Wednesday, September 30, 2026

The Newspaper

බලපු තවත් එක මෝඩ ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන්. මේ ෆිල්ම් එක දැන් ඇවිත් ටිකක් කල්නෙ. බලන්න ඕනෙ උන් බලලත් ඇති . මම නම් බැලුවෙ ඊයෙ පෙරේද. එනිවේ කතාව ස්පොයිල් වෙනව මේක ගැන කියන්න ගියොත්. ඉතිං මේක බලන්න බලාපොරොත්තු වෙනව නම්, මේක කියවන්න එපා.

මට තේරුන හැටියට නම් මේ ෆිල්ම් එකෙන් දෙන්න උත්සාහ කරන 'පණිවිඩේ' තමා පත්තර වලින් මිනිස්සුන්ගෙ චරිත ඝාතනය කිරීම සහ ඉන්පසු ඒවා නිවැරැදි කිරීමට කටයුතු නොකිරීම වගේ දෙයක්. හැබැයි ඒ දේ කියන්න පාවිච්චි කරල තියෙන සිද්ධියයි, ඒ කියන්න උත්සාහ කරන පැණිවඩෙයි අතරෙ නොගැලපීමක් තියෙනවා කියල තමා හිතුනෙ.

ෆිල්ම් එකේ කතාවට අනුව, ලංකාවේ යුද්දෙ අන්තිම කාලෙ (2009 වගේ) බස් එහෙකට බෝම්බ ගහපු සිද්ධියකදී, ඒ බෝම්බෙ ගැහුවෙ සිංහල මිනිහෙක් කියල එලි වෙලා ඒක පත්තරේ යනව. මේ 'සිංහල කොටිය' හෙඩිම යන්නෙ එක පත්තරේක හැබැයි ඊට අදාල වෙනත් ප්‍රවෘත්ති හැම පත්තරේකම වගේ යනව හෙඩ්ලයින් විදිහටම.  ඒ කොටියෙක් කියල කියපු මිනිහගෙ අයියට මිනිස්සු ගහල එයාගෙ කකුල් කඩනව ඊට සමගාමීව. ඒ අයියා (සරත් කොතලාවල) ඒ නිසා දැන් යන්නෙ අර අතින් තල්ලු කරගෙන යන කරත්තෙක.  එයා ඔය පොලේ කුණු එලෝලු ඇහිදින වෙලේක එයාට පත්තර කෑල්ලක් හම්බෙනව. එයා දකිනව ඒකෙ පොඩි කොටුවක චූටි අකුරෙන් දැන්වීමක් විදිහට දාල තියෙනවා , "නිවැරදි කිරීමයි, ශාන්ත නිර්දෝෂයි" කියන හෙඩිම එක්ක පුංචි විස්තරයක්. මේ කියල තියෙන්නේ එයාගෙ සහෝදරයා නොහොත් අර සිංහල කොටියා ගැන. එයා නිර්දෝෂයි, බෝම්බෙ ගහල තියෙන්නේ එයා නෙවෙයි කියල පස්සෙ එලිවෙලා. මේක වෙන්නෙ අර සිද්ධියෙන් අවුරුදු 9 කට පස්සෙ (ඒ කියන්නෙ දළ වශයෙන් 2018 වගේ). 

ඉන්පස්සේ මේ අයියාට ඕනෙ වෙනව තමන්ගෙ මල්ලිගෙ නිර්දෝෂී බව ගැන දාපු ඒ නිවැරැදි කිරීමත්, පත්තරේ හෙඩ්ලයින් එකක් විදිහටම දාගෙන මල්ලිගෙයි, තමන්ගෙ සනුහරෙයි "නම ක්ලියර්" කරගන්න.

හැබැයි මේ සිද්ධියෙම අවුලක් තියෙනව නේද? මොකද මට තේරෙන විදිහට නම් මේක මහ විකාර සිද්ධියක්. සාමාන්‍යයෙන් ඔය වගේ බෝම්බ ගහපු සිද්ධියක බෝම්බෙ ගැහුවෙ මෙයා නෙවෙයි අරය කියල හොයාගත්ත නම්, ඒක පත්තරේ පළ වෙන්නෙ තවත් අලුත් නිව්ස් එකක් විදිහට මිසක්, චූටි අකුරෙන් නිවැරැදි කිරීමක් විදිහට නෙවෙයි. සාමාන්‍යයෙන් පත්තර වල නිවැරැදි කිරීම් විදිහට පළවෙන දැන්වීම් පාවිච්චි කරන්නෙ පත්තරේ සිද්දවෙන ප්‍රින්ටින් මිස්ටේක්, පුද්ගල නම්, තනතුරු, ඡායාරූප වගේ දේවල් මාරුවීම් පැටලීම් වෙන ඒවා නිවැරැදි කරන්න මිසක්, රටක වෙච්චි සිද්ධියකට අදාලව හෙළිවුනු නවතම තොරතුරක් පළ කරන්න නෙවෙයි. ඇත්තටම මේක නිවැරැදි කරන්න පත්තරේ වැරැද්දුව එකක් නෙවෙයිනේ ඉතිං. ඒ කාලෙ අදාළ අපරාදය සම්බන්ධයෙන් කරපු පරීක්ෂණ අනුව ආරක්ෂක අංශ විසින් මාධ්‍යට කියපු දේ තමා පත්තරේ පල කලේ. ඉන්පස්සේ ඒ ආරක්ෂක අංශ විසින්ම පස්සෙ කාලෙකදි අදාළ බෝම්බ ප්‍රහාරය එල්ල කලේ මෙයා නෙවෙයි කියල හෙළිකරල ඒක මාධ්‍යට කිව්වම ඉතිං ඒකත් ඒ සිද්ධියට අදාළ අලුත් නිව්ස් එකක් මිසක්, නිවැරැදි කිරීමක් වෙන්නෙ කොහොමද? ඒ උනාට මේ ෆිල්ම් එකේ හැටියට ඒක එහෙමයි. 

ඇත්තටම මෙතෙන්දි වෙලා තියෙන්නේ ෆිල්ම් එකෙන් අපිට දෙන්න උත්සාහ කරන "පණිවිඩේ" කියන්න සැර සිද්ධියක් හොයල දාල , ඒත් ඒකම කියන්න යන එකත් එක්ක හරියටම ගැලපෙන්නේ නෑ...

ඉතිං මේ ෆිල්ම් එකේ නාරටියම අවුල්. ඒක අමතක කරල කතාව බලන් හිටියත්, ඒක ඇතුලෙ වෙන පුංචි පුංචි සිද්දි සහ චිත්‍රපටයේ අපිට හම්බෙන බහුතරයක් චරිතත් මේ මහපොලොවේ අපිට හම්බෙන උන් නෙවෙයි නෙවෙයි වගේ දැනෙනව. 

අනික් ප්‍රධාන චරිතය විදිහට එන කුමාර තිරිමාදුර ඉන්න ලුයියා කියන්නෙත් එහෙව් විකාර චරිතයක්. ඒ මිනිහට පිස්සු හරි මන්ද බුද්ධික හරි වගේ නම් එයා කරන දේවල් සාමාන්‍යයයි කියල පිළිගන්න තිබ්බ. එයාට අකුරු කියවන්න බෑ. ඒත් එහෙම වුනු පළියට චිත්‍රපටය පුරා පෙන්නන විදිහට මොංගල් හැසිරීම් දක්වන්නෙ ඇයි කියල හිතාගන්න බෑ. මොකද හද්ද පිටිසර ගමක අකුරු බැරි මිනිහෙක් උනත් ඒ පෙන්නන තරම් හුදෙකලා ජීවියෙක් වෙන්න බෑ. (චිත්‍රපටියෙම පෙන්නන විදිහට ඌ පොකට් රේඩියෝ එහෙකට නිතරම ඇහුම්කන් දෙනව. එහෙව් එකෙක් ඇයි එහෙම වෙන්නෙ...)

උදාහරණයක් විදිහට ඒ චරිතය මුහුද දැකල නෑ. ගෝල් ෆේස් ගිහින් මුහුද පෙන්නල කියනව ගමේ වැවට වඩා ගොඩාක් විසාලයි නේද කියල.

ඌ කඩේකින් වතුර ඉල්ලුවම, කඩේ ගෑනි වතුර බෝතලයක් දීල සල්ලි දෙන්න කියල කිව්වම වික්ෂිප්ත වෙලා, වතුර බෝතලේ ආපහු කඩේටම දීල, යාලුවට ඇවිත් කියනව කොළඹ වතුරත් සල්ලි වලට දෙන්නෙ කියල (මොන බහුබූත කතාවක්ද? කොළඹ විතරක් නෙවෙයි ලංකාවේ කොහෙ ගියත් බෝතල් කරපු වතුර තියෙනවානෙ විකුණන්න. මී හරක් බලාගන්න, අකුරු බැරි මිනිහෙක් උනාය කියල එහෙම දේවල් මැජික් වෙන්නෙ කොහොමද ?) 

ඉන්පස්සේ මූ ගිහින් ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වෙයා එකේ තියෙන පොකුණට බැහැල නානව. අනේ මන්ද ඒ සම්පූර්ණ සීන් එකම හෙනම ගොන්, මාන්දමික සීන් එකක්. චිත්‍රපටයට 'හාස්‍ය රසයක් මුසු කරන්න' වෙන්නැති සමහර විට ඒක දාන්න ඇත්තෙ. ඒත් පට්ට අභව්‍යයි. (මේක අර ටෙනිසන්- බන්දු ඉන්න ගොන් ජෝක් එකක් නම් ඔන්න කමක් නෑ කිව්වැකි.)

තවත් තැනකදි මුන් දෙන්න රෑ ඉන්න කියල හිඟන තිප්පොලකට යනව. එතන ඉන්න හිඟන්නො මුන්ට ඉන්න දෙන් නෑ. ඉන්පස්සේ මුන් දෙන්න එතනින් එලියට යනව. එතකොට වැස්සක් වහිනව. මුන්ගෙ අවට වැස්සකට නොතෙමී ඉන්න ඕනතරම් අගුපිල් තියෙනවා කියල පසුබිමේ පෙනුනත්, මුන් දෙන්න අර අනෝර වැස්සෙ තෙමි තෙමි පාර මැද්දෙ යනව. අන්නේකයි කිව්වෙ, මුන් දෙන්නට "පිස්සු" නම් ඒවා සාමාන්‍යයයි. නැත්තං ඉතිං ඇයි එහෙම හැසිරෙන්නෙ නේද? සාමාන්‍ය මිනිස්සු වැස්සක් වහිද්දි නොතෙමෙන තැනක් බලල ඉඳල යනවනෙ.  ඒ දර්ශනය "ඩ්‍රැමැටික්" කරල බලන අපිට "අනේ බලන්න පෞ මෙයාල" කියල බලෙන් හිතවන්න ඔබපු දෙයක් මිසක් එතන එහෙම තෙමීමේ කිසිම අවශ්‍යතාවක් නෑ ඇත්තටම. 

මේ සියලු සිද්දි වෙන්නෙ අර අයිය, මල්ලිගෙ නිර්දෝෂී බව පත්තරේ දාන්න, පත්තර කන්තෝරුව හොයාගෙන කොළඹ ආවම. ඒ එද්දි උගෙ තනියට එන්නෙ අර හරක් බලන "මෝඩය".

මේ චිත්‍රපටයේ සියලු චරිත,ඒ ඒ චරිත වල තිබිය යුතු ලාක්ෂණික ගති ඕනවට වඩා ඔබන්න ගිහින් අතාත්ත්වික මට්ටමට පත් වෙලා කියල තමා පේන්නෙ. ඒ කියන්නෙ හරිම පැතලි, ඕනවට වඩා හයිප් කරපු කැරැක්ටස් තමා ඔක්කොම තියෙන්නෙ. 

මෝඩයෙක් නම් ඌ පට්ටම මෝඩයි, හැමවෙලේම මෝඩයි, දුෂටයෙක් නම් ඌ පට්ට දුෂ්ටයි. කරුණාවන්ත උන් ලස්සනයි, මෝඩ උන් කැතයි... ඔන්න ඔය වගේ. හරිම ප්‍රාථමික, සැබෑ ජීවිතේ හමුනොවෙන, නමුත් සැබෑවට ඉන්න චරිත වලින් තෝරගත්ත ලක්ෂණ එකතු කරල චිත්‍රපටයේ කතාව සංතෘප්ත කරන්න හදාගත්ත කෘතිම චරිත තමා මේකෙ පිරිල තියෙන්නෙ.

කතාව ඉදිරියට යද්දි මුණගැහෙන හිඟන්නො , ගණිකාවො, පත්තරකාරයො, දේශපාලුවො වගේ හැම එකාම ඒ ඒ වර්ග වල ස්ටීරියොටයිප් මොඩල් මිසක් ස්වභාවිකව ඉන්න උන් නෙවෙයි. 

මේ ෆිල්ම් එකේ හැටියට උන් දෙන්න කොළඹ එන්නෙ 2018 වගේ. පසුබිම් දර්ශන බැලුවමත්, මිනිස්සු පාවිච්චි කරන ෆෝන්, ටීවී වගේ දේවල් දිහා බැලුවමත් ඒක පැහැදිලි. ඒත් මුන් දෙන්න මුලින්ම යන පත්තර කන්තෝරුවෙ එකෙක් ටයිප් රයිටරයක මොනවද ටයිප් කරනව පෙන්නනව. මම දන්නෑ 2018 දිත් ටයිප් රයිටර් පාවිච්චි කරන පත්තර කන්තෝරු ලංකාවේ තිබ්බද කියල. දන්න තරමින් නම් දැන් කොහෙවත් ටයිප් රයිටර් පාවිච්චි කරන්නෙ නෑ. විශේෂයෙන්ම පත්තර කන්තෝරු වල.  එහෙනං එතෙන්ට එහෙම එකෙක් එබුවෙ ඇයි ? ඒකත් මට නම් දැනෙන්නෙ, පත්තර කන්තෝරු නම් මෙන්න මේ වගේ කියල අපිට පෙන්නන්න කරපු ස්ටීරියොටයිප් වැඩක් කියල. 

