Thursday, November 12, 2020

රෑ දොළහට හොල්මනකට...

ඔන්න මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්, මේ ළඟදී රෑ වෙනකං වැඩ කරල, තනියම මිනිහගෙ වාහනෙන් ගෙදර යන්න පිටත් වෙලා. සිකුරාදා හවස ගමේ යනව කියමුකො. දැන් රෑ දොළහට විතර ඇති. පාරෙ කවුරුත් ඇත්තෙත් නෑ. නගරෙන් පිටට ඇවිත් දැන්... ටිකක් ගම් පළාතක, පාරෙ එක පැත්තක පොල් වත්තක්, අනික් පැත්තෙ කනත්තක්ලු. 

ඔන්න එක පාරටම සීට් බෙල්ට් දාල නෑ කියල එලාම් එක වදින්න අරං... වැඩේ කියන්නෙ යාලුව ඒ වෙද්දිත් සීට් බෙල්ට් එක දාගෙනයි ඉඳල තියෙන්නෙ. ඒ කියන්නෙ එහා සීට් එකේ ඉන්න "කෙනා" තමා සීට් බෙල්ට් දාගෙන නැත්තෙ 😐😐.

ඉතිං මුගෙ හිත ටිකක් ගැස්සිලා ඇඟ සීතල වෙලා ගියාලු මොහොතකට ...

ඒත් පස්සෙ හොයල බලද්දි ඒ එලාම් එක වදින්න සාධාරණ /විද්‍යාත්මක/ හේතුඵලවාදී හේතුවක් එයා හොයාගෙන තිබ්බා...😌

(එහෙම වෙන්න එපෑ ඉතිං  නේ? නැත්තං ඉතිං මේ හොල්මනක් ඇවිත් වාඩි වෙලා හිටියා කියල හිතන්න තරම් බොළඳ නැහැ නේද යහලුවෙ අපි 🤗😄) 

හැබැයි ඌ ඕක කිව්ව ගමන් මට හිතුනෙ, මේක හොල්මන් ෆිල්ම් එහෙක පාවිච්චි කරන්න ගන්න ශෝක් සිද්ධියක් නේද කියල. (අර Shutter ෆිල්ම් එකේ ෆයිනල් සීන් එක මතකද ඒකත් ටිකක් මීට සමානයි.)

මොකද දැන් එන හොල්මන් ෆිල්ම් බැලුවට ඇත්තටම බය හිතෙන්නෙ නෑ. හොලිවුඩ් ඒවනම් අපේ සංස්කෘතියත් එක්ක එච්චර ටැලි වෙන් නැති නිසා ඒ හොල්මන් එක්ක අපිට ඒකාත්මික වෙන්න අමාරු ගතියක් තියෙනවා.

ඉතිං එහෙම කියල, අපිට බලල බය වෙන්න ලංකාවේ හොරර් කියල ඒව හැදෙන්නෙත් නෑ. ගෑනු යටිගිරියෙන් කෑ ගහන එව්වයි,බල්ලො උඩු බුරන ඒවයි, උලමො කෑ ගහන ඒවයි, දොරවල් කිරි කිරි සද්දෙට ඇරෙන වැහෙන එව්වයි හරිම cliche. එව්වට බය වෙච්ච කාලෙ ගියා. දැන් ඒවට ඇත්තටම හිනා යන්නෙ. අනික ඉතිං මිනිස්සු බය කරන්න ලේ පෙරාගෙන ,නියපොතු උල් කරගෙන, කොණ්ඩෙ කඩාගෙන, දුමාර දාගෙන දඟලන්න ඕනෙත් නෑ. අනේ අර මහසෝනත් එක්ක රෙස්ලිං කරන්න යනව වගේ අවධානම් වැඩ නම් කොහොමත් එපා 🙏😄

අලුත් හොඳ ස්ක්‍රිප්ට් එකක් ලියාගන්න පුලුවන් නම්, හොරර් කියන්නෙ අඩු වියදමක් කරල වැඩියෙන් හම්බ කරගන්න පුලුවන් ෆිල්ම් කැටගරි එකක්...



පුලුවන් විදිහට VFX

රාවණා ටෙලිනාට්‍ය ගැන ඇති වුනු සංවාදයකදි කෙනෙක් කිව්වා, ඒකෙ VFX විවේචනය කරන්න එපා, පුලුවන් විදිහට තමා කලේ... ඔයිට වඩා කරන්න බෑ වියදම් වැඩියි කියල. (එයා ඒ නිර්මාණයට සම්බන්ධ කෙනෙක් වෙන්න ඇති කියල හිතනවා වියදම් ගැනත් දැනන් හිටපු නිසා)

ඇත්තටම ඒ ටෙලිනාට්‍යයේ VFX ගැන මුකුත්ම කියන්න ඕනෙත් නෑ කොහොමත්. ඒ නාට්ටෙ යම් අවුලක් තියෙනවා නම්, ඒ අවුල ඇතිවෙලා තියෙන්නෙ VFX හින්ද නෙවෙයි. ඒක ස්තිරවම කියන්න පුලුවන් මොකද අවුල් යන්න තරම් මහලොකු VFX එකක් ඒකෙ නැති නිසා.

මෙතෙන්දි කියන්න ඕනෙ, VFX= CGI නොවෙන බව. ඒ කියන්නෙ චිත්‍රපටයක/නාට්‍යයක, දෘශ්‍ය ප්‍රයෝග නොහොත් visual effects කියන්නෙ, හැම වෙලේම computer generated imagery ම වෙන්න ඕනෙ නෑ කියන එක. නමුත් අර ඒක ගැන කියපු කෙනා නම් හිටියෙ ඒ වගේ මතයක වගෙයි තේරුනේ, සහ මේ නිර්මාණය ඇතුලෙත්, VFX කියල අපිට දකින්න පුලුවන් CGI දර්ශන විතරමයි. එතනින් එහා ගිය, කැමරා කෝණ, අංග රචනය, පසුතල වගේ හැමදේම එකට මිශ්‍ර වෙලා හැදුනු සම්පූර්ණ දෘශ්‍ය ප්‍රයෝග මේකෙ දකින්න නෑ, ඒත් ඒව පාවිච්චි කළ යුතු (ඒත් නොකළ) අවස්තා නම් තියෙනවා.

අර රජවරු ඉන්න මාලිගා සහ අසපු වල භාහිරින් පේන විදිහ පෙන්නන දර්ශන ටික තමා ඕකෙ VFX කියල දැක්කෙ. (VFX කිව්වෙ ඇත්තටම CGI.) ඊට අමතරව අර කුවේර, ජනතාව අමතන තැනදි crowd multiplication ක්‍රමය පාවිච්චි කරල තිබුනා. ඒ දර්ශනය නම් බැලූ බැල්මට අවුලක් නැතුව තිබ්බ. හැබැයි අර රජ මාලිගා ටික නම් ඉතිං බැලූ බැල්මට 3D කියල පේනව. හොඳ වෙලාවට සුමාලි රජ්ජුරුවො භූගත මාලිගාවක හිටපු නිසා, ඒ සඳහා නම් ඇත්ත දිය ඇල්ලක් පෙන්නල වැඩේ ගොඩ දාල තියෙනව. නමුත් ඒ මාලිගාව තියෙන්නෙ ඇත්තටම දිය ඇල්ලට යටින්ය කියල ප්‍රේක්ෂකයන්ට ඒත්තු යන විදිහේ කිසිම ප්‍රයෝගයක් යොදාගන්න උත්සාහ කරලවත් නෑ. හරි ඒක කමක් නෑ අපිට හිතාගන්න පුලුවන් කියමුකො.

ඉතිං මේ CGI මාලිගා/නගර ටික හැමවෙලේම පෙන්නනව (යටින් නමත් එක්ක) අදාල තැනේ ඇතුලෙ දර්ශනය පෙන්නන්න කලින්. ඒත් ඇත්තටම ඒක ඕනෙ නෑ. මොකද එහෙම පැටලෙන තත්ත්වයක් ඒකෙ නෑ, බැලූ බැල්මට අපිට කියන්න පුලුවන් මේ අහවල් මාලිගාව ඇතුලෙ තමා කියල මොකද මාලිගාව ලොකුවට එලියෙන් පෙන්නුවට පොඩි කාමරේක තමා රජා හැසිරෙන්නෙ. 

මේ VFX චෝදනාව කරපු කෙනාට අනුව, එයාලට ඔයිට වඩා සංකීර්ණ විදිහට ඒ මාලිගාවල එලියේ දර්ශන කරන්න බැරි, ඒව render වෙන්න යන වෙලාව වැඩි නිසාලු. 

ඒත් මට කියන්න තියෙන්නෙ, මුලු කතාව පුරාවටම, මාලිගාවල ඇතුල පෙන්නන වාරයක් වාරයක් පාසා රිපීට් කර කර පෙන්නන්න බලාපොරොත්තු වෙන ඒ දර්ශන ටික( තප්පර කිහිපයකට සීමා වුනු), වෙලාව අරන් හරි render කරල ඔයිට වඩා හොඳට හදන්න තිබ්බ කියලයි.

එහෙම render කරගන්නම බැරි නම්, VFX කියන්නෙ CGI ම නොවෙන නිසා, miniature එකක් හදනව වගේ වෙන ක්‍රමයක් පාවිච්චි කරන්නත් තිබ්බා. 

නමුත් ලංකාවේ බහුතරයක් ඔය vfx උගන්නනවා කියල කරන පාඨමාලාවල පවා, දෘශ්‍ය ප්‍රයෝග කියල උගන්නන්නෙ ඔය 3D modeling කරන software එක්ක වැඩ කරන විදිහ විතරයි. ඉතිං ඒවැයින් එලියට එන "ත්‍රිමාණ සජීවීකරණ ශිල්පීන්ට" චිත්‍රපටයක දෘශ්‍ය ප්‍රයෝග කියල කියන්නෙ පරිගණකය පාවිච්චි කරල කරන CGI වැඩ කෑලි ටික විතරයි. හැබැයි, මේ ලෝකෙට ඔය computer, 3D software එන්න කලිනුත් චිත්‍රපට වල ඕනෙ තරම් දෘශ්‍ය ප්‍රයෝග කලා. ඒත් ලංකාවේ එහෙම සමස්තය ගැන තේරුමක් තියෙන අය අඩුයි. මොකද අපිට ඒ සම්බන්ධ ඉතිහාසයක් නෑ. කෙලින්ම  Maya, After effects වලින්ම තමා පටන් අරං තියෙන්නෙ. Practical effects ගැන අවබෝධයක් නෑ වගේ. ඔක්කොම computer එකෙන්ම ගොඩදාන්න දඟලන අය තමා වැඩි.

ඒත්, ලෝකෙ ප්‍රධාන අධ්‍යක්ෂවරු (උදාහරණ : ස්පිල්බර්ග් , නොලාන්) වගේ අයත් තාම CGI කියන දේ යොදාගන්නෙ අන්තිම තුරුම්පුව විදිහට. ඒත් මෙහෙ ඒකෙ අනික් පැත්ත.

VFX කියන්නෙ CGI විතරයි කියල හිතාගෙන ඉන්නවනම්, Alien, 2001 A Space Odyssey වගේ චිත්‍රපට බලන්න....

(රූපෙ තියෙන්නෙ Alien ෆිල්ම් එකේ පාවිච්චි වුනු miniature space ship එකක්)



යතාර්ථයෙ හිරකාරයො...

 ඉස්සර නාට්‍යයක් ගියා, සිහින ඉසව්ව කියල. ඒක දිය කිඳුරියෙක් ගැන කතාවක්. මතක විදිහට, කොල්ලො දෙන්නෙක්ට දිය කිඳුරියෙක් හම්බෙනවා. ඒ දියකිඳුරිට ගොඩබිම ඉන්න පුලුවන් සීමා සහිත කාලෙකට හැබැයි ඊට පස්සෙ කකුල් නැති වෙලා වරල් වෙනවා. එයාගෙ නම මිත්‍යා. තව මේ කොල්ලො අඳුරන එයාලගෙ යාලු වෙන කෙල්ලෙක් ඉන්නව එයාගෙ නම සත්‍යා. සත්‍යා සහ මිත්‍යා රූපෙන් එක වගේ. (ඒ චරිත දෙකම කලේ එකම නිලිය කොහොමත්) කොහොම හරි දිය කිඳුරිව අල්ලල මිනිස්සුන්ට පෙන්නල ආදායමක් ගන්න ජාවරම්කාරයො සෙට් එකක් එයාව පැහැරගෙන යනව. පස්සෙ මේ කොල්ලො දෙන්නයි, අර සත්‍යා කියන කෙල්ලයි සෙට් වෙලා ගේම ඉල්ලල කොහොමහරි අන්තිමට මිත්‍යාව බේරගෙන මුහුදට යවනව. 

ඔය නාට්ටෙ ගිහින් දැන් අවුරුදු විස්සක් විතර ඇති ඒත් තාම හොඳට මතකයි. මේකෙ දියකිඳුරි, වරල් එක්ක ඉන්න සීන් එහෙමත් ලස්සනට අරං තිබ්බා, සහ අන්තිම ෆයිට් එකට හෙලිකොප්ටරයක් පවා යොදාගෙන තිබ්බා. 

ඒත් දැන් නම් ඒ වගේ නාට්‍ය හැදෙන්නෙ නෑ. නිකං සාලෙ මැද්දෙ  ගෑනු කතා කරන ලොන්ත කතා විතරයි බහුතරය. ඈක්කා.

ලංකාවේ නිර්මාණකරුවො ගොඩක් උන් දැන් යතාර්ථයෙ හිර කාරයො වෙලා. උන් සුරංගනා කතා, ෆැන්ටසි කතා සලකන්නෙ පොඩි උන්ට බලන්න තියෙන ඒව විදිහට. ඒවත් හදන්නෙ පොඩි එකෙක්ට පවා බැලුවම එපා වෙන ගොබ්බ විදිහට. අර රන් කෙවිට එහෙම බැලුවනම් මතක ඇති. එහෙම රන් කෙවිටක්, ඇත්තටම ඒ වයසෙ කොල්ලො දෙන්නෙක්ට හම්බුනා නම් ඔය වගේ ගොබ්බ විදිහට හැසිරෙන එකක් නෑ. ඒත් ඒ ෆිල්ම් එකේ කොල්ලො දෙන්න ඒකෙන් මෙලෝ ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. උන්ගෙ මෝඩ කම ප්‍රදර්ශනය කරනව ඇරෙන්න. හැබැයි මොනා උනත්, උදයකාන්ත වර්ණසූරිය කියන්නෙ ශ්‍රී ලංකාවේ ඔය ජනකතා වගේ දේවල් වලින් පොඩියට හරි ප්‍රයෝජනයක් ගත්ත සිනමාකරුවෙක්. ඒත් ඒක ඔයිට වඩා හොඳට කරන්න තිබ්බා අපරාදෙ...

ඇස් දෙක පිරෙන්නම Aquaman...

Originally posted on Facebook on 2018/12/24

Aquaman බැලුවා. හරි හරි ස්පොයිල් කරන් නෑ....

අර වතුර යට කතා කරන්නෙ කොහොමද කියල අහල තිබ්බනෙ සමහරු... ඉතිං අනේ ඒකට චිත්‍රපටයේම පැහැදිලිව උත්තර දෙනවනෙ? ඒක Aquaman විසින්ම ප්‍රශ්නයක් විදිහට අහනව එක තැනකදි, සහ පැහැදිලිව උත්තරත් ලැබෙනවා එවෙලේම. අනේ මන්දන්නෑ ඉංග්‍රීසි තේරුම් ගන්න බැරි අවුලක් වෙන්න ඇති. වෙන නම් හේතුවක් හිතා ගන්න බෑ.

ඒක විතරක් නෙවෙයි, තව මෙහෙම ප්‍රශ්න ආවෙ නැද්ද....  ඇක්වමෑන්ට ගොඩබිම වගේම වතුරෙත් අවුලක් නැතුව ඉන්න පුලුවන්. අර මීරාටත් එහෙම පුලුවන්. එතකොට අර අනික් සෙබලුන්ට එහෙම බැරි ඇයි? 

ඔන්න ඕකටත් පැහැදිලිව එක දෙබසකින් හේතුව කියනව.

එතකොට අර අච්චර සෙක්‍යුරිටි තියෙන ඇට්ලැන්ටිස් සිටි එකට ඇක්වමෑන්ට සහ මීරාට අර ship එකෙන් ඇතුල් වෙන්න දෙන්නෙ ඇයි? මොකද ඇක්වමෑන් කියන්නෙ ඒකෙ සිටිසන් කෙනෙක් නෙවෙයි ආගන්තුකයෙක්. ඉතිං ඕකටත් එක වාක්‍යයකින් පැහැදිලි උත්තරයක් දෙනවනෙ. 

දෙබස් ගැනත් පොඩ්ඩක් අවධානය දුන්නනම්, ඔය වගේ ප්‍රශ්න ඉතුරුවෙන්න නෙවෙයි ඒ ෆිල්ම් එක හදල තියෙන්න. අනික සමහර අය කියල තිබ්බ ඒක බලන්න කලින් කොමික් කියවල යන්න ඕනෙ කියල. අනේ එහෙම ඕනෙනෑ. ඒ කතාව ඇක්වමෑන් කියල එකෙක් ගැන අහලවත් නැති එකෙක්ට උනත් ගිහින් බලන්න පුලුවන් විදිහට, හේතු ඵල සම්බන්ධ සහිතව ශක්තිමත් කතාවක් ඇතුව හදල තියෙන්නෙ. Prerequisite ඔනෙනෑ ඒක බලන්න. 

ෆිල්ම් එක නං... 😍 සුපිරිම සුපිරී මට නම්. ඇස් දෙක පිරෙන්නම දීලා තියෙනවා. ඒ වගේම ඇක්වමෑන් කියන චරිතය මාර විදිහට අප් කරල ගන්නව ආයෙ ඉතිං 😙😍

James Wan නම් සුපිරිම වැඩ්ඩෙක් තමා. ඇත්තටම ඔය ඇක්වමෑන් කියන චරිතය මුලින්ම දැක්කාම මට නම් හිතුනෙ, ඔය අනික් සුපර්හීරෝස්ල ගැන ෆිල්ම්ස් හැදුවට මූට නම් එකක් believable විදිහට හදාගන්න බැරිවෙයි කියල. මොකද නිකං කන්සෙප්ට් එකම විකාරයක් වගේ තමා බැලූ බැල්මට පෙනුනේ. ඒත් ඒ මතය සම්පුර්ණයෙන්ම කනපිට හරවලා ඒ චරිතයෙන් උපරිම ප්‍රයෝජනය අරං තියෙනවා. මුහුද යට යන ෆයිට් සීන් ටිකයි,  මුහුදු රාජධානි ටිකයි පට්ට ලස්සනට ඩිසයින් කරල තියෙනවා. (අනේ දෙයියනේ 3D බලාගන්න බැරි උනානෙ 😢)

දැන් ඉතිං මේකත් සවුත්තුයි කියල කියන අය ඉන්නව තමා... ඒක ඉතිං ලෝකස්වභාවය. ඔය ඕනම හිට් වෙච්ච මියුසික්  වීඩියෝ එකක් ගිහින් බලන්න යූ ටියුබ්... බිලියන ගානක් කැමති නම්, අඩුම මිලියන එකක් දෙකක් ඩිස්ලයික් දාල තියනව... ඒක ඉතිං කරුමේ ෆ්‍රෙන්ස්. පවට පින දෙන්න බෑ කියනවනෙ.

මළැයින් පස්සෙවත් ඒ ඇස් වලින් කාට හරි ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙන්න කියල, අර අක්ෂිදාන සංගමේ ෆෝම් එක පුරවල බාර දෙන්න  😂

(ප.ලි. මේකෙ mid credit සීන් එකක් තියෙනව. හැබැයි post credit සීන් එකක් නම් නෑ.)



එකෙක් Alien, අනිකා Predator !

