මම මෝඩ තරිඳු බැලුවා ජනවාරි පලවෙනිදා. තාමත් සෙනඟ ඉන්නවා ඒකට. දැන් මේක ගොඩක් අය බලල ඇතිනෙ, ඒ කියන්නෙ බලන්න ආසාවක් තියෙන උන් දැන් මේක බලල ඇති. මම මේක ගැන මට හිතෙන දේවල් ටිකක් කියන්නම්, හැබැයි ඒ ටික කියන්න කතාව ස්පොයිල් කරන්න වෙනවා. දැන් මේක ඇවිත් ගොඩක් කල් නිසා චිත්‍රපටිය බලපු උන් එක්ක කතා කරන්න පුළුවන් නෙ. අලුත් පිට ස්පොයිල් කරන එක හරි නෑනෙ.
එහෙනං මේක බලපු උන් සහ ලොවෙත් බලන්නෙම නැ
ති උන් විතරක් පහළට කියවන්න, මොකද බලන්න ඉන්නව නම් ස්පොයිල් නොකරගත යුතුම ෆිල්ම් එකක් තමා මෝඩ තරිඳු කියන්නෙ.....
එහෙනං ඔන්න major spoilers ahead.... ⚠️️⚠️️
මුලින්ම කියන්න ඕනෙ මේක සල්ලි දීලා බැලුවට කිසිම පාඩුවක් නැති , ගෙවන මුදලට සාධාරණයක් කරන චිත්‍රපටියක්. සහ සාමාන්‍ය මනුස්සයෙක්ට නම් බැලුවම හිනා යනවා මටත් හිනා ගියා. හැබැයි මට හිතුනෙ මේ ෆිල්ම් එකේ ඒ ඔරිජිනල් කතාව මීටත් වඩා ලස්සනට ගොඩ නගන්න සහ රූපමය පැත්තෙන් මීට වඩා දෙයක් ෆිල්ම් එක ඇතුලෙ කරන්න තිබ්බය කියලා. නිකං ඔප නොදාපු මැණිකක් වගේ. වටිනව තමා. හැබැයි තව පොඩ්ඩක් මහන්සි උනා නම් තව වටිනාකම සෑහෙන ගුණයකින් වැඩි කරගන්න තිබ්බා.
ඔන්න මැණිකක් කියලා පැහැදිලිවම කිව්වා හොඳේ. ඉතිං පහළ ටික කියවල මට බණින්න එපා. මම දැන් කියන්න යන්නෙ මේකෙ හොඳ නෙවෙයි මම දැක්ක අඩුපාඩු සහ අවුල් සහගත තැන් ටිකක්. සමහර විට මට යම් යම් දේවල් මග ඇරුණු නිසා නොතේරුනු තැනුත් ඇති. ඒවා දැක්කොත් කියන්න.
දැන් මේ ෆිල්ම් එක බලන්න යන්න කලින්ම ඕකෙ ආච්චි මැරිලා ඒ මැරිච්ච ආච්චි තමා ෆිල්ම් එක පුරාවට ඉන්නෙ කියන කාරණය මට ස්පොයිල් වෙලාමයි තිබ්බෙ. ඒක දැනගෙන තමා මම ඕක බැලුවෙ. හැබැයි එච්චරයි. වෙන මුකුත් මම දැනන් හිටියේ නෑ. බොහොම අමාරුවෙන් ස්පොයිල් නොකරගෙන තියාගත්තා අනිවා බලනවා කියලා හිටිය නිසා. ඒ නිසාම මේකෙ මේන් කැරැක්ට එක, තරිඳු වතුරෙ ගිලිලා මැරෙන එක ටෝටල් සර්ප්‍රයිස් එකක් වුනා මට. ඌ මැරෙනව කියලා හීනෙකින්වත් හිතුවෙ නෑ.
දැන් ඔය තරිඳු මැරෙන එකෙන් තමා, මේ ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ සහ ෆිල්ම් එක කොමඩියක් බවට පත් වීම ඇරඹෙන්නෙ. මම හරි නේද? ඔය මළවුන්ගේ ලෝකය එක්ක වෙන අතිච්ඡාදණය නොවෙන්න, ඔය ෆිල්ම් එකේ හිනාවෙන්න කතාවක් නෑ. ඒ මළගිය ප්‍රාණකාරයින් ටික පැත්තකට කළොත් මේක ඇත්තටම ට්‍රැජඩියක්නෙ. තරුණ කොල්ලෙක් අකාලෙ , නිරපරාදේ මැරෙනව.
