෙකුට වැඩි උසකින් හෙබි නලුවෙකු අවශ්‍ය කර තිබුණ අතර මුලින්ම ඒ සඳහා ලූකාස් විසින් තෝරගෙන තිබුණු අඩි හයකුත් අඟල් හයක් උස ඩේවිඩ් ප්‍රවුස්, පසුව ඩාත් වේඩාර් චරිතය සඳහා තෝරාගැනීම සමඟම Chewbacca චරිතය පුරප්පාඩු විය.

අලුතින් තැනෙන Star Wars නම් චිත්‍රපටයක් සඳහා උසින් වැඩි නලුවෙක් සොයන බවට ලද ආරංචියකට, එවකට ලන්ඩනයේ කින්ග්ස් කොලේජ් රෝහලේ වාට්ටු සහයකයෙකු ලෙස රැකියාව කළ පීටර් මේහෙව් (Peter Mayhew) නැමැති උස හීන්දෑරි තරුණයෙක්, ලන්ඩන් නුවර Elstree නම් ස්ටූඩියෝවේ ඒ වෙනුවෙන් පැවති තිර පරීක්ෂණය සඳහා සහභාගී වීමට පැමිණ වාඩිවී සිටි අතර, ජෝජ් ලූකාස් පැමිණි පසු ඔහුට අතට අත දීමට පීටර් නැගී සිටි පමණින්ම, ඔහුව එසැණින් චරිතය සඳහා තෝරාගැණුනි!

එම ක්ෂණික තෝරාගැනීමේ ප්‍රධාන හේතුව වූයේ අඩි හතකුත් අඟල් තුනක් වූ පීටර්ගේ උසත්, හීන්දෑරි පෙනුමත්ය. අනික් අතට, Chewbacca චරිතය සඳහා දෙබස් නොතිබීමත්, හැඟීම්, භාව ප්‍රකාශන වැනි දෑ නොතිබීමත් නිසා, පෙනුම ප්‍රධානම සාධකය බවට ඉබේම පත්වී තිබුණි.

එසේ, එදා රෝහල් සේවකයෙකු වූ තරුණයෙකුට, දැන් ලොවක් හඳුනන චරිතයකට පණ පොවන්නට වාසනාව ගෙන දුන් අසාමාන්‍ය උස, සැබෑවටම එක්තරා ජාන විකෘතියක ප්‍රතිඵලයකි...!

මාෆාන් සහලක්ෂණය (Marfan Syndrome) ලෙස හඳුනාගෙන ඇති මේ ජානමය රෝග තත්ත්වය ඇති අයගේ සම්බන්ධක පටක එනිසා විකෘති වෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස අදාල පුදගලයාගේ අත්, පාද සහ ඇඟිලි දිගටි නම්‍යශීලී ස්වභාවයක් ගනී. මාෆාන් සහලක්ෂණය ඇත්තෙකු, එක් අතක මහපට ඇඟිල්ල සහ සුළැඟිල්ල, අනික් අතේ මැණික් කටුව වටා යවා ග්‍රහණය කළ විට, එම ඇඟිලි අතිපිහිත (overlap) වේ. මෙය එම සින්ඩ්‍රෝමය හඳුනා ගැනීමට භාවිතා වෙන සරල පරීක්ෂණයක් ලෙසද යොදාගැනේ...

හොඳයි නැවතත් පීටර් වෙත...

Chewbacca චරිතය සඳහා නිතරඟයෙන්ම තේරී පත් වූ පීටර්, චරිතයේ විස්තර දැන කියාගෙන ඊළඟට ගියේ ලන්ඩනයේ සත්තු වත්තටයි. එහි සිටි වළසුන්, වඳුරන්, ගෝරිල්ලන් වැනි සතුන් අධ්‍යයනය කළ ඔහු එම හැසිරීම් ඔස්සේ චරිතයේ ආකෘතිය ගොඩ නගා ගත් අතර Chewbacca වරින් වර නඟන ශබ්දය, ඔහුගේ විසින් නඟන හඬක් නොව විවිධ සත්ත්වයින්ගේ කෑ ගැසීම්වල කෘතිම  මිශ්‍රණයකින් පසුව එක් කරන හඬකි.