එනිවේ, මුල සිට අගටම අභව්‍යය සහ විකාර සහගත සිද්ධි ගණනාවක්ම තියෙනවා මේකෙ. එකින් එක කියල ඉතිං තේරුමක් නෑ. එහෙම කිව්වොත් මුලු ෆිල්ම් එකම කියන්න වෙනව.

මේක කතාව ලියල අධ්‍යක්ෂණය කරල තිබ්බෙ දක්ෂ නලුවො දෙන්නෙක් නිසා සහ පෝස්ටරයෙන්, ට්‍රේල එකෙන්, නමෙන්, මේක හොඳ ෆිල්ම් එකක් වෙන්නැති කියල සැකේට තමා ඉතිං බැලුවෙ. ඒත් සාරාංශයක් විදිහට කිව්වොත්, හොඳ වස්තු බීජයක් තෝරගෙන ඒක කියන්න දුර්වල කතාවක් ලියල ඒකට අභව්‍ය සිද්ධි ගොඩක් මදිපාඩුවට එල්ලල, ස්ටීරියොටයිප් කැරැක්ටස් ටිකක් ඔබල හදන්න ගිහින් විකාරයක් වෙලා කියල තමා හිතුනෙ.



ගිනි අවි සහ ගිනි කෙළි Chapter 2

මේ ෆිල්ම් එක හෝල් එකට ගිහිල්ලා බලන්න තරම් දෙයක් නෙවෙයි කියලා නම් මොකක්ද ඉවකින් වගේ දැනුණා.  ඒ නිසා එහෙම ගියෙ නෑ. පස්සෙ හොයගෙන නොමිලේ බැලුවෙ. ඒ බැලුවෙත් මේකෙ පළවෙනි එක ආසාවෙන් බලපු නිසා ඒකට කරන සැළකිල්ලක් විදිහට.

මේක පටන් ගනිද්දිම යන්නෙ මුල් ෆිල්ම් එකේ සුප්‍රකට දිවි මකුළු ඇස ගීතය එක්ක ඒ නලු නිලියන්ගෙ රූප. ඒකෙන් දෙන ලොකුම පණිවිඩයක් තිබ්බා පටන් ගනිද්දිම. ඒ තමා, මීට වඩා දෙයක් උබලට මේකෙ බලන්න නෑ මේ තමා උපරිමේ... කියන එක. ඇත්තටම ඒ නාමාවලියෙ යන අර පරණ මුල් ෆිල්ම් එකේ සින්දුවයි, ඒ සීන් ටිකයි විතරමයි මේකෙ අප්පිරියාවක් නැතුව බලන් ඉන්න පුලුවන් ටිකකට තිබ්බෙ. ඊට පස්සෙ ෆිල්ම් එක පැය දෙකක් තිස්සෙ මිනිස්සු හෝල් එකේ කොහොම එක දිගට බලන් හිටියද අප්පා කියලා හිතෙන මට්ටමටම අජූතයි.

ඇත්තටම උදයකාන්ත වර්ණසූරියට මොකක්ද මේ වෙලා තියෙන්නෙ?  ඒක නිකං අර සූත්තර කිටීගෙ බූට් එක ගැලෙව්වම නිකං පූසෙක් වෙලා වගේ උදයකාන්ත වර්ණසූරිය කියන සිනමා අධ්‍යක්ෂකවරයාගේ චිත්‍රපට හැදීමේ හැකියාව සම්පූර්ණයෙන් අන්තරස්ධාන වෙලා එයා නිකංම නිකං මිනිහෙක් බවට පත්වෙලා වගේ. හැබැයි ඒ මනුස්සයා තාමත් හිතන් ඉන්නවා තමන්ට තාම ෆිල්ම් හදන්න පුළුවන් කියලා. ඉතිං එයා නලු නිළියන්ට එන්න කියනවා එයාගෙ අලුත් ෆිල්ම් එකට. අනේ ඉතිං උදයකාන්ත වර්ණසූරිය කිව්වම සීනියර් පොරක්නෙ කියලා මේ ධනුක ඩිල්ෂාන්ලත් කුලුඳුල් සිනමා අත්දැකීම ගන්නත් එක්ක යන්න ඇති. හැබැයි එතන කිසිම සිනමාවක් නම් දැක්කෙ නෑ.  ඒකට චිත්‍රපටියක් කියන්නත් බෑ. නිකං ලෝ බජට් ඒකාංගික ටෙලිනාට්ටයක් වගේ.  ඒකෙ රඟපාපු කිසිම නලුවෙක් හෝ නිලියෙක්ට තමන්ගෙ හැකියාව පෙන්නන්න පුළුවන් වෙලා නෑ. නෑ නෙවෙයි ඇත්තටම එහෙම පරිසරයක් ඒ "ෆිල්ම් එකේ" නෑ.

හැබැයි මේ ෆිල්ම් එකේ වෙනත් සුවිශේෂීත්වයක් තියෙනවා. මේක සිනමාව විෂයක් විදියට හදාරන කෙනෙකුට හොඳ කේස් ස්ටඩි එකක්. මොකද මේ ෆිල්ම් එකේම පළවෙනි චිත්‍රපටිය, මේ අධ්‍යක්ෂවරයාගේ දෙවැනි චිත්‍රපටය, ආදායම් අතිනුත් සාර්ථක වෙලා විචාරකයන්ගේ පැසසුමටත් ලක් වෙච්වි ලංකාවේ ඒ ෂානරයේ දැනට හැදුණු හොඳම ෆිල්ම් එකක්. කතාව , තිරරචනය, අධ්‍යක්ෂණය, සංස්කරණය , නලු නිළි වරණය සහ රඟපෑම්, කලා අධ්‍යක්ෂණය ආදී මෙකී නොකී හැම අංශයක්ම, 'කළ යුත්තේ කෙසේද' කියන එකට දර්ශීය උදාහරණයක් විදිහට පෙන්නන්න පුළුවන් හොඳ ප්‍රඩක්ට් එකක්.  ඒ අධ්‍යක්ෂවරයාව, අධ්‍යක්ෂවරයෙක් ලෙස සමාජය අඳුනගත්ත වැඩක්... ඉතිං ඒ මනුස්සයාම, චිත්‍රපට විස්සක් තිහක් කරපු සීනියර් පොරක් විදිහට එයාගෙම අර කියපු අද්විතීය වැඩේට දෙවෙනි කොටසක් කරනවා කටේ තියන්න බැරි විදිහට. අර කියපු අධ්‍යක්ෂණය , තිර රචනය, සංස්කරණය , ආලෝකකරණය, ආදී මෙකී නොකී සියලු දේ, 'නොකළ යුත්තේ කෙසේද' යන්නට දර්ශීය උදාහරණයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වැඩක් වෙන්න. අන්න ඒ සංසන්දනය නම් ඇත්තටම චිත්‍රපට පාසලකට වගේ දේක පාඩමකට හොඳ සිනාරියෝ එකක්...

මේ ෆිල්ම් එකේ කතාව යන්නෙ මීට අවුරුදු තිහකට විතර කලින් වෙච්චි දෙයක් විදිහට. හැබැයි ඒක අපිට මීටර් වෙන්නෙ කාරණා කීපයක් නිසා විතරයි . ඒ කියන්නෙ මේකෙ ඉන්න මිනිස්සු හෑන්ඩ් ෆෝන් විදිහට පාවිච්චි කරන්නෙ අර ඉස්සර තිබ්බ ගඩොල් භාග වගේ ෆෝන්. අමතරව , ලෑන්ඩ් ෆෝන් තියෙන්නෙ ඩයල් එක කරකවන ඒවා.  ඒ ඇරෙන්න වාහන තියෙන සීන්වලට පාවිච්චි වෙන වාහන පරණ තාලෙ ඒවා, ශ්‍රී නම්බර් තියෙන්නෙ. ඔන්න ඔය කාරණා ඇර මේ කාල වෙනස නිරූපණය කරන්න වෙන කිසිම දෙයක් ෆිල්ම් එකේ කරල නෑ. ඒ නිසාම බලන අපිට හිතෙන්නෙ ඇයි මේ මිනිස්සු මේ පරණ ෆෝන් පාවිච්චි කරන්නෙ? ඇයි මේ පරණ වාහන පදින්නෙ? මෙයාල ඇන්ටික් වාහන වලට කැමති නිසාද වගේ මිසක්, ලොවෙත් මේ ෆිල්ම් එක පරණ කාලෙ වෙච්චි දෙයක් කියන ෆීලින් එකක් එන්නෙම නෑ. කොටින්ම මේකේ සුදු LED බල්බ් හිටන් තියෙනවා . අඩුම ගානෙ ඒ දර්ශන ගනිද්දි ඒ බල්බ් එක හෝල්ඩරෙන් ගලවල ඒ වෙනුවට ෆිලමන්ට් බල්බ් එකක් දාන්න ඕනෙ වගේ ඉතා සරල සුලු කාරණා ගැනවත් මේකෙ කලා අධ්‍යක්ෂණය කරපු කෙනා හිතල නෑ.

ඇත්තටම මේ ෆිල්ම් එකේ හොඳයි කියලා කියන්න පුළුවන් කිසිම අංශයක් නෑ. හැබැයි ආලෝකකරණය නම් 'හොඳටම කරලා තිබ්බා' මදි නොකියන්න. කිසිම දර්ශනයක කිසිම තැනක් අඳුරේ තියන්න අකමැති ආලෝකකරණ ශිල්පියෙක් ඉඳල තියෙන්නෙ. ඒ නිසා එයා මහන්සි වෙලා සෑම තැනම ඒකාලෝක කරල තිබ්බා. රාත්‍රි දර්ශන පවා කහ පාට නිල් පාට ලයිට් වැටිලා හරිම ලස්සනයි. ඒ ලෝකයම ආලෝකයෙන් නැහැවිලා, හැබැයි ආලෝක ප්‍රභයවක් ගැන හිතාගන්න බෑ. ඒ ආලෝකකරණයට සමාන එකක් මම මීට කලින් දැකල තිබ්බෙ කෝපි කඩේ රාත්‍රි දර්ශනවල. 

කොහොමෙන් කොහොම හරි කරන්න පුළුවන් චොරම විදියට ෆිල්ම් එකක් හදාගත්තා කියමුකො කලින් එකේ රස්නෙන් සහ තමන් අධ්‍යක්ෂකවරයෙක් විදිහට මීට කලින් හදාගත්ත නමේ පිහිටෙන් දුවවන්න... ඒක ඒ මනුස්සයාගෙ කැමැත්තනෙ. ඒත් පුදුම වැඩේ තමා මේ ඕනවට එපාවට කරපු මොකක්ද එකට ඒ අවුරුද්දේ සරසවිය චිත්‍රපට උළෙලේ හොඳම අධ්‍යක්ෂණය සහ නළුවා සම්මාන හම්බෙලා තිබ්බ එක. ඇත්තටම මෙව්වයින් වෙන්නෙ ඒ සම්මාන උළෙලවල් හෑල්ලු වෙන එක විතරයි. සම්මානයක් දෙන්න තරම් ලබු ගෙඩියක් ඒ අවුරුද්දේ කවුරුත් කරලා නැත්තං නොදී ඉඳපන් බං. කවුරුත් තරහ වෙන් නෑ.

මේ ටිකවත් මේ "චිත්‍රපටිය" ගැන ලිව්වෙ, මේකෙ පළවෙනි ෆිල්ම් එක ගැන හිතේ තියෙන කැමැත්තට.  ඇත්තටම මේක නිර්මාණාත්මක අපරාදයක්. කොච්චර ලස්සනට ගොඩ නගන්න තිබ්බ කතාවක්ද මේ විනාස කරල තියෙන්නේ? ඒ මදිවට මේකෙ තුන්වෙනි කොටසකුත් එනවලු. ඉතිං ඒකත් මේ මනුස්සයා නම් අධ්‍යක්ෂණය කරන්නෙ ඒකටත් මේ සන්‍තෑසියම තමා.  හැබැයි සූත්තර කිටී එකේ අන්තිමට සුරංගනාවියෙක් ඇවිත් ආපහු මැජික් බූට් එක දීලා  එයා ආපහු සූත්තර කිටී වෙනවා. බලමු ඉතිං එහෙම දෙයක්වත් 😒



Mother Lanka

මදර් ලංකා ඉස්පොයිලර් ඇලට්..... ⚠️️⚠️️⚠️️

මම මේ ෆිල්ම් එක බැලුවා. ජීවිත කාලෙන් පැය දෙක හමාරක් ලක් අම්මට වෙන් කරන්න අමාරු නිසා 2x දාලා බැලුවෙ ඉතිං. එනිවේ, මේකෙ සින්ගල් මාම් සහ ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් ඉන්න නිසාම, මේක හොඳ චිත්‍රපටියක් , නිර්භීත පියවරක් වගේ දෙයක් ඇරෙන්න, කතාව නම් අනේ මන්දා ලෙවල් එකේ තිබ්බෙ.

හැබැයි අපරාදෙ කියන්න බෑ, ෆිල්ම් එක හරි ලස්සනයි. හරිම "පොෂ්". හැම දර්ශනයක්ම ඉතාමත් දර්ශනීය විදිහට අරන් තිබ්බා. පාරවල් පවා අතුගාලද කොහෙද. කොටින්ම හිඟන්නෙක් ඉන්න සීන් එකක් තිබ්බා, එයාවත් හොඳට නාවල කරල අලුත් සාරියක් අන්දලා පේමන්ට් එක හෝදල වාඩි කරලා කලු කොන්ඩෙ තැන් තැන් සුදු ඩයි ගාලා පිළිවෙළක් කරල තිබ්බෙ.

