Monday, January 5, 2026

මෝඩ තරිඳු

 මම මෝඩ තරිඳු බැලුවා ජනවාරි පලවෙනිදා. තාමත් සෙනඟ ඉන්නවා ඒකට. දැන් මේක ගොඩක් අය බලල ඇතිනෙ, ඒ කියන්නෙ බලන්න ආසාවක් තියෙන උන් දැන් මේක බලල ඇති. මම මේක ගැන මට හිතෙන දේවල් ටිකක් කියන්නම්, හැබැයි ඒ ටික කියන්න කතාව ස්පොයිල් කරන්න වෙනවා. දැන් මේක ඇවිත් ගොඩක් කල් නිසා චිත්‍රපටිය බලපු උන් එක්ක කතා කරන්න පුළුවන් නෙ. අලුත් පිට ස්පොයිල් කරන එක හරි නෑනෙ.

එහෙනං මේක බලපු උන් සහ ලොවෙත් බලන්නෙම නැ
ති උන් විතරක් පහළට කියවන්න, මොකද බලන්න ඉන්නව නම් ස්පොයිල් නොකරගත යුතුම ෆිල්ම් එකක් තමා මෝඩ තරිඳු කියන්නෙ.....


එහෙනං ඔන්න major spoilers ahead.... ⚠️️⚠️️


මුලින්ම කියන්න ඕනෙ මේක සල්ලි දීලා බැලුවට කිසිම පාඩුවක් නැති , ගෙවන මුදලට සාධාරණයක් කරන චිත්‍රපටියක්. සහ සාමාන්‍ය මනුස්සයෙක්ට නම් බැලුවම හිනා යනවා මටත් හිනා ගියා. හැබැයි මට හිතුනෙ මේ ෆිල්ම් එකේ ඒ ඔරිජිනල් කතාව මීටත් වඩා ලස්සනට ගොඩ නගන්න සහ රූපමය පැත්තෙන් මීට වඩා දෙයක් ෆිල්ම් එක ඇතුලෙ කරන්න තිබ්බය කියලා. නිකං ඔප නොදාපු මැණිකක් වගේ. වටිනව තමා. හැබැයි තව පොඩ්ඩක් මහන්සි උනා නම් තව වටිනාකම සෑහෙන ගුණයකින් වැඩි කරගන්න තිබ්බා. 

ඔන්න මැණිකක් කියලා පැහැදිලිවම කිව්වා හොඳේ. ඉතිං පහළ ටික කියවල මට බණින්න එපා. මම දැන් කියන්න යන්නෙ මේකෙ හොඳ නෙවෙයි මම දැක්ක අඩුපාඩු සහ අවුල් සහගත තැන් ටිකක්. සමහර විට මට යම් යම් දේවල් මග ඇරුණු නිසා නොතේරුනු තැනුත් ඇති. ඒවා දැක්කොත් කියන්න.

දැන් මේ ෆිල්ම් එක බලන්න යන්න කලින්ම ඕකෙ ආච්චි මැරිලා ඒ මැරිච්ච ආච්චි තමා ෆිල්ම් එක පුරාවට ඉන්නෙ කියන කාරණය මට ස්පොයිල් වෙලාමයි තිබ්බෙ. ඒක දැනගෙන තමා මම ඕක බැලුවෙ.  හැබැයි එච්චරයි. වෙන මුකුත් මම දැනන් හිටියේ නෑ. බොහොම අමාරුවෙන් ස්පොයිල් නොකරගෙන තියාගත්තා අනිවා බලනවා කියලා හිටිය නිසා. ඒ නිසාම මේකෙ මේන් කැරැක්ට එක, තරිඳු වතුරෙ ගිලිලා මැරෙන එක ටෝටල් සර්ප්‍රයිස් එකක් වුනා මට. ඌ මැරෙනව කියලා හීනෙකින්වත් හිතුවෙ නෑ. 

දැන් ඔය තරිඳු මැරෙන එකෙන් තමා, මේ ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ සහ ෆිල්ම් එක කොමඩියක් බවට පත් වීම ඇරඹෙන්නෙ. මම හරි නේද? ඔය මළවුන්ගේ ලෝකය එක්ක වෙන අතිච්ඡාදණය නොවෙන්න, ඔය ෆිල්ම් එකේ හිනාවෙන්න කතාවක් නෑ. ඒ මළගිය ප්‍රාණකාරයින් ටික පැත්තකට කළොත් මේක ඇත්තටම ට්‍රැජඩියක්නෙ. තරුණ කොල්ලෙක් අකාලෙ , නිරපරාදේ මැරෙනව.  

අපි ෆිල්ම් එකක් බලන්න යනකොට මේක කොමඩියක්නෙ, අපි හිනා වෙන්න ඕනෙ කියලා යන් නෑනෙ , අපිට හිනා ගියොත් ෆිල්ම් එක කොමඩියක් විදියට සලකන්න පුළුවන් මිසක්, ෆිල්ම් එක කොමඩියක් කියලා සැලකෙන නිසා බලන උන් හිනා වෙන්න ඕනෙ කියලා දෙයක් නෑනෙ. එතකොට මේ ෆිල්ම් එක අර ඉස්සර ආපු ටෙනිසන් කුරේලා ඉන්න ජාතියෙ කොමඩි ෆිල්ම් එකක් නෙවෙයි. මේක ටිකක් සිකුරු හතේ  වගේ එකක්. මේ කතාව බොහොම සාමාන්‍ය මේ අපි ජීවත් වෙන ලෝකයේ සිද්දවෙන කතාවක්. මේ අපි දන්න ලොකේෂන්වල, අපි ඉන්න වර්තමාන කාලයේම වෙන එකක්. මේ සාමාන්‍ය කතාවට ෆැන්ටසිමය බව එකතු වෙන්නෙ අර මළවුන්ගෙ ලෝකය එක්ක එකතු කිරීමෙන්. ඒ  මළවුන්ගේ  කමෙන්ට්වලට හැසිරීම් වලට තමා අපි හිනා වෙන්නෙ. ඒකෙනුත් ඇත්තටම අර ආච්චි කියන දෙබස්වලට තමා අපිට හිනා යන්නෙ. ඇත්තටම ෆිල්ම් එකේ කොමඩික් බව සීයට අනූවක්ම වගේ එන්නෙ ආච්චිගෙ දෙබස් වලින්.

එතකොට ඒවට අපි හිනා වුනාට ඇත්තටම ෆිල්ම් එකේ කතාව යන්නෙ හදිසි මරණයක් සහ මළ ගෙයක් වටා. ඔන්න ඔතෙන්දි, මේක කොමඩි ෆිල්ම් එකක්, මේක මිනිස්සු බලන්නෙ හිනා වෙන්නනෙ කියලා හිතලා, කරපු යම් යම් දේවල් නිසා ඒ සාමාන්‍ය ලෝකයේ යන කතාවෙ ගොඩක් සිදුවීම්වලට ටිකක් අභව්‍ය ගතියක් ආරෝපණය වෙලා තියෙන බව පේනව.

මුලින්ම ගමුකො තරිඳුව මැරෙන සීන් එකම. ඔතනින්නෙ ඇත්තටම කතාව පටන් ගන්නෙ. ඇත්තටම උඹලට ඒක සාමාන්‍යයි වගේ හිතෙනවද?  ඇත්තටම එහෙම කොල්ලො කෙල්ලො ටිකක් ට්‍රිප් ගියාම ඔන්න එකෙක් පීනන්නත් දන් නැතුව වතුරට පනිනවා. ඌට පනින්න ලොකු හේතුවකුත් නෑ. මේ ෆිල්ම් එකේ කිසිම තැනක ඒකට සාධාරණ හේතුවක් දෙන්නෙත් නෑ, ඇත්තටම අපිට කතාව ඉස්සරහට යද්දී හිතෙනව අපි නොදන්න, ඒත් අර කෙල්ලත් සම්බන්ධ මොකක් හරි සිද්ධියක් තියෙනවා ඇති කියලා ඌට එවෙලෙ වතුරට පනින්න. මොකද කෙල්ල කොල්ල මැරුනට පස්සෙ විශේෂයෙන් කිය කිය අඬනවනෙ තරිඳු මැරුනෙ මං හින්දය කියලත්. එතකොට ඇත්තටම මට හිතුනා මේකි මොකක් හරි අරූට කියලා , ඒ කියන්නෙ නිකං 'ආදරෙයි නම් පැනල පෙන්නන්න' වගේ දෙයක් හෝ එහෙම ඇඟවීමක් හරි කරපු නිසයි අරූ අර විදිහට පැන්නෙ කියලා. ඒත් ඇත්තටම බැලුවම එහෙම මුකුත් නෑ. ඌ නිකංමයි පැනල තියෙන්නෙ.  ඌ වතුරට පනිනකොට රතු මේස් දෙකකුත් දාගෙන පනින්නෙ. මොකද මන්දා ඒ... අසාමාන්‍යයි. හරි ඉතිං පැන්නයි කියමුකො. ඒක මහා ලොකු දිය ඇල්ලකුත් නෙවෙයි. පොඩි වතුර වළක් වගේනෙ. එතන උගෙ "බොක්කෙ"  , හෝ අඩුගානේ එහෙම කියලා ඌ හිතන, යාලුවො තුන් දෙනෙක් සහ ඔක්කොම කොල්ලො හතරක් ඉන්නව. ඒත් උන් ලොකුවට කලබල වෙන්නෙවත් නෑ වගේ.

කොහොම හරි පස්සෙ අරූ ගලක් උඩ ඒ කියන්නෙ මැරිලා, නැගිටිද්දි ඒක ටෝටල් සප්‍රයිස් එකක් වෙන්නෙ, අපිටත් පුදුමයි අර පොඩි වතුර වලේ මූ ගිලලා මළාද, ඒ මැරෙනකල්ම උගේ යාලුවො කිසිම දෙයක් කලේ නැද්ද කියලා. මොකද මැරෙන්න තරම් ඒ සීන් එක බරපතළ විදිහට ගොඩ නැගෙන්නෙ නෑ එතන. ඇත්තටම අරූ මළා කියලා කිහිපසැරයක් කිව්වම ඉතිං අපිත් පිළිගන්නවා හා එහෙනං මළා කියලා. එච්චරයි.

කොහොම හරි ඊට පස්සෙ මූ ගෙදර එනවනෙ. එතකොට ඔන්න මළ ගේ තියෙනවා. එතනදි තමා තරිඳුට ප්‍රත්‍යක්ෂ වෙන්නෙ ඌ මැරිලා,නොහොත්  මම මැරි ලා කියන එක... කොමඩිය පොඩ්ඩකට පැත්තකින් තිබ්බොත් මේක සිරා සීන් එකක්නෙ. නිකමට හිතපන් උඹට උනා කියලා... මං දන්නෑ මට නම් එවෙලෙ හිතුනා යකෝ මේක මට උනා නම් කියලා. හිනා වෙනවද අඬනවද තේරෙන් නැති මොකක්ද මන්ද අමුතු ෆීලින් එකක්. ඇත්තටම මේ ෆිල්ම් එකේ බිල්ඩ් අප් කරන්න තිබ්බ පැත්තක් ඒක. හැබැයි "මේ ෆිල්ම් එක අපි හදන්නෙ මිනිස්සුන්ට හිනා වෙවී බලන්න මිසක් සිරා ගන්න නෙවෙයි" කියලා මූලික තීරණයක ඉඳලා හදපු නිසාද මන්දා මේ වගේ ඉමෝෂනල් දේවල් මග ඇරලා ෆිල්ම් එක කොමඩියක් විදියටම ඉස්සරහට යනවා. ඒත් පොඩ්ඩක් මතක් කරගන්නකො අර "මචං" එකේ එකෙක් අර සොහොනක් ගාව උගේ පවුලෙ උන් ටික ඌම වළලපු විදිහ කියන ස්පීච් එක... අන්න ඒක හොඳ උදාහරණයක්. මචං අපි හිනා වෙවී බැලුවට ඒ සීන් එක නිකං ප්‍රේක්ෂකයව උස්සල අනිත් පැත්ත ගහන සීන් එකක්. එක ක්ෂණයකින් හිනා වෙවී හිටිය උන් ඉමෝෂනල් වෙනවා. ඒ සීන් එක ජීවිතේටම අමතක වෙන් නැති මූවි මොමන්ට් එකක් වෙනවා. ඉතිං මේ තරිඳුගෙ තියෙන මෝඩ කමටද මන්දා මේ ෆිල්ම් එකේ ඒ වගේ තැන් කිහිපයක්ම තිබ්බත්, මේක හිනා යන ෆිල්ම් එකක්නෙ කියලා ඒව උඩින් පැනලා ගිය ගතියක් තියෙනවා. මට හිතුනෙ නම් අපරාදෙ. 

දැන් තරිඳු තමන්ගෙම මිනිය ගාවට එනවා. එතකොට පාන්දර දෙකට විතර ඇති. මිනිය තියල තියෙන සාලේ කවුරුත් නෑ.  ගේ ඇතුලෙ කාමරේක අම්මයි තාත්තයි නිදි. නිදි කියන්නෙ මහන්සියට නින්ද ගිහින්.  හැබැයි....  හැබැයි මේකයි, ඔය වයසෙ කොල්ලෙක් ඔය වගේ ට්‍රැජික් ඇක්සිඩන්ට් එකකින් මළාම මේ අපි ජීවත් වෙන ලංකාවේ, මේ අපි ඉන්න වර්තමාන කාලයේ, ඔය වගේ ගමක මධ්‍යම පාන්තික පවුලක, ඔය වගේ මළගෙයක කවදාවත් මිනිය ඔහොම තනි කරන් නෑ. ඔයිට වඩා ඕන තරම් සෙනඟ ඉන්නවා. සහ, කොල්ලගෙ අම්මට මහන්සියට නින්ද ගියත් තාත්තෙක්ට එහෙම නින්ද යන් නෑ... එතන තාත්තා කඳුලු පුරෝගෙන පුතාගෙ මිනිය දිහා සාලෙ කෙළවර පුටුවකට වෙලා බලන් ඉන්න වගේ සීන් එකක් නිකමට දැම්ම නම්, ඒ තාත්තගෙ කැරැක්ට එකට සහ සම්පූර්ණ ෆිල්ම් එකටත් පොඩි ගැඹුරක් එකතු කරන්න තිබ්බ. ඒ නැතත් ඉතිං උගේ ගමේ මිනිස්සු නෑයො නැද්ද?  ඉස්කෝලෙ යාලුවො නැද්ද? ඉන්පස්සේ අර ටෙක් එකේ උගෙ යාලුවො තුන් දෙනාගෙ හැසිරීම අභ්‍යවය නැද්ද? එහෙම තමන් එක්ක එක බත් පත කාපු එකා, උන් එක්කම ගිය ට්‍රිප් එකක ගිලිල මැරිලා, උන් පහුවදා උගෙ මිනිය ගෙදර තියෙද්දි සල්ලි ඔට්ටුවට බූරු ගහනව? තුන්දෙනාම? අඩුගානේ හෘද සාක්ෂියක්, ආත්මයක් පොඩ්ඩක් හරි තියෙන එකෙක් හිටියෙම නැද්ද? ඒ සීන් එකෙන් "ඕන් ඔහොමයි යාලුවො" කියලා පෙන්නන්න වෙන්නැති හදන්න ඇත්තෙ. ඒත් චොරම යාලුවො උනත් ඔහොම හැසිරෙන් නෑ. ඒ අතින් ඇත්තටම ඒක ටූ මච්. අඩුම හත්දවසෙ තුන් මාසෙ දානෙ වගේ නම් කමක් නෑ , මේ මරුණු දවසට පහුවදා...

තව දෙයක්, ඔය මළ ගෙදර සහ විශේෂයෙන් අර ටෙක් කොලේජ් එකේ සීන් වලදි නෝටිස් වෙච්චි දෙයක් තමා extras අඩුවෙන් භාවිතා කිරීම නිසා, (බජට් කේස් නිසා වෙන්න ඇති,) ඒ තැන් වල පොඩි පාළු ගතියක් තිබ්බා. සෙනඟ ගැවසියයුතු තැන්වලත් නිකං නිවාඩු වගේ. හැබැයි ඒක ලොකු අවුලක් නෑ ඉතිං.

ආ අනික් කාරණේ තමා, දැන් තරිඳුගෙ ඒ යාළු කෙල්ලගෙ හැසිරීම. මොකක්ද ඒකෙ තිබ්බ ලොජික් එක කියලා පැහැදිලි කිරීමක් නෑනෙ. ඇත්තටම ඇයි ඒ කෙල්ල තරිඳු එක්ක යාළු වුනේ? ආච්චිට අනුව නම් ඒකි මුල ඉඳලම කරල තියෙන්නේ බොරුව. මම අහන්නෙ ඇයි එහෙම බොරු කරන්න ඒකිට තිබ්බ අවශ්‍යතාවය? තමන්ට හැම අතින්ම ගැලපෙන කොල්ලෙක් මුල සිටම හිටියා නම්, ඒ කොල්ලත් තමන්ට කැමති නම් , වෙනත් කොල්ලෙක් එක්ක යාලුවෙන්නෙ මොකක් හරි වාසියකටනෙ. දැන් ඒ කෙල්ල තරිඳු එක්ක යාලුවුනේ ඇයි? ඌ අරූ තරම් හැන්සමුත් නැ, සල්ලිත් නෑ, ඊටත් ගොනා වගේ බොනව, ගොන් යාලුවොත් ඉන්නව, අරූට ස්කූටරයක් හරි තියෙනවා මූට එහෙමත් නෑ, අරූ කොලේජ් එකේ කරන්නෙත් මූට වඩා හොඳ කෝස් එකක්. ඒ කියන්නෙ අනාගතයේ හොඳ රස්සාවකුත් තියෙයි අරූට. ඒ තියෙද්දිත් බොහොම දුක් කරදර විඳ විඳ තරිඳුව නිල කොල්ලා විදිහට මේන් ටේන් කරන ගමන්, අර ඇත්තටම ආදරය කරන එකා හොරාට තියාගෙන මාර කට්ටක් කනව. ස්කූටරේ යන්න තියෙන එක හෝල්ට් එකක් බස් එකේ යනව. මොකටද ඒ? මොකක්ද ඒකිට ලැබෙන වාසිය ? සහ මළැයින් පස්සෙ ඒකි ඇත්තටම අඬනවා. සහ එයා නිසාද මැරුණේ කියලා වද වෙනවා. එක අතකට බැලුවම අර ගෝත යාලුවොන්ට වඩා ඒකි හොඳයි ඒ අතින්. කොහොම හරි කතාව ඉවර වෙනකල්ම ඒ සම්බන්ධය තියාගත්තෙ ඇයි කියලා කතාවෙ කියන්නෙ නෑ.

ආ ඊට පස්සෙ අර අන්තිමට කොල්ලයි කෙල්ලයි ඩිස්ටි ඩිඩිං කරන්න, උන්ගෙම කොලේජ් එකේ ලෙක්ච හෝල් එකක් තෝරා ගැනීමත් ටිකක් විතර කේස් නේද ?  උන් දෙන්නම ඉන්නෙ බෝඩිං වල. බෝඩිං තියෙන්නෙත් එක ළඟ. ස්කූටරේ එහෙ මෙහෙත් යනවා. බීච් එකටත් ගිහිල්ලා ඉන්නව පෙන්නනවා . එහෙව් එකේ යකො අහවල් වැඩේ කරන්න තමන් ඉගෙනගන්න කොලෙජ් එකේ හෝල් අස්සෙ යන්නෙ මොකටද ඇත්තටම? එච්චර රිස්ක් එකක් අරන්? 

හරි ඔය තියෙන්නේ මේක මේ "අපි ජීවත් වෙන ලෝකයේ" සිද්දවෙන කතාවක් කියලා පෙන්නන නිසා, ඒ සන්දර්භය ඇතුළේ මම දැකපු අභව්‍ය අවස්ථාව ටිකක්.  මේක ටෙනිසන් කුරේගෙ ලෙවල් එකේ ෆිල්ම් එකක් නම් ඕවා අහන් නෑ . එතකොට ඉතිං කොහොමත් බලන්න යන්නෙත් නෑනෙ .