පිටසක්වල ජීවියො කියල ජාතියක් තාම හොයාගෙන නැතත් එහෙම කිව්ව ගමන් අපේ ඔලුවෙ ඇඳෙන රූප දෙකක් තියෙනවා. එකක් Alien, ඒ කිව්වෙ ඒ නමින් ආපු ෆිල්ම් එකේ ඉන්න එකා. අනිකා Predator. 

මුල්ම ඒලියන් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නෙ, රිඩ්ලි ස්කොට්. ඒක ආදායම් අතිනුත් යම් දුරකට සාර්ථක වෙනව. හැබැයි 20th Century Fox ලට ලොකු උවමනාවක් එන්නෑ මේකට දෙවැනි එකක් හදන්න. ඒත් පස්සෙ ජේම්ස් කැමරන් අහනව මේකට දෙවෙනි කොටසක් කරන්න. ජේම්ස් කැමරන් ටර්මිනේටර් එහෙම හදල ඒක ගොඩක් සාර්ථක උනැයින් පස්සෙ , හා එහෙනං ඔයා හදන්න කියල ජේම්ස්ට දෙනව Alien දෙවෙනි එක හදන්න. ඉතිං ලද අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනය අරන්, ඒක ජේම්ස් සුපිරි විදිහට ගොඩ දානව. ආදායම් අතිනුත් සාර්ථක වෙනවා. ඉන් පස්සෙ ඒලියන් තුන් වෙනි එක හදන්නෙ ඩේවිඩ් ෆින්චර්. පස්සෙ හතරකුත් හැදෙනව. හැබැයි මේ තුන සහ හතර එච්චර හිට් වෙන් නෑ.  

ඔය අතරෙ ඒලියන් පස්වෙනි ෆිල්ම් එකක් හදන්න රිඩ්ලි ස්කොට්, ජේම්ස් කැමරන් ඇතුලු පිරිසක් සූදානම් වෙලා හිටියත්, FOX සමාගම ඔය කාලෙදි ප්‍රසිද්ධ කරනව ඉදිරියේ ඒලියන් සහ ප්‍රෙඩේට මික්ස් කරල ෆිල්ම් එකක් කරන බව.

ඔන්න ඔය කලවං කරන වැඩේට ජේම්ස් කැමරන් කොහෙත්ම කැමති වෙලා නෑ. ඔහු කියල තියෙන්නෙ , ඒ Crossover එකෙන්, ෆ්‍රැන්චයිස් එකේ වටිනාකම මැරිල යයි කියලයි. එයා ඒක සමාන කලේ යුනිවර්සල් සමාගම 1943 දී  Frankenstein Meets the Wolfman කියන ෆිල්ම් එක හරහා සිදුකල crossover එකටයි. ඔයින් මෙයින් ජේම්ස්, අර පස්වෙනි ෆිල්ම් එකක් හදන වැඩේ අත්ඇරල දාල පැත්තකට වෙනවා. ඒකෙන් ඒ වැඩේ එහෙම්ම යට යනවා. AVP ෆිල්ම් එක රිලීස් උනැයින් පස්සෙ (2004 දි), ඒක චිත්‍රපටයක් විදිහට හොඳ නිර්මාණයක් කියල ඔහු පිලිගත්තත්, ඒ කලවං කිරිල්ල නිසා, අනාගතයෙ ආපහු ඒලියන් ෆ්‍රැන්චයිස් එකට සම්බන්ධ නොවෙන බව තමා එයා කියල තියෙන්නෙ.

එතකොට රිඩ්ලි ස්කොට් මේ ගැන මොන වගේ අදහසක්ද දරන්නෙ?

අනේ එයා ඊට හපන්. Empire Magazine එකෙන් ඉන්ටර්විව් කරපු වෙලාවක එයාගෙන් අහනව ඔබතුමා AVP ෆිල්ම්ස් ගැන මොකද්ද දරණ අදහස කියල. එතෙන්දි රිඩ්ලි කියන්නෙ ඒ ෆිල්ම් එකක් වත් බලල නෑ කියලයි. ඒ කියන්නෙ ඒ තරමට කැමති නෑ 😂.

ඒත් ඉතිං චිත්‍රපට කියන්නෙ සල්ලි. ඒව හදන්නෙ අධ්‍යක්ෂවරුන්ට ඕනෙ විදිහට නෙවෙයි . අදාළ සමාගම් වලට ඕනෙ විදිහටයි. කොටින්ම අධ්‍යක්ෂවරයා කියන්නෙ සමාගමේ සේවකයෙක් වගේ. එයා මොකකට හරි බෑ කිව්වොත්, උබට බැරි නම් පලයං කියල වෙන එකක් දම්මල වැඩේ කරනව. සරලයි. 

ඒ අතින් බැලුවම නලු නිලියන්ට අධ්‍යක්ෂවරුන්ට වඩා බලයක් තියෙනවා. මොකද සමහර ෆිල්ම් හිට් වෙන්න ඒකෙ ඉන්න ප්‍රධාන නලු/නිලි චරිතයත් හේතුවක්. මේ ඒලියන් චිත්‍රපට සම්බන්ධයෙනුත් ඒක ඇත්තක්. මේකෙ තුන් වෙනි ෆිල්ම් එක හදන්න ඉඳලා තියෙන්නෙ රිප්ලි කියන ප්‍රධාන චරිතය නැතුව. ඒත් ෆොක්ස් සමාගම කැමති වෙලා නෑ ඒකට. රිප්ලිට රඟපාපු සිග්නි වීවර්ටත් උවමනාවක් තිබිලා නෑ කොටින්ම තුන් වෙනි එකක් කරන්න . පස්සෙ ඩොලර් මිලියන පහක් දෙන්නම් කියල ඊට පස්සෙ තමා හා කියල තියෙන්නෙ. ඊට පස්සෙ හතරවෙනි ෆිල්ම් එකේදි එයාගෙ ගාස්තුව ඩොලර් මිලියන එකොළහක් දක්වා ඉහළ දැම්මත්, ඒකත් දෙන්නම් කියල එයාවම අරං තියෙනවා . මොකද ෆිල්ම් එකේ වටිනාකමට, අනන්‍යතාවයට ඒ චරිතය අත්‍යාවශ්‍ය නිසා.

හරි, එනිවේ, ඊට පස්සෙ ආපහු prequel සීරීස් එකක් පටන් ගත්තනෙ රිඩ්ලි ස්කොට්ම මුල් වෙලා, ඕකෙ පළවෙනි එකනෙ Prometheus. ඒක ආදායම් අතින් සාර්ථක වුනා. හැබැයි ඒකෙ දෙවෙනි එක විදිහට ආපු Covenant ආදායම් අතින් අසාර්ථක වුනා. ඒත් කොහොම හරි දැන් මේකෙ තුන් වෙනි එකත් හදන්නලු යන්නෙ. ඒකෙ පිටපත ලියාගෙන යනව මේ දවස් වල. 

රිඩ්ලි ස්කොට් කියන විදිහට, මේ ෆිල්ම් එකේ කෙළවර, ඒලියන් පළවෙනි චිත්‍රපටයේ කතාවට සම්බන්ධ වෙනවා. ඒකෙන් ෆෑන්ස්ලාට තියෙන දැවෙන ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙයිලු.

ඒලියන් ෆෑන්ස්ලා ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් නෙ අර space jokey ඉන්න ship එක,  කොහොමද LV 426 ට ආවෙ කියන එක, ඒක කඩා වැටුනද ? නැත්තං land කලාද? අරු මළේ මක් වෙලාද..? වගේ දේවල්...

ඔන්න ඕවට පොඩි ඉඟියක් දීලා තියෙනවා රිඩ්ලි ස්කොට්, එයා කියන්නෙ ඒ යානාව කාගො ශිප් එකක් ලු. ඒක කඩා වැටිලා නෙවෙයි, යනාව ප්‍රවාහනය කරමින් තිබුණු දෙයක්, out of control ගිහින්, ඒක නිසා පයිලට්ට (space jokey) ඒක පාලනය කරගන්න අපහසු වෙලා, LV 426 කියන planetoid එක මතට crash landing එකක් තමාලු කරල තියෙන්නෙ. ඉතිං හරියටම සිද්ධිය මොකද්ද කියල බලාගන්න පුලුවන් වෙයි ඊලඟ ෆිල්ම් එකෙන්.

අහ්... එතකොට කෝ ප්‍රෙඩේට ? 

මෑතකදී නිල වශයෙන් කියල තියෙනවා , Alien franchise එකේ canon එකට, AVP ෆිල්ම්ස් සලකන්නෙ නෑ කියල. ඒක නිසා, Alien ෆිල්ම් වල ඉන්න ඒලියන්ල  AVP ෆිල්ම්ස් වලත්  හිටියත් උන් දෙක දෙකක් . පටලගන්න එපා. ඔරිජින් ස්ටෝරි හිටන් වෙනස්. හරිනෙ?




මොකද්ද මේ canon එක?

ඔය කොමික්, ෆැන්චයිස්, යුනිවර්ස් වගේ එකේකේව ගැන කතා කරනකොට එන ගැටලුවක් තමා ඒ ඒ කතා වල එක එක ජාති ගොඩක් තියෙනවා ඒ කියන්නෙ නවකතා පොත්, කොමික් පොත්, ටීවී සීරිස්, ඇනිමේටඩ් කාටුන්, ලයිව් ඇක්ෂන් ෆිල්ම් අරව මේව ගොඩයි. සමහර ඒවයෙ සමහර සිද්ධි එකිනෙකට ගැලපෙන්නෙ නෑ. ඒ කියන්නෙ කාටුන් එකේ මැරිච්ච එකෙක් පස්සෙ ෆිල්ම් එකේ ඉන්නව. කොමික් පොත් වල අබ්බගාත වෙච්චි එකා, ෆිල්ම් එකේ හොඳට ඉන්නව. ඔන්න ඔය වගේ.

ඒක නිසා මොකක් හරි ෆ්‍රැන්චයිස් එකක් ගත්තම ෆෑන්ස්ලා නිල වශයෙන් හඳුනා ගත යුතු කරුණු ටික, ඒක හදන්න මුල් වුනු කට්ටිය වෙන් කරල දක්වනව. අන්න ඒ ටිකට කියනව canon එක කියල.

ඒ කියන්නෙ මෙහෙමයි, අපි හැමෝම දන්න උදාහරණයක් ගමු. ශර්ලොක් හෝම්ස් ගැන අනන්ත අප්‍රමාණ කතා, කාටුන්, ටීවී සීරීස් අරව මේව හැදිල තියෙනවනෙ පස්සෙ. ඒත් ශර්ලොක් හෝම්ස් කතාවල canon එක විදිහට සලකන්නෙ, ආතර් කොනන් ඩොයිල් ලියපු, කෙටි කතා 56 සහ දිග කතා 4 තුළ තියෙන කරුණු විතරයි.  පස්සෙ එක එක ලේඛකයො ඒ චරිත පාවිච්චි කරල කතා ලිව්වට ඒවට "canonicity" දීල නෑ.... අන්න ඒ වගේ... 

තව උදාහරණයක් ගත්තොත්, Star Trek වගේ... 

Star Trek එකේ නිල වෙබ් අඩවියෙ, Star Trek canon එක විදිහට දක්වල තියෙන්නෙ,

"the events that take place within the episodes and movies" කියලයි. ඒ කියන්නෙ ටිවි සීරීස් එකේ  එපිසෝඩ් ටිකයි ආපු ෆිල්ම්ස් ටිකයි විතරයි. ඒ ඇරුණම තියෙන කොමික් පොත්, වීඩියෝ ගේම්ස් වගේ ඒවයෙ එන සිද්ධි, කැනොන් එකට අදාල නෑ.

හැබැයි ඔය කලින් කිව්ව Sherlock Holmes ගෙ canon එක ස්ථිර එකක් වුනාට, දැන් තියෙන ෆ්‍රැන්චයිස් වල කැනන් ස්ථිර නෑ. ඒ කියන්නෙ අලුත් කෑලි ඇඩ් වෙන්න පුලුවන් සහ තියෙන ඒව අයින් වෙන්නත් පුලුවන්. උදාහරණයක් විදිහට, මුලින්ම Star Trek කැනන් එකේ, Enterprise ship එකේ කැප්ටන්ට middle name එකක් තිබ්බෙ නෑ. නමුත් කැනොනයිස් විදිහට නොසලකන, Star Trek animated series එකේ, ඌට තිබුණු මැද නම Tibirius. පස්සෙ මේ නමේ මැද කෑල්ල, canonical කියල පිළිඅරගත්තා. ඒ අනුව Star Trek canon එක වෙනස් වුණා. ඒ කියන්නෙ දැන් ඒ කැප්ටන්ගෙ නම, James Tibirius Kirk. මුලින්ම තිබ්බෙ නිකං James Kirk විතරයි. 

මේ කැනන් කතන්දරේ තේරුම් ගන්න තව උදාහරණයක් ගමු. Star Wars. ඔය ෆ්‍රැන්චයිස් එක  2014 දි Disney ල මිලදී ගන්නවනෙ. ඊට පස්සෙ එයාලා ඕකෙ canon එක වෙනස් කරනව. ඒ අනුව අලුත් Star Wars official canon එක විදිහට සැලකෙන්නේ 2014 ට පෙර ආපු, ප්‍රධාන Star Wars චිත්‍රපට කිහිපය සහ The Clone Wars කියන CGI Cartoon එක පමණයි.  අනික් සියලු ටීවි සීරීස්, කොමික්, ගේම්ස් වගේ දේවල් වල එන කතාව නිල canon එකෙන් අයින් කලා. හැබැයි ඒ, 2014 කලින් ඒව. ඊට පස්සෙ එන ඒව canon එකට අදාලයි. ඒ වගේම, ඒක supervise කරන්න ඩිස්නිල වෙනම ගෲප් එහෙකුත් හැදුව, Lucasfilm Story Group කියල. එයාලගෙ වගකීම තමා මේ ඔෆීෂියල් කැනන් එක නඩත්තු කරමින්, පටලවගන්නෙ නැතුව සන්තතික බව රැකගෙන ඉදිරියට අරන් යන එක.

ඉතිං මොකද්ද ඔය canon එකේ තියෙන වැදගත්කම ? මෙහෙමයි, ඕනම කතා මාලාවක තියෙනවනෙ continuity එකක්. ඒ කියන්නෙ සන්තතික බවක්, නොහොත්, කලින් සිද්ධවෙච්ච දේවල් වර්තමානයට බලපානව වර්තමානය අනාගතයට බලපානව. ඉතිං ඔය ෆ්‍රැන්චයිස් එක නඩත්තු කරන පිරිස, ඒකෙ ඔය කිව්ව සන්තතික බව සම්බන්ධයෙන් වගකියන්නෙ, ඔය canon එක ඇතුලෙ කියල සලකන සිද්ධි වලට විතරයි. 

හරිනෙ? ඒ කියන්නෙ ෆ්‍රැන්චයිස් එකේ දෙවැනි ෆිල්ම් එකේ යම් චරිතයක් මළා නම්, තුන්වෙනි ෆිල්ම් එකේදි ඌ මැරිලා කියන එක බලපැවෙත්වෙනව. ඔය අතරෙ ඒ ෆ්‍රැන්චයිස් එකේම canonical නොවෙන කතාවක ඒ චරිතය පණ පිටින් ඉන්න පුලුවන්...

ඔය canon කියන එකටම ලඟින් යන පදයක් තියෙනවා fanon කියල. Fan fiction වලින් නොහොත් රසික සමාජය විසින් අර ෆ්‍රැන්චයිස් අලලා නිර්මාණය කරන කතා වලින්, ගොඩක් ප්‍රබල ලෙස ෆෑන්ස්ලා අතරෙ පිලිගැනීමක් තියෙන කරුණු වලට තමා මේ නම කියන්නෙ. හැබැයි ඒව canon කියල සැලකෙන්නේ නම් නෑ. නමුත් canon තරම්ම ප්‍රබලයි කියල පෙන්නන තමා fanon කියල දාගෙන තියෙන්නෙ . 

තව දෙයක්... ඔය canon, fanon මොන කතා කිව්වත්, ඔය වගේ ෆ්‍රැන්චයිස් වල, අපි අපි අපේ ඔලුව ඇතුලෙ හදාගත්තු කතාවක් තියෙනවනෙ... ඒ කියන්නෙ අපි පිළිගන්න ටික, නොපිළිගන්නා ටික සහ පුද්ගලිකව අපිටම කියල හදාගත්තු ෆෑන් තියරි අරව මෙව්ව... ඔන්න ඔය විදිහට රසිකයෙක් තමන්ගෙ ඔලුවෙ තමන්ටම කියල හදාගන්න එකට කියන්නෙ, "headcanon" කියලයි. ඒ කියන්නෙ අදාළ ප්‍රබන්ධය පිලිබඳ පුද්ගලික නිර්වචනයක් වගේ දෙයක්...



Aquaman ෆිල්ම් එකේ ඒ අය වතුර යට කතා කරන්නෙ කොහොමද?

කෙනෙක් ප්‍රශ්නයක් අහල තිබ්බා අර Aquaman ෆිල්ම්  එකේ ඒ අය වතුර යට කතා කරන්නෙ කොහොමද , ඒක නිකං අවුල් වගේ කියල. ඉතිං ගොඩක් අය එයාට දොස් කියල තිබ්බා, ඌට කොමික් තේරුම් ගන්න බැරිය, කොමික් කියන්නෙ ඔහොම තමා ඒවා වලින් "තාත්ත්වික දේවල් බලාපොරොත්තු වෙන්න එපා කියල " 

ඇත්තටම මේ අහපු ප්‍රශ්නය සාධාරණයි. (හරි කියල නෙවෙයි කියන්නෙ, සාධාරණයි කියල ), දීලා තියෙන උත්තරේ තමා වැරදි .

ඔය ප්‍රශ්නය සැලකුවොත්, ඕක මේ මෙහෙ අයට විතරක් ආපු ගැටලුවක් නෙවෙයි, ඔයාලට මතක නම් Justice League එකේ පොඩි කෑල්ලක් තිබ්බා, වතුර යට කතා කරන. ඒකෙදි එයාල කලේ වතුර යට කතා කරන්න කලින්, air bubble එකක් හදල ඒ චරිත ඒකෙ ඇතුලෙ ඉඳන් තමා ඒ ඩයලොග් කිව්වෙ. ඒත් ඇත්තටම ගොඩක් ෆෑන්ස්ලා මේක විකාරයක් විදිහට දැක්කෙ සහ, එයාලා කිව්ව ඉදිරියේ එන Aquaman සොලෝ ෆිල්ම් එකකදිත් මේ ක්‍රමේ පාවිච්චි කරන්න ගියොත්, ඒ කියන්නෙ කතා කරන කරන සැරේට air bubble හදන්න ගියොත් ඒක අවුලක් වෙයි කියල. 

ඉතිං Aquaman හදන්න කියල James Wan ට බාර දුන්නම එයාටත් ඔය ප්‍රශ්නයම යොමු වුනා. එතෙන්දි එයා කිව්වෙ, "බය වෙන්න එපා, ඇක්වමෑන් එකේදි එයා බබල් පාවිච්චියක් නෑ" කියලයි.

එතකොට කොහොමද උන් කතා කරන්නෙ? 

ජේම්ස් ආපහු කිව්වෙ, "people are overthinking it, they are just gonna talk" කියල. ඒ කියන්නෙ "වැඩිය හිතන්න එපා, උන් නිකම්ම කතා කරනව එච්චරයි" වගේ අදහසක්නෙ... 

ඇත්තටම Aquaman චිත්‍රපටයේ එන ඇට්ලැන්ටිස්වරු, වතුර යට කතා කරන්නෙ කොහොමද කියන එක ගැන අපි වැඩිය හිතන්න ඕනෙ නෑ තමා. මොකද ඒකට සරල හේතුවක් තියෙනවා. 