සින්ගල් මාම්ට ආර්ථික ප්‍රශ්න ගොඩක් තියෙනවා සහ ට්‍රාන්ස් එක්කෙනා එයාට ආර්ථික වශයෙන් උදව් කරන බව පෙන්නුවා. සින්ගල් මාම් වැඩ කරන්නෙ ටෙස්ටුරන්ට් එකක වේටර් කෙනෙක් විදිහට . හැබැයි ඉන්නෙ අපාට්මන්ට් එකක. වාහනයක් තියෙනවා . දුව යන්නෙ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට. ඒකත් මේ අහුමුළුවල තියෙන ඉස්කෝල කට්ටක් නෙවෙයි, සුපිරි පහසුකම් තියෙන එකක්. හැබැයි ඒ ළමයට තුන්වේල කන්න දෙන්නත් අමාරුයි වගෙත් කියනව. මෙයාලා මුලින් පොඩි පැල්පතක වගේ හිටිය බවක් පෙන්නනවා. ඉන්පස්සේ කොහොම හරි මේ අපාට්මන්ට් එකට ඇවිත්, දැන් මේ ජීවිතය ගත කරනවා. ඒ කොහොමද ඒ කියලා අපිට ඇති වෙන සාධාරණ සැකය, ඒ අපාට්මන්ට් එකේ යාබද නිවසේ ඉන්න දුෂ්ට ගෑනු කෙනාටත් එනවා. අපරාදෙ කියන්න බෑ කොච්චර දුෂ්ට උනත් චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂකයා වෙනුවෙන් ලොජිකල් ප්‍රශ්න නගන්නෙ එයා තමා.

මේ සිංගල් මම්ට මේ විදිහට ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ සුගර් ඩැඩී කෙනෙක් සපෝට් කරන නිසා කියලා එයා හිතනවා. සාධාරණයිනෙ. අපිටත් හිතුනා ඒක. එක්කො අඩුගානේ ක්‍රීම් බිස්නස් එකක්වත් තියෙනවා කියලා පෙන්නුව නම් කිසිම අවුලක් නෑ.

සපෝට් කරන ට්‍රාන්ස් වුමන්, සත්‍යා කියන්නෙ පොඩි කාලෙ ගෙදරින් එලෝපු කෙනෙක්. එයා දැන් කරන රස්සාව මොකක්ද ? අර දෙන්නට අර වගේ ජීවිතයක් ගත කරන මට්ටමට ආර්ථික හයියක් වෙන්න එයාට පුළුවන් වුනේ කොහොමද ? නෝ බඩි ක්නොව්ස්... හූ කෙයර්ස් අනේ... මේ කොමර්ෂල් මූවිස් වල ලොජික්ස් හොයන්න එපා ප්ලීස් ... කියලා සත්‍යාගෙ ස්ටයිල් එකටම කියාගන්න තමා වෙන්නෙ.

ඒ අස්සෙ මොකක්ද අභිරහස් වාහනයක එන මිනිහෙක් සිංගල් මාම්ගෙ දූට ලිෆ්ට් දෙනව. ඔය අතරෙ මාම් ඇක්සිඩන්ට් වෙලා, පස්සෙ හොඳ වුනත් එයා කොර ගහනව. දුවගෙ ෆයිනල් තරඟෙ බලන්න යන්නෙත් නෑ, පස්සෙ අමාරුවෙන් යන්නෙ කොර ගගහ. එහෙම යන මනුස්සයා අන්තිමට අර වාහනේට වඩා වේගෙන් දුවලා, වාහනේ ඕවටෙක් කරලා හරස් කරල නතර කරනව. වාහනේක නෙවෙයි අනේ, මේ එයාම කකුල් දෙකෙන් දුවල. ඒ සීන් එක නම් දරාගන්න අමාරු උනා. 2x දාගෙන බැලුවම ආතල් එක වැඩී ඒකෙ. පස්සෙ බැලින්නම් ඒ ඉන්නෙ මෙයාගෙ තාත්තා , යහපත් දක්ෂ එමී දූගෙ සීයා. ඉතිං මොන රෙද්දට ඒ මනුස්සයා හැංගිමුත්තන් කරන්නෙ ?දුවවයි මිනිපිරිවයි හම්බෙන්න ආවනම් ඉවරයිනෙ. දුවව ඇක්සිඩන්ට් වෙලත් හිටියානෙ. ඒක දන්නෙත් නැද්ද මෙයා එතකොට ? නැත්තං ඔන්නොහෙ හොඳ වුනයින් පස්සෙම යනව කියලා හිටියද? අගේන්, නෝ බඩි ක්නොව්ස් හූ කෙයාස් අනේ ප්ලීස් අයියෝ මේක ෆිල්ම් එකක්...

ඒ අස්සෙ අන්තිමට අර කෙල්ලගෙ බීම එකට අර දුෂ්ට කෙල්ලෙක් මොනවද දානවා. දාන මගුල එක්කො යහමින් දාන්න ඕනෙ නොකවුට් වෙලාම යන්න. එක්කො නිකා ඉන්න ඕනෙ. බාග වැඩ කරන්න ගිහිල්ලා ඒ දුෂ්ටි නිකං පරිප්පු කනවා. අනික පස්සෙ බැලින්නං ඒ මොනවාද දාලා තියෙන්නේ cctv කැමරාවක් ඉස්සරහට ගිහින්. හරියටම සෙන්ටර් වෙලා කැමරාවට. මම හිතන්නෙ, එක සැරයක් දාලා හරියට කැමරා උනේ නැති නිසා ආපහු දාලා වීඩියෝ එක අරන්ද කොහෙද සිනමැටික් කොලිටියට තියෙනවා cctv එක. මම කිව්වෙ ඒකයි, මේ ෆිල්ම් එක ලස්සනයි. cctv දර්ශන පවා ඉතාමත් රමණීය විදිහට කැමරාවට නගල තියෙනවා. මෙව්වා මිනිස්සු සල්ලි දීලනෙ බලන්නෙ, ඉතිං කැතට පෙන්නන එක හරි නෑනෙ වගේ හිතලා හැම සීන් එකක්ම ලාස්සනට අරන් තියෙනවා .

කොහොම හරි, හරියට වහ ටික දුන් නැති නිසා වමනෙ කරල ඇවිත් ඒ කෙල්ල (අහිංසක හොඳ එක්කෙනා ) තරඟෙ දිනනව. එයා සිහි නැතුව චේන්ජින් රූම් එකේ වැටිලා ඉඳල පැවිලියන් එකට උස්සගෙන ආවම අර සත්‍යා ඇතුලු පිරිසගෙ හැසිරීම නිකං , ආ කලන්තෙ දාලද කොහෙද වගේ... ඉන්නෙ. poisoned කියල කිව්වත් ආ ඕක ඇරිලා යයි වගේ සීන් එකක් එතන තියෙන්නේ . එගේන්... මේක ...... ප්ලීස් අනෙහ්.

ඉන්පස්සේ හොඳම සීන් එක, එහෙම ගන්න මෙඩ්ල් එක ගිහිල්ලා අර එහා ගෙදර මනුස්සයට දෙනවා ඒකෙන් එයාගෙ දුවව අර ටුනමන්ට් එකට රට යවන්න කියලා ! ඒ මනුස්සයා මුලින් ඉල්ලන්නෙ, තමන්ගෙ දුවට දිනන්න ඉඩ දෙන්න කියලා ,ඒ වෙනුවට මේ අහිංසක යහපත් එමී ළමයා, එයා තරඟෙ දිනල, පස්සෙ මෙඩ්ල් එක ගෙනිහින් දෙනවා අර මිනිහට, දුවගෙ වැඩේට කියලා 😆. අන්න ලොජික්. ඒක තමා මම හිතන්නෙ මේකෙ කූඨප්‍රාප්ති සීන් එක. එහෙමත් වෙච්චි එකේ අනික් එව්වා මොනාද කියලා හිත හදාගන්න එතකොට අපිට පුළුවන් වෙනවා.


එදා රෑ...

එදා රෑ බැලුව අද දවල්. දවල් නිසා සෙනග හිටියේ නෑ. ඒ නිසා පාඩුවෙ ෆිල්ම් එක බැලුවා.  ඉස්සරහ ඔලු ගෙඩිවලින් දර්ශන පථයට බධාවක් උනේ නෑ මොකද මට ඉස්සරහින් කවුරුත් හිටියේ නෑ. 

මට නම් මේ ෆිල්ම් එක අර  ක්ලැරන්ස්ගෙ එක තරම් දැනුන් නෑ. ඒකට එක හේතුවක් මම ක්ලැරන්ස්ගෙ සින්දුවලට තරම් මිල්ටන්ගෙ සින්දුවලට ආසත් නෑ.  ක්ලැරන්ස්ගෙ ෆිල්ම් එකට කැමැති වෙන්න ප්‍රධානම හේතුව ඒකෙ තිබ්බ සින්දු ටික සහ ඒ සින්දු ප්ලේස් කරල තිබ්බ විදිහ. මොකක් හරි හේතුවකට මේ ෆිල්ම් එකේ සමහර සින්දු ප්ලේස් කරල තියෙන විදිහ නිසා ද මන්ද එහෙමට දැනුන් නෑ.

ලොකුවට ෆීල් නොවෙන්න හේතු වෙච්චි අනික් ප්‍රධාන කාරණේ, මේකෙ මිල්ටන්ගෙ චරිතය කරන රොෂාන් රවීන්ද්‍රගෙ පෙනුම ඒ චරිතයේ වැඩි හරියකට සෙට් නොවීම. මේක කිව්වම මගෙන් අහයි උබ කියන්නෙ රොෂාන් රවීන්ද්‍රට රඟපාන්න බැහැයි කියලද කියල. එහෙම දෙයක් නෙවෙයි. ඒක අහන්න ප්‍රශ්නයකුත් නෙවෙයිනෙ. ඒත් අමුවෙන්ම ඇත්ත කිව්වොත් මේ චිත්‍රපටයේ වැඩි කාලයක් පෙන්වන, මිල්ටන්ගෙ තරුණ කාලය රඟපාන්න රොෂාන් රවීන්ද්‍ර දැන් වයස වැඩී. 

ෆිල්ම් එක පටන් ගන්නෙ, 1966 ඉඳල. එතකොට ඇත්ත මිල්ටන්ගෙ වයස අවුරුදු 22 යි. එතන ඉඳන් ෆිල්ම් එකේ සීයට අසූවක්ම වගේ දුවන්නෙ එදා සිට 1972 වගේ කාල පරාසය ඇතුලෙ. ඒ කියන්නෙ මිල්ටන්ගෙ වයස අවුරුදු 22 ඉඳන් 28 දක්වා වගේ. ඉතිං ඔය වයසෙ ඉන්න තරුණ මිල්ටන්ගෙ චරිතයට දැන් අවුරුදු 48 ක් වෙන රොෂාන් රවීන්ද්‍ර ගැලපෙන් නෑ කියන එක තමා චිත්‍රපටිය පුරාවටම දැනුනෙ. විශේෂයෙන්ම අවුරුදු විසි ගණන්වල මුල තරුණයෙක් විදිහට මිල්ටන්ගෙ චරිතය කරපු සමහර දේවල් , රොෂාන් කරද්දි විකාරමය ස්වභාවයක් තිබ්බා. උදාහරණ විදිහට ගමේ කොල්ලො ටික ක්‍රිකට් ගහන සීන් එක,  එක්සයිස් කරන සීන් ටික, සහ අර කපුවට පාඩමක් උගන්නන සීන් එක. මේවත් කරන්නෙ රොෂාන් එයාගෙ අවුරුදු හතලිස් ගණනක පෙනුම දරාගෙන. ඒ පෙනුම නැති කරන්න අමාරුයි. අපිට තරුණ කෙනෙක් වයස්ගත විදිහට වෙස් ගන්නන්න පුලුවන් උනත් (ඒකත් ලංකාවෙ නම් කලොත් වනා ගන්නව) වයසක කෙනෙක්ට බාල පෙනුමක් ගන්න එක සාමාන්‍ය වේෂ නිරූපණයෙන් පමණක් ගොඩ දාන්න බැරි දෙයක්. සහ ඇත්තටම, පොල් අතු පැලක, අම්මත් එක්ක දුක් විඳගෙන හැදුනු බොහොම දුප්පත් හැටේ දශකයේ කොල්ලෙක්ගෙ ශරීර පෙනුම (physique ) රොෂාන්ගෙ ලොවෙත් තිබුන් නෑ . ඉතිං ඒක කෘතිමව ඇති කරගන්න පුලුවන් කියලත් මම හිතන් නෑ. 'තලත්තෑනි මනුස්සයෙක් ඇයි මේ වයසට නොගැලපෙන වැඩ කරන්නෙ' වගේ හැඟීමක් ඇති වෙන එක වළක්වන්න බෑ. 

හැබැයි පස්සෙ පස්සෙ මිල්ටන්ගෙ චරිතය වයසට ගිහිල්ලා හතලිස් පහ වගේ පැන්නට පස්සෙ ඔන්න රොෂාන්ගෙ පෙනුම මිල්ටන්ගෙ පෙනුමට ටක්කෙටම ගැලපෙනව. අර ස්ටේජ් උඩ සින්දු කියන රොෂාන් මවන මිල්ටන්ගෙ චරිතය හරියටම හරි. ඇත්තටම අපිටත් මිල්ටන්ගෙ ඇත්තටම මතක ඒ පෙනුම නිසාත්, ඒ පෙනුමට රොෂාන්ගෙ දැන් පෙනුම සෙට් වෙන නිසාත්, රොෂාන් නියමෙට මේ චරිතයට ගැලපෙනව වගේ අදහසක් ආවත්, අර  ෆිල්ම් එකේ සෑහෙන කාලයක් තලත්තෑනි රොෂාන් අයියා කෙල්ලො පස්සෙ යන මිල්ටන් මල්ලිව නිරූපණය කිරීම රූපමය වශයෙන් අසාර්ථකයි. ඒක ඉතිං ඇහැට පේන දේ. ඒ කොටස කරන්න මිල්ටන්ගෙ තරුණ වයසේ පෙනුම තියෙන අලුත් නලුවෙක් ගන්න ෆිල්ම් එක කරපු අය නිර්භීත නොවෙන්න හේතුවත් හිතාගන්න අමාරු නෑ. ඒත් මම හිතන්නෙ රොෂාන් වගේ ප්‍රතිභාපූර්ණ නලුවෙක්ට රඟපාලා ගොඩදාන්න තරම් දෙයක් ඔය චිත්‍රපටයේ තිබ්බෙ නෑ. චිත්‍රපටය ගොඩ යන්නෙ මිල්ටන්ගෙ සින්දු නිසා මිසක් මිල්ටන්ගෙ චරිතය කරන්නෙ කවුද කියන එක මතම නෙවෙයි. ඒ නිසා ක්ලැරන්ස්ගෙ එකේ වගේ අභියෝගයක් භාර අරන් අලුත් තරුණ නලුවෙක්ට ඒ අවස්ථාව දෙන්න තිබ්බා කියල මම හිතනව.