1977 පළමු Star Wars චිත්‍රපටයේ පටන් 2015 වසරේ පැමිණි Star Wars : The Force Awakens චිත්‍රපටය දක්වා නොකඩවා Chewbaccaට ඇඳි පීටර්, 2017 වසරේ තිරගත වූ Star Wars: The Last Jedi චිත්‍රපටයටත් 2018 දී Solo: A Star Wars Story චිත්‍රපටයටත් සහභාගී වූයේ නලුවෙක් ලෙස නොව උපදේශකයකු ලෙසයි. ඒ වයසත් සමඟ තම චරිතය නිරූපණය කිරීමට අපහසු බැවින්, Joonas Suotamo නම් නවක නලුවෙකුට එය බාර කරමින් ඔහුට ගුරු හරුකම් දීමටයි.

පීටර් මේහෙව්ට වෙස්වලාගත් ආශිර්වාදයක් වූ මාෆාන් සහලක්ෂණය, පුද්ගලයෙකුගේ ආයු අපේක්ෂාවට බලපෑමක් නොකරයි. එම සහලක්ෂණය සහිතව ජීවත් වෙන්නෝද සාමාන්‍ය අයු කාලයම භුක්ති විඳිති. 

1999 වසරේ විවාහ වී පසුව දරු තිදෙනකුගේ පියෙකු වී, වසර 74 ක් ආයු විඳ  පසුගිය අප්‍රේල් තිස් වෙනිදා පීටර් මේහෙව් හෘදයාබාධයකින් මෙලොව හැර ගියත් Chewbacca තුළ ඔහු සදා අමරණීය වී ඇත...



ග්‍රහලෝකයක චුම්භක ක්ෂේත්‍රය සහ The Core

 අවුරුදු ගානකට කලින් සිරසෙ ගියා The Core  කියල ෆිල්ම් එකක්. මේක ඇත්තටම සාර්ථක ෆිල්ම් එකක් නෙවෙයි. බජට් එක තරම්වත් හොයාගන්න ලැබුනෙ නැති බොක්ස් ඔෆිස් failure එකක්. හුඟක් විද්‍යාඥයෝ සහ විද්‍යාත්මක දැනුමක් තියෙන ඒක බලපු අය ඒක හඳුන්වා දීල තියෙන්නෙ එදා මෙදා තුර හැදුනු වැඩිම විද්‍යාත්මක වැරදි සහිත විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් විදිහටයි. (ඒ අතින් මේක දෙවැනි වෙන්නේ Armageddon එකට විතරයි කියලත් කියනවා.) කොහොමෙන් හරි කමක් නෑ, තොරා බේරගෙන බලන්න කියල ලොකු දේවල් ලැබුනෙ නැති ඒ කාලෙ ඔය වගේ ෆිල්ම් එකක් කියන්නෙත් ඉතිං ලොකු දෙයක්. මොනා උනත් සයන්ස් ෆික්ෂන් කිව්වම ඉතිං බලනව. ඉතිං මේකත් ආසාවෙන් බැලුව. 

මේ ෆිල්ම් එකේ කතාවෙ හැටියට, මිනිස්සුම කරන විද්‍යාත්මක පරීක්ෂණයක් අවුල් ගිහින් ලෝකෙ ගෝලෙ මැද්දෙ තියෙන ලෝදිය ගුලිය කැරකෙන එක නතර වෙනව. ඒ නිසා, ඒකෙ ප්‍රතිඵලයක් විදිහට පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය නැති වෙලා යනව. චුම්භක ක්ෂේත්‍රය නැති වෙලා යනව කියන්නෙ අවුල් ගොඩකට මුල නිසා විද්‍යාඥයෝ තීරණය කරනවා විශේෂ යන්ත්‍රයක් යොදාගෙන පොලොව මැදට හාරගෙන ගිහින් පිපිරීම් වගයක් කරල අර නතර වුනු චලිතය නැවත පණගන්වල චුම්භක ක්ෂේත්‍රය ආපහු ගන්න. 

ඉතිං බැලූ බැල්මට විද්‍යාත්මක ඇත්ත බවක් පෙනුනට ඔය කියන කතාවේ විද්‍යාත්මක අවුල් ගොඩක් තියෙනවා. තියෙනවා කියල දැන් තේරෙනවා. ඕක බලපු කාලේ, උන් තකහනියෙ පොලොව මැද්දට යන්නෙ ඇයි ? චුම්භක ක්ෂේත්‍රය නැති වුනා කියල ඔච්චර දඟලන්න ඕනෙද? වගේ ගැටලු තමා තිබුනෙ. 