මීට අමතරව රඟපෑම් ගැන දැකපු දේවල් ටිකක් කියන්න ඕනෙ.  කොල්ලගෙ අම්මට ඉන්න නිල්මිණි කොට්ටගේ ගොඩක් අවස්ථා වල සාමාන්‍ය හොඳ  රංගනයක් දුන්නත් සමහර අවස්ථාවලදී "මේක කොමඩියක් නිසා මිනිස්සුන්ට හිනා යන විදිහට රඟපාන්න ඕනෙ" වගේ හිතන්න ගිහින්ද මන්දා ටිකක් ඕවර් යන ගතියක් තිබ්බා. (අර කුස්සියේ උපාලිට බණින සීන් එක) ඒ නිසා මිනිය බදාගෙන අඬනකොට පවා ඒ බොරුවටද මන්ද අඬන්නෙ කියලා හිතුන...

ඊට අමතරව අවස්ථා දෙකක් දැක්කා රඟපාන්න බැරි උන්ට පුංචි සීන් කෑලි කරන්න දීලා තියෙන. එකක් අර මළගෙදර පොඩි උන් දෙන්නෙක් කතා කරන සීන් එක. ඒ දෙන්නටම රඟපාන්න බෑ. සහ ඒ සීන් එක ඕනෙත් නෑ. අනික අර තාත්තා එක්ක මළ ගෙදර මිදුලෙ කතා කර කර ඉන්න මාමල දෙන්න. ඒ දෙන්න දෙබස් කියනව විතරයි. රඟපාන්න දන් නෑ. පොඩි සීන් එකක් උනත් ඔහොම රඟපාන්න බැරි අයව දැම්මම වෙන්නෙ, ප්‍රේක්ෂකයා ඉන්න දැහැන බිඳෙනවා. මෙන්න මුන් රඟපාන්න දඟලනවා කියලා පේන්න ගන්නවා. අර ලොකු වැදගත් කමක් හෝ හරි හමන් දෙබසක්වත් නැති චරිතෙකට දසුන් පතිරණව අරන් තිබ්බ එකේ , දෙබස් තියෙන චරිතවලට එවෙලෙට අඬගහ ගත්ත මිනිස්සුන්ට දෙබස් කියන්න දුන්නෙ ඇයි කියා නොතේරේ.

හරි. මියුසික්  ගැනත් දෙයක් කියන්නම්. අර ඩිස්ටි ඩිඩිං සීන් සඳහා අරන් තිබ්බ ක්‍රියේටිව් ඇප්‍රොච් එක නම් ටොප් නොච්. සහ ඒ මියුසික් එකත් හෙනම මතකයේ රැඳෙන ගතියක් තියෙනවා. ඒ ඇර මේකෙ  සින්දු තුනක් තිබ්බට ඒ සින්දු චිත්‍රපටය විසින් ඉල්ලා සිටින ඒවා නෙවෙයි. සින්දුත් තුනක් විතර තියෙන්න එපෑ කියලා දාලා මිසක්, සින්දු වලින් කතාවට ලොකු බලපෑමක් නෑ සහ ඒ සින්දුත් හෝල් එකෙන් එලියට එද්දි අමතක වෙන සුළුයි.

හැබැයි වෙනත් පොඩි පොඩි මියුසික් කෑලි තිබ්බා ඊට වඩා දැනෙන. සහ අර උන් ට්‍රිප් එක ගිහිල්ලා දිය ඇල්ලට ඇවිදන් යනකොට දාන මියුසික් එකයි, ඒ සීන් එක යන විදිහයි නිකං ගැළපීමක් නෑ නෑ වගේ දැනුණා.

හරි තවත් තියෙනවා ඒත් දැන් ඇති.

මම මේ ෆිල්ම් එක සෑහෙන ආසාවෙන් බැලුවා සහ සෑහෙන්න ඒ ගැන කල්පනත් කලා. ටිකක් ඕනවටත් වැඩියෙන්.  උඩ කතන්දර ඔක්කොම කිව්වෙ, ෆිල්ම් එකේ සාමාන්‍ය ලෝකයේ වෙන සිද්ධිය ගැනයි. මළවුන්ගේ ලෝකය පාට් එක අතෑරියා .  ඒ ගැන ඉතිං විවේචන කරන එක සාධාරණ නෑනෙ. ඒක කැමති විදිහට ගොඩනගන්න කතාව ලියපු කෙනාට නිදහස තියෙනවනෙ.



Friday, September 10, 2021

KON-TIKI (2012)

 ප්‍රංශ පොලිනීසියාව කියන්නෙ, ලෝක ගෝලයේ පහලට වෙන්න, දකුණු පැසිෆික් සාගරය මැද හරියෙ පිහිටල තියෙන දූපත් සමූහක්. නමෙන්ම තේරෙන විදිහට, මේක ප්‍රංශය යටතේ පාලනය වෙන, අර්ධ ස්වාධීන රාජ්‍යයක්. 

ඒත් කතන්දරේ ඒක නෙවෙයි, හැබැයි 

කතාව තේරුම් ගන්න නම්, ඒ දූපත්වල පිහිටීම ගැන අවබෝධයක් ඕනෙමයි... 

ප්‍රංශ පොලිනීසියාවෙ පිහිටීම බලපුවාම පේන්නෙ ඒකට වැඩියෙන්ම ලඟින් තියෙන්නෙ පැපුවා නිව්ගිනියාව, ෆීජි වගේ දූපත්. ඒවටත් තවත් නැඟෙනහිර දිහාට වෙන්න පැසිෆික් සාගරය මැද්දේ  හුදකලා වෙලා තියෙන දූපත් ටිකක් තමා මේ ප්‍රංශ පොලිනීසියාව. 

අනික් පැත්තෙ ඉඳල බැලුවොත්, දකුණු ඇමරිකාවට බටහිර පැත්තෙන්. හැබැයි ඒ පැත්තෙ ඉඳලා කෙනෙක් මූද හරහා එනව නම් සෑහෙන දුරක්, ඒ කියන්නෙ මූදු සැතපුම් හාරදාස් තුන්සීයක් විතර ගෙවාගෙන එන්න වෙනවා.

ඉතිං, මේ දූපත ජනාවාස වෙන්න ඒකට මිනිස්සු ඉස් ඉස්සෙල්ලාම සංක්‍රමණය වෙන්න ඇත්තෙ කොයි පැත්තෙ ඉඳලද?

දූපත් වලට බටහිරින් තියෙන පැපුවා නිව්ගිනියාව පැත්තෙ ඉඳලද? නැත්තං නැඟෙනහිර පැත්තෙන් සෑහෙන දුරින් තියෙන දකුණු ඇමරිකාවෙ ඉඳලද? 

ඕන කෙනෙකුට හිතෙන්නෙ ලඟ පැත්තෙන් එන්න ඇති කියලනෙ. 

ඒත් 1947 අවුරුද්දේදී නෝර්වීජියානු ජාතික දේශගවේෂකයෙක් සහ මානව විද්‍යාඥයෙක් වුනු තෝර් හෙයඩල් (Thor Heyerdahl) කිව්වා, එහෙම නෙවෙයි, ඒක ජනාවාස වුනේ දුර පැත්තෙන් කියල. ඔන්න එතකොට අනික් අය අභියෝග කලා, ඒක වෙන්නෙ කොහොමද ? අවුරුදු එක්දාස් පන්සීයකට විතර කලින් තිබ්බ සරල තාක්ෂණය එක්ක, ගෝත්‍රිකයන්ට පුලුවන්ද කිලෝමීටර් හත්දාහක විතර දුරක් ගෙවාගෙන ඒ පුංචි දූපත් වලට මූද හරහා එන්න කියල...

ඉතිං අර මනුස්සය මොකද කලේ? එයා කිව්වා, ඒක ඔප්පු කරන්න මම ගිහින්ම පෙන්නනම් කියල. ඒ අනුව, අවුරුදු දාස් ගානකට කලින් ගෝත්‍රික ජනතාව හදපු විදිහටම පහුරක් හදාගෙන එයා පිටත් වෙනවා දකුණු ඇමරිකාවේ පේරු වල ඉඳලා ප්‍රංශ පොලිනීසියාව බලා. ඒ වීර චාරිකාවට එයාගෙ යාලුවො ටිකකුත් එකතු වෙනවා...

ඉතිං, ඒ චාරිකාව සාර්ථක වෙයිද ? 

KON-TIKI (2012) චිත්‍රපටය බැලුවොත් ඒක දැන ගන්න පුලුවන්. බලන්න වටින ලස්සන චිත්‍රපටයක්. අනික ඉතිං මේක ඇත්ත සිද්ධියක්නෙ...

චිත්‍රපටයේ කතාව ඉඳුල් වෙන නිසා, වැඩි විස්තර කියන්න යන්නෑ.

බලපු අය විතරක් (හෝ බලල ඇවිදින්) පහළ ටික කියවන්න...

මේ චාරිකාවට ඔවුන් යොදාගත්තු පහුරට නම දැම්මේ Kon-Tiki කියලයි. (ඒ නිසාම ඒ ගැන හදපු ෆිල්ම් එකටත් ඒ නමම දාල තියෙනවා.) කොන් ටිකි කියන්නෙ, දකුණු ඇමරිකාවෙ තිබුනු පුරාණ ශිෂ්ඨාචාරයක් වෙච්චි ඉන්කා ශිෂ්ඨාචාරයේ හිරු දෙවියන් හඳුන්වන්න කියපු නමක්.

ෆිල්ම් එකේ කතාව ඇත්ත කතාවක් වුනත්, කතන්දරයක් විදිහට විචිත්‍රවත් කරන්න පොඩි දේවල් එකතු කරල අඩු කරල තියෙනවා.

ඒත්, මේ චිත්‍රපටයට පාදක වුනු, ඇත්තටම ගවේෂණ චාරිකාව ගිය ගවේෂකයා නොහොත් තෝර් හෙයඩල් (Thor Heyerdahl) විසින්ම, චාරිකාව තුළදීම රූගත කරපු දර්ශනවලින් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කළා. ඒකෙ නමත් Kon-Tiki මයි. ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වුණෙත් තෝර් මයි. ඒ වාර්තා චිත්‍රපටයට 1951 අවුරුද්දේ ඇකඩමි සම්මාන උළෙලේදී සම්මානයක් පවා ලැබුනා. ඉතිං අමුවෙන්ම ඇත්ත බලන්න ඕනෙනම්, ඒ චිත්‍රපටයත් හොයාගෙන බලන්න.

තෝර් විසින් තම ගවේෂණය අලළා, Kon-Tiki: Across the Pacific In a Raft නමින් ලියූ පොත 1948  දී පලවුනා. ඒක අලෙවි වාර්තා තැබූ පොතක් වුනා.

ඒ වගේම, තෝර් සහ ඔහුගේ යහළුවන් විසින් මෙම ගවේෂණාත්මක වීර චාරිකාව සඳහා යොදාගත් ලී කොට වලින් තැනූ පහුර, අදටත් නොර්වේහි ඔස්ලෝ නුවර, කොන් - ටිකි කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තියෙනවා...




නිදහසේ පියා DS

හම්මේ යාන්තං ඇති ලංකාවට නිදහස හම්බුනා. තව පොඩ්ඩෙන් ඒක හම්බෙන්න කලින් මට නින්ද යනව. ඒක නිසා 2x දාල බැලුවා. මුලු ලෝකෙන්ම කම්මැලිම නිදහස් සටන කරල තියෙන්නෙ අපේ රටේද කොහෙද. වාඩි වෙනවා කතා කරනව. ඊට පස්සෙ සුද්දො ටික වාඩි වෙලා ආපහු කතා කරනව. උන් සමහර වෙලාවට හොඳ සිංහලෙන් කතා කරනව. සමහර උන්ගෙ ඇක්සන්ට් එකවත් අවුලක් නෑ. (උදාහරණයක් විදිහට සිංහල උන්ම සුදු නායකයෙක්ට ගිහින් කුමන්ත්‍රණයක් ගැන කියද්දි, සුද්ද කියනව,

"ඕව දවල් හීන , කලබල වෙන්නැතුව ඉන්නවකො" කියල 😱. උන් අපිට සෙක්න්ඩ් වෙන් නෑ මෙහෙ ඉඳල ඉඳල මෙහෙටම ගොයි වෙලා.)

ඉන් පස්සෙ අර පාඩුවෙ වාඩි වෙලා වට මේස සාකච්ඡා කරපු උන් ඔක්කොම සුද්දො ඇවිත් අත්අඩංගුවට ගන්නව. එයින් එකෙක්ට වෙඩි තියල මරණව. අනේ ඇයි එහෙම ? උන් මොන වරදක් කලාටද? රටේ ඇති වුනු කෝලාහල වලට ඒ මිනිස්සුන්ගෙ අබ මල් රේණුවකවත් සම්බන්ධයක් තිබ්බ කියල හැඟෙවෙන දෙයක් මේකෙ පෙන්නන්නේ නෑ .( සමහර විට මේකෙ ඩිරෙක්ට බලන අපි ගැන  හිතන් ඉන්නෙ, "මචංල, උඹල දන්නවනෙ සීන් එක, උඹල අපි ඔක්කොම ලංකාවේ. ඉතිං , මම තැනින් තැනින් පෙන්නන්නේ බජට් එකේ හැටියට. ඉතිරි ටික අතින් දාගනිල්ලා හරිනෙ?" වගේ දෙයක්ද මන්ද.)

ඔන්න පෙන්නනව මිනිස්සු කනව, සාකච්ඡා කරනව. අනේ මෙන්න වෙඩි තියල මරණව! ආයි රබන් ගහනව. කුඹුරු කොටනව. ඔන්න ආපහු වාඩි වෙලා කනව. ඊට පස්සෙ පොඩි කාලෙ... ඉස්කෝලේ යනව. 

අනික මේ නලු නිලියො... ඩී. එස් පුංචි කාලෙ තාත්තට ඉන්නෙ ජී. ආර්. පෙරේරා . එයාම තමා ඩී. එස් බඳිනකොටත් ඒ චරිතෙට ඉන්නෙ. හැබැයි ඩී. එස් ගෙ අයිය කෙනෙකුට ඉන්නව ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ( එෆ්. ආර්. සේනානායකට), වයසට ගිහාම ඒක කරන්නෙ පාලිත සිල්වා. (මට තේරුන හැටියට ). 

ඔන්න එක පාරට පාලිත සිල්වා පෙන්නනවා. එයාට රිචඩ් කියල අනික් එකා කිව්වම අපි තේරුම් ගන්න ඕනෙ, ආහ් මේ අර රිචඩ්ම තමා මේ, එයා වයසට ගිහින් දැන් ඒ චරිතෙ කරන්නෙ මේ පාලිත සිල්වනෙ කියල . මොකද ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගෙ මූණුවර පාලිත සිල්වට ගෑවිලාවත් නෑ.

මේකෙ හැම චරිතයක්ම මුලින්ම පෙන්නද්දි ඒ චරිතයෙ නම යටින් දානව අපිට අඳුනගන්න . ඉතිං වයසට ගිහින් නලු නිලියො මාරු උනාමත් ඒක ආයි කරන්න ඕනෙ නේද ? 

නිකං ,

පාලිතව පෙන්නද්දී,

එෆ්. ආර්. සේනානායක (වයසට ගිහින්)

වගේ 🤔.

මුලින්ම ඩී. එස්. මැරෙන එක පෙන්නන්නේ. ඉන් පස්සෙ අන්තිමටත් ඒ සිද්ධිය කන්ටිනියු වෙනව. ඒක ඔය වගේ කතා වල සාමාන්‍ය ටෙක්නික් එකක්නෙ. ඒත් මැද ටික හරි මැල්ලුමක් කරන්නෙ නැතුව කරන්න තිබ්බනෙ. (Non linear narrative එකක් කියල නම් කියන්න බෑ.)

කොටින්ම මේක වාර්තා චිත්‍රපටයක්ද වෘතාන්තයක්ද කියල සැක හිතෙන තරම් අවුල් යනව. ඩි.එස්. බැක්ග්‍රවුන්ඩ් එකේ එයාගෙ ඩයරිය කියවනව වගේ දොඩවනව සෑහෙන කාලයක්. අන්තිමට අපිට ගිහින් සුද්දන්ගෙන් වැඳල ඉල්ලන්න හිතෙනව, අනේ අපිට නිදහස දීපියව් මේ මඟුල ඉවරයක් වෙන්න කියල 😁.

සල්ලි තිබ්බ පලියට, වියදම් කරපු පලියට හොඳ චිත්‍රපට හදන්න බෑ කියන එකට දර්ශීය උදාහරණයක් තමා මේක මට නම්.

ඩිස්ක්ලේමර්: කතා කලේ නිදහසේ පියා DS නම් චිත්‍රපටය පිලිබඳව මිස, ලංකාවේ සැබෑ නිදහස් සටන ගැන නොවේ.



Chewbacca ගේ කතන්දරය...

 1977 අවුරුද්දේ මුල්ම Star Wars චිත්‍රපටය රූගත කිරීම ඇරඹීමට සූදානම්ව සිටි ජෝජ් ලූකාස්ට එහි එන පිටසක්වල ජීවියෙකු වූ Chewbacca ට ගැලපෙන නලුවෙකු අවශ්‍ය කර තිබුණි.

Star Wars රසිකයන්ට නම් අමුතුවෙන් හඳුන්වා දිමේ අවශ්‍යතාවක් නැති වුවත් කෙටියෙන් කිව්වොත් Chewbacca යනු Wookiees ලෙස හැඳින්වෙන පිටසක්වල ජීව විශේෂයේ එකෙකි. 

සාමාන්‍ය මිනිසෙකුට වඩා වැඩි උසකින් යුතු මේ ජීවීයාට පණ දීමට, සාමාන්‍ය මිනිසෙකුට වැඩි උසකින් හෙබි නලුවෙකු අවශ්‍ය කර තිබුණ අතර මුලින්ම ඒ සඳහා ලූකාස් විසින් තෝරගෙන තිබුණු අඩි හයකුත් අඟල් හයක් උස ඩේවිඩ් ප්‍රවුස්, පසුව ඩාත් වේඩාර් චරිතය සඳහා තෝරාගැනීම සමඟම Chewbacca චරිතය පුරප්පාඩු විය.

අලුතින් තැනෙන Star Wars නම් චිත්‍රපටයක් සඳහා උසින් වැඩි නලුවෙක් සොයන බවට ලද ආරංචියකට, එවකට ලන්ඩනයේ කින්ග්ස් කොලේජ් රෝහලේ වාට්ටු සහයකයෙකු ලෙස රැකියාව කළ පීටර් මේහෙව් (Peter Mayhew) නැමැති උස හීන්දෑරි තරුණයෙක්, ලන්ඩන් නුවර Elstree නම් ස්ටූඩියෝවේ ඒ වෙනුවෙන් පැවති තිර පරීක්ෂණය සඳහා සහභාගී වීමට පැමිණ වාඩිවී සිටි අතර, ජෝජ් ලූකාස් පැමිණි පසු ඔහුට අතට අත දීමට පීටර් නැගී සිටි පමණින්ම, ඔහුව එසැණින් චරිතය සඳහා තෝරාගැණුනි!

එම ක්ෂණික තෝරාගැනීමේ ප්‍රධාන හේතුව වූයේ අඩි හතකුත් අඟල් තුනක් වූ පීටර්ගේ උසත්, හීන්දෑරි පෙනුමත්ය. අනික් අතට, Chewbacca චරිතය සඳහා දෙබස් නොතිබීමත්, හැඟීම්, භාව ප්‍රකාශන වැනි දෑ නොතිබීමත් නිසා, පෙනුම ප්‍රධානම සාධකය බවට ඉබේම පත්වී තිබුණි.