මේ වයස නොගැලපෙන සීන් එක  ඔයාට වඩාත් ත්‍රීව්‍ර විදිහට දැනෙන්න පුලුවන් ඔයා මේ කාලයෙ රොෂාන්ගෙම 'නටත් අයෙක් සුරා මතින්' ටෙලිනාට්‍ය බලනව නම්. ඒකෙ රොෂාන්ගෙ චරිතයට ලොකු පුතෙක් ඉන්නව. ඒ නාට්ටෙ ඒ පුතාගෙ ක්‍රිකට් ටීම් එකේම තව කොල්ලෙක්ගෙ තාත්තාට ඉන්නෙ චින්තක කුලතුංග. දැන් මේ ෆිල්ම් එකේ, ඔය මම දාල තියෙන ෆොටෝ එකේ ඉන්න මිල්ටන්ගෙ තුන්වන පෙම්වතිය සහ පසුව බිරිඳගෙ චරිතය කරන දැරිවිගෙ තාත්තාට ඉන්නෙත් චින්තක කුලතුංග. ඉතිං කලින් දවසෙ රෑ 'නටත් අයෙක්' බලනකොට තරුණ පුත්තු දෙන්නෙක්ගෙ තාත්තලා විදිහට හිටිය නලුවො දෙන්න අද දවල් බලන ෆිල්ම් එකේ, එකෙක්ගෙ දුවෙක්ට විවාහ යෝජනාවක් ගේන්න අනිකා කොල්ල විදිහට ගෙදෙට්ට එද්දි හරිම විකෘතිමය ස්වභාවයක් දැනුනා. ඒකට ඉතිං කාටවත් චෝදනා කරන්න යන්නෙ නෑ. අපි ඒ නාට්ටෙ බලපු එකට මේක හදපු මිනිස්සු මක් කරන්න ද. 


මිල්ටන්ගෙ චරිතය වයසට ගිහින් කියල පෙන්නන්න අන්තිම හරියෙදි කොණ්ඩය පොඩ්ඩක් අලුපාට කරල තිබ්බා. ඇත්තටම ඒක පමණක් ප්‍රමාණවත් මොකද වයසින් කොහොමත් රොෂාන්ට ඒ පෙනුම තියෙන නිසා. හැබැයි ඊට සාපේක්ෂව එයාගෙ බිරිඳව වයස්ගත කරන්න උත්සාහයක් අරන් තිබ්බෙ නෑ. අවසානය හරියෙ හොස්පිට්ල් සීන් එකේදිත් ඒ නිලියගෙ අඩුගානේ කෙස්ගහක් ඉදිලවත් නෑ. ඒ වගේම නවසිය හැත්තෑ ගණන් වල මුල හරියෙදි මිල්ටන්ට හම්බෙන වික්ටර් රත්නායක නම් තරුණයා (අන්න ඒකට නම් වයසට ගැලපෙන කොල්ලෙක් කාස්ට් කරල තිබ්බා.) 1998 දි මිල්ටන් බලන්න හොස්පිට්ල් එද්දිත් ඒ විදිහටම හිටියා. අනේ මන්ද ඉතිං වෙන කවුරු හරි ගත්තොත් හෝ වයස පේන්න මේකප් කලොත් ඒ ආවෙ වික්ටර් කියල ප්‍රේක්ෂකයාට අඳුනගන්න අමාරු වෙයි කියල හිතුනද දන්නෙත් නෑ.

ඊටත් අමතරව, ප්‍රේක්ෂකයා විසින් හිතින් හිතා ගන්න ඕන දේවල් ඒ කියන්නෙ ඒ දර්ශන බැලුවම අපිට ෆීල් වෙන්න නියමිත දේවල් , නලුවන් ලවා දෙබස් විදිහට අපේ මූණට කියන එකත් ටිකක් අභව්‍ය "ඕක්වර්ඩ්" භාවයක් එක් කරල තිබ්බ. උදාහරණයක් විදිහට මිල්ටන්ගෙ යාලුවෙක් එක තැනක කියනව, මේ සින්දුව නම් පරම්පරා ගාණක් මිනිස්සු කියයි, වගේ කතා. ඒවා මිනිස්සුන්ට දැනෙන්න ඇරිය යුතු දේවල් මිසක් ඇහෙන්න කියන්න ඕනෙ දේවල් නෙවෙයි.

ඉන්පස්සේ අර ලක්ස් සබන් තැන් තැන්වල පෙන්නන එක නම් හරිම ලාබ වැඩක්. ඒකෙන් ෆිල්ම් එකට වෙන හානිය ඒකෙන් ලැබිච්චි වාණිජමය වාසියට වඩා අනිවාර්යයෙන් වැඩී. ඒ ගාන කීය උනත් ඊට වඩා නිර්මාණාත්මක පාඩුවක් ඒකෙන් ෆිල්ම් එකට වෙලා තියෙනවා. අනික ඒක කරන්නම ඕනෙම නම් ඔයිට වඩා ටිකක් ඩීසන්ට් විදිහකට ඒක කරන්න තිබ්බ. 

අන්තිමට අර කැසට් වල රූප තිරය හරහා යවන එක... අනවශ්‍යයම වැඩක්. මුලු චිත්‍රපටයේම රිදම් එක විනාස වෙන විදිහෙ ඒ වගේ වැඩක් කරන්න හිතුවෙ ඇයි කියලවත් හිතාගන්න අමාරුයි. ඒ ටික ෆිල්ම් එකේ නාමාවලියට දාන්න තිබ්බනෙ ෆිල්ම් එක ඇතුලට නොදා.

මේක කොහොමත් වෘතාන්තමය ගතියට වඩා නිකං ඩොකියුමෙන්ට්‍රි ගතියක් එනවා අන්තිමට යද්දි.  කොහොමත් මුල් හරියෙත් කතාවක් කියල දෙයක් ගොඩනගන්න උත්සාහ කරන්නෙත් නෑ. ඒ ඒ සින්දුව ප්ලේස් කරගන්න සීන් ටිකක් එකට ගලපලා මිසක් මිල්ටන් කියන මනුස්සයව චරිතයක් විදිහට ගොඩනැගීමක් කරන්න උත්සාහ කරන්නෙ නෑ. ඒ නිසයි කිව්වෙ රොෂාන් වගේ නලුවෙක්ට මේකෙ කරන්න දෙයක් නෑ කියල.

කොහොම උනත් ඉතිං මිල්ටන් මල්ලවආරච්චිගෙ සින්දු අහන්න කැමැති නම් අහගෙන ඉන්න පුලුවන් චිත්‍රපටියක් කියල කියන්න පුලුවන්.

Monday, January 5, 2026

මෝඩ තරිඳු

 මම මෝඩ තරිඳු බැලුවා ජනවාරි පලවෙනිදා. තාමත් සෙනඟ ඉන්නවා ඒකට. දැන් මේක ගොඩක් අය බලල ඇතිනෙ, ඒ කියන්නෙ බලන්න ආසාවක් තියෙන උන් දැන් මේක බලල ඇති. මම මේක ගැන මට හිතෙන දේවල් ටිකක් කියන්නම්, හැබැයි ඒ ටික කියන්න කතාව ස්පොයිල් කරන්න වෙනවා. දැන් මේක ඇවිත් ගොඩක් කල් නිසා චිත්‍රපටිය බලපු උන් එක්ක කතා කරන්න පුළුවන් නෙ. අලුත් පිට ස්පොයිල් කරන එක හරි නෑනෙ.

එහෙනං මේක බලපු උන් සහ ලොවෙත් බලන්නෙම නැ
ති උන් විතරක් පහළට කියවන්න, මොකද බලන්න ඉන්නව නම් ස්පොයිල් නොකරගත යුතුම ෆිල්ම් එකක් තමා මෝඩ තරිඳු කියන්නෙ.....


එහෙනං ඔන්න major spoilers ahead.... ⚠️️⚠️️


මුලින්ම කියන්න ඕනෙ මේක සල්ලි දීලා බැලුවට කිසිම පාඩුවක් නැති , ගෙවන මුදලට සාධාරණයක් කරන චිත්‍රපටියක්. සහ සාමාන්‍ය මනුස්සයෙක්ට නම් බැලුවම හිනා යනවා මටත් හිනා ගියා. හැබැයි මට හිතුනෙ මේ ෆිල්ම් එකේ ඒ ඔරිජිනල් කතාව මීටත් වඩා ලස්සනට ගොඩ නගන්න සහ රූපමය පැත්තෙන් මීට වඩා දෙයක් ෆිල්ම් එක ඇතුලෙ කරන්න තිබ්බය කියලා. නිකං ඔප නොදාපු මැණිකක් වගේ. වටිනව තමා. හැබැයි තව පොඩ්ඩක් මහන්සි උනා නම් තව වටිනාකම සෑහෙන ගුණයකින් වැඩි කරගන්න තිබ්බා. 

ඔන්න මැණිකක් කියලා පැහැදිලිවම කිව්වා හොඳේ. ඉතිං පහළ ටික කියවල මට බණින්න එපා. මම දැන් කියන්න යන්නෙ මේකෙ හොඳ නෙවෙයි මම දැක්ක අඩුපාඩු සහ අවුල් සහගත තැන් ටිකක්. සමහර විට මට යම් යම් දේවල් මග ඇරුණු නිසා නොතේරුනු තැනුත් ඇති. ඒවා දැක්කොත් කියන්න.

දැන් මේ ෆිල්ම් එක බලන්න යන්න කලින්ම ඕකෙ ආච්චි මැරිලා ඒ මැරිච්ච ආච්චි තමා ෆිල්ම් එක පුරාවට ඉන්නෙ කියන කාරණය මට ස්පොයිල් වෙලාමයි තිබ්බෙ. ඒක දැනගෙන තමා මම ඕක බැලුවෙ.  හැබැයි එච්චරයි. වෙන මුකුත් මම දැනන් හිටියේ නෑ. බොහොම අමාරුවෙන් ස්පොයිල් නොකරගෙන තියාගත්තා අනිවා බලනවා කියලා හිටිය නිසා. ඒ නිසාම මේකෙ මේන් කැරැක්ට එක, තරිඳු වතුරෙ ගිලිලා මැරෙන එක ටෝටල් සර්ප්‍රයිස් එකක් වුනා මට. ඌ මැරෙනව කියලා හීනෙකින්වත් හිතුවෙ නෑ. 

දැන් ඔය තරිඳු මැරෙන එකෙන් තමා, මේ ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ සහ ෆිල්ම් එක කොමඩියක් බවට පත් වීම ඇරඹෙන්නෙ. මම හරි නේද? ඔය මළවුන්ගේ ලෝකය එක්ක වෙන අතිච්ඡාදණය නොවෙන්න, ඔය ෆිල්ම් එකේ හිනාවෙන්න කතාවක් නෑ. ඒ මළගිය ප්‍රාණකාරයින් ටික පැත්තකට කළොත් මේක ඇත්තටම ට්‍රැජඩියක්නෙ. තරුණ කොල්ලෙක් අකාලෙ , නිරපරාදේ මැරෙනව.  

අපි ෆිල්ම් එකක් බලන්න යනකොට මේක කොමඩියක්නෙ, අපි හිනා වෙන්න ඕනෙ කියලා යන් නෑනෙ , අපිට හිනා ගියොත් ෆිල්ම් එක කොමඩියක් විදියට සලකන්න පුළුවන් මිසක්, ෆිල්ම් එක කොමඩියක් කියලා සැලකෙන නිසා බලන උන් හිනා වෙන්න ඕනෙ කියලා දෙයක් නෑනෙ. එතකොට මේ ෆිල්ම් එක අර ඉස්සර ආපු ටෙනිසන් කුරේලා ඉන්න ජාතියෙ කොමඩි ෆිල්ම් එකක් නෙවෙයි. මේක ටිකක් සිකුරු හතේ  වගේ එකක්. මේ කතාව බොහොම සාමාන්‍ය මේ අපි ජීවත් වෙන ලෝකයේ සිද්දවෙන කතාවක්. මේ අපි දන්න ලොකේෂන්වල, අපි ඉන්න වර්තමාන කාලයේම වෙන එකක්. මේ සාමාන්‍ය කතාවට ෆැන්ටසිමය බව එකතු වෙන්නෙ අර මළවුන්ගෙ ලෝකය එක්ක එකතු කිරීමෙන්. ඒ  මළවුන්ගේ  කමෙන්ට්වලට හැසිරීම් වලට තමා අපි හිනා වෙන්නෙ. ඒකෙනුත් ඇත්තටම අර ආච්චි කියන දෙබස්වලට තමා අපිට හිනා යන්නෙ. ඇත්තටම ෆිල්ම් එකේ කොමඩික් බව සීයට අනූවක්ම වගේ එන්නෙ ආච්චිගෙ දෙබස් වලින්.

එතකොට ඒවට අපි හිනා වුනාට ඇත්තටම ෆිල්ම් එකේ කතාව යන්නෙ හදිසි මරණයක් සහ මළ ගෙයක් වටා. ඔන්න ඔතෙන්දි, මේක කොමඩි ෆිල්ම් එකක්, මේක මිනිස්සු බලන්නෙ හිනා වෙන්නනෙ කියලා හිතලා, කරපු යම් යම් දේවල් නිසා ඒ සාමාන්‍ය ලෝකයේ යන කතාවෙ ගොඩක් සිදුවීම්වලට ටිකක් අභව්‍ය ගතියක් ආරෝපණය වෙලා තියෙන බව පේනව.

