(Written on January 20, 2019)
උරුමයක අරගලය ටෙලිනාට්‍යය පසුගිය සතියේ අවසන් විය 🙏.
මේ ටෙලිනාට්‍යයේ කතාව, 1848 දි සිදුවූ නිදහස් අරගලය මූලාශ්‍ර කොට කියවෙන බව ආරභයේදීම කියැවෙයි. එසේම 1848 මාතලේ කැරැල්ල , සිංහලයින් විසින්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව දියත් කළ විශාලම සහ අවසන් අවි දැරූ කැරැල්ල වන අතර, ඉන්පසු 1948 දී නිදහස හිමි වෙන තුරු වසර සියයක් එවැනි කැරැල්ලක් සංවිධානය නොවූ බවත් මතක තබාගන්න.
මෙවැනි අවර ඝනයේ නාට්‍ය "කොහොමත් ගොන් නිසා අපි නම් බලන් නෑ" කියන පිරිසක් සිටිති. ඇත්තටම ඔව්. ගොන් තමා. නමුත් සිහිතබා ගත යුතු වන්නේ මේ ටෙලිනාට්‍ය "නිකම්ම නිකං ගොන් කතා" කියමින් අත් හැර දමන එකේත් යම් අවධානමක් පවතින බවයි, මොකද මොවුන් මේවා පෙන්නන්නේ අපේ රටේ ඉතිහාසය බව කියමිනි, සහ ඉන්පසු ලෝකයාටම අනාදිමත් කාලයක් සඳහා නැරඹීමට හැකි පරිදි යූ ටියුබ් වැනි දේවල් තුලටත් නිදහස් කරති.
එහෙම දැම්මාය කියල ජාත්‍යන්තර අවධානයට ලක්වෙලා හැමෝම ඕක බලන්නෙ නැති බවත් සැබෑවකි. නමුත්, යටත් විජිත සමයේ අපේ රටතුල සිදුවූ නිදහස් සටන් ගැන හොයන විදේශිකයෙකුට, අහම්බෙන් හෝ මෙවැනි දෑ නැරඹීමට ලැබීමේ සම්භාවිතාවක් ඇති අතර පොත් පත් වලින් වේගයෙන් ඈත් වෙමින් යන අලුත් පරපුර, තමන්ගෙ "ඓතිහාසික මූලාශ්‍ර" විදිහට අනාගතයෙ මෙවැනි දේ පාවිච්චි කරන්න සුලුවෙන් හෝ ඉඩක් ඇත. අවධානම ඇත්තේ එතැනය.
සැබෑවටම 1848 දී සිදුවූ දේවල් සහ, මේ නාට්‍යය තුළ පෙන්නන දේවල් අතර ලොකු පරස්පරතා ඇති බව පැහැදිලිය.
මුලින්ම 1848 ඇත්තටම සිද්ද වුනේ මොකද්ද කියා බලමු.
සරලව කිව්වොත්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සිංහල ජනයා මත පැටවූ අසාධාරණ බදු ගණනාවක් නිසා තමා මේ කැරැල්ල ඇරඹෙන්නේ.
කැරැල්ලට නායකත්වය දුන් කීප දෙනා අතරින් ප්‍රධානියා වුණු, ගොංගාලේගොඩ බණ්ඩාව, 1848 ජූලි 26 දින දඹුල්ල විහාරයේදී, ගිරානෙගම හිමියන් විසින් මීලඟ සිංහල රජු විදිහට නම් කරනවා. පුරන් අප්පු, අගමැති හා සමාන තනතුරකට පත්වෙන්නෙ, අසිපත් දරන්නා නොහොත් sword bearer විදිහට. ගොංගාලේගොඩ බණ්ඩගෙ සහෝදරයා වන දිනෙස්, යුවරජ විදිහට පත්කරනවා.