එසේ, එදා රෝහල් සේවකයෙකු වූ තරුණයෙකුට, දැන් ලොවක් හඳුනන චරිතයකට පණ පොවන්නට වාසනාව ගෙන දුන් අසාමාන්‍ය උස, සැබෑවටම එක්තරා ජාන විකෘතියක ප්‍රතිඵලයකි...!

මාෆාන් සහලක්ෂණය (Marfan Syndrome) ලෙස හඳුනාගෙන ඇති මේ ජානමය රෝග තත්ත්වය ඇති අයගේ සම්බන්ධක පටක එනිසා විකෘති වෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස අදාල පුදගලයාගේ අත්, පාද සහ ඇඟිලි දිගටි නම්‍යශීලී ස්වභාවයක් ගනී. මාෆාන් සහලක්ෂණය ඇත්තෙකු, එක් අතක මහපට ඇඟිල්ල සහ සුළැඟිල්ල, අනික් අතේ මැණික් කටුව වටා යවා ග්‍රහණය කළ විට, එම ඇඟිලි අතිපිහිත (overlap) වේ. මෙය එම සින්ඩ්‍රෝමය හඳුනා ගැනීමට භාවිතා වෙන සරල පරීක්ෂණයක් ලෙසද යොදාගැනේ...

හොඳයි නැවතත් පීටර් වෙත...

Chewbacca චරිතය සඳහා නිතරඟයෙන්ම තේරී පත් වූ පීටර්, චරිතයේ විස්තර දැන කියාගෙන ඊළඟට ගියේ ලන්ඩනයේ සත්තු වත්තටයි. එහි සිටි වළසුන්, වඳුරන්, ගෝරිල්ලන් වැනි සතුන් අධ්‍යයනය කළ ඔහු එම හැසිරීම් ඔස්සේ චරිතයේ ආකෘතිය ගොඩ නගා ගත් අතර Chewbacca වරින් වර නඟන ශබ්දය, ඔහුගේ විසින් නඟන හඬක් නොව විවිධ සත්ත්වයින්ගේ කෑ ගැසීම්වල කෘතිම  මිශ්‍රණයකින් පසුව එක් කරන හඬකි.

1977 පළමු Star Wars චිත්‍රපටයේ පටන් 2015 වසරේ පැමිණි Star Wars : The Force Awakens චිත්‍රපටය දක්වා නොකඩවා Chewbaccaට ඇඳි පීටර්, 2017 වසරේ තිරගත වූ Star Wars: The Last Jedi චිත්‍රපටයටත් 2018 දී Solo: A Star Wars Story චිත්‍රපටයටත් සහභාගී වූයේ නලුවෙක් ලෙස නොව උපදේශකයකු ලෙසයි. ඒ වයසත් සමඟ තම චරිතය නිරූපණය කිරීමට අපහසු බැවින්, Joonas Suotamo නම් නවක නලුවෙකුට එය බාර කරමින් ඔහුට ගුරු හරුකම් දීමටයි.

පීටර් මේහෙව්ට වෙස්වලාගත් ආශිර්වාදයක් වූ මාෆාන් සහලක්ෂණය, පුද්ගලයෙකුගේ ආයු අපේක්ෂාවට බලපෑමක් නොකරයි. එම සහලක්ෂණය සහිතව ජීවත් වෙන්නෝද සාමාන්‍ය අයු කාලයම භුක්ති විඳිති. 

1999 වසරේ විවාහ වී පසුව දරු තිදෙනකුගේ පියෙකු වී, වසර 74 ක් ආයු විඳ  පසුගිය අප්‍රේල් තිස් වෙනිදා පීටර් මේහෙව් හෘදයාබාධයකින් මෙලොව හැර ගියත් Chewbacca තුළ ඔහු සදා අමරණීය වී ඇත...



ග්‍රහලෝකයක චුම්භක ක්ෂේත්‍රය සහ The Core

 අවුරුදු ගානකට කලින් සිරසෙ ගියා The Core  කියල ෆිල්ම් එකක්. මේක ඇත්තටම සාර්ථක ෆිල්ම් එකක් නෙවෙයි. බජට් එක තරම්වත් හොයාගන්න ලැබුනෙ නැති බොක්ස් ඔෆිස් failure එකක්. හුඟක් විද්‍යාඥයෝ සහ විද්‍යාත්මක දැනුමක් තියෙන ඒක බලපු අය ඒක හඳුන්වා දීල තියෙන්නෙ එදා මෙදා තුර හැදුනු වැඩිම විද්‍යාත්මක වැරදි සහිත විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් විදිහටයි. (ඒ අතින් මේක දෙවැනි වෙන්නේ Armageddon එකට විතරයි කියලත් කියනවා.) කොහොමෙන් හරි කමක් නෑ, තොරා බේරගෙන බලන්න කියල ලොකු දේවල් ලැබුනෙ නැති ඒ කාලෙ ඔය වගේ ෆිල්ම් එකක් කියන්නෙත් ඉතිං ලොකු දෙයක්. මොනා උනත් සයන්ස් ෆික්ෂන් කිව්වම ඉතිං බලනව. ඉතිං මේකත් ආසාවෙන් බැලුව. 

මේ ෆිල්ම් එකේ කතාවෙ හැටියට, මිනිස්සුම කරන විද්‍යාත්මක පරීක්ෂණයක් අවුල් ගිහින් ලෝකෙ ගෝලෙ මැද්දෙ තියෙන ලෝදිය ගුලිය කැරකෙන එක නතර වෙනව. ඒ නිසා, ඒකෙ ප්‍රතිඵලයක් විදිහට පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය නැති වෙලා යනව. චුම්භක ක්ෂේත්‍රය නැති වෙලා යනව කියන්නෙ අවුල් ගොඩකට මුල නිසා විද්‍යාඥයෝ තීරණය කරනවා විශේෂ යන්ත්‍රයක් යොදාගෙන පොලොව මැදට හාරගෙන ගිහින් පිපිරීම් වගයක් කරල අර නතර වුනු චලිතය නැවත පණගන්වල චුම්භක ක්ෂේත්‍රය ආපහු ගන්න. 

ඉතිං බැලූ බැල්මට විද්‍යාත්මක ඇත්ත බවක් පෙනුනට ඔය කියන කතාවේ විද්‍යාත්මක අවුල් ගොඩක් තියෙනවා. තියෙනවා කියල දැන් තේරෙනවා. ඕක බලපු කාලේ, උන් තකහනියෙ පොලොව මැද්දට යන්නෙ ඇයි ? චුම්භක ක්ෂේත්‍රය නැති වුනා කියල ඔච්චර දඟලන්න ඕනෙද? වගේ ගැටලු තමා තිබුනෙ. 

හැබැයි දැන් තේරෙනවා ග්‍රහලෝකයකට චුම්භක ක්ෂේත්‍රයක් තිබීමේ වැදගත් කම. ඉතිං ඒක තේරෙන්නෙ නැති කෙනෙකුට, ඒක තේරුම් ගන්න නම් බලන්න හොඳ ටීවි සීරීස් දෙකක් තියෙනවා. එකක්, BBC එකෙන් කරපු The Planets කියන එක. අනික නැෂනල් ජියෝග්‍රැෆික් එකෙන් කරපු One Strange Rock කියන සීරීස් එක. විශේෂයෙන්ම ඔය දෙවෙනි එක නම් පෘථිවිවාසියෙක් විදිහට ඔබ අනිවාර්යයෙන් බලන්න ඕනෙම එකක්. 

හරි. එතකොට කිය කිය හිටියෙ Core ගැනනෙ. ඒ ෆිල්ම් එකේ පෙන්නන විදිහට, ලෝකේ මැද්දේ තියෙන භ්‍රමණය වෙන ලෝහමය තරලය නිසා චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා කියන එක ඇත්ත වුනාට, ඒක මිනිස්සු කරන ක්‍රියාවක් නිසා නතර වෙන එක හෝ  'රී ස්ටාට්' කරන්න පුලුවන් කියන එක ඇත්තටම විද්‍යාත්මක විහිලුවක්. මේ මුලු ලෝකෙම තියෙන න්‍යෂ්ටික බෝම්බ එකතු කරලවත් ඒක කරන්න තියා හිතන්නවත් බෑ.  

හැබැයි යම් ග්‍රහලෝකයක් සැලකුවාම කාලයක් යද්දි ඒකේ මැද්දේ  තියෙන ලෝදිය ක්‍රියාකාරිත්වය නැති වෙලා ගිහින්, ස්වභාවිකව ඕක නතර වෙන්න පුලුවන්. ඔය අඟහරු ලෝකය කියන්නෙ එහෙම නතර වෙච්චි ග්‍රහලෝකයක් කියල තමා කියන්නෙ (අර ටීවි සීරීස් දෙකෙන් ලබා ගත් දැනුම 🤗)  එහෙම නතර වුනාම ඒ ග්‍රහලෝකයේ මතුපිට තියෙන ගිනිකඳු වගේ දේවලුත් නතර වෙනව. මැද්දේ වැඩ නෑ කියල හොයාගන්න පුලුවන් ක්‍රමයක් ඒක. අඟහරු වල තියෙන්නේ ඉස්සර සක්‍රීයව තිබ්බ දැන් මියගිය ගිනිකඳු. දැන් ලාවා ගලන්නෙ නෑ. ග්‍රහලෝකය මැද්දේ චලනය වෙන ද්‍රවමය ලෝහ නැති නිසා, ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඇතිවෙන චුම්බක ක්ෂේත්‍රයකුත් නෑ. චුම්භක ක්ෂේත්‍රයක් නැති නිසා සූර්යයාගෙන් විහිදෙන සූර්‍ය සුලං වලට ඒ ග්‍රහලෝකයේ වායුගෝලය කෙලින්ම නිරාවරණය වෙනව. ප්‍රතිඵලයක් විදිහට ජීවයක් ඇති වෙන්නත් බැරි, ජීවීන්ට ඉන්නත් බැරි තත්ත්වයක් ඇති වෙනව. වායුගෝලයේ පැවැත්මටත් මේක බලපානව. ද්‍රව ජලය ග්‍රහලෝකය මත රඳා පවතින එකටත් ඒක බලපානව. ඉතිං චුම්භක ක්ෂේත්‍රයක් නැති වෙච්චි ග්‍රහලෝකයක් කාලයක් යද්දී ටික ටික මැරිල යනව. ද්‍රව ජලය වාෂ්ප වෙලා, ජීවයක් තිබ්බ නම් ඒකත් නැති වෙලා යයි. අඟහරු ලෝකෙ ඉස්සර ගංඟා තිබුනා කියල පේන්න තියෙනවා. දැන් ඒව නෑ. ඒ වතුර වාෂ්ප වෙලා ගිහින්.

ඒත් අපි ඉන්න ග්‍රහලෝකයේ දෙයියනේ කියල මැද්දේ සක්‍රීය ලෝදිය තියෙනවා. ඒකෙ නිසා, ඒ කියන්නෙ සන්නායකතාවක් තියෙන දෙයක් චලනය වෙන නිසා, ඇති වෙන චුම්භක ක්ෂේත්‍රයක් තියෙනවා. මේ නිසා 'ඉරෙන් එන හුලං' වලින් අපිට ලොකු කරදරයක් නෑ. ඒවා කෙලින්ම ග්‍රහලෝකයේ පෘෂ්ඨයේ වදින්නෙ නැතුව චුම්භක ක්ෂේත්‍රයට අනුගතව විහිදිලා වටෙන් යනව. ඒ සූර්‍ය සුලං වල තියෙන අංශු අර චුම්භක ක්ෂේත්‍රයේ ධ්‍රැව පිහිටන ලෝක ගෝලේ ඉහළ සහ පහළ තැන් වලදී වායුගෝලයේ ඇති නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරල අහසේ පාට පාට රටා පේනව. ඒව තමා අවුරෝරා කියල කියන්නෙ. 

ඔන්න වගේ ලස්සන කාරණා ගොඩක් දැන ගන්න පුලුවන් , අර කිව්ව ටීවි සීරීස් දෙක බැලුවොත්.

අර ෆිල්ම් එකත් බලන්න බලල නැත්තං. හැබැයි ඒක එච්චර සීරියස් ගන්න එපා. මොකද ඒකෙ පෙන්නන විදිහට ග්‍රහලෝකයක තියෙන චුම්භක ක්ෂේත්‍රයක් ඒ විදිහට සෙනිකව හුචස් වෙලා යන්න නම් ලොවෙත් විදිහක් නෑ. එහෙම වුනත්, ඒකෙ පෙන්නන විදිහට ඒක නතර වුනු ගමන්ම හෙණ පාත් වෙනව වගේ සූර්‍ය කුණාටු, විකිරණ කදම්බ එන්නෙ නෑ. ඒක වසර ගණනාවක් තිස්සෙ ක්‍රමයෙන් වෙන ක්‍රියාවලියක්. ඒක ෆිල්ම් එකක් නිසා, බලන උන්ට ආතල් එකක් දෙන්න ඕනෙ නිසා, ඒ තත්ත්වය අතිශෝක්තියට නංවල තියෙනවා උපරිමෙන්.

(ග්‍රහලෝකයක චුම්භක ක්ෂේත්‍රය ඇතිවෙන එක කියන්න පුලුවන් තරම් කෙටියෙන් කිව්වෙ. එකෙ තව ගොඩක් කතන්දර තියෙනවා. පුලුවන් නම් කොරියෝලිස් ආචරණය ගැනත් හොයල බලන්න.)




කොපියක් නේද ?

හුස්ම කියන්නෙ අහවල් ෆිල්ම් එකේ කොපියක් කියන එක පිළිබඳව මේ වෙන විට ඔයා දැනුවත් වෙලා නැත්තං, ඒ කියන්නෙ ඔයා චිත්‍රපටි ගැන ලොකු උනන්දුවක් තියෙන කෙනෙක් නෙවෙයි.

හරි ඉතිං කොහොම හරි ඒක කොපියක් තමා. දැන් අදහස් දෙකක් තියෙනවනෙ ඔය ගැන;

කට්ටියක් කියන්නෙ කොපි කරල හරි ඔය මට්ටමට හදපු එක හොඳයි . කොපි කරන එක උනත් ලස්සනට කරල තියෙනවා කියන එක.

තව කට්ටියක් එකෙන්ම ඒකට විරුද්ධයි. කොච්චර ලස්සනට තිබ්බත් ඒ ලස්සනට හේතුව කලින් එකක් එහෙම් පිටින්ම කොපි කිරීම මිසක් වෙන අමුතු දෙයක් නෑ කියන එක තමා එයාලගෙ පොයින්ට් එක.

මගේ අදහස නම් චිත්‍රපට කොපි කලාට කමක් නෑ. කොපි කරනව කියන එක සවුත්තුයි වගේ නම් අභාසය වගේ දෙයක් ගත්තත් අවුලක් නෑ 😜. හැබැයි ඔය දෙකම කරන වැදගත් විදිහ තමා මුල් නිර්මාණයට ක්‍රෙඩිට්ස් දීල කරන එක.

දැන් ඕක කොපි කරල හරි ඔය විදිහට කරපු එක හොඳයි කියල කියන අය ගේන සරල තර්කයක් තමා, හොලිවුඩ් ෆිල්ම්ස් වුනත් සැලකිය යුතු ප්‍රමාණයක් වෙන රටවල් වල හැදුනු චිත්‍රපට වල කතාව අරගෙන, "ආබාසය" අරගෙන හදපුව කියන එක. උදාහරණයක් හැටියට හොලිවුඩ් හොරර් ෆිල්ම් සැලකිය යුතු ප්‍රමාණයක් ජපන් ෆිල්ම්ස් වල කොපි.

හැබැයි මෙතෙන්දි වෙනසක් තියෙනවා. හොලිවුඩ් වල චිත්‍රපටයක් හදද්දී එයාල ඒක කරන්නෙ වෙන මොකක් හරි නාට්‍යයක්, වේදිකා නාට්‍යයක්, ෆිල්ම් එකක්, නවකතාවක්, කෙටි කතාවක් හෝ මෙකී නොකී මොනයම් හෝ මින් පෙර නිපදවුනු නිර්මාණයක් පාදක කරගෙන නම් ඒ නිර්මාණයට ක්‍රෙඩිට්ස් දෙනව. ෆිල්ම් එකක් ඉවර වෙච්ච ගමන් වහල නොදා නාමාවලිය ඉවර වෙනකම් බලනව නම් බොහෝවිට නාමාවලිය කෙලවරේ හෝ මේක අහවල් එක ඇසුරෙන් හදපු එකක්ය කියල දානව. එහෙම නොදානවම් බොහෝවිට අදාළ මුල් කතුවරයට, නිර්මාණකරුවට මුදල් ගෙවල නිර්මාණ අයිතිය ලබාගෙන නිසා තමා නොදා ඉන්නෙ මොකද එතකොට දාන්නම කියල නියමයක් නෑ.

හැබැයි එහෙම නොදා චුට්ටක් හරි කොපි කලාය කියල ඔප්පු උනොත් ඉතිං ඩොලර් මිලියන ගණන් වලින් තමා වන්දි ගෙවන්න වෙන්නෙ. (මේ ළඟදී කැටී පෙරීට එහෙම ඩොලර් මිලියන දෙක හමාරක් ගෙවන්න උනා වැඩිය ප්‍රසිද්ධ නැති ගායකයෙක්ගෙ සින්දුවක තියෙන "බීට් කෑල්ලක් " එයා තමන්ගෙ Dark Horse කියන සින්දුවට පාවිච්චි කලා කියල ඔප්පු වෙලා.)

හැබැයි ලංකාවේ එහෙම නීත්‍යානුකූල දේවල් වෙන්නේ ලංකාවේම නිර්මාණය වෙච්ච දෙයක් ලංකාවේ තව කෙනෙක් කොපි කරනව නම් විතරයි. මොකද එහෙම නොකලොත් අර මුල් එක හදපු එකා පස්සෙන් එලෝගෙන ඇවිත් ඔලුව කනව කියල දන්නවනෙ. ඌත් ලංකාවේ මූත් ලංකාවේ නිසා හොර වැඩ කරන්න බයයි. හැබැයි ලෝක මට්ටමෙන් හදපු එව්වට එහෙම කලා කියල උන් පස්සෙන් එලෝගෙන එන් නැති බව මෙයාල දන්නව. ඒ නිසා බලපු එවුන් මේක අහවල් එකේ කොපියක් කියල තේරුම් ගත්තොත් මිසක් ඒක කොපියක් බව නිල වශයෙන් සඳහන් වෙන තැනක් නෑ.

මේව සවුත්තු වැඩ... සහ ලංකාව වගේ රටවල් වලට ලාක්ෂණික ගති සිරිත්...

ඒ කියන්නෙ හොරකම් කරන්න අවස්තාවක් තියෙනවා කියල පෙනුනාම වැදගත් විදිහට හොරකම් කරගැනීමේ කලාව.

මීට කාලෙකට කලින් අර ස්වර්ණවාහිනියෙ නාට්ටයක් ගියා, තුර්කි ටෙලිනාට්‍යක් අමුවෙන්ම කොපි කරල. නමුත් ඒක හදපු කෙනාගෙන් ඒක කෙලින්ම ප්‍රශ්නයක් විදිහට අහපු වෙලේවත් ඌ පිලිගත්තෙ නෑ ඒක කොපියක් කියල. එයා එහෙම තුර්කි නාට්‍යයක් තියෙනවා කියල දන්නෙවත් නෑලු. (සිරි ලංකාවේ ලාක්ෂණික ගතිය)

ඉස්සර (සහ දැනුත් යනව ද මන්ද) ITN එකේ ගිය හඬ කවපු "ළමා චිත්‍රපට"... ඒවත් මේ ගොඩේම තමා. වැදගත් හොරකම්.