අපි ෆිල්ම් එකක් බලන්න යනකොට මේක කොමඩියක්නෙ, අපි හිනා වෙන්න ඕනෙ කියලා යන් නෑනෙ , අපිට හිනා ගියොත් ෆිල්ම් එක කොමඩියක් විදියට සලකන්න පුළුවන් මිසක්, ෆිල්ම් එක කොමඩියක් කියලා සැලකෙන නිසා බලන උන් හිනා වෙන්න ඕනෙ කියලා දෙයක් නෑනෙ. එතකොට මේ ෆිල්ම් එක අර ඉස්සර ආපු ටෙනිසන් කුරේලා ඉන්න ජාතියෙ කොමඩි ෆිල්ම් එකක් නෙවෙයි. මේක ටිකක් සිකුරු හතේ වගේ එකක්. මේ කතාව බොහොම සාමාන්‍ය මේ අපි ජීවත් වෙන ලෝකයේ සිද්දවෙන කතාවක්. මේ අපි දන්න ලොකේෂන්වල, අපි ඉන්න වර්තමාන කාලයේම වෙන එකක්. මේ සාමාන්‍ය කතාවට ෆැන්ටසිමය බව එකතු වෙන්නෙ අර මළවුන්ගෙ ලෝකය එක්ක එකතු කිරීමෙන්. ඒ මළවුන්ගේ කමෙන්ට්වලට හැසිරීම් වලට තමා අපි හිනා වෙන්නෙ. ඒකෙනුත් ඇත්තටම අර ආච්චි කියන දෙබස්වලට තමා අපිට හිනා යන්නෙ. ඇත්තටම ෆිල්ම් එකේ කොමඩික් බව සීයට අනූවක්ම වගේ එන්නෙ ආච්චිගෙ දෙබස් වලින්.
එතකොට ඒවට අපි හිනා වුනාට ඇත්තටම ෆිල්ම් එකේ කතාව යන්නෙ හදිසි මරණයක් සහ මළ ගෙයක් වටා. ඔන්න ඔතෙන්දි, මේක කොමඩි ෆිල්ම් එකක්, මේක මිනිස්සු බලන්නෙ හිනා වෙන්නනෙ කියලා හිතලා, කරපු යම් යම් දේවල් නිසා ඒ සාමාන්‍ය ලෝකයේ යන කතාවෙ ගොඩක් සිදුවීම්වලට ටිකක් අභව්‍ය ගතියක් ආරෝපණය වෙලා තියෙන බව පේනව.
මුලින්ම ගමුකො තරිඳුව මැරෙන සීන් එකම. ඔතනින්නෙ ඇත්තටම කතාව පටන් ගන්නෙ. ඇත්තටම උඹලට ඒක සාමාන්‍යයි වගේ හිතෙනවද? ඇත්තටම එහෙම කොල්ලො කෙල්ලො ටිකක් ට්‍රිප් ගියාම ඔන්න එකෙක් පීනන්නත් දන් නැතුව වතුරට පනිනවා. ඌට පනින්න ලොකු හේතුවකුත් නෑ. මේ ෆිල්ම් එකේ කිසිම තැනක ඒකට සාධාරණ හේතුවක් දෙන්නෙත් නෑ, ඇත්තටම අපිට කතාව ඉස්සරහට යද්දී හිතෙනව අපි නොදන්න, ඒත් අර කෙල්ලත් සම්බන්ධ මොකක් හරි සිද්ධියක් තියෙනවා ඇති කියලා ඌට එවෙලෙ වතුරට පනින්න. මොකද කෙල්ල කොල්ල මැරුනට පස්සෙ විශේෂයෙන් කිය කිය අඬනවනෙ තරිඳු මැරුනෙ මං හින්දය කියලත්. එතකොට ඇත්තටම මට හිතුනා මේකි මොකක් හරි අරූට කියලා , ඒ කියන්නෙ නිකං 'ආදරෙයි නම් පැනල පෙන්නන්න' වගේ දෙයක් හෝ එහෙම ඇඟවීමක් හරි කරපු නිසයි අරූ අර විදිහට පැන්නෙ කියලා. ඒත් ඇත්තටම බැලුවම එහෙම මුකුත් නෑ. ඌ නිකංමයි පැනල තියෙන්නෙ. ඌ වතුරට පනිනකොට රතු මේස් දෙකකුත් දාගෙන පනින්නෙ. මොකද මන්දා ඒ... අසාමාන්‍යයි. හරි ඉතිං පැන්නයි කියමුකො. ඒක මහා ලොකු දිය ඇල්ලකුත් නෙවෙයි. පොඩි වතුර වළක් වගේනෙ. එතන උගෙ "බොක්කෙ" , හෝ අඩුගානේ එහෙම කියලා ඌ හිතන, යාලුවො තුන් දෙනෙක් සහ ඔක්කොම කොල්ලො හතරක් ඉන්නව. ඒත් උන් ලොකුවට කලබල වෙන්නෙවත් නෑ වගේ.