හැබැයි දැන් තේරෙනවා ග්‍රහලෝකයකට චුම්භක ක්ෂේත්‍රයක් තිබීමේ වැදගත් කම. ඉතිං ඒක තේරෙන්නෙ නැති කෙනෙකුට, ඒක තේරුම් ගන්න නම් බලන්න හොඳ ටීවි සීරීස් දෙකක් තියෙනවා. එකක්, BBC එකෙන් කරපු The Planets කියන එක. අනික නැෂනල් ජියෝග්‍රැෆික් එකෙන් කරපු One Strange Rock කියන සීරීස් එක. විශේෂයෙන්ම ඔය දෙවෙනි එක නම් පෘථිවිවාසියෙක් විදිහට ඔබ අනිවාර්යයෙන් බලන්න ඕනෙම එකක්. 

හරි. එතකොට කිය කිය හිටියෙ Core ගැනනෙ. ඒ ෆිල්ම් එකේ පෙන්නන විදිහට, ලෝකේ මැද්දේ තියෙන භ්‍රමණය වෙන ලෝහමය තරලය නිසා චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා කියන එක ඇත්ත වුනාට, ඒක මිනිස්සු කරන ක්‍රියාවක් නිසා නතර වෙන එක හෝ  'රී ස්ටාට්' කරන්න පුලුවන් කියන එක ඇත්තටම විද්‍යාත්මක විහිලුවක්. මේ මුලු ලෝකෙම තියෙන න්‍යෂ්ටික බෝම්බ එකතු කරලවත් ඒක කරන්න තියා හිතන්නවත් බෑ.  

හැබැයි යම් ග්‍රහලෝකයක් සැලකුවාම කාලයක් යද්දි ඒකේ මැද්දේ  තියෙන ලෝදිය ක්‍රියාකාරිත්වය නැති වෙලා ගිහින්, ස්වභාවිකව ඕක නතර වෙන්න පුලුවන්. ඔය අඟහරු ලෝකය කියන්නෙ එහෙම නතර වෙච්චි ග්‍රහලෝකයක් කියල තමා කියන්නෙ (අර ටීවි සීරීස් දෙකෙන් ලබා ගත් දැනුම 🤗)  එහෙම නතර වුනාම ඒ ග්‍රහලෝකයේ මතුපිට තියෙන ගිනිකඳු වගේ දේවලුත් නතර වෙනව. මැද්දේ වැඩ නෑ කියල හොයාගන්න පුලුවන් ක්‍රමයක් ඒක. අඟහරු වල තියෙන්නේ ඉස්සර සක්‍රීයව තිබ්බ දැන් මියගිය ගිනිකඳු. දැන් ලාවා ගලන්නෙ නෑ. ග්‍රහලෝකය මැද්දේ චලනය වෙන ද්‍රවමය ලෝහ නැති නිසා, ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඇතිවෙන චුම්බක ක්ෂේත්‍රයකුත් නෑ. චුම්භක ක්ෂේත්‍රයක් නැති නිසා සූර්යයාගෙන් විහිදෙන සූර්‍ය සුලං වලට ඒ ග්‍රහලෝකයේ වායුගෝලය කෙලින්ම නිරාවරණය වෙනව. ප්‍රතිඵලයක් විදිහට ජීවයක් ඇති වෙන්නත් බැරි, ජීවීන්ට ඉන්නත් බැරි තත්ත්වයක් ඇති වෙනව. වායුගෝලයේ පැවැත්මටත් මේක බලපානව. ද්‍රව ජලය ග්‍රහලෝකය මත රඳා පවතින එකටත් ඒක බලපානව. ඉතිං චුම්භක ක්ෂේත්‍රයක් නැති වෙච්චි ග්‍රහලෝකයක් කාලයක් යද්දී ටික ටික මැරිල යනව. ද්‍රව ජලය වාෂ්ප වෙලා, ජීවයක් තිබ්බ නම් ඒකත් නැති වෙලා යයි. අඟහරු ලෝකෙ ඉස්සර ගංඟා තිබුනා කියල පේන්න තියෙනවා. දැන් ඒව නෑ. ඒ වතුර වාෂ්ප වෙලා ගිහින්.