ඒවට සිංහල හඬකවල තියෙන්නෙ හරි පාරෙ ගිහින් නෙවෙයි බව ඇහුවම තේරෙනව. සමහර ඒව කරෝකි මෝඩ් එකට දාල උඩින් සිංහල අලෝල වගේ පේන්නෙ. ඒත් ලංකාවේ අයට ඔව්ව එච්චරම ගානක් නෑ. ඔය මොනා හරි රත් කරල දුන්නම, පිළුණු උනත් කන ජාතියක් කියල දන්න නිසා, පොඩි උනුත් ඒ ජාතියෙම කියල දන්න නිසා, උන්ට ඉස්කෝලේ නිවාඩු දවසට උදේට කන්න ෂෝට් ඊට්ස් වගේ ඔය හොලිවුඩ් ෆිල්ම් වල ඩීවීඩි ටිකක් හොයාගෙන ලාබෙට හඬ කවෝල දෙනව කාපං කියල.

ඒ අතින් ඔය වැඩේ වැදගත් විදිහට කලේ සිරස. (ඊට කලින් ජාතික රූපවාහිනිය කළ බව ගෞරවයෙන් සිහිපත් කරමු.) මට මතකයි එක සැරයක් ඔය ස්කූබි ඩූ හඬ කවපු විදිහ ගැන වැඩසටහනක් ගියා. ඒකෙ කියපු හැටියට, ලංකාවේ ස්කූබි ඩූ සිංහලෙන් පෙන්වීමේ නිල අයිතිය එයාල මුලින්ම අරගත්තලු. ඉන්පස්සේ එක එක චරිතය සඳහා හඬ දෙන්න බලාපොරොත්තු වෙන නලු නිලියන්ගේ හඬ සාම්පල් වෝනර් බ්‍රදර්ස්ලගෙ ස්ටුඩියෝ එකට යවල තියෙනව. එහෙන් ඒ ඒ හඬවල් අදාළ චරිතය සඳහා ගැලපෙනවා කියල අනුමත කළැයින් පස්සෙ තමා හඬකවන්න පටන් අරං තියෙන්නෙ. හරියට කරනව නම් ටිකක් බරපතල වැඩක්. හැබැයි පිලිවෙළට කළාට පස්සෙ වැඩේ ලස්සනයි. පිරිසිදුයි. ඓතිහාසිකයි...

ලංකාවේ කොපි කරපුවාට උදාහරණ නම් අනන්තයි අප්‍රමාණයි. ඇත්තටම ඊට වඩා ලේසියි ලංකාවේ ස්වතන්ත්‍ර නිර්මාණ ටික මෙන්න මෙව්ව කියල පැත්තට කරල, ඉතිරි ටික කොපි කියල වර්ග කරන එක.

ඉතිං අවසානයේ කියන්න තියෙන්නෙ කොපියක් ගහන එකේ වැරැද්දක් නෑ. හැබැයි දෙයියනේ කියල ඒක හරියට කරන්න. ඒ කියන්නෙ සදාචාරාත්මක විදිහට මුල් නිර්මාණ කරුවන්ට කියල එයාලගෙ අවසරය ලබාගෙන, ගෙවන්න ඕනෙනම් ගෙවල...

එහෙමත් බැරි නම් අඩුගානේ තමන්ගෙ නිර්මාණය අහවල් එකේ කොපියක් නේද කියල ඇහුවමවත් "ඔව්" කියල පිළිගන්න නිහතමානී වෙන්න. ඒකත් බැරි නම් ඉතිං කළාකරුවෙක් කියල කියන්නෙ කොහොමද ?



Sunday, December 27, 2020

සෝමාලියාවට පාන්!

සාමාන්‍යයෙන් ගෙදර කන්න බොන්න යහමින් තියෙන , හොඳ හොඳ හෝටල් වලින් කාලත් තියෙන මනුස්සයෙක් දානෙකට වගේ ගිහින් කෑවම ඒ දානෙ දීපු අයට ස්තූති කියල පින් සිද්දවෙනව කියලත් ඕනෙනම් කියල වැදගත් විදිහට එනව. හැබැයි ඉතිං ඒ දානෙ ගෙදර කෑම අවුල් නම් එහෙම අවුලක් තිබ්බාය කියන එකත් තේරෙනව. (ඒක තේරුම් ගන්න කෝකියෙක් වෙන්න ඕනෙ නෑ )

ඒත්, එදා වේල හම්බෙන් නැති, බත් ඇටයක් ආසාවට ඇහැට දැකපු නැති , හෝටල් වලින් විසි කරන මට්ටමේ කෑම, පාන් රොඩු වගේ කෑම කකා ඉන්න හිඟන්නෙක්ට, ඔයා සාමාන්‍යයෙන් ගෙදර හදපු බත් මුලක් ගෙනිහින් දුන්නොත් ?

" අනේ මහත්තයො බුදුන් දැක නිවන් දකින්න ඕනෙ මේ කරපු පිං කමට, අද දවසටම හරියට කෑමක් නෑ මහත්තයො බඩගින්නෙ හිටියෙ" ආදී දේවල් කියමින්, ලෝකෙ හොඳම කෑම එක ලැබුනා වගේ ප්‍රශංසා කරයි... (හැබැයි කෑම එක දීපු එකත් දන්නව ඒකට එච්චරම හයිප් එකක් දෙන්නෙ, මූ කන්න නැතුව හිටපු එකෙක් නිසා මිසක්, තමන්ගෙ කෑම එක රජ බොජුනක් නිසා නෙවෙයි කියන එක.)

ඇත්තටම , එහෙම දෙයක් හදල දුන්නම ඒක ලබන එකාගේ ප්‍රතිචාර අනුව , ඌට තිබ්බ බඩගින්න, අසරණකම වගේ දේවල් නම් මැන ගන්න පුලුවන්.

ඉතිං අන්න ඒ වගේ, තමා ලංකාවේ ප්‍රේක්ෂකයොත්. පව් උන්. කාන්තාරෙට වහිනව වගේ ඉඳලාමත් යන්තං කටක් ඇරල "හොඳයි" කියන්න පුලුවන් මට්ටමේ නිර්මාණයක් කලාම දුවන් ගිහින් imdb එකේ 10/10 දීලා එනවා. 

ඇත්තටම ජාත්‍යන්තරේ උන් මෙව්ව දැක්කම, අපේ රටේ හැදෙන අනික් නිර්මාණ මොන වගේද කියන එක හිතාගන්නව ඇති. කොටින්ම "පව් දෙයියනේ අසරණයො ටිකක් " කියල උන් උන් කියනව ඇති. 

හරි . දැන් මේ ජාත්‍යාලයෙන් ඔද වැඩී ගිහින් ශ්‍රී ලාංකික ලේ කකියන අයට  විශේෂයෙන්ම කියන්න තියෙන්නෙ,

ඔව් ඉතිං මෙව්ව අපේ දේවල් තමා . අඩුගානේ imdb එකේ අපේ දේවල් කියල පෙන්නන්න පුලුවන් විදිහට එකවුන්ට් එකක් වත් තියෙන්නෙ මේ වගේ නිර්මාණ අතලොස්සකට විතරයි . ඉතිං එහෙව් ඒව ටිකවත්, වැදගත් විදිහට, "තාත්ත්වික" විදිහට  තියාගන්න එක වටිනව නේද ? 

ඒකටත් ගිහින් ජාත්‍යලෙන් අන්ධ වෙලා, ජාතික වගකීමක් ඉටු කළා වගේ අභිමානයෙන් 10/10  රේටින්ග්ස්  දීලා ආවම, ඇත්තටම වෙන්නෙ, "අප්පටසිරි යකෝ 9.8 ක් තියෙන එකක් ඇවිත් කියල " ජාත්‍යන්තර ප්‍රජාව පිස්සුවෙන් වගේ ඕව බලන්න පෙළඹෙන එක නෙවෙයි . 

"සෝමාලියාවට පාන් හම්බෙලා" කියල අනුකම්පා දෑසකින් අපි දිහා උන් බලන්න පුරුදු වෙන එක විතරයි වෙන්නෙ.




Crazy Rich Asians (2018)

මේ චිත්‍රපටයේ කතාව සරල, සුන්දර ආදර කතාවක්. ඉතිං බලල නැත්තං බලන්න. බොහොම සැහැල්ලුවෙන් බලන්න පුලුවන්. අනික් කාරණේ, සිංගප්පූරුවේ ලස්සන දර්ශන ගොඩක් තියෙනවා. කොටින්ම බලල ඉවර වෙද්දි, සිංගප්පූරු ගිහින් නැත්තං, කවදහරි යන්න ඕනෙ කියල අදහසක් ආවොත් ඒක ස්වභාවිකයි. 

තවත් විශේෂත්වයක් තමා ප්‍රධාන පෙලේ හොලිවුඩ් ස්ටුඩියෝ එහෙකින්, සම්පුර්ණයෙන්ම ආසියානු නළු නිලි පිරිසකගෙ දායකත්වයෙන් මෑතකදී කරපු එකම චිත්‍රපටය වීම.

මේ චිත්‍රපටය හදල තියෙන්නෙ එනමින්ම 

ලියපු පොතක් ඇසුරෙන්. පොතේ හැටියට කතාව සිද්ධ වෙන්නෙ සම්පුර්ණයෙන්ම සිංගප්පූරුව ආශ්‍රිතව.

ඉතිං ඒ නිසාම තමා මෙහි දර්ශන සියල්ලම සිංගප්පූරුව (සහ සුලු ප්‍රමාණයක් මැලේසියාව) ආශ්‍රිතව රූගත කරල තියෙන්නෙ. මුලින්ම පෙන්නන ලන්ඩන් නුවර හොටෙල් එකේ දර්ශනයත් ඇත්තටම අරන් තියෙන්නෙ මැලේසියාවෙදි.

මෙහි එන එක් දර්ශනයක් සඳහා සිංගප්පූරු ගුවන් තොටුපොළේ ගුවන් යානා පෙන්නන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා සිංගප්පූරු ගුවන් සේවයේ (Singapore Airlines) යානා යොදාගන්න චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම අවසර ඉල්ලා තියෙන්නෙ, product placement එකක් විදිහට එම ගුවන් සේවයට චිත්‍රපටය හරහා ලැබෙන ප්‍රචාරණයට ඒක හිලව් වෙන්න. නමුත්, "චිත්‍රපටය තුළින් සිංගප්පූරු ගුවන් සේවය සහ එහි පාරිභෝගිකයන් නිවැරැදිව  නියෝජනය වෙයිද නැද්ද කියන එක ශුවර් නෑ" කියල සිංගප්පූරු ගුවන් සේවයේ බලධාරින් ඒකට කැමති වෙලා නෑ. ඉතිං පස්සෙ  "Pacific Asean Airlines" කියල මනඃකල්පිත ගුවන් සේවයක් නිර්මාණය කරල ඒක තමා ඒ දර්ශන සඳහා පාවිච්චි කරල තියෙන්නෙ.

චිත්‍රපටයේ තවත් තැනක පවත්වන සාදයකට ලොකු වත්තක් මැද්දේ තියෙන විශාල ලස්සන මන්දිරයක් භාවිතා වෙනවා. ඇත්තටම සිංගප්පූරුවේ තියෙන එකක් කියල පෙන්නුවත්, මේක මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර තියෙන එරට රජයට අයිති මන්දිරයක්. 2015 දක්වා සංචාරක හෝටලයක් විදිහට පාවිච්චි වුනු මේක දැන් භාවිතාවක් නැතුව අත්හැර දාලලු තියෙන්නෙ! ඉතිං 2017 දී චිත්‍රපටය සඳහා මේක පාවිච්චි කරන්න කලින්, ඒක ඇතුලෙ තිබ්බ වඳුරු බෙටි එහෙමත් සුද්ද කරල ගන්න වුනාලු නිෂ්පාදන කණ්ඩායමට.

ඒ වගේම ඒ ගෙදර තියෙන පාටියෙ දර්ශන වලදී එක් තැනක පුලුන් පුරවා සකස් කරපු ව්‍යාඝ්‍රයකු පෙන්නනවා. ඇත්තටම මේක සම්පුර්ණයෙන්ම කෘතිමව හදපු එකක්. (ඒ කියන්නෙ සැබෑ ව්‍යාඝ්‍ර හමක් පාවිච්චි කරල නෑ.) නමුත් ඇත්ත එකක් වගේමයි පේන්නෙ. ඉතිං ඕක තායිලන්තයේ නිෂ්පාදනය කරල  මැලේසියාවට ගෙනෙද්දී, තායිලන්තයේ ගුවන් තොටුපලකදී එරට රේගුවෙන් අත්අඩංගුවට අරන් තියෙනවා ඇත්තටම පුලුන් පුරවපු ව්‍යාඝ්‍රයෙක් කියල හිතල. පස්සෙ, මේක ෆිල්ම් එහෙකට හදපු බොරු එකක්ය කියල කරුණු පැහැදිලි කරල තමා නිදහස් කරගෙන තියෙන්නෙ.

මේ චිත්‍රපටයේ බෙදාහැරීමේ අයිතිය ගන්න NETFLIX සමාගමත් සෑහෙන උත්සාහයක් අරන් තියෙනවා. නමුත් අවසානයේ මෙහි නිෂ්පාදකවරු තීරණය කරල තියෙන්නෙ එහි අයිතිය වෝනර් බ්‍රදර්ස්ලට දෙන්න ඕනෙ කියලයි.

එසේ Warner Brothersලට දීමෙන්, ලොව පුරා සිනමා ශාලාවල චිත්‍රපටයක් විදිහටම තිරගත කිරීමට අවස්තාව ලැබෙන නිසා, එයින් ඇතිකල හැකි සංස්කෘතිකමය බලපෑම, Netflixලට දීමෙන් ගන්න බෑ... කියන මතයෙ තමා එයාල ඉඳල තියෙන්නෙ.

චිත්‍රපටයට නැගුනු මෙනමින්ම තියෙන පොත, ඇත්තටම තුන් ඈඳුනු කතාවක පළමු කොටසයි. 

ඉතිං මේ ෆිල්ම් එක වාණිජමය අතින් සාර්ථක වුනු නිසා (වියදම: $30 million, ආදායම: $238.5 million) එහි ඉතිරි කොටස් දෙකත් (China Rich Girlfriend සහ Rich People Problems) ඉදිරියේදී චිත්‍රපට දෙකක් විදිහට නිෂ්පාදනය කරන්න වෝනර් බ්‍රදර්ස්ල දැනටමත් තීරණය කරලලු තියෙන්නෙ.



පිටසක්වල ජීවීන් ඉංග්‍රීසි කතා කිරීම....!

චිත්‍රපටවල තියෙන සිද්ධියක් හෝ චරිතයක් ගැන අඩුපාඩුවක් නොගැලපීමක් කියන්න ගියාම, කීප තැනකදිම වෙච්ච දෙයක් නිසා මේක කියන්න හිතුනෙ... 

සමහර අය ඒ වගේ සංවාද මැද්දට  තකහනියෙ ඇවිදින් උජාරුවට කියන්නෙ,

"ඕක මොකද්ද බං ඒකෙ ඒලියන්ල ඉංග්‍රීසි කතා කරන්නෙ" කියල. නිකං, එච්චරම "තඩි අතාත්වික මෙව්ව එකක්" තියෙද්දී , අනික් දේවල් නතිංනෙ වගේ අදහසක් ඇතුව.

ඇත්තටම ඔය ප්‍රශ්නය අහන අයට, ඔය ප්‍රශ්නය, ප්‍රශ්නයක් වීමේ ආකාර කීපයක් තියෙනවා.

මට දැනෙන හැටියට නම් එක ප්‍රධාන හේතුවක් තමා, තමන්ට අවුරුදු දහතුනක් ඉගෙනගෙනත්, ඊට පස්සෙ රටවටේ එකේක කෝස් කරලත් ගොඩදාන්න බැරි වෙලා "අතාත්වික" වෙච්ච දේ, කොහෙන්ද පාත් වෙච්ච ඒලියන් කෙනෙක් සෙනිකව කිරීම නිසා හටගත් පුදුමය, කලකිරීම සමඟ ඇති වෙන ඉරිසියාව😜. එහෙම උන්ටනම් ඉතිං දෙන්න උත්තර නෑ. 😂

අනික් හේතුව ඇත්තටම කතාව ඇතුලෙ අදාළ ඒලියන්ලට ඉංග්‍රීසි පුලුවන් වුනේ කොහොමද කියල හරිහමන් පැහැදිලි කිරීමක් ඉදිරිපත් නොවීම නිසා ඇති වුනු සාධාරණ ගැටලුවක්.

ඉතිං එහෙම වෙන්න ඇති කියල හිතල, උදාහරණයක් කියන්න කිව්වම එයාල කිව්වෙ, මාවල් Infinity War එක සහ Star Wars. 😏.

ඔය උදාහරණ දෙකම මේ කාරණේ සම්බන්ධව සාධාරණ උදාහරණ නෙවෙයි කියන එක ඔය චිත්‍රපට උඩින් පල්ලෙන් නැතුව හොඳට බලපු හැමෝම දන්න දෙයක්.

කොටින්ම ඔය කොමික් යුනිවර්ස් (මාවල් සහ DC ඇතුලු ) සහ ඔය Star Wars, Star Trek වගේ එව්ව වල මිනිස්සු සහ පිටසක්වල ජීවීන් හිටියට, පිටසක්වල ජීවීන් ඉංග්‍රීසි කතා කරන්නෙ කොහොමද කියන ගැටලුව ඔය එකකටවත් අදාල නෑ. මොකද ඔය ෆිල්ම් වල කතාව, මිනිස්සුන්ට ඉස් ඉස්සෙල්ලාම ඒලියන්ලව හම්බෙන (first contact) ආකාරයේ එකක් නෙවෙයි. ඒ චිත්‍රපට පටන් ගත්තු වෙලේ ඉඳන් පිටසකවලයොයි මිනිස්සුයි ගනුදෙනු කරනව, ගහ මරා ගන්නව. හරියට ලඟ ගම් දෙකක මිනිස්සු වගේ. මොකද මේවා fantasy universe ඇතුලෙ සිද්ධවෙන දේවල්.  

දැන් අපි පිටරටකට ගියාම,  ඒ රටවල් වල මිනිස්සු අපිත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනව. හැබැයි ඒ ඒ රටවල් වලට ආවේණික භාෂාවලුත් තියෙනවා. නමුත් සන්නිවේදන පහසුව තකා හැමෝම පොදුවේ ඉංග්‍රීසි පාවිච්චි කරනව. නිකං අන්න ඒ වගේ, මේ ෆිල්ම්ස් වලත් ඉංග්‍රීසි කියන්නෙ නිකං යුනිවර්සල් ලැන්වේජ් එකක් වගේ වෙලා තියෙන්නෙ. මොකද ඕවෑ ඉන්න ඒලියන්ල බහුතරයක් මිනිස්සු එක්ක ඇයි හොඳයිකම් පවත්වන්නේ අනාදිමත් කාලෙක ඉඳලා කියල ඒ කතා වල එන ෆැන්ටසි යුනිවර්ස්වල ඉතිහාසය හොයල බැලුවම තේරෙනවා. ඒ වගේම ඒ පිටසක්වල ජීවින්ට උන්ට ආවේණික භාෂාවලුත් තියෙනවා සහ යම් යම් අවස්තාවලදි උන් ඒවා පාවිච්චි කරන බවත් දකින්න පුලුවන්.

මේ ඇරුණම, ඔය in built translators වගේ ගැජමැටික්ස්, එහෙමත් නැත්තං අර ට්‍රාන්ස්ෆෝමර්ස් එකේ වගේ WWW හරහා ඉංග්‍රීසි ඉගෙනගැනීම වගේ පිලිගත හැකි හේතු ඉදිරිපත් කරන අවස්තාත් ඕන තරම්.

හැබැයි තව පොඩි කොස්සක් තියෙනවා. සමහර වෙලාවට, මේ ඒලියන්ල උන් උන් හම්බුනා මත් ඉංග්‍රීසියෙන්ම කතා කරනවා. එතකොට ඒ ඇයි ? 

හේතු දෙකක් දෙන්න පුලුවන්.