හැබැයි ගොංගාලේගොඩ බණ්ඩාව මෙසේ රජෙක් විදිහට අභිශේක කළත්, ඔහුට නියම විදිහට රජ වෙන්න නම්, ඉංග්‍රීසින්ට විරුද්ධව මෙහෙයවන කැරැල්ල ජයග්‍රහණය කළයුතු බව, ඔහුත් අනෙක් අයත් හොඳින් දැන සිටි දෙයක්. ඇත්තටම මේ අභිශේකය, හුදෙක්ම සිංහල හමුදාවේ "මොරාල් අප්" කිරීමට කරපු දෙයක්. මොකද ඉදිරියේ එන සටනට නායකයෙක් අවශ්‍ය නිසා.
ඉංග්‍රීසින් විසින් ගොංගාලේගොඩ බණ්ඩාව හඳුන්වන්නේ pretender කෙනෙක් විදිහට, එනම් සැබෑ රාජ්‍ය උරුමයක් නැති නමුත් එසේ පෙනී සිටින තැනැත්තා යන අර්ථයෙන්.
ඉතිං ජූලි 26 උදේ දඹුල්ලෙන් ගමන් අරඹන සිංහල සේනාව, මාතලේ හරහා මහනුවරට එනවා. එතෙන්දි සහ තවත් තැන් කිහිපයකදි දරුණු සටන් ඇවිලෙන අතර, ඉන් සිංහල තරුණයන් සැලකිය යුතු පිරිසක් මියයනවා. නමුත් ඉංග්‍රීසින්ට දරුණුවටම රිදෙන්නෙ, බදු වාර්තා තිබුණු මාතලේ කච්චේරියට කඩා වදින සිංහල කැරලිකරුවන්, එහි තිබූ බදු වාර්තා පිටතට ගෙන මහමග දමා ගිනි තැබීම නිසයි.
ඉන්පසු එවකට ආණ්ඩුකාරවරයා වූ ටොරිංටන් විසින්, රටතුළ යුධ නීතිය (martial law) ප්‍රකාශයට පත්කරනව. අවසානයේ කැරැල්ල අසාර්ථක වෙන අතර පුරන්අප්පු ඇතුලු කැරැල්ල මෙහෙයවූ පිරිසක් අත්අඩංගුවට ගන්නවා. පුරන්අප්පුට සහ ගොංගාලේගොඩ බණඩාට විරුද්ධ චෝදනා වලට ඔවුන් වැරදි කරුවන් වෙනවා. මහනුවරදී පුරන්අප්පු වෙඩි තබා මරණවා. හැබැයි ගොංගාලේගොඩ බණ්ඩාව මරන්නෙ නෑ. මහනුවර නගරයේ විශාල පිරිසක් ඉදිරියේ කසපහර සියයක් දීමෙන් අනතුරුව, ඔහුව මොරොක්කෝවට පිටුවහල් කරනවා.මාස කිහිපයකට ඇවෑමෙන් ඔහු එහිදී උදරාබාදයකින් මිය යනවා.
ඔන්න ඕකයි කතාව ඉතාමත් කෙටියෙන්.
නමුත් මේ ටෙලිනාට්‍යය තුළ ඔය කිව්ව කැරැල්ලේ අංශුමාත්‍රයක් වත් පෙන්නන්නේ නැත.
අනික් විහිලුව තමා, ගොංගාලේගොඩ බණ්ඩා, ඉස්තරම් රජ ඇඳුම් වලින් සැරසී, තමන්ගෙ ඔලුව වගේ දෙගුණයක් විතර ලොකු ඔටුන්නක් දාගෙන ගල්ගුහාවකට වෙලා සිටීම. අරහෙ කෙල වෙලා පුරන් අප්පු අල්ලාගෙන කියල ඔහු දැන ගන්නෙත් ගුහාවට එන මැණිකෙ කෙනෙක්ගෙනි! එවෙලෙ ඔහු හැසිරෙන විදිහට, සියල්ලට කලින් වෙඩි තියල දාන්න ඕනෙ මූට කියල තමා බලන අපිට හිතෙන්නෙ. රණශූරයෙක්ට තබා, අඩුගානේ පිරිමියෙකුටවත් නොගැලපෙන විදිහට, "අනේ අපිට මේ මොකෝ වුනේ , මේ සිංහල රට නේද දෙයියනේ , දළදාහාමුදුරුවනේ" ආදි වශයෙන් දෙස් දෙවොල් තියමින් ඔහු හඬා වැටෙනවා. ඌව නලවන්නෙ ඕනෙ මැණිකේ.... 😒.