හැබැයි මේකට උත්තරේ, "ඒව කොමික්නෙ , ඒව ඒම තමා, ඒව වලින් තාත්ත්වික දේවල් බලාපොරොත්තු වෙන්න එපා" වගේ එකක් නෙවෙයි.  ඔක්කොම පටලගත්තු අය තමා එහෙම උත්තර දෙන්නෙ. කොමික් තියා මොන ෆිල්ම් එහෙක උනත්, කතාව ඉදිරිපත් කරන රාමුව තුළ, (සන්දර්භය තුළ ) ඔය වගේ ප්‍රශ්න වලට උත්තර තියෙන්නෙ ඕනෙ. ඒක ෆිල්ම් එකක්නෙ ඉතිං කියන එක උත්තරේ නෙවෙයි.

ඒ අනුව බැලුවම සුපර්මෑන්ට පියාඹන්න පුලුවන් කොහොමද? කියල ඇහුවම, ඒකට උත්තරේ, "ඉතිං ඒක කොමික්නෙ , කොමික් වල ඒම තමා , ඒවා තාත්ත්වික නෑ තමා ..." එහෙමද?

නෑනෙ. 

සුපර්මෑන් කියන්නෙ පෘථිවියට අයිති කෙනෙක් නෙවෙයි. ඌ ක්‍රිප්ටෝනියන් කෙනෙක්. ඉතිං පෘථිවියේ ගුරුත්වාකර්ෂණය වගේ දේවල් එයාට defy කරන්න පුලුවන්. අන්න ඒකයි "උත්තරේ"...  කතාවෙ පසුබිමෙන්, සන්දර්භයෙන්, රාමුවෙන් දීලා තියෙන උත්තරේ. හැබැයි ඔතනිනුත් එහාටත් ගිහින් ඒම කෝමද වෙන්නෙ? ඒක විද්‍යාත්මකව පහදන්න? වගේ අහනවනම් මොකෙක් හරි අන්න එතන අවුලක් තියෙනවා. ඌට තියෙන්නෙ ෆැන්ටසි අජීර්ණ තත්ත්වයක් . ඒවට බේත් නෑ... 

හරි , ඉතිං ඒ අනුව බැලුවම , ඔය Aquaman සම්බන්ධයෙනුත් අර ජේම්ස් කිව්ව වගේ ඕනවට වැඩිය හිතන්න ඕනෙ නෑ. Aquaman වල ඉන්න atlanteans ලට වතුර යට කතා කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ, උන් ඇට්ලැන්ටිස්වරු නිසා. ඒක උන්ගෙ ලෝකෙ. උන් මිනිස්සු වගේ පෙනුනට, උන් ඇත්තටම ගොඩබිමට අයිති ජීවීන් නෙවෙයිනේ. උන්ට වතුර යට හුස්ම ගන්න පුලුවන් වගේ, වතුර යට කතා කරන්නත් පුලුවන්. 

සරලව හිතන්න තියෙන්නෙ, ගොඩබිම ඉන්න අපිට කතා කරනකොට ශබ්ද ගමන් කරන මාධ්‍ය විදිහට වාතය තියෙනවා වගේ, ඇට්ලැන්ටිස් වලදි වතුර මාධ්‍ය විදිහට තියෙනවා එච්චරයි. එතනින් එහාට හිතන්න ඕනෙ නෑ.

හැබැයි  ඒක ප්‍රශ්න කරන එක අසාධාරණ නෑ. එහෙම තමා බොක්කෙ ෆෑන්ස්ලා.

හැබැයි ඕවගෙ ප්‍රශ්න වලට උත්තර විදිහට, ඉතිං එව්ව කොහොමත් බොරුනෙ, ඒව කොමික්නෙ... ඒව අතාත්විකයිනෙ කියන අයට කියන්න තියෙන්නෙ, හදවතට තට්ටු කරල අහන්න උඹල ඇත්තටම ෆෑන්ස්ලද? යටි හිතේ ඔය වගේ අදහස් තියාගෙන ?

තමන් ආදරය කරන දෙයක් තියෙනවා නම්, "ඒක බොරුවක්නෙ කොහොමත් ඉතිං" කියල පැනල යන එක නෙවෙයි කරන්න ඕනෙ, ඒකට

හොඳ පැහැදිලි කිරීමක් කොමික් වලින්ම සපයන එක ....

(ප.ලි. මේ සටහන ෆිල්ම් එක බලන්න කලින් ලියපු එකක්, ඉතිං ෆිල්ම් එක බැලුවනං දන්නව ඇති, ඇත්තටම මේකට ඉතා පැහැදිලි උත්තරයක් චිත්‍රපටය තුලම දෙබසක් විදිහට ලබාදෙනවා.... )



චරිත ජාති...

 චිත්‍රපට වල වීරයො ඉන්නව ඒ වගේම දුෂ්ටයොත් ඉන්නව. ඒ වගේම දැන් දැන් අලුතින් එන එව්වයැ ඉන්නව Anti-hero ල කියල ජාතියකුත්. අලුතින් කිව්වට මේ Antihero නොහොත් "ප්‍රතිවීර" චරිත සිනමාවට අලුත් දෙයක්මත් නෙවෙයි. හොලිවුඩ් වල නම් 1960 ගණන් වල ආපු ෆිල්ම් වලත් මෙහෙම අය ඉඳල තියෙනවා [උදා. Fistful of Dollars (1964) චිත්‍රපටයේ Man with No Name කියන චරිතය]. 

මේ මෑතකදී ආපු  superhero වර්ගයේ ගොඩක් ෆිල්ම්ස් වල වීරයො, ඇත්තටම වීරයො නෙවෙයි, ප්‍රතිවීරයො බව තමා පේන්නෙ. ෆිල්ම් එකක ඉන්න ඒ "වීරයා" ඇත්තටම වීරයෙක්ද නැත්තං ප්‍රතිවීරයෙක්ද කියල හඳුනගන්න පුලුවන් පහසුම විදිහ නම් ඉතිං උදාහරණ ටිකක් අධ්‍යයනය කරන එක තමා. හොඳම උදාහරණයක් තමා Deadpool. ඊට අමතරව Venom, Wolverine, Ghost Rider වගේ අයත් සලකන්න පුලුවන්. දැන් මේ අයගෙ ලක්ෂණ සලකල බැලුවම පේනවා, මෙයාලගෙ හිත හොඳ වුනත්, මෙයාල කරන වැඩ අපි දන්න සදාචාරයට විරුද්ධ බව. ඒ වගේම මේ කට්ටිය වැඩි දෙනෙකුගෙ පෙනුමත් ටිකක් අවුල්. අනික සාමාන්‍ය සුපර් හීරෝ කෙනෙකුට වගේ ළඟා වෙන්න බලාපොරොත්තු වෙන අවසන් යහපත් අරමුණකුත් නෑ. එහෙම යහපත් වැඩකට එකතු වෙන්න ලොකු උවමනාවකුත් නෑ. (මතකනෙ අර ප්‍රොෆෙසර් එක්ස් සමඟ මැග්නීටො ඇවිත්, අපිට එකතු වෙනවද කියල Wolverine ගෙන් ඇහුවම ඌ දෙන උත්තරේ) බොහෝවිට මෙයාල වැඩ කරන්නෙ තමන්ගෙම ආත්මාර්ථය පිණිස මිසක්, පොදුජන යහපත පිණිස නෙවෙයි. තවත් හොඳ උදාහරණයක් තමා, කැප්ටන් ජැක් ස්පැරෝ. මිනිහත් ඔය වගේනෙ. එයා කරන වැඩ වලින් ගොඩක් අය අමාරුවෙ වැටෙනව. ඌත් ඇතුලුව. කිසි වගකීමක් නෑ. උගේ ටීම් එක උනත් සෙනිකව පාවල දෙයි අවස්තාවක් ආවොත්. ඒත් මොකක්දො හේතුවක් නිසා, අපි, ඒ කියන්නෙ ප්‍රේක්ෂකයො ඉන්නෙ උගෙ පැත්තෙ. අපි කැමති ඌ දිනනවට. 

ඔය ප්‍රතිවීරයො ලඟින්ම යන තව කොටසක් ඉන්නව, Anti villains ල කියල. ඒ කියන්නෙ "ප්‍රති දුෂ්ටයො". මුන් ඇත්තටම අර ප්‍රති වීරයින්ගෙ පරස්පරය කිව්වනම් හරි. මේකත් පැහැදිලි කරගන්න ලේසියෙන් පුලුවන් උදාහරණ සැලකුවාම. X Men ෆිල්ම්ස් වල ඉන්න මැග්නීටො, Pirates of the Caribbean වල ඉන්න කැප්ටන් හෙක්ටර් බාබෝසා වගේ අය ප්‍රතිදුෂ්ට චරිත ලෙස සලකන්න පුලුවන්. ඒ කියන්නෙ චිත්‍රපටය තුළ දුෂ්ටයෙක් ලෙස අපි හඳුනා ගත්තත්, කතාව යද්දි අපිට තේරෙනව, මූ නරක වැඩ කළාට උගෙ හිත (පපුව) හොඳයි කියල. ඒ වගේම වෙනත් පොදු සතුරෙක් මර්දනය සඳහා, චිත්‍රපටයේ වීරයා සමඟ සන්ධානගතවීමක් දකින්නත් පුලුවන් සමහර අවස්තා වලදී.  

ප්‍රති දුෂ්ටයන්, චිත්‍රපටය තුළදී දුෂ්ටයා විදිහට පෙනී සිටියත්, ඔවුන්ගේ අර්ථයෙන් ගත්තම, එයාලගෙ සටන පිරිසිදු  පරමාර්ථයක් පිණිසයි.

තවත් චරිත වර්ගයක් තියෙනවා, මෙයාල වීරයො කියල හරියටම කියන්නත් බෑ, දුෂ්ටයො කියල හරියට අඳුරගන්නත් අමාරුයි. කොටින්ම කලුත් නෑ සුදුත් නෑ. ඒ කියන්නෙ අලු වගේනෙ? අන්න ඒ වගේ දිවිත්ව ලක්ෂණ පෙන්නන චරිත, Grey Zone එකේ ඉන්න චරිත කියල හඳුන්වනවා. මේ අයව නිර්මාණය කරල තියෙන්නෙම, වීරයෙක්ද දුෂ්ටයෙක්ද කියල තීරණයක් ගන්න අපහසු වෙන විදිහටයි. ප්‍රේක්ෂකයන්ට තනි තනිව තමන්ට හිතෙන හැටියට ඒක තීරණය කරගන්න පුලුවන්. මේ වගේ චරිතයකට උදාහරණයක් විදිහට, V for Vendetta ෆිල්ම් එකේ V කියන චරිතය සලකන්න පුලුවන්.

මේ ජාති වලට ටිකක් ලඟින් යන තව චරිත වර්ගයක් තියෙනවා, foil characters කියල. මේ චරිත චිත්‍රපටවල පාවිච්චි වෙන්නෙ, වෙනත් ප්‍රධාන චරිතයක තියෙන ලක්ෂණ උද්දීපනය කරල පෙන්නන්න, මුක්කුවක් වගේ. ඒකටත් උදාහරණයක් ගමු. හැරී පෝටර් ෆිල්ම්ස් වල එන ඩ්‍රේකෝ මැල්ෆෝයි කියන්නෙ, ඒකෙ ප්‍රධාන සුදු චරිතය වන හැරී පෝටර්ගෙ චරිතයෙ යහපත් ගුණ උද්දීපනය කරන්න යොදාගත්තු foil character එකක්. කතාව තුළදී බොහෝවිට මේ චරිත දෙකට සමාන අවස්තාවන් වලට මුහුණ දෙන්න වුනත්, ඒ අවස්තා වලදී, හැරී යහපත්/නිවැරැදි මාවත තෝරගන්නව. ඩ්‍රේකෝ යන්නෙ වැරදි පාරෙ. හැබැයි එහෙම වැරදි පාරකුත් තියෙනවා‍ය, හැරීට ඒකෙත් යන්න තිබ්බාය කියල අපිට ඒත්තු ගන්නන්න තමා ඩ්‍රේකෝව යොදාගන්නෙ. ඒකෙන් හැරීගෙ යහපත්කම වඩාත් ඔපමට්ටම් වෙලා පේනව. 

ඇත්තටම මේ foil කියන වචනය අරං තියෙන්නෙ මෙහෙමයි; මැණික්, ඇලුමිනියම් ෆොයිල් වල එතුවම ඒවයෙ පෙනුම වඩාත් හොඳට ඔපේට පේනවලු. ඉතිං අන්න ඒ වගේ සිද්ධියක්නෙ මෙතෙන්දිත් වෙන්නෙ. ඒකලු මේ නම යොදාගන්නෙ.

මේ චරිත එක එක විදිහට වර්ග කරන්න උත්සාහ කලාට, වඩාත් මිනිස්සුන්ට "දැනෙන"  විදිහට චරිතයක් නිර්මාණය කරන්න නම්, අමු වීරයෙක් වෙන්නවත්, අමු දුෂ්ඨයෙක් වෙන්නවත් කොහොමත් බෑ. ඒක නිසා දැන් දැන් හැදෙන චිත්‍රපට වල චරිත, ඉරක් ගහල වෙන් කරල මොකක් හරි ගොඩකට  (වීරයෙක්, දුෂ්ඨයෙක්, ප්‍රති වීරයෙක් හෝ ප්‍රතිදුෂ්ඨයෙක් වගේ)  දාගන්න උත්සාහ කරනවට වඩා ලේසියි, තමන්ට පුද්ගලිකව දැනෙන විදිහට චරිතය තේරුම් අරං ඌත් එක්ක ඒ පැත්තෙ හිටගන්න එක. ඕකට දෙන්න පුලුවන් හොඳ උදාහරණයක් විදිහට  IW එකේ Thanos සලකන්න පුලුවන්.



Dallas හීනය

 Dallas කියන්නෙ 1978 ඉඳල 1991 දක්වා ඇමරිකාවෙ CBS නාලිකාවෙ විකාශනය වෙච්චි ටීවි සිරීස් එකක්. සීසන් 14 ක් පුරා විසිරුණු එපිසෝඩ් 357 ක් සහිත මේ ටීවී සීරීස් එක ඇමරිකන් ටෙලි ඉතිහාසයේ දිගින් වැඩිම ටෙලිනාට්‍ය අතරින් එකක් විදිහටයි සැලකෙන්නේ. 

ඉතිං මේකෙ පොඩි විශේෂත්වයක් තියෙනවා. සීසන් 9 ඉවර වෙලා, සීසන් 10 එකේ පළවෙනි එපියෙදි ප්‍රේක්ෂකයන්ට දැනගන්න ලැබෙනවා, ඒකෙ සම්පූර්ණ සීසන් 9 එකම, ඒ කතාවෙ එන ඒ පවුලේ පුතාගෙ බිරිඳ දැකපු හීනයක් කියන එක! 

ඇත්තටම වෙන්නෙ, ඒ පුතාගෙ චරිතය කරන නලුවට ඕනෙ වෙනව ඒ කතාවෙන් අයින් වෙන්න. ඒක නිසා සීසන් 8 එකේ අන්තිම එපියෙ ඌ මැරනව. ඊට පස්සෙ සීසන් 9 එක සම්පුර්ණයෙන්ම දුවන්නෙ ඌ නැතුව. මැරිලනෙ ඉතිං ... හැබැයි ඔය කාලෙදි ෂෝ එකේ රේටින්ග්ස් බහිනව. පස්සෙ අරූට ආපහු කතා කරනව එන්න කියල. ඒකෙන් අයින් උනැයි කියල මහලොකු සෙතක් අර නලුවටත් උනේ නැති නිසා ඌත් හා කියල ආපහු ජොයින් වෙනව. 

දැන් ඕක ප්‍රේක්ෂකයන්ට කොහොමද කියන්නෙ? හරි සරලව, ඒක අර පැමෙලා කියන ඒ මිනිහගෙ බිරිඳ දැකපු හීනයක්ය කියල සීසන් 10 එකේ මුල් එපියෙදි කියල දානව... 

පව් අර සීසන් 9 එක තොල කට ලෙව කකා බලපු උන්...

ඉතිං ෆ්‍රෙන්ස්... ඇමරිකාවෙ මෙහෙම උනත් ලංකාවේ මෙහෙම වෙන්නෙ නෑ ... මේ වගේ "ටීවී සීරීස්" මෙහෙ නෑ. අපි ඊට වඩා සෑහෙන්න දියුණුයි. 😂😂



The Lovely Bones

 මෑතකදී වෙච්චි ඔය මිනීමැරීම් අරව මෙව්ව එක්ක, මීට කාලෙකට කලින් බලපු චිත්‍රපටයක තිබුණු එක වචන පේලියක් නිතර නිතර මතක් වුනා. ඊට කලින් ඒ ෆිල්ම් එක මොකද්ද කියල කියන්නම්, The Lovely Bones. 

මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ පීටර් ජැක්සන්. ඒත් ඒ නම කිව්ව ගමන් අපිට මතක් වෙන්නෙ ඔය ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වගේ ලොකු ලොකු ෆිල්ම්නෙ. හැබැයි මේ ෆිල්ම් එක ඒ ජාතියෙ නෙවෙයි. මේක යන්නෙ ගෑනු ළමයෙක් ගැන. හැබැයි ෆිල්ම් එක පටන් ගද්දිම එයා මැරිලා. ඒ මැරුණු ගෑනු ළමයගෙ ආත්මෙ තමා අපිට කතා කරන්නෙ. 

ඉතිං එහෙම කතා කරල කියපු වාක්‍යයක් තමා මතක් වෙන්නෙ:

"I remember the relief. We weren't those people, those unlucky people, to whom bad things happened for no reason." 

සිංහල තේරුම නිකං , "මට මතකයි , අපි කිසි හේතුවක් නැතුව නරක දේවල් සිදුවෙන අවාසනාවන්ත මිනිස්සු නෙවෙයි කියල හිතමින් විඳපු ඒ සැනසිල්ල" වගේ දෙයක් නෙ...

ඉතිං ඔන්න ඔය වාක්‍යය අහපු දවසේ ඉඳල, මේ රටේ මොකක් හරි කාලකණ්ණි දෙයක් සිද්ධවෙලා ඒක ටීවී එකේ පෙන්නද්දි, ඒ සිද්ධියට මුහුණ දීපු උන්, නොහොත් වින්දිතයො ටික හඬා වැලපෙමින් කැමරාවට දුක කියද්දී , මට ඕක මතක් වෙනවා. 

ඉතිං ඒ අඬන උනුත් තමන් ගැන, තමන්ගෙ පවුලේ සමීපතමයන් ගැන හිතන් ඉන්න ඇත්තෙ ඔහොම නේද? ඒත් දැන් මොකද වුනේ? ඒක මතකයක් වෙලා උන්ට. 

හැබැයි තාමත් ඔබට මට ඒක I remember .... කියල පටන් ගන්න වාක්‍යයක් වෙලා නෑ. එහෙම නොවෙන්න කියල ප්‍රාර්ථනා කරමු. 

හරි ආපහු පොඩ්ඩක් එමු ෆිල්ම් එකට. ඇත්තටම මේක අනිවාර්යයෙන් බලන්න කියල යෝජනා කරනව ඔබ තාමත් මේක බලල නැත්තං. මොකද මේ ෆිල්ම් එක මිනීමැරුමක් ගැන තිබ්බට නිකං ත්‍රිලර් එකක් නෙවෙයි. මොකද පටන් ගනිද්දිම මැරිලා ඉවරයි. ඊට පස්සෙ වෙන ටිකයි කතාව. බැලුවොත් ජීවිත කාලෙටම මතක හිටින කතාවක් වෙයි.... 