ඒත් අපි ඉන්න ග්‍රහලෝකයේ දෙයියනේ කියල මැද්දේ සක්‍රීය ලෝදිය තියෙනවා. ඒකෙ නිසා, ඒ කියන්නෙ සන්නායකතාවක් තියෙන දෙයක් චලනය වෙන නිසා, ඇති වෙන චුම්භක ක්ෂේත්‍රයක් තියෙනවා. මේ නිසා 'ඉරෙන් එන හුලං' වලින් අපිට ලොකු කරදරයක් නෑ. ඒවා කෙලින්ම ග්‍රහලෝකයේ පෘෂ්ඨයේ වදින්නෙ නැතුව චුම්භක ක්ෂේත්‍රයට අනුගතව විහිදිලා වටෙන් යනව. ඒ සූර්‍ය සුලං වල තියෙන අංශු අර චුම්භක ක්ෂේත්‍රයේ ධ්‍රැව පිහිටන ලෝක ගෝලේ ඉහළ සහ පහළ තැන් වලදී වායුගෝලයේ ඇති නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරල අහසේ පාට පාට රටා පේනව. ඒව තමා අවුරෝරා කියල කියන්නෙ. 

ඔන්න වගේ ලස්සන කාරණා ගොඩක් දැන ගන්න පුලුවන් , අර කිව්ව ටීවි සීරීස් දෙක බැලුවොත්.

අර ෆිල්ම් එකත් බලන්න බලල නැත්තං. හැබැයි ඒක එච්චර සීරියස් ගන්න එපා. මොකද ඒකෙ පෙන්නන විදිහට ග්‍රහලෝකයක තියෙන චුම්භක ක්ෂේත්‍රයක් ඒ විදිහට සෙනිකව හුචස් වෙලා යන්න නම් ලොවෙත් විදිහක් නෑ. එහෙම වුනත්, ඒකෙ පෙන්නන විදිහට ඒක නතර වුනු ගමන්ම හෙණ පාත් වෙනව වගේ සූර්‍ය කුණාටු, විකිරණ කදම්බ එන්නෙ නෑ. ඒක වසර ගණනාවක් තිස්සෙ ක්‍රමයෙන් වෙන ක්‍රියාවලියක්. ඒක ෆිල්ම් එකක් නිසා, බලන උන්ට ආතල් එකක් දෙන්න ඕනෙ නිසා, ඒ තත්ත්වය අතිශෝක්තියට නංවල තියෙනවා උපරිමෙන්.

(ග්‍රහලෝකයක චුම්භක ක්ෂේත්‍රය ඇතිවෙන එක කියන්න පුලුවන් තරම් කෙටියෙන් කිව්වෙ. එකෙ තව ගොඩක් කතන්දර තියෙනවා. පුලුවන් නම් කොරියෝලිස් ආචරණය ගැනත් හොයල බලන්න.)




කොපියක් නේද ?

හුස්ම කියන්නෙ අහවල් ෆිල්ම් එකේ කොපියක් කියන එක පිළිබඳව මේ වෙන විට ඔයා දැනුවත් වෙලා නැත්තං, ඒ කියන්නෙ ඔයා චිත්‍රපටි ගැන ලොකු උනන්දුවක් තියෙන කෙනෙක් නෙවෙයි.

හරි ඉතිං කොහොම හරි ඒක කොපියක් තමා. දැන් අදහස් දෙකක් තියෙනවනෙ ඔය ගැන;

කට්ටියක් කියන්නෙ කොපි කරල හරි ඔය මට්ටමට හදපු එක හොඳයි . කොපි කරන එක උනත් ලස්සනට කරල තියෙනවා කියන එක.

තව කට්ටියක් එකෙන්ම ඒකට විරුද්ධයි. කොච්චර ලස්සනට තිබ්බත් ඒ ලස්සනට හේතුව කලින් එකක් එහෙම් පිටින්ම කොපි කිරීම මිසක් වෙන අමුතු දෙයක් නෑ කියන එක තමා එයාලගෙ පොයින්ට් එක.

මගේ අදහස නම් චිත්‍රපට කොපි කලාට කමක් නෑ. කොපි කරනව කියන එක සවුත්තුයි වගේ නම් අභාසය වගේ දෙයක් ගත්තත් අවුලක් නෑ 😜. හැබැයි ඔය දෙකම කරන වැදගත් විදිහ තමා මුල් නිර්මාණයට ක්‍රෙඩිට්ස් දීල කරන එක.