ඉන්පස්සේ මෙයාවත් සුදු හමුදාවේ (කිව්වට ඉතිං මේ අපේම කොල්ලො තමා රතුපාට අලුත්ම සූට් ඇඳන් ඉන්නෙ 😊 ඒ අතින් නම් ආඩම්බරයි ඈ) අය ඇවිදින් කුදලාගෙන යනව.
(හමුදාව කියල සඳහන් කරන සෑම තැනකම, එක් පාර්ශවයකට සිටින උපරිම සෙබළුන් ප්‍රමාණය, හතක් හෝ අටක් පමණක් බව සිහි තබාගන්න. නමුත්, සැබෑ සිදුවීමේදි, කැරැල්ල සඳහා සිංහල තරුණයින් හාරද
හසක් පමණ සහභාගී වූ බව පැවසේ.)
මොවුන්ට විරුද්ධව නඩු ඇසීමේදීද, පුදුම සහගත ලෙස, ඉංග්‍රීසි නඩුකාරවරයාද පැහැදිලි සිංහල කතා කරන අතර, ඔහු පවසන දේවල් පුරන්අප්පු, ගොංගාලේගොඩ බණඩා ආදීන්ට තේරුම් කර දීමට තෝල්කමුදලි කෙනෙක් යොදාගන්නෙ අහවල් එහෙකටදැයි සිතීම නොවැලැක්විය හැකිය.
නඩුවෙන් පසු, පාලු වෙලක් මැද්දට රැගෙන යන ගොංගාලේගොඩ බණ්ඩාට, කසපහර දෙකක් විතර දෙන අතර ඉන්පසු ඔහු ගැන සඳහනක් නැත.
නමුත් පුරන්අප්පු, එම වෙල මැද්දෙන්ම ගෙනියන විටදී, "මේක අපේ රට යකෝ, මේක සිංහල රට යකෝ, මේක දළදාහාමුදුරුවන්ගෙ රට යකෝ, අපේ රට අපිට දීල පලයව් යකෝ" ආදී දේවල් නොනවත්වාම කීමේ කන්දොස්කිරියාවෙන් ගැලවීමට, ඔහුට වෙඩි තැබීමට ඉංග්‍රීසින්ට සිදුවූ බව සිතිය හැකිය.
ඒ හැර, මෙහි එන කිසිම වීරයෙක් මොනයම් හෝ කැරැල්ලක් මෙහෙය වූ බවක් නොපෙන්වන අතර, ලඳු කැලෑ, ගල්ගුහා, බඩවැටි සහ පැරණි මහනුවර ක්‍රමයට හැදුනු ගෙවල් වල ඉස්තෝප්පුවල, ඉංග්‍රීසින්ට විරුද්ධව වහසිබස් කීම හැර වෙන වැරැද්දක් මේ මිනිස්සු නොකළ බව, මේ නාට්‍යය එහෙන් මෙහෙන් හෝ නැරඹූ සැවොම දනිති.