මේත් එක්කම මතක් වෙන තව දෙයක් තියෙනවා. ඔය වගේ මිනීමැරුම් වුනාම අපි හැමෝම අමතක කරන එක පාර්ශවයක් ඉන්නව ඒ තමයි චූදිතයා නොහොත් මිනීමරුවා. ඒ කියන්නෙ අපිට ඌව මතක් වෙන්නෙ බනින්න විතරයි. දැන් අර කලින් ෆිල්ම් එකේදි කිව්ව වගේ අපි කොච්චර සාන්ත දාන්තව මේ සමාජෙ හිටියත්, මොකක් හරි නරක දෙයක් සිද්ද වෙලා, පහුවදා ගොසිප් සයිට් වලයි නිව්ස් වලයි අපේ මූණ පෙන්නන්න යම් ඉඩක් තියෙනවා. හැබැයි ඒ වින්දිතයො විදිහටම නෙවෙයි. සමහර විට, ඒ සිද්ධියෙ චූදිතයා ඔබ වෙන්නත් පුලුවන්. ඒ කියන්නෙ මිනීමැරුමක මිනීමරුවා ඔබ වෙන්න බැරි නැද්ද? 

නෑ නෑ අපි නම් නිවුනු තැන්පත් මිනිස්සු... අපි දහම් පාසල් ගිය ළමයි... එහෙමද? ඒත් මට නම් හිතෙන්නෙ, අපේ ජීවිතවල, අපේ දිවි දෙවැනි කොට රකින, ආදරේ කරන මොකක් හරි දෙයක් අපිට බාහිරින් තියෙනවා නම්, අන්න ඒක නිසා අපිව මිනීමරුවෝ වීමේ යම් සම්භාවිතාවක් තියෙනවා කියලයි. මෙන්න මේ කතාව හොඳට තේරුම් ගන්න පුලුවන් අර ටොම් කෲස් ඉන්න Minority Report ෆිල්ම් එක බැලුවම. රටේම ඉන්න අපරාධකරුවො අපරාධ කරන්නත් කලින්ම අල්ල අල්ල හිටපු මිනිහට අන්තිමට මොකෝ වෙන්නෙ... දන්නෝ දනිති. 

එනිවේ , අවසන් වශයෙන්, ඔය වගේ කැත සිද්ධි වලින් අපි සම්පුර්ණයෙන්ම ආරක්ෂිතයි, අපි නම් ඕවෑ වින්දිතයො හෝ චූදිතයො වෙන් නෑ... අපි යහපත්නෙ... කියල හිතන් ඉන්නව නම් ඉතිං ඒක හුදෙක්ම ෆැන්ටසියක් විතරයි.

අපිට මේව නතර කරන්න බෑ. 

අර හැරී පෝටර් හතර වෙනි ෆිල්ම් එකේ, ඇලස්ටර් මූඩි නිතරම හැරීට කියන දෙයක් තියෙනවා , constant vigilance කියල... ඒ කියන්නෙ නිරන්තර අවධානයෙන් ඉන්න කියන එක. එච්චරම තමා අපිටත් කරන්න  පුලුවන් ඉතිං.



"යහපත් පණිවිඩයක්"....

Originally posted on Facebook on 2018/11/25

අර පිහියෙන් ඇනපු එකට ඒ කොලුවා බලපු නාට්‍ය හෝ චිත්‍රපට වල මොකක් හරි බලපෑමක් තිබුන කියල ඇත්තටම හිතනවද?

ගත් කටටම නෑ කියල කියන්නත් බෑ. මොකද අපි බලන අහන ඔය කලා නිර්මාණ වලින් අපේ චින්තනයට කිසිම විදිහක බලපෑමක් වෙන්නෙ නෑ කියල කියන්නත් බෑ. 

හැබැයි මට දැනෙන විදිහට නම්  ඕකට අර දෙවැනි ඉනිමෙ නම් මෙලෝ සම්බන්ධයක් තියෙන්නෙ විදිහක් නෑ. ඇත්තටම ඒ නාට්ටෙ කොහෙ හරි තැනක පිහියකින් ඇනල ප්‍රශ්නයක් විසඳනව පෙන්නුවද? හැමදාම බලන්නෙ නැති නිසා දන්නෑ. ඔන්න එහෙම හරි පෙන්නල තිබ්බ නම් තර්කයක් ගේන්න තිබ්බ ඔන්න ඒක බලල ඉගෙනගෙන කලා කියල (ඒකත් හුදෙක්ම කෘතිම  තර්කයක් විතරයි. ඔප්පු කරන්න බෑ) 

කොහොමත් ඕක සාකච්ඡා කරන්න තරම්වත් වටින මාතෘකාවක් නෙවෙයි . ටෙලිනාට්‍ය චිත්‍රපට වල පෙන්නන ඔය වගේ සීන් බලල එහෙම ඒව කරන්න පෙලඹෙනව නම් ඒක අදාල මනුස්සයගෙ බුද්ධියෙ අවුලක් මිසක් නිර්මාණයෙ අවුලක් නෙවෙයි. 

සමහර අය කියනව ඉස්සර ටෙලිනාට්‍ය වලින් සමාජයට යහපත් පණිවිඩ දුන්නය දැන් එහෙම ඒව නෑ කියල. මේ කාරණේ ඇත්තක් තිබ්බත්, ඒක චෝදනාවක් විදිහට කරන්න බෑ. මොකද මොකක් හරි නිර්මාණයකින් සමාජයට "යහපත් පණිවිඩයක්" දෙන්න ඕනය කියල කිසිම නිර්මාණකරුවෙක් බැඳිල නෑ. පණිවිඩයක් ලැබෙන්නත් පුලුවන් නොලැබෙන්නත් පුලුවන් . හැබැයි කලාකරුවෙකුට සදාචාරාත්මක වගකීමක් තියෙනවා තමන්ගෙ නිර්මාණය තුලින් සමාජයට අයහපතක් වෙන පණිවිඩයක් නොදී ඉන්න.

දැන් ලංකාවේ යන ටෙලිනාට්‍ය වලින් යහපත් හෝ අයහපත් කිසිම පණිවිඩයක් දෙන්නෙ නෑ. ඒව නිකං ඇල්වතුර වගේ. එකක් වත් යන්තං වත් හිතට වදින්නෙ නෑ. මට දැනෙන හැටියට නම් බහුතරයක් මිනිස්සු ඒව බලන්නෙ හුදෙක්ම රෑට මොනා හරි ටීවි එකේ බලන්න ඕනෙ නිසා. ඔහේ පෙන්නන එක බලන් ඉන්නව.

දැන් අර පණිවිඩ කතාවට ආපහු ගියොත් , ඉස්සර නම් ටෙලිනාට්‍ය කිහිපයක්ම ගියා හොඳ පණිවිඩ සමාජගත කරපු. (නැවතත් කියන්නෙ පණිවිඩයක් දීම අනිවාර්ය නැත) ඒ අතරින් හොඳටම මතකෙ රැඳිල තියෙන්නෙ සසන්ති ජයසේකරයි රොෂාන් රවීන්ද්‍රයි හිටපු නාට්‍යයක් ගියා මට නම මතක නෑ . ඒකෙ තිබ්බෙ, ඉතාම සුලු සිද්ධියක් කේන්තිය නිසා දුරදිග ගිහින් පිහිඇනුමකින් කෙලවර වෙලා , අහක හිටිය අහිංසක මනුස්සයෙක් අන්තිමට ජීවිතෙන් වන්දි ගෙවන සිද්ධියක් . 

දැන් කවුරු හරි කිව්වොත් , පිහි ඇනුම් පෙන්නන නිසා තමා පිහියෙන් අනින්නෙ කියල, මේ නාට්ටෙ පිහියෙන් අනින සීන් එක පෙන්නන්න වෙන් නෑ. නමුත් එහෙම මොට්ටපාල විදිහට කලා නිර්මාණ දිහා බලන්න හොඳ නෑ . සම්පූර්ණ කතාව දිහා බලලයි ඒක කියන්න ඕනෙ. 

කතාවක සම්පූර්ණ සිද්ධිය අවබෝධ කරගන්නෙ නැතුව කෑලි කෑලි අරං ඒව වාරණය කරන එක මෝඩ වැඩක් . අර මත්පැන් පානය කරන , දුම් බොන සීන් වුනත් එහෙමයි. ඒකට හොඳම උදාහරණයක් Requiem for a Dream චිත්‍රපටය. ඒක බලල තියෙන අය දන්නව ඇතිනෙ. දැන් ලංකාවේ සුචරිතවාදීන්ට ඕක පෙන්නුවොත් කියයි හපෝ ඕක කුඩු ගැන ෆිල්ම් එකක් නේ.. ඕක තහනම් කරන්න ඕනෙ කියල. ඕවගෙ ඒව නිසා තමා තරුණ පරපුරට මේම මේම වෙලා තියෙන්නෙ කියයි. 

දැන් අර පණිවිඩ කතාවට ආපහු පොඩි දෙයක් කියන්නම්. මේ ලඟදි බලපු චිත්‍රපටයක කතාව තිබ්බෙ ස්ත්‍රී දූෂණයක්. චිත්‍රපටය පුරාවටම තියෙන්නෙ , කොල්ලා තමන්ගෙ කෙල්ලව දූෂණය කරපු එකාව හොයාගෙන ගිහිල්ලා පලි ගන්න සිද්ධිය. ඒත් අන්තිමට පෙන්නන විදිහට ඌටමයි කෙල වෙන්නෙ. ඇත්තටම දූෂණය කරපු එකා යහතින් පැත්තක ඉන්නවා පෙන්නනව. එතනින් ෆිල්ම් එක ඉවරයි . දැන් මොකද්ද ඒකෙ "පණිවුඩේ"? අන්න ඒක තමා කියන්නෙ චිත්‍රපට වලින් පණිවිඩ දීම අනිවාර්ය නෑ. හුදෙක්ම නිර්දය යතාර්ථය ඉදිරිපත් කරන්නත් පුලුවන්.



 

Wednesday, November 11, 2020

Seven Worlds, One Planet (2019)

මේක ඉතිං ආවම බලනවාමයි කියල හිතාගෙනම හිටපු එකක්... ඔන්න අද බලන්න ගත්තා. ඇත්තටම පට්ටම ලස්සනයි. මේ ග්‍රහලෝකෙ ගැන ඇත්තටම ලොකු ආදරයක්, ගෞරවයක් ඇති වෙනව මේක බලද්දි  සහ මිනිස්සු කොච්චර ආත්මාර්ථකාමීද කියල දැනෙනවා. 

මම තාම බැලුවෙ ආක්ටික් එකට අදාල එක විතරයි. මේකෙ මහාද්වීප හතට අදාලව කොටස් හතක් තියෙනවා. ඒ හැම එකක් අන්තිමේදීම ඒ එපිය හදන්න BBC Natural History Unit එකේ කට්ටිය වෙච්චි මහන්සියත් ටිකක් පෙන්නනවා...

මේ සීරීස් එක හදන්න එක්දාස් පන්සීයක විතර පිරිසක් දින 1794 ක් ලෝකේ රටවල් හතලිස් එකක් පුරා රූගත කිරීම් කරල තියෙනවා. ඒ සමහර දර්ශන කොහොම රූගත කලාද කියල හිතාගන්නත් අමාරුයි.

ඉතිං මේ ආක්ටික් කලාපයට අදාල රූගත කිරීම් වල කොටසක් විදිහට රාජකීය පෙන්ගුයින් සහ යෝධ සීල් මසුන් අධික ලෙස ගැවසෙන ශාන්ත ඇන්ඩෲස් දිවයිනට (බොක්කට) මේ සෙට් එක යනව. ඒ යන ගමනෙදි, ඒ පොඩි යාත්‍රාවේ ඉන්න කණ්ඩායමේ කැමරා ශිල්පියාට "සී සික්" එක හැදිල වමනේ දමමින් යන්නෙ. ඔහුට එපා වෙලා ඉන්නෙ ඒ වෙද්දිත්. නමුත් ඒ දිවයිනට ගියාම ඔහුගේ ඒ අදහස වෙනස් වෙනව. ඇත්තටම මිනිසා කියන සතාව එච්චරම දැකල පුරුදු නැති නිසාද කොහෙද ඒ දූපතේ ඉන්න සීල් සහ පෙන්ගුයින්ල මේ කට්ටියව ගණන් ගන්නෙවත් නෑ. ඒ නිසා සමහර දර්ශන, බලාපොරොත්තු නොවූ තරම් කැමරාව ලං කරල රූ ගත කරන්න ඔවුන්ට හැකි වෙනව.

විශේෂයෙන්ම යෝධ සීල් පිරිමි සතුන් දෙදෙනෙකුගේ ද්වන්ධ සටනක් ඉතාම ලඟින් ඉඳල රූපගත කරනව. ඒක ඉතිං බලන්නම ඕනෙ ... 

ඇත්තටම හරිම පුදුමයි ඒ මුලු දූපතම. ඒක ඇත්තටම තියෙන තැනක්ද කියල හිතෙනව.

ඉතිං අපිට ඒක බලන් ඉද්දි එහෙම හිතෙනව නම්, රූගත කරන්න එතෙන්ටම ගිය අයට ඒක කොහොම දැනෙන්න ඇත්ද? ඇත්තටම අර කැමරා ශිල්පියා ඒ මොහොතේ හැඟුම්බර වෙනව. ඔහුගේ ඇස් වල කඳුලු පිරිලා ඉන් පස්සෙ කදුලු හැලෙනව. ඔහු කියනව, මේක කොච්චර ලස්සන තැනක්ද? මේ වගේ තැන් මේ මහපොලොවේ තාම තියෙන එකම පුදුමයක්. ඒත් අපේම වැඩ නිසා මේවා තව කාලෙකින් නැති වෙලා යයි.. අපිට මේව රැකගන්න බැරි වෙයි නේද... කියලයි ඔහු දුක් වෙන්නෙ. 

ඇත්තටම ඒක බොරු ෂෝ එකට කරපු ඇඬිල්ලක් නෙවෙයි.අඬනව නෙවෙයි ඇත්තටම ඇඬෙනවා...

ඒ එපිසෝඩ් එකේ කීප අවස්තාවකදීම මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා ගෝලීය උණුසුම ඉහළ යාම සහ අසීමාන්තිකව දඩයම් කිරීමට ලක්වීම නිසා ඒ සත්තුන්ගේ ගහන ක්‍රමයෙන් අඩුවෙලා යන හැටි පැහැදිලි කරල දෙනව.

ඔබ ඇත්තටම පරිසරයට ආදරය කරන හදවතක් තියෙන කෙනෙක් නම් ඔබටත් ඇඬෙයි බොහෝවිට...

ඉතිං ඇස් දෙකක් තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන් බලන්න ඕනෙ සීරීස් එකක් කියල තමා කියන්න තියෙන්නේ.

(හොඳම කොලිටියෙන් ඩවුන්ලෝඩ් කරන් බලන්න. නැතුව වැඩක් නෑ... )



World War Z

 World War Z බැලුව ආපහු. මේ ලෝකෙ විනාස වෙනවනම්, (වෙනවට නෙවෙයි ඉතිං කියන්නෙ මම කියන්නෙ වෙනවනම්,) මම ආස සොම්බි ඇපොකැලිප්ස් එකකින් වෙනවට තමා. ඒ ෆීලින්ග් එක උපරිමෙන් දෙන ෆිල්ම් එකක් තමා මේක. 

අව කැපෙන කතා කියන්නෙ නැතුව හිටපංකො මේ වගේ වෙලාවක... සොම්බි ඇපොකැලිප්ස් එකක් වගේ ගොන් කතා කියන්නෙ ඕව වෙන්න පුලුවන් දේවල් ද ? වගේ කියන අයට මම කියන්නෙ  10th Man Rule එක ගැන හොයල බලන්න. මමම මේ ෆිල්ම් එකට අදාලව, මේ පේජ් එකේම ඒක ගැන කලින් විස්තරයක් දාල තියෙන නිසා ඒක ආපහු දීර්ඝව කියන්නෙ නෑ. එනිවේ, නිකං හිතල බලන්නකො, ගිය අවුරුද්දේ මේ කාලෙ වගේ කෙනෙක් කිව්වනම්, ලබන අවුරුද්දේ මේ කාලෙ වෙද්දි වයිරස් ඇටෑක් එකක් නිසා රටටම දවස් දෙකක් ඇඳිරි නීතිය දාන්න වෙයි කියල , ඒක කී දෙනෙක්ට විහිලුවක් වෙයිද? අන්නේකයි කියන්නෙ 10th Man Rule එක වැදගත් කියල. 

ඉතිං කොහොමහරි මේ ෆිල්ම් එකේ කතාවෙ පෙන්නන විදිහට ලෝකයේ අනික් සියලු රටවල් රේබීස් වර්ගයේ දරුණු වයිරසයක් නිසා රූපීයව සොම්බි ඇපොකැලිප්ස් එකකට ඉතා සමාන තත්ත්වයකට මුහුණ දෙද්දි, ඊශ්‍රායලය විතරක් ඊට හොඳින් මුහුණ දෙනව. ඒ සම්බන්ධයෙන් ලැබෙන හෝඩුවාවක් හරහා අපේ කතා නායකය (බ්‍රැඩ් අයිය) ඊශ්‍රායලයට යනව. එහෙම ගියාම එයාට දකින්න ලැබෙන්නෙ ඒ ගොල්ලො නගරයේ කොටසක් වෙන් කරල දැවැන්ත තාප්පයක් ගහල, වයිරස් ආසාදනය නොවුනු පිරිස පරීක්ෂා කරමින් ඒ තාප්පෙන් වටවුනු ආරක්ෂිත කොටසට ගන්න බව. මෙහෙම කරන්න එයාලට පුලුවන් වෙලා තියෙන්නෙ, මේ වගේ දෙයක් වෙයි කියල කලින්ම බලාපොරොත්තු වෙලා එහෙම තාප්පයක් හදපු නිසයි. ඒක කරන්න පුලුවන් වුනේ අර කියපු දසවැන්නාගේ නීතිය අනුව කටයුතු කරපු නිසයි...

ඔන්න ඉතිං තාප්පෙන් එලියෙ සොම්බිල එහෙ මෙහෙ යනව. තාප්පෙන් වටවුනු ආරක්ෂිත කොටස ඇතුලට ආපු පිරිසට ඉතිං හරි සතුටුයි. සතුට දෝරෙ ගලා ගිහින් අනේ අපි නම් බේරුනා කියල හිතිල නිකං චූන් එකක් වගේ ගිහින් එකෙක් ගීතිකාවක්/ස්තූති ගීයක් වගේ එකක් ගායනා කරන්න පටන් ගන්නව... අනික් උනුත්, මේ වෙලාවෙ හැටියට, අපේ ජීවිත බේරල දුන්නු මේ හැමෝටම ස්තූති කරන්න අපේ මට්ටමෙන් කරන්න පුලුවන් දේකට කියල තියෙන්නේ මෙච්චරයිනේ දෙයියනේහ්.... කියල හිතාගෙන බොහොම සද්භාවයෙන් අර ගීතයට දායක වෙනව... හොඳ වැඩක්නේ කාගෙ උනත් නේද කියල, ඉක්මනින් මේ වැඩේට කට්ටිය එකතු වෙලා ඔන්න ඉතිං දැන් සීයක් විතර මේ ගීතය පිලිවෙලට ලස්සනට ගායනා කරනව... හරිම සුන්දර දර්ශනයක්. මනුෂ්‍යත්වයේ නාමයෙන් එකතු වූ මොහොතක්....නේද ?

මේක ටිකක් "අවුල්" වගේ තේරුනත් ආරක්ෂක අංශ වල අයත් මේකට කෙලින්ම විරුද්ධ වෙන්න යන්නෙ නෑ . එයාල නොසන්සුන්ව නමුත් ඉවසීමෙන් බලන් ඉන්නව... ඒත් , චිත්‍රපටයේ මුල ඉඳලම පෙන්නන විදිහට වයිරසේ ආසාදනය වුනු අය ආකර්ෂණය වෙන්නෙ ප්‍රධාන වශයෙන්ම ශබ්දයට... අන්න ඒ නිසා වෙන්න ඕනෙ එවෙලේ ඒ නිලධාරීන්ගෙ මූණු ඇඹුල් වෙන්නෙ. නමුත් විරුද්ධ නොවෙන්නෙ , ඒ වගේ සුන්දර දේකට අකුල් හෙලල මිනිස්සු ඉස්සරහ නරුමයො වෙන්න බැරි නිසා වෙන්න ඇති. ඒ කෙසේ වෙතත් අපේ කතානායකයට නම් මේක හොඳටම වැටහිලා, ඒ මොහොතේ කෑ ගහල කියනව, ඔය සින්දු කියවිල්ල නවත්තන්න... උන් එන්නෙ සද්දෙට කියල... 