එකක් තමා, දැන් ඔය ලංකාවේ වුනත්, ඔෆීෂියල් මීටින් වලට එහෙම ගියාම වැදගත් කියල පෙන්නන්න සිංහල හොඳට දන්න උනුත් අමාරුවෙන් හරි ඉංග්‍රීසි කතා කරන්නෙ. අන්න ඒ වගේ, ඉංග්‍රීසි කියන්නෙ හෙනම පොෂ් භාෂාවක්‍ ය කියල යුනිවර්සල් පිලිගැනීමක් තියෙනවද කව්ද දන්නෙ? ඒක නිසා ඒලියන්ල උනත් උන් උන් හම්බුනාම උන්ගෙ ගොඩේ භාෂාව පැත්තකට දාල කඩ්ඩ වනනව ඇති. 😊

ඒ එකක්.

අනික තමා, ඇත්තටම ඔය උඩ කියල තියෙනවා වගේ ෆැන්ටසි ඝනයේ  චිත්‍රපටවල  මූලික අරමුණ වෙන්නෙ කතාව ප්‍රේක්ෂකයන්ට තේරෙන විදිහට ඉදිරිපත් කිරීම මිසක්, පට්ට ලොජිකල් විදිහට, අමු ඇත්ත විදිහට, 'උඹල තේරුම් ගන්නවනම් ගනිල්ලා නැත්තං නිකා ඉඳහල්ලා' ලයින් එක දෙන එක නොවෙන නිසා, සැම හිත සුව පිණිස, ඒ ඒ අවස්තා වලදි ඒලියන්ලත් ඉංග්‍රීසියෙන්ම කතා කරන විදිහට පෙන්නීම. 

එතෙන්දි ඉතිං ප්‍රේක්ෂකයො විදිහට අපිට චුට්ටක් විතර මොළයක් තියෙන්නෙ ඕනෙ මෙහෙම  කරල තියෙන්නෙ මේන් මේ නිසාය කියල තේරුම් ගන්න.

එහෙම තේරුම් ගන්න බැරි උන්, තමන් පට්ට ලොජිකල් මයින්ඩ් එකෙන් ඉන්නෙ කියල පෙන්නන්න අර උඩ කිව්ව වගේ කමෙන්ට් දාල, තමන්ට පොඩි ළමයෙක් තරම් වත් රසවින්ඳන හැකියාවක් නැති බව නොදැනුවත්වම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බව පේනවා.

මේ කිව්වෙ, ඔය ෆැන්ටසි ලෙවල් එකේ යන ෆිල්ම්ස් ගැන. ඒ ඇරුණම මෑත කාලයෙ ආපු විද්‍යා ප්‍රබන්ධ මට්ටමේ චිත්‍රපට වල නම් ඔය ඒලියන්ලගෙ භාෂාව කියන දේට ඉතාමත් විද්‍යාත්මක පැහැදිලි කිරීම්, විකල්ප ආදිය ඉදිරිපත් කරල තියෙනවා. (සමහර ඒව තේරුම් ගන්න වෙනම ගේමක් දෙන්නෝනෙ)

ඇත්තටම ඒකයි උදාහරණයක් දෙන්න කියල ඉල්ලුවෙත්.

නමුත් ඔයාලට මතකයි නම්, ඉස්සර අපි හැමෝම බලපු මයාබන්ධන එකේ, උන් යන යන හැම සමාන්තර ලෝකෙකම ප්‍රධාන භාෂාව විදිහට ඉංග්‍රීසි කතා කරනව. හැබැයි ඒ කතාව ඉතා  රසවත්ව සිද්ධි ගලායාමක් ඇතුව හදල තිබ්බ නිසා ඊළඟට මොනවා වෙයිද කියල මිසක් ඔය භාෂා ප්‍රශ්න හිතට එන් නෑ . හැබැයි ආව නම් ඒක සාධාරණ ප්‍රශ්නයක් නේද? මොකද මට මතක හැටියට විද්‍යා ප්‍රබන්ධයක් වුනත් ඒක එහෙම වෙන්නෙ ඇයි කියල හේතුවක් දෙන්නෙ නෑ. නිකම්ම ඒක එහෙම තමා, කියල කැමති පැහැදිලි කිරීමක් ප්‍රේක්ෂකයන්ට හිතෙන් ගොඩනගාගෙන බලන්න තමා තියෙන්නෙ.

ඉතිං මම නම් සරලව හිතුවා, "සමාන්තර ලෝකනේ මොනා උනත්... ඒක නිසා  භාෂාවල් ගානටම සමාන්තර විදිහට පරිණාමය වෙන්න ඇති" කියල වගේ එකක්. එච්චරයි. 

තව එහෙම භාෂා පුරස්න ඇති වෙච්ච අවස්තා තියෙනවද ? 😜



වේශ නිරූපණය සත්තුන්ටත්....

ඔය දාල තියෙන රූපෙ (උඩ) රතු පාට අත් වැසුමක් දාන් ඉන්නෙ ඇලෙක්සැන්ඩ්‍රා බැනිස්ටර්. එයාට හොඳට චිත්‍ර අදින්න පුලුවන් වගේම අශ්වයින් ගැන හොඳ අවබෝධයකුත් තියෙනවා. ඉතිං, මේන් මෙයාව තමා ස්ටීවන් ස්පිල්බර්ග්, එයාගෙ War Horse කියන චිත්‍රපටයෙ, අශ්වයින්ගේ වේශ නිරූපණ ශිල්පීන්ගේ උපදේශිකාව විදියට පත් කලේ. ඒ කියන්නෙ, Equine Hair and Makeup Department එකේ ප්‍රධානියා විදියට ඉඳල තියෙන්නෙ ඇයයි.

War Horse චිත්‍රපටයට අශ්වයින් අසූවකට වඩා යොදා ගෙන තියෙනවා. ඒ අශ්වයින්ව හැඩ ගන්වන්න වේශ නිරූපණ ශිල්පීන් විසි හය දෙනෙක්ගෙ සේවය ලබා ගෙන තියෙනවා. මෙයාල උදේ පාන්දර පහේ විතර ඉඳන් තමන්ගෙ රාජකාරිය පටන් ගන්නව. ඒ කියන්නෙ අස්සයො මේකප් කරන්න.

ඉතිං ඇත්තටම මොනවද මේ මේකප් කරනව කියල කරන්නෙ? 

ඔය වගේ චිත්‍රපට වල අස්සයින්ගෙ ඇඟේ මඩ පැල්ලම්, ලේ පැල්ලම් , සීරීම් තුවාල වගේ ඒව තියෙනවා දැකල ඇතිනෙ... ඉතිං ඒව අහඹු ලෙස ඇති වෙලා හෝ ඇත්තටම වෙලා නෙවෙයි. ඒව ඔක්කොම කලින් ප්ලෑන් කරල ඒ ඒ තැන් වල නිරූපණ ශිල්පීන් විසින් "ඇඳපුව" කිව්වොත් නිවැරදියි. 

ඒ වගේම තමා, ඒ පැල්ලම් අදාල දර්ශනය පුරාවට එකම විදියට තියාගැනීමේ වගකීම පැවරෙන්නෙත් මේ මේකප් ආටිස්ට්ලටම තමා. ඒ කියන්නෙ මුල් දර්ශනයේ අශ්වයෙක්ගෙ වම් කකුලේ තිබුනු මඩ පැල්ලම, ඊළඟ රූගත කිරීමේදීත් එතැනම ඒ ප්‍රමාණයෙන්ම ඒ පාටින්ම තියෙන්න ඕනෙ. මේ සංතතික බව රැක ගන්න ඒ ගොල්ලො ඒවයෙ ඡායාරූප අරං තියා ගන්නව. ඊට අමතරව ප්‍රධාන චරිතය රඟපාන අශ්වයගෙ මුහුණේ හැඟීම් තිව්‍රර වෙන විදියට උගේ මුහුණටත් අවස්ථාවට අදාලව මේකප් එකක් දෙනව.

ඒ වගේම තමා, අශ්වයින් එක්ක රඟපාන අනෙක් රංගන ශිල්පීන්ටත් විශේෂ උපදෙස් ලැබෙනව අශ්වයින් අල්ලන්න ඕනෙ තැන් නොඇල්ලිය යුතු තැන් ගැන, මොකද, මේකප් එක ගැලවී යාමේ අවධානමක් තියෙන නිසා.

War Horse වල විතරක් නෙවෙයි, සත්තු රඟපාන හැම හොලිවුඩ් චිත්‍රපටයකම වගේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙනව. මිනිස්සු වගේ නෙවෙයිනේ සත්තු... එයාල එක දිගට දවස පුරා රඟපාන්නෙ නෑ. අනික එහෙම යොදා ගන්න එක නීතියටත් පටහැනියි. ඉතිං බොහෝ චිත්‍රපට වල ප්‍රධාන චරිත රඟපාන සත්තුන්ට body doubles සහ stand-ins යොදා ගැනෙනව. උදාහරණයක් විදියට, 101 Dalmatians චිත්‍රපටයෙ ප්‍රධාන චරිත රඟපෑ dalmatian වර්ගයේ බල්ලො දෙන්නට එකාට තුන ගානෙ ස්ටන්ට් ඩබල්ස්ල ඉඳල තියෙනවා. උනුත් dalmatian වර්ගයේම උනත්, සර්වසම පෙනුමක් නැති නිසා, එයාලව මේකප් කරල තියෙනව ප්‍රධාන නලුවන්ට (බල්ලන්ට) අයිඩෙන්ටිකල් වෙන විදියට.

හරි, දැන් අනික් රූපෙ පේනව නේද සීබ්‍රා කෙනෙක් ඉන්නව? 

ඉතිං ඌ සීබ්‍රා වගේ පෙනුනට ඇත්තටම සුදු අස්සයෙක්! 

ඇනිමල් ප්ලැනට් චැනල් එකේ සීබ්‍රාවෙක් ගැන ගිය වැඩසටහනකට ඇත්තටම සීබ්‍රාවෙක් පාවිච්චි කරන්න අමාරු නිසා, එයාල මේකප් ආටිස්ට් කෙනෙක්ට වැඩේ බාරදීල තියෙනවා. ඔය එහා පැත්තෙ හිටගෙන ඉන්නෙ එයා තමා. නම රෝස් ඕඩයිල්. එයා, Animals of a Different Color කියල තමන්ගෙම ආයතනයක් පවත්වගෙන යනව. ඒකෙන් කරන්නෙත් ඉතිං සත්තු මේකප් කරන එක තමා. The Artist, We Bought a Zoo, Beverly Hills Chihuahua වගේ චිත්‍රපට කීපයකටම ඇය දායක වෙලා තියෙනවා. 

මේ වගේ වෘත්තිමය මට්ටමින් මේ වැඩේ කරන අය, සත්තුන්ව මේකප් කරන්න භාවිතා කරන්නෙ, උන්ගෙ ශරීරවලට අහිතකර නැති වර්ණක. මොකද ඉතිං සත්තු මේකප් ලෙව කන්න පුළුවන්නෙ.

ඉතිං ඊළඟ සැරේ සත්තු රඟපාන ෆිල්ම් එකක් බලද්දි සැලකිල්ලෙන් බලන්න. සමහර විට මේ ඇස්බැන්දුම් අඳුනගන්න පුලුවන් වෙයි.




උරුමයක අරගලය...

(Written on January 20, 2019)

උරුමයක අරගලය ටෙලිනාට්‍යය පසුගිය සතියේ අවසන් විය 🙏. 

මේ ටෙලිනාට්‍යයේ කතාව, 1848 දි සිදුවූ නිදහස් අරගලය මූලාශ්‍ර කොට කියවෙන බව ආරභයේදීම කියැවෙයි. එසේම 1848 මාතලේ කැරැල්ල , සිංහලයින් විසින්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව දියත් කළ විශාලම සහ අවසන් අවි දැරූ කැරැල්ල වන අතර, ඉන්පසු 1948 දී නිදහස හිමි වෙන තුරු වසර සියයක් එවැනි කැරැල්ලක් සංවිධානය නොවූ බවත් මතක තබාගන්න.

මෙවැනි අවර ඝනයේ නාට්‍ය "කොහොමත් ගොන් නිසා අපි නම් බලන් නෑ" කියන පිරිසක් සිටිති. ඇත්තටම ඔව්. ගොන් තමා. නමුත් සිහිතබා ගත යුතු වන්නේ මේ ටෙලිනාට්‍ය "නිකම්ම නිකං ගොන් කතා" කියමින් අත් හැර දමන එකේත් යම් අවධානමක් පවතින බවයි, මොකද මොවුන් මේවා පෙන්නන්නේ අපේ රටේ ඉතිහාසය බව කියමිනි, සහ ඉන්පසු ලෝකයාටම අනාදිමත් කාලයක් සඳහා නැරඹීමට හැකි පරිදි යූ ටියුබ් වැනි දේවල් තුලටත් නිදහස් කරති. 

එහෙම දැම්මාය කියල ජාත්‍යන්තර අවධානයට ලක්වෙලා හැමෝම ඕක බලන්නෙ නැති බවත් සැබෑවකි. නමුත්, යටත් විජිත සමයේ අපේ රටතුල සිදුවූ නිදහස් සටන් ගැන හොයන විදේශිකයෙකුට, අහම්බෙන් හෝ මෙවැනි දෑ නැරඹීමට ලැබීමේ සම්භාවිතාවක් ඇති අතර පොත් පත් වලින් වේගයෙන් ඈත් වෙමින් යන අලුත් පරපුර, තමන්ගෙ "ඓතිහාසික මූලාශ්‍ර" විදිහට අනාගතයෙ මෙවැනි දේ පාවිච්චි කරන්න සුලුවෙන් හෝ ඉඩක් ඇත. අවධානම ඇත්තේ එතැනය.

සැබෑවටම 1848 දී සිදුවූ දේවල් සහ, මේ නාට්‍යය තුළ පෙන්නන දේවල් අතර ලොකු පරස්පරතා ඇති බව පැහැදිලිය.

මුලින්ම 1848 ඇත්තටම සිද්ද වුනේ මොකද්ද කියා බලමු. 

සරලව කිව්වොත්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්  විසින් සිංහල ජනයා මත පැටවූ අසාධාරණ බදු ගණනාවක් නිසා තමා මේ කැරැල්ල ඇරඹෙන්නේ. 

කැරැල්ලට නායකත්වය දුන් කීප දෙනා අතරින් ප්‍රධානියා වුණු, ගොංගාලේගොඩ බණ්ඩාව, 1848 ජූලි 26 දින දඹුල්ල විහාරයේදී, ගිරානෙගම හිමියන් විසින් මීලඟ සිංහල රජු විදිහට නම් කරනවා. පුරන් අප්පු, අගමැති හා සමාන තනතුරකට පත්වෙන්නෙ, අසිපත් දරන්නා නොහොත් sword bearer විදිහට. ගොංගාලේගොඩ බණ්ඩගෙ සහෝදරයා වන දිනෙස්, යුවරජ විදිහට පත්කරනවා. 

හැබැයි ගොංගාලේගොඩ බණ්ඩාව මෙසේ රජෙක් විදිහට අභිශේක කළත්, ඔහුට නියම විදිහට රජ වෙන්න නම්, ඉංග්‍රීසින්ට විරුද්ධව මෙහෙයවන කැරැල්ල ජයග්‍රහණය කළයුතු බව, ඔහුත් අනෙක් අයත් හොඳින් දැන සිටි දෙයක්. ඇත්තටම මේ අභිශේකය, හුදෙක්ම සිංහල හමුදාවේ "මොරාල් අප්" කිරීමට කරපු දෙයක්. මොකද ඉදිරියේ එන සටනට නායකයෙක් අවශ්‍ය නිසා. 

ඉංග්‍රීසින් විසින් ගොංගාලේගොඩ බණ්ඩාව හඳුන්වන්නේ pretender කෙනෙක් විදිහට, එනම් සැබෑ රාජ්‍ය උරුමයක් නැති නමුත් එසේ පෙනී සිටින තැනැත්තා යන අර්ථයෙන්. 

ඉතිං ජූලි 26 උදේ දඹුල්ලෙන් ගමන් අරඹන සිංහල සේනාව, මාතලේ හරහා මහනුවරට එනවා. එතෙන්දි සහ තවත් තැන් කිහිපයකදි දරුණු සටන් ඇවිලෙන අතර, ඉන් සිංහල තරුණයන් සැලකිය යුතු පිරිසක් මියයනවා. නමුත් ඉංග්‍රීසින්ට දරුණුවටම රිදෙන්නෙ, බදු වාර්තා තිබුණු මාතලේ කච්චේරියට කඩා වදින සිංහල කැරලිකරුවන්, එහි තිබූ බදු වාර්තා පිටතට ගෙන මහමග දමා ගිනි තැබීම නිසයි.

ඉන්පසු එවකට ආණ්ඩුකාරවරයා වූ ටොරිංටන් විසින්, රටතුළ යුධ නීතිය (martial law) ප්‍රකාශයට පත්කරනව. අවසානයේ කැරැල්ල අසාර්ථක වෙන අතර පුරන්අප්පු ඇතුලු කැරැල්ල මෙහෙයවූ පිරිසක් අත්අඩංගුවට ගන්නවා. පුරන්අප්පුට සහ ගොංගාලේගොඩ බණඩාට විරුද්ධ චෝදනා වලට ඔවුන් වැරදි කරුවන් වෙනවා. මහනුවරදී පුරන්අප්පු වෙඩි තබා මරණවා. හැබැයි ගොංගාලේගොඩ බණ්ඩාව මරන්නෙ නෑ. මහනුවර නගරයේ විශාල පිරිසක් ඉදිරියේ කසපහර සියයක් දීමෙන් අනතුරුව, ඔහුව මොරොක්කෝවට පිටුවහල් කරනවා.මාස කිහිපයකට ඇවෑමෙන් ඔහු එහිදී උදරාබාදයකින් මිය යනවා.

ඔන්න ඕකයි කතාව ඉතාමත් කෙටියෙන්.

නමුත් මේ ටෙලිනාට්‍යය තුළ ඔය කිව්ව කැරැල්ලේ අංශුමාත්‍රයක් වත් පෙන්නන්නේ නැත.

අනික් විහිලුව තමා, ගොංගාලේගොඩ බණ්ඩා, ඉස්තරම් රජ ඇඳුම් වලින් සැරසී, තමන්ගෙ ඔලුව වගේ දෙගුණයක් විතර ලොකු ඔටුන්නක් දාගෙන ගල්ගුහාවකට වෙලා සිටීම. අරහෙ කෙල වෙලා පුරන් අප්පු අල්ලාගෙන  කියල ඔහු දැන ගන්නෙත් ගුහාවට එන මැණිකෙ කෙනෙක්ගෙනි! එවෙලෙ ඔහු හැසිරෙන විදිහට, සියල්ලට කලින් වෙඩි තියල දාන්න ඕනෙ මූට කියල තමා බලන අපිට හිතෙන්නෙ. රණශූරයෙක්ට තබා, අඩුගානේ පිරිමියෙකුටවත් නොගැලපෙන විදිහට, "අනේ අපිට මේ මොකෝ වුනේ , මේ සිංහල රට නේද දෙයියනේ , දළදාහාමුදුරුවනේ" ආදි වශයෙන් දෙස් දෙවොල් තියමින් ඔහු හඬා වැටෙනවා. ඌව නලවන්නෙ ඕනෙ මැණිකේ.... 😒.

ඉන්පස්සේ මෙයාවත් සුදු හමුදාවේ (කිව්වට ඉතිං මේ අපේම කොල්ලො තමා රතුපාට අලුත්ම සූට් ඇඳන් ඉන්නෙ 😊 ඒ අතින් නම් ආඩම්බරයි ඈ) අය ඇවිදින් කුදලාගෙන යනව. 