කෙසේ හෝ පුරන්අප්පු වෙල මැද්දෙන් ගෙන යද්දී ඔහුගේ උඩුකය නිරුවත්ව තිබූ අතර අලි බඳින දම්වැලක් උරෙස්සට දමා තිබුණි. (ඇයි ඒ?😨) නමුත් ඔහුට වෙඩි තැබීමට මොහොතකට කලින් 100% cotton සුදෝසුදු වෙලෝනා බැනියමක් ඇන්දුවේ ඇයිද කියා දන්නේ, මෙවැනි වෙඩි වදින දර්ශනයකට, කුඩා වෙඩි බෙහෙත් සැෂේ පැකට් බඩට තියා සෙලෝටේප් ගැසූවිට, ඒවා නොපෙනෙන ලෙස සකසන්නේ කෙසේදැයි දස අතේ කල්පනා කළ, ඒ මේකප් කටයුතු භාරව සිටි මනුස්සයාම පමණි. (හොඳින් බැලුවොත් පුරන්අප්පුගේ කමිසයට යටින් ඒ පැකට් පහ ස්ථානගත වී ඇති අයුරුද නිරීක්ෂණය කළ හැක.😌)
මෙහිදී (බඩේ අලවා ඇති වෙඩිබෙහෙත් පැකට් පුපුරා) පුරන් අප්පු මියයන විට පවසන්නේ, තමන් වගේ තව එකෙක් හිටියනම් සටන ජයගත හැකිව තිබූ බවය. නමුත්, ටොරිංටන් ආණ්ඩුකාරවරයා විසින්, කැරැල්ල ගැන ලියා බ්‍රිතාන්‍යයට යැවූ සැබෑ ලියුමේ කියවෙන්නේ, "තමන් වැනි අය දුසිම් භාගයක් සිටියානම් කැරැල්ල ජයගත හැකිව තිබූ බව පුරන්අප්පු පැවසූ බවත්, තමන්ටද එය සත්‍යයක් බව හැඟෙන බවයි" මේ නාට්‍යයේ දෙබස් ලියන විට සරලව විකිපීඩියාවෙන් සොයාගැනීමට හැකි මෙවැනි කාරණා ගැනවත් නොසැලකා හැර ඇත්තේ ඇයි?වීරයින් එසේ මියගිය පසු, මැණිකෙලා සෙට් එකත් ඒ විදිහටම ඔවුන් මෙතෙක් කල් බඳාගෙන හැඬූ ඉස්තෝප්පුවල කණු අසලදීම වෙඩි තබා ඝාතනය කිරීම දෛවෝපගතය.
අවසන් වශයෙන් කියන්නට ඇත්තේ, මෙවැනි වීරයන් සහ ඔවුන්ගේ සැබෑ කතාව පිළිබඳ හාන්කවිස්සියක් නොදැන මෙම නාට්‍යය බලන කෙනෙකුට, ("අපේ ඉතිහාසය අපිට කියල දෙනවට ඔයාලට පින්" ආදී ලෙස සීරියස් කමෙන්ට් දමන අය මේ රටේ ජීවත් වෙන බව ගෞරවයෙන් සිහිපත් කරමු.) එකල අපේ රට යටත් කරගෙන සිටි සෙබලුන් දහදෙනෙකු පමණ වන ඉංග්‍රීසි හමුදාව, මේ වීරයන්ට වෙඩි තබන්නේ, එලිපිට සටන් නොකර, තැන තැන කුටු කුටු ගෑම ඉවසලා ඉවසලා බැරිම තැනය කියා සිතුනොත් එය ඉතා සාධාරණ බවය.
වීර පුරන් අප්පු සහ ගොංගාලේගොඩ බණ්ඩා ඇතුලු 1848 නිදහස් කැරැල්ලේ වීර චරිත, එසේ සිල්ලර විදිහට ප්‍රයිම් ටයිම් එකේදි විකිණී අවසන් වූ අතර, දැන් පැරකුම්බා රජු වෙන්දේසි කිරීම ඇරඹී ඇත.
ජයගත යුතු සැබෑම අරගලය නම් මෙම චරිත වල ගෞරවය නොහොත් අපේ උරුමය, විහිලුවක් බවට පත් නොකර රැක ගෙන අනාගත පරපුරටත් දායාද කිරීම බව අප වටහාගත යුතුව ඇත.