ඒත් ඒ වෙද්දිත් පරක්කු වැඩියි. තාප්පෙන් එහා පැත්තෙ හිටපු සොම්බි , පොදියක් වගේ අර ශබ්දය එන තැන ඉලක්ක කරගෙන එකතු වෙලා අන්තිමට තාප්පෙන් එහාට පනින්න ගන්නව. අනේ ඉතිං, අර රූල් මේ රූල් දාගෙන අවුරුදු ගනන් ප්ලෑන් කරල හදපු ඔක්කොම එක මොහොතෙන් හුචස් වෙලා හැමෝම හිස් ලූ ලූ අත දුවන්න ගන්නව... 

අන්න ඒකයි කියන්නෙ, මේ වගේ සිද්ධියකදි, තමන් කරන වැඩේ මොන තරම් පින් අතේ උනත්, කෘතගුණ දැක්වීමක් වුනත්, මනුස්සකම පෙන්වීමක් වුනත්, අදාල සිද්ධිය ගැන විද්‍යාත්මකව හඳුනාගෙන "කරන්න එපා" කියල වර්ග කරල තියෙන ගොඩට ඒක වැටෙනවද කියල කල්පනා කරල බලන්න, කරන්න කලින්. නැත්තං මේක පාලනය කරන්න දිවා රෑ නොබලා වෙහෙසන මිනිස්සුන්ගෙ මහන්සිය අපතේ යන්න පුලුවන් ඒ වගේ එක වැඩක් නිසා. 

ඉතිං හදවතට වඩා මොළේට මුල් තැන දීල තීරණ ගමු. ගෙදර ඉමු. ෆිල්ම් බලමු. 🤗



ඔස්කා සම්මානෙ ලැබුනු කෙනා සභාවට කියන "වචන ස්වල්පය"

 ඔස්කා සම්මාන උළෙලක් දැන් සාමාන්‍යයෙන් පැය තුනකට ආසන්නව ගියත්, මුල්ම ඔස්කා සම්මාන උළෙල (එතකොට ඔස්කා කියන නම තිබ්බෙත් නෑලු...) පැවතිලා තියෙන්නේ පැය කාලක් වගේ පොඩි කාලයක්. පස්සෙ පස්සෙ සම්මාන ගාන, සහ කැටගරි ප්‍රමාණෙත් ටිකින් ටික වැඩි වෙලා දැන් තියෙන තත්ත්වයට ඇවිත්. 

කොහොම හරි දැන් නම් සංවිධායකයන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමා, මේක පැය තුනත් පන්නල යා නොදී ඒ ලිමිට් එක ඇතුලෙ රඳවගන්න එක. ඉතිං ඒක කරගන්න එයාල විවිධ නීති රීතිත් ගෙනත් තියෙනව. ප්‍රධාන එකක් තමා ඔස්කා සම්මානයක් ගත්තැයින් පස්සෙ ඒ සම්මානෙ ලැබුනු කෙනා සභාවට කියන "වචන ස්වල්පය" කියන්න දෙන වෙලාව තප්පර 45 කට සීමා කිරීම. මේ සීමාව නිල වශයෙන්ම තීරණය කලේ 2010 අවුරුද්දේ ඉඳලයි. හැබැයි එහෙමෙයි කියල සම්මාන ගන්න නලු නිලියො මේක ටක්කෙටම අනුගමනය කරන්නෙ නෑ , නමුත් උත්සාහ කරනව ඉතිං. හැබැයි කවුරු හරි සම්මානෙ අරන් ඕනවට වඩා කියෝනව වගේ නම් එයාට ඒක දැනෙන්න අරින්නෙ අර වාදක මඩුල්ල පොඩි මියුසික් කෑල්ලක් වාදනය කරන්න පටන් ගැනීමෙන්. ඒක නිකං සංඥාවක්, දැන් ඔයාගෙ ලිමිට් පැනල තියෙන්නේ කියල අඟවන්න. 

ඒත් සාමාන්‍යයෙන් හොඳම නලුවා, නිලිය, අධ්‍යක්ෂණය, චිත්‍රපටය වගේ සම්මාන වලදි මේ ටයිම් ලිමිට් එක පොඩ්ඩක් එහා මෙහා කරල ටිකක් වැඩියෙන් කාලය දෙන එක කෙරෙනව. උදාහරණයක් විදිහට ලියනාඩෝ ඩිකැප්‍රියෝට හොඳම නලුවට සම්මානෙ ලැබුනම එයා විනාඩි තුනක් විතර කතා කරන්න ඉඩ දුන්න. ඊට කලින් සැරේක ජුලියා රොබර්ට්ස්ට ලැබුනම එයාත් ටිකක් වැඩියෙන් කතා කළා. ඔන්න එතකොට අර වාද්‍ය වෘන්දය සංගීතෙ දාන්න යනකොට ජුලියා එයාලටත් පොඩි සැරක් දානව, "මේක මට ලැබුනු සුවිශේෂී අවස්තාවක්, ආපහු ලැබෙයිද කියන්නත් බෑ, ඒක නිසා ඔය කෝටු කෑල්ල පහතට දාපිය" කියල (මියුසික් කන්ඩක්ටට කියන්නෙ, අර කෝට්ට වනන්නෙ...)

හැබැයි ඉස්සර ඔහොම ලිමිට් එකක් නොතිබුනු කාලෙ, හරියටම කිව්වොත් 1942 අවුරුද්දේ පැවැත්වුනු පහලොස්වෙනි ඇකඩමි සම්මාන උළෙලෙදි Mrs. Miniver චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළිය සම්මානය ලබපු Greer Garson කියන නිලිය, සම්මානෙ අරන් ඉවර වෙලා මිනිත්තු පහමාරක් විතර දිග ස්තූති කතාවක් කියල තියෙනවා. ඇත්තටම මේ සිද්ධිය තමා, මේ "ඇක්සෙප්ටන්ස් ස්පීච්" එකට ටයිම් ලිමිට් එකක් දාන්න ඕනෙ කියන තැනට පාර කපපු සිද්ධිය විදිහට සැලකෙන්නේ.

ගොඩක් අය දිග කතා කියන්න කැමති උනත්, ඉතා කෙටි ස්තූති කතා කරපු අයත් ඉන්නව. එයින් ඔස්කා ඉතිහාසයේ කෙටිම ස්තූති කතාව (acceptance speech) විදිහට සැලකෙන්නේ 1962 තිබ්බ 35 වැනි ඔස්කා සම්මාන උළෙලෙදි Patty Duke නම් දාසය හැවිරිදි නිලියක් The Miracle Worker කියන චිත්‍රපටය වෙනුවන් හොඳම සහය නිළියට හිමි සම්මානෙ දිනල කරපු කතාව, ඇගේ කතාවෙ වචන දෙකයි, ;"Thank you" ...

ඊට අමතරව එවැනිම කෙටි සභාව ඇමතීමක් කරල තියෙන්නේ ඇල්ෆ්‍රඩ් හිච්කොක්, 1968 දී. ඉන් පෙර පස්වතාවක් ඔස්කා සම්මාන සඳහා නිර්දේශ වෙලා තිබ්බත් එයාට සම්මාන දිනාගන්න පුලුවන් වුනේ නෑ. ඉතිං මේ 1968දිත් එයාට ලැබෙන්නේ, අර සාමාන්‍ය ඔස්කා සම්මානෙ නෙවෙයි, Irving G. Thalberg Memorial Award කියල හඳුන්වන චිත්‍රපට කර්මාන්තයට කරපු අනූපමෙය මෙහෙයට පිදෙන ගෞරව සම්මානයක්. ඒත් ඇල්ෆ්‍රඩ් හිච්කොක් මේ සම්මානෙ ගත්තෙ එච්චරම ආසාවකින් නෙවෙයි. ඒ නිසාද මන්දා එයා සම්මානෙ අරන් මයික් එක ළඟට ගිහින් ඉතා කෙටියෙන් "thank you" කියල යන්න යනව. ගිහින් ආපහු ඇවිත් "...very much indeed" කියල කොටසක් එකතු කරත්, ඒ වෙද්දි මයික් එක ඕෆ් වෙලා අර වාද්‍ය වෘන්දය වාදනය පටන් අරන් නිසා ඒ ටික ඇත්තටම ඇගෙන්නෙ නෑ... (ඔය රූපෙ ඔහු ඒ සම්මානෙ අරගත්ත මොහොතේ ....)



OSCARS 2019

 සුද්දෙකුයි කල්ලෙකුයි ඉන්ට්‍රො එක දෙන්න ආවම මම කල්පනා කලේ, ඉතිං "හරිම විදිහට" බැලුවොත් ඒකත් වැරැදියිනෙ... මේ ලෝකෙ සැලකිය යුතු පිරිසක් චීන ජාතිකයො ඉන්නව, ඉන්දියන් එවුන් ඉන්නව,ජපන් කොරියන් උන් ඉන්නව උන්ගෙනුත් නියෝජනයක් තියෙන්න ඕනෙ නේද කියන එක😅.  හැබැයි සෙරමිනිය පුරාවටම සැරින් සැරේ අර කොරියන් කාරය ඇවිත් චියෑං ෆෑන්  මියැව් ගගා කියෙව්ව නිසා කොරියාව චීනය ජපානය ඇතුලු ඇස් මෙව්ව වෙච්චි ලෝක ජනගහනය එතන නියෝජනය උනා. අවුලක් නෑ. 

ඊළඟට ගෑනු සෙට් එක.... උන් හිතන් ඉන්නෙ උන් ෆිල්ම් නොහැදුවත් ජනගහන අනුපාතයට අනුව අවෝඩ් වලින් යම් ප්‍රමාණයක් උන්ට දෙන්න ඕනෙ වගේ එකක්. නැටලි පෝට්මන් ගවුම් වාටියෙ එම්බ්‍රොයිඩර් කරන් ඇවිත් තියෙන්නේ මේ අවුරුද්දේ ෆිල්ම් හැදුවත් අවෝඩ් වලට නොමිනේට් නොවුනු ගෑනු ෆිල්ම් ඩිරෙක්ටස්ලගෙ නම්ලු. හරි වැඩක් නෙ යකො ෆිල්ම් හැදුවට ඊට වඩා හොඳ ෆිල්ම් වෙන එවුන් හදල තියෙනව නම් මැරෙන්නද ඉතිං. පටන් ගද්දිම ක්‍රිස් රොක් කාරය කින්ඩියක් (ද?) දැම්මා "යූ නෝ වට් වී ඩෝන්ට් හෑව් මච් එමන්ග් නොමීනීස් ? වැජයිනාස්" කියල. 

ගැල් ගැඩොට්, බ්‍රී ලාසන් සහ ඒලියන් ගෑනි ඇවිදින් කලෙත් ෆෙමිනිස්ම් මගුල උලුප්පන එක. උන් ෆයිට් ක්ලබ් දැම්මලු බැක් ස්ටේජ්... පිරිමින්ටත් ජොයින් වෙන්න පුලුවන්ලු... හැබැයි ශර්ට් ලස් එන්න ඕනෙලු... දිනන උන්ට ඩියෝඩ්‍රන්ට් සුෂී සහ ටෙකීලා ලයිෆ් ටයිම් සප්ලයි එකක් ලැබෙනවලු... පරදින එකා,  හොලිවුඩ් වල ගෑනියෙක් වීම (විදිහට සර්වයිව් වෙන එක) ගැන දැනෙන දේ සම්බන්ධව මාධ්‍යවේදීන්ගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනෙලු... මොකද අප්පා මෙහෙම ? හොලිවුඩ් වල ගෑනුන්ට පැවැත්මක් නැත්තං උන් තුන් දෙනා ඔතන ඉඳීද කොටින්ම . මළ විකාර.

පැරසයිට් එකට හොඳම ෆිල්ම් එක ලැබුනු එක ගැන අවුලක් නෑ . ඒක හොඳ ෆිල්ම් එකක් . නමුත් ඒකට ඒ අවෝඩ් ලොට් එක දුන්නෙ, ඇකඩමි අවෝඩ් කියන්නෙ තවදුරටත් හොලිවුඩ් ෆිල්ම් අවෝඩ් සෙරමනි එකක් නෙවෙයි , ඉන්ටර්නැෂනල් මෙව්ව එකක් කියන පණිවිඩය ලෝකෙට දෙන්නද කියලත් හිතෙනව. දැන් අර "බෙස්ට් ෆොරීන් ලැන්ග්වේජ් ෆිල්ම්" අවෝඩ් එකේ නමත් "බෙස්ට් ඉන්ටර්නැෂනල් ෆීච ෆිල්ම්" කියල වෙනස් කරලනෙ. 

සමහර විට ඉදිරියේදි මේක නිකං ඔලිම්පික් වගේ රට රටවල් අතින් අතට මාරු වෙන ඉවෙන්ට් එකක් වෙයිද මන්දා...

අමතරව ඉතිං හැමදාමත් වගේ ස්ටේජ් සෙටප් එක එහෙම නම් සුපිරිම විදිහට තිබ්බ. හැමදේම  පිලිවෙලට සංවිධානය කරල තිබ්බ. තප්පර කීපෙකින් මුලු ස්ටේජ් එකම වෙනස්ම විදිහට පරිවර්තනය වෙන විදිහ බලන්න ලස්සනයි. එමිනම්ගෙ පෆෝමන්ස් එකත් ඉතිං සුපිරියි.



"SPECIES "

 වයිරස් මානසිකත්වයේ ඉඳන් අලුත් කොරොනා වයිරස් එක ගැන හොයද්දි දැන ගන්න ලැබුනෙ, ඒ වයිරස් එකේ සම්පූර්ණ ජාන කේතය (genetic code) දැන් කාටත් බලාගන්න පුලුවන් විදිහට ප්‍රසිද්ධ කරල තියෙන බව. මේක අලුත් දෙයක් නෙවෙයි හැබැයි. මීට කලින් හොයාගත්ත වයිරස් වල ජෙනටික් කෝඩුත් මෙහෙම බලන්න පුලුවන්. හැබැයි මේකේ විශේෂත්වය වුනේ, මෙහෙම වයිරස් එකක් තියෙනවා කියල හොයාගෙන මාසයක් වගේ කෙටි කාලෙකින්, වයිරස් එකේ සම්පූර්ණ ජීනෝම් එක මේ විදිහට එලියට දාපු එක. ඒක ඇත්තටම චීන විද්‍යාඥයන්ගේ දක්ෂකමක් කියල කියන්න පුලුවන්. 

දැන් මේ සම්පූර්ණ ප්‍රවේණි කේතය තියෙන නිසා වාසි කිහිපයක් සැලසෙනව. එකක් තමා ලෝකේ ඕන තැනක ඉන්න, විද්‍යාඥයෙක්‍ට හෝ විද්‍යාඥයන් කණ්ඩායමකට, අදාළ ඇත්ත වයිරසයේ සාම්පල් නැතුව උනත්, සරලව අර ජෙනටික් කෝඩ් එක දාල තියෙන වෙබ් සයිට් එකට ගිහින් වයිරස් එකේ සැකැස්ම ගැන සම්පූර්ණ අවබෝධයක් ලබාගන්න පුලුවන් වීම. එතකොට එයාල මේ වයිරස් එකට මොකක් හරි බෙහෙතක් හොයාගන්න බලාපොරොත්තු වෙනව නම් මේ තොරතුරු ටික යොදාගන්න පුලුවන්, සජීවී හෝ අජීවී වයිරස් සාම්පල් වල අවශ්‍යතාවක් නැතුව. මේක මේ වයිරස් එකට බෙහෙතක් හොයාගන්න තියෙන සම්භාවිතාව සෑහෙන ගුණයකින් ඉහළ දාන දෙයක්. 

අනික් වාසිය තමා, වයිරස් එක ඇඟට ඇතුල් වෙලා, එකේ බීජෞෂණ සමයේ (incubation period) ඉන්න, රෝග ලක්ෂණ නොපෙන්වන (සති දෙකක් විතර යනවලුනෙ රෝග ලක්ෂණ පෙන්නන්න) කෙනෙකුගෙ ඇඟේ උනත් හරියටම වයිරස් එක තියෙනවද නැද්ද කියල හොයාගන්නත්,  වයිරස් genome එකේ සම්පූර්ණ තොරතුරු තියෙන නිසා දැන් පුලුවන් වෙලා තියෙනවා. ඒක ඇත්තටම ලොකු දෙයක්. (මන් දන්නෑ ලංකාවේ ඒක පුලුවන් ද කියල නම්.)

ඉතිං ඔය වයිරස් එකේ ජෙනටික් කෝඩ් එක අපිට උනත් ගිහින් බලන්න පුලුවන්. ඒත් ඉතිං ඒ ගැන ඉගෙනගෙන තියෙන කෙනෙකුට මිසක් සාමාන්‍ය කෙනෙකුට ඒකෙන් වැඩක් නෑ...

මට නම් ඒක බලද්දි මතක් උනේ, අවුරුදු ගානකට කලින් බලපු ෆිල්ම් එකක්, නම "SPECIES " .

දැන් මේ වයිරසේ ජෙනටික් කෝඩ් එක එලියට දාපු නිසා, ඇත්තටම ඒ අවශ්‍ය තාක්ෂණික මෙවලම් තියෙන කෙනෙකුට, ඒ තොරතුරු වල කියන විදිහට නියුක්ලියොටයිඩ් පිළිවෙලට අමුණලා ඔය වයිරස් එක අලුතින් නිෂ්පාදනය කරන්න උනත් පුලුවන්. (එහෙම පිස්සුවක් ඉතිං කාටවත් හැදිල නෑ තාම, අනික මොකටද ඉතිං එච්චර දඟලන්නෙ මිනිස්සු මරනව නම් ඊට ලේසි ක්‍රම තියෙනවනෙ ලෝකෙ.)

ඉතිං අර කිව්ව ෆිල්ම් එකේ යන්නෙත් ටිකක් ඔය වගේ සීන් එකක්. හැබැයි පිටසක්වල ලෙවල් එකෙන්. 

ඒ කියන්නෙ, ඒ ෆිල්ම් එකේ හැටියට රේඩියෝ තරංගයක් විදිහට පිටසකවලින් එන මැසේජ් එකකින් විද්‍යාඥයන්ට ලැබෙනවා නියුක්ලියොටයිඩ් අනුපිළිවෙලක්. ඒ අනුව, උන්ටත් නිකා ඉන්න බැරි කමට, ඒ කියන පිළිවෙලට නියුක්ලියොටයිඩ් අමුණලා "බොහොම අමාරුවෙන්" තමා ඒ කතාවෙ එන ඒලියන්ව "හදවඩා" ගන්නෙ.  කොහොම උනත් එදාමෙදා තුර බලපු ඒලියන් සීන් එකේ ෆිල්ම් අතුරෙන් දැකපු අමුතුම සහ, ඇත්තටම වෙන්නත් බැරි නැති කන්සෙප්ට් එකක්. ෆිල්ම් එකත් හොඳයි. තුනක් ආව. පළවෙනි එක නම් හොඳට තිබ්බ කියල මතකයි. 

(ඔය විදිහටම පිටතින් ලැබෙන තරංගයකින් එන තොරතුරකින් මෙහෙ යානයක් හදන සිද්ධියක් තිබ්බා Contact කියන ෆිල්ම් එකෙත්.)