මුලින්ම ගමුකො තරිඳුව මැරෙන සීන් එකම. ඔතනින්නෙ ඇත්තටම කතාව පටන් ගන්නෙ. ඇත්තටම උඹලට ඒක සාමාන්‍යයි වගේ හිතෙනවද?  ඇත්තටම එහෙම කොල්ලො කෙල්ලො ටිකක් ට්‍රිප් ගියාම ඔන්න එකෙක් පීනන්නත් දන් නැතුව වතුරට පනිනවා. ඌට පනින්න ලොකු හේතුවකුත් නෑ. මේ ෆිල්ම් එකේ කිසිම තැනක ඒකට සාධාරණ හේතුවක් දෙන්නෙත් නෑ, ඇත්තටම අපිට කතාව ඉස්සරහට යද්දී හිතෙනව අපි නොදන්න, ඒත් අර කෙල්ලත් සම්බන්ධ මොකක් හරි සිද්ධියක් තියෙනවා ඇති කියලා ඌට එවෙලෙ වතුරට පනින්න. මොකද කෙල්ල කොල්ල මැරුනට පස්සෙ විශේෂයෙන් කිය කිය අඬනවනෙ තරිඳු මැරුනෙ මං හින්දය කියලත්. එතකොට ඇත්තටම මට හිතුනා මේකි මොකක් හරි අරූට කියලා , ඒ කියන්නෙ නිකං 'ආදරෙයි නම් පැනල පෙන්නන්න' වගේ දෙයක් හෝ එහෙම ඇඟවීමක් හරි කරපු නිසයි අරූ අර විදිහට පැන්නෙ කියලා. ඒත් ඇත්තටම බැලුවම එහෙම මුකුත් නෑ. ඌ නිකංමයි පැනල තියෙන්නෙ.  ඌ වතුරට පනිනකොට රතු මේස් දෙකකුත් දාගෙන පනින්නෙ. මොකද මන්දා ඒ... අසාමාන්‍යයි. හරි ඉතිං පැන්නයි කියමුකො. ඒක මහා ලොකු දිය ඇල්ලකුත් නෙවෙයි. පොඩි වතුර වළක් වගේනෙ. එතන උගෙ "බොක්කෙ"  , හෝ අඩුගානේ එහෙම කියලා ඌ හිතන, යාලුවො තුන් දෙනෙක් සහ ඔක්කොම කොල්ලො හතරක් ඉන්නව. ඒත් උන් ලොකුවට කලබල වෙන්නෙවත් නෑ වගේ.

කොහොම හරි පස්සෙ අරූ ගලක් උඩ ඒ කියන්නෙ මැරිලා, නැගිටිද්දි ඒක ටෝටල් සප්‍රයිස් එකක් වෙන්නෙ, අපිටත් පුදුමයි අර පොඩි වතුර වලේ මූ ගිලලා මළාද, ඒ මැරෙනකල්ම උගේ යාලුවො කිසිම දෙයක් කලේ නැද්ද කියලා. මොකද මැරෙන්න තරම් ඒ සීන් එක බරපතළ විදිහට ගොඩ නැගෙන්නෙ නෑ එතන. ඇත්තටම අරූ මළා කියලා කිහිපසැරයක් කිව්වම ඉතිං අපිත් පිළිගන්නවා හා එහෙනං මළා කියලා. එච්චරයි.

කොහොම හරි ඊට පස්සෙ මූ ගෙදර එනවනෙ. එතකොට ඔන්න මළ ගේ තියෙනවා. එතනදි තමා තරිඳුට ප්‍රත්‍යක්ෂ වෙන්නෙ ඌ මැරිලා,නොහොත්  මම මැරි ලා කියන එක... කොමඩිය පොඩ්ඩකට පැත්තකින් තිබ්බොත් මේක සිරා සීන් එකක්නෙ. නිකමට හිතපන් උඹට උනා කියලා... මං දන්නෑ මට නම් එවෙලෙ හිතුනා යකෝ මේක මට උනා නම් කියලා. හිනා වෙනවද අඬනවද තේරෙන් නැති මොකක්ද මන්ද අමුතු ෆීලින් එකක්. ඇත්තටම මේ ෆිල්ම් එකේ බිල්ඩ් අප් කරන්න තිබ්බ පැත්තක් ඒක. හැබැයි "මේ ෆිල්ම් එක අපි හදන්නෙ මිනිස්සුන්ට හිනා වෙවී බලන්න මිසක් සිරා ගන්න නෙවෙයි" කියලා මූලික තීරණයක ඉඳලා හදපු නිසාද මන්දා මේ වගේ ඉමෝෂනල් දේවල් මග ඇරලා ෆිල්ම් එක කොමඩියක් විදියටම ඉස්සරහට යනවා. ඒත් පොඩ්ඩක් මතක් කරගන්නකො අර "මචං" එකේ එකෙක් අර සොහොනක් ගාව උගේ පවුලෙ උන් ටික ඌම වළලපු විදිහ කියන ස්පීච් එක... අන්න ඒක හොඳ උදාහරණයක්. මචං අපි හිනා වෙවී බැලුවට ඒ සීන් එක නිකං ප්‍රේක්ෂකයව උස්සල අනිත් පැත්ත ගහන සීන් එකක්. එක ක්ෂණයකින් හිනා වෙවී හිටිය උන් ඉමෝෂනල් වෙනවා. ඒ සීන් එක ජීවිතේටම අමතක වෙන් නැති මූවි මොමන්ට් එකක් වෙනවා. ඉතිං මේ තරිඳුගෙ තියෙන මෝඩ කමටද මන්දා මේ ෆිල්ම් එකේ ඒ වගේ තැන් කිහිපයක්ම තිබ්බත්, මේක හිනා යන ෆිල්ම් එකක්නෙ කියලා ඒව උඩින් පැනලා ගිය ගතියක් තියෙනවා. මට හිතුනෙ නම් අපරාදෙ. 

දැන් තරිඳු තමන්ගෙම මිනිය ගාවට එනවා. එතකොට පාන්දර දෙකට විතර ඇති. මිනිය තියල තියෙන සාලේ කවුරුත් නෑ.  ගේ ඇතුලෙ කාමරේක අම්මයි තාත්තයි නිදි. නිදි කියන්නෙ මහන්සියට නින්ද ගිහින්.  හැබැයි....  හැබැයි මේකයි, ඔය වයසෙ කොල්ලෙක් ඔය වගේ ට්‍රැජික් ඇක්සිඩන්ට් එකකින් මළාම මේ අපි ජීවත් වෙන ලංකාවේ, මේ අපි ඉන්න වර්තමාන කාලයේ, ඔය වගේ ගමක මධ්‍යම පාන්තික පවුලක, ඔය වගේ මළගෙයක කවදාවත් මිනිය ඔහොම තනි කරන් නෑ. ඔයිට වඩා ඕන තරම් සෙනඟ ඉන්නවා. සහ, කොල්ලගෙ අම්මට මහන්සියට නින්ද ගියත් තාත්තෙක්ට එහෙම නින්ද යන් නෑ... එතන තාත්තා කඳුලු පුරෝගෙන පුතාගෙ මිනිය දිහා සාලෙ කෙළවර පුටුවකට වෙලා බලන් ඉන්න වගේ සීන් එකක් නිකමට දැම්ම නම්, ඒ තාත්තගෙ කැරැක්ට එකට සහ සම්පූර්ණ ෆිල්ම් එකටත් පොඩි ගැඹුරක් එකතු කරන්න තිබ්බ. ඒ නැතත් ඉතිං උගේ ගමේ මිනිස්සු නෑයො නැද්ද?  ඉස්කෝලෙ යාලුවො නැද්ද? ඉන්පස්සේ අර ටෙක් එකේ උගෙ යාලුවො තුන් දෙනාගෙ හැසිරීම අභ්‍යවය නැද්ද? එහෙම තමන් එක්ක එක බත් පත කාපු එකා, උන් එක්කම ගිය ට්‍රිප් එකක ගිලිල මැරිලා, උන් පහුවදා උගෙ මිනිය ගෙදර තියෙද්දි සල්ලි ඔට්ටුවට බූරු ගහනව? තුන්දෙනාම? අඩුගානේ හෘද සාක්ෂියක්, ආත්මයක් පොඩ්ඩක් හරි තියෙන එකෙක් හිටියෙම නැද්ද? ඒ සීන් එකෙන් "ඕන් ඔහොමයි යාලුවො" කියලා පෙන්නන්න වෙන්නැති හදන්න ඇත්තෙ. ඒත් චොරම යාලුවො උනත් ඔහොම හැසිරෙන් නෑ. ඒ අතින් ඇත්තටම ඒක ටූ මච්. අඩුම හත්දවසෙ තුන් මාසෙ දානෙ වගේ නම් කමක් නෑ , මේ මරුණු දවසට පහුවදා...

තව දෙයක්, ඔය මළ ගෙදර සහ විශේෂයෙන් අර ටෙක් කොලේජ් එකේ සීන් වලදි නෝටිස් වෙච්චි දෙයක් තමා extras අඩුවෙන් භාවිතා කිරීම නිසා, (බජට් කේස් නිසා වෙන්න ඇති,) ඒ තැන් වල පොඩි පාළු ගතියක් තිබ්බා. සෙනඟ ගැවසියයුතු තැන්වලත් නිකං නිවාඩු වගේ. හැබැයි ඒක ලොකු අවුලක් නෑ ඉතිං.

ආ අනික් කාරණේ තමා, දැන් තරිඳුගෙ ඒ යාළු කෙල්ලගෙ හැසිරීම. මොකක්ද ඒකෙ තිබ්බ ලොජික් එක කියලා පැහැදිලි කිරීමක් නෑනෙ. ඇත්තටම ඇයි ඒ කෙල්ල තරිඳු එක්ක යාළු වුනේ? ආච්චිට අනුව නම් ඒකි මුල ඉඳලම කරල තියෙන්නේ බොරුව. මම අහන්නෙ ඇයි එහෙම බොරු කරන්න ඒකිට තිබ්බ අවශ්‍යතාවය? තමන්ට හැම අතින්ම ගැලපෙන කොල්ලෙක් මුල සිටම හිටියා නම්, ඒ කොල්ලත් තමන්ට කැමති නම් , වෙනත් කොල්ලෙක් එක්ක යාලුවෙන්නෙ මොකක් හරි වාසියකටනෙ. දැන් ඒ කෙල්ල තරිඳු එක්ක යාලුවුනේ ඇයි? ඌ අරූ තරම් හැන්සමුත් නැ, සල්ලිත් නෑ, ඊටත් ගොනා වගේ බොනව, ගොන් යාලුවොත් ඉන්නව, අරූට ස්කූටරයක් හරි තියෙනවා මූට එහෙමත් නෑ, අරූ කොලේජ් එකේ කරන්නෙත් මූට වඩා හොඳ කෝස් එකක්. ඒ කියන්නෙ අනාගතයේ හොඳ රස්සාවකුත් තියෙයි අරූට. ඒ තියෙද්දිත් බොහොම දුක් කරදර විඳ විඳ තරිඳුව නිල කොල්ලා විදිහට මේන් ටේන් කරන ගමන්, අර ඇත්තටම ආදරය කරන එකා හොරාට තියාගෙන මාර කට්ටක් කනව. ස්කූටරේ යන්න තියෙන එක හෝල්ට් එකක් බස් එකේ යනව. මොකටද ඒ? මොකක්ද ඒකිට ලැබෙන වාසිය ? සහ මළැයින් පස්සෙ ඒකි ඇත්තටම අඬනවා. සහ එයා නිසාද මැරුණේ කියලා වද වෙනවා. එක අතකට බැලුවම අර ගෝත යාලුවොන්ට වඩා ඒකි හොඳයි ඒ අතින්. කොහොම හරි කතාව ඉවර වෙනකල්ම ඒ සම්බන්ධය තියාගත්තෙ ඇයි කියලා කතාවෙ කියන්නෙ නෑ.

ආ ඊට පස්සෙ අර අන්තිමට කොල්ලයි කෙල්ලයි ඩිස්ටි ඩිඩිං කරන්න, උන්ගෙම කොලේජ් එකේ ලෙක්ච හෝල් එකක් තෝරා ගැනීමත් ටිකක් විතර කේස් නේද ?  උන් දෙන්නම ඉන්නෙ බෝඩිං වල. බෝඩිං තියෙන්නෙත් එක ළඟ. ස්කූටරේ එහෙ මෙහෙත් යනවා. බීච් එකටත් ගිහිල්ලා ඉන්නව පෙන්නනවා . එහෙව් එකේ යකො අහවල් වැඩේ කරන්න තමන් ඉගෙනගන්න කොලෙජ් එකේ හෝල් අස්සෙ යන්නෙ මොකටද ඇත්තටම? එච්චර රිස්ක් එකක් අරන්? 

හරි ඔය තියෙන්නේ මේක මේ "අපි ජීවත් වෙන ලෝකයේ" සිද්දවෙන කතාවක් කියලා පෙන්නන නිසා, ඒ සන්දර්භය ඇතුළේ මම දැකපු අභව්‍ය අවස්ථාව ටිකක්.  මේක ටෙනිසන් කුරේගෙ ලෙවල් එකේ ෆිල්ම් එකක් නම් ඕවා අහන් නෑ . එතකොට ඉතිං කොහොමත් බලන්න යන්නෙත් නෑනෙ .

මීට අමතරව රඟපෑම් ගැන දැකපු දේවල් ටිකක් කියන්න ඕනෙ.  කොල්ලගෙ අම්මට ඉන්න නිල්මිණි කොට්ටගේ ගොඩක් අවස්ථා වල සාමාන්‍ය හොඳ  රංගනයක් දුන්නත් සමහර අවස්ථාවලදී "මේක කොමඩියක් නිසා මිනිස්සුන්ට හිනා යන විදිහට රඟපාන්න ඕනෙ" වගේ හිතන්න ගිහින්ද මන්දා ටිකක් ඕවර් යන ගතියක් තිබ්බා. (අර කුස්සියේ උපාලිට බණින සීන් එක) ඒ නිසා මිනිය බදාගෙන අඬනකොට පවා ඒ බොරුවටද මන්ද අඬන්නෙ කියලා හිතුන...