දැන් ඕක කොපි කරල හරි ඔය විදිහට කරපු එක හොඳයි කියල කියන අය ගේන සරල තර්කයක් තමා, හොලිවුඩ් ෆිල්ම්ස් වුනත් සැලකිය යුතු ප්‍රමාණයක් වෙන රටවල් වල හැදුනු චිත්‍රපට වල කතාව අරගෙන, "ආබාසය" අරගෙන හදපුව කියන එක. උදාහරණයක් හැටියට හොලිවුඩ් හොරර් ෆිල්ම් සැලකිය යුතු ප්‍රමාණයක් ජපන් ෆිල්ම්ස් වල කොපි.

හැබැයි මෙතෙන්දි වෙනසක් තියෙනවා. හොලිවුඩ් වල චිත්‍රපටයක් හදද්දී එයාල ඒක කරන්නෙ වෙන මොකක් හරි නාට්‍යයක්, වේදිකා නාට්‍යයක්, ෆිල්ම් එකක්, නවකතාවක්, කෙටි කතාවක් හෝ මෙකී නොකී මොනයම් හෝ මින් පෙර නිපදවුනු නිර්මාණයක් පාදක කරගෙන නම් ඒ නිර්මාණයට ක්‍රෙඩිට්ස් දෙනව. ෆිල්ම් එකක් ඉවර වෙච්ච ගමන් වහල නොදා නාමාවලිය ඉවර වෙනකම් බලනව නම් බොහෝවිට නාමාවලිය කෙලවරේ හෝ මේක අහවල් එක ඇසුරෙන් හදපු එකක්ය කියල දානව. එහෙම නොදානවම් බොහෝවිට අදාළ මුල් කතුවරයට, නිර්මාණකරුවට මුදල් ගෙවල නිර්මාණ අයිතිය ලබාගෙන නිසා තමා නොදා ඉන්නෙ මොකද එතකොට දාන්නම කියල නියමයක් නෑ.

හැබැයි එහෙම නොදා චුට්ටක් හරි කොපි කලාය කියල ඔප්පු උනොත් ඉතිං ඩොලර් මිලියන ගණන් වලින් තමා වන්දි ගෙවන්න වෙන්නෙ. (මේ ළඟදී කැටී පෙරීට එහෙම ඩොලර් මිලියන දෙක හමාරක් ගෙවන්න උනා වැඩිය ප්‍රසිද්ධ නැති ගායකයෙක්ගෙ සින්දුවක තියෙන "බීට් කෑල්ලක් " එයා තමන්ගෙ Dark Horse කියන සින්දුවට පාවිච්චි කලා කියල ඔප්පු වෙලා.)

හැබැයි ලංකාවේ එහෙම නීත්‍යානුකූල දේවල් වෙන්නේ ලංකාවේම නිර්මාණය වෙච්ච දෙයක් ලංකාවේ තව කෙනෙක් කොපි කරනව නම් විතරයි. මොකද එහෙම නොකලොත් අර මුල් එක හදපු එකා පස්සෙන් එලෝගෙන ඇවිත් ඔලුව කනව කියල දන්නවනෙ. ඌත් ලංකාවේ මූත් ලංකාවේ නිසා හොර වැඩ කරන්න බයයි. හැබැයි ලෝක මට්ටමෙන් හදපු එව්වට එහෙම කලා කියල උන් පස්සෙන් එලෝගෙන එන් නැති බව මෙයාල දන්නව. ඒ නිසා බලපු එවුන් මේක අහවල් එකේ කොපියක් කියල තේරුම් ගත්තොත් මිසක් ඒක කොපියක් බව නිල වශයෙන් සඳහන් වෙන තැනක් නෑ.

මේව සවුත්තු වැඩ... සහ ලංකාව වගේ රටවල් වලට ලාක්ෂණික ගති සිරිත්...

ඒ කියන්නෙ හොරකම් කරන්න අවස්තාවක් තියෙනවා කියල පෙනුනාම වැදගත් විදිහට හොරකම් කරගැනීමේ කලාව.

