Sunday, September 9, 2018

A Private War (2018)

මේක මේ නොවැම්බර් වල රිලීස් වෙන්න තියෙන බයෝපික් ෆිල්ම් එකක්. ප්‍රධාන චරිතය කරන්නෙ Rosamund Pike. එයා රඟපාන්නෙ, Marie Colvin කියන ඇමරිකන් මාධ්‍යවේදිනියගෙ චරිතයයි. චිත්‍රපට කතාවට පදනම් වෙලා තියෙන්නෙ, "Marie Colvin's Private War" නමින්, 2012 අවුරුද්දේ Vanity Fair සඟරාවේ පළවූ ලිපියක්.

ඇත්තටම මේ මේරි කොල්වින්ගෙ කතාව ටිකක් විතර ලංකාවටත් සම්බන්ධයි. මේරි කොල්වින් කියන්නෙ, යුධ පුවත් වාර්තාකාරිනියක්. ඇය සේවය කළේ, The Sunday Times නම් බ්‍රිතාන්‍ය පුවත් පතටයි.

2001 වසරේ ලංකාවේ උතුරේ සිදුවූ වන්නි මෙහෙයුම වාර්තා කිරීමේ කාර්‍ය ඇයට පැවරුණු අතර, මේ කාලයේ විදෙස් මාධ්‍යවේදීන්ට උතුරේ සටන් පවතින ප්‍රදේශ වෙත යාමට ඉඩ ලබාදුන්නෙ නෑ. නමුත් ඇය කෙසේ හෝ එම ප්‍රදේශ වලට ඇතුලු වී එම පුවත් වාර්තා කර තිබෙනවා . ඔය අතරතුර එවකට LTTE පාලනය යටතේ පැවති පෙදෙසක සිට රජයේ හමුදා පාලනය යටතේ පැවති ප්‍රදේශයකට යන අවස්තාවකදි, රජයේ හමුදා විසින් එල්ල කළ RPG ප්‍රහාරයකින්, ඇගේ වම් ඇස ඇයට අහිමි වෙනවා. එදා පටන් ඇය වම් ඇස ආවරණය වෙන්න eye patch එකක් දැම්මා. (ඔය ෆිල්ම් එකේ පෝස්ටර් එකේ පෙනෙන්නට තියෙන Eye patch එකට හේතුව එයයි.) එසේ වුවත්, ඇය නැවතත් මෙරටට පැමිණෙන අතර, යුද්ධයේ අවසන් සටනේ සිදුවීම්ද ඇතුලුව, ශ්‍රී ලංකා හමුදාව අතින් දෙමළ ජනතාවට සිදුවූ යුධ අපරාධ* සම්බන්ධයෙන්ද වාර්තා කොට තිබෙනවා.

ඇගේ යුධ වාර්තකරණය මෙරටට පමණක් සීමා වුනේ නෑ. 2011 වසරේදී සිදුවූ අරාබි වසන්තය වාර්තා කරන අතර ඇයට , මු(අ)ම්මර් ගඩාෆි සමඟ සම්මුඛ සාකච්ඡාවක් කිරීමේ අවස්තාවක්ද හිමිවෙනවා.

නැවතත් 2012 වසරේදී ඇය සිරියාවට ඇතුලු වෙන්නේ එහි සිදුවන ගැටුම් වාර්තා කිරීමටයි. ඒ, සිරියානු රජය විසින් විදෙස් මාධ්‍යවේදීන් එම පෙදෙසට ඇතුලුවීම නැවැත්වීමට දැඩි උත්සාහයක් දරණ අතරතුරය.
ශ්‍රී ලංකාව, චෙච්නියාව, සියොරාලියොන්, කොසෝවෝ , සිම්බාබ්වේ, ලිබියා, නැඟෙනහිර ටිමෝරය ඇතුලු රටවල් ගණනාවක යුධ වාර්තා කළ ඇය , සිරියානු යුද්ධය වාර්තා කළේ, එදාමෙදා තුර තමන් දුටු දරුණුම ගැටුම එය බව පවසමිනුයි. ඒ බව පසක් කරමින්, එම ගැටුම ඇගේ අවසන් යුධ වාර්තාකරණය බවටත් පත්වුණා ...
ඒක වුනේ කොහොමද කියන සම්පූර්ණ කතාව මේ චිත්‍රපටය තුළින් බලාගන්න පුලුවන් වෙයි.

(*තොරතුරු විකිපීඩියාවෙන්)

මූණු පොතේ කතා බහ

No comments:

Post a Comment