ඊට අමතරව අවස්ථා දෙකක් දැක්කා රඟපාන්න බැරි උන්ට පුංචි සීන් කෑලි කරන්න දීලා තියෙන. එකක් අර මළගෙදර පොඩි උන් දෙන්නෙක් කතා කරන සීන් එක. ඒ දෙන්නටම රඟපාන්න බෑ. සහ ඒ සීන් එක ඕනෙත් නෑ. අනික අර තාත්තා එක්ක මළ ගෙදර මිදුලෙ කතා කර කර ඉන්න මාමල දෙන්න. ඒ දෙන්න දෙබස් කියනව විතරයි. රඟපාන්න දන් නෑ. පොඩි සීන් එකක් උනත් ඔහොම රඟපාන්න බැරි අයව දැම්මම වෙන්නෙ, ප්‍රේක්ෂකයා ඉන්න දැහැන බිඳෙනවා. මෙන්න මුන් රඟපාන්න දඟලනවා කියලා පේන්න ගන්නවා. අර ලොකු වැදගත් කමක් හෝ හරි හමන් දෙබසක්වත් නැති චරිතෙකට දසුන් පතිරණව අරන් තිබ්බ එකේ , දෙබස් තියෙන චරිතවලට එවෙලෙට අඬගහ ගත්ත මිනිස්සුන්ට දෙබස් කියන්න දුන්නෙ ඇයි කියා නොතේරේ.

හරි. මියුසික්  ගැනත් දෙයක් කියන්නම්. අර ඩිස්ටි ඩිඩිං සීන් සඳහා අරන් තිබ්බ ක්‍රියේටිව් ඇප්‍රොච් එක නම් ටොප් නොච්. සහ ඒ මියුසික් එකත් හෙනම මතකයේ රැඳෙන ගතියක් තියෙනවා. ඒ ඇර මේකෙ  සින්දු තුනක් තිබ්බට ඒ සින්දු චිත්‍රපටය විසින් ඉල්ලා සිටින ඒවා නෙවෙයි. සින්දුත් තුනක් විතර තියෙන්න එපෑ කියලා දාලා මිසක්, සින්දු වලින් කතාවට ලොකු බලපෑමක් නෑ සහ ඒ සින්දුත් හෝල් එකෙන් එලියට එද්දි අමතක වෙන සුළුයි.

හැබැයි වෙනත් පොඩි පොඩි මියුසික් කෑලි තිබ්බා ඊට වඩා දැනෙන. සහ අර උන් ට්‍රිප් එක ගිහිල්ලා දිය ඇල්ලට ඇවිදන් යනකොට දාන මියුසික් එකයි, ඒ සීන් එක යන විදිහයි නිකං ගැළපීමක් නෑ නෑ වගේ දැනුණා.

හරි තවත් තියෙනවා ඒත් දැන් ඇති.

මම මේ ෆිල්ම් එක සෑහෙන ආසාවෙන් බැලුවා සහ සෑහෙන්න ඒ ගැන කල්පනත් කලා. ටිකක් ඕනවටත් වැඩියෙන්.  උඩ කතන්දර ඔක්කොම කිව්වෙ, ෆිල්ම් එකේ සාමාන්‍ය ලෝකයේ වෙන සිද්ධිය ගැනයි. මළවුන්ගේ ලෝකය පාට් එක අතෑරියා .  ඒ ගැන ඉතිං විවේචන කරන එක සාධාරණ නෑනෙ. ඒක කැමති විදිහට ගොඩනගන්න කතාව ලියපු කෙනාට නිදහස තියෙනවනෙ.



Friday, September 10, 2021

KON-TIKI (2012)

 ප්‍රංශ පොලිනීසියාව කියන්නෙ, ලෝක ගෝලයේ පහලට වෙන්න, දකුණු පැසිෆික් සාගරය මැද හරියෙ පිහිටල තියෙන දූපත් සමූහක්. නමෙන්ම තේරෙන විදිහට, මේක ප්‍රංශය යටතේ පාලනය වෙන, අර්ධ ස්වාධීන රාජ්‍යයක්. 

ඒත් කතන්දරේ ඒක නෙවෙයි, හැබැයි 

කතාව තේරුම් ගන්න නම්, ඒ දූපත්වල පිහිටීම ගැන අවබෝධයක් ඕනෙමයි... 

ප්‍රංශ පොලිනීසියාවෙ පිහිටීම බලපුවාම පේන්නෙ ඒකට වැඩියෙන්ම ලඟින් තියෙන්නෙ පැපුවා නිව්ගිනියාව, ෆීජි වගේ දූපත්. ඒවටත් තවත් නැඟෙනහිර දිහාට වෙන්න පැසිෆික් සාගරය මැද්දේ  හුදකලා වෙලා තියෙන දූපත් ටිකක් තමා මේ ප්‍රංශ පොලිනීසියාව. 

අනික් පැත්තෙ ඉඳල බැලුවොත්, දකුණු ඇමරිකාවට බටහිර පැත්තෙන්. හැබැයි ඒ පැත්තෙ ඉඳලා කෙනෙක් මූද හරහා එනව නම් සෑහෙන දුරක්, ඒ කියන්නෙ මූදු සැතපුම් හාරදාස් තුන්සීයක් විතර ගෙවාගෙන එන්න වෙනවා.

ඉතිං, මේ දූපත ජනාවාස වෙන්න ඒකට මිනිස්සු ඉස් ඉස්සෙල්ලාම සංක්‍රමණය වෙන්න ඇත්තෙ කොයි පැත්තෙ ඉඳලද?

දූපත් වලට බටහිරින් තියෙන පැපුවා නිව්ගිනියාව පැත්තෙ ඉඳලද? නැත්තං නැඟෙනහිර පැත්තෙන් සෑහෙන දුරින් තියෙන දකුණු ඇමරිකාවෙ ඉඳලද? 

ඕන කෙනෙකුට හිතෙන්නෙ ලඟ පැත්තෙන් එන්න ඇති කියලනෙ. 

ඒත් 1947 අවුරුද්දේදී නෝර්වීජියානු ජාතික දේශගවේෂකයෙක් සහ මානව විද්‍යාඥයෙක් වුනු තෝර් හෙයඩල් (Thor Heyerdahl) කිව්වා, එහෙම නෙවෙයි, ඒක ජනාවාස වුනේ දුර පැත්තෙන් කියල. ඔන්න එතකොට අනික් අය අභියෝග කලා, ඒක වෙන්නෙ කොහොමද ? අවුරුදු එක්දාස් පන්සීයකට විතර කලින් තිබ්බ සරල තාක්ෂණය එක්ක, ගෝත්‍රිකයන්ට පුලුවන්ද කිලෝමීටර් හත්දාහක විතර දුරක් ගෙවාගෙන ඒ පුංචි දූපත් වලට මූද හරහා එන්න කියල...

ඉතිං අර මනුස්සය මොකද කලේ? එයා කිව්වා, ඒක ඔප්පු කරන්න මම ගිහින්ම පෙන්නනම් කියල. ඒ අනුව, අවුරුදු දාස් ගානකට කලින් ගෝත්‍රික ජනතාව හදපු විදිහටම පහුරක් හදාගෙන එයා පිටත් වෙනවා දකුණු ඇමරිකාවේ පේරු වල ඉඳලා ප්‍රංශ පොලිනීසියාව බලා. ඒ වීර චාරිකාවට එයාගෙ යාලුවො ටිකකුත් එකතු වෙනවා...

ඉතිං, ඒ චාරිකාව සාර්ථක වෙයිද ? 

KON-TIKI (2012) චිත්‍රපටය බැලුවොත් ඒක දැන ගන්න පුලුවන්. බලන්න වටින ලස්සන චිත්‍රපටයක්. අනික ඉතිං මේක ඇත්ත සිද්ධියක්නෙ...

චිත්‍රපටයේ කතාව ඉඳුල් වෙන නිසා, වැඩි විස්තර කියන්න යන්නෑ.

බලපු අය විතරක් (හෝ බලල ඇවිදින්) පහළ ටික කියවන්න...

මේ චාරිකාවට ඔවුන් යොදාගත්තු පහුරට නම දැම්මේ Kon-Tiki කියලයි. (ඒ නිසාම ඒ ගැන හදපු ෆිල්ම් එකටත් ඒ නමම දාල තියෙනවා.) කොන් ටිකි කියන්නෙ, දකුණු ඇමරිකාවෙ තිබුනු පුරාණ ශිෂ්ඨාචාරයක් වෙච්චි ඉන්කා ශිෂ්ඨාචාරයේ හිරු දෙවියන් හඳුන්වන්න කියපු නමක්.

ෆිල්ම් එකේ කතාව ඇත්ත කතාවක් වුනත්, කතන්දරයක් විදිහට විචිත්‍රවත් කරන්න පොඩි දේවල් එකතු කරල අඩු කරල තියෙනවා.

ඒත්, මේ චිත්‍රපටයට පාදක වුනු, ඇත්තටම ගවේෂණ චාරිකාව ගිය ගවේෂකයා නොහොත් තෝර් හෙයඩල් (Thor Heyerdahl) විසින්ම, චාරිකාව තුළදීම රූගත කරපු දර්ශනවලින් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කළා. ඒකෙ නමත් Kon-Tiki මයි. ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වුණෙත් තෝර් මයි. ඒ වාර්තා චිත්‍රපටයට 1951 අවුරුද්දේ ඇකඩමි සම්මාන උළෙලේදී සම්මානයක් පවා ලැබුනා. ඉතිං අමුවෙන්ම ඇත්ත බලන්න ඕනෙනම්, ඒ චිත්‍රපටයත් හොයාගෙන බලන්න.

තෝර් විසින් තම ගවේෂණය අලළා, Kon-Tiki: Across the Pacific In a Raft නමින් ලියූ පොත 1948  දී පලවුනා. ඒක අලෙවි වාර්තා තැබූ පොතක් වුනා.

ඒ වගේම, තෝර් සහ ඔහුගේ යහළුවන් විසින් මෙම ගවේෂණාත්මක වීර චාරිකාව සඳහා යොදාගත් ලී කොට වලින් තැනූ පහුර, අදටත් නොර්වේහි ඔස්ලෝ නුවර, කොන් - ටිකි කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තියෙනවා...




නිදහසේ පියා DS

හම්මේ යාන්තං ඇති ලංකාවට නිදහස හම්බුනා. තව පොඩ්ඩෙන් ඒක හම්බෙන්න කලින් මට නින්ද යනව. ඒක නිසා 2x දාල බැලුවා. මුලු ලෝකෙන්ම කම්මැලිම නිදහස් සටන කරල තියෙන්නෙ අපේ රටේද කොහෙද. වාඩි වෙනවා කතා කරනව. ඊට පස්සෙ සුද්දො ටික වාඩි වෙලා ආපහු කතා කරනව. උන් සමහර වෙලාවට හොඳ සිංහලෙන් කතා කරනව. සමහර උන්ගෙ ඇක්සන්ට් එකවත් අවුලක් නෑ. (උදාහරණයක් විදිහට සිංහල උන්ම සුදු නායකයෙක්ට ගිහින් කුමන්ත්‍රණයක් ගැන කියද්දි, සුද්ද කියනව,

"ඕව දවල් හීන , කලබල වෙන්නැතුව ඉන්නවකො" කියල 😱. උන් අපිට සෙක්න්ඩ් වෙන් නෑ මෙහෙ ඉඳල ඉඳල මෙහෙටම ගොයි වෙලා.)

ඉන් පස්සෙ අර පාඩුවෙ වාඩි වෙලා වට මේස සාකච්ඡා කරපු උන් ඔක්කොම සුද්දො ඇවිත් අත්අඩංගුවට ගන්නව. එයින් එකෙක්ට වෙඩි තියල මරණව. අනේ ඇයි එහෙම ? උන් මොන වරදක් කලාටද? රටේ ඇති වුනු කෝලාහල වලට ඒ මිනිස්සුන්ගෙ අබ මල් රේණුවකවත් සම්බන්ධයක් තිබ්බ කියල හැඟෙවෙන දෙයක් මේකෙ පෙන්නන්නේ නෑ .( සමහර විට මේකෙ ඩිරෙක්ට බලන අපි ගැන  හිතන් ඉන්නෙ, "මචංල, උඹල දන්නවනෙ සීන් එක, උඹල අපි ඔක්කොම ලංකාවේ. ඉතිං , මම තැනින් තැනින් පෙන්නන්නේ බජට් එකේ හැටියට. ඉතිරි ටික අතින් දාගනිල්ලා හරිනෙ?" වගේ දෙයක්ද මන්ද.)

ඔන්න පෙන්නනව මිනිස්සු කනව, සාකච්ඡා කරනව. අනේ මෙන්න වෙඩි තියල මරණව! ආයි රබන් ගහනව. කුඹුරු කොටනව. ඔන්න ආපහු වාඩි වෙලා කනව. ඊට පස්සෙ පොඩි කාලෙ... ඉස්කෝලේ යනව. 

අනික මේ නලු නිලියො... ඩී. එස් පුංචි කාලෙ තාත්තට ඉන්නෙ ජී. ආර්. පෙරේරා . එයාම තමා ඩී. එස් බඳිනකොටත් ඒ චරිතෙට ඉන්නෙ. හැබැයි ඩී. එස් ගෙ අයිය කෙනෙකුට ඉන්නව ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ( එෆ්. ආර්. සේනානායකට), වයසට ගිහාම ඒක කරන්නෙ පාලිත සිල්වා. (මට තේරුන හැටියට ). 

ඔන්න එක පාරට පාලිත සිල්වා පෙන්නනවා. එයාට රිචඩ් කියල අනික් එකා කිව්වම අපි තේරුම් ගන්න ඕනෙ, ආහ් මේ අර රිචඩ්ම තමා මේ, එයා වයසට ගිහින් දැන් ඒ චරිතෙ කරන්නෙ මේ පාලිත සිල්වනෙ කියල . මොකද ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගෙ මූණුවර පාලිත සිල්වට ගෑවිලාවත් නෑ.