(හමුදාව කියල සඳහන් කරන සෑම තැනකම, එක් පාර්ශවයකට සිටින උපරිම සෙබළුන් ප්‍රමාණය, හතක් හෝ අටක් පමණක් බව සිහි තබාගන්න. නමුත්, සැබෑ සිදුවීමේදි, කැරැල්ල සඳහා සිංහල තරුණයින් හාරද
හසක් පමණ සහභාගී වූ බව පැවසේ.)

මොවුන්ට විරුද්ධව නඩු ඇසීමේදීද, පුදුම සහගත ලෙස, ඉංග්‍රීසි නඩුකාරවරයාද පැහැදිලි සිංහල කතා කරන අතර, ඔහු පවසන දේවල් පුරන්අප්පු, ගොංගාලේගොඩ බණඩා ආදීන්ට තේරුම් කර දීමට තෝල්කමුදලි කෙනෙක් යොදාගන්නෙ අහවල් එහෙකටදැයි සිතීම නොවැලැක්විය හැකිය.

නඩුවෙන් පසු, පාලු වෙලක් මැද්දට රැගෙන යන ගොංගාලේගොඩ බණ්ඩාට, කසපහර දෙකක් විතර දෙන අතර ඉන්පසු ඔහු ගැන සඳහනක් නැත. 

නමුත් පුරන්අප්පු, එම වෙල මැද්දෙන්ම ගෙනියන විටදී, "මේක අපේ රට යකෝ, මේක සිංහල රට යකෝ, මේක දළදාහාමුදුරුවන්ගෙ රට යකෝ, අපේ රට අපිට දීල පලයව් යකෝ" ආදී දේවල් නොනවත්වාම කීමේ කන්දොස්කිරියාවෙන් ගැලවීමට, ඔහුට වෙඩි තැබීමට ඉංග්‍රීසින්ට සිදුවූ බව සිතිය හැකිය. 

ඒ හැර, මෙහි එන කිසිම වීරයෙක් මොනයම් හෝ කැරැල්ලක් මෙහෙය වූ බවක් නොපෙන්වන අතර, ලඳු කැලෑ, ගල්ගුහා, බඩවැටි සහ පැරණි මහනුවර ක්‍රමයට හැදුනු ගෙවල් වල ඉස්තෝප්පුවල, ඉංග්‍රීසින්ට විරුද්ධව වහසිබස් කීම හැර වෙන වැරැද්දක් මේ මිනිස්සු නොකළ බව, මේ නාට්‍යය එහෙන් මෙහෙන් හෝ නැරඹූ සැවොම දනිති.

කෙසේ හෝ පුරන්අප්පු වෙල මැද්දෙන් ගෙන යද්දී ඔහුගේ උඩුකය නිරුවත්ව තිබූ අතර අලි බඳින දම්වැලක් උරෙස්සට දමා තිබුණි. (ඇයි ඒ?😨) නමුත් ඔහුට වෙඩි තැබීමට මොහොතකට  කලින් 100% cotton සුදෝසුදු වෙලෝනා බැනියමක් ඇන්දුවේ ඇයිද කියා දන්නේ, මෙවැනි වෙඩි වදින දර්ශනයකට, කුඩා වෙඩි බෙහෙත් සැෂේ පැකට් බඩට තියා සෙලෝටේප් ගැසූවිට, ඒවා නොපෙනෙන ලෙස සකසන්නේ කෙසේදැයි දස අතේ කල්පනා කළ, ඒ මේකප් කටයුතු භාරව සිටි මනුස්සයාම පමණි. (හොඳින් බැලුවොත් පුරන්අප්පුගේ කමිසයට යටින් ඒ පැකට් පහ ස්ථානගත වී ඇති අයුරුද නිරීක්ෂණය කළ හැක.😌)

මෙහිදී (බඩේ අලවා ඇති වෙඩිබෙහෙත් පැකට් පුපුරා) පුරන් අප්පු මියයන විට පවසන්නේ, තමන් වගේ තව එකෙක් හිටියනම් සටන ජයගත හැකිව තිබූ බවය. නමුත්, ටොරිංටන් ආණ්ඩුකාරවරයා විසින්, කැරැල්ල ගැන ලියා බ්‍රිතාන්‍යයට යැවූ සැබෑ ලියුමේ කියවෙන්නේ, "තමන් වැනි අය දුසිම් භාගයක් සිටියානම් කැරැල්ල ජයගත හැකිව තිබූ බව පුරන්අප්පු පැවසූ බවත්, තමන්ටද එය සත්‍යයක් බව හැඟෙන බවයි" මේ නාට්‍යයේ දෙබස් ලියන විට සරලව විකිපීඩියාවෙන් සොයාගැනීමට හැකි මෙවැනි  කාරණා ගැනවත් නොසැලකා හැර ඇත්තේ ඇයි?වීරයින් එසේ මියගිය පසු, මැණිකෙලා සෙට් එකත් ඒ විදිහටම ඔවුන් මෙතෙක් කල් බඳාගෙන හැඬූ ඉස්තෝප්පුවල කණු අසලදීම වෙඩි තබා ඝාතනය කිරීම දෛවෝපගතය.

අවසන් වශයෙන් කියන්නට ඇත්තේ, මෙවැනි වීරයන් සහ ඔවුන්ගේ සැබෑ කතාව පිළිබඳ හාන්කවිස්සියක් නොදැන මෙම නාට්‍යය බලන කෙනෙකුට, ("අපේ ඉතිහාසය අපිට කියල දෙනවට ඔයාලට පින්" ආදී ලෙස සීරියස් කමෙන්ට් දමන අය මේ රටේ ජීවත් වෙන බව ගෞරවයෙන් සිහිපත් කරමු.) එකල අපේ රට යටත් කරගෙන සිටි සෙබලුන් දහදෙනෙකු පමණ වන ඉංග්‍රීසි හමුදාව, මේ වීරයන්ට වෙඩි තබන්නේ, එලිපිට සටන් නොකර, තැන තැන කුටු කුටු ගෑම ඉවසලා ඉවසලා බැරිම තැනය කියා සිතුනොත් එය ඉතා සාධාරණ බවය.

වීර පුරන් අප්පු සහ ගොංගාලේගොඩ බණ්ඩා ඇතුලු 1848 නිදහස් කැරැල්ලේ වීර චරිත, එසේ සිල්ලර විදිහට ප්‍රයිම් ටයිම් එකේදි විකිණී අවසන් වූ අතර, දැන් පැරකුම්බා රජු වෙන්දේසි කිරීම ඇරඹී ඇත. 

ජයගත යුතු සැබෑම අරගලය නම් මෙම චරිත වල ගෞරවය නොහොත්  අපේ උරුමය, විහිලුවක් බවට පත් නොකර රැක ගෙන අනාගත පරපුරටත් දායාද කිරීම බව අප වටහාගත යුතුව ඇත.





අපි නොදන්න Goose...

Captain Marvel රිලීස් වෙන්න තව දින පණහයි (මාර්තු අට, ලෝක කාන්තා දිනය දාමයි රිලීස් වෙන්නෙ) කියන එක මතක් කරන්නත් එක්ක 2019 ජනවාරි 17 වෙනිදා කැරැක්ට පෝස්ටර්ස් දහයක් රිලීස් කරල තිබ්බ. 

හැබැයි මේ දහයෙන් කාගෙත් වැඩිම අවධානය දිනා ගත්තෙ මේ පූසගෙ පෝස්ටර් එක. 

මේ ඉන්නෙ Goose කියන කැප්ටන් මාවල්ගෙ සුරතල් පූසි. හැබැයි කොමික් වල නම් මෙයාගෙ නම Chewie කියලයි තියෙන්නෙ. ෆිල්ම් එකට ඒක Goose කියල වෙනස් කරල තියෙන්නෙ, Top Gun ෆිල්ම් එකේ ඒ නම තිබ්බ චරිතය සිහි වෙන්නත් එක්කලු...

ඉතිං මේ ෆිල්ම් එකේ ගූස්ගෙ චරිතය කරන්න ඇත්තටම පූස් නලුවො හතරදෙනෙක් යොදාගෙන තියෙනවා. ඒ කියන්නෙ ඇත්තටම එක වගේම පූසො හතරදෙනෙක්. Gonzo, Rizzo, Archie සහ Reggie කියන පූස්ල තමා මේ ගූස් විදිහට ඇක්ට් කරල තියෙන්නෙ. හැබැයි වැඩි කොටසක් කරල තියෙන්නෙ Reggie කියල තමා කියන්නෙ. ඒ කියන්නෙ මෙයාලට වෙන වෙනම කොටස් භාර දීල තියෙනවා රඟපාන්න... කකුලෙ වෙලෙන්න/හුරතල් වෙන්න එකයි, මූණෙ ඉරියව් පෙන්නන්න එකයි ආදී වශයෙන්....

ඇත්තටම මේ ගූස්, නිකම්ම නිකං හුරතල් පූසියෙක් නෙවෙයි, ඌටත් ෆිල්ම් එකේ ලොකු වැඩක් කරන්න තියෙයි කියල තමා කියන්නෙ. කොහොමත් කොමික් කියවල තියෙන අය නම් මේ කතාව දන්නව. ඉතිං පොඩ්ඩක් ඒ ගැනත් කියන්නම්. 

හැබැයි සමහර විට ෆිල්ම් එකේ කතාව ස්පොයිල් වෙන්නත් ඉඩ තියෙන නිසා ඒ රිස්ක් එක ගන්න කැමති අය විතරක් පහළ කියවන්න....

කොමික් වල තියෙන හැටියට ඇත්තටම ඔය ඉන්නෙ පූසෙක් නෙවෙයි. පූසන්ට සමාන ශරීරයක් තියෙන පිටසක්වල ජීවියො ජාතියක් වෙන Flerken කෙනෙක් තමා ඔය ඉන්නෙ...!

ඉතිං කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි,

කැරොල් ඩෙන්වර්ස් නොහොත් අපේ කැප්ටන් මාවල් මුලින් දන්නෑ ඔය ඉන්නෙ එහෙම එකෙක් කියල. කොහොම හරි එක්තරා මිෂන් එහෙකට එයා පෘථිවියෙන් පිට වෙලා යද්දි මූවත් අරන් යනව. 

පස්සෙ මෙයාලට Guardians of the Galaxy සෙට් එක හම්බෙනවා. එතෙන්දි රොකට් රැකූන් සැණෙකින් අඳුනගන්නවා මේ ඉන්නෙ පූසෙක් නෙවෙයි, Flerken කෙනෙක් කියල. "මූ බිත්තර දාන්න කලියෙන් මරන්න ඕනැ" ය කියල එවෙලේම ඉවරයක් කරන්න හදනකොට කැප්ටන් පැනල නතර කරනවා.

හැබැයි ඊට පස්සෙ මූ බිත්තර 117ක් දානවා... ඒකෙන් එලිවෙනව රැකූන් කියපු ලෙසටම මූ ඒලියන් කෙනෙක් තමා කියල. ඉතිං ඔහොම කතන්දරේ යනව දිගට දිගට...

මේ ෆලර්කන්ල ගැන තව චුට්ටක් කිව්වොත්, මුන්ගෙ හැසිරීම් සහ භාහිර පෙනුම පෘථිවියේ ඉන්න පූසන්ට ඉතාමත් සමානයි කියන දේ දැන් පැහැදිලිනෙ. මුන්ට වරකට බිත්තර 117 ක් දාන්න පුලුවන්. ඒ වගේම මෙයාලගෙ ශරීරය ඇතුලෙ, Pocket Realities තියාගන්න පුලුවන්. ඒ කියන්නෙ වෙනත් තැන් වල තියෙන කාල අවකාශ කොටස් මෙයාලගෙ ශරීර ඇතුලෙ අකුලගෙන තියාගෙන ඉන්නෙ. මෙයලගෙ මුඛ කුහරය ඇත්තටම Pocket dimensions ගබඩා කර තබාගන්නත් පුලුවන් එකක්. ඒ නිසා සම්පූර්ණ යුනිවර්ස් එකක් වුනත් කටේ හංගන් ඉන්න පුලුවන්. ඒ අනුව දාන බිත්තර උනත් එලියට නොදා ඒ තැනකට දාන්න පුලුවන්.

ඒ වගේම කටෙන් බූවල්ලෙක්ගෙ වගේ අඬුපඩු ගොඩක් සහ කෙළවර කටවල් ඇති අඬු පොකුරු එලියට දාන්න පුලුවන් අවශ්‍ය වෙලාවට. මේවත් තියෙන්නෙ අර pocket dimensions වල තමා ඕනෙ වෙලාවට ගන්න පුලුවන් විදිහට. 

ඒ වගේම අර dimensions සහ තමන්ගෙ ඇඟ ඇතුලෙ තියෙන අවකාශ පාවිච්චි කරල ක්ෂණිකව තැන් තැන් වලට යන්නත් පුලුවන්. අනික් කාරණේ, මුන් පූසො වගේ හිටියට හොඳට බුද්ධිමත්. අපි කියන දේවල් ඔක්කොම තේරෙනවා.

හැබැයි මුන්ගෙ තියෙන ප්‍රධානම දුර්වලතාවය තමා අර කිව්ව හැම එකම එලියට දාන්නෙ කටින් වීම. ඒ නිසා, Flerken කෙනෙක්ව මෙල්ල කරන්න පුලුවන් පහසුම ක්‍රමයක් තමා කට අරින්න බැරි වෙන්න තදින් අල්ල ගැනීම.



Hereditary (2018)

දෙදාස් දහඅට අවුරුද්දේ මඟ ඇරුන හොඳ ෆිල්ම්ස් මොනාද කියල දැන ගන්න යූ ටියුබ් ලිස්ට් දෙක තුනක් බැලුවම, ඒ හැම එකේම වගේ මග නොඇර බැලිය යුතු හොරර් ෆිල්ම් එකක් විදිහට ලිස්ට් කරල තිබ්බ නිසා හොයාගෙන බැලුවා.

බලපුවාම කතාව ඇත්ත.

මට නම් හොඳයි මේ කතාව. මේකෙ මතුපිටින් පෙන්නන  හොල්මන් කතාවට අමතරව ඒ ඒ සිද්ධි නිසා චරිත අතරෙ තියෙන බැඳීම් දියවෙලා යන හැටි සහ යොදාගන්න දෙබස්, රඟපෑම් නිසා, ඒ මොහොතවල් වල කිසිම හොල්මනක්  නැතුවත් බය නිෂ්පාදනය වෙනවා. 

මිනිස්සු මිනිස්සු අතර ඇති වෙන ගැටුම් වලදි ඇතිකරන ආතතිය එක්ක ඇතිවෙන 'බය', ඒ කියන්නෙ ඒ චරිතය ඒ අවස්තාවට කොහොම මූණ දෙයිද? කියන අවිනිශ්චිතතාව නිසා ඇතිවෙන අමුතු ජාතියෙ බයකුත් මේකෙ තිබ්බා. කොටින්ම, 'දෙයියනේ මේක මට වුනා නම් මම මොනවා කරයිද' කියන එක කල්පනා වෙලා බල බල හිටපු ඉරියව්වෙන්ම හැකිලිලා ගිය එක් අවස්තාවකුත් තිබ්බා... ඒ සීන් එක නම් කියල වැඩක් නෑ... බලලම විඳින්න ඕනෙ එකක්.

හරි, කොහොමත් මේ ෆිල්ම් එක සම්බන්ධ අදහස් දක්වපු ගොඩ දෙනෙක් කියල තිබුණු දෙයක් තමා, මේකෙ කතාව බින්දුවක්වත් නොකියා, බලන කෙනාට ඒ ඒ අවස්තාවන් සඳහා දෙන බලාපොරොත්තු විරහිත හිස් බව එක්ක සපයන බය නොඉඳුල් විදිහට විඳින්න ඉඩ දෙන එක තමා හොඳ කියල...

ඉතිං ඒක නිසා ඔයිට වඩා කොහොමත් කියන්නෙ නෑ... හොරර් වලට කැමතියි නම් බලන්න ... 

(මේ ෆිල්ම් එක හදන්න වියදම් වෙලා තියෙන්නෙ ඩොලර් මිලියන දහයයි. ඒත් දැනට අසූවක් හොයල තියෙනවා ... ඒ කියන්නෙ මිනිස්සු මේක බලල කියන එකනෙ?)

බලපු අය සහ කොහොමත් නොබලන අය පමණක් කියවන්න පහළ.... 

Spoilers !!

දාහත් වෙනි ශත්වර්ෂයෙ වගේ ලියපු මන්තර පොතක් තියෙනවා, Lesser Key of Solomon කියල. මේ පොතේ ඇතුලෙ කොටස් පහයි. මුල් කොටස වෙන් වෙන්නේ, යක්ෂ ආත්ම හැත්තෑ දෙකක් ගැන  විස්තර කරන්නයි. 

ඒ හැත්තෑ දෙකෙන් නම වෙනියට ඉන්නෙ මේ ෆිල්ම් එකේ කතාවට අදාළ Paimon කියන ‍යක්ෂ ආත්මයයි. හැබැයි මේ පේමොන් [පේ(යි)මොන්] කියන්නෙ නිකම්ම යකෙක් නෙවෙයි යක්ෂ ප්‍රධානියෙක්. ප්‍රධාන යක්ෂයා වන ලුසිෆර් (නොහොත් සාතන්) යටතේ ඉන්න යක්ෂ සේනාධිපතිවරුන් අට දෙනාගෙන් කෙනෙක්. මොහු යටතේ යක්ෂ සේනාංක (legions) දෙසීයක් තියෙනවලු. මූ එන්නෙ පිරිමි වේෂයකින්. වාහනේ විදිහට පාවිච්චි කරන්නෙ ඔටුවෙක්. (ෆිල්ම් එකේ යන්තං රූපයක් පෙන්නනවා) 

ඉතිං ඔය පොතේ, ඒ ඒ යක්කුන්ට අදාල මුද්‍රා, ඒ කියන්නෙ නිල ලාංඡනත් දක්වල තියෙනවා. (ඒකෙන් මේ Paimonගෙ  ලකුණ තමා මම රූපෙ දාල තියෙන්නෙ, සහ ෆිල්ම් එකේ තැන් තැන් වල පෙන්නන්නේ.)

මේ යක්ෂ ආත්ම මේ ලෝකෙට ගෙන්නන්න අනුගමනය කරන්න ඕනෙ පියවර සහ කියන්න ඕනෙ මන්තර ටික එහෙමත් ඔය පොතේ දක්වලා තියෙනවා. හැබැයි නිකං ඒව කිව්ව කියල උන් එන්නෙ නෑ. අදාළ දොල පිදේනි දීලා ඒ ඒ චාරිත්‍ර අකුරටම ඉටු කරන්න ඕනෙ. ඉතිං ඒක තමා ඔය ෆිල්ම් එකේ කරන්නෙ... 

අර ආච්චිගෙ පොතේ කියල තියෙන්නෙ, "බිලිදෙන්න තියෙන දේවල් බරපතල වුනාට ලැබෙන රිවෝඩ්ස් ගැන හිතුවම ඒව මොනාද" වගේ දෙයක් නෙ... ඉතිං පොතේ හැටියට පේමොන්ව මේ ලෝකෙට ගෙන්නන (conjure කරන) යක්දෙස්සාට හෝ යක්දෙස්සිට සහ අනුගාමිකයන්ට ලැබෙන වරදාන හෙන ගොඩක් තියෙනවා... වස්තුව, කීර්තිය වගේ දේවල්... 

හැබැයි මේ යකා පිරිමි වේශයකින් එන නිසා, ඌව මේ ලෝකෙට ගෙන්නන්න කරන යාතුකර්මයට ගැහැණු ශරීරයක් වැඩක් නෑ. ඒත් ෆිල්ම් එකේ මුල ඉඳලම අර පොඩි කෙල්ලට මුගේ ආවේෂය තියෙනවා. හැබැයි ඒක ටෙම්පරි එකක්. ඔරිජිනල් ගොදුර තමා අර කොල්ලා. ඉතිං අවසානයේ ඒක කොහොම හරි ලබාගන්නව.