කොහොම හරි පස්සෙ අරූ ගලක් උඩ ඒ කියන්නෙ මැරිලා, නැගිටිද්දි ඒක ටෝටල් සප්‍රයිස් එකක් වෙන්නෙ, අපිටත් පුදුමයි අර පොඩි වතුර වලේ මූ ගිලලා මළාද, ඒ මැරෙනකල්ම උගේ යාලුවො කිසිම දෙයක් කලේ නැද්ද කියලා. මොකද මැරෙන්න තරම් ඒ සීන් එක බරපතළ විදිහට ගොඩ නැගෙන්නෙ නෑ එතන. ඇත්තටම අරූ මළා කියලා කිහිපසැරයක් කිව්වම ඉතිං අපිත් පිළිගන්නවා හා එහෙනං මළා කියලා. එච්චරයි.
කොහොම හරි ඊට පස්සෙ මූ ගෙදර එනවනෙ. එතකොට ඔන්න මළ ගේ තියෙනවා. එතනදි තමා තරිඳුට ප්‍රත්‍යක්ෂ වෙන්නෙ ඌ මැරිලා,නොහොත් මම මැරි ලා කියන එක... කොමඩිය පොඩ්ඩකට පැත්තකින් තිබ්බොත් මේක සිරා සීන් එකක්නෙ. නිකමට හිතපන් උඹට උනා කියලා... මං දන්නෑ මට නම් එවෙලෙ හිතුනා යකෝ මේක මට උනා නම් කියලා. හිනා වෙනවද අඬනවද තේරෙන් නැති මොකක්ද මන්ද අමුතු ෆීලින් එකක්. ඇත්තටම මේ ෆිල්ම් එකේ බිල්ඩ් අප් කරන්න තිබ්බ පැත්තක් ඒක. හැබැයි "මේ ෆිල්ම් එක අපි හදන්නෙ මිනිස්සුන්ට හිනා වෙවී බලන්න මිසක් සිරා ගන්න නෙවෙයි" කියලා මූලික තීරණයක ඉඳලා හදපු නිසාද මන්දා මේ වගේ ඉමෝෂනල් දේවල් මග ඇරලා ෆිල්ම් එක කොමඩියක් විදියටම ඉස්සරහට යනවා. ඒත් පොඩ්ඩක් මතක් කරගන්නකො අර "මචං" එකේ එකෙක් අර සොහොනක් ගාව උගේ පවුලෙ උන් ටික ඌම වළලපු විදිහ කියන ස්පීච් එක... අන්න ඒක හොඳ උදාහරණයක්. මචං අපි හිනා වෙවී බැලුවට ඒ සීන් එක නිකං ප්‍රේක්ෂකයව උස්සල අනිත් පැත්ත ගහන සීන් එකක්. එක ක්ෂණයකින් හිනා වෙවී හිටිය උන් ඉමෝෂනල් වෙනවා. ඒ සීන් එක ජීවිතේටම අමතක වෙන් නැති මූවි මොමන්ට් එකක් වෙනවා. ඉතිං මේ තරිඳුගෙ තියෙන මෝඩ කමටද මන්දා මේ ෆිල්ම් එකේ ඒ වගේ තැන් කිහිපයක්ම තිබ්බත්, මේක හිනා යන ෆිල්ම් එකක්නෙ කියලා ඒව උඩින් පැනලා ගිය ගතියක් තියෙනවා. මට හිතුනෙ නම් අපරාදෙ.