මීට කාලෙකට කලින් අර ස්වර්ණවාහිනියෙ නාට්ටයක් ගියා, තුර්කි ටෙලිනාට්‍යක් අමුවෙන්ම කොපි කරල. නමුත් ඒක හදපු කෙනාගෙන් ඒක කෙලින්ම ප්‍රශ්නයක් විදිහට අහපු වෙලේවත් ඌ පිලිගත්තෙ නෑ ඒක කොපියක් කියල. එයා එහෙම තුර්කි නාට්‍යයක් තියෙනවා කියල දන්නෙවත් නෑලු. (සිරි ලංකාවේ ලාක්ෂණික ගතිය)

ඉස්සර (සහ දැනුත් යනව ද මන්ද) ITN එකේ ගිය හඬ කවපු "ළමා චිත්‍රපට"... ඒවත් මේ ගොඩේම තමා. වැදගත් හොරකම්.

ඒවට සිංහල හඬකවල තියෙන්නෙ හරි පාරෙ ගිහින් නෙවෙයි බව ඇහුවම තේරෙනව. සමහර ඒව කරෝකි මෝඩ් එකට දාල උඩින් සිංහල අලෝල වගේ පේන්නෙ. ඒත් ලංකාවේ අයට ඔව්ව එච්චරම ගානක් නෑ. ඔය මොනා හරි රත් කරල දුන්නම, පිළුණු උනත් කන ජාතියක් කියල දන්න නිසා, පොඩි උනුත් ඒ ජාතියෙම කියල දන්න නිසා, උන්ට ඉස්කෝලේ නිවාඩු දවසට උදේට කන්න ෂෝට් ඊට්ස් වගේ ඔය හොලිවුඩ් ෆිල්ම් වල ඩීවීඩි ටිකක් හොයාගෙන ලාබෙට හඬ කවෝල දෙනව කාපං කියල.

ඒ අතින් ඔය වැඩේ වැදගත් විදිහට කලේ සිරස. (ඊට කලින් ජාතික රූපවාහිනිය කළ බව ගෞරවයෙන් සිහිපත් කරමු.) මට මතකයි එක සැරයක් ඔය ස්කූබි ඩූ හඬ කවපු විදිහ ගැන වැඩසටහනක් ගියා. ඒකෙ කියපු හැටියට, ලංකාවේ ස්කූබි ඩූ සිංහලෙන් පෙන්වීමේ නිල අයිතිය එයාල මුලින්ම අරගත්තලු. ඉන්පස්සේ එක එක චරිතය සඳහා හඬ දෙන්න බලාපොරොත්තු වෙන නලු නිලියන්ගේ හඬ සාම්පල් වෝනර් බ්‍රදර්ස්ලගෙ ස්ටුඩියෝ එකට යවල තියෙනව. එහෙන් ඒ ඒ හඬවල් අදාළ චරිතය සඳහා ගැලපෙනවා කියල අනුමත කළැයින් පස්සෙ තමා හඬකවන්න පටන් අරං තියෙන්නෙ. හරියට කරනව නම් ටිකක් බරපතල වැඩක්. හැබැයි පිලිවෙළට කළාට පස්සෙ වැඩේ ලස්සනයි. පිරිසිදුයි. ඓතිහාසිකයි...

ලංකාවේ කොපි කරපුවාට උදාහරණ නම් අනන්තයි අප්‍රමාණයි. ඇත්තටම ඊට වඩා ලේසියි ලංකාවේ ස්වතන්ත්‍ර නිර්මාණ ටික මෙන්න මෙව්ව කියල පැත්තට කරල, ඉතිරි ටික කොපි කියල වර්ග කරන එක.

ඉතිං අවසානයේ කියන්න තියෙන්නෙ කොපියක් ගහන එකේ වැරැද්දක් නෑ. හැබැයි දෙයියනේ කියල ඒක හරියට කරන්න. ඒ කියන්නෙ සදාචාරාත්මක විදිහට මුල් නිර්මාණ කරුවන්ට කියල එයාලගෙ අවසරය ලබාගෙන, ගෙවන්න ඕනෙනම් ගෙවල...

එහෙමත් බැරි නම් අඩුගානේ තමන්ගෙ නිර්මාණය අහවල් එකේ කොපියක් නේද කියල ඇහුවමවත් "ඔව්" කියල පිළිගන්න නිහතමානී වෙන්න. ඒකත් බැරි නම් ඉතිං කළාකරුවෙක් කියල කියන්නෙ කොහොමද ?