ඕනෙනම් මේ Lesser Key of Solomon කියන මන්තර පොත බලන්න (මං කිව්වෙ නිකමට/ ආසාවට මිසක් ඒකෙ ඉන්න යක්කු හැතිකරේ මෙහෙ ගෙන්නන්න නෙවෙයි. 🤗 pdf තියෙනවා ඕනෙනම්.) 

දැන් අපිට හිතෙන්නෙ සාමාන්‍යයෙන් ඔය ආසියාව පැත්තට වෙන්න තමා යක්කු, හොල්මන්, බිලි පූජා වගේ දේවල් වැඩියෙන් තියෙන්නෙ කියලනෙ. ඒත් ඊටත් වඩා එහා ගිය දේවල් තියෙන්නෙ මේ යුරෝපා රටවල්වල කියල හිතෙයි ඒක බැලුවම. මේකෙ තව පරණ  පොතක් තියෙනවා Key of Solomon කියල. ඇත්තටම Lesser Key of Solomon කියන්නෙ අර මහ පොතේ නැති, අඩු ටික දාල හදපු පොඩි පොතක් වගේ තේරුන හැටියට. මුල් පොත ලියල තියෙන්නෙ දාහතරවෙනි ශත්වර්ෂය වගේ ඈත කාලෙක.

Solomon කියල මෙතෙන්දි කියන්නෙ ඈත අතීතයේ ජීවත් වෙච්චි, යක්කුන්ගෙන් පවා වැඩ ගත්ත රජකෙනෙක්. බයිබලයේ පරණ ගිවිසුමේත්, කුරානයේත් මෙයා ගැන කියවෙනවා. මෙයාට තිබිලා තියෙනවා බලගතු මුද්දක්. ඒ මුද්දෙ එක්තරා සංකේතයක් තියෙනවා. Seal of Solomon කියන්නෙ ඒ සංකේතයටයි. ඒකෙ බලෙන් තමා මෙයාට යක්කුන්ව පවා අවනත කරගන්න පුලුවන් වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ මුද්දෙ බලෙන් යක්කුන්ව ගෙන්නගෙන උන්ගෙන් විස්තර අහගෙන තියෙනවා. එක එකා ගැන. අන්න ඒ විස්තර වලින් තමා ඔය පොත් වලට කරුණු අරං තියෙන්නෙ. හැබැයි, ඒකෙන් කියන්නෙ නෑ මේ පොත් ලිව්වෙ සොලමන් රජ්ජුරුවෝ කියල. Source එක අරක කියලයි කියන්නෙ. 

මේ සොලමන් ගැනම තමා අර සොලමන් රජුගේ දියමන්ති ආකර කියන පොතෙත් තියෙන්නෙ. එනිවේ මේ රජතුමා ගැන කියන්න ගියොත් ඒක හෙන දිග කතන්දරයක් වෙන නිසා නතර කරන්නම්. ඕනෙ නම් හොයල බලන්න හෙනම ඉන්ටරෙස්ටින්....




Bird Box (2018)

මේ චිත්‍රපටය ගැන හැදුනු memes, වීඩියෝස් වගේ ඒවා ගොඩක් එහෙමෙහෙ තියෙනවා දැක්කා, සහ පිරිසක් කියනවා ඒක මේ Netflix ලා තමන්ගෙ ෆිල්ම් එක මාකට් කරන්න කරන වැඩ පිලිවෙලේ කොටසක් මිසක්, ස්වභාවිකව ඇති වුන දෙයක් නෙවෙයි කියලත්. සෝෂල් මීඩියා වල එහෙ මෙහෙ යන මීම්ස් වල ඔරිජින් එක හොයන එකත් ටිකක් අමාරු වැඩක් නිසා මේ කතාව ඇත්තද නැද්ද දන්නෑ. කොහොම වුනත් මේ වැඩ නිසා සහ, චිත්‍රපටයේ කතාවේ සහ පෝස්ටර් එකේ තියෙන ගුණය නිසාත් චිත්‍රපටය ජනප්‍රිය වුනා කියල හිතන්න පුලුවන්. 

ඒ මදිවට දැන් Bird Box Challenge කියල එහෙකුත් තියෙනවා සහ ඒක කරන්න ගිහින් තුවාල කරගන්න එපා කියල Netflixල එයාලගෙ twitter ගිණුමෙ දාලත් තියෙනවා , හැබැයි මෙහෙම අනතුරු අඟවන්න තරම් දෙයක් නම් වෙලා නෑ ඉතිං... ඒකත් Netflixලගෙ මාකටින් වල කොටසක් වගේ පේන්නෙ නිකං...

දැන් මේ ෆිල්ම් එක ටිකක් විතර අර මීට කලින් ආපු A Quiet Place ෆිල්ම් එකට සමාන නිසා කෙනෙකුට හිතෙන්න පුලුවන් මේක, ඒක හිට් වුනු නිසා ඒකෙන් ආභාෂය අරං හදපු එකක්ද කියලත්. ඒත් ඒක වැරදියි. මොකද මේ ෆිල්ම් එක සඳහා තිරපිටපත ලියල තියෙන්නෙ A Quiet Place හදපු කාලෙම තමා , සහ මේක බේස් වෙලා තියෙන්නෙ මේ නමින්ම තියෙන වෙනත් නවකතාවක් මත.

චිත්‍රපටිය නම් හොඳයි. කම්මැලි නෑ. ඉතිං බැලුවෙ නැත්තං බලන්න. විශේෂයෙන්ම අර Quiet Place වගේ ඒවට කැමතියි නම් අනිවා බලන්න...

බැලුව අයට විතරයි පහල ... (Spoilers ...)

දැන් මේකෙ ඉන්න ඒ සතාව පෙන්නන්නේ නැති එක සමහර දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තිබ්බා ... ඇත්තටම ඇයි නොපෙන්නුවේ?

චිත්‍රපටය හදන අතරෙ ප්‍රඩක්ෂන් ටීම් එකේ එක්කෙනෙක්ම කියල/අහල තියෙනවා, ෆිල්ම් එකේ කොතනකදි හරි අන්තිමට හරි ඒ සතෙක්ව පෙන්නන්න ඕනෙ කියල. ඉතිං ඒකට හැමෝම එකඟත් වෙලා, ප්‍රධාන නිලිය නොහොත් මැලරි දකින හීනයක් විදිහට පොඩි සීන් එකක උන්ගෙන් එකෙක්ව පෙන්නන්න ප්ලෑන් කරල සතාව ඩිසයින් කරල ඒ සීන් එක අරගෙනත් තියෙනවලු. ඒත් අන්තිමට ඒක නොපෙන්වා ඉන්න තීරණය කරල තියෙනවා .

සැන්ඩ්‍රා බුලොක් කියන හැටියට නම් ඒ "සතාව" දැක්කාම එයාට හිනා ගියාලු...

කොහොමෙන් කොහොම හරි දැන් ඌව පෙන්නන්නේ නෑ, හැබැයි ඒකට හේතුව සැන්ඩ්‍රාට ඒක ජෝක් එකක් වෙච්ච එකම නෙවෙයි. 

ෆිල්ම් එකේ හැටියට, ඒ සත්තු (හෝ මොක්කු හෝ) දැක්කාම මිනිස්සු භය වෙනව. හැබැයි මේ භය වෙන්න හේතුව  ඒ ඒ පුදගලයාට වෙනස්. ඒ කියන්නෙ අපි එක එක්කෙනාට ජීවිතේ වැඩියෙන්ම භය වෙන්න හෝ කම්පනය වෙන්න තියෙන හේතු එක එක් කෙනාට අනන්‍යයි. මේ භය ඔස්සේ තමා ඒ ජීවීන් මිනිස්සුන්ගෙ මනසට බලපෑම් කරල සියදිවි නසා ගන්න පොළඹවන්නෙ... 

ඉතිං ඒක නිසා, ඒ කියන්නෙ මේ සත්තුන්ව එක එක්කෙනාට පෙන්නේ ඒ ඒ මනුස්සයින්ට අනන්‍ය විදිහට නිසා, නියත රූපයක් ඉදිරිපත් කරනවට වඩා නොකරම සිටීමෙන්, චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට වඩාත් හොඳට විඳින්න පුලුවන් වෙයි කියල තමා ඒක නොපෙන්වා ඉන්න තීරණය කරල තියෙන්නෙ.

(දැනටමත් මොකක් හරි දේකින් හොඳටම කම්පනය වෙලා, මොළේ අවුලක් තියෙනවා නම් මේ සත්තු දැක්ක කියල ලොකු වෙනසක් වෙන්නෙ නෑ...)

තව දෙයක් තමා ෆිල්ම් එකේ කතාවට වඩා පොතේ කතාව අඳුරුයි සහ බියකරුබව වැඩියි කියන කාරණය. 

පොතේ හැටියට මෙයාලා අර අන්තිමට යන අන්ධයො ඉන්න තැනේ ඉන්න සමහර මිනිස්සු අන්ධ වෙලා ඉන්නෙ ස්වකැමැත්තෙන්මයි. ඒ කියන්නෙ, පොතේදි, අම්මයි ළමයි දෙන්නයි ආවයින් පස්සෙ එතන භාරකාරය වගේ ඉන්න කෙනා කියන අතීත සිද්ධියක් හැටියට කලින් ඒ තැනට අර සතෙක් කඩාගෙන ඇතුලට ඇවිදින් ලොකු විනාශයක් වෙනවලු. අම්මල තමන්ගෙ ළමයි මරල දාල තමනුත් මැරිලා ... ඊට පස්සෙ ඉතිරි අය ඒ වගේ විනාශයක් ආපහු නොවෙන්න කියල ස්වකැමැත්තෙන්ම අන්ධ වෙනවලු... හැබැයි ෆිල්ම් එකේ ඔහොම එකක් නෑ ... කොටින්ම ෆිල්ම් එකේ අධ්‍යක්ෂවරියට එච්චරම දරුණු කතාවක් කියල මිනිස්සුන්ව භය කරන්න ඕනෙ නෑ කියල හිතිලා, දැන් තියෙන විදිහට කතාව වෙනස් කරලලු.




Fulldome Cinema ගැන...

අපි චිත්‍රපටි බලනකොට ඒක හොඳටම හිතට වැදුනොත් අපි ඒකෙ ඇතුලෙ ජීවත් උනා වගේ දැනෙනව. හැබැයි ඒ චිත්‍රපටය හොඳයි නම්. එහෙම නැත්තං සාමාන්‍ය චිත්‍රපටි අපිට පේන්නෙ අපේ ඇස් ඉදිරිපිට කොටු හැඩේ තිරයකනෙ. ඒත් ඊට වෙනස් විදිහට බලන්න පුලුවන් සිනමා ශාලාත් තියෙනව. මේවට කියන්නේ fulldome cinema කියල. මේ හෝල්ස් අර්ධ කවාකාර හැඩයක් ගන්නව. මේ ගැන යම් අදහසක් ගන්න පුලුවන් ග්‍රහලෝකාගාරය ගැන මතක් කර ගත්තොත්. නිකං මුනින් අතට හරවපු කෝප්පයක් ඇතුලට ගිහින් උඩ බලන් ඉන්නව වගේ දෙයක්. ඉහලින් පෙනෙන අර්ධගෝලය පුරාවටම චිත්‍රපටය දිගහැරෙනව. 

මේ තාක්ෂණය, ඒ කියන්නේ fulldome cinema technology එක ලෝකෙ පුරා ව්‍යාප්ත වුනේ අනූව දශකයේ. දැන් විවිධ රටවල් වල මේ වගේ සිනමා ශාලා දෙදාහක් විතර තියෙනව. බහුතරයක් මේ හෝල්ස් තියෙන්නෙ ග්‍රහලෝකාගාර හෝ කෞතුකාගාර ආශ්‍රිතව. මේවයෙ පෙන්නන්නෙ අධ්‍යාපනික වටිනාකමක් ඇති වාර්තා චිත්‍රපටි වගේ ඒව තමා. සාමාන්‍ය චිත්‍රපටි හෝල් වල වගේ මාසෙන් දෙකෙන් මේවයෙ චිත්‍රපටි මාරු වෙන්නෙ නෑ මොකද මේ ෆොමැට් එකේ චිත්‍රපටි සුලබ නෑ. වෙනමම කියල හදවපුව මිසක් කඩෙන් ගන්න නෑ. සාමාන්‍යයෙන් මෙහෙම හදන අර්ධගෝල හැඩැති තිරය පුරාවටම පැනොරාමා විදිහට විසිරිලා යන විනාඩි හතලිහක් විතර දුවන ෆිල්ම් එකක් ගිගාබයිට් පන්සීයක විතර ඉඩක් ගන්නව. මේ වගේ චිත්‍රපටි ඒ විශේෂ තිරය මතට ප්‍රක්ශේපණය කරන්න ප්‍රොජෙක්ටර්ස් හයක් විතර දළ වශයෙන් යොදා ගන්නව. ඒ ප්‍රොජෙක්ටර්ස් වලින් ප්‍රක්ශේපණය කරන රූප එකතු කරල නොබිදුනු තනි රූපයක් (seamless picture ) විදිහට පරිඝණක භාවිතයෙන් සකසල තමා ප්‍රේක්ෂකය වෙනම ලෝකෙකට අරන් යන විදිහෙ අයස්කාන්ත දර්ශන තිරය මතට අරන් එන්නෙ.

අධ්‍යාපනික පැත්තට අමතරව එන්ටටේන්මන්ට් පැත්තෙ වැඩ වලටත් මේව යොදා ගන්නව. ඒ වගේම ඔය තාක්ෂණික ප්‍රදර්ශන වගේ ඒව වලට මේ වගේ චිත්‍රපටි ශාලා තාවකාලිකව සකසල දෙන සමාගම් තියෙනව. 

ඩුබායි වල තියෙන ඩුබායි මෝල් එක ඇතුලෙ මේ වගේ හෝල් එකක් තියෙනව, හැබැයි ඒක ටිකක් වෙනස්. ඒක අර්ධගෝලයක් නෙවෙයි සම්පූර්ණ ගෝලයක්. අර X Men ෆිල්ම් එකේ ප්‍රොෆෙසර් X පාවිච්චි කරන සෙරීබ්‍රෝ කියන ගැජට් එක මතකද? ටිකක් අන්න ඒ වගේ හැබැයි ඊට වඩා පොඩියි.ඒක ඇතුලට යන්න පුලුවන්. ගියැයින් පස්සෙ තමන්ව සම්පූර්ණයෙන්ම වෙනම තැනකට ගියා වගේ තමා දැනෙන්නේ මොකද අංග සම්පූර්ණව ප්‍රේක්ෂකය වටේටම වීඩීයො එක යනව.

ඩුබායි වල විතරක් නෙවෙයි අපේ අසල්වැසි රට වෙන ඉන්දියාවෙත් මෙහෙම හෝල් එකක් පටන් ගත්ත ගිය අවුරුද්දෙ (2016) මැද.

ඉතිං ලංකාව ඇතුලෙදිත් දැන් අපිට Dome සිනමාව අත්දකින්න පුලුවන්... ඒ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයෙදි. ඒක එහෙම උනේ, 2014 අවුරුද්දෙ , අපේ ග්‍රහලෝකාගාරය ඩිජිටල් ක්‍රමයට නවීකරණය කළ නිසා. අපේ බදු මුදල් වලින් ඇත්තටම වැඩක් ඇති දෙයක් කරපු දුර්ලභ අවස්ථාවක් විදියටත් මේක හඳුන්වන්න පුලුවන් ...

(අපේ ග්‍රහලෝකාගාරයේ මේ Dome සිනමාව ගැන කලින් විස්තරයක් දැම්මා.)

(දාල තියෙන එක රූපෙකින් පෙන්නන්නෙ එක එක ජාතියෙ වීඩීයො ෆොමැට් සහ ෆුල්ඩෝම් වීඩීයො ෆොමැට් එකේ සංසන්දනයක්.

අනික් රූපෙ තියෙන්නෙ ස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් නුවර අර කලින් කිව්ව වගේ අප්ග්‍රේඩ් කරපු ග්‍රහලෝකාගාරයක කට්ටියක් තරු බලන හැටි. )




ඉතිං උඹ කරල පෙන්නපන්කො...

 අපේ රටේ මොකක් හරි නිර්මාණයක් ගැන කතා කරන්න ගියාම, සමහරු ඇවිත් අහන දෙයක් තියෙනවා, "ඉතිං උඹ කරල පෙන්නපන්කො" හෝ "දැන් ඔයා ඊට වඩා හොඳට මොකක් හරි කරල තියෙනවාද" කියල.

ඔය "තර්කය" අනුව,

-මාළුකාරයෙක්ගෙන් මාලු ගන්න ගියාම, ඒ මාළු සවුත්තුයි නම් ඒක ඒ මනුස්සයට කියන්න කලින්, අපි බෝට්ටුවක් අරං මූදු ගිහින් ඌ ගාව තියෙන මාලු ජාතිය මුලින්ම අල්ලාගෙන ගෙනත් පෙන්විය යුතුයි...

- දොස්තරට වැරදිලා දකුණු අතේ කරන්න තියෙන ඔප්‍රේෂන් එක වම් අතේ කළාම, ඒක ගැන දොස්තරට හෝ වෙන කෙනෙක් එක්ක කියන්න කලින්, අපි ශල්‍ය වෛද්‍යවිද්‍යාව ඉගෙනගෙන නිවැරැදිව අදාල ශල්‍යකර්මය කරල පෙන්විය යුතුයි...

-බස් එකේ ඩ්‍රයිවර් බස් එක හප්පගෙන මිනිස්සුන්ට තුවාල වුනාම ඒක ගැන වචනයක් කතා කරන්න කලින්, අපි බස් ලයිසන් අරං, ඒ පාරෙම ඒ ජාතියෙම බස් එකක් හප්පන් නැතුව ඩ්‍රයිව් කරල පෙන්විය යුතුයි...

-බස් එකේ කොන්දොස්තර එක්ක ඉතුරු සල්ලි දුන් නැති එක ගැන අහන්න කලින්, නිවැරැදිව ඉතුරු සල්ලි දෙමින් කොන්දොස්තර කෙනෙක් විදිහට එක දවසක් හෝ වැඩ කරල පෙන්විය යුතුයි...

ඔය ලිස්ට් එක දිගටම කියාගෙන යන්න පුලුවන්. ඒත් ඉතිං ඕනවට වඩා උදාහරණ දීල මිනිස්සුන්ගෙ බුද්ධියට නිග්‍රහ කරන්න ඕනෙ නෑ.

ටෙලිනාට්‍ය චිත්‍රපට හදනව කියන්නෙත් රස්සාවක්. ලෝකෙ වෙන රටවල් වල නම් ඒක එහෙමයි. මෙහෙ කට්ටිය ඒකට අමුතු පූජනීය මෙව්ව එකක් දීලා කළාකාරයො කියන්නෙත් අමුතු ජීවියො ටිකක් කියල සැලකුවට, දියුණු රටවල් වල නම් ඒක උන්ගෙ ජොබ් එක විදිහටයි සැලකෙන්නේ. ඒක උන් හරියට කරන්නෙ නැත්තං, ඒක විවේචනය කරන්න ප්‍රේක්ෂකයන්ට අයිතිය තියෙනවා තමා . නැත්තං ඉතිං උන් උන්මද ඒක කරගන්න ඕනෙ? 

ඒක නිසා, අනේ පිංසිද්ද වෙයි, මොකක් හරි නිර්මාණයක ඇද කුද ටිකක් කිව්වම, තකහනියෙ දුවන් ඇවිත් , "ඉතිං උයා ඒම එකක් කරල පෙන්නන්නකො... බැන බැන ඉන්නෙ..." "අනී ඉතිං එයාලට පුලුවන් විදිහටනෙ එයාල කරල තියෙන්නෙ..  එයාල පව්ව්ව්ව්....." වගේ ලොන්ත කතා නොකියා, ප්‍රේක්ෂකයෙක් විදිහට තමන්ගෙ ගෞරවය තියාගෙන ඉන්න කියල ඉල්ලා සිටිනවා ...🙏🙏

Thursday, November 12, 2020

රෑ දොළහට හොල්මනකට...