දැන් තරිඳු තමන්ගෙම මිනිය ගාවට එනවා. එතකොට පාන්දර දෙකට විතර ඇති. මිනිය තියල තියෙන සාලේ කවුරුත් නෑ. ගේ ඇතුලෙ කාමරේක අම්මයි තාත්තයි නිදි. නිදි කියන්නෙ මහන්සියට නින්ද ගිහින්. හැබැයි.... හැබැයි මේකයි, ඔය වයසෙ කොල්ලෙක් ඔය වගේ ට්‍රැජික් ඇක්සිඩන්ට් එකකින් මළාම මේ අපි ජීවත් වෙන ලංකාවේ, මේ අපි ඉන්න වර්තමාන කාලයේ, ඔය වගේ ගමක මධ්‍යම පාන්තික පවුලක, ඔය වගේ මළගෙයක කවදාවත් මිනිය ඔහොම තනි කරන් නෑ. ඔයිට වඩා ඕන තරම් සෙනඟ ඉන්නවා. සහ, කොල්ලගෙ අම්මට මහන්සියට නින්ද ගියත් තාත්තෙක්ට එහෙම නින්ද යන් නෑ... එතන තාත්තා කඳුලු පුරෝගෙන පුතාගෙ මිනිය දිහා සාලෙ කෙළවර පුටුවකට වෙලා බලන් ඉන්න වගේ සීන් එකක් නිකමට දැම්ම නම්, ඒ තාත්තගෙ කැරැක්ට එකට සහ සම්පූර්ණ ෆිල්ම් එකටත් පොඩි ගැඹුරක් එකතු කරන්න තිබ්බ. ඒ නැතත් ඉතිං උගේ ගමේ මිනිස්සු නෑයො නැද්ද? ඉස්කෝලෙ යාලුවො නැද්ද? ඉන්පස්සේ අර ටෙක් එකේ උගෙ යාලුවො තුන් දෙනාගෙ හැසිරීම අභ්‍යවය නැද්ද? එහෙම තමන් එක්ක එක බත් පත කාපු එකා, උන් එක්කම ගිය ට්‍රිප් එකක ගිලිල මැරිලා, උන් පහුවදා උගෙ මිනිය ගෙදර තියෙද්දි සල්ලි ඔට්ටුවට බූරු ගහනව? තුන්දෙනාම? අඩුගානේ හෘද සාක්ෂියක්, ආත්මයක් පොඩ්ඩක් හරි තියෙන එකෙක් හිටියෙම නැද්ද? ඒ සීන් එකෙන් "ඕන් ඔහොමයි යාලුවො" කියලා පෙන්නන්න වෙන්නැති හදන්න ඇත්තෙ. ඒත් චොරම යාලුවො උනත් ඔහොම හැසිරෙන් නෑ. ඒ අතින් ඇත්තටම ඒක ටූ මච්. අඩුම හත්දවසෙ තුන් මාසෙ දානෙ වගේ නම් කමක් නෑ , මේ මරුණු දවසට පහුවදා...
තව දෙයක්, ඔය මළ ගෙදර සහ විශේෂයෙන් අර ටෙක් කොලේජ් එකේ සීන් වලදි නෝටිස් වෙච්චි දෙයක් තමා extras අඩුවෙන් භාවිතා කිරීම නිසා, (බජට් කේස් නිසා වෙන්න ඇති,) ඒ තැන් වල පොඩි පාළු ගතියක් තිබ්බා. සෙනඟ ගැවසියයුතු තැන්වලත් නිකං නිවාඩු වගේ. හැබැයි ඒක ලොකු අවුලක් නෑ ඉතිං.