හරි . ඉතිං ඔය ජීවීන් නිර්මාණය කරන්න පුලුවන් තොරතුරු නොහොත් ජෙනටික් කෝඩ් data  විදිහට එහෙමෙහෙ යවන්න පුලුවන් කියල මතක් උනේ, මේ කොරෝනා වයිරස් එකේ genetic sequence එක බලන්න ගිහින්නෙ. ඒකේ ලින්ක් එකත් දාන්නම් පලවෙනි කමෙන්ට් එකේ. ආස අය බලන්න ගිහින්.

ඒ වගේම නිකං කල්පනා කරල බලන්න , ඔයා ඒ ෆෝන් එකෙන් හෝ ලැප්ටොප් එකෙන් බලන වයිරස් ජෙනටික් කෝඩ් එක, ඒකට ආවෙත් තරංගයක් විදිහට නේද ? ඉතිං අපිට පුලුවන් නම් ඒක ප්‍රබල රේඩියෝ තරංගයක් විදිහට හදල ඈත විශ්වයට සම්ප්‍රේෂණය කරන්න... සමහර විට ඈත එපිට ග්‍රහලෝකෙක ඉන්න සෑහෙන *කේ අමාරුවක් තියෙන පිටසකවල විද්‍යාඥ ජීවීන් පිරිසක් එකතු වෙලා අපේ මැසේජ් එක ග්‍රහණය කරගෙන ඩිකෝඩ් කරගනී. ඉන්පස්සේ හරිම කුතුහලයෙන් නියුක්ලියොටයිඩ් අනුපිළිවෙලට තියල හදල බලයි.... ඉන්පස්සේ උන්ටත් කොරෝනා හැදුනම කාටද ආඩම්බර? 😅  ජාති ආගම් බේද නැතුව හෝමෝ සේපියන්ස් විදිහට ආඩම්බරයක් දැනෙයි නේද ? 😎



කාලය මැව් වෙනසක අරුමේ...

 කාමරේ අස් කරද්දි පරන පොතක් හම්බුනා. ඒක දැක්කම තමා මතක් උනේ, අනේ මට එහෙම පොතකුත් තිබ්බ නේද කියල . මට මං ගැනම පොඩි දුකක් වගේම සතුටකුත් එක්ක ආත්මානුකම්පාවක් මිෂ්‍ර වෙච්චි හැඟීමක් ආවා....

ඒ කාලේ දැන් වගේ ඉන්ටර්නෙට් නෑ. නමුත් දැන් වගේම එදත් හොලිවුඩ් ගැන හොයන්න ෆිල්ම් ගැන තොරතුරු හොයන්න ආසයි. ඒක තමා ප්‍රධාන විනෝදාංශය. ඉතිං ටීවී එකේ එහෙන් මෙහෙන් යන ඔය එක එක සඟරාමය වැඩසටහන් වලට පෙන්නන දේවල් ඇරුණම ඒ තොරතුරු දැන ගත්තේ පත්තර වලින්. ඒත් සිංහල පත්තර. ඉංග්‍රීසි සඟරා ඉතිං ගෙදරට ගන්නෙත් නෑ. ඒවට "ළඟා වීමේ" ක්‍රමයක් තිබ්බෙත් නෑ...

කොහොම හරි,  අම්මා දවසක් හවස ගෙදර එද්දී මොනව හරි දාගෙන ආපු බෑග් එකක් නිකමට නෙත ගැටුනා. අනේ බැලින්නං හොලිවුඩ් ෆිල්ම් ගැන තියෙන ඉංග්‍රීසි සඟරාවක පිටු වලින් තමා ඒ බෑග් එක හදල තිබ්බෙ. 😱. ඉතිං මම ඔපරේෂන් එකක් කරනව වගේ සීරුවට ඒ බෑග් එක විච්ඡේදනය කරල කැබලි වෙන් කලා. ඉන්පස්සේ ඒ කෑලි ටික සීරුවට මෙන්න මේ පොත අස්සට දැම්ම. මේ පොත හදාගෙන තිබ්බෙ මමමයි. සුදු කොල වලට උඩින් පොලිතින් කොල සෙලෝටේප් කරල ඇල්බම් එකක් වගේ දේවල් දාන්න පුලුවන් වෙන්න . 

ඉතිං මේ අදින් අවුරුදු විස්සකට වගේ කලින් වෙච්චි දෙයක් . අදත් ඒ පොත අස්සෙ ඒ දේවල් එහෙම්ම තියෙනවා.  විසි කරන්න දුකයි. ඉස්සර පත්තරේක  හොලිවුඩ් ෆිල්ම් එකක් ගැන ආටිකල් එකක් ගියොත් ඒක කපල තියාගන්නව. රූපයක් ගියොත් ඒක කපල මේ ඇල්බම් එකට දානව.

දැන්නම් ප්‍රතිපත්තියක් විදිහටම කොල /පත්තර කෑලි මුකුත් එකතු කරන්නෙ නෑ. අවශ්‍යම දෙයක් නම් ෆොටො එකක් අරන් තියාගන්නව . 

ඉන්‍ටනෙට් කියන්නෙ මොකද්ද කියල බලන්නත් එක්ක ඉස් ඉස්සෙල්ලාම ඉන්ටනෙට් කැෆේ එහෙකට ගිහින් කලෙත් යාහූ සයිට් එකේ movies කැටගරි එක බැලීම. ඉන් පස්සෙ ආයි එන්න ආපහු සල්ලි දෙන්න වෙන නිසා, මම පුලු පුලුවන් තොරතුරු ටික කොලේක ලියාගෙන තමා ආවේ . 🤗😂

කාලය මැව් වෙනසක අරුමේ කියන්නෙ හරි පුදුමයි ඉතිං. ඉස්සර අමාරුවෙන් හොයාගෙන එකතු කරපු තොරතුරු පින්තූර වල ඇත්තටම අද අගයක් නෑ. මොකද ඒ දේවල් ඔක්කොම සරලව ගූගල් සර්ච් එහෙකින් හොයාගන්න පුලුවන්... හැබැයි ඒ පොඩි කාලෙ තිබ්බ තොරතුරු පිපාසයට සාපේක්ෂව , ඒ කාලෙත් මේ වගේ ස්මාට් ෆෝන් කෑල්ලක් අතේ තිබ්බ නම් මොනවැයින් මොනා වෙලා තියෙයිද කියල හිතාගන්නත් බෑ.



මොකක්ද මේ Witcher වල නිතරම කියවෙන "Law of Surprise"?

 Witcher වල නිතරම කියවෙන දෙයක් සහ කතාවේ තීරණාත්මක සිද්ධි කීපයක්ම පදනම් වෙලා තියෙන සංකල්පයක් තමා  Law of Surprise කියල හැඳින්වෙන "නීතිය" ...

ඉතිං මොකක්ද මේක ඇත්තටම ?

කතාවේ කියවෙන විදියට නම්, මේ නීතිය මනුෂ්‍යත්වය තරම්ම පරණ චාරිත්‍රයක්. මේ නීතියේ හැටියට නම්, කිසියම් පුද්ගලයෙක් තවත් කෙනෙක්ගේ ජීවිතය බේරාගන්න මුල් වෙන දෙයක් කලොත්, දිවි ගැලවුනු තැනැත්තා විසින්, දිවි බේරාගත් තැනැත්තාට වාසියක් වෙන කිසියම් වූ දෙයක් දෙන්න බැඳෙනව. ඉතිං මේ ප්‍රතිලාභයේ ස්වභාවය පිලිබඳ දෙපාර්ශවයම දැනුවත් වෙන්නත් පුලුවන් නැත්නම් එක් පාර්ශවයක් විතරක් දන්න දෙයක් වෙන්නත් පුලුවන් ...කොහොමහරි කලින් සැලසුම් නොකරපු දෙයක් වෙන්න ඕනෙ මේ දෙන දේ. ඒකනෙ surprise කියන්නෙ....

මෙතනදී මේ Law of Surprise කියන දේ ඉල්ලන ආකාර දෙකක් තියෙනවා .... 

එකක් තමා:

"ඔබට සුභපැතීමට ඔබ ඉදිරියට එන පළමු දේ" ඉල්ලීම. 

මේ විදියට ඉල්ලන්නෙ සාමාන්‍යයෙන් අතරමගදී වෙන සිද්ධියක් නිසා Law of Surprise උදා වුනාම. (ඒ කියන්නෙ අතරමංවෙලා, හොරුන්ට අහුවෙලා ,  වලක වැටිලා ඔය වගේ දෙයක් ගමනක් යන අතරමැද වෙලා ජීවිතය අනතුරේ වැටිලා තියෙද්දී බේරගත්ත අවස්ථාවක තමා මේ ක්‍රමයට Law එක ඉල්ලන්න පුලුවන්.)

එතෙන්දි, අපි හිතමුකො අර බේරුණු මනුස්සය ගෙදර යද්දි ඉස්සරහට දුවන් ආවෙ ගෙදර බල්ල කියල, ඔන්න එතකොට බල්ලව තමා ප්‍රතිලාභය විදියට බේරපු කෙනාට දෙන්න වෙන්නෙ... එහෙම නැත්තං ආයුධ අමෝරාගෙන හේවායෙක් ඉස්සරහට ආවොත් .. එතකොට ඌව තමා ... එක්කො නැත්තං බේරිච්ච කෙනා "බෑනෙක්" නම්, එයා ගෙදර එද්දි එයාගෙ නැන්දම්මා බැන ගෙන ඉස්සරහට ආව කියමු... එතකොට ඉතිං නැන්දම්මව තමා Law of Surprise විදියට අර බේරගත්ත එකාට දෙන්න වෙන්නෙ....!

නමුත් ඔය උඩ කිව්ව කරුණු ඕක ගැන විහිලුවට වගේ ගොතපු දේවල් (ඒත් ඇත්තටම වෙන්නත් බැරි නෑ හැබැයි.) නමුත් මේ ක්‍රමයෙන් Law of Surprise ඩිමාන්ඩ් කලාම වෙන්න පුලුවන් දෙයක් තමා, ගෙදර ඉන්න දරුවෙක්, තාත්තව දකින්න පෙරමඟට දුවන් එන එක. අන්න එතකොට, මේ පළමු ක්‍රමය යටතේ, ඒ ළමයව, අර ජීවිතය බේරාගත් කෙනාට උරුම කරල දෙන්න වෙනව...

(කල්පනා කරල බැලුවොත්, Law of Surprise කියන වචන ටික පාවිච්චි නොකලට, සමහර සුරංඟනා කතන්දර වලත් මේ සිද්ධිය තියෙනවා.)

හරි ඔය එක ක්‍රමයක්. අනික්  Law of Surprise ඉල්ලන ක්‍රමය තමා:

"ඔබේ ගෙදර තියෙන, නමුත් තියෙයි කියල ඔබ බලාපොරොත්තු නොවන දේ" ඉල්ලීම....

මේ යටතේ, අදාල මනුස්සය (ජීවිතය බේරුනු) කෙනා ගෙදර යනකොට, එයාගෙ බිරිඳ හොර මිනිහෙක් එක්ක ඉඳල අර මනුස්සයට අහුවුණොත්, Law එක යටතේ අර හොර මිනිහගෙ උරුමය හිමිවෙන්නේ අර ජීවිතය බේරපු, Law of Surprise මේ දෙවෙනි ක්‍රමයට ඩිමාන්ඩ් කරපු කෙනාට ...!

එහෙම නැත්තං ගෙදර අය මෙයාට නොදන්නවා බලු පැටියෙක් ගෙනත් තිබ්බා කියමු, එහෙමත් නැත්තං ගෙදර වැස්සිට පැටියෙක් ලැබිල හිටිය කියමු. එතකොට ඒව තමා Law එකට යටත් වෙන්නෙ....

නමුත් බොහෝවිට වෙන්නෙ, මේ මනුස්සයට දාව බිරිඳට දරුවෙක් ලැබෙන්න ඉන්නව වගේ දෙයක් තමා. එතකොට ඉතිං ඒ නූපන් දරුවගෙ හෝ අලුත උපන් (මෙතෙන්දි අපි තේරුම් ගන්න ඕනෙ මේ අතීත කාලයේ නිසා, පිරිමි අය ගෙවල් වලින් පිට මාස ගණන් ඉන්නව, යුද්ධ වලට, රස්සාවට වගේ ගිහින්. එතකොට ඔහුට දාව උපන් දරුවෙක් ඉන්න පුලුවන් ඔහු මාස ගාණකට පස්සෙ නැවත ගෙදර එද්දි සහ ඔහු ඒ ගැන නොදැනුවත්ව ඉන්න ඉඩක් තියෙනවා කියන දේ... ) දරුවගෙ උරුමය හිමිවෙන්නේ අර ජීවිතය බේරපු කාටහරි...

දැන් බලමු මේ Witcher කතාවෙදි ඕක උපයෝගී වෙන විදි...

ස්පොයිලර් alert ...

මේ කතන්දරේ හතරවෙනි එපියෙදි තමා ඕක බරපතළ ලෙස කතාවට සම්බන්ධ වෙන්නෙ. එතනදී, පවෙටා කුමරිය තමාට හිමි බව කියමින් එන අර Urcheon කියන නයිට් වරයා, එහෙම කියන්නෙ ඔන්න ඔය Law of Surprise යටතේනෙ.

එතන වෙලා තියෙන්නේ ඒ නයිට්වරයා පවෙටා කුමරියගේ තාත්තාගේ ජීවිතය බේරල තියෙනවා කලින් අවස්ථාවකදි. ඒ මොහොතේදී ඔය උඩ කිව්ව ක්‍රම දෙකෙන් දෙවෙනි ක්‍රමය යටතේ ඒ කුමරියගේ තාත්තා නොහොත් Roegner of Ebbing, මේ නයිට්වරයට Law of Surprise ලබා දෙනවා... ඒ අනුව කුමරිය ඉපදුනු පසු ඇගේ උරුමය ඔහුට හිමි වෙනවා.

ඉන්පස්සේ, ඔය නයිට්වරයා එදා රෑ ඇවිත් පවෙටා කුමරියට අයිතිවාසිකම් කියල එතන සිද්ධියක් වෙනවනෙ. එතෙන්දි ඒ නයිට්වරයගෙ ජීවිතය බේරන්නෙ ගැරල්ට්. එතකොට ඒ නිසා බිහිවෙන Law of Surprise එක යටතේ, නයිට්වරයා ගැරල්ට්ට කියනවා, දෙයක් ඉල්ලන්න කියල. ඒත් ගැරල්ට් උනන්දු වෙන්නෙ නෑ ඒක ඉල්ලන්න... අන්න එතෙන්දි ඒ නයිට්වරයා කියන දේත් මෙතෙන්දි වැදගත්. එයා කියන්නෙ යමක් ඉල්ලල ඒක ඉවරයක් කරන්න, නැත්තං තමන් සදාකාලික ණයකාරයෙක් වෙනව වගේ දෙයක්. ඒ කියන්නෙ, ඇත්තටම ජීවිතය බේරගනු ලැබූ කෙනා, බේරපු කෙනාගෙන් law of surprise කියන දේ බලාපොරොත්තු වෙනව වගේම, law එක ඉල්ලන්න පුලුවන් කෙනාට "අනේ ඕනෙ නෑ" කියල කියන්න බැරි සිද්ධියක් තමා තියෙන්නේ. එහෙම කරන එක අර බේරුනු කෙනාට කරන මදි පුංචිකමක් වගේ දෙයක්...

ඔන්න එතකොට ගැරල්ට් අර ක්‍රම දෙකෙන් දෙවෙනි ක්‍රමය යටතේ Law එක ඩිමාන්ඩ් කරනව... ඉතිං ඒ විදියට තමා සිරී කුමරියගේ ඉරණම ගැරල්ට් එක්ක බැඳෙන්නේ... 

ඒ වගේම Law of Surprise කියන දේට හැමෝම ගරු කරනව. එහෙම වෙන්නෙ, ඒක නොසලකා හැරියොත් හෝ පොරොන්දු වූ පරිදි ඉටුනොකර වංචා කරන්න ගියොත් එහෙම කරන්න හදපු කෙනාට නරක ප්‍රතිවිපාක වලට මූණ දෙන්න වෙනවා කියන භයක් හැමෝටම තියෙන නිසයි. ඒ වගේම ඒ කතාවේ ඇත්තක් තියෙනවා කියල අපිට තේරනවා Law of Surprise මඟ අරින්න හදපු කලන්තේ රැජිනට වෙච්චි දේ සිහිකරනකොට...

අන්තිම එපිසෝඩ් එකේදී, ගැරල්ට් වෙළෙන්දෙක්ගෙ ජීවිතය බේරගන්නවනෙ. නමුත් එතෙන්දි වෙන සටනින් ගැරල්ට්ටත් තුවාල වෙන නිසා වෙළෙන්දා තමන්ගේ කරත්තෙම ගැරල්ට්ව දාගෙන යන ගමන් ගැරල්ට්ට කියනවා, ඔයා මගේ ජීවිතය බේරුවා, ඒ නිසා Law of Surprise ඉල්ලන්න කියල. ඒත් එතෙන්දි ගැරල්ට් කියන්නෙ  "ඒල් (ale) එකක් අරං දීලා ණය ගෙව්ව කියල හිතා ගන්න" කියල. නමුත් වෙළෙන්දා කියනවා, Law එක යටතේ දෙන්න තරම් දෙයක් තමන්ට නැති උනත්, "තමන් සතුව තියෙන, නමුත් තියෙනවා කියල තමන් නොදන්න දෙයක්"  තියෙනවා නම් ඒක දෙන්න පුලුවන් කියල. ඉතිං ඇත්තටම මේ දෙන්නා පස්සෙ ඒ වෙළෙන්දාගේ ගෙදර ගියාම, "ඒ වෙළෙන්දා නොදන්න නමුත් ඔහු ගෙදර එනකොට තියෙන දේ" තමා, සිරී කුමරිය ! ඒ අනුව බැලුවම, ගැරල්ට් ඩිමාන්ඩ් නොකළත්, කළා නම් Law of Surprise යටතේ දෙවෙනි වතාවටත් ඔහුට සිරීව උරුම වෙනවා...




The Aeronauts (2019)

වැඩි කතාබහට ලක් නොවුනත්,  හිතපු තරම් ආදායම් අතින් සාර්ථක නොවුනත්, බලන්න වටින, සත්‍ය සිදුවීමක් පාදක කරගත්ත චිත්‍රපටියක් තමා මේ... 

මේකෙ කතාව යන්නෙ 1862 සිද්දවෙන සැහැල්ලු බැලූන් චාරිකාවක් ගැන. ඒ කාලේ ඉතිං දැන් වගේ ප්ලේන් රොකට් එව්ව මෙව්ව නෑනෙ... අහස තරණය කරන්න ආස මිනිස්සුන්ට තිබ්බ ප්‍රධානම ක්‍රමය තමා මේ සැහැල්ලු වායු පුරවපු බැලුන් පාවිච්චි කිරීම. හැබැයි මේවා "හොට් එයා බැලූන්ස්" නම් නෙවෙයි , අර දැන් තියෙනවා වගේ. මේවා හැදුවේ අර අපි පොඩිකාලේ හයිඩ්‍රජන් පුරවල බැලුන් හදපු විදියටම, තඩි සයිස් එකෙන් බැලුන් හදල ඒවට හයිඩ්‍රජන් වගේ සැහැල්ලු වායුවක් පිරවීමෙන්. බැලුම රඳවපු රැහැන් ලිහපුවම බැලුම ඒකට සම්බන්ධ මිනිස්සු ඉන්න කූඩෙත් උස්සගෙන ඉහළට යනව. ඒක පාලනය කරන්නෙ බැලුම ඇතුලෙ තියෙන වැලි ගෝනි අහකට හලල. හලන්න හලන්න බර සැහැල්ලු වෙන නිසා බැලුම තව තව උඩ යනව. එතකොට ආපහු පහළට එන්නෙ කොහොමද ? ඒකත් සරලයි. බැලුමෙ ඉහළින් පොඩි කපාටයක් තියෙනවා, ඒක පහළ ඉඳල අරින්න වහන්න පුලුවන් . ඒ කපාටය ඇරියම අර ඇතුලෙ පිරිල තියෙන සැහැල්ලු වායුව නිදහස් වෙනව. එතකොට බැලුම ටික ටික පහළ බහින්න ගන්නව. පොලොවට ලං උනාම බැලුම ඇතුලෙම තියෙන පොඩි නැංගුරමක් වගේ එකක් එලියට විසි කරනව. එතකොට ඒක පොලොවෙ තියෙන ගහක වගේ දේක පැටලිලා ඔන්න බැලුම නතර වෙනව...