ඔන්න මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්, මේ ළඟදී රෑ වෙනකං වැඩ කරල, තනියම මිනිහගෙ වාහනෙන් ගෙදර යන්න පිටත් වෙලා. සිකුරාදා හවස ගමේ යනව කියමුකො. දැන් රෑ දොළහට විතර ඇති. පාරෙ කවුරුත් ඇත්තෙත් නෑ. නගරෙන් පිටට ඇවිත් දැන්... ටිකක් ගම් පළාතක, පාරෙ එක පැත්තක පොල් වත්තක්, අනික් පැත්තෙ කනත්තක්ලු. 

ඔන්න එක පාරටම සීට් බෙල්ට් දාල නෑ කියල එලාම් එක වදින්න අරං... වැඩේ කියන්නෙ යාලුව ඒ වෙද්දිත් සීට් බෙල්ට් එක දාගෙනයි ඉඳල තියෙන්නෙ. ඒ කියන්නෙ එහා සීට් එකේ ඉන්න "කෙනා" තමා සීට් බෙල්ට් දාගෙන නැත්තෙ 😐😐.

ඉතිං මුගෙ හිත ටිකක් ගැස්සිලා ඇඟ සීතල වෙලා ගියාලු මොහොතකට ...

ඒත් පස්සෙ හොයල බලද්දි ඒ එලාම් එක වදින්න සාධාරණ /විද්‍යාත්මක/ හේතුඵලවාදී හේතුවක් එයා හොයාගෙන තිබ්බා...😌

(එහෙම වෙන්න එපෑ ඉතිං  නේ? නැත්තං ඉතිං මේ හොල්මනක් ඇවිත් වාඩි වෙලා හිටියා කියල හිතන්න තරම් බොළඳ නැහැ නේද යහලුවෙ අපි 🤗😄) 

හැබැයි ඌ ඕක කිව්ව ගමන් මට හිතුනෙ, මේක හොල්මන් ෆිල්ම් එහෙක පාවිච්චි කරන්න ගන්න ශෝක් සිද්ධියක් නේද කියල. (අර Shutter ෆිල්ම් එකේ ෆයිනල් සීන් එක මතකද ඒකත් ටිකක් මීට සමානයි.)

මොකද දැන් එන හොල්මන් ෆිල්ම් බැලුවට ඇත්තටම බය හිතෙන්නෙ නෑ. හොලිවුඩ් ඒවනම් අපේ සංස්කෘතියත් එක්ක එච්චර ටැලි වෙන් නැති නිසා ඒ හොල්මන් එක්ක අපිට ඒකාත්මික වෙන්න අමාරු ගතියක් තියෙනවා.

ඉතිං එහෙම කියල, අපිට බලල බය වෙන්න ලංකාවේ හොරර් කියල ඒව හැදෙන්නෙත් නෑ. ගෑනු යටිගිරියෙන් කෑ ගහන එව්වයි,බල්ලො උඩු බුරන ඒවයි, උලමො කෑ ගහන ඒවයි, දොරවල් කිරි කිරි සද්දෙට ඇරෙන වැහෙන එව්වයි හරිම cliche. එව්වට බය වෙච්ච කාලෙ ගියා. දැන් ඒවට ඇත්තටම හිනා යන්නෙ. අනික ඉතිං මිනිස්සු බය කරන්න ලේ පෙරාගෙන ,නියපොතු උල් කරගෙන, කොණ්ඩෙ කඩාගෙන, දුමාර දාගෙන දඟලන්න ඕනෙත් නෑ. අනේ අර මහසෝනත් එක්ක රෙස්ලිං කරන්න යනව වගේ අවධානම් වැඩ නම් කොහොමත් එපා 🙏😄

අලුත් හොඳ ස්ක්‍රිප්ට් එකක් ලියාගන්න පුලුවන් නම්, හොරර් කියන්නෙ අඩු වියදමක් කරල වැඩියෙන් හම්බ කරගන්න පුලුවන් ෆිල්ම් කැටගරි එකක්...



පුලුවන් විදිහට VFX

රාවණා ටෙලිනාට්‍ය ගැන ඇති වුනු සංවාදයකදි කෙනෙක් කිව්වා, ඒකෙ VFX විවේචනය කරන්න එපා, පුලුවන් විදිහට තමා කලේ... ඔයිට වඩා කරන්න බෑ වියදම් වැඩියි කියල. (එයා ඒ නිර්මාණයට සම්බන්ධ කෙනෙක් වෙන්න ඇති කියල හිතනවා වියදම් ගැනත් දැනන් හිටපු නිසා)

ඇත්තටම ඒ ටෙලිනාට්‍යයේ VFX ගැන මුකුත්ම කියන්න ඕනෙත් නෑ කොහොමත්. ඒ නාට්ටෙ යම් අවුලක් තියෙනවා නම්, ඒ අවුල ඇතිවෙලා තියෙන්නෙ VFX හින්ද නෙවෙයි. ඒක ස්තිරවම කියන්න පුලුවන් මොකද අවුල් යන්න තරම් මහලොකු VFX එකක් ඒකෙ නැති නිසා.

මෙතෙන්දි කියන්න ඕනෙ, VFX= CGI නොවෙන බව. ඒ කියන්නෙ චිත්‍රපටයක/නාට්‍යයක, දෘශ්‍ය ප්‍රයෝග නොහොත් visual effects කියන්නෙ, හැම වෙලේම computer generated imagery ම වෙන්න ඕනෙ නෑ කියන එක. නමුත් අර ඒක ගැන කියපු කෙනා නම් හිටියෙ ඒ වගේ මතයක වගෙයි තේරුනේ, සහ මේ නිර්මාණය ඇතුලෙත්, VFX කියල අපිට දකින්න පුලුවන් CGI දර්ශන විතරමයි. එතනින් එහා ගිය, කැමරා කෝණ, අංග රචනය, පසුතල වගේ හැමදේම එකට මිශ්‍ර වෙලා හැදුනු සම්පූර්ණ දෘශ්‍ය ප්‍රයෝග මේකෙ දකින්න නෑ, ඒත් ඒව පාවිච්චි කළ යුතු (ඒත් නොකළ) අවස්තා නම් තියෙනවා.

අර රජවරු ඉන්න මාලිගා සහ අසපු වල භාහිරින් පේන විදිහ පෙන්නන දර්ශන ටික තමා ඕකෙ VFX කියල දැක්කෙ. (VFX කිව්වෙ ඇත්තටම CGI.) ඊට අමතරව අර කුවේර, ජනතාව අමතන තැනදි crowd multiplication ක්‍රමය පාවිච්චි කරල තිබුනා. ඒ දර්ශනය නම් බැලූ බැල්මට අවුලක් නැතුව තිබ්බ. හැබැයි අර රජ මාලිගා ටික නම් ඉතිං බැලූ බැල්මට 3D කියල පේනව. හොඳ වෙලාවට සුමාලි රජ්ජුරුවො භූගත මාලිගාවක හිටපු නිසා, ඒ සඳහා නම් ඇත්ත දිය ඇල්ලක් පෙන්නල වැඩේ ගොඩ දාල තියෙනව. නමුත් ඒ මාලිගාව තියෙන්නෙ ඇත්තටම දිය ඇල්ලට යටින්ය කියල ප්‍රේක්ෂකයන්ට ඒත්තු යන විදිහේ කිසිම ප්‍රයෝගයක් යොදාගන්න උත්සාහ කරලවත් නෑ. හරි ඒක කමක් නෑ අපිට හිතාගන්න පුලුවන් කියමුකො.

ඉතිං මේ CGI මාලිගා/නගර ටික හැමවෙලේම පෙන්නනව (යටින් නමත් එක්ක) අදාල තැනේ ඇතුලෙ දර්ශනය පෙන්නන්න කලින්. ඒත් ඇත්තටම ඒක ඕනෙ නෑ. මොකද එහෙම පැටලෙන තත්ත්වයක් ඒකෙ නෑ, බැලූ බැල්මට අපිට කියන්න පුලුවන් මේ අහවල් මාලිගාව ඇතුලෙ තමා කියල මොකද මාලිගාව ලොකුවට එලියෙන් පෙන්නුවට පොඩි කාමරේක තමා රජා හැසිරෙන්නෙ. 

මේ VFX චෝදනාව කරපු කෙනාට අනුව, එයාලට ඔයිට වඩා සංකීර්ණ විදිහට ඒ මාලිගාවල එලියේ දර්ශන කරන්න බැරි, ඒව render වෙන්න යන වෙලාව වැඩි නිසාලු. 

ඒත් මට කියන්න තියෙන්නෙ, මුලු කතාව පුරාවටම, මාලිගාවල ඇතුල පෙන්නන වාරයක් වාරයක් පාසා රිපීට් කර කර පෙන්නන්න බලාපොරොත්තු වෙන ඒ දර්ශන ටික( තප්පර කිහිපයකට සීමා වුනු), වෙලාව අරන් හරි render කරල ඔයිට වඩා හොඳට හදන්න තිබ්බ කියලයි.

එහෙම render කරගන්නම බැරි නම්, VFX කියන්නෙ CGI ම නොවෙන නිසා, miniature එකක් හදනව වගේ වෙන ක්‍රමයක් පාවිච්චි කරන්නත් තිබ්බා. 

නමුත් ලංකාවේ බහුතරයක් ඔය vfx උගන්නනවා කියල කරන පාඨමාලාවල පවා, දෘශ්‍ය ප්‍රයෝග කියල උගන්නන්නෙ ඔය 3D modeling කරන software එක්ක වැඩ කරන විදිහ විතරයි. ඉතිං ඒවැයින් එලියට එන "ත්‍රිමාණ සජීවීකරණ ශිල්පීන්ට" චිත්‍රපටයක දෘශ්‍ය ප්‍රයෝග කියල කියන්නෙ පරිගණකය පාවිච්චි කරල කරන CGI වැඩ කෑලි ටික විතරයි. හැබැයි, මේ ලෝකෙට ඔය computer, 3D software එන්න කලිනුත් චිත්‍රපට වල ඕනෙ තරම් දෘශ්‍ය ප්‍රයෝග කලා. ඒත් ලංකාවේ එහෙම සමස්තය ගැන තේරුමක් තියෙන අය අඩුයි. මොකද අපිට ඒ සම්බන්ධ ඉතිහාසයක් නෑ. කෙලින්ම  Maya, After effects වලින්ම තමා පටන් අරං තියෙන්නෙ. Practical effects ගැන අවබෝධයක් නෑ වගේ. ඔක්කොම computer එකෙන්ම ගොඩදාන්න දඟලන අය තමා වැඩි.

ඒත්, ලෝකෙ ප්‍රධාන අධ්‍යක්ෂවරු (උදාහරණ : ස්පිල්බර්ග් , නොලාන්) වගේ අයත් තාම CGI කියන දේ යොදාගන්නෙ අන්තිම තුරුම්පුව විදිහට. ඒත් මෙහෙ ඒකෙ අනික් පැත්ත.

VFX කියන්නෙ CGI විතරයි කියල හිතාගෙන ඉන්නවනම්, Alien, 2001 A Space Odyssey වගේ චිත්‍රපට බලන්න....

(රූපෙ තියෙන්නෙ Alien ෆිල්ම් එකේ පාවිච්චි වුනු miniature space ship එකක්)



යතාර්ථයෙ හිරකාරයො...

 ඉස්සර නාට්‍යයක් ගියා, සිහින ඉසව්ව කියල. ඒක දිය කිඳුරියෙක් ගැන කතාවක්. මතක විදිහට, කොල්ලො දෙන්නෙක්ට දිය කිඳුරියෙක් හම්බෙනවා. ඒ දියකිඳුරිට ගොඩබිම ඉන්න පුලුවන් සීමා සහිත කාලෙකට හැබැයි ඊට පස්සෙ කකුල් නැති වෙලා වරල් වෙනවා. එයාගෙ නම මිත්‍යා. තව මේ කොල්ලො අඳුරන එයාලගෙ යාලු වෙන කෙල්ලෙක් ඉන්නව එයාගෙ නම සත්‍යා. සත්‍යා සහ මිත්‍යා රූපෙන් එක වගේ. (ඒ චරිත දෙකම කලේ එකම නිලිය කොහොමත්) කොහොම හරි දිය කිඳුරිව අල්ලල මිනිස්සුන්ට පෙන්නල ආදායමක් ගන්න ජාවරම්කාරයො සෙට් එකක් එයාව පැහැරගෙන යනව. පස්සෙ මේ කොල්ලො දෙන්නයි, අර සත්‍යා කියන කෙල්ලයි සෙට් වෙලා ගේම ඉල්ලල කොහොමහරි අන්තිමට මිත්‍යාව බේරගෙන මුහුදට යවනව. 

ඔය නාට්ටෙ ගිහින් දැන් අවුරුදු විස්සක් විතර ඇති ඒත් තාම හොඳට මතකයි. මේකෙ දියකිඳුරි, වරල් එක්ක ඉන්න සීන් එහෙමත් ලස්සනට අරං තිබ්බා, සහ අන්තිම ෆයිට් එකට හෙලිකොප්ටරයක් පවා යොදාගෙන තිබ්බා. 

ඒත් දැන් නම් ඒ වගේ නාට්‍ය හැදෙන්නෙ නෑ. නිකං සාලෙ මැද්දෙ  ගෑනු කතා කරන ලොන්ත කතා විතරයි බහුතරය. ඈක්කා.

ලංකාවේ නිර්මාණකරුවො ගොඩක් උන් දැන් යතාර්ථයෙ හිර කාරයො වෙලා. උන් සුරංගනා කතා, ෆැන්ටසි කතා සලකන්නෙ පොඩි උන්ට බලන්න තියෙන ඒව විදිහට. ඒවත් හදන්නෙ පොඩි එකෙක්ට පවා බැලුවම එපා වෙන ගොබ්බ විදිහට. අර රන් කෙවිට එහෙම බැලුවනම් මතක ඇති. එහෙම රන් කෙවිටක්, ඇත්තටම ඒ වයසෙ කොල්ලො දෙන්නෙක්ට හම්බුනා නම් ඔය වගේ ගොබ්බ විදිහට හැසිරෙන එකක් නෑ. ඒත් ඒ ෆිල්ම් එකේ කොල්ලො දෙන්න ඒකෙන් මෙලෝ ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. උන්ගෙ මෝඩ කම ප්‍රදර්ශනය කරනව ඇරෙන්න. හැබැයි මොනා උනත්, උදයකාන්ත වර්ණසූරිය කියන්නෙ ශ්‍රී ලංකාවේ ඔය ජනකතා වගේ දේවල් වලින් පොඩියට හරි ප්‍රයෝජනයක් ගත්ත සිනමාකරුවෙක්. ඒත් ඒක ඔයිට වඩා හොඳට කරන්න තිබ්බා අපරාදෙ...

ඇස් දෙක පිරෙන්නම Aquaman...

Originally posted on Facebook on 2018/12/24

Aquaman බැලුවා. හරි හරි ස්පොයිල් කරන් නෑ....

අර වතුර යට කතා කරන්නෙ කොහොමද කියල අහල තිබ්බනෙ සමහරු... ඉතිං අනේ ඒකට චිත්‍රපටයේම පැහැදිලිව උත්තර දෙනවනෙ? ඒක Aquaman විසින්ම ප්‍රශ්නයක් විදිහට අහනව එක තැනකදි, සහ පැහැදිලිව උත්තරත් ලැබෙනවා එවෙලේම. අනේ මන්දන්නෑ ඉංග්‍රීසි තේරුම් ගන්න බැරි අවුලක් වෙන්න ඇති. වෙන නම් හේතුවක් හිතා ගන්න බෑ.

ඒක විතරක් නෙවෙයි, තව මෙහෙම ප්‍රශ්න ආවෙ නැද්ද....  ඇක්වමෑන්ට ගොඩබිම වගේම වතුරෙත් අවුලක් නැතුව ඉන්න පුලුවන්. අර මීරාටත් එහෙම පුලුවන්. එතකොට අර අනික් සෙබලුන්ට එහෙම බැරි ඇයි? 

ඔන්න ඕකටත් පැහැදිලිව එක දෙබසකින් හේතුව කියනව.

එතකොට අර අච්චර සෙක්‍යුරිටි තියෙන ඇට්ලැන්ටිස් සිටි එකට ඇක්වමෑන්ට සහ මීරාට අර ship එකෙන් ඇතුල් වෙන්න දෙන්නෙ ඇයි? මොකද ඇක්වමෑන් කියන්නෙ ඒකෙ සිටිසන් කෙනෙක් නෙවෙයි ආගන්තුකයෙක්. ඉතිං ඕකටත් එක වාක්‍යයකින් පැහැදිලි උත්තරයක් දෙනවනෙ. 

දෙබස් ගැනත් පොඩ්ඩක් අවධානය දුන්නනම්, ඔය වගේ ප්‍රශ්න ඉතුරුවෙන්න නෙවෙයි ඒ ෆිල්ම් එක හදල තියෙන්න. අනික සමහර අය කියල තිබ්බ ඒක බලන්න කලින් කොමික් කියවල යන්න ඕනෙ කියල. අනේ එහෙම ඕනෙනෑ. ඒ කතාව ඇක්වමෑන් කියල එකෙක් ගැන අහලවත් නැති එකෙක්ට උනත් ගිහින් බලන්න පුලුවන් විදිහට, හේතු ඵල සම්බන්ධ සහිතව ශක්තිමත් කතාවක් ඇතුව හදල තියෙන්නෙ. Prerequisite ඔනෙනෑ ඒක බලන්න. 

ෆිල්ම් එක නං... 😍 සුපිරිම සුපිරී මට නම්. ඇස් දෙක පිරෙන්නම දීලා තියෙනවා. ඒ වගේම ඇක්වමෑන් කියන චරිතය මාර විදිහට අප් කරල ගන්නව ආයෙ ඉතිං 😙😍

James Wan නම් සුපිරිම වැඩ්ඩෙක් තමා. ඇත්තටම ඔය ඇක්වමෑන් කියන චරිතය මුලින්ම දැක්කාම මට නම් හිතුනෙ, ඔය අනික් සුපර්හීරෝස්ල ගැන ෆිල්ම්ස් හැදුවට මූට නම් එකක් believable විදිහට හදාගන්න බැරිවෙයි කියල. මොකද නිකං කන්සෙප්ට් එකම විකාරයක් වගේ තමා බැලූ බැල්මට පෙනුනේ. ඒත් ඒ මතය සම්පුර්ණයෙන්ම කනපිට හරවලා ඒ චරිතයෙන් උපරිම ප්‍රයෝජනය අරං තියෙනවා. මුහුද යට යන ෆයිට් සීන් ටිකයි,  මුහුදු රාජධානි ටිකයි පට්ට ලස්සනට ඩිසයින් කරල තියෙනවා. (අනේ දෙයියනේ 3D බලාගන්න බැරි උනානෙ 😢)

දැන් ඉතිං මේකත් සවුත්තුයි කියල කියන අය ඉන්නව තමා... ඒක ඉතිං ලෝකස්වභාවය. ඔය ඕනම හිට් වෙච්ච මියුසික්  වීඩියෝ එකක් ගිහින් බලන්න යූ ටියුබ්... බිලියන ගානක් කැමති නම්, අඩුම මිලියන එකක් දෙකක් ඩිස්ලයික් දාල තියනව... ඒක ඉතිං කරුමේ ෆ්‍රෙන්ස්. පවට පින දෙන්න බෑ කියනවනෙ.

මළැයින් පස්සෙවත් ඒ ඇස් වලින් කාට හරි ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙන්න කියල, අර අක්ෂිදාන සංගමේ ෆෝම් එක පුරවල බාර දෙන්න  😂

(ප.ලි. මේකෙ mid credit සීන් එකක් තියෙනව. හැබැයි post credit සීන් එකක් නම් නෑ.)