ආ අනික් කාරණේ තමා, දැන් තරිඳුගෙ ඒ යාළු කෙල්ලගෙ හැසිරීම. මොකක්ද ඒකෙ තිබ්බ ලොජික් එක කියලා පැහැදිලි කිරීමක් නෑනෙ. ඇත්තටම ඇයි ඒ කෙල්ල තරිඳු එක්ක යාළු වුනේ? ආච්චිට අනුව නම් ඒකි මුල ඉඳලම කරල තියෙන්නේ බොරුව. මම අහන්නෙ ඇයි එහෙම බොරු කරන්න ඒකිට තිබ්බ අවශ්‍යතාවය? තමන්ට හැම අතින්ම ගැලපෙන කොල්ලෙක් මුල සිටම හිටියා නම්, ඒ කොල්ලත් තමන්ට කැමති නම් , වෙනත් කොල්ලෙක් එක්ක යාලුවෙන්නෙ මොකක් හරි වාසියකටනෙ. දැන් ඒ කෙල්ල තරිඳු එක්ක යාලුවුනේ ඇයි? ඌ අරූ තරම් හැන්සමුත් නැ, සල්ලිත් නෑ, ඊටත් ගොනා වගේ බොනව, ගොන් යාලුවොත් ඉන්නව, අරූට ස්කූටරයක් හරි තියෙනවා මූට එහෙමත් නෑ, අරූ කොලේජ් එකේ කරන්නෙත් මූට වඩා හොඳ කෝස් එකක්. ඒ කියන්නෙ අනාගතයේ හොඳ රස්සාවකුත් තියෙයි අරූට. ඒ තියෙද්දිත් බොහොම දුක් කරදර විඳ විඳ තරිඳුව නිල කොල්ලා විදිහට මේන් ටේන් කරන ගමන්, අර ඇත්තටම ආදරය කරන එකා හොරාට තියාගෙන මාර කට්ටක් කනව. ස්කූටරේ යන්න තියෙන එක හෝල්ට් එකක් බස් එකේ යනව. මොකටද ඒ? මොකක්ද ඒකිට ලැබෙන වාසිය ? සහ මළැයින් පස්සෙ ඒකි ඇත්තටම අඬනවා. සහ එයා නිසාද මැරුණේ කියලා වද වෙනවා. එක අතකට බැලුවම අර ගෝත යාලුවොන්ට වඩා ඒකි හොඳයි ඒ අතින්. කොහොම හරි කතාව ඉවර වෙනකල්ම ඒ සම්බන්ධය තියාගත්තෙ ඇයි කියලා කතාවෙ කියන්නෙ නෑ.
ආ ඊට පස්සෙ අර අන්තිමට කොල්ලයි කෙල්ලයි ඩිස්ටි ඩිඩිං කරන්න, උන්ගෙම කොලේජ් එකේ ලෙක්ච හෝල් එකක් තෝරා ගැනීමත් ටිකක් විතර කේස් නේද ? උන් දෙන්නම ඉන්නෙ බෝඩිං වල. බෝඩිං තියෙන්නෙත් එක ළඟ. ස්කූටරේ එහෙ මෙහෙත් යනවා. බීච් එකටත් ගිහිල්ලා ඉන්නව පෙන්නනවා . එහෙව් එකේ යකො අහවල් වැඩේ කරන්න තමන් ඉගෙනගන්න කොලෙජ් එකේ හෝල් අස්සෙ යන්නෙ මොකටද ඇත්තටම? එච්චර රිස්ක් එකක් අරන්?
හරි ඔය තියෙන්නේ මේක මේ "අපි ජීවත් වෙන ලෝකයේ" සිද්දවෙන කතාවක් කියලා පෙන්නන නිසා, ඒ සන්දර්භය ඇතුළේ මම දැකපු අභව්‍ය අවස්ථාව ටිකක්. මේක ටෙනිසන් කුරේගෙ ලෙවල් එකේ ෆිල්ම් එකක් නම් ඕවා අහන් නෑ . එතකොට ඉතිං කොහොමත් බලන්න යන්නෙත් නෑනෙ .
මීට අමතරව රඟපෑම් ගැන දැකපු දේවල් ටිකක් කියන්න ඕනෙ. කොල්ලගෙ අම්මට ඉන්න නිල්මිණි කොට්ටගේ ගොඩක් අවස්ථා වල සාමාන්‍ය හොඳ රංගනයක් දුන්නත් සමහර අවස්ථාවලදී "මේක කොමඩියක් නිසා මිනිස්සුන්ට හිනා යන විදිහට රඟපාන්න ඕනෙ" වගේ හිතන්න ගිහින්ද මන්දා ටිකක් ඕවර් යන ගතියක් තිබ්බා. (අර කුස්සියේ උපාලිට බණින සීන් එක) ඒ නිසා මිනිය බදාගෙන අඬනකොට පවා ඒ බොරුවටද මන්ද අඬන්නෙ කියලා හිතුන...