ඉතිං ඕක මම කියල වැඩක් නෑ... මේ ෆිල්ම් එක බලලම තේරුම් ගන්න එක තමා ලේසි. හැබැයි එතනින් එහාට ගිය කතාවක් මේ චිත්‍රපටියෙ තියෙනවා .

මේකෙ කතා නායකයා, James Glaisher (ජේම්ස් ග්ලෙයිෂර්) ඔහු ඉංග්‍රීසි ජාතික කාලගුණ විද්‍යාඥයෙක් වගේම අහස් යාත්‍රිකයෙක්. හැබැයි එතනත් ඔන්න විශේෂත්වයක් තියෙනවා. මොකද මේ ජේම්ස් විද්‍යාඥයෙක් විදියට ජීවත් වෙච්චි එක්දාස් අටසිය පනස් ගණන් වලදී මිනිස්සු අහස , වලාකුළු හෝ අහසේ විවිධ ස්තර ගැන ලොකු දේවල් දැනන් හිටියෙ නෑ. කොටින්ම "කාලගුණ විද්‍යාව" කියල ලොකුවට දෙයක් තිබ්බෙත් නෑ . කාලගුණය ගැන අනාවැකි කියන්න පුලුවන් කියල මිනිස්සු විස්වාස කලෙත් නෑ. නමුත් ජේම්ස් ග්ලෙයිෂර් ඒක එහෙම පුලුවන් කියල විස්වාස කළා. ඒ කාලෙ වෙද්දි ඔහු බ්‍රිතාන්‍යයේ රාජකීය සංගමයේ සමාජිකයෙක් ( Fellow of the Royal Society) වෙලා හිටියා. ඉතිං මේ සංගමයේ මැදිහත් වීම් සහ ආධාර ඇතුව, එයා බැලූන චාරිකාවක් සංවිධානය කරනව. ඒ මුල් චාරිකාව සිද්දවෙන්නෙ 1862 ජූලි හත්වෙනිදා. මේ ගමනට ඔහු සමඟ "පයිලට්" විදියට එකතු වෙන්නෙ ඒ කාලෙ හිටිය පලපුරුදු බැලූන යාත්‍රිකයෙක් වෙච්චි Henry Coxwell. මේ පළමු චාරිකාව සාර්ථකව නිම කරන මේ දෙන්නා, දෙවෙනි චාරිකාව කරන්නෙ ඒ අවුරුද්දේම සැප්තැම්බර් 5 වෙනිදයි. ඉතිං මේ ෆිල්ම් එකේ කතාව විදියට යන්නෙ අන්න ඒ දෙවෙනි බැලූන් චාරිකාවෙදි සිද්දවෙන දේවල් ටික. මේ චාරිකාව සුවිශේෂී වෙන්නෙ, ඒ කාලෙ විදියට මිනිහෙක් අහසේ ඉහළට ගිය වැඩිම දුර වෙන මුහුදු මට්ටමේ සිට අඩි 35800 ක විතර දුරක් ගොස් වාර්තාවක් තියන්න මේ දෙන්නට හැකි වීම.

හැබැයි ඉතිං චිත්‍රපටියේ මේ කතාව ටිකක් වෙනස්. ටිකක්මත් නෙවෙයි එක අතකට ලොකු වෙනසක් ඒක. චිත්‍රපටි කතාව තුළදී, මේ හෙන්රි කොක්ස්වෙල් කියන බැලූන යාත්‍රිකයාගේ සැබෑ චරිතය වෙනුවට Amelia Wren නම් මනඃකල්පිත කාන්තා බැලූන යාත්‍රිකයෙක්ගේ චරිතයක් යොදාගෙන තියෙනවා. 

ඒක නිසා සැබෑ කතාවෙදී හෙන්රි කොක්ස්වෙල් විසින් සිදුකළ ක්‍රියා ටික චිත්‍රපටිය තුළදී කරන්නෙ මේ ඇමීලියා කියන චරිතය විසිනුයි. ඉතිං එහෙම වෙනසක් කලේ ඇයි කියන එකට චිත්‍රපටි අධ්‍යක්ෂක කියල තියෙන්නේ එතනදී ඇමිලියා , එකල සිටි එවැනි බැලූන චාරිකා වලට සහභාගි වූ කාන්තාවන් නියෝජනය කිරීම සඳහා යොදාගත් පොදු චරිතයක් බව. ඇත්තටම චිත්‍රපටියේ ඇමීලියාගේ චරිතය සහ ඒ චරිතයේ පසුබිම් කතාවට සමාන සත්‍ය කතාවක් තියෙන බැලූන් පයිලට් කෙනෙක් වෙච්චි, Sophie Blanchard නම් කාන්තාවකුත් ඉඳලා තියෙනව. එහෙම බැලුවම මේ ෆිල්ම් එකේ කතාව, සත්‍ය කතා කිහිපයක් එකතු කරල හදාගත්ත මිශ්‍ර කතාවක්...

කොහොමහරි ඉතිං බැලූන චාරිකාව මොන වගේද ඒකෙ වෙන්නෙ මොනවාද කියල මම කියන්නෙ නෑ. මම ඔය කිව්වෙ ඒ චාරිකාවෙ පසුබිම් කතාව විතරයි. මම නම් කියන්නෙ මේක අනිවාර්යයෙන් බලන්න. ඉහළ අහසේ වලාකුළු අතර අයස්කාන්ත දර්ශන ගොඩක්  තියෙනවා හරිම ලස්සන. අනික කිසිම කම්මැලිකමක් නැතුව ගලාගෙන යන කතාවක්...

තව ඉතිං මේ ජේම්ස් ග්ලෙයිෂර් ගැන නම් වචනයක් දෙකක් කියන්නම ඕනෙ... 

කලිනුත් සඳහන් කලා වගේ, ඔහු තමා කාලගුණය පිළිබඳ අධ්‍යනය, "විද්‍යාවක්" කියල හඳුනාගෙන, වලාකුළු, උෂ්ණත්වය, ආද්‍රතාවය වැනි දේවල් ගණනය කිරීම ඔස්සේ "කාලගුණ අනාවැකි" කියල දෙයක් ඇත්තටම කියන්න පුලුවන් කියල ලෝකෙට මුලින්ම කිව්වෙ... ඉතිං මේක මුලින්ම කිව්වම හැමෝටම ජේම්ස් විහිලුවක් වුනත්, අද ඔහු ඒ වෙනුවෙන් ලැබිය යුතු ගෞරවය ලබනවා... 

මේ චිත්‍රපටිය තුළ පෙන්නනව වගේ බැලූන චාරිකා වලිනුත් ඔහු කලේ වායුගෝලය ගැන දත්ත තොරතුරු එක් රැස් කිරීමයි. ඒ සඳහා ඔහු අදාල සියලු උපකරණත් අරගෙනයි ඒ ගමන් ගියේ. අයනගෝලය, අජටගෝලය ආදී වශයෙන් වායුගෝලයේ විවිධ ස්තර තියෙන බව මුලින්ම ලෝකෙට හෙලි කලෙත් ඔහුමයි.

ඉතිං , විද්‍යාවයි සෞන්දර්යයි ලස්සනට මුහු වෙච්චි ෆිල්ම් එකක් වෙච්චි මේක බලන්න කියල ආපහු කියනව... බලල මේ මිනිස්සු/ගවේෂකයෝ/විද්‍යාඥයො ගැනත් හොයන්න. 

අද අපි ස්මාට් ෆෝන් එකේ කරන එක ටච් කිරීමකින් ඉදිරි දින පහේ කාලගුණය ගැන තොරතුරු ආවත් ඒ තත්ත්වෙට ලෝකය ඇවිත් තියෙන්නේ මීට අවුරුදු සිය ගාණකට කලින් මේ මිනිස්සු ජීවිතය දෙවෙනි කරල හොයාගත්ත දේවල් වලින් බව අපි තේරුම් ගන්න ඕනෙ... ඒ නිසා ඒ වගේ මිනිස්සු ගැන දැන ගත්තා කියල පාඩු නෑ...

[ඔය නිල් පාටින් තියෙන්නේ බ්‍රිතාන්‍යයේ ජේම්ස් හිටිය ගෙදර ඔහුව සිහිවෙන්න සවිකළ නිල් පාට ඵලකය. (Blue plaque එක)]





The Witcher (2019-)

ඩයිහාඩ් ෆෑන්ස්ල නම් නෙට්ෆ්ලික්ස්ලගෙ අලුත්ම වැඩේ දැනටමත් බලල ඉවර ඇති. පළවෙනි සීසන් එක එපිසෝඩ් අටයි.

පොත් කියවපු අයට හෝ ගේම්ස් ගහපු අයට නම් මේකෙ කතාව ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන්. නමුත් මේ ෆ්‍රැන්චයිස් එකට සම්පූර්ණ අලුත් කෙනෙකුට කතාව හොඳටම තේරුම් ගන්න නම් ටිකක් 'හෝම්වර්ක්' කරන්න වෙනව. 

පහල ටිකේ ස්පොයිලර්ස් තියෙන්න පුලුවන්. ඒක නිසා බලපු අය විතරක් කියවන්න....

මේ සීසන් එක බලාගෙන බලාගෙන යද්දී හතරවෙනි එපිය වගේ යද්දි පොඩ්ඩක් පැටලෙන ගතියක් ආවෙ නැද්ද? මට නම් එහෙම වුනා. එතෙන්දි තමා මට හරියටම තේරුම් ගියෙ එච්චර වෙලා එකම ටයිම් ලයින් එකක යනව කියල හිතන් හිටිය කතාව ඇත්තටම යන්නෙ ටයිම්ලයින් තුනක බව. ටයිම්ලයින් කිව්වට මේ අර ඕල්ටනේට් ටයිම්ලයින් සීන් එකක් නෙවෙයි. එකම යතාර්ථයේ කාල තුනක තමා ප්‍රධාන චරිත තුන ඉන්නෙ, ඒ කියන්නෙ ගැරල්ට්, යෙනෙෆර් සහ සිරි ඉන්නෙ.

මේක එහෙමයි කියන්න මුල ඉඳලාම පොඩි පොඩි ඉඟි කතාව ඇතුලෙන් දුන්නත්, ඔබ සාවධානව කතාව නොබැලුව නම් සහ දෙබස් අවධානයෙන් අහන් නොහිටිය නම් ඒක මිස් වෙන්න පුලුවන්.

ඇත්තටම මේකෙ සිරී කියන කුමරිය ඉන්නෙ වර්තමානයේ කියල සැලකුවොත්, ගැරල්ට් සීසන් එකේ පළවෙනි එපියෙදි ඉන්නෙ අන්න ඒ වර්තමානයට වඩා අවුරුදු පණහක් විතර පිටිපස්සෙන්. ඒ කියන්නෙ ගැරල්ට්ගෙ කතාව මුලින්ම පටන් අරං පෙන්නන්නෙ සිරිට වඩා දශක පහකට විතර කලින් අතීතයක ඉඳලයි. එතකොට අර මායාකාරිය, යෙනෙෆර්ගෙ ඔරිජින් ස්ටෝරිය, නොහොත් එපිසෝඩ් දෙකේ ඉඳලා පටන් ගන්න සීන් එක, මේක ඒ වෙද්දි අපිට පෙන්නන ගැරල්ට්ගේ කතාවටත් අවුරුදු ගණනාවකට කලින් තමා වෙන්නෙ. ඒ කියන්නෙ අර යෙනෙෆර් මැජික් ඉගෙනගන්න යන එක සහ අවලස්සන බවේ ඉඳල ලස්සන බවට හැරවෙන කන්වර්ෂන් එක...

ඉතිං අපිට එකගොඩේ පෙන්නුවට, මේ සීරීස් එකේ මුල් එපිසෝඩ් වලදි මේ කැරැක්ටස් තුන ඉන්නෙ වෙනස් කාල තුනක.  ඉදිරියෙන්ම (නොහොත් වර්තමානයේ) ඉන්නෙ සිරී කුමරිය. එයාට අවුරුදු ගානකට පිටිපස්සෙන් තමා ගැරල්ට්. ඊටත් පිටිපස්සෙන් තමා යෙනෙෆර්. හැබැයි කතාව ඉදිරියට ගලන් යද්දි ටික ටික මේ තුන් දෙනාගේ කතන්දර වල කාල පරතර අඩුවෙලා යනව. ඒ කියන්නෙ ගැරල්ට් සහ යෙනෙෆර්ගෙ කතා ඉස්සරහට පනිමින් එන්නෙ. එහෙම ඇවිත් ඔන්න සීසන් එකේ මැද හරියෙදි ගැරල්ට් සහ යෙනෙෆර් එකට හමුවෙනව. එතනින් එහාට ඒ දෙන්නගෙ ටයිම්ලයින් සමපාත වෙනව. ඒත් සිරී තවමත් ඉන්නෙ ඉදිරියෙන්. අන්තිම එපියෙදි තමා මේ තුන් දෙනාගෙම කතා එකම ටයිම්ෆ්‍රේම් එකක් ඇතුලට සෙට් වෙන්නෙ.

මේ විදියට මේ කතාව යන්නෙ කාල තුනක උනාට , ඒක ප්‍රේක්ෂකයන්ට අඟවන්න, 50 years ago හෝ present day ආදී වශයෙන් කෙලින්ම කියන්නෙ නම් නෑ. නමුත් තේරුම් ගන්න පොඩි පොඩි දේවල් සපයනව. හොඳම උදාහරණයක් තමා, අර ෆොල්ටෙස්ට් කියන රජාගෙ දුවෙක් ස්ට්‍රීගා කෙනෙක් වෙලා ඌව ගලවන්න ගෙරල්ට් යන සිද්ධියෙදි, ගෙරල්ට්ගෙ කතාවෙ අපිට පෙන්නනව ඒ රජා සහ එයාගෙ සහෝදරියගෙ චිත්‍රයක්, ඒ දෙන්න පොඩි කාලෙ.  දැන් වෙද්දි (නොහොත් ගෙරල්ට්ගෙ වර්තමානයේ) ඒ රජාට අවුරුදු පණහක් විතර ඇති. හැබැයි ඒ එපිසෝඩ් එකේම යෙනෙෆර් අර ලස්සන වෙන සිද්ධියෙන් පස්සෙ සහභාගි වෙන ඩාන්ස් එකේ ඔය ළමයි දෙන්නම ඉන්නව ළමයි විදියට. ඒ කියන්නෙ ඇත්තටම යෙනෙෆර්ගෙ කතාව යන්නෙ ගැරල්ට්ට වඩා අවුරුදු පණහක් විතර පිටිපස්සෙන් බවට දෙන ඉඟියක් තමා ඒක. 

ඊට අමතරව පැටලෙන සුලු තව තැනක් තමා අර ඉත්තෑ නයිට් කෙනෙක් (Urcheon) ඉන්න එපිය. නොහොත් හතරවෙනි එපියෙ වෙන සිද්ධිය. ඇත්තටම මේක පටන් ගද්දි ඔය ටයිම්ලයින් ශිෆ්ට් වෙන සීන් එක නොදැනුනු ප්‍රේක්ෂකයෙක් අන්ද මන්ද වෙන්න පුලුවන් මොකද පළවෙනි එපියෙ මැරිච්ච එවුන් මේකෙ ඉන්නව පෙන්නනව. හැබැයි ඒක ක්ෂණිකව අවබෝධ වෙනව ඊළඟ මිනිත්තුවේදී මොකක්ද සීන් එක කියල. 

එනිවේ, මෙතෙන්දි අපිට පෙන්නන්නෙ ගැරල්ට්ගේ කතාවනෙ. ඒ කියන්නෙ සිරීගෙ කතාවට වඩා අවුරුදු ගානක් පිටිපස්සෙන්. (ඒ එපියට එද්දි ඒ දෙන්නගෙ කතා අතර පරතරය අවුරුදු පහලොවක් විතර වෙන්න ඕනෙ.) දැන් එතකොට අර මුල් එපියෙ වෙන යුද්දය තාම වෙලා නෑ. සින්ට්‍රා සිටි එක හොඳට තියෙනව. කලන්තේ රැජින තාම ඉන්නව. කලන්තේ රැජිනට එහයින් මේසෙ වාඩිවෙලා ඉන්නෙ, සිරී කුමරිය නෙවෙයි. ඒ ඉන්නෙ එයාගෙ අම්මා, පවෙටා කුමරිය. මේකත් පැටලෙන්න පුලුවන් මුලින්ම බලද්දි මොකද ඒ නිලියො දෙන්නත් ටිකක් එක වගේ. එතකොට අර ඉත්තෑ නයිට් තමා සිරීගෙ තාත්තා, Duny. 

Dunny සහ Pavetta ට ලැබෙන දූ කුමරිය තමා Cirilla කියන්නෙ. එතෙන්දි Witcher විසින් Duny ව බේරගන්න නිසා තමා, Law of Surprise යටතේ Cirilla ගේ උරුමය ගෙරල්ට්ට ලැබිලා ඒ දෙන්නගෙ ඉරණම් එකට බැඳෙන්නෙ... 

හරි. මේ ටික කියන්න හිතුවෙ, මුකුත් නොදැන බලපු කෙනෙකුට පැටලෙන්න තියෙන ඉඩ වැඩි නිසා. මොකද  පළවෙනි සැරේ බලද්දි, ඒකෙ ඉන්න මිනිස්සුන්ට, තැන් වලට, සත්තුන්ට කියන නම් ගම් මේ ඔක්කොමත් අලුත්නෙ. ඒ මදිවට ටයිම්ලයින් වලත් ඇඹිරිල්ලක් තියෙනවා. නමුත් සාවධානව බැලුව නම් පැටෙලෙන්නෙත් නෑ හැබැයි. 

හැම එපියක්ම පටන් ගනිද්දි ඒ එපියට අදාල වෙන සංඛේතයක් දානවනෙ. අටවෙනි එපියෙදි එතෙක් දාපු සංඛේත හතම මිශ්‍ර වෙලා තමා ඒ අවසන් එපියට අදාල සංඛේතෙ හැදෙන්නෙ.

 [ඒ සංඛේතයේ, වෘකයගෙන් ගැරල්ට්වත්, කවුඩාගෙන් (කවුඩෙක් වෙන්න ඕනෙ, swallow කියන්නෙ) සිරීවත්, ඔබ්සිඩියන් තාරකාවෙන් යෙනෙෆර් වත් නියෝජනය වෙනව...]

ඒකෙන් ඇඟෙවෙනව මෙතෙක් වෙන වෙනම ආපු ප්‍රධාන චරිත තුන එකම ට්‍රැක් එහෙකට ආවා කියන දේ...

ඒ වගේම අටවෙනි එපියෙදී සිරී, යෙනෙෆර් සහ ගැරල්ට් තුන් දෙනාම ඉන්නෙ එකම වර්තමානයක එකම ස්තානයක බවත් අපිට වැටහෙනවා. 

ඉතිං Witcher සාගා එක ඇත්තටම පටන්ගන්නෙ එතනින් කිව්වොත් හරි...




සිංහල සිනමාවේ හිඟන්නො...

මේ පහල තියෙන රූපෙ දැක්කම මට ඇතිවෙච්ච ප්‍රධාන ගැටලුව තමා, 

අපි චිත්‍රපටියක් හෝ වෙනයම් ඕනෑම කළා නිර්මාණයක් නරඹන්න/අහන්න /කියවන්න ඕනෙ, ඒක නිර්මාණය කරපු කෙනාට කීයක් හරි හම්බ කරල දීමේ පරමාර්ථයෙන්ද? 

