රෑ දොලහ පහුවුනු පසු ලැප්ටොප් එක ඔන් කර වයිෆයි කනෙක්ට් කර චිත්‍රපටයක් ඩවුන්ලෝඩ් වීමට දැමුවෙමි. ටොරන්ට් එකේ බාර් එක ක්‍රමයෙන් කොල පාට වෙමින් චිත්‍රපටය හාඩ් ඩිස්ක් එකට පිරෙන විදිහ බලා සිටියෙමි. තව විනාඩි කිහිපයකින් මට එය නැරඹිය හැක... වාතය හරහා තරංගයක් ලෙස එන චිත්‍රපටයක් තුලින් තව මොහොතකින් මින් පෙර නෑසූ නොපෙනුනු අත්දැකීමක් විඳ ගැනීමට ලැබෙනු ඇත. රෑ දොලහත් පසු වී ඇති නිසා හිත මඤ්ඤං වෙලා යැයි කෙනෙකුට සිතිය හැකි වුවත්, මෙය ඇත්තටම එක්තරා පුදුමයක් නොවේද?
මීට අවුරුදු විස්සකට පෙර අතීතයේ, ෆිල්ම් එකක් බැලීමට විඳපු කට්ට සහ කොච්චර ආසා වුවත් බලාගැනීමට නොහැකි වුනු චිත්‍රපට කොපමණද? ඒ සියල්ල ඇඟිලි තුඩු මත විනාඩි කිහිපයකට නුදුරින් තිබීමම පුදුමයක් නොවේද ?
දැන් කාමරයක මුල්ලේ තබා ඇති පරණ ටැලන්ට් ටීවී එකෙන් ගියොත් හැරෙන්නට චිත්‍රපටයක් බැලීමට කල් යල් බලා හෝල් එහෙකටම යා යුතු කාලයක් තිබුනු බව මතක් වෙනකොට ඒකත් පුදුමයකි.
ජුරාසික් පාක් බලන්නට අම්මාගේ හා තාත්තාගේ අනුග්‍රහය ඇතුව ගෙදර සියලු දෙනා කොළඹ ලිබර්ටි එකට ගිය හැටි ඉතා පැහැදිලිව මතකය. පරණ ලිබර්ටි හෝල් එකේ ඇතුලුවෙන දොර ලඟ කාඩ්බෝඩ් වලින් ඩයිනෝසර් බිත්තර සහ එවායින් පැටවුන් එළියට පනින රූප කපා හේත්තු කර තිබූ හැටි තාමත් මතකය. ෆිල්ම් එකේ උද්වේගකරම මොහොතේ, "මස් කන ලොකු එකා" වාහන වලට පහර දෙන විට හෝල් එකටම ඇහෙන්න මාත් කෑ ගසා, දෑස් දෙඅත් වලින් වසාගෙන, සීට් එක මත අනික් පැත්තට හැරී දණ ගසාගෙන තාත්තාගෙන්, "දැන් ඉවරයි ද ඌ ගියාද" කියා ඇසූ සැටි අද ඊයේ මෙන් මතකය...
දැන් ත්‍රීඩී ග්ලාස් දාගෙන, ඩොල්බි ඇට්මොස් ශබ්ද වලින් වටකර දුන්නත්, ඒ පොඩි එකා වින්ද විදිහට චිත්‍රපටයක් ඇතුළටම රිංගා එය තමන්ගේම කර ගැනීමට ඇති හැකියාව, වැඩිහිටි වෙන්න වෙන්න මොට වී ඇතැයි සිතේ. යතාර්ථයෙන් පිළුණු වී ගිය යටිහිත, ඔය උබ දකින්නේ ෆැන්ටසියක් බව සිහිපත් කරවයි. ඇතුළටම ගොස් එය තමන්ගේ කර ගන්නවා වෙනුවට තර්ක විතර්ක වලින් අවුරා දමයි.
ජුරාසික් පාක් හෝල් එහෙක බලන්න වාසනාව ලැබුනත්, ඒකෙම දෙවැනි කොටස බලන්න එහෙම අවස්තාවක් නොලැබුණි. ප්‍රාථමිකයේ ඉගෙන ගත් අපිට, මහා විද්‍යාලේ හෝල් එකේ ඉරිදා හවසක ජුරාසික් පාක් එකේ දෙවැනි එක පෙන්නන්නවා කියා ආරංචි වුනත්, මට තනියම යන්න බැරි නිසා ඒ අදහස අතහැර දැමුවෙමි. හැබැයි, මට "බලන්න" නොලැබුණත්, එහා ඩෙස් එකේ හිටි එකා එය නරඹා සඳුදා ඇවිත් සම්පූර්ණ කතන්දරේම ඉස්කෝලෙ ඇරෙන්න කලින් කියන්න සමත් විය. "අහල දැනගත්ත" පළවෙනි චිත්‍රපටය ලෙස එය වාර්තාවක් උසුලයි. (පසු කලෙකදී ඩීවීඩි එකක් ගෙනැවිත් බලන කොට, පොඩි එකා උනත් අරූට හිතේ ඇඳෙන විදිහට පිළිවෙළකට කතන්දර කියා දීමේ සැබෑ හැකියාවක් ඇතැයි සිතුණි.)
ඩීවීඩි හෝ සීඩී නොතිබුනු ඒ කාලේ චිත්‍රපට බැලුවේ VHS වලින්, "වීඩියෝ ඩෙක්" වලය.
ගෙවල් වල වීඩියෝ ඩෙක් නොතිබුනු අපි වැනි දුප්පත් ළමයින්, ඒ අඩුව පුරවාගත්තේ හොලිවුඩ් ෆිල්ම්ස් වල කතන්දරේ කෙටියෙන් තියෙන මල්පියලි සහ වාසනා පොත් වලිනි. ඒවාට පින්සිද්ද වෙන්නට, ඇනකොන්ඩා, පිටසකවලින් ආ අත්භූත සත්ත්වයා, හිමෙන් මතු වූ සොල්දාදුවා, වැනි චිත්‍රපට "කියවා" රසවිඳින්නට හැකි විය. ඉස්කෝලෙ තිබ්බ මල්පියලි පොත් ප්‍රදර්ශනයකින් රුපියල් හතළිහකට මිළදී ගත් , මනොජ් රත්නායක කෙටියෙන් ලියපු ජුරාසික් පාක් පොත අදටත් සුරක්ෂිතව ඇත.
කවදාහරි ලොකු වී, රස්සාවක් කරපු දවසකට "වීඩියෝ ඩෙක්" එකක් ගන්නවාමයි කියන සිහිනයක් එදා පැවතුනි.
දැන්, සල්ලි ඇත. නමුත් ඒ අතීතයේ දී අනාගතයේ ඉටුවෙන ප්‍රාර්ථනාවක් ලෙස දුටු "වීඩියෝ ඩෙක්" කාලය විසින් අතීතයට අයිති වර්තමානයේ හොයාගන්නටවත් නැති ඇන්ටික් බඩුවක් කර ඇත!
අනාගතයේ දවසක මෙහෙම සුලඟින් චිත්‍රපට ඇවිදින් හාඩ් ඩිස්ක් එහෙකට විනාඩි ගානකින් පුරවගන්න පුලුවන් වේවි යැයි ඒ පොඩි එකාට තියා වැඩිහිටියෙකුට කිව්වත් එකල විස්වාස නොකරනු ඇත.
ඒත් නොදැනීම, සිහින දුටු අනාගතය අද වී, අතීතය සිහිනයක් වී, ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වී ඇත....!