ඊට අමතරව අවස්ථා දෙකක් දැක්කා රඟපාන්න බැරි උන්ට පුංචි සීන් කෑලි කරන්න දීලා තියෙන. එකක් අර මළගෙදර පොඩි උන් දෙන්නෙක් කතා කරන සීන් එක. ඒ දෙන්නටම රඟපාන්න බෑ. සහ ඒ සීන් එක ඕනෙත් නෑ. අනික අර තාත්තා එක්ක මළ ගෙදර මිදුලෙ කතා කර කර ඉන්න මාමල දෙන්න. ඒ දෙන්න දෙබස් කියනව විතරයි. රඟපාන්න දන් නෑ. පොඩි සීන් එකක් උනත් ඔහොම රඟපාන්න බැරි අයව දැම්මම වෙන්නෙ, ප්‍රේක්ෂකයා ඉන්න දැහැන බිඳෙනවා. මෙන්න මුන් රඟපාන්න දඟලනවා කියලා පේන්න ගන්නවා. අර ලොකු වැදගත් කමක් හෝ හරි හමන් දෙබසක්වත් නැති චරිතෙකට දසුන් පතිරණව අරන් තිබ්බ එකේ , දෙබස් තියෙන චරිතවලට එවෙලෙට අඬගහ ගත්ත මිනිස්සුන්ට දෙබස් කියන්න දුන්නෙ ඇයි කියා නොතේරේ.
හරි. මියුසික් ගැනත් දෙයක් කියන්නම්. අර ඩිස්ටි ඩිඩිං සීන් සඳහා අරන් තිබ්බ ක්‍රියේටිව් ඇප්‍රොච් එක නම් ටොප් නොච්. සහ ඒ මියුසික් එකත් හෙනම මතකයේ රැඳෙන ගතියක් තියෙනවා. ඒ ඇර මේකෙ සින්දු තුනක් තිබ්බට ඒ සින්දු චිත්‍රපටය විසින් ඉල්ලා සිටින ඒවා නෙවෙයි. සින්දුත් තුනක් විතර තියෙන්න එපෑ කියලා දාලා මිසක්, සින්දු වලින් කතාවට ලොකු බලපෑමක් නෑ සහ ඒ සින්දුත් හෝල් එකෙන් එලියට එද්දි අමතක වෙන සුළුයි.
හැබැයි වෙනත් පොඩි පොඩි මියුසික් කෑලි තිබ්බා ඊට වඩා දැනෙන. සහ අර උන් ට්‍රිප් එක ගිහිල්ලා දිය ඇල්ලට ඇවිදන් යනකොට දාන මියුසික් එකයි, ඒ සීන් එක යන විදිහයි නිකං ගැළපීමක් නෑ නෑ වගේ දැනුණා.
හරි තවත් තියෙනවා ඒත් දැන් ඇති.
මම මේ ෆිල්ම් එක සෑහෙන ආසාවෙන් බැලුවා සහ සෑහෙන්න ඒ ගැන කල්පනත් කලා. ටිකක් ඕනවටත් වැඩියෙන්. උඩ කතන්දර ඔක්කොම කිව්වෙ, ෆිල්ම් එකේ සාමාන්‍ය ලෝකයේ වෙන සිද්ධිය ගැනයි. මළවුන්ගේ ලෝකය පාට් එක අතෑරියා . ඒ ගැන ඉතිං විවේචන කරන එක සාධාරණ නෑනෙ. ඒක කැමති විදිහට ගොඩනගන්න කතාව ලියපු කෙනාට නිදහස තියෙනවනෙ.

මේ විග්‍රහයෙන් හොඳ අදහසක් මතුවෙනවා හිතන්න අවශ්‍ය. මම කියවලා තියන විදියට තිරනාටකයට තමයි වැඩියෙන්ම මහන්සි වෙන්නේ සාර්ථක සිනමා කර්මාන්තයක් තියන රටවල. ඔබ කියන එකේ සමස්තය ගත්තම තිරනාටකයට දීපු අවධානය මදි වගේ තමයි හිතෙන්නෙ.
ReplyDeleteඑකක් කියන්න අමතක උනා. දැන් මේක ලියලා ආපහු 2031 වෙනකල් ඉන්න එපා ඊලඟ චිත්‍රපටිය ගැන ලියන්න.
ReplyDeleteMusic nam chora neda?
ReplyDelete