එහෙම නැත්තං ඒක රසවිඳීමෙන් අපිට(මට) ලැබෙන සතුට/වින්දනය අරමුණු කරගෙනද කියන එක.

මම නම් එකෙන්ම අයිති ඔය දෙවෙනි ගොඩට.

ඒක නිසා, වෙන රටක නිෂ්පාදනය වෙච්චි චිත්‍රපටියක් නොබලා ඒ වෙනුවට මේ පහළ ඉන්න සෙට් එකට "මුදලක් ලැබෙන නිසා" සිංහල  චිත්‍රපටියක් නැරඹීම, මමනම් කවදාවත් කරන්නෙත් නෑ කරන්න බලාපොරොත්තුවකුත් නෑ.

මම සිංහල චිත්‍රපටියක් සල්ලි දීල බලන්නෙ, සල්ලි දීලා බලන්න තරම් වටිනාකමක් ඒකෙ තියෙනවා නම් විතරයි. ඒ ඇරුණම ඕවෑ රඟපාන, අධ්‍යක්ෂණය කරන අයට ජීවත් වෙන්න කන්න අඳින්න ක්‍රමයක් ඇත්තෙම නැත්තං, ඔය CCC , Liberty වගේ හෝල් වලට ඇතුල් වෙන දොරවල් ලඟ පිං කැටයක් තිබ්බ නම් සානුකම්පිතව හිතල කීයක් හරි දාන්න තිබ්බ ඒවෑ යන ෆිල්ම් (හොලිවුඩ් හෝ බොලිවුඩ්) බලන්න යන වෙලේට.

මොකද ඔය සමහර හිඟන්නො ඉන්නෙ "අනේ මහත්තයො මට ජීවත් වෙන්න ක්‍රමයක් නෑ... මේ කපුරු පැකට් එක ගන්න, මේ හඳුන්කූරු පැකට් එක අරං උදව්වක් කරන්න" කියල හිඟා කන ? එතකොට මට සාමාන්‍යයෙන් කපුරු හෝ හඳුන්කූරු ගන්න අවශ්‍යතාවයක් නැති නිසා, මම කරන්නෙ ඒ මනුස්සයට උදව්වක් විදියට කීයක් හරි දෙන එක. පව්නෙ.  අන්න ඒ වගේ ක්‍රමයක් හඳුන්වා දුන්න නම් හරි සිංහල සිනමාවේ සිටින මේ හිඟන පිරිසටත්. නැත්තං ඇත්තටම මේ කවුරුත් බලන්නෙ නැති හඳුන්කූරු , කපුරු මට්ටමේ නිෂ්පාදන කරන අධ්‍යක්ෂකවරුන්ට ජීවත් වෙන්න කන්න අඳින්න අමාරුයි තමා. පව්.

කිසිම රටක කිසිම කලා ක්ෂේත්‍රයක් මේ තත්ත්වෙට, ඒ කියන්නෙ "අනේ අපිට ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න ඔයාල අපි කරන දේවල් සල්ලි දීල බලන්නකො ඉහි ඉහි..." කියන කුජීත තත්ත්වෙට පත් නොවිය යුතුයි ...නොවේවා...! කියල තමා මම නම් ප්‍රාර්ථනා කරන්නෙ.

හිඟනකමට අනුබල දුන්නම වෙන්නෙ හිඟන්නො වැඩි වෙන එක විතරයි. 

කෝච්චි වල දැන් තහනම් නේද? ඒ වගේ ෆිල්ම් හෝල් වලටත් මේ නීතිය ගේන්න කාලෙ හරි අප්පා. 😖



සෙසමි ස්ට්‍රීට් බලපු කට්ටියට...

අසූව දසකෙ අග හෝ අනූව දසකේ මුල ඉපදුනු අයට මතක ඇති නේ සෙසමි ස්ට්‍රීට් (Sesame Street)? අර ඉස්සර ITN එකේ ගියෙ හවස? ඉස්කෝලෙ ඇරිල ඇවිත් කාටුන් පටන් ගන්නකල් සමහර විට ඉස්සර ඕක බලනව...

සෙසමි ස්ට්‍රීට් කියන්නෙ ගොඩක්ම පොඩි ළමයින්ට ඉංග්‍රීසි අකුරු සහ ඉලක්කම් ලියන්න කියන්න හුරු කරවන්න හදපු මපට් ශෝ එකක්. හැබැයි නිකම්ම මපට් ෂෝ එකක් කියන්නත් බෑ. ඒකෙ ඊට වඩා විවිධත්වයක් තිබුනා (තියෙනවා). 

මං දන්නෑ තාමත් මේක ITN එකේ යනවද කියන්න. හැබැයි ලංකාවේ විකාශනය උනත් නැතත්, සෙසමි ස්ට්‍රීට් 1969 සිට මේ දක්වාම ඇමරිකාවේ ජාතික රූපවාහිනිය වගේ සැලකෙන PBS නාලිකාවේ නම් විකාශනය වෙනව. 

ඉතිං ඒ ෂෝ එක ඉස්සර බලපු ළමයින්ට මතක ඇතිනෙ ඒකෙ හිටිය මපට්? අර ලොකු කහ පාට කුරුල්ල නොහොත් බිග් බර්ඩ් සහ අර කුණු බක්කියක් ඇතුලෙ හිටිය කොලපාට සතා මතකද? උගෙ නම Oscar. ඌ ග්‍රවුච් (Grouch) කෙනෙක්.

ඔන්න ඔය මපට් දෙකට 1969 සෙසමි ස්ට්‍රීට් වැඩසටහන පටන් ගත් දා පටන් පහුගිය දෙදාස් දහඅට අවුරුද්ද දක්වාම කටහඬින් සහ රංගනයෙන් දායක වෙලා තියෙන්නේ එකම පුද්ගලයෙක්. ඔහුගේ නම Caroll Spinney. 

2018 ඔක්තෝබර් 17 වන දින, කැරොල්, ​​සෙසමි වීදියෙන් විශ්‍රාම යන බව නිල වශයෙන් නිවේදනය කල අතර බිග් බර්ඩ් සහ ඔස්කා ලෙස ඔහුගේ අවසන් රංගනය පටිගත කරන ලද්දේ 2019 දී විකාශය වූ 50 වන සෙසමි ස්ට්‍රීට් කතා මාලාවටයි (season). ඉන්පස්සේ බිග් බර්ඩ්ගේ සහ ඔස්කාගේ චරිත පිළිවෙලින් මැට් වොගල් සහ එරික් ජේකොබ්සන් නම් අනුප්‍රාප්තික දෙපළට ඉදිරියට කරගෙන යන්න භාර දීල තියෙනවා.

ඉතිං අපේ කතානායකයා නොහොත් Caroll Spinney පහුගිය 2019 දෙසැම්බර් අට වෙනිදා අවුරුදු අසූපහක් වෙලා ඉද්දි මෙලොව හැරගියා...

පොඩි කාලේ එක සැරයක් හරි සෙසමි ස්ට්‍රීට් බලපු කට්ටියට දැන ගැනීම පිණිස මේ සටහන ඔහු වෙනුවෙනි...



ජෑස් සංගීතයේ රැජින...

 1950 වසරේදී හොලිවුඩ්හි ජනප්‍රියම රාත්‍රී සමාජ ශාලාවක් වූ "The Mocambo" හී ගී ගැයීමට ජෑස් ගායිකාවක් වූ Ella Fitzgerald හට අවස්තාව නොලැබුනේ ඇය කළු ජාතික කාන්තාවක් වූ බැවිනි. ඇගේ රසිකාවියක් වූ Marilyn Monroe එවිට ඒ සමාජශාලාවේ අයිතිකරුට කතා කොට, එලාට ගී ගැයීමට එහි අවස්තාව දුන්නොත්, තමා ඒ සෑම රාත්‍රියකම ඒ ගී ඇසීමට එහි පැමිණෙන බවට පොරොන්දු වූවාය. මැරිලින්ගේ පැමිණීමම විශාල මාධ්‍ය අවධානයක් ලැබෙන සිද්ධියක් නිසාම The Mocambo අයිතිකරු ඊට කැමති විය. ඒ අනුව එලා එහි ගී ගැයූ අතර, සෑම රාත්‍රියකම මැරිලින් පැමිණ ඉදිරි අසුනකම සිට ඒ ගී රස වින්දාය.

"එදායින් පස්සෙ මට පොඩි පොඩි ජෑස් ක්ලබ් වල සින්දු කියන්න උන් නෑ... ඇය අමුතුම කාන්තාවක්. ඇය ජීවත් වුනේ ඇගේ කාලයට වඩා පොඩ්ඩක් ඉදිරියෙන්. හැබැයි ඇයවත් ඒක දැනන් හිටියේ නෑ..." එලා පැවසුවාය.

වර්තමානයේ එලා ෆිට්ස්ජෙරල්ඩ්, 'ජෑස් සංගීතයේ රැජින' ලෙස විරුදාවලි ලබා ඇත...

(ඡායාරූප හා විස්තර: Historical Pictures පිටුව ඇසුරිනි.)



"ගාගැන්චුවා"

මේ ෆොටො එක දැක්ක ගමන්, Interstellar ෆිල්ම් එක බලල තියෙන කෙනෙකුට නම් මතක් වෙන්නෙ ඒකෙ පෙන්නන "ගාගැන්චුවා" කියන බ්ලැක් හෝල් එක. ඒත් මේ ඒක නෙවෙයි. මේ තියෙන්නෙ පහුගිය සැප්තැම්බර් මාසයේ නාසා ආයතනය විසින් නම් කල කලු කුහර සතිය (black hole week) නිමිත්තෙන් නිකුත් කරපු, පරිඝණක ඇසුරෙන් තැනුනු කලු කුහරයක ප්‍රතිනිර්මාණයක්.

පහුගිය අප්‍රේල් මාසයේ කලු කුහරයක ෆොටො එකක් ගත්ත එක ලොකු නිව්ස් එකක් උනා මතක ඇතිනෙ. ඒ ඡායාරූපය, 'අමු' එකක්,  සහ ඒකෙ විභේදනය (resolution) ඉතා අඩු නිසා අපහැදිලියිනෙ. ඉතිං නාසා ආයතනයේ Goddard Space Flight Center එකේ Jeremy Schnittman ඇතුලු පිරිසක් තමා මේ visualization එක නිර්මාණය කරල තියෙන්නෙ වඩා පැහැදිලි විදිහට. මේ සඳහා අයින්ස්ටයින් ගෙ විශේෂ සාපේක්ෂතාවදයේ තියරි භාවිතා වෙලා තියෙනව. (කියන්න දේකුත් නෙවෙයි ඒකනම්, කොහොමත් ඒව පාවිච්චි කරන්නම වෙනව කලු කුහර සම්බන්ධ දේවල් වලට.)

ඇත්තටම ඔය පේන්නෙ බ්ලැක් හෝල් එක නෙවෙයි, ඒක වටේ තියෙන ඇක්‍රිෂන් ඩිස්ක් (Accretion Disk) එක. (මැද තියෙන කලු බෝලෙ තමා බ්ලැක් හෝල් එක) ඒ කියන්නෙ කලු කුහරයක් වටා තැටියක් වගේ කැරකෙන උණුසුම් වායූන් වලින් හැදුනු කලාපයක්.  මේකෙ තියෙන වායු අංශු කැරකි කැරකි සර්පිලාකාරව කලු කුහරය ඇතුලට යනව.

(මෙතෙන්දි මතක් කරන්න ඕනෙ ඇක්‍රිෂන් ඩිස්ක් එකක් කියන්නෙ කලුකුහර වලට විතරක් පොදු දෙයක් නෙවෙයි. අවකාශයේ පාවෙන ගුරුත්ව බලය වැඩි ඕනම දේහයකට ඇක්‍රිෂන් ඩිස්ක් එකක් තියෙනවා. උදාහරණයක් හැටියට අපේ සූර්යයාටත් තියෙනවා. එයාගෙ ඇක්‍රිෂන් ඩිස්ක් එකේ තමා අපේ පෘථිවිය ඇතුලු අනික් ග්‍රහලෝකයි , ග්‍රහකයි කැරකෙන්නෙ... )

හරි නමුත් ඉතිං මේ තැටිය, අපිට ඔය රූපෙ පේන්නෙ පැත්තෙන්. තේරෙනවනෙ. ඒ කියන්නෙ පීරිසියක් පැත්තෙන් බලනව වගේ. 

එතකොට කෙනෙකුට හිතෙන්න පුලුවන් එතකොට මොනවද අර උඩින් සහ යටින් පේන්නෙ කියල, බෑන්ඩ් වගේ. තැටිය නිකං ඇඹරිලා ගිහින් වගේ. ඇත්තටම ඒ තැටිය ඇඹරිලා නෙවෙයි. නමුත් කලු කුහරයක තියෙන අධික ගුරුත්ව බලය නිසා, අවකාශ කාලය (space time) තමා ඇඹරිලා ගිහින් තියෙන්නෙ. (මේකට තමා gravitational lensing කියන්නෙ. )ඒ නිසා ඒ අවකාශ කාලය තුළ පිහිටන accretion disk එකත් ඇඹරිලා ගිහින් වගේ තමා 'පේන්නෙ'. පැත්තෙන් බලද්දී තැටියේ පිටිපස්සෙ හරිය උඩ අතට නැවිලා , යට පැත්තෙන් පහලට නැවිලා වගේ පේනවා. නමුත් ඔය කලුකුහරයම උඩ පැත්තෙන් හෝ යට පැත්තෙන් බලන්න පුලුවන් නම්, ඔය ඩිස්ක් එක ඩිස්ක් එකක් වගේම පෙනෙයි. (මේකෙම ඇනිමේෂන් එකක් තියෙනවා ඒක බැලුවම වඩාත් පැහැදිලි වෙයි.) 

තව එතකොට ඔය කලු කුහරෙ ෆොටො එක හොඳට බැලුවම පෙනෙයි ඒකෙ වම් පැත්තෙ (බලන කෙනාගෙ වම) ඩිස්ක් එකේ දීප්තිමත් බව වැඩියි දකුණට වඩා. එහෙම වෙන්නෙ ඩොප්ලර් ආචරණය නිසයි. ඒ ලෙවල් ෆිසික්ස් කලා නම් ඒක පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්. ආලෝක තරංග වලටත් ඩොප්ලර් ඉෆෙක්ට් එක අදාලයි. දීප්තිය වැඩි පැත්තෙ ආලෝකය අපි දෙසටයි එන්නෙ (ඇත්තටම කිව්වොත් ආලෝකය අපි දෙසට එන නිසයි දීප්තිය වැඩියි වගේ පේන්නෙ). අනික් පැත්තෙ අපෙන් ඈතටයි යන්නෙ. ඒකයි එහෙම වෙනස් වෙලා පේන්නෙ.

ඇත්තටම Interstellar ෆිල්ම් එකේ පෙන්නන කලු කුහරයයි, මේ රූපෙයි මෙච්චර සමාන වෙන්නෙ, දෙකම ගොඩ නගන්න යොදාගත්තු විද්‍යාත්මක දැනුම එකක්ම වෙන නිසයි. Interstellar වල පෙන්නන කලු කුහරය නිර්මාණය කරන්න මුල් වෙලා තියෙන්නෙත් භෞතික විද්‍යාඥයෙක්. ඒ කිප් තෝර්න් (Kip Thorne). ඔහු චිත්‍රපටයට විධායක නිෂ්පාදනයෙන් වගේම විද්‍යාත්මක උපදේශකයකු වශයෙනුත් සහය වුනා. (ඒක ගැන මීට කලිනුත් ලියල ඇති.) කිප් තෝර්න් කියන්නෙ භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් සම්මාන ලබපු විද්‍යාඥයෙක් (2017 දී).  ඔහු එවකට (ෆිල්ම් එක හදන කාලෙ) කලු කුහර සම්බන්ධයෙන් හොයාගෙන තිබ්බ උපරිම විද්‍යාත්මක දත්ත භාවිතා කරල ඒ ඇසුරෙන් නිපදවන ලද පරිඝණක වැඩසටහන් ඔස්සේ තමා Gargantua  නිර්මාණය කලේ. (ඒ කියන්නෙ නිකංම හොලිවුඩ් වල CGI වැඩ කරන ස්ටූඩියෝ එහෙකට දීලා කරගත්තු ග්‍රැෆික් වැඩක් නෙවෙයි.)

හැබැයි ඒක හරියටම කලා නම් අර මුලින් කියපු ඩොප්ලර් ආචරණයත් සලකන්න වෙනවා. එහෙම කලා නම් ගාගැන්චුවා ඔය අපි චිත්‍රපටයේ දකින විදිහට වඩා ටිකක් වෙනස් වෙන්න තිබ්බලු. ඒ කියන්නෙ Dopler Effect එක නිසා ඇතිවෙන red - blue shift එක නිසා කලු කුහරයේ වර්ණ වල වෙනසක් වෙන්න තිබ්බ. නමුත් ක්‍රිස්ටෝෆ නොලාන් ඒකට අදි මදි කරපු නිසා ඒක අතෑරල දාල තියෙනවා. 

ඊට අමතරව දෙයක් කිව්වොත් මුලින්ම හදපු කතාවෙ එක සිද්ධියක් තිබිල තියෙනවා එක චරිතයක් ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් යන විදිහට. මේක කිප් තෝර්න් කියල කියල කොහොම හරි අන්තිමට අයින් කරන්න කැමති වෙලා තියෙනවා ක්‍රිස්ටෝෆ නොලාන්. 

ඒකට හේතුව මේකයි, කිප් තෝර්න් ආරම්භයේ සිටම මේ චිත්‍රපට කතාව පුරාවටම රැකිය යුතු පිලිවෙත් දෙකක් සලකල තියෙනවා: එකක්, ෆිල්ම් එකේ එන කිසිම සිද්ධියක් දැනට හොයාගෙන තියෙන භෞතික විද්‍යා මූලධර්ම වලට පටහැනිව නොයා යුතුයි කියන එක. අනික, දැනට විද්‍යාවෙන් හොයාගෙන නැති නමුත් චිත්‍රපටය තුල කියවියයුතු කොටස් පවා විද්‍යාව මත ගොඩනගපු ඒව මිසක්, හුදෙක්ම තිර රචකයෙක්ගේ මනසේ බිහිවෙන ඒව නොවිය යුතුය කියන එක. මේ 'රීති' දෙකටම ක්‍රිස්ටෝෆ නොලාන් එකඟ වෙලා තියෙනව. ඉතිං පුද්ගලයෙක් හෝ මේ විශ්වයේ කිසිම දෙයක් හෝ ආලෝකේ වේගයට වඩා වැඩි වේගයක් අත් පත් කරගන්න එක භෞතික විද්‍යා මූලධර්ම අමුවෙන්ම උල්ලංඝණය කිරීමක් නිසා තමා කිප් අර සිද්ධියට විරුද්ධ වෙලා තියෙන්නෙ. 

ඉතිං කොහොමෙන් කොහොම හරි ක්‍රිස්ටෝෆ නොලාන්ගේ අපූරු නිර්මාණ ශක්තියත්, කීර්තිමත් භෞතික විද්‍යාඥයින් කීප දෙනෙකුගෙ (කිප්ට අමතරව තව අය ඉඳල තියෙනව) සුපිරි මැදිහත් වීමුත් එයාලගෙ ගුරු හරුකමුත් නිසා, අවසාන වශයෙන් එදා මෙදා තුර බිහිවුනු සුපිරිම, වඩාත්ම විද්‍යාත්මකව නිවැරැදි, විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට කලාව "නෙක්ස්ට් ලෙවල්" එකට අරං ගිය පට්ට චිත්‍රපටයක් බිහි වුනා.  ඒ ෆිල්ම් එකේ "සයන්ටිෆික් ඇක්‍යුරසි" එකට, මේ දාල තියෙන ඇත්ත කලු කුහරයක විසුවලයිසේෂන් එක හොඳ උදාහරණයක්...