මේකෙ හැම චරිතයක්ම මුලින්ම පෙන්නද්දි ඒ චරිතයෙ නම යටින් දානව අපිට අඳුනගන්න . ඉතිං වයසට ගිහින් නලු නිලියො මාරු උනාමත් ඒක ආයි කරන්න ඕනෙ නේද ? 

නිකං ,

පාලිතව පෙන්නද්දී,

එෆ්. ආර්. සේනානායක (වයසට ගිහින්)

වගේ 🤔.

මුලින්ම ඩී. එස්. මැරෙන එක පෙන්නන්නේ. ඉන් පස්සෙ අන්තිමටත් ඒ සිද්ධිය කන්ටිනියු වෙනව. ඒක ඔය වගේ කතා වල සාමාන්‍ය ටෙක්නික් එකක්නෙ. ඒත් මැද ටික හරි මැල්ලුමක් කරන්නෙ නැතුව කරන්න තිබ්බනෙ. (Non linear narrative එකක් කියල නම් කියන්න බෑ.)

කොටින්ම මේක වාර්තා චිත්‍රපටයක්ද වෘතාන්තයක්ද කියල සැක හිතෙන තරම් අවුල් යනව. ඩි.එස්. බැක්ග්‍රවුන්ඩ් එකේ එයාගෙ ඩයරිය කියවනව වගේ දොඩවනව සෑහෙන කාලයක්. අන්තිමට අපිට ගිහින් සුද්දන්ගෙන් වැඳල ඉල්ලන්න හිතෙනව, අනේ අපිට නිදහස දීපියව් මේ මඟුල ඉවරයක් වෙන්න කියල 😁.

සල්ලි තිබ්බ පලියට, වියදම් කරපු පලියට හොඳ චිත්‍රපට හදන්න බෑ කියන එකට දර්ශීය උදාහරණයක් තමා මේක මට නම්.

ඩිස්ක්ලේමර්: කතා කලේ නිදහසේ පියා DS නම් චිත්‍රපටය පිලිබඳව මිස, ලංකාවේ සැබෑ නිදහස් සටන ගැන නොවේ.



Chewbacca ගේ කතන්දරය...

 1977 අවුරුද්දේ මුල්ම Star Wars චිත්‍රපටය රූගත කිරීම ඇරඹීමට සූදානම්ව සිටි ජෝජ් ලූකාස්ට එහි එන පිටසක්වල ජීවියෙකු වූ Chewbacca ට ගැලපෙන නලුවෙකු අවශ්‍ය කර තිබුණි.

Star Wars රසිකයන්ට නම් අමුතුවෙන් හඳුන්වා දිමේ අවශ්‍යතාවක් නැති වුවත් කෙටියෙන් කිව්වොත් Chewbacca යනු Wookiees ලෙස හැඳින්වෙන පිටසක්වල ජීව විශේෂයේ එකෙකි. 

සාමාන්‍ය මිනිසෙකුට වඩා වැඩි උසකින් යුතු මේ ජීවීයාට පණ දීමට, සාමාන්‍ය මිනිසෙකුට වැඩි උසකින් හෙබි නලුවෙකු අවශ්‍ය කර තිබුණ අතර මුලින්ම ඒ සඳහා ලූකාස් විසින් තෝරගෙන තිබුණු අඩි හයකුත් අඟල් හයක් උස ඩේවිඩ් ප්‍රවුස්, පසුව ඩාත් වේඩාර් චරිතය සඳහා තෝරාගැනීම සමඟම Chewbacca චරිතය පුරප්පාඩු විය.

අලුතින් තැනෙන Star Wars නම් චිත්‍රපටයක් සඳහා උසින් වැඩි නලුවෙක් සොයන බවට ලද ආරංචියකට, එවකට ලන්ඩනයේ කින්ග්ස් කොලේජ් රෝහලේ වාට්ටු සහයකයෙකු ලෙස රැකියාව කළ පීටර් මේහෙව් (Peter Mayhew) නැමැති උස හීන්දෑරි තරුණයෙක්, ලන්ඩන් නුවර Elstree නම් ස්ටූඩියෝවේ ඒ වෙනුවෙන් පැවති තිර පරීක්ෂණය සඳහා සහභාගී වීමට පැමිණ වාඩිවී සිටි අතර, ජෝජ් ලූකාස් පැමිණි පසු ඔහුට අතට අත දීමට පීටර් නැගී සිටි පමණින්ම, ඔහුව එසැණින් චරිතය සඳහා තෝරාගැණුනි!

එම ක්ෂණික තෝරාගැනීමේ ප්‍රධාන හේතුව වූයේ අඩි හතකුත් අඟල් තුනක් වූ පීටර්ගේ උසත්, හීන්දෑරි පෙනුමත්ය. අනික් අතට, Chewbacca චරිතය සඳහා දෙබස් නොතිබීමත්, හැඟීම්, භාව ප්‍රකාශන වැනි දෑ නොතිබීමත් නිසා, පෙනුම ප්‍රධානම සාධකය බවට ඉබේම පත්වී තිබුණි.

එසේ, එදා රෝහල් සේවකයෙකු වූ තරුණයෙකුට, දැන් ලොවක් හඳුනන චරිතයකට පණ පොවන්නට වාසනාව ගෙන දුන් අසාමාන්‍ය උස, සැබෑවටම එක්තරා ජාන විකෘතියක ප්‍රතිඵලයකි...!

මාෆාන් සහලක්ෂණය (Marfan Syndrome) ලෙස හඳුනාගෙන ඇති මේ ජානමය රෝග තත්ත්වය ඇති අයගේ සම්බන්ධක පටක එනිසා විකෘති වෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස අදාල පුදගලයාගේ අත්, පාද සහ ඇඟිලි දිගටි නම්‍යශීලී ස්වභාවයක් ගනී. මාෆාන් සහලක්ෂණය ඇත්තෙකු, එක් අතක මහපට ඇඟිල්ල සහ සුළැඟිල්ල, අනික් අතේ මැණික් කටුව වටා යවා ග්‍රහණය කළ විට, එම ඇඟිලි අතිපිහිත (overlap) වේ. මෙය එම සින්ඩ්‍රෝමය හඳුනා ගැනීමට භාවිතා වෙන සරල පරීක්ෂණයක් ලෙසද යොදාගැනේ...

හොඳයි නැවතත් පීටර් වෙත...

Chewbacca චරිතය සඳහා නිතරඟයෙන්ම තේරී පත් වූ පීටර්, චරිතයේ විස්තර දැන කියාගෙන ඊළඟට ගියේ ලන්ඩනයේ සත්තු වත්තටයි. එහි සිටි වළසුන්, වඳුරන්, ගෝරිල්ලන් වැනි සතුන් අධ්‍යයනය කළ ඔහු එම හැසිරීම් ඔස්සේ චරිතයේ ආකෘතිය ගොඩ නගා ගත් අතර Chewbacca වරින් වර නඟන ශබ්දය, ඔහුගේ විසින් නඟන හඬක් නොව විවිධ සත්ත්වයින්ගේ කෑ ගැසීම්වල කෘතිම  මිශ්‍රණයකින් පසුව එක් කරන හඬකි.

1977 පළමු Star Wars චිත්‍රපටයේ පටන් 2015 වසරේ පැමිණි Star Wars : The Force Awakens චිත්‍රපටය දක්වා නොකඩවා Chewbaccaට ඇඳි පීටර්, 2017 වසරේ තිරගත වූ Star Wars: The Last Jedi චිත්‍රපටයටත් 2018 දී Solo: A Star Wars Story චිත්‍රපටයටත් සහභාගී වූයේ නලුවෙක් ලෙස නොව උපදේශකයකු ලෙසයි. ඒ වයසත් සමඟ තම චරිතය නිරූපණය කිරීමට අපහසු බැවින්, Joonas Suotamo නම් නවක නලුවෙකුට එය බාර කරමින් ඔහුට ගුරු හරුකම් දීමටයි.

පීටර් මේහෙව්ට වෙස්වලාගත් ආශිර්වාදයක් වූ මාෆාන් සහලක්ෂණය, පුද්ගලයෙකුගේ ආයු අපේක්ෂාවට බලපෑමක් නොකරයි. එම සහලක්ෂණය සහිතව ජීවත් වෙන්නෝද සාමාන්‍ය අයු කාලයම භුක්ති විඳිති. 

1999 වසරේ විවාහ වී පසුව දරු තිදෙනකුගේ පියෙකු වී, වසර 74 ක් ආයු විඳ  පසුගිය අප්‍රේල් තිස් වෙනිදා පීටර් මේහෙව් හෘදයාබාධයකින් මෙලොව හැර ගියත් Chewbacca තුළ ඔහු සදා අමරණීය වී ඇත...



ග්‍රහලෝකයක චුම්භක ක්ෂේත්‍රය සහ The Core

 අවුරුදු ගානකට කලින් සිරසෙ ගියා The Core  කියල ෆිල්ම් එකක්. මේක ඇත්තටම සාර්ථක ෆිල්ම් එකක් නෙවෙයි. බජට් එක තරම්වත් හොයාගන්න ලැබුනෙ නැති බොක්ස් ඔෆිස් failure එකක්. හුඟක් විද්‍යාඥයෝ සහ විද්‍යාත්මක දැනුමක් තියෙන ඒක බලපු අය ඒක හඳුන්වා දීල තියෙන්නෙ එදා මෙදා තුර හැදුනු වැඩිම විද්‍යාත්මක වැරදි සහිත විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් විදිහටයි. (ඒ අතින් මේක දෙවැනි වෙන්නේ Armageddon එකට විතරයි කියලත් කියනවා.) කොහොමෙන් හරි කමක් නෑ, තොරා බේරගෙන බලන්න කියල ලොකු දේවල් ලැබුනෙ නැති ඒ කාලෙ ඔය වගේ ෆිල්ම් එකක් කියන්නෙත් ඉතිං ලොකු දෙයක්. මොනා උනත් සයන්ස් ෆික්ෂන් කිව්වම ඉතිං බලනව. ඉතිං මේකත් ආසාවෙන් බැලුව. 

මේ ෆිල්ම් එකේ කතාවෙ හැටියට, මිනිස්සුම කරන විද්‍යාත්මක පරීක්ෂණයක් අවුල් ගිහින් ලෝකෙ ගෝලෙ මැද්දෙ තියෙන ලෝදිය ගුලිය කැරකෙන එක නතර වෙනව. ඒ නිසා, ඒකෙ ප්‍රතිඵලයක් විදිහට පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය නැති වෙලා යනව. චුම්භක ක්ෂේත්‍රය නැති වෙලා යනව කියන්නෙ අවුල් ගොඩකට මුල නිසා විද්‍යාඥයෝ තීරණය කරනවා විශේෂ යන්ත්‍රයක් යොදාගෙන පොලොව මැදට හාරගෙන ගිහින් පිපිරීම් වගයක් කරල අර නතර වුනු චලිතය නැවත පණගන්වල චුම්භක ක්ෂේත්‍රය ආපහු ගන්න. 

ඉතිං බැලූ බැල්මට විද්‍යාත්මක ඇත්ත බවක් පෙනුනට ඔය කියන කතාවේ විද්‍යාත්මක අවුල් ගොඩක් තියෙනවා. තියෙනවා කියල දැන් තේරෙනවා. ඕක බලපු කාලේ, උන් තකහනියෙ පොලොව මැද්දට යන්නෙ ඇයි ? චුම්භක ක්ෂේත්‍රය නැති වුනා කියල ඔච්චර දඟලන්න ඕනෙද? වගේ ගැටලු තමා තිබුනෙ. 

හැබැයි දැන් තේරෙනවා ග්‍රහලෝකයකට චුම්භක ක්ෂේත්‍රයක් තිබීමේ වැදගත් කම. ඉතිං ඒක තේරෙන්නෙ නැති කෙනෙකුට, ඒක තේරුම් ගන්න නම් බලන්න හොඳ ටීවි සීරීස් දෙකක් තියෙනවා. එකක්, BBC එකෙන් කරපු The Planets කියන එක. අනික නැෂනල් ජියෝග්‍රැෆික් එකෙන් කරපු One Strange Rock කියන සීරීස් එක. විශේෂයෙන්ම ඔය දෙවෙනි එක නම් පෘථිවිවාසියෙක් විදිහට ඔබ අනිවාර්යයෙන් බලන්න ඕනෙම එකක්. 

හරි. එතකොට කිය කිය හිටියෙ Core ගැනනෙ. ඒ ෆිල්ම් එකේ පෙන්නන විදිහට, ලෝකේ මැද්දේ තියෙන භ්‍රමණය වෙන ලෝහමය තරලය නිසා චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා කියන එක ඇත්ත වුනාට, ඒක මිනිස්සු කරන ක්‍රියාවක් නිසා නතර වෙන එක හෝ  'රී ස්ටාට්' කරන්න පුලුවන් කියන එක ඇත්තටම විද්‍යාත්මක විහිලුවක්. මේ මුලු ලෝකෙම තියෙන න්‍යෂ්ටික බෝම්බ එකතු කරලවත් ඒක කරන්න තියා හිතන්නවත් බෑ.  

