Wednesday, September 30, 2026

ගිනි අවි සහ ගිනි කෙළි Chapter 2

මේ ෆිල්ම් එක හෝල් එකට ගිහිල්ලා බලන්න තරම් දෙයක් නෙවෙයි කියලා නම් මොකක්ද ඉවකින් වගේ දැනුණා.  ඒ නිසා එහෙම ගියෙ නෑ. පස්සෙ හොයගෙන නොමිලේ බැලුවෙ. ඒ බැලුවෙත් මේකෙ පළවෙනි එක ආසාවෙන් බලපු නිසා ඒකට කරන සැළකිල්ලක් විදිහට.

මේක පටන් ගනිද්දිම යන්නෙ මුල් ෆිල්ම් එකේ සුප්‍රකට දිවි මකුළු ඇස ගීතය එක්ක ඒ නලු නිලියන්ගෙ රූප. ඒකෙන් දෙන ලොකුම පණිවිඩයක් තිබ්බා පටන් ගනිද්දිම. ඒ තමා, මීට වඩා දෙයක් උබලට මේකෙ බලන්න නෑ මේ තමා උපරිමේ... කියන එක. ඇත්තටම ඒ නාමාවලියෙ යන අර පරණ මුල් ෆිල්ම් එකේ සින්දුවයි, ඒ සීන් ටිකයි විතරමයි මේකෙ අප්පිරියාවක් නැතුව බලන් ඉන්න පුලුවන් ටිකකට තිබ්බෙ. ඊට පස්සෙ ෆිල්ම් එක පැය දෙකක් තිස්සෙ මිනිස්සු හෝල් එකේ කොහොම එක දිගට බලන් හිටියද අප්පා කියලා හිතෙන මට්ටමටම අජූතයි.

ඇත්තටම උදයකාන්ත වර්ණසූරියට මොකක්ද මේ වෙලා තියෙන්නෙ?  ඒක නිකං අර සූත්තර කිටීගෙ බූට් එක ගැලෙව්වම නිකං පූසෙක් වෙලා වගේ උදයකාන්ත වර්ණසූරිය කියන සිනමා අධ්‍යක්ෂකවරයාගේ චිත්‍රපට හැදීමේ හැකියාව සම්පූර්ණයෙන් අන්තරස්ධාන වෙලා එයා නිකංම නිකං මිනිහෙක් බවට පත්වෙලා වගේ. හැබැයි ඒ මනුස්සයා තාමත් හිතන් ඉන්නවා තමන්ට තාම ෆිල්ම් හදන්න පුළුවන් කියලා. ඉතිං එයා නලු නිළියන්ට එන්න කියනවා එයාගෙ අලුත් ෆිල්ම් එකට. අනේ ඉතිං උදයකාන්ත වර්ණසූරිය කිව්වම සීනියර් පොරක්නෙ කියලා මේ ධනුක ඩිල්ෂාන්ලත් කුලුඳුල් සිනමා අත්දැකීම ගන්නත් එක්ක යන්න ඇති. හැබැයි එතන කිසිම සිනමාවක් නම් දැක්කෙ නෑ.  ඒකට චිත්‍රපටියක් කියන්නත් බෑ. නිකං ලෝ බජට් ඒකාංගික ටෙලිනාට්ටයක් වගේ.  ඒකෙ රඟපාපු කිසිම නලුවෙක් හෝ නිලියෙක්ට තමන්ගෙ හැකියාව පෙන්නන්න පුළුවන් වෙලා නෑ. නෑ නෙවෙයි ඇත්තටම එහෙම පරිසරයක් ඒ "ෆිල්ම් එකේ" නෑ.

හැබැයි මේ ෆිල්ම් එකේ වෙනත් සුවිශේෂීත්වයක් තියෙනවා. මේක සිනමාව විෂයක් විදියට හදාරන කෙනෙකුට හොඳ කේස් ස්ටඩි එකක්. මොකද මේ ෆිල්ම් එකේම පළවෙනි චිත්‍රපටිය, මේ අධ්‍යක්ෂවරයාගේ දෙවැනි චිත්‍රපටය, ආදායම් අතිනුත් සාර්ථක වෙලා විචාරකයන්ගේ පැසසුමටත් ලක් වෙච්වි ලංකාවේ ඒ ෂානරයේ දැනට හැදුණු හොඳම ෆිල්ම් එකක්. කතාව , තිරරචනය, අධ්‍යක්ෂණය, සංස්කරණය , නලු නිළි වරණය සහ රඟපෑම්, කලා අධ්‍යක්ෂණය ආදී මෙකී නොකී හැම අංශයක්ම, 'කළ යුත්තේ කෙසේද' කියන එකට දර්ශීය උදාහරණයක් විදිහට පෙන්නන්න පුළුවන් හොඳ ප්‍රඩක්ට් එකක්.  ඒ අධ්‍යක්ෂවරයාව, අධ්‍යක්ෂවරයෙක් ලෙස සමාජය අඳුනගත්ත වැඩක්... ඉතිං ඒ මනුස්සයාම, චිත්‍රපට විස්සක් තිහක් කරපු සීනියර් පොරක් විදිහට එයාගෙම අර කියපු අද්විතීය වැඩේට දෙවෙනි කොටසක් කරනවා කටේ තියන්න බැරි විදිහට. අර කියපු අධ්‍යක්ෂණය , තිර රචනය, සංස්කරණය , ආලෝකකරණය, ආදී මෙකී නොකී සියලු දේ, 'නොකළ යුත්තේ කෙසේද' යන්නට දර්ශීය උදාහරණයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වැඩක් වෙන්න. අන්න ඒ සංසන්දනය නම් ඇත්තටම චිත්‍රපට පාසලකට වගේ දේක පාඩමකට හොඳ සිනාරියෝ එකක්...