හැබැයි යම් ග්‍රහලෝකයක් සැලකුවාම කාලයක් යද්දි ඒකේ මැද්දේ  තියෙන ලෝදිය ක්‍රියාකාරිත්වය නැති වෙලා ගිහින්, ස්වභාවිකව ඕක නතර වෙන්න පුලුවන්. ඔය අඟහරු ලෝකය කියන්නෙ එහෙම නතර වෙච්චි ග්‍රහලෝකයක් කියල තමා කියන්නෙ (අර ටීවි සීරීස් දෙකෙන් ලබා ගත් දැනුම 🤗)  එහෙම නතර වුනාම ඒ ග්‍රහලෝකයේ මතුපිට තියෙන ගිනිකඳු වගේ දේවලුත් නතර වෙනව. මැද්දේ වැඩ නෑ කියල හොයාගන්න පුලුවන් ක්‍රමයක් ඒක. අඟහරු වල තියෙන්නේ ඉස්සර සක්‍රීයව තිබ්බ දැන් මියගිය ගිනිකඳු. දැන් ලාවා ගලන්නෙ නෑ. ග්‍රහලෝකය මැද්දේ චලනය වෙන ද්‍රවමය ලෝහ නැති නිසා, ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඇතිවෙන චුම්බක ක්ෂේත්‍රයකුත් නෑ. චුම්භක ක්ෂේත්‍රයක් නැති නිසා සූර්යයාගෙන් විහිදෙන සූර්‍ය සුලං වලට ඒ ග්‍රහලෝකයේ වායුගෝලය කෙලින්ම නිරාවරණය වෙනව. ප්‍රතිඵලයක් විදිහට ජීවයක් ඇති වෙන්නත් බැරි, ජීවීන්ට ඉන්නත් බැරි තත්ත්වයක් ඇති වෙනව. වායුගෝලයේ පැවැත්මටත් මේක බලපානව. ද්‍රව ජලය ග්‍රහලෝකය මත රඳා පවතින එකටත් ඒක බලපානව. ඉතිං චුම්භක ක්ෂේත්‍රයක් නැති වෙච්චි ග්‍රහලෝකයක් කාලයක් යද්දී ටික ටික මැරිල යනව. ද්‍රව ජලය වාෂ්ප වෙලා, ජීවයක් තිබ්බ නම් ඒකත් නැති වෙලා යයි. අඟහරු ලෝකෙ ඉස්සර ගංඟා තිබුනා කියල පේන්න තියෙනවා. දැන් ඒව නෑ. ඒ වතුර වාෂ්ප වෙලා ගිහින්.

ඒත් අපි ඉන්න ග්‍රහලෝකයේ දෙයියනේ කියල මැද්දේ සක්‍රීය ලෝදිය තියෙනවා. ඒකෙ නිසා, ඒ කියන්නෙ සන්නායකතාවක් තියෙන දෙයක් චලනය වෙන නිසා, ඇති වෙන චුම්භක ක්ෂේත්‍රයක් තියෙනවා. මේ නිසා 'ඉරෙන් එන හුලං' වලින් අපිට ලොකු කරදරයක් නෑ. ඒවා කෙලින්ම ග්‍රහලෝකයේ පෘෂ්ඨයේ වදින්නෙ නැතුව චුම්භක ක්ෂේත්‍රයට අනුගතව විහිදිලා වටෙන් යනව. ඒ සූර්‍ය සුලං වල තියෙන අංශු අර චුම්භක ක්ෂේත්‍රයේ ධ්‍රැව පිහිටන ලෝක ගෝලේ ඉහළ සහ පහළ තැන් වලදී වායුගෝලයේ ඇති නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරල අහසේ පාට පාට රටා පේනව. ඒව තමා අවුරෝරා කියල කියන්නෙ. 

ඔන්න වගේ ලස්සන කාරණා ගොඩක් දැන ගන්න පුලුවන් , අර කිව්ව ටීවි සීරීස් දෙක බැලුවොත්.

අර ෆිල්ම් එකත් බලන්න බලල නැත්තං. හැබැයි ඒක එච්චර සීරියස් ගන්න එපා. මොකද ඒකෙ පෙන්නන විදිහට ග්‍රහලෝකයක තියෙන චුම්භක ක්ෂේත්‍රයක් ඒ විදිහට සෙනිකව හුචස් වෙලා යන්න නම් ලොවෙත් විදිහක් නෑ. එහෙම වුනත්, ඒකෙ පෙන්නන විදිහට ඒක නතර වුනු ගමන්ම හෙණ පාත් වෙනව වගේ සූර්‍ය කුණාටු, විකිරණ කදම්බ එන්නෙ නෑ. ඒක වසර ගණනාවක් තිස්සෙ ක්‍රමයෙන් වෙන ක්‍රියාවලියක්. ඒක ෆිල්ම් එකක් නිසා, බලන උන්ට ආතල් එකක් දෙන්න ඕනෙ නිසා, ඒ තත්ත්වය අතිශෝක්තියට නංවල තියෙනවා උපරිමෙන්.

(ග්‍රහලෝකයක චුම්භක ක්ෂේත්‍රය ඇතිවෙන එක කියන්න පුලුවන් තරම් කෙටියෙන් කිව්වෙ. එකෙ තව ගොඩක් කතන්දර තියෙනවා. පුලුවන් නම් කොරියෝලිස් ආචරණය ගැනත් හොයල බලන්න.)




කොපියක් නේද ?

හුස්ම කියන්නෙ අහවල් ෆිල්ම් එකේ කොපියක් කියන එක පිළිබඳව මේ වෙන විට ඔයා දැනුවත් වෙලා නැත්තං, ඒ කියන්නෙ ඔයා චිත්‍රපටි ගැන ලොකු උනන්දුවක් තියෙන කෙනෙක් නෙවෙයි.

හරි ඉතිං කොහොම හරි ඒක කොපියක් තමා. දැන් අදහස් දෙකක් තියෙනවනෙ ඔය ගැන;

කට්ටියක් කියන්නෙ කොපි කරල හරි ඔය මට්ටමට හදපු එක හොඳයි . කොපි කරන එක උනත් ලස්සනට කරල තියෙනවා කියන එක.

තව කට්ටියක් එකෙන්ම ඒකට විරුද්ධයි. කොච්චර ලස්සනට තිබ්බත් ඒ ලස්සනට හේතුව කලින් එකක් එහෙම් පිටින්ම කොපි කිරීම මිසක් වෙන අමුතු දෙයක් නෑ කියන එක තමා එයාලගෙ පොයින්ට් එක.

මගේ අදහස නම් චිත්‍රපට කොපි කලාට කමක් නෑ. කොපි කරනව කියන එක සවුත්තුයි වගේ නම් අභාසය වගේ දෙයක් ගත්තත් අවුලක් නෑ 😜. හැබැයි ඔය දෙකම කරන වැදගත් විදිහ තමා මුල් නිර්මාණයට ක්‍රෙඩිට්ස් දීල කරන එක.

දැන් ඕක කොපි කරල හරි ඔය විදිහට කරපු එක හොඳයි කියල කියන අය ගේන සරල තර්කයක් තමා, හොලිවුඩ් ෆිල්ම්ස් වුනත් සැලකිය යුතු ප්‍රමාණයක් වෙන රටවල් වල හැදුනු චිත්‍රපට වල කතාව අරගෙන, "ආබාසය" අරගෙන හදපුව කියන එක. උදාහරණයක් හැටියට හොලිවුඩ් හොරර් ෆිල්ම් සැලකිය යුතු ප්‍රමාණයක් ජපන් ෆිල්ම්ස් වල කොපි.

හැබැයි මෙතෙන්දි වෙනසක් තියෙනවා. හොලිවුඩ් වල චිත්‍රපටයක් හදද්දී එයාල ඒක කරන්නෙ වෙන මොකක් හරි නාට්‍යයක්, වේදිකා නාට්‍යයක්, ෆිල්ම් එකක්, නවකතාවක්, කෙටි කතාවක් හෝ මෙකී නොකී මොනයම් හෝ මින් පෙර නිපදවුනු නිර්මාණයක් පාදක කරගෙන නම් ඒ නිර්මාණයට ක්‍රෙඩිට්ස් දෙනව. ෆිල්ම් එකක් ඉවර වෙච්ච ගමන් වහල නොදා නාමාවලිය ඉවර වෙනකම් බලනව නම් බොහෝවිට නාමාවලිය කෙලවරේ හෝ මේක අහවල් එක ඇසුරෙන් හදපු එකක්ය කියල දානව. එහෙම නොදානවම් බොහෝවිට අදාළ මුල් කතුවරයට, නිර්මාණකරුවට මුදල් ගෙවල නිර්මාණ අයිතිය ලබාගෙන නිසා තමා නොදා ඉන්නෙ මොකද එතකොට දාන්නම කියල නියමයක් නෑ.

හැබැයි එහෙම නොදා චුට්ටක් හරි කොපි කලාය කියල ඔප්පු උනොත් ඉතිං ඩොලර් මිලියන ගණන් වලින් තමා වන්දි ගෙවන්න වෙන්නෙ. (මේ ළඟදී කැටී පෙරීට එහෙම ඩොලර් මිලියන දෙක හමාරක් ගෙවන්න උනා වැඩිය ප්‍රසිද්ධ නැති ගායකයෙක්ගෙ සින්දුවක තියෙන "බීට් කෑල්ලක් " එයා තමන්ගෙ Dark Horse කියන සින්දුවට පාවිච්චි කලා කියල ඔප්පු වෙලා.)

හැබැයි ලංකාවේ එහෙම නීත්‍යානුකූල දේවල් වෙන්නේ ලංකාවේම නිර්මාණය වෙච්ච දෙයක් ලංකාවේ තව කෙනෙක් කොපි කරනව නම් විතරයි. මොකද එහෙම නොකලොත් අර මුල් එක හදපු එකා පස්සෙන් එලෝගෙන ඇවිත් ඔලුව කනව කියල දන්නවනෙ. ඌත් ලංකාවේ මූත් ලංකාවේ නිසා හොර වැඩ කරන්න බයයි. හැබැයි ලෝක මට්ටමෙන් හදපු එව්වට එහෙම කලා කියල උන් පස්සෙන් එලෝගෙන එන් නැති බව මෙයාල දන්නව. ඒ නිසා බලපු එවුන් මේක අහවල් එකේ කොපියක් කියල තේරුම් ගත්තොත් මිසක් ඒක කොපියක් බව නිල වශයෙන් සඳහන් වෙන තැනක් නෑ.

මේව සවුත්තු වැඩ... සහ ලංකාව වගේ රටවල් වලට ලාක්ෂණික ගති සිරිත්...

ඒ කියන්නෙ හොරකම් කරන්න අවස්තාවක් තියෙනවා කියල පෙනුනාම වැදගත් විදිහට හොරකම් කරගැනීමේ කලාව.

මීට කාලෙකට කලින් අර ස්වර්ණවාහිනියෙ නාට්ටයක් ගියා, තුර්කි ටෙලිනාට්‍යක් අමුවෙන්ම කොපි කරල. නමුත් ඒක හදපු කෙනාගෙන් ඒක කෙලින්ම ප්‍රශ්නයක් විදිහට අහපු වෙලේවත් ඌ පිලිගත්තෙ නෑ ඒක කොපියක් කියල. එයා එහෙම තුර්කි නාට්‍යයක් තියෙනවා කියල දන්නෙවත් නෑලු. (සිරි ලංකාවේ ලාක්ෂණික ගතිය)

ඉස්සර (සහ දැනුත් යනව ද මන්ද) ITN එකේ ගිය හඬ කවපු "ළමා චිත්‍රපට"... ඒවත් මේ ගොඩේම තමා. වැදගත් හොරකම්.

ඒවට සිංහල හඬකවල තියෙන්නෙ හරි පාරෙ ගිහින් නෙවෙයි බව ඇහුවම තේරෙනව. සමහර ඒව කරෝකි මෝඩ් එකට දාල උඩින් සිංහල අලෝල වගේ පේන්නෙ. ඒත් ලංකාවේ අයට ඔව්ව එච්චරම ගානක් නෑ. ඔය මොනා හරි රත් කරල දුන්නම, පිළුණු උනත් කන ජාතියක් කියල දන්න නිසා, පොඩි උනුත් ඒ ජාතියෙම කියල දන්න නිසා, උන්ට ඉස්කෝලේ නිවාඩු දවසට උදේට කන්න ෂෝට් ඊට්ස් වගේ ඔය හොලිවුඩ් ෆිල්ම් වල ඩීවීඩි ටිකක් හොයාගෙන ලාබෙට හඬ කවෝල දෙනව කාපං කියල.

ඒ අතින් ඔය වැඩේ වැදගත් විදිහට කලේ සිරස. (ඊට කලින් ජාතික රූපවාහිනිය කළ බව ගෞරවයෙන් සිහිපත් කරමු.) මට මතකයි එක සැරයක් ඔය ස්කූබි ඩූ හඬ කවපු විදිහ ගැන වැඩසටහනක් ගියා. ඒකෙ කියපු හැටියට, ලංකාවේ ස්කූබි ඩූ සිංහලෙන් පෙන්වීමේ නිල අයිතිය එයාල මුලින්ම අරගත්තලු. ඉන්පස්සේ එක එක චරිතය සඳහා හඬ දෙන්න බලාපොරොත්තු වෙන නලු නිලියන්ගේ හඬ සාම්පල් වෝනර් බ්‍රදර්ස්ලගෙ ස්ටුඩියෝ එකට යවල තියෙනව. එහෙන් ඒ ඒ හඬවල් අදාළ චරිතය සඳහා ගැලපෙනවා කියල අනුමත කළැයින් පස්සෙ තමා හඬකවන්න පටන් අරං තියෙන්නෙ. හරියට කරනව නම් ටිකක් බරපතල වැඩක්. හැබැයි පිලිවෙළට කළාට පස්සෙ වැඩේ ලස්සනයි. පිරිසිදුයි. ඓතිහාසිකයි...

ලංකාවේ කොපි කරපුවාට උදාහරණ නම් අනන්තයි අප්‍රමාණයි. ඇත්තටම ඊට වඩා ලේසියි ලංකාවේ ස්වතන්ත්‍ර නිර්මාණ ටික මෙන්න මෙව්ව කියල පැත්තට කරල, ඉතිරි ටික කොපි කියල වර්ග කරන එක.

ඉතිං අවසානයේ කියන්න තියෙන්නෙ කොපියක් ගහන එකේ වැරැද්දක් නෑ. හැබැයි දෙයියනේ කියල ඒක හරියට කරන්න. ඒ කියන්නෙ සදාචාරාත්මක විදිහට මුල් නිර්මාණ කරුවන්ට කියල එයාලගෙ අවසරය ලබාගෙන, ගෙවන්න ඕනෙනම් ගෙවල...

එහෙමත් බැරි නම් අඩුගානේ තමන්ගෙ නිර්මාණය අහවල් එකේ කොපියක් නේද කියල ඇහුවමවත් "ඔව්" කියල පිළිගන්න නිහතමානී වෙන්න. ඒකත් බැරි නම් ඉතිං කළාකරුවෙක් කියල කියන්නෙ කොහොමද ?