මේ ෆිල්ම් එකේ කතාව යන්නෙ මීට අවුරුදු තිහකට විතර කලින් වෙච්චි දෙයක් විදිහට. හැබැයි ඒක අපිට මීටර් වෙන්නෙ කාරණා කීපයක් නිසා විතරයි . ඒ කියන්නෙ මේකෙ ඉන්න මිනිස්සු හෑන්ඩ් ෆෝන් විදිහට පාවිච්චි කරන්නෙ අර ඉස්සර තිබ්බ ගඩොල් භාග වගේ ෆෝන්. අමතරව , ලෑන්ඩ් ෆෝන් තියෙන්නෙ ඩයල් එක කරකවන ඒවා.  ඒ ඇරෙන්න වාහන තියෙන සීන්වලට පාවිච්චි වෙන වාහන පරණ තාලෙ ඒවා, ශ්‍රී නම්බර් තියෙන්නෙ. ඔන්න ඔය කාරණා ඇර මේ කාල වෙනස නිරූපණය කරන්න වෙන කිසිම දෙයක් ෆිල්ම් එකේ කරල නෑ. ඒ නිසාම බලන අපිට හිතෙන්නෙ ඇයි මේ මිනිස්සු මේ පරණ ෆෝන් පාවිච්චි කරන්නෙ? ඇයි මේ පරණ වාහන පදින්නෙ? මෙයාල ඇන්ටික් වාහන වලට කැමති නිසාද වගේ මිසක්, ලොවෙත් මේ ෆිල්ම් එක පරණ කාලෙ වෙච්චි දෙයක් කියන ෆීලින් එකක් එන්නෙම නෑ. කොටින්ම මේකේ සුදු LED බල්බ් හිටන් තියෙනවා . අඩුම ගානෙ ඒ දර්ශන ගනිද්දි ඒ බල්බ් එක හෝල්ඩරෙන් ගලවල ඒ වෙනුවට ෆිලමන්ට් බල්බ් එකක් දාන්න ඕනෙ වගේ ඉතා සරල සුලු කාරණා ගැනවත් මේකෙ කලා අධ්‍යක්ෂණය කරපු කෙනා හිතල නෑ.

ඇත්තටම මේ ෆිල්ම් එකේ හොඳයි කියලා කියන්න පුළුවන් කිසිම අංශයක් නෑ. හැබැයි ආලෝකකරණය නම් 'හොඳටම කරලා තිබ්බා' මදි නොකියන්න. කිසිම දර්ශනයක කිසිම තැනක් අඳුරේ තියන්න අකමැති ආලෝකකරණ ශිල්පියෙක් ඉඳල තියෙන්නෙ. ඒ නිසා එයා මහන්සි වෙලා සෑම තැනම ඒකාලෝක කරල තිබ්බා. රාත්‍රි දර්ශන පවා කහ පාට නිල් පාට ලයිට් වැටිලා හරිම ලස්සනයි. ඒ ලෝකයම ආලෝකයෙන් නැහැවිලා, හැබැයි ආලෝක ප්‍රභයවක් ගැන හිතාගන්න බෑ. ඒ ආලෝකකරණයට සමාන එකක් මම මීට කලින් දැකල තිබ්බෙ කෝපි කඩේ රාත්‍රි දර්ශනවල. 

කොහොමෙන් කොහොම හරි කරන්න පුළුවන් චොරම විදියට ෆිල්ම් එකක් හදාගත්තා කියමුකො කලින් එකේ රස්නෙන් සහ තමන් අධ්‍යක්ෂකවරයෙක් විදිහට මීට කලින් හදාගත්ත නමේ පිහිටෙන් දුවවන්න... ඒක ඒ මනුස්සයාගෙ කැමැත්තනෙ. ඒත් පුදුම වැඩේ තමා මේ ඕනවට එපාවට කරපු මොකක්ද එකට ඒ අවුරුද්දේ සරසවිය චිත්‍රපට උළෙලේ හොඳම අධ්‍යක්ෂණය සහ නළුවා සම්මාන හම්බෙලා තිබ්බ එක. ඇත්තටම මෙව්වයින් වෙන්නෙ ඒ සම්මාන උළෙලවල් හෑල්ලු වෙන එක විතරයි. සම්මානයක් දෙන්න තරම් ලබු ගෙඩියක් ඒ අවුරුද්දේ කවුරුත් කරලා නැත්තං නොදී ඉඳපන් බං. කවුරුත් තරහ වෙන් නෑ.

මේ ටිකවත් මේ "චිත්‍රපටිය" ගැන ලිව්වෙ, මේකෙ පළවෙනි ෆිල්ම් එක ගැන හිතේ තියෙන කැමැත්තට.  ඇත්තටම මේක නිර්මාණාත්මක අපරාදයක්. කොච්චර ලස්සනට ගොඩ නගන්න තිබ්බ කතාවක්ද මේ විනාස කරල තියෙන්නේ? ඒ මදිවට මේකෙ තුන්වෙනි කොටසකුත් එනවලු. ඉතිං ඒකත් මේ මනුස්සයා නම් අධ්‍යක්ෂණය කරන්නෙ ඒකටත් මේ සන්‍තෑසියම තමා.  හැබැයි සූත්තර කිටී එකේ අන්තිමට සුරංගනාවියෙක් ඇවිත් ආපහු මැජික් බූට් එක දීලා  එයා ආපහු සූත්තර කිටී වෙනවා. බලමු ඉතිං එහෙම දෙයක්වත් 😒



No comments